අද මම කෙටිකතාවක් පළකරන්නට හිතුවා,විශේෂත්වය නම් මේ කෙටිකතාව මා ලියු එකක් නොවීමයි,ලාංකික යථාර්ථවාදී කතා කලාවේ පුරෝගාමියෙකුද විශිෂ්ට ගනයේ ලේඛකයෙකුද වු දිවංගත කේ ජයතිලකයන් 1971 වසරේ පලකළ එකගෙයි අවුරුද්ද නම් කෙටිකතාව මා පළකරන්නේ හොඳ කෙටිකතාවක් යනු කුමක්දැයි අපේ සහෘදයන්ට හඳුන්වා දීමටත් කෙටිකතාව හා නවකතාව යන දෙකේ වෙනස ගැන ලිපියක් ලිවීමටත් මේ කතාවෙන් කියැවෙන චාරිත්‍රය සම්බන්ධයෙන් ඉදිරියට දීර්ඝව සාකච්ඡා කිරීමට මා අදහස් කරන නිසාත් යන කරුණු හේතුවෙනුයි.
කතාව කොටස් වශයෙන් පළකරන්නට හෝ අකුරක් ඉස්පිල්ලක් අඩුවැඩි කරන්නට මට අයිතියක් නැති නිසා කතාව ඒ ආකාරයෙන්ම පළකරනවා, කියවලම කතා කරමු...
එකගෙයි අවුරුද්ද.
සිංහල අලුත් අවුරුදු රාශියක මතක මගේ සිතෙහි තැන්පත්ව පවතී.දිරාපත් මේ මතකයන් අතර එක අවුරුද්දක මතක පමණක් මළ කෑමක් පවා නොමැතිව වරින් වර විදුලි කොටයි.මින් පෙර අවුරුදුවල චාරිත්‍රවාරිත්‍රවලට මා මුහුණ දුන්නේ කුඩා දරුවෙකුගේ ස්වාභාවික උනන්දුවෙනි.මෙයින් පසු අවුරුදුවල ඒවා නිරීක්ෂණය කිරීම මා උවමනාවෙන්ම වාගේ මගහරින්නට ඇතැයි සිතේ.
හැම බක් මහකම කාලගුණය ඒකාකාර නොවේ.එවර බක් මහ ලැබූ තැන් සිට වහින්නට මෙන් මුළු අහස වලාකුළු වලින් බරව පැවති නමුත් වැස්සේ නැත.එහෙත් එයින් ගස් කොළන් වියලා හරින දැඩි දාහය මර්දනය වී යයි.පහළින් ඉහළටත් ඉහළින් පහළටත් විහිදී යන ඉපනැල්ලෙන් පඬු පැහැ ගැන්වුණු කුඹුරුයාය එළා ලු මහා මාගලක් මෙන් දිස්වූ අයුරු මට මතකය.කමත්වල තවම පිදුරු කඳු විය.ගෙයි මුළු මුළුවල වී ගොඩවල්ය.අතීත බොහෝ සිද්ධීන්ට පොදු අද්භූත,චමත්කාරජනක හැඟීම් සහිතවය,මේ ශාන්ත සෞභාග්‍යමත් පරිසරය මැදින් ගලා ආ කොවුල් හඬ මට සිහිකළ හැක්කේ.කොවුල් නදින් කුල්මත් වන අම්මා ගොයම් වැඩද අතහැර අවුරුද්දට සුදානම් වන්නීය.අලුත් අවුරුද්දට කළ යුතු වැඩ රාශියක් ඇයට ඇත.බිත්ති කිරිමැටි ගෑම,ගෙබිම ගොම පිරිබඩලීම,කැවුම්,කොකිස්,මුං අග්ගල තැනීම,අවුරුදු කෑමට අඩුවැඩිය සකස් කිරීම-තව කීයක්ද?
අවුරුද්දට කලින් ගෙදරට ලියමනක් ආවේය.තාත්තා නමට පිට නම ලියා තිබු එය අම්මා වරින් වර ඒ මේ අත පෙරළමින් බලමින් සිට ඔහු පැමිණි විගස අතෙහි තැබුවාය.ඔහු ලියමන කඩා තමාටම කියවා ගන්නට විය.
"කවද්ද එනවයි කියන්නෙ?"කියවා අවසන් වන තුරු තනි බැල්මට ඔහු මුහුණ බලා සිට අම්මා ඇසුවාය.
"දොළොස් වෙනිදා ඊට ඉස්සර කඩේ වැහුවොත් හුඟක් පාඩුලු."
"මගෙ අම්මේ!ඊට නරකයැයි අවුරුද්ද දවසෙම ආවානම්."
"උඹලා නම් ඔහෙ කියයි ගෙදර ඉඳගෙන. කඩයක් කරන මිනිහනෙ ඒකෙ තියෙන අමාරුව දන්නෙ.අවුරුදු කන මිනිසුන්ට ඕනැ දවසට බඩුමුට්ටු ටික ගන්ට නැති තැනකට ඊට පස්සෙ උන් ආයිමත් ඒවියැ."
ඊට අම්මා කිසිවක් කීවේ නැත.ඔවුන් අතර ඇති වූ කතාබහට මා උනන්දුවෙන් සවන් දුන් නමුත් ඔවුන් හරියටම කතා කරන්නේ කවුරුන් හා සම්බන්ධ කුමක් ගැනද යන්න මට වැටහුනේ නැත. ඒ නිසා තාත්තා ඉවත ගිය විගස මම ඒ ගැන අම්මාගෙන් විමසුවෙමි.
"කවුද අම්මෙ එනවයි කියන්නෙ?"
"පුතාගෙ පුංචි තාත්තා."
"කවුද අම්මෙ පුංචි තාත්තා කියන්නෙ?"
"අර ගිය අවුරුද්දෙත් පුතාට තෑගි ගොඩාක් අරගෙන ආවෙ.අන්න එයා."
පුංචි තාත්තා ගැන මා නොදැන සිටියේ නොවේ.මට තාත්තලා දෙදෙනෙකුන් සිටිතියි යන කතාව ඊට පෙර නොයෙක් වර මා අසා ඇත.අම්මා හෝ තාත්තා කතා කරන විට 'හිඟුරක්ගොඩ එක්කෙනා'නමින් හඳුන්වන්නේ ඔහු බවද මම දැන සිටියෙමි.අනික් අයට සිටින්නේ එක තාත්තා කෙනෙකි.ඇතැම් විට දෙදෙනෙකු සිටින නමුත් එය සාමාන්‍ය නොවේ.එසේම ඒ තරම් 'නම්බුකාරද'නොවේ.මිනිසුන්ගේ කතාබහෙන් මෙවැනි හැඟීමක් මසිතට පිවිසී තිබිණ.එහෙයින් මට අර ප්‍රශ්නය ඇසීමට උවමනා නොවීය.එය ඇසුණේ ඉබේටමය.කෙසේ වුවත් සිත තුළ නළියන කුකුසකින් ගැලවී ගන්නට මම අපොහොසත් වීමි.මම අම්මාට හොරෙන් පුංචි තාත්තා එවූ ලියමන සොයා ගෙන කියවීමි.එය මෙවැන්නක් විය. හිඟුරක්ගොඩදීය.
තිසරණාධාර වේවා!
ආදරණීය අයියේ,
අයියලාගේ සැප සනීප බොහෝ කලකින් දැනගන්ට නොලැබීම නිසා බලවත් සේ කනගාටු වෙනවාය.මම මේ අප්‍රේල් මස දොළොස්වෙනිදා අලුත් අවුරුද්දට ගමට ඒමට අදහස් කර ඉඳිමි.අවුරුදු දවස්වල බඩු ගැනීමට බොහෝ අය එන නිසා ඊට කලින් කඩේ වැහුවොත් හුඟක් පාඩුය.
මැණිකේත් පුතාත් සනීපෙන් පසුවෙනවා ඇතැයි සිතමි.ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි.
සුවෙමි.සැපවේවා!
මීට,
යටහත් කීකරු මල්ලී,
අගෝරිස්.
ලියුම ලැබීමෙන් පසු අම්මා කෙරේ වැඩි උද්‍යෝගයකුත් වැඩි දීප්තියකුත් දක්නට ලැබිණ.ඈ අමුතු පණක් ලද්දියක මෙන් දුව පැන කඩිසරව කටයුතු කරන්නට වූවාය.ඈ වැඩියෙන් කතා කරන්නේ අවුරුද්ද ගැනය.අවුරුද්දට එන බව කියා හිඟුරක්ගොඩින් ලියමනක් ලැබුණු බවද අසල්වැසියෙකු සමග ඉඳහිට පවසන්නීය.
"උඹට නම් ඉතිං මොකද?මොනවයින් අඩු පාඩුවක්ද?"කියමින් ඇතැම් ගැහැනියක් එවිට මඳ සිනහවෙන් ඇගේ මුහුණ බලන්නීය.අම්මා එවිට ලජ්ජා වෙතියි මා සිතන නමුත් ඈ එය පිළිගන්නේ ප්‍රීතියෙන් පිරුණු මුහුණකිනි.තාත්තා තුළ පිටතට පෙනෙන තරම් විශාල උනන්දුවක් නොදක්නා ලද නමුත් උන්දෑද වෙන දාට වැඩි උනන්දුවකින් හා ඕනෑකමකින් කටයුතු කරන බව දක්නට ලැබෙයි.
ගෙවල් දොරවල් පිරිසිදු කොට අලුත් පෙනුමක් දෙන ලද්දේ මුළුමනින්ම අම්මා විසිනි.අවුරුද්ද ඔන්න මෙන්න කියා තිබියදී ඈ කැකුළු හාල් සේරු කිහිපයක් දියේ දමා පොඟවාගෙන කොටන්නට වුවාය.ඈ හතිලාගෙන මෙය කොටනු දුටු විට තාත්තා පිට අයට නොපෙනෙන පරිදි හොරෙන් හොරෙන් ඊට උදවු විය.තාත්තා කවදත් ගෙදර වැඩකට අම්මාට උදවු වෙන්නේ පිට අයට නොපෙනෙන පරිද්දෙනි.ගෙදර වැඩපලවලදී බිරිඳට උදවු කරන සැමියෙකු ගැන තාත්තා පමණක් නොව අම්මාද අවඥාවෙන් කතා කරනු මා අසා ඇත.
'ඒ ගෑනි මිනිහට කියල වීත් කොටව ගන්නව.'
'ඒ මිනිහා ගෑනිට බයේ කියන කියන මර වැඩ කරනව.'
'ඌ ගෑනි කිව්වොත් ලිඳකට හරි පනීවි.'
දොළොස්වෙනිදාට එළි වු තැන් සිට ගෙදර පිරී පැවැත්තේ බලාපොරොත්තුවලිනි.එක අතකින් අවුරුද්ද එන බලාපොරොත්තුව.අනික් අතින් පුංචි තාත්තා එන බලාපොරොත්තුව.පුංචි තාත්තා මෙවරත් තෑගිබෝග රැසක් ගෙන එනු ඇතැයි මමද බලාපොරොත්තු වෙමි.ඔහු ඒමට තව වේලා ඇතත් වරින් වර අම්මා පාර දෙස බලන්නේ දැන් දැන් එතියි සිතන්නාක් මෙනි.
බලාපොරොත්තු වැඩියත් පැවැත්තේ අම්මාත් මාත් තුළය.තාත්තා නම් උදේම මල්ලකුත් රැගෙන කිරිඳිවැලට ගියේය.ඊයේ,සතියේ පොළට ගිය ඔහු බරටම තුනපන බඩු මලු කීපයක්ම ගෙනාවේය.අම්මා ඒවා එකිනෙක පරීක්ෂා කර කල්පනා කරමින් අඩුපාඩු විය හැකි දේ ඔහුට ඇඟෙව්වාය.
"වම්බටු ටිකක් තෙල් දාලා ගත්තොත් හොඳයි නේද?"ඈ වරක් ඇසුවාය.
"අච්චාරුවක් හදන්නට විනාකිරිත් නැතුව ඇති.ගිය අවුරුද්දට ගෙනාවට පස්සෙ ගෙනා එකක්යැ"ඈ නැවතත් මතක් කළාය.
තාත්තා ඒවා අනුමත කරමින් අමතක වු දේ මතක් කරමින් සිතේ සටහන් කර ගනු දක්නට ලැබිණ.
"වරුවක් බලන් හිටියා මාළුකාරයා එනකල්.මොකක්වත් නෑ.හුරුල්ලොයි සාලයොයි විතරයි.පස්සෙ ඌරු මස් ටිකකුත් ගත්තා.කැලණිය වඳින්ට වගෙ සෙනග"තාත්තා කිරිඳිවැලෙන් ගෙන ආ බඩු මල්ල බිම තබමින් කීය.
"මේ දවස්වල හැම තැනම ඔහොමලු.කී කාලෙකට වතාවක්ද ඉතින් අවුරුද්දක් එන්නෙ?කෝකටත් හොඳයි මස් ටිකක් ගෙනා එක.අරුමැක්කෙ එන මිනිහට පුළුවනැ හුරුල්ලො විතරක් උයලා දෙන්ට."
මස් මාළු ගෙන ආ නමුත් අප දවාලට බත් කෑවේ වෙනදා මෙන්ම එළවලුවකුත් කරවල හොද්දත් සමගය.මාළු හා මස් ව්‍යංජන හතරක් සේ පොල් කිරි නොදමා හතර විදියකට සෑදු අම්මා ඒවා ඇතිළිවලම වසා තැබුවාය.
"මස් කෑල්ලක් දෙන්නද?"කෑම කන අවස්ථාවේදී අම්මා තාත්තාගෙන් ඇසුවාය.
"තිබුණාවෙ,එතකොට ගන්න"තාත්තා කීය.
අම්මාට ඉස්පාසුවක් නැතිව වැඩ ඇතත් කෑමෙන් පසු වරින් වර ඉස්තෝප්පුවට පැමිණ තාත්තා සමග ස්වල්ප වේලාවක් කතා කරමින් සිටියාය.
"එකයි තිහේ කෝච්චියෙන් ගම්පහට ආවොත් නම් බස්සෙක අල්ලා ගන්න පුළුවන් වේවි.නැත්නම් තිරික්කලේක තමයි එන්ට වෙන්නෙ."
"බස්සෙක අහු උණා නම් තව ටිකකින් ඒවි."
"සිරිනේරියගෙ තිරික්කලේ ගත්තොත් ඌත් නම් බස්සෙකට පහු වෙන එකක් නැහැ."
"හෙට අනිද්දත් නිවාඩු එකේ අද පුලුවන් නෙ මුන්ට බස්සෙක දෙපාරක් දුවන්ට.ඒ තරම් සෙනඟ ඇති."
"උන්ටත් දැන් සල්ලි වැඩි වෙලා කරගන්ට දෙයක් නෑ."
පුංචි තාත්තා දුර එනු මුලදීම දැක්කේද අම්මාය.
"ආං! අර එන්නෙ මතක් කරන කොටම" කියමින් ඈ බිම වාඩිවී සිටි තැනින් නැගිට දකුණතින් පිටුපස පිස දැම්මාය.
ඔහු අතේ පාර්සල් රාශියක් විය.අපි ඔහු එනතුරු නොඉවසිල්ලෙන් ඉස්තෝප්පුවේ හිටගෙන බලා සිටියෙමු.අම්මාගේත් මගේත් මුහුණින් කටින් හිනා හැළෙයි.
පුංචි තාත්තා ළං වන විට අම්මා ඉදිරියට ගියාය.මමද ඇය ළඟින් වීමි.ඔහු පාර්සල්වලින් ගොඩක් අම්මාට දී ඉතිරි ඒවා පුටුවක් මත හැළීය.
"බරටම පාර්සල් උස්සාගෙන" යි අම්මා ඒවා දෑතින් ගනිමින් කීවාය.පුංචි තාත්තා පුටුව මත තැබූ පාර්සල් අතරින් කැඩූ එකක් තෝරා මා අත තබා හිස අතගෑය.එහි වුයේ සීනිබෝලය.
"බස්සෙක අහු වෙන්ටැති?"තාත්තා කතාවට මුල පුරමින් ඇසීය.
"ඔව් එනකොටම බස්සෙක තිබුණා.සෙනග නම් උතුරනව.අපරාදෙ කියන්ට බෑ එව්දියෙස් කාරයා දුටුව තැනක කවදාවත් මාව දාලා යන්නෙ නෑ."
"ඌ හොඳ ගුණේ ඇති එකා."
"මෙහෙටත් තාම වැස්ස නැද්ද."
"තාම නෑ.ඒ උණාට මෙදා වෙනදා වගෙ තද ඉඩෝරයක් තිබුනෙ නෑ."
"එහෙ නම් තාම වේලෙනව.හැබැයි අස්වැන්න කාලෙ හින්ද හොඳයි.හාන කාලෙටත් මෙහෙම හිටීවිද මන්දා?"
"කොහොමද ඉතින් කුඹුරු වැඩ කරන්නෙ?"
"වැව් තියෙනවනෙ.වැව තමයි මිනිස්සුන්ගෙ ගැලවුම්කාරයා.ඒ උණාට වැවුත් හිඳෙනව."
"කතා කරන්ට බැරියැ,මුණ කට ටිකක් හෝදගෙන.අන්න මම වතුර දැම්මා.මෙන්න සරමක්" අම්මා මැදිහත් වුවාය.
"ංආ!සරමක් නම් මාත් ගෙනැත් ඇති"පුංචි තාත්තා තුවාය අතට ගති.
පුංචි තාත්තා ගෙන ආ පාර්සල්වල ඇත්තේ මොනවාදැයි බලන්නට මට මහත් ආශාවක් ඇත.අම්මා ඒවාට අත වත් තබන්නට නොදී රැකගෙන සිටින්නීය.ඒවා දකින්නට ඉඩ ලැබුණේ පුංචි තාත්තා මුහුණ කට සෝදා ගෙන තුවායෙන් දෙකන් පිසිමින් ඉස්තෝප්පුවට ආ ඉක්බිතිවය.ඔහු එක් එක් පාර්සලය ලිහමින් ඒවායේ ඇති දේ තුන් දෙනා අතර බෙදන්නට විය.තාත්තාට සරමක් බැනියමක්,අම්මාට කම්බායක් හැට්ට රෙද්දක්,මට පුංචි සරමක් හා බැනියමක්,ඔහු නොලිහු පාර්සල් කිහිපයක් විය.ඉන් සමහරක වුයේ කැවිලි වර්ගය.සමහරක අවුරුද්දට අඩුවැඩියයි.
"සිල්ලර තුනපහ නම් මොකවත්ම ගෙනාවෙ නෑ.මොකටද එහෙ හිටන් උස්සගෙන එන්නෙ.මෙහෙන් ගන්ට තියෙද්දී.තව අඩුපාඩු මොනවද කිව්වොත් මට කිරිඳිවැලට දුවලා අරගෙන එන්ට පුළුවනි."
"මොනවටද..........? ඒ සේරම ජාති මෙහෙන් ගත්තා.මේ ගෙනත් තියන ජාති මදිවට!"අම්මා කීවාය.
"මම ඊයෙත් පොළට ගියා.අඩුපාඩු තිබිච්ච ඔක්කොම අද කිරිඳිවැලෙන් ගත්තා."තාත්තාද කීය.
"අද නම් වහී වාගෙ"තාත්තා අහස දෙස බලා කියයි.
"කොහෙද?මේ දවස් ටිකේම ඔහොම තමයි.නිකම් ගොඩ ගොරවල යනව."
තාත්තා මඩපලං සරමකුත් පුංචි තාත්තා පලයකාට් සරමකුත් ඇඳ සිටිති.තාත්තාගේ උඩු කය හිස්ය.පුංචි තාත්තා අත් දිග මේස් බැනියමක් ඇඳ සිටී.ඔහු තාත්තාට වඩා එළලුය.ඊට වඩා මඳ ඔතැනි කමකුත් ඇත්තා සේය.තාත්තාගේ මෙන් ඔහුගේ අත පය ගොරෝසු නැත.
සවස තාත්තා වෙල පල්ලෙහා ඇවිදින්ට ගියේය.මම වත්තේ ඔබ මොබ යමින් සිටියෙමි.පහළ ළිඳට ගොස් සිටි අම්මා නාගෙන ගෙදර ආවාය.ළඟින් යන විටත් ඇය සබන් සුවඳය.පුංචි තාත්තා ගෙනවුත් තිබු අලුත් සුවඳ සබන් ඈ පාවිච්චි කරන්නට ඇත.අම්මා තවම තරුණය.අද ඇගේ ඒ තරුණභාවය නට නටා ඉස්මතු වෙයි.
මඳ වෙලාවකට පසු ගෙටවුත් සාලයට ගියවිට මා දුටු දර්ශනය බලාපොරොත්තු නුවුවක් විය.පුංචි තාත්තා සාලයේ ජනේලය අද්දර පුටුවක වාඩිවී සිටියේය.අම්මා ඒ ලඟම ඉදිරිපිට මිටි බංකුවේ ඉඳියි.ඔහු ඇගේ හිස පීරමින් උකුණන් බිඳියි.ඇගේ උඩුකය පුංචි තාත්තාගේ දෙදණහිස් අතර හිරවී ඇත.මා සාලයට ඇතුළු වන විට එය බලාපොරොත්තු නුවූ අවස්ථාවක සිදු වූවක් හෙයින් අම්මා මඳක් වික්ෂිප්ත වූවාය.එහෙත් ඈ ඒ මොහොතේම එය නිවාගෙන යළි සන්සුන් වූවාය.මටද ලජ්ජාවක් ඇතිවූ නමුත් එය නොපෙන්වීම සඳහා සාලයේම නැති බඩුවක් සොයා පසුව එය සෙවීම පිණිස කුස්සියට රිංගුවෙමි."ඒ ළමයත් මේවට පුරුදු වෙන්ට එපායැ?"අම්මා කියනු මට එතැනට යන්තමට ඇසිණි.
මා ගෙයින් පිටවූයේ සාලය හරහාම අවුත් ඔවුන් දෙසද ආරූඪ කරගත් යථාස්වභාවයකින් බලමිනි.අම්මා මහත් සුවදායක සතුටකින් ඔලුව දීගෙන ඉඳින්නීය.ඈ ඔලුව වරින් වර ගස්සා දෙකන් අතරින් දෑත් යවා කෙස් කළඹ සකස් කළාය.ඔවුහු එසේ ඉඳ ඉතා කුළුපග ලීලාවකින් කතා කරති.වැඩිපුර කතාකළේ පුංචි තාත්තාය.අම්මා වරින් වර හිස සොල්වා කන් පාදමින් ඕනෑකමෙන් සවන්දෙයි.
ඔවුහු තාත්තා එනතුරුම මේ අන්දමට සිටියහ.ගෙට ගොඩවුණු තාත්තා වරක් පමණක් ඔවුන් දෙස බලා හිස හරවාගෙන කුස්සියට ගියේය.අම්මා පුංචි තාත්තාගේ දෙකලවාවලට දෑත් ගසා නැගිට "මං එන්නම් අය්යට තේ එකක් හදලා දීලා"කියමින් කුස්සියට ගියාය.ඒ ගියාට පසු ඈ යලිත් පුංචි තාත්තා කරා නාවාය.පුංචි තාත්තාද ඈ එනතුරු බලා නොසිට නැගිට වෙනත් වැඩ කටයුතුවල යෙදෙන්නට විය.
එදා රාත්‍රී කෑම මේසය මඟුල් මේසයක් හා සම විය.අය්යා මලෝ දෙදෙන ඔවුන්ට පෙරැත්තද කරමින් කෑම බෙදුහ.අම්මා හැම දෙයක්ම තාත්තාට පළමුවෙනුත් ඊළඟට පුංචි තාත්තාටත් බෙදුවාය.ඒ හැම දෙයක්ම කිරා බලා බෙදුවාක් මෙන් සමෝසම විය.හැම දෙනාම මටද විමස විමසා බෙදුහ.පුංචි තාත්තා මට යමක් බෙදනවිට හෝ බෙදන්නට විමසන විට "ඔයා නිකම් ඕවා අනල දානව විතරයි.කන්නෙ නෑ.පේන්නෙ නැද්ද? කැඳ නැති ගෙදරක වගෙ"යැයි අම්මා හෝ තාත්තා කියයි.
කෑමෙන් පසු පිළිසඳර සමයයි.වෙනදා කුප්පි ලාම්පුවේ කණමැදිරි එළියෙන් එළිය වන ඉස්තෝප්පුව තේජවන්තව බබලන පැට්‍රොමැක්ස් ලාම්පුවෙන් ආලෝකවත් වෙයි.ඉස්සර වතාවක එය ගෙනැවිත් ඇත්තේ පුංචි තාත්තාය.අවුරුද්දට ගේ ඉදිරිපිටින් තාත්තා පත්තු කළ මල්පැලේ පොල්තෙල් පහනේ දුබල එළිය පැට්‍රොමැක්ස් ආලෝකයෙන් ඉවතට තල්ලු වෙයි.
"කොහොමද මේ දවස්වල වෙළඳාම සරුද?"තාත්තා අසයි.
"වෙළඳාම නම් කවදත් නරක නෑ.නමුත් ණය එකතු කරන එක තමයි හරිම කරදරේ."
"අතේ සල්ලි දීලා බඩු අරගෙන ණයට දෙන්ට ඕනැයි"අම්මා කියන්නීය.
"ණයට නොදී අමාරුයි.එතකොට උන් දෙමළ මරක්කල කඩවලට යනවා.කොහොමටත් සිංහල මිනිස්සු වැඩියෙන් කැමතියි දෙමළ මරක්කල කඩවලින් බඩු ගන්ට."
"ඒ මොකද ඒ?"
දෙමළ මිනිහා මරක්කලයා කවදත් අපෙන් වෙන් වෙච්ච එකාමයි.ඌ දුප්පත් වෙලා ඉඳගෙනම වෙන් උණත් එකයි.පොහොසත් වෙලා වෙන් උණත් එකයි.සිංහලයා දුප්පත් මිනිහෙක් හැටියට එකට ඉඳලා සරු උණහම වෙන් වෙනව.මිනිස්සු ඒක ඉවෙන් වගෙ දැනගෙන සිංහලයො දියුණු වෙනවට කැමති වෙන්නෙ නෑ.දුප්පත් සිංහල මිනිහෙක් දියුණු වෙනව කියන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට තමන්ගෙන් එකෙක් නැතිවෙන එක.නැති වෙනව විතරක් නෙවි.ආඩම්බරකාරයෙක් ඇති වෙනව.
"ඒක නෙවි උන් වෙළඳාමට සූරයි"තාත්තා කීය.
"ඉතින් උන් කොහොමද ණය එකතු කරගන්නෙ?"අම්මා කුතුහලයෙන් අසයි.
"සල්ලි නුදුන්නොත් අස්වැන්න කාලෙට කුඹුරටම ගිහින් වී ටික අරගෙන එනව.උන් ණය දෙන කොට දෙන්නෙ වෙස්සන්තර රජ්ජුරුවො වගෙ.ණය එකතු කරන කොට යම රජ්ජුරුවො වාගෙ.ඉතින් අපට පුළුවනැ ඒ විදියට කටයුතු කරන්ට."
"ඒක තමයි මම කිව්වෙ සිංහලයට වෙළඳාම් කරන්ට බෑ කියල.ඕනැවට වඩා හිත උණු වෙනව."
"අනේ ඉතින් වෙළඳම් කරයි කියලා මනුස්සයො උණහම එහෙමත් කළ හැකිද?"අම්මා අසන්නීය.
"එහෙ මිනිස්සුන්ට නම් කොහොමත් ඒක කරන්න බෑ.උන් ඒ තරමට අහිංසකයි.තියෙන සිංහල කඩ ටික හරි දාලා තියෙන්නෙ පිටින් ගිය මිනිස්සු.දැන් තමයි ඒ අය ටිකක් හරි වෙළඳාමට බහින්නෙ.කලින් නම් ඒවාට කැමැත්තක් තිබිලම නෑ."
මම පුංචි තාත්තා ගෙනවුත් දුන් රතිඤ්ඤ පෙට්ටියේ එක එක රතිඤ්ඤය ගලව ගලවා පත්තු කරමි.පානට අල්ලා නූලට ගිනි දැල්වීමත් සමග සිහින් එළිය කූරු රැසක් ශීඝ්‍රයෙන් විහිදුවන රතිඤ්ඤ කරල මිදුලට විසි කළ විට ක්ෂණික ආලෝකයක් හා මහ හඬක් නඟාගෙන පුපුරයි.රතිඤ්ඤ අවසන් වූ විට නිලා පත්තු කරමි.කතා කරන අතර අම්මා මගේ ක්‍රියාව ගැනත් වචනයක් දෙකක් ඇතුළත් කරන්නීය.
"වෙනද මෙලහකට හොඳටම නිදි.අද නිදිමත පළාතක නෑ."
"හෙටයි අවුරුදු.හෙටටත් ටිකක් ඉතුරු කරගනින්."
මම ඒ නොඇසු කන්ව මගේ කාරියෙහි යෙදෙමි.
මට දී තිබු රතිඤ්ඤත් නිලාත් අවසානය.මම තාත්තා ඉඳගෙන සිටින ඇඳේ බිත්තිය අයිනෙන් දිගා වෙමි.පුංචි තාත්තා ලී පුටුවෙහිය.අම්මා බංකුව මතය.තවමත් ඔවුහු කතා කරමින් සිටිති.
"අය්යා මේ පාර මීගහකුඹුර වැඩ කළේ නැතෙයි?"
"මොකද නැත්තෙ?ඕක අඳේට දුන්නා නම් ඔය අස්වැන්නෙන් බාගයක් ගන්න පුලුවන්ද?බලාපන්කො අර එහා කාමරේ මුතු ඇට වගෙ තියෙන වී ගොඩ දිහා,එක බොල් ඇටයක් තියෙනවද කියලා."
"ඕක බේරාගන්න එක තමයි වැඩේ.දැන් හැමෝම එයි ඕකෙන් බිත්තර වී ඉල්ලාගෙන"අම්මා ඊට එක් වන්නීය.
"අර පබිලගෙ වී කොටහ ගෙනත් දුන්නෙ නැද්ද?"එයින් අමතක වුවක් මතක් කරමින් තාත්තා අසයි.
"වටද්දර අක්කා අද ළිඳ ළඟදි හම්බ වෙලා කිව්වා අවුරුද්ද පහුණ හැටියෙම ඒක ගෙනැත් දෙනවයි කියලා."
"හැමදාම ඔහොම තමයි කියන්නෙ.ණයක් ගන්න කොට තියෙන ඕනෑකම නෑ ඒක ගෙවන්න.මීට පස්සෙ නරකයි ඕකුන්ට කිසි දෙයක් දෙන්ට."
කතාබහ අතරින් කාලය ගත වී යයි.
පැට්‍රොමැක්ස් ලාම්පුව නිවේ.සඳ නැග ඒ.කොළ අතුරින් පෙනෙන සඳ මඬලින් ගලා හැලෙන සුදුරැස් බිත්තියේද විසිරෙයි.එක එක හැඩකොළ අතු එහි ලස්සණට සටහන් වී ඇත.අවදිව සිටීමට උත්සාහ කළත් සීතල,නිසල බව,සඳ රැස මා නින්දේ ඔබාලයි.
මට රෑ ඇහැරිණි.වෙනදාත් තාත්තලා කතාබස් කරමින් සිටින අතර මට මෙසේ නින්ද යයි.එහෙත් පසුදා උදේ නැගිටින විට මා සිටින්නේ මෙතැන නොව ගෙයි ඇඳේයි.අද වෙනසක් ඇති බව සිහිනෙකින් මෙන් මට දැනෙයි.මෙසේ අවේලාවට ඇහැරෙන්නට ඇත්තේත් ඒ නිසා විය යුතුය.
ඇඳේ මා ළඟ කෙනෙක් සැතපෙයි.මම හෙමින් හිස මඳක් ඔසොවා ඒ කව්දැයි බලමි.ඒ තාත්තාය.ඇයි තාත්තා මෙතැන?කෝ අම්මා?
සඳපහන බිත්තියෙනුත්,ඇඳෙනුත් ගෙබිමෙනුත් බැස ගොස් ඇත,එය මිදුලේ පෙරටත් වඩා ඝනව පවතී.නමුත් ඉස්තෝප්පුව අද්දර අඩි දෙකක පමණ කළුවර තීරුවක් ඇඳී ඇත,ඒ ගෙයි සෙවණැල්ලයි.රෑහි නාදය නොනවතින ගීතයක් මෙන් ඇසෙයි.මට යළිත් නින්ද යන්ට ඇත.
පසුදා මා අවදිවුයේ ප්‍රබෝධමත් ලෝකයකටය.ගේ පමණක් නොව වත්ත පිටියත් වෙනදාට වඩා ආලෝකවත් වී ඇතැයි සිතේ,තාත්තා ඇඳේ නොවීය.ගෙතුළ කලබල ශබ්දය ඇසේ.මම පොරොවා සිටි රෙද්ද දෝත විදහා පස්සට වීසි කරමින් ඇඳෙන් පැන්නෙමි.අම්මාත් පුංචි තාත්තාත් ගෙයි රාමෙට වැඩ.අතුපතු ගෑම්.අස්පස් කිරීම්.අඩුවැඩිය පිළිවෙළ කිරීම්.
"ංආ මෙන්න පුතත් නැගිටලා ඇවිත්"පුංචි තාත්තා කීය.
"අදද අම්මේ අවුරුදු?"
"ඔව්!පුතා.ඒක නේන්නම් මේ තරම් වැඩ.ඒක හින්ද හොඳ පුතා වගෙ පෙරැත්ත කරන කල් ඉන්නෙ නැතුව අඟුරු කෑල්ලකින් හොඳට දත් ටික මැදලා වෙලට ගිහින් මූණ සෝදගෙන එන්න."
වෙනදා නම් මා යන්නේ අම්මා දෙතුන් වරක් ආදරයෙන් කියා බැරි තැන තර්ජනයද කළාට පසුවය.එහෙත් අවුරුද්ද දා එසේ නොකොට එක්වරම යන්ට සිතීමි.
"කෝ දෙන්න එහෙනම් අඟුරු කෑල්ලක්."
අම්මා ලිපෙන් අඟුරු කෑල්ලක් ගෙනාවාය.මා එය ගැනීමට අත දික් කළ නමුත් ඈ එය මගේ අතට නොදී මේසය මත තැබුවාය.මම එය රැගෙන හප හපා දත් මදිමින් වෙල දෙසට දුව ගියෙමි.
"ංආ අන්න හොඳ පුතා.දැන් ඉතින් ඔය පරණ ඇඳුම ගලෝල දාලා පුංචි තාත්තා ඊයෙ ගෙනැත් දීපු අලුත් ඇඳුම් ඇඳ ගන්න."මා මූණ සෝදාගෙන ආපසු පැමිණි විට අම්මා කීවාය.
"මෙන්න පුතාට තව රතිඤ්ඤ පෙට්ටියක්.හැබැයි මේක පත්තු කරන්නෙ අවුරුද්ද ලබන වෙලාවට."මම ඇඳුම්වලටත් කලින් පුංචි තාත්තා දුන් රතිඤ්ඤ පෙට්ටිය අතට ගතිමි.
අම්මා මිරිස් අඹරයි.එළවලු කපයි.පුංචි තාත්තා පොල් ගායි,බෝංචි කඩයි.අවුරුද්ද ලැබීමෙන් පසු වැඩපල නතර කළ යුතු නිසා ඔවුහු දැන්මම මේවා පිළියෙළ කර තැබීමට යති.තාත්තා වෙලේ සිට ගෙදර පැමිණියේ ඔවුන් මෙසේ එක සීරු වැඩෙහි යෙදී සිටියදීය.තාත්තා නම් ගෙදර වැඩපලට සහභාගී වෙන්නේ නැත.ඒ තියා මේ වෙලාවට ගෙදර ඉන්නේවත් නැත.අද අවුරුද්ද නිසා ඔහුට යාමට තැනක් නැත.ඔහු හැමදාම යන තේ කඩයත් වසලාය.අම්මා සාමාන්‍යයෙන් ඔහුට වැඩ නියම නොකරන නමුත් අදනම් ඔහුගෙනුත් ගැනීමට තරම් වැඩ ඇත.
"දැන් අවුරුද්ද ලබන කොට ලිප් නිවන්න එපායැ.පුළුවන්ද ඔය ගල් තුනක් ළං කරලා එළියෙන් ලිපක් බඳින්ට?"
ඔහු අම්මාගේ අණපනත් නොතකන්නෙකු වුවද එදා සුවච කීකරු සේවකයෙකු මෙන් එය කරන්ට විය.ඔහු එය අවසන් කළ විට අම්මාගෙන් තවත් ආරාධනයක් පැමිණියේය.
"පුළුවන් නම් ඔය අඩි දෙක තුන නැඟලා පුවක් මලක් කැඩුවා නම් පන්සලට ගෙනියන්න."
තාත්තා මෙයද කිසි පැකිළීමක් නැතිව ඉටු කළේය.ඉන් පසු ඔහුට කරන්නට දෙයක් නොමැති විය.ඔහු කෙළේ වරින්වර මිදුලට බැස පයින් තම සෙවණැල්ල මැනීමය.
උදේ පියවර පහකුත් අඟල් දෙකට හතර අතින් රතිඤ්ඤ පත්තු වන්නට විය.මමද පුංචි තාත්තා දුන් රතිඤ්ඤ පෙට්ටිය ගලවා ගිනි තැබීමි.එය එකිනෙක පරයා හඬ නඟමින් පත්තු වන්නට විය.අම්මා ලිප ගිනි නිවුවාය.සියල්ලෝම වැඩ අත්හිටවූහ.දැන් නොනගතයයි.ගත පමණක් නොව සිතද සැහැල්ලුය.බලන බලන හැම පැත්තේම ඒ සැහැල්ලු නිවුණු ගතිය දක්නට ඇත.
"පුතත් සුදු සරමයි බැනියමයි දාගෙන ලෑස්ති වෙන්න පන්සලට ගිහින් එන්ට"මඳ වෙලාවකට පසු මට කියූ අම්මා තොමෝද මුහුණ අත්පා සෝදාගෙන ඇඳ පැළඳ ගන්නට වුවාය."තාත්තා ඉතින් ගමේ පන්සලේ බුදුන් වඳින්නෙ නෑ නෙ." ඒ අතර ඈ පුවක්මල සුද්ද කරන තාත්තා දෙස බලා කීවාය.තාත්තා ඇත්තටම ගමේ පන්සලට යන්නේ නැත.කලින් කතා කරගෙන සිටියාක් මෙන් ඇගේ ඇණවුමක් නැතිවම පුංචි තාත්තා නම් ඇඳ ගත්තේය.
අම්මා තෙල්, මල්, පහන් අතට ගත්තාය.පුංචි තාත්තා ඒවා ඇගෙන් ඉල්ලු නමුත් ලැබුණේ පුවක්මල පමණි.
''අපි ගිහින් එන්නම් ඉක්මනට."
"අපි ගිහින් එන්නම් අය්යෙ."
"අපි යනව තාත්තෙ."
තාත්තා ඒ හැමට පිළිතුරු දුන්නේ හිස වැනීමෙනි.තනිවන තාත්තා දකින මට කනගාටුවකුත් උපදියි."තාත්තා විතරයි ගෙදර අපි ඉක්මනට එමු"යි අම්මාද කීවාය.අම්මාත් මාත් ඉදිරියෙන්, පුංචි තාත්තා පස්සෙන්,ගමන ඉතා හෙමින්.තාත්තා ගමනක් යන විට නම් ඔහු පස්ස නොබලා ඉදිරියෙන් යයි.අප ඔහුට ලං විය යුත්තේ හති දමා දිවීමෙනි.
පුංචි තාත්තාට මග දිගට කීප පළකදීම නතර වීමට සිදු විය.පාර අයිනෙ ගෙවල සිටියෝ අරුමැක්කේ ගමට පැමිණි ඔහු දැක වචනයක් දෙකක් කතා කිරීමට සිතූහ."කවද්ද ආවෙ? "කොහොමද දැන් සරුද?"කවද්ද යන්නෙ?"වැනි එක් බඳු ප්‍රශ්නමය හැම දෙනාම ඇසුවේ.පුංචි තාත්තා මේ ඒකාකාරී ප්‍රශ්නවලින් තෙහෙට්ටුවට පත් නොවී මඳක් නතර වී හැම දෙනාටම පිළිතුරු දෙයි.ඔහු නතර වූ විට අම්මාත් මාත් මඳක් ඔබ්බට ගොස් රැඳී සිටිමු.ඔහු ඉක්මන් ගමනින් අපට එක් වෙයි.ඇතැම් ගැහැනියක් අරුමයක් දුටු සේ නොපෙනී යන තුරුම මිදුලේ හිටගෙන අප දෙස බලා ඉඳියි.
පන්සලේ සිට අප ඉක්මනින් ගෙදර ආවේ නැකතට ලිප පත්තු කළ යුතු වූ බැවිනි.පියවරකුත් අඟල් දෙකට යලිත් රතිඤ්ඤ හඬ ඇසෙන්නට විය.අම්මා කලින් අළු ඇද සුද්ද කර තිබු ලිප උතුර බලා දැල්ලුවාය.පුංචි තාත්තාද ළඟ ඉඳගෙන ඇගේ හැම වැඩකටම උදව් වෙයි.
කිරිබතක්,සුදුබතක්,හත්මාලුවක්,මසක්,මාළුවක්,අලු කෙසෙල් බැදුමක්,අල හොද්දක්,පපඩම් යන මේ සියල්ල ඔවුහු මැජික් බලයකින් මෙන් ඉතා ස්වල්ප වේලාවක් ඇතුළත පිළියෙල කර දැක්වුහ.අම්මා ඉවීමට දක්ෂියෙකැයි ගම්ලියෝ කියති.ඇගේ ඒ දක්ෂකම මතු වන්නට මෙවැනි අවස්ථාවක්ම එළඹිය යුතු වෙයි.
ගෙයි මැද සාලයේ පැදුරු එළෙයි.ඒ මතට බත් මාළුපිනි පමණක් නොව කැවුම්,කොකිස්,මුං කැවුම්,අග්ගලා හා කෙසෙල් ගෙඩිද පැමිණෙයි.අපි-පිරිමි තුන්දෙනා-ඒ අවුරුද්දට නියමිත පාට වු නිල් පැහැති රෙදි හැඳ නැගෙනහිරට මුහුණ ලා වාඩි වීමු.අම්මා පීරිසියක් මත තැබූ පොල්තෙල් පහනක් ගෙනවුත් තාත්තා ඉදිරියෙන් තබා ගිනි පෙට්ටියක් ඔහු අතට දෙන්නීය.තාත්තා නියමිත මොහොතේ ගිනිකූරක් ගසා එය දල්වයි.
අම්මා කිරිබත් කුට්ටියක් ගෙන වට්ටියක තබයි.ඉන්පසු ඈ ඉතිරි කෑම වර්ගවලින්ද ස්වල්පය බැගින් ගෙන එහි තැන්පත් කරන්නීය.අපි අප බෙදාගත් සියලු දෙයින්ද ස්වල්පය බැගින් එහි තබමු.ඉන් පසු ඈ එය පොල්තෙල් පහනත් සමග ගෙන් පිටතට ගෙන ගොස් ගස් දෙබලක තැන්පත් කරන්නීය.ඒ අවුරුදු දේවතාවාට කරන පූජාවයි.දැන් හැමෝම කෑම කති.බෙදිල්ලට පොර.පෙරැත්තය.
ගනුදෙනු අවස්ථාවේදී තාත්තාට මුලින්ම බුලත් අත දී වැන්දේ අම්මාය.බුලත් කොළයකම ඔතා ඈ දුන් රුපියල් පහට ඔහු දහයක් දුන්නේය.අම්මා රුපියල් පහක් දුන් විට පුංචි තාත්තා දුන්නේ රුපියල් පණහකි.හැම දෙනාගෙන්ම මට රුපියල් දෙක බැගින් ලැබිණ.
මුළු දවසම කවුරුත් ගත කරන්නේ ඉතා සන්තෝෂයෙන්!අපි රාත්‍රිය මැද්දටම කතාබස් කරමින් ඉඳිමු.කිසිවෙක් අදවත් මා ගෙතුළ නිදි කරවීමට උනන්දුවක් නැත.මමද ඔවුන්ගේ කටවල් දෙස බලා ඉඳිමි.කතාව දැන් බිඳ වැටෙමින් නැගිටිමින්,එකතු වෙමින් අමාරුවෙන් ඉදිරියට යයි.මටද නිදිමතය.මට නින්ද ගිය නොගිය තරම්ය.
"හොඳටම රෑ වෙලා,දැන් නම් නිදිත් මතයි"කියමින් අම්මා නැගිට්ටාය.
"මට වතුර වීදුරුවක් දෙනවද?"පුංචි තාත්තා ඇසීය.තාත්තා මා ලඟින්ම ඇඳේ දිගා විය.
අම්මා වතුර වීදුරුවක් ගෙනාවාය.පුංචි තාත්තා ඉන් කට සෝදා උගුරක් බී වීදුරුව තැබීමට ගෙට ගියේය.අම්මා ඉස්තෝප්පුවේ දොර වසා පොල්ල දැම්මාය.
ඉස තෙල් ගෑමේ නැකත වුයේ පහළොස් වෙනිදාය.එදා සම්පූර්ණයෙන්ම තාත්තාගේ දවස විය.ඔහු උදේම හීරළු ගෙදරට ගොස් දිවුල් කොළ මිශ්‍ර නානු රැගෙන ආවේය.ඉස්තෝප්පුව මැද කුඩා සුදු වියනක් බැඳ එහි දිවුල් කොළ එල්ලා ලීය.පයට ඉඹුල් කොළ එලීය.නැකත ලැබූ විට සුදු ඇඳගත් අම්මා ඉඹුල් කොළ මත නැගිණ."සබ්බීතියා විවජ්ජන්තු,සබ්බරෝගෝ විනස්සතු.මේ ලැබූ අලුත් අවුරුද්ද සියලු රෝග පීඩාවලින් තොර සැපවත් එකක් වේවා"යි ඔහු ඈ හිස නානු මිශ්‍ර තෙල් ගාමින් ආශීර්වාද කළේය.ඈට ඉක්බිතිව නැගුණු බාප්පාටත් මටත් ඔහු එසේම හිස තෙල් ගා ආශීර්වාද කළේය.අවසානයේ තෙමේම තම හිස මත තෙල් ගාගති.
පුංචි තාත්තා පැමිණ සිටි කාලය අප කවුරුත් ගත කෙළේ ඉතාමත් ප්‍රීතියෙනි.තාත්තා වෙනදාට වඩා ගෙදර අඩුපාඩු අඩුවැඩිය එළවලු මාළුපිනි සොයා පිරවීය.අම්මා වෙනදාට වඩා රසට ඒවා ඉවුවාය.පුංචි තාත්තාද නිකම් නොඉඳ දෙන්නාගේම වැඩවලට උදව් විය.කිවුලෙ ලියැද්දේ ඉතුරු කොටසත් සල්ලිවලට ගන්නයි කියා ඔහු රුපියල් දෙසීයක් තාත්තාට දුන්නේය.නොයෙක් විට ඔහු මා ලං කරගෙන යාළුවෙකු සමග මෙන් නොයෙක් කයි කතන්දර කියවීය.හිඟුරක්ගොඩ පළාතේ කැලෑබද ජීවිතය ගැන කළ විස්තරයි,මගේ සිත වැඩියෙන්ම ගත්තේ.එහේ ගෙවල් දොරවල් කුඩාය.සතා සරුපයාද ඇත.ඒත් මගේ සිත තුළ ආශාව වර්ධනය වෙයි.
"පුතත් කැමතිද හිඟුරක්ගොඩ යන්න?"වරෙක ඔහු මගෙන් අසයි.
"ඔව්"මම එක්වරම කියමි.
"එහෙනම් එන්න අම්මයි තාත්තයි එක්ක"
"අපොයි අම්මලා එන එකක් නැහැ."
"ඇයි නැත්තෙ.පුතා උපදින්ට ඉස්සර අම්මයි තාත්තයි කීප වතාව එහෙ ගිහින් සුමානෙ දෙක ඉඳලා ඇවිත් තියෙනව."
"ඒ වුණාට දැන් නම් කොහෙවත් යන්නෙ නෑ."
"දැන් එහෙමයැ හරියට වැඩ නෙ."
"වැඩ!වැඩ!හැමදාමත් වැඩ!"
"එහෙම කියන්ට එපා.මේ සේරම අපි මහන්සි වෙලා හම්බ කරන්නෙ පුතාටනෙ."
"මට?"
"ඔව්,පුතාට...පුතාටයි....පස්සෙ පුතාට නංගියෙක් හෙම හම්බ උණොත් ඒ නංගිටයි"
"නංගියෙක්?...මට කොයින්ද නංගියෙක්"
"නෑ තමයි.ඒ උණාට අම්මා හරි කැමැත්තෙන් ඉන්නව පුතාට නංගියෙක් ගෙනැත් දෙන්ට.ඒකයි මට එහෙම කියවුණේ."
මම සිතුවිල්ලට වැටෙමි.ඒත් මට නංගියෙකු ලැබෙන සැටියක් සිතාගැනීමට නොහැකිය.
"අපි යමුද පුතා වෙල පැත්තෙ?"
"යමු."
වෙල අද්දර කැලෑ රොද පසු කරද්දී පුංචි තාත්තා ගස්කොළන් පිළිබඳව හුඟක් කරුණු මට කියා දුන්නේය.වදුලෙන් ඉදුණු හිඹුටු ගෙඩියක් කඩාගත් ඔහු එය මට කන්ට දුනි.දං පේර කා තිබුණත් මා හිඹුටු කා තිබුණේ නැත.එය ඉතා රසවත් යැයි මට සිතුණි.පුංචි තාත්තා හැමදාම මෙහි ඉන්නේ නම් කොයි තරම් හොඳද?
පසුවදා අප කාටත් එතරම් ප්‍රීතිමත් දිනයක් නොවීය.එදා රැකීරක්ෂා සඳහා පිටත් වන වේලාවට පුංචි තාත්තා ගෙදරින් පිටව හිඟුරක්ගොඩ යෑමට තීරණය කර සිටියේය.එදා උදේම අම්මා කෑම පිළියෙල කළාය.උදේ වැඩිකම නිසා කෑවේ පුංචි තාත්තා පමණකි.අප කාගේත් මුහුණු සෝබරව පැවතිණි.ඔහු මඳක් වේලා පුටුවක් මත හිඳ ගෙන සිට උතුර බලා දකුණු පය පෙරට තබා ගමන් ඇරඹීය,අපි ඔහු පසුපස ගමන් ගතිමු.වැට කඩුල්ල ළඟදී ඔහු සමු ගන්නා විට අම්මාත් මමත් ඔහුට වැන්දෙමු."මල්ලිට තුනුරුවන්ගෙ පිහිටයි"තාත්තා කීය.අපි තිදෙන ඔහු නොපෙනී යන තුරු එහි බලාසිටියෙමු.