Monday, March 17, 2014

120.මදුමල සහ ගොඩ්ෆ්‍රිගෙ මඤ්ඤොක්ක හැළිය


අපේ ගමට බෝඩිංකාරයො හැටියට ඉස් ඉස්සෙල්ලම ආවෙ රෙදි මෝලේ වැඩකරපු ඔය හලාවත ගොඩ්ෆ්‍රිල සෙට් එක  කියල මම කලින් කතාවකදිත් කිව්වනෙ,ඉතිං ඔය කට්ටිය දනියෙල්ලගෙ ගෙදරට ඇවිත් ටික දවසකින්ම අපේ ගෙවල්වල අයත් එක්ක බොහොම හිතවත් වුණා,කට්ටියම නාන්න එන්නෙත් ඒ කාලෙ බොහොම ජනප්‍රිය වෙලා තිබ්බ  අපේ නාන ලිඳ ටයි....

ඔය කාලෙ සිද්දවෙච්ච විශේෂ සිද්දියක් මට අද වාගෙ මතකයි,ඒ ගායකයෙක් හැටියට පස්සෙ කාලෙක ඉතාම ජනප්‍රියවූ  මිල්ටන් මල්ලවාරච්චිගේ මඩු බැසීමයි,අද වගේ  සල්ලි වියදං කරලා සී ඩී එකක් හදාගෙන එෆ් එම් චැනල් එකකට සල්ලි දීල ප්‍රචාරය කරවගෙන ගායකයෙක් වෙන්නට එදා පුළුවන්කමක් තිබුනෙ නෑ...

ඉස්සෙල්ලම රේඩියෝ එකේ හඬ පරීක්ෂණයෙන් පාස් වෙලා සරල ගී වැඩ සටහනක් කරල ආදී වශයෙන් හරිම පිළිවෙලක් ඇතුවයි එදා ගායකයන් බිහිවුනේ,ඔය ආකාරයට මිල්ටන් මල්ලවාරච්චිත් හාපුරා කියා ඔහු සරල ගී වැඩ සටහනකට කියපු ගීත හතරක් පොඩි තැටියක් හැටියට නිකුත් කළා...එදා අද වගේ සී ඩී තියා කැසට්වත් තිබුනෙ නැති කාලෙ,තිබ්බෙ රැකෝඩ් ප්ලේයර් එකක ඉඳිකට්ටෙන් වාදනය වෙන කළු එල් පී තැටි,තැටි ජාති දෙක දෙපැත්තෙ සිංදු හතරක් තියෙන පොඩි තැටියත් දෙපැත්තෙ සිංදු අටක් තියෙන ලොකු තැටියත් යන තැටි වර්ග දෙකයි.මේ තැටි විවිධ වෙළඳ නාමයන්ගෙන් නිකුත්වුනා,ඇයි අපි ඒ කාලෙ රොටීවලටත් රැකෝඩ් කිව්වනෙ පොඩි රැකෝඩ් ලොකු රැකෝඩ් කියල...

ඉතිං මිල්ටන් මල්ලවාරච්චි හාපුරා කියල නිකුත් කරපු  රැකෝඩ් එකේ සිංදු හතර එක රැයෙන් රට පුරා ජනප්‍රිය වුණා,සිංදු ටිකට තරුණ තරුණියො පිස්සු වැටුණා...


රැකෝඩ් එකේ දෙපැත්තෙ තිබුනෙ ඔන්න ඔය සිංදු හතරයි,කොල්ලො කෙල්ලො වැඩියත්ම පිස්සු වැටුනෙ මදූ  මල ලෙස සිංදුවට...ඔය සිංදුවලට කොච්චර කැමති වුණත් අපට අවශ්‍ය වෙලාවට අහන්න බෑ මොකද තැටියක් හොයාගත්තත් රැකෝඩ් ප්ලේයරයක් කා ළඟවත් නොතිබුණු නිසා සිංදුව අහන්න රේඩියෝ එකේ වාදනය වනතුරු ඉන්න වුණා...

මමත් ඉස්සර මදු මල සිංදුවට ගොඩක් ප්‍රියකලත් මිල්ටන් ඊට ගොඩක් පස්සෙ කාලෙක ගායනා කල මෙන්න මේ ගීය පසුකාලීනව මගෙ හිත පැහැරගත්තා...කරුණාරත්න අබේසේකරයන් අතින් ලියවුණු ඉතාම භාවපූර්ණ පදවැලක් හැටියට මේ ගීතය හඳුන්වන්නට පුළුවනි,ගීතයෙන් කියැවෙන්නේ කාලෙකට පස්සෙ තම ප්‍රියාවිය දකින්නට යන තරුණයෙකුගේ සිතුවිල්ලකුයි...
බැඳන් ආවේ 
ආයාසයකිනි කියන්න බැරි තරමේ//

නිලුපුල් දෙනුවන් දැකගන්නයි
සුවඳැල් මුහුලස සිපගන්නයි
සුළැඟිල්ලෙන් ගෙන ලෙලවන්නයි
සිහිලැල් වදනින් සැනසෙන්නයි

ලියගොමු වියැලී මල් පරවී
අතුකොළ වැහැරී බිම වැටිලා
ඔබ ගිය වග සරණෙක බැඳිලා
කවුද කියයි මට කොඳුරාලා

සිතුම් පැතුම් පොදි ආදරේ...

තරුණයා තම පෙම්බරිය  බලන්නට යන්නෙ මොන තරම් බලාපොරොත්තු ගොන්නක් සිත දරාගෙනද, ඒත් ඔහුගෙ බලාපොරොත්තු කඩවෙන ආකාරය සිත්ගන්නා සුළු  ලෙස පද කීපයකට නංවා ඇති අකාරය ඉතාම මනහරයි නේද ගීතය අහලම බලන්න...

දවල්ට නාගන්න අල්ලපු වත්තෙ අඩිපාර දිගේ පහලට බැහැගෙන  අපේ නාන ලිඳට එන ගොඩ්ෆ්‍රිට අපේ ගෙදර රේඩියෝ එකේ මදූ මල සිංදුව යනව ඇහුනොත් නෑම පැත්තක තියල සිංදුව අහන්න ආපහු යනවා...දැන් ඉන්න කොල්ලො කෙල්ලො නං මෙහෙම කියනකොට හිනාවෙයි ඒ උනාට ඒ කාලෙ එහෙමයි සිංදු අහනව නං රේඩියෝ එකේ පිහිටම තමා,ඒ කාලෙ මගුල් ගෙවල් වලත් ලවුස්පීකර් වලින්නෙ  සිංදු දැම්මෙ එහෙම කරගන්න බැරි අය රේඩියෝ දැම්මා...කොටින්ම මම කැසට් ප්ලේයර් එකක් දැක්කෙත් අපේ පෝටවත්තෙ නැන්දගෙ දෙවෙනි දුව දීග දෙන මගුල් ගෙදරදිනෙ, එදා මනමාල පාරුසේ එක්කෙනෙක් කැසට් ප්ලේයර් එකක් ගෙනත් තිබුණා,කටත්  ඇරගෙන බලං හිටියට මොකද ඕකෙන් වෙන්නෙ මොනවද කියල මම දැනගෙන හිටියෙත් නෑ ,මනමාලය ධර්මෙ අපේ හොඳම යාලුවනෙ ධර්මෙත් රෙදිමෝලෙ වැඩට ඇවිත් ගොඩ්ෆ්‍රිලත්  එක්ක එක කාමරේ නැවතිල හිටිය කෙනෙක්, හැබැයි ධර්මෙ හලාවත නෙවෙයි දැදිගම...

ධර්මෙ කිව්වහම මතක්වුණේ අපේ ඔෆිස් එකේ ධර්මසිරි කියල කොල්ලෙක් හිටිය හරි විහිළුකාරය මිනිහටත් අපි ධර්මෙ කියලයි කිව්වෙ,දවසක්දා මේ ධර්මෙ බ්‍රාන්ච් එකේ වැඩකරන නෝන කෙනෙක් එක්ක ආගිය කතාවක්...

ඉතිං මිස් මම මිස්ල ඉන්න  පැත්ත හොඳට දන්නවනෙ...

අපි නං ලඟදි ඒ පැත්තෙ පදිංචි උනේ ධර්මෙ...

මමනං ඒ පැත්ත  හැමතැනම වගේ දන්නව මිස්ලගෙ පංසලේ ලොකු හාමුදුරුවො මගෙ හොඳම හිතවත් හාමුදුරුනමක්නෙ...

ඇත්තද ධර්මෙ...

එහෙනං...මිස් පංසලට ගිය වෙලාවක ලොකු හාමුදුරුවන්ගෙන් අහන්නකො ධර්මෙ දන්නවද කියල...

මිස් පන්සල් ගිහිං හාමුදුරුවන්ගෙන් අහපුවම හාමුදුරුවන්ට මල පැන්න පාර ඔහොමම වාඩිවෙන්න නෝනා කියල පැයක් බණ කිව්ව කිය කිය ධර්මෙ හිනාවුණා...

ඉතිං ගොඩ්ෆ්‍රිල ගමට ඇවිදින් අවුරුද්දක් විතර වෙද්දි අපේ මහප්ප නැතිවුණා, හත් දොහේ දානෙට මාළු ගේන එක ගොඩ්ෆ්‍රි කැමැත්තෙන්ම ඇඟට ගත්තා, තනියට මාවත් අඬගහගෙන දානෙට කලින් දවසෙ ගොඩ්ෆ්‍රි  හලාවත යන්න පිටත් උනා, ඒ මම හලාවත ගොඩ්ෆ්‍රිලගෙ ගෙදර ගියපු ඉස්සෙල්ලම දවස...

ගෙදරින් දවාලක පිටත්වෙච්චි අපි බස් එකේ මීගමුවට ඇවිත් මීගමුවෙ කොරනේෂන් හෝටලෙන් දවල්ට කාල එහෙම  හලාවතට ආවා හලාවත ලංසියවත්තෙ ගොඩ්ෆ්‍රිලගේ ගෙදර පිහිටල තිබ්බෙ හරි අපුරු තැනකයි...ගේ ඉස්සරහම පාර ඊට එපිටිං රේල් පාර ඊළඟට කලපුව අපි ගොම්මනේ ගෙදරට ගොඩවෙන වෙලාවෙ දැනුන කලපුවෙ සිහින් රළ පෙළ සිපගෙන ආව ලුනුමිශ්‍ර කළපු හුළං වල සුවඳත් ඊට පොඩ්ඩකට පස්සෙ හුවක් කියාගෙන එතනින් ඇදිල ගිය හවස බංගදෙනිය කෝච්චියත් මට අද වාගෙ මතකයි... 

ගොඩ්ෆ්‍රිගෙ තාත්ත නෑ, අයියයි නංගියි මල්ලියි,අයිය බැඳල වෙනම පදිංචිවෙලා හිටියෙ හලාවත ටවුමෙමයි අනික් තුන්දෙනා අම්මත් එක්ක මහගෙදර පදිංචිවෙලා හිටියා,ගොඩ්ෆ්‍රිලගෙ අම්මා ගෙට පිට පැත්තෙන් තිබ්බ කුස්සියෙම පොඩි කඩයකුත් කළා...කට සැර හැම තිස්සෙම කියෝන කඩකාර ඉස්තිරියාවක් හැටියටත්  ඉතාම මෘදු ගතිගුණ ඇති කරුණාවන්ත මවක් හැටියටත් ඇය ද්විත්ව චරිත රඟපෑවයි කිව්වොත් නිවැරදියි,ඇගෙ කෑම ඉවිල්ල ගැනනං ඉතිං කියන්න දෙයක් නෑ උයන දේ ගෑවුණු තැන කන්න පුළුවනි විශේෂයෙන් මාළු, හලාවත වැල්ලෙන් අරං එන අලුත් මාළු මිරිසට කිරට බැදුමට ආදී ඕනෑම ආකාරයකට කටදිව පිනායන රසට හදන්නට ඇය හරිම සමර්ථයි, කොහොමත් ඒ පළාතෙ අය එළවලු ආහාරයට ගන්නෙ අඩුවෙන් නිසා  විවිධ ආකාරයට හදපු මාළු වර්ග කීපෙකුත් පෙළක් වෙලාවට කුරිඤඤං කොළ මැල්ලුමක් හෝ මුරුංගා වගේ එළවලුවකුත් ඇය දෙන රසම රස බත්පත සැරසුවා...

ඔය මාළු රසට උයන එක ලංකාව වටේම වැල්ලකරේ කාන්තාවො සියළුම දෙනාට  ආවේනික දෙයක්,හරියට උඩරට කාන්තාවො හදන පොලොස් ඇඹුල වගේ දකුණෙ කාන්තාවන් හදන ඇඹුල් තියල් වගේ, හලාවත ඉඳල කොළඹට එනකල් වෙරල තීරෙ කතෝලික අය බහුතරය වාසය කරන හරියෙ කාන්තාවො මාළු වගේම මසුත් හරි හරියට බොහොම රසට ඉව්වා...බස්නාහිර පළාතෙ රට මැද හරියට වෙන්න ඉපදිච්ච අපේ අම්මල අල බතල,කොළ පළා,එළවලු ජාති එහෙම බොහොම රසට හැදුවා...ගොඩ්ෆ්‍රිල කට්ටිය එකතුවෙලා දවසක්දා ලොකු මඤ්ඤොක්ක හැළියක් තැම්බුවා,හොඳ ජාතියක් හින්දත් එදාම ගලෝපු කොටුවක  මඤ්ඤොක්ක හින්දත් අල හැළිය පිටි ගොඩ වගේ හොඳට තැම්බූණා,දැන් මඤ්ඤොක්ක හැළිය කන්න ලුණුමිරිසකුත් හදන්න එපැයි...

අම්මට කියල හොඳ කොච්චි සම්බෝලක් තලෝගන්න බැරිවෙයිද...

ගොඩ්ෆ්‍රි ඇවිත් මගෙන් ඇහුවා...

මං අම්මට කියන්නංකො...

ගෙදර ඇවිත් අම්මට කියපුවම අම්ම මට වත්තෙ පඳුරෙන් කොච්චි කඩාගෙන එන්න කියල හොඳ සැරට කොළපාටට දඩ ලුණුමිරිස් තලියක් හදල කෙහෙල් කොළේක ඔතල දුන්නම මාත් ඒක ගිහිං ගොඩ්ෆ්‍රිට දුන්න, කට්ටිය එකතුවෙලා මඤ්ඤොක්ක පුරෝපු ලොකු බේසමත් මැදින් තියාගෙන හායි හූයි කිය කියා කඳුළු පෙරමින් තම්බාපු  මඤ්ඤොක්ක කොච්චි ලුණුමිරිසත් එක්ක හොඳහැටි කෑවා...

කොච්චි සම්බෝලෙ හදපු අත කපල තියාගන්න වටිනව...

ගොඩ්ෆ්‍රි කොච්චි ලුණුමිරිසේ රසේ පාරට්ටු කළේ එහෙමයි... 

අසුවෙ මහ ඉස්ට්‍රයික් එකටත් කලින් ගොඩ්ෆ්‍රි රස්සාවෙන් අස්වෙලා යන්න ගියා,ඔහු කොහෙ ගියාද මොනව උනාද කියල  ඊට පස්සෙ මට දැනගන්න ලැබුනෙ නෑ,මමත් ඒ කාලෙම වගේ රස්සාවට ගිය නිසා ඒ වැඩවලම යෙදුනා මිසක ගොඩ්ෆ්‍රි ගැන හොයා බලන්න වෙලාවකවත් උවමනාවක්වත් තිබුනෙ නෑ, කාලාන්තරේකට පස්සෙ අපේ කැලුම්ගෙ  මගුල් ගෙදරදි ගොඩ්ෆ්‍රි එක්ක කාමරේ එකට හිටපු ධර්මෙව මට හම්බවුණා, අපි දෙන්න පරණ කතා කියමින් ඉද්දි විය යුතු ආකාරයටම ගොඩ්ෆ්‍රි ගැනත් කතාව ඇදුනා...

අපිත් එක්ක හිටපු ගොඩ්ෆ්‍රි මතකද...

නැතුව, කෝ  දැන් මිනිහ කොහෙද...

මිනිහ ඒ කාලෙම බැන්දනෙ යාළුවෙලා හිටපු කෙල්ලක්ව,දැන් පදිංචි වෙලා ඉන්නෙත් ඒ ගෙදරමයි ඔන්න ඔය කටුවැල්ලේගම පැත්තෙ, හැරීගෙන් අහන්නකො මිනිහ නිතරම එහෙ යනව එනවත් එක්ක... 

ඊට පස්සෙ මම හැරී හම්බවෙලා විස්තර ඇහුව...

ගොඩ්ෆ්‍රි බැඳල ඉන්නෙ ලොකු බිස්නස්කාර මුදලාලි කෙනෙකුගෙ දුවෙක්නෙ,මම ඉඳහිට එහෙ යනවා,ලඟකදී නං ගියෙ නෑ...

ගොඩ්ෆ්‍රිගෙ ගෙදර නම්බර් එක හැරී ළඟ තිබුනෙ නෑ,ඒකත් වෙලාව නැත්නං ටෙලිපෝන් කරන්නවත්  තිබුණා... 

යමුද වෙලාවක මට ආසයි මිනිහව හම්බවෙන්න...

අපොයි යමු,මට කතාකරන්නකො මම එන්නං...

ඒ 2007 අවුරුද්ද, හැකි ඉක්මනටම ගොඩ්ෆ්‍රි හමුවෙන්න යන්න හිතාගෙන හිටියත් තව අද වෙන තුරු ඒ ගමන යන්නට නොලැබීම ගැන මගේ හිතේ තියෙන්නෙ ඉතාම වරදකාරී හැඟීමක්,ඒ කාලෙ ඉඳල අද  වෙන තෙක් මම වැඩිපුර හිටියෙ පිටරටවල බව ඇත්ත, නමුත් ලංකාවට ගිය වෙලාවක අවශ්‍යතාවක් තිබුන නං මට ලේසියෙන්ම යන්න තිබ්බ නේද කියල දැන් කල්පනාවෙනවා,ඊළඟ වතාවෙ යනව කියල හැමදාම හිතාගෙන ඉන්නව දැනුත් එහෙමයි, ඒ දිනේ කවදා ඒවිද ... 

අද අපේ පුතා හෙවත් හැලපැට්ටගෙ උපන්දිනේ,පුතාට තාත්තගෙ සුබ පැතුමත් මේ සමගම එකතුකරනවා...  



   



152 comments:

  1. හැලපැට්ටට සුභ උපන් දිනයක් පතනව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ්,වෙනදට අන්තිමටම එන මිනිහ අද උදේම ඇවිත්.

      Delete
  2. ඇත්තටම මගෙත් ඉන්නවා ඔයවගේ යාළුවො. හැමදාම හිතනවා බලන්ඩ යන්ඩ ඕනේ කියලා. කොහෙද හිතනවා විතරයි. ඔයා ඔය ගිය ගමන වගේ මමත් එක සැරයක් යාලුවෙකුගේ ගෙදර ගිහින් දවස් දෙකක් හිටියා. පොල් රා, බලමාලු, දෙල්, ඉස්සෝ, ඇඹුල් තියල්, මීකිරි, බඩ පැලෙන්ඩ කෑවා. මාව ඉදිමුනා බෝලයක් වගේ. ඉස්පිරිතාලෙන් ප්‍රතිකාර ගත්තා වගේම දැඩි අවවාදත් ලැබුණා.

    'මධුමල ලෙස' මගේ ජීවිතයට හරිම සමීප ගීතයක්. තවමත් හදවතේ තියන වේදනාවක් අවුළුවන ගීතයක්. මිල්ටන් මල්ලවාරච්චි මුල් කාලයේ පදිංචි වෙලා හිටියේ පිටකෝට්ටේ අපේ ලොකු අක්කලාගේ ගෙවල් ළඟ. ඒ කාලේ ගමේ අය මිල්ටන්ට කතා කලේ සුමනසිරි කියලා. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා. උදේ වැඩට යනගමන් අපේ අක්කට යන්නම් අක්කේ කියාගෙන යනවා මට මතකයි.

    ඔය සින්දු රෙකෝඩ් වර්ග දෙකක් තිබුණනේ. ඒ මෙන්න මෙන්න මෙහෙමයි.

    EP Records = Extended Play (speed 33 1/3 rpm) records for a few collected songs. maximum 5 songs.

    LP Records = Long Play (speed 45 rpm) records for song albums about 12 to 16 songs.

    ReplyDelete
    Replies
    1. මිල්ටන් මල්ලවාර්ච්චිගෙ මුල් නම මිල්ටන් නෙමෙයි. ඒත් මිල්ටන් පෙරේරට තිබ්බ ආසාව නිසා මල්ලාවරච්චිත් තමන්ගෙ ගායන ලෝකෙ නම මුලට මිල්ටන් කියල එකතුකරගත්තලු.

      Delete
    2. යනවනං මට හැම පහසුකමක්ම තිබ්බ විචාරක තුමා,ඒත් යන්න වුනේ නැති එකටයි මට කනගාටුව.රෙකෝඩ් ගැන කරපු පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි.

      Delete
    3. ඉන්දික,
      පැහැදිලි කිරීමට බොහොමත්ම ස්තූතියි,මේ මම අද වනතුරුම නොදැන සිටි කතාවක්.

      Delete
  3. හැලපැට්ටට සුභ උපන්දිනයක් පතන්න ඕන.. සුභ උපන්දිනයක් හැලපැට්යෝ.. හැලපේ මිල්ටන් කියන්නේ දෙනොදාහක් අඩවපු ගායකයෙක් තමා බං. එදා රෑ ගුවන් තොටුපලේ තමා මං කැමතිම..

    //මනමාල පාරුසේ// මං මේ පාරුසේ කියන වචනය දන්නෑ බොල.. තැන්කුයි හොදේ..

    ReplyDelete
    Replies
    1. අර මාරය ස්වර්ගත්ත - සුවාස් කළා වගේ පාර්ශවේ කියන එක වෙන්නැති පාරුසේ කරල තියෙන්නෙ.

      Delete
    2. ස්තූතියි දේශා,විරහ ගීය ජීවමාන කලේ මිල්ටන් මල්ලවාරච්චි.උඹගෙ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර ප්‍රසන්නගෙන් ලැබිල තියෙනව.

      Delete
  4. හුටා.........පැටියට සුබපතන්ඩ අමතක උනා. ඔන්න පැට්ටෝ විචාරක සීයාගෙන් සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක තුමා

      Delete
  5. පුත්‍ර රත්නෙට සුභ උපන් දින පැතුමන් කෙන්ජි අයියාගෙන්......!!!
    බලපන් මචෝ අවුරුදක් යන ඉක්මන...
    කතාව කියවල පස්සෙ එන්නං ...

    ReplyDelete
    Replies
    1. ඔව් මචං,ඒ පැත්ත බලල මේ පැත්ත බලනකොට අවුරුද්දක් ගිහිං,පුතාගෙ කෙන්ජි අයියට බොහොම ස්තූතියි.

      Delete
  6. උදේ පාන්දර බැඩ් ටී එකවත් නොගහා මේක කියවලා කරගත්ත ගොන්කමක්. කටට කෙල උනලා ගැස්ට්‍රයිටිස් හැදෙන පොටක් මේක :-)

    පොඩි හැලපයාට මගෙනුත් සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. කැන්ඩියන් බොහොම කාලෙකින්නෙ දැක්කෙ,ලියද්දි නොදැනුවත්වම කෑම ගැන ලියැවුනා.
      සුබපැතුමට බොහොම ස්තූතියි.

      Delete
  7. හැලපැට්ටා නොහාත් හැලප පුතාට සුභම සුභ උපන් දිනක් වේවා කියල සුභ පැතුම්!!!
    මිල්ටන්ගේ මදුමල මම ආසම කරන ගීයක් කැසට් එකේ රිවයින් කර කර දවස තිස්සෙම ඇහුවත් එපා වෙන් නෑ....

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. සුබපැතුමට බොහොම ස්තූතියි විදානේ,ඔබටත් ජයම වේවා.

      Delete
  8. ///මිස් පන්සල් ගිහිං හාමුදුරුවන්ගෙන් අහපුවම හාමුදුරුවන්ට මල පැන්න පාර ඔහොමම වාඩිවෙන්න නෝනා කියල පැයක් බණ කිව්ව කිය කිය ධර්මෙ හිනාවුණා../// පට්ට සීන් එක :D

    හැලපැට්ටට සුභ උපන් දිනයක් වේවා :)

    ReplyDelete
  9. කූර කෙලින් වෙන්න පටන් ගත්ත කාළේ තමයි මිල්ටන් කරලියට එන්නේ ඒ වෙනකොට මම තව මිල්ටන් කෙන්ක්ට ලව්, ඒ මිල්ටන් පෙරේරා. ජෝති ත්මයි නම්බර් වන්. ඒ තාත්තා නිසයි එහා ගෙදර ජෝති නිසයි. (ඒක වෙනම කතාවක්. කොහොම හරි හැලපයගේ එක පෝස්ට් එකක්, තව පෝස්ට් දහයකට පහළොවකට කරුණු සපයනවා.) මිල්ටන් පෙරේ රා ට වඩා ක්ලැරන්ස්ට ලව් කරපු මට, මිල්ටන් මල්ලවාරච්චි උන්ඩුකපුඡ්චයටම වදිනවා.

    පන්තියේ කොල්ලාන්ට ලව් ලෙටර් ලියලා දුන්නට. මගේ කෙල්ලන්ට මම ලව් ලෙටර් දෙන්න ගියේ නෑ. මොකෝ මම දන්නවා ඕක හොඳ සාක්කියක් වෙනවා කියලා පසු කාළිනව. ඒත් ලව් ලෙටර් එකක් ඉල්ලලා හොටු පෙරාගෙන අඬපු කෙල්ලන්ට, කැළණි පොත්හලෙන් ගන්න පාට කොළේක, කළු පාට බෝල්පොයින්ට් පෑනෙන්, මම ලියලා දෙන්නේ, "තනිවී සිටින්නයි මා අදහස් කළේ..." සින්දුව විතරයි, ආමන්ත්‍රන සුභ පැතුම් අනං මනං මොකුත් නෑ.. මගේ ඔය ආරක්ෂිත ඉයවර පසු කාළෙකදි, මට බොහෝම ප්‍රයෝජන උනා. ඒකත් වෙනම කතාවක්..

    එක්කෝ මේ ගැන පෝස්ට් එකක්ම ලියලා දානවා.. අමතක උනොත් මට මතක් කරහන් හැලපේ.. ඒක මම පිරිනමන්නේ හැලපෙටම තමයි..

    ReplyDelete
    Replies
    1. මට අමතක උනා බන්..

      පොඩි එකාට සුභ උපන් දියක් වේවා පුතේ....!!!

      සුබ අනාගතයක්...!!!

      Delete
    2. ඇදෙ ඉස්සර මගෙත් වැඩේ පන්තියේ එවුන්ට ලියුම් ලියලා දෙන එකයි....මොකද මම ලියුම් ලිව්වම වැඩේ හරියනවා කියලා කොල්ලොන්ට මාර ෂුවර් එකක් තිබ්බා.මම ලියලා ඇති ලියුම් 100කත වඩා , හැබැයි ඒ කාලේ අතමිට සරුයි .මොකද ආයේ ප්පිනට ලියුම් ලියලා දෙන්නේ නෑ කීයටවත්. කැන්ටිමෙන් කනවා බද පැලෙන්නේ ලියුම් ලියන්න කලින්,මොකද ලියුම ලිව්වට පස්සේ උන්ගේ නැට්ට වත් අල්ලන්න බෑ..
      ඒ විතරක් නෙවෙයි අනිවසරි වලට තෑගී සිලෙක්ට් කරන්නේ එහෙම මම . ගොඩක් වෙලාවට ඉතින් වටිනාකම වගේ දෙගුණයක් උන් ගෙවනවා ,මොකෝ ඕවා නිකන් කරන්න පුළුවන් යැයි

      Delete
    3. ඔය කියපු කතා ටික ලියවෙන පෝස්ට් එක ඉතාම රස වෑහෙන පෝස්ට් එකක් වෙනව නියතයි.මිල්ටන් පෙරේරා ගැනත් කෙල්ලන්ට ආරක්ෂිතව ලව් ලෙටර් දීපු එක ගැනත් ඊළඟ පෝස්ට් එක හැටියට ලියවෙතැයි බලාපොරොත්තු වෙනවා.ඔන්න මතක් කළා.
      සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
    4. මාතලන්, පොඩි අවුලක් වගේ මට හිතෙනව..

      මිල්ටන් මල්ලව්වාරච්චි සින්දු කියන්නෙ 1968 ඉඳල. ක්ලැරන්ස් ඊට කලින් ඉඳන් සංගීතවල හිටියට මුලිම්ම සින්දු කියන්න අරන් තිබ්බෙ 71 පස්සෙ. බොහෝ විට 72 ඉඳන් වෙන්න පුලුවන්. මොකද ක්ලැරන්ස්ගෙ මුල්ම ගීය "දිලීප පොඩි පුතු". ඒක දිලීප උපන්දා කරු අය්යා ලියාපු කවියක්, ක්ලැරන්ස් පත්තරෙන් දැකල ඉල්ලගෙන සින්දුවක් කරල ගයල තියෙනව ක්ලැරන්ස්ගෙ ඥාති දිලීප පුතෙක් වෙනුවෙන්. එහෙම බැලුවම මිල්ටන් සින්දු කියන්න එන්නෙ ක්ලැරන්ස්ට කලින්.. ඒ කියන්නෙ ක්ලැරන්ස් ගායකයෙක් විදියට මතුවෙන්නෙ මිල්ටන්ගෙ හොඳම ජනප්‍රිය කාලෙයි.

      Delete
    5. ඉවාන්,
      ඔය කුලියට ලියුං ලියපු එක මමත් කරලා තියෙනවනෙ මල්ලි.උඹගෙ සාහිත්‍යමය කෑලිවලට කෙල්ලො කැමති ඇති, නෝනව අල්ලගත්තෙත් එහෙම ලියලද.

      Delete
    6. @ ඉන්දික උපශාන්ත

      උඹ කියන දේ ඇත්තද කියන්න මම දන්නේ නෑ. මම කියන්නේ මම මිල්ටන් අහන්න ගන්නේ කූර කෙලින් වෙන කාළේ ඉඳලා කියන එකයි. මොකෝ මිල්ටන් මල්ලවාරච්චිට තාත්තා කැමති නෑ.. අඬෝවැඩියාව කියලා. එයා කොහොමත් විරහ සින්දුවලට මනාප නෑ. ඒ නිසා මිල්ටන්ගේ සින්දු අපි ඇහුවේ රේඩියෝ එකේ.. පස්සේ රස්සාවක් කරන කාළේ තමයි මිල්ටන්ගේ කැසට් එකක් ගත්තේ.

      Delete
    7. මම මේ කතා කරන්නේ 1978 වගේ කාළේ ගැන. මොකෝ අපේ ගෙදර වැඩි පුර ඇහුවේ ඉන්ගිරිසි සින්දු..

      Delete
  10. හැලප පැටියට එහෙනම් සුභ මෙව්වා එකක් වෙන්න කියනව අපිත්.

    ReplyDelete
    Replies
    1. හොඳයි යක්ෂයෝ මම මෙව්ව කරන්නං,බොහොම ස්තූතියි.

      Delete
  11. හැලප පැටව් කියන්නේ,පැණිපොල්ද,වණ්ඩු ආප්පද මන්දා.

    කෝක වෙතත් ,ඒකාට සුභ උපන්දිනයක්..
    හැලප ගෙදර හැමෝම උපදින්නේ මාර්තුවට!

    ReplyDelete
    Replies
    1. වන්ඩු ආප්පයා කියල නම දාල තියෙන්නෙ මටනේ පිනි,ඔව් ඔව් අපි තුන්දෙනාම ඉපදිලා තියෙන්නෙ මාර්තුවෙ.
      සුබ පැතුමට ස්තූතියි.

      Delete
    2. හැලපයියේ ,ඉළඝ පෝසට් එකේදි තමන්ටම සුභ පතාගන්නවා නේද,?

      Delete
    3. වැඩක් නෑ උදාර දිනේ පහුවුනා.

      Delete
  12. ආගිය තොරතුරු කෑම වේලක් වගේම රසට ලියලා තියෙනවා. ආ... පුතාට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. රස නං එච්චරයි මටත් අවශ්‍ය,සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
  13. පොඩි හැලපයාටත් හැපි මෙවුවා එකක් වේවා!
    මිල්ටන් මල්ලවාරච්චි! මම ආසම ගායකයෙක්.ආසම කිවුවට ඉතිං දැකල තියෙන එකක්යැ.ආස සිංදු වලට.

    අවසර නැත මට
    කීන දං මිටක්
    තනිවී සිටින්නයි

    අන්න සිංදු.දැන් ඒකට :(

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාෂා,ඔයා මෙව්ව කලා කියල මම කියන්නං.
      හැබැටම කිව්වහම මොකද දැන් තියෙන සිංදු මොනවද කියලවත් මම දන්නෙ නෑ ඔන්න

      Delete
  14. හැලපුතාට සුභ උපන්දිනයක් වේවා එහෙනම්... ධර්මෙව නොදන්න හාමුදුරුකෙනෙක් නං හොයාගන්න අමාරු වෙයි නේද :D... ගොඩ්ෆ්‍රීව ඊළඟ වතාවේ අනිවාර්යයෙන් මුණගැහේවා...

    ReplyDelete
    Replies
    1. ඒකනේ වැඩේ කියන්නෙ තිසර,හැම හාමුදුරු කෙනෙක්ම මිනිහව දන්නවනෙ.ඊළඟ වතාවෙ මුණගැහෙයි කියල මාත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
      සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
  15. හැලපැට්ටට සුභ උපන් දිනයක් වේවා!
    පරණ මතක හරිම සුන්දරයි නේද.. විශේෂයෙන්ම කාපු බීපු දේවල්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මානවී පැරණි මතක හිතට පවන් සලනවා වගෙයි.කෑව බිව්ව දේවල් ගැන මහගොඩක් විස්තර ලියන්න තිබුණත් කට්ටිය අමනාප වෙන නිසා ලියන්න බෑ.
      සුබ පැතුමට ගොඩක් ස්තූතියි.

      Delete
  16. හැලපැට්ටාට සුබ උපන්දිනයක් වේවා ..!!!,

    මේක කියවලා මටත් මඤ්ඤොක්කයි කොච්චි ලුණුමිරිසුයි කන්න ආසාවක් ආවා.. :)

    ReplyDelete
    Replies
    1. තුෂාරලට නං ආස දේ කන්න පුළුවනි නෙ.අපට තමයි ප්‍රශ්නෙ.
      සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
  17. හැලපැටියට සුබ උපන් දිනයක් වේවා කිව්වා කියන්න ......

    අර සින්දුවට ඔයා කැමති අයි කියලා දැන් අපි දන්නවනේ

    "ඔබ ගිය වග සරණෙක බැඳිලා
    කවුද කියයි මට කොඳුරාලා" අනිවා ඔය පද දෙක නිසා වෙන්නම ඕන

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තූතියි ඉවාන්,
      ඒ පද දෙක කොහොම වෙතත් දිග කතාවක් පද කීපෙකට කැටි කරපු ඒ ගීතයට මම ගොඩක් ආසයි

      Delete
  18. හයියෝ සල්ලි ..එහෙන් මුණු පොතේ මාරයා කෑම වල ෆොටෝ දානවා මෙහෙන් හැලපේ කෑම ගැන විස්තර දානවා. මේවා බලලා අපි ගස්ට්‍රික් වැඩි කරන් කෑම දෙන එකා එවලා තියන මොකක් හරි ජරාවක් ගිලිනවා. බොලා ඔක්කොම අපේ හිත කඩනවා.

    ReplyDelete
    Replies
    1. නිශාන්ත ලැබෙන කෑම එක ඔහේ ගිලල දානව කියල මම දන්නෙ නෑනෙ.අපරාදෙ.

      Delete
  19. ඔක්කොටම ඉස්සෙල්ලා හැලපැට්ටට සුබම සුබ උපන් දිනයක් පතනවා මමත්...
    රොටි වලට රැකෝඩ් කිව්වා කිව්වම මට හිනා ගියේ අපේ මාමලත් ඒ කාලෙ අත්තම්මගෙන් ඔහොම ඉල්ලපු හැටි මතක් වෙලා...
    ඒ කාලෙ රේඩියෝ එක නේන්නම් හැම දේකටම... මට මතක් වෙන්නෙ ගුවන් විදුලි නාට්‍ය, මුවන්පැලැස්ස, මොණරතැන්න එහෙම යනකොට කට්ටිය ඒක වටේ වට වෙන හැටි...මං පොඩි කාලෙ වෙනකොට කැසට් යන්ත්‍ර එළි බැහැලා තිබ්බත් ඒවා තිබුණෙ එහෙමත් කෙනෙක් ළඟ...
    ඔය මුහුදු කරේ මාළු ඉවිල්ල වගේම තමයි අම්බලන්ගොඩ පැත්තෙ කට්ටියගෙ බිලිං අච්චාරුව... හම්මෝ... මතක් වෙනකොටත් කටට කෙළ උනනවා... ඇයි ජාඩි... :D

    ReplyDelete
    Replies
    1. අම්මෝ අපිත් මුවන් පැලැස්සට හරියට ඇලුම් කළා,ඔය කෑම බීම ගැන කියන්න ගිහිං මම කීප දෙනෙකුගෙන්ම බැනුම් අහගෙන ඉන්නෙ මියුරු.

      Delete
  20. මිතුරෙක් හමුවීම පමා කරන්න එපා. අද මගේ හිත දිගට ලියන්න තරම් කීකරු නැහැ මගෙ මිතුරාගෙ වියෝව නිසා..

    ReplyDelete
    Replies
    1. ඔව් සරත් ඔබ හරියටම හරි,මගේ පමාව නිසා හැමදාටම මුණගැහෙන්න නොහැකි වුනු මිතුරන් කීප දෙනෙක් ගැන මට මතක්වෙද්දී අදත් හරිම දුකයි.ආයෙම පමා නොවෙන්න හිතා ගත්තා.

      Delete
  21. හැලපැටියට සුභම සුභ උපන් දිනක් පතනවා.

    මිල්ටන් නම් මගෙත් ආසම ගායකයෙක්. 'මධු මල, එදා රෑ' මම ආසම සිංදු දෙක.

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට බොහොම ස්තූතියි ප්‍රියා.

      Delete
  22. හැලපැට්ට කිව්වට කොච්චර වයසද?

    ReplyDelete
    Replies
    1. හැලපට්ටටත් දැන් සෑහෙන වයසක් ඇති උකුස්සො,මම අහලම කියන්නංකො.

      Delete
    2. මාර තාත්තෙක් නේ අප්පා!

      Delete
    3. ඈ බොල තෝ ද තාත්තා? ‍ඒක හැලපයාටම කියන්න දිපන්

      Delete
  23. හැලපැට්ටට සුබ උපන් දිනයක්. අම්මයි පුතයි දෙන්නම මාර්තු නේද ?

    ReplyDelete
    Replies
    1. තාත්තයි,අම්මයි,පුතයි තුන්දෙනාම මාර්තු නේද කියල නිවැරදි විය යුතුයි සෙන්නා.
      සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
    2. අඩේ එහෙමද ? අපිත් මෙහෙම හිටියට මාර්තු තමා.. හරිය !

      Delete
    3. අඩේ එහෙනම් බොලලා දෙන්නම එක්කහු වෙලා අපිට පාටියක් දියල්ලා...:D

      Delete
  24. වෙනදා වගේම රසවත් කතාවක්.කාලය විසින් මොනතරම් දේවල් වෙනස් කරලද කියා සිතුනා.ඒත් එක්කම හැලප පුතාට සුභ පතනවා,අදට පමණක් නොව ඉදිරි ජීවිත කාලය උදෙසාම.

    ReplyDelete
    Replies
    1. කාලය කරන වෙනස්කම් වෙන්නෙ අපි නොදනුවත්වමයි ඇනෝ,
      සුබ පැතුමට ස්තූති.

      Delete
  25. හැලපැට්ටට අපිත් සුබ පතනවා ...

    සිතුම් පැතුම් පොදි ආදරේ සිංදූව මමත් ආසම සිංදුවක් ...

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තූතියි තුශානි.

      Delete
  26. අර රට වටේ ඉන්න අය උයන කෑම වර්ග දැක්කාම අම්මෝ බඩගිනි හැදෙනවා...උඩරට උදවිය මුං ඇට නියඹලාව කියලා එකක් හදනවා...(අහන්ට එපා කොහොමද උයන්නේ කියලා. මම නම් දන්නේ නැතෝ...) කොස් හැඳිගානවා කියලා එකක් කරනවා. මොනවා කලත් හරිම රසයි ඒ කෑම.

    හැලප පැටියා ඕවා කන්ට කැමති නෑනේ. අද එයා ආසා කරන ජාති ගෙනත් දෙන්ට. :)

    සුබ උපන් දිනයක් හැලප පැටියට....

    ReplyDelete
    Replies
    1. ඔය හැලප පැටිය වගේ අද ඊයෙ කොල්ලො අපි වගේ ගමේ ගොඩේ කෑම කන්න කොහොමටත් කැමති නෑ පොඩ්ඩි.එයා ආසා කරන දේවල් අඩ අම්මගෙන් ලැබේවි.
      සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
  27. එකට සහෝදරයෙක් වගේ හිටපු නියම යාලුවෙක් කවදාවත් අමතක වෙන්නෙ නෑ තමයි.
    අර මඤ්ඤොක්කයි, ලුණු මිරිසුයි නිකං කෑවයි කියල හිතන්න අමාරුයි. හැලපෙට මොකුත් බොන දෙයක් එතන ලියන්න අමතක උනාද :D

    හැලපැට්ටට මාත් සුබ උපන්දිනයක් පතනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ත්‍රිභාෂා මට මෙහෙම දෙයක් ලියන්න හිතාගෙන හිටියට ලියන්න අමතක උනා,
      ''ඒ කාලෙ දැන් වගේ හැම තැනටම මත්පැන් බෝතලේ මුලින්ම වඩම්මන සිරිත තිබුනෙ නැති නිසා කට්ටිය කාලා ඉවරවෙලා ප්ලේන්ටී හදෝගෙන බිව්වා.''
      සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
    2. ඔය කතාව වෙන කෙනෙක් කිවුවනං විශ්වාස කරන්න තිබුණ. :D

      Delete
    3. ප්‍රසා මම ඔය කිව්වේ ඇත්තම ඇත්තයි,මම ඒ කාලෙ පොඩි එකා ඉස්කෝලෙ යන කොලුවා, උන් බිව්වත් මට නං ලැබෙන්නෙ නෑ.

      Delete
  28. //කාලෙක ඉතාම ජනප්‍රියවූ මිල්ටන් මල්ලවාරච්චිගේ මඩු බැසීමයි//

    මේ මොකක්ද හැලපයෝ...???

    ReplyDelete
    Replies
    1. මඩු බැසීම කියන්නෙ පොඩ්ඩියෙ කළඑළි මංගල්‍යයයි,තව විදියකට කිව්වොත් දොරට වැඩුම.කෙනෙක් මුලින්ම ජනතාව අතරට එනව කියන එක.
      දැන් පැහැදිලිද .

      Delete
  29. හැල පැට්ටට සුබ උපන්දිනයක් !!!
    (හැලපැට්ටා.. හිකිස්... එල නම).
    මිල්ටන් මල්ලවාරච්චි කියන්නෙ අපේ හොඳම විරහ ගී ගායකය. බූට් කෑව නොකෑව ඒ කාලෙ හවසට සූස්තියක් ගහගෙන පුල් මූඩ් එකෙන් (නියම ප්‍රේම වන්තයො කඳුලු පෙරාගෙන) ඇහුවෙ මිල්ටව..

    මම ආසම මෙව්ව වලිං එකක් මේක ...ලබන්න බැරි සුව සහනෙ.. කොහොමද ආදරේ උතුරනව නේද හෙහ්....හෙහ්........

    http://www.youtube.com/watch?v=tJMPyUKkpns


    ReplyDelete
    Replies
    1. කොල්ලට ඔය නම දැම්මෙත් බ්ලොග් අවකාශෙ හිතවතුන්මයි එක්ස් පෝටර්,අපූරු ගීතයක් ඇත්තටම ආදරේ පෙරෙනවා.
      සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
  30. පැටියට සුභ උපන්දිනක්!!!

    කාලෙකින් මේ පැත්තෙ ආවෙ. මේ පරණ කතා බලද්දි හිතට එන දේ බෝමයි.

    ReplyDelete
    Replies
    1. හිතට එන දේ පෝස්ට් හැටියට ලියන ඒකයි තියෙන්නෙ ඉන්දික.
      සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
  31. ලොකු වෙලා තාත්ත වගෙම ආතල් පොරක් වෙන්න හැලප පැටියට සුබ පැතුම්!

    හාමුදුරුවන්ගෙන් ධර්මෙ දන්නවද ඇහුවම රතු කට්ට පනින්න ඇති :-))

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට බොහොම ස්තූතියි ප්‍රොපයිල් ඇනෝ,
      හාමුදුරුවන්ට හොඳටම කේන්ති ගියා කියල ධර්මෙය හිනාවුනා.

      Delete
  32. හැලප ජුනියර් ට සුබ උපන් දිනයක් වේවා !!!!

    ඇත්තටම මිල්ටන් ගේ කටහඬ හරිම ලස්සනයි තමා . කවදා ඇහුවත් ලස්සන ගී ටිකක් ඉතිරි කරලා ගිය ගායකයෙක්.

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට බොහොම ස්තූතියි බින්දී,මිල්ටන්ගේ ගී අපි හැමදාම රස විඳිනවා නෙ.

      Delete
  33. මගෙත් ඉන්නවා ඔය වගේ කාලයත් එක්ක මඟ ඇරුන යාලුවෝ.මෙහෙ ඉඳන කල්පනා කරනකොට යන්න පුළුවන් කමක් තිබ්බ කියල හිතුනත් , ගියාම සෙට් වෙන වැඩ වල හැටියටය කෙරෙන්නේ නැහැනේ . ..

    පුතාට උපන්දින සුබ පතුම අපෙනුත් එක්කලා කියනන් එහෙනං ඕන් ./ ./

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නං සහතික ඇත්ත මගියො,අපි හිතාගෙන යන දේවල් නෙවෙයි ගියාම කෙරෙන්නෙ.
      සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
  34. හැලප අයියාගෙ පුතාට සුබ උපන් දිනයක් වේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චන්දන.

      Delete
  35. පුතාට සුභම සුභ උපන්දිනයක්.

    මචං අපේ අම්මා මිල්ටන් මල්ලවාරච්චිගේ ඔය සින්දුවලට මාර ආසයි. තව ඔරුවක පාවෙන සින්දුව හෙම. එයා සින්දුවල ලිරික්ස් හෙම එකතු කලා.

    මමත් කැමති සිංහල ගායකයෙක් තමයි. හින්දි කොපි හෙම නෙවෙයිනේ. කැත නැතුව කියන්නත් පුලුවන් අයිතිකාරයෝ ගැන වද නොවී.
    අනික කොපි ගහන යුගයක එහෙම එකක් කරපු එකත් කොච්චර දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. හිටපු ජනප්‍රියම ගායකයො කොපි ගහපු සමයක මිල්ටන් උඩුගං බලා පීනපු ගායකයෙක් හෙන්රි.අපට අගය කරන්න ඒ ටිකම ඇති.
      සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
  36. හැලපැට්ටාට මයෙත් සුබ පැතුම්.හැලපයියේ කීවාම විස්වාස කොරහං මිල්ටන්ගේ අර මුලින් කියාපු සිංදු 4 දැක්කාම මම කියන්න ගියේ මම ඒ සිංදු වලට කැමතියි.එත් වැඩියෙන්ම කැමති "සිතුම් පැතුම්" සිංදුවට කියලා මෙන්න යකඩෝ පහළට කියවන් එනකොට හැලපයියා ඒ සිංදුවම දාලා.:)
    හොදට පොල් දාලා මලවපු කුරිඤඤං කොළ මැල්ලුමක් කාපු කාලයක් මතක නැහැ.:(මඤ්ඤොක්කයි කොච්චි සම්බෝලෙයි කිවම කටට කෙළත් උනනවා හැලපයියේ..:D

    ReplyDelete
    Replies
    1. සිතුම් පැතුම් සින්දුවට මම හරිම ආසයි මනෝජ්,කිව්වහම මොකද අපට නං මෙහෙ ඔය මොකුත්ම කන්න ලැබෙන්නෙ නෑනෙ.
      සුබ පැතුමට බොහොම ස්තූතියි මනෝජ්.

      Delete
  37. හ්ම්ම්...මචං ...මම උඹේ පුතාට සුභ පතල අපේ සරා ගේ ලිපිය කියවල...දැන් උඹේ ලිපියත් කියෙව්ව ම හිතට බොහොම රිදුමක් ....දුන්න...
    මම නම් මගේ බොක්කවල් එක්ක නිතරම සෙට් එකේ ඉන්නෙ ...උනුත් එහෙමයි....

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද මචං,එකෙක් යන්න ගියොත් හිතට හරි අමාරුයි.අපට නං යාළුවො මිස්වෙනවා නිතරම උඹ ඒ වැරැද්ද කරන්න එපා ලඟින්ම ඉඳපන්.

      Delete
  38. හැලපැට්ටට සුබ උපන්දිනයක්!!
    මයියොක්කා ගැන නම් කියන්න එපා මාමේ කටට කෙල උනනවා... ඒ වගේම අපිත් ඔය හලාවත කිට්ටුව අපේ අම්මලට ඔය කොච්චි ලුණු මිරිස අගේට හදන්න පුළුවන් මයියොක්ක අපේ ඉඩම් වගේක ඉන්දලා තීනවා අපේ අම්මා හප්පේ අම්මගේ අත් ගුණේ හින්දද කොහෙද ඒවායේ එක අලයක් මගේ උසට තීනවා......දකුණේ අයට මාළු ඇඹුල් තියල් හදන්න පුළුවන් බව දැන ගත්ත එක හොදා.....කෙනෙක් ඉන්නවා ඊලග පාර ලංකා ගමනේදි හදාගෙන කන්න ඕනා....

    දෙයියෝ සාක්කි එච්චර පරණ කෑම කඩයක්ද කොරනේෂන් එක,,,,,,,ඔය කොරනේෂන් එක තාම තියෙනවා....මන් හැම අවුරුද්දෙම ලංකාවට ගියාම ෆලුඩා බොන්න අනිවාර්යෙන් යනවා....පුංචි කාලේ ඉදන් මීගමු ගියොත් ඔතනින් ෆලුඩා බීම අනිවාර්යයි.....

    ReplyDelete
    Replies
    1. එහෙනං ඊළඟ පාර ලංකාවට ආපුවම ශානුලගේ කොටුවෙ මයියොක්ක කන්න පුළුවනි,අම්මට කියල කොච්චි ලුනුමිරිසකුත් තලාගනිමු.
      අපිනං ඒ දවස්වල කොරනේෂන් එකේ රසම රස බීෆ් හොද්ද එක්ක උණු පාන් කෑවා,ෂාහ් මතක් වෙනකොටත් කෙළ පෙරෙනවා.

      Delete
  39. ලස්සණ අද්දැකීම් ටිකක් මොනව වුණත්. ඔන්න අපිත් සුබ ම සුබ උපන්දිනයක් පැතුවා!!!

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් රස වින්දනං සතුටුයි,සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
  40. http://www.mawbima.lk/e-paper.html
    මෙතනින් යන්නකො 24 පිටුව ගන්න... ආ දවස 2014-03-09
    මිල්ටන් මල්ලවාරච්චි ගැන එයාගෙ සමීප කෙනෙක් කරපු ටිකක් අප්‍රකට තොරතුරු තියේ.... ඔයාට වැදගත් වෙයි...

    මඤ්ඤොක්ක නේහ්..... ම්ම්ම්ම්ම්ම....
    කටට කෙල බැරල් එකක් විතර උනල මේක කොටන වෙලාවටත්

    ReplyDelete
    Replies
    1. විස්තරයට බොහොම ස්තූතියි මහේෂ්.
      ඔච්චරම මයියොක්ක වලට ආසද.

      Delete
  41. හැලපැට්ටො පහුවුනත් සුභ උපන් දිනයක් හරිය.
    මිලටන් මල්ලවාඅරච්චි කියන්නෙ අදටත් බුට් එකක් කැව කොල්ලෙකුට අහන්න ඉන්න ගායකය.මිනිහ අමරනියයි ආයෙ දෙකක් නැ.
    ධර්මෙ මාර බඩුවක් නේද

    ReplyDelete
    Replies
    1. දමිත්, බොහෝ දෙනෙක් නොදන්න දෙයක් තමයි මිල්ටන් තමන්ගෙ මුලු ජීවිතේ පුරාවටම ගැයුව විරහ ගීත වලට මුල චිත්‍රපටියක කතාවක් වගේ උන තමන්ගෙම විරහ ගීතය බව සහ ඒ දුක මිල්ටන් දුන්නෙ ලංකාවෙ උන්නු ජනප්‍රිය ධනවත් පුද්ගලයෙක්ගෙ දුවෙක් බව.

      Delete
    2. සුබ පැතුමට ස්තූතියි දමිත්.
      ධර්මෙ පහුගිය දවස්වල ඔෆිස් එකෙන් මාරුවෙලා ගිහින්ලු.

      Delete
    3. ඉන්දික,
      මිල්ටන් මල්ලවආරච්චිගේ සම්පූර්ණ ප්‍රේම ශෝකාන්තය ටික කලකට පෙර කවුරු හෝ බ්ලොග් පෝස්ටුවක් හැටියට ලියා තිබුණා මට මතකයි,ඒ බ්ලොගය මොකද්ද කියල මට හරියට මතක නෑ.

      Delete
    4. මට මතක හැටියට චමි ෆො යු ලියන චමිය ඔය කතාව ලියල තිබුන .

      Delete
    5. මට මතක හැටියට ඔය දුව විවාහ උනේ වෛද්‍යවරයෙක් එක්ක, ඒ වගේම විවාහය දික්කාසදයකින් කෙලවර උනා. ඔතන දුව කෙසේ වෙතත් තාත්තගෙ බලපෑම තියෙන්න ඇති.

      My favorite....

      සැදී රන් අබරනින්, රිදී සළුපිලි දරා
      නැගී රිය පෙරහරෙන්, පැතු පෙම් ලොව දවා
      මනාලිය වී ලඳේ, ගියත් ඔබ ඔහු කරා
      මගේ හදවත ඔබෙයි, මගේ දිවි ඇති තුරා

      Delete
    6. ඔය ප්‍රේම කතාව අද කාලෙ සිද්දවුනා නං කෙල්ලගෙ තාත්තගෙ තිබුණු සල්ලිවලයි බල පුලුවන්කාරකමෙයි හැටියට මිල්ටන් මල්ලවාරච්චි නොවැරදීම අතුරුදහන් වෙන්න තිබුණා කියල මට නිකමට හිතෙනව,ඒ වුනාට එදා මුදලාලි මිල්ටන්ව පිටරට යැව්වා,එදා එහෙමයි අද මෙහෙමයි.

      Delete
    7. සහතික ඇත්ත. මම හිතන්නෙ මොනා උනත් මුදලාලි කළාවට සලකල නිකා උන්න. නැත්තන් එද කියල මිල්ටන් වැලිගම්පිටි යවන්න බැරි, ඒව නොකල පුතෙක් නෙමෙයිනෙ එයා. මචෙඔ ඔය මිල්ටන්ව නෙමෙයි, දූව නේද රට යැව්වෙ? මොකද මිල්ටන් භය නිසා කවදාවත් රටින් පිට ගියෙ නෑනෙ. ඒවගේම අනික් කෙනා ප්‍රේම්. කිසි දවසකට රටින් පිට ගිහින් නෑ.


      AnonymousMarch 18, 2014 at 11:29 PM
      +++

      Delete
    8. ඔව්නෙ මට පැටලුනා,මිල්ටන් ප්ලේන්වල යන්න බයනේ, දැන් නං පවුලම පිටරට නේද ඉන්දික.

      Delete
    9. ඔව් දැන් ඉනෙ ඔස්ට්‍රේලියාවෙ. උන් එහෙ ඉන්න එක හොඳයි. ඉස්සර ඔය රනිල් බැන්ද කෙල්ලටත් මොනතරන් කතා කිව්වද උන්ගෙම යාළුවො. ඒත් උන් ඔය අගේට ඉන්නෙ දැන්. පොඩි එකත් සීයගෙ සින්දුවක් "කොර" කරල තිබ්බ. ඒ ඒ කාලෙට එහෙම වුනාට කමක් නෑ.

      Delete
    10. රනිල් ඊයේ පෙරේදා මෙහෙ ආවා ෂෝ එකකට. හොඳට තිබුනාලු. අපේ වයිෆ් ගියා බලන්න. මම මිල්ටන්ගේ සින්දුවක් කියාගෙන නයිට් ෂිෆ්ට් එකක් ඇද්දා.

      Delete
  42. හැලපැට්ටාට සුභම සුභ උපන් දිනයක් පතනවා.
    හැලපයියගේ කථාව කියවලා කටට කෙළත් ඉනුවා. මඤ්ඤොක්කයි කොච්චි සම්බෝලෙයි එක්ක රා කට්ටකුත් තිබුනා නම් මල් හතයි.
    කිව්වත් වගේ සුද්දෝ කන මේ කටට මෙලෝ රහක් නැති කෑම දකින කොට අපි ලංකාවේ කොච්චර රසට කනවා නේද කියලා අහිංසක ආඩම්බරයක් හිතට එනවා. අපේ නෝනත් උයන්න දස්සී.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චන්දන.
      කිව්වත් වගේ ලුණු ඇඹුල් ගම්මිරිස් ආදිය වෙන වෙනම අරගෙන ඔය විදේශිකයො කන හැටියට ඔක්කොම කුළුබඩු ලුණු ඇඹුල් පදමට දාල කෑම හදන්න අපේ කාන්තාවන් කොපමණ දක්ෂද කියල හිතෙනව නේද.

      Delete
  43. තව එකක් මතක නැතිවුනා. ඒ කාළේ සිංදු රේඩියෝ එකෙන් අහපු හැටි සිහිවුනා. කොච්චර රසවත් කාළයක්ද? උඹගේ රසවත් ලියවිල්ලෙන් මාව නොදැනීම ඒ කාළයට ගියා. උඹට ජයම වේවා!!

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ රේඩියෝ එක ඇර සිංදු අහන්න වෙන ක්‍රමයක් තිබ්බේ නෑනෙ,හැමදාම උදේට යන කණ්ඩායම් ගී එතකොට දවල් දොළහමාරට බයිලා නොවැරදීම ඇහුවනෙ.

      Delete
  44. හැලපැට්ටාට මගෙන් සුබ පැතුම්. පුතාගේ උපන් දිනේට මේ තරම් රහ කොච්චි සම්බලයක් හදලා මයියොක්කා පත හැලියක් තම්බලා අපිත් එක්ක බෙදා ගත්ත එක කොච්චර අගෙයිද. කේක් ගෙඩි සීයකට වඩා වටිනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තිලකේ,
      අපි ඉතිං කොහෙ හිටියත් ගමේ ගොඩේ මිනිස්සුනෙ මචං.

      Delete
  45. halapattata apenuth upandina suba pathum ooooooooooooooooooooooooon

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තාරක.

      Delete
  46. ජයවේවා පොඩි හැලපේ !!
    හොඳ මිනිහෙක් වෙයං තාත්ත වගේම..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පත්තරේ,මේ දවස්වල නිවාඩුව උපරිමයෙන් විඳිනව කියල ආරංචියි,ජයවේවා!!

      Delete
  47. වැඩේ තියෙන්නෙ මං නම් ඔය ආරච්චිට කැමති නෑ වැඩිය ..හිතා ගන්න බෑ සිංදු ලස්සනයි එත් අහන් ඉන්න අමාරු පොර ගේ වොයිස් එක මට වමනේ එන්න වගේ ,තව මට නිරෝෂා විරාජිනි ගෙත් සිංදු අහන්න බෑ ,ඔලුව කැක්කුම හැදෙනවා ..හැලපට එහෙම යාගකයෝ නැත්ද ?????

    පොඩි හැලපේට සුභ උපන් දිනයක් කිව්වා ඕන් ..
    පොරත් අපට සමකාලින ද තවම පොඩි පැටියෙක් ද? ඈ ,

    ReplyDelete
    Replies
    1. අපොයි සහෝ මොකද නැත්තෙ ඒ වගේ යාගකයෝ ගොඩක් ඉන්නව.
      සුබ පැතුමට බොහොම ස්තුතියි,අපට නං ඌ තාම පැටියෙක්.

      Delete
  48. අර ධර්මෙගේ කතාවනම් මරු... :)

    ReplyDelete
    Replies
    1. එච්චරමද කියන්න තියෙන්නෙ.

      Delete
  49. අයියන්ඩි සුභ උපන්දිනයක් තවත් චිරාත් කාලයක් නිරෝගිව ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සිරාවටම මට මැවිලා පේනවා නෝනා සාදුගෙන් අහනවා ධර්මේ දන්නවද කියන එක හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තූතියි කෝරළේ මහත්තයෝ,
      ධර්මෙය දැන් මාරුවෙලා ගිහින්ලු.

      Delete
  50. මදුමල මදුමල කිව්වට මම නම් ජීවිතේට දැකල නෑ මදු මලක්..උඹ දන්නවද බං එහෙම එකක්?......

    මයියොකු වලට වල් ඌර් බිං හාර් දාල තම්බල කොච්චි සම්බලත් එක්ක මචං කිතුල් රා බිව්වැහැකි කළ ගෙඩියක්..ගලහට එහා දෙල්තොට අපෙ යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලාවක එහෙම කලා මචං කමතක නුග ගහක් යට ඉඳගෙන. මගෙ කවදාවත්ම අමතක නොවෙන මතක සටහනක්...:)

    පොඩි එකාට සුබ උපන් දිනයක්!!!

    ReplyDelete
    Replies
    1. මදු මල් තියෙනව මචං,ඇයි ඔය බිම දුවන මදුවැල්,ඒවයේ පිපෙන සුදුපාට පොඩි මල මදුමල නේද.මම හිතාගෙන ඉන්නෙ එහෙමයි.
      උඹගෙ ප්‍රියතම වයිල්ඩ් බෝර් නෙ,මම නොදන්නවැයි,මාරස්සන පොඩි කන්දක් වගේ කැලේක අපි යාළුවො කට්ටියක් කිතුල් රා සප්පායම් වුනා මතකයි.
      සුබ පැතුමට ස්තූතියි මචං.

      Delete
    2. " කිරි මදුවැල් කිරි මදු වැල් කිරි අම්මේ... අපිත් කිරට හඬනා දරුවොයි අම්මේ…" එහෙම කවියක් පොඩි කාලෙ කිව්ව. එතකොට අපෙ අත්තම්ම බනිනව හිටපු ගමං " මේ උඹ හිතන්ට එපා මම මදුකිරි බිල හැදුනයි කියල. එහ්හෙන්නං!!! " එහෙම උනාට ගොයියො මදු වැලක් දැක නැත. උඹ දැකල තියනවනම් හරි මචං...

      / මාරස්සන පොඩි කන්දක් වගේ කැලේක අපි යාළුවො කට්ටියක් කිතුල් රා සප්පායම් වුනා මතකයි. /

      ඕකනෙ උඹත් එක්ක බැරි...දොන්ත බබක්කට දෙන්ට දෙයක් නැත, පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත.කිව්වලු..උඹත් රිංගපු නැති අස්සක් මුල්ලක් නෑනෙ බං මේ සිරි ලංකාවෙ...:).....යකෝ මාරස්සන කිට්ටුව තමයි මම ඔය කිව්වෙත්. කිට්ටුම නගරය දෙල්තොට නිසයි එහෙම කිව්වෙ. නවනැළිය හරියටම කිව්වොත්. බොහොම ලස්සන වාරිමාර්ග ව්‍යාපෘතියක් එහෙම තියනව ඒ කිට්ටුව මුරපොළ ඇල ව්‍යාපාරය කියල.

      Delete
    3. ට්‍රේඩ් යුනියන් වැඩට හැම තැනම වගේ යන්න වුනා බං,ඔය වෙලාවෙ අපි හෙක්ටර් කොබ්බෑකඩුව මහත්තය හම්බෙන්න නුවර ගිය දවසක්, මාරස්සන හිටපු යාලුව අපිවත් ඇදගෙන උන්ගෙ ගෙදර ගිහිං අහිංසක අපි ටික බෑ කියද්දි කිතුල් රා පැලෙව්වනෙ මචං.
      මාරස්සන දෙල්තොටට කිට්ටුයි කියල මම දන්නෙ නෑ මචං මම හිතං හිටියෙ දෙල්තොට බදුල්ලට කිට්ටුව තියන ටවුමක් කියල.

      Delete
    4. නෑ බං දෙල්තොට නුවර කිට්ටුව තියෙන්නෙ. ඔය මාරස්සනට දෙපැත්තකිං ගිහෑකි. පේරදෙණිය කැම්පස් එක මැදිං ගිහිල්ල ගලහ දෙල්තොට වාඩියගොඩ හරහා මාරස්සන ..නැත්තං තලාතුඔය, කන්දෙ හන්දිය, බෝපිටිය හරහා මාරස්සන..

      මාර ලස්සන පැත්ත මචං...උදේ පණ යනකල් රා ගහල කැකුළු හාලෙ බත් කාල ටිකක් නිදියල හවස පුවක් පීල්ලකිං එන හීතල වතුර පාරකට ඔලුව අල්ලං ඉඳල රෑට හඳ පායාගෙන එද්දි හෙමිහිට කූල් බියර් එකක් ගහනකොට තියන ආතල් එක කියල වැඩක් නෑ බං. අම්මාපල්ල එහෙ පදිංචි වෙන්ට තරමට මට හිතිලයි තිබ්බෙ. එහෙම වෙන්ටත් තිබ්බ. අනූනමයයි තුන්කාලයි නූල් දෙකෙන් වැඩේ ගැස්සිල ගියා.

      Delete
    5. ලියපං ලියපං වස්තුවෙ ඒකත් ලියපං,ඒ ඉස්තිරියාව ගැන කතාවත් මාර ගති කතාවක් වෙන්න ඇති නේද මචං. අර නිල් ඇස් තිබ්බ ළමයගේ කතාව වාගෙ.

      Delete
    6. "නුඹේ කරට මල් මාලා ගොතන්නට - මදුමල් පිපෙනවා හේනේ වැට දිගට
      නුඹේ හඬින් ගී සීපද අහන්නට - තවමත් ගිරවු එනවා පෙර පුරුද්දට..."

      මදුමල් මේ වගේ නේද?

      Delete
    7. හැලපේ, බදුල්ලට කිට්ටුව දෙල්තොට කියලා ටවුමක්නං නෑ.. තල්දෙන කියලා එකක් නං තියෙනවා බදුලු - මහියංගණ පාරෙ..

      Delete
    8. මලටයි විස්තරේටයි තෑන්ක්ස් බුරා.

      Delete
    9. බූරා,

      හරිනෙ බං...මේ හැල ගෙම්බා තල්දෙනයි දෙල්තොටයි දෙක පටලවාගෙන.. :) :)

      රයිට්.... බදුල්ල මහියංගන පාරෙ තමයි තල්දෙන තියෙන්නෙ. නුවර ඉඳල රජ මාවතේ රන්දෙනිගල හරහා බදුලු යනකොටත් තල්දෙන හම්බ වෙනව. තරුණ විශෝධිතයින්ගේ රැඳවුම් කඳවුරක් එහෙම තියනව එහෙ. සුද්දගෙ කාලෙ එහෙම එකක් තිබිල තියෙන්නෙ මග්ගොන විතරයි." තෝ මග්ගොන යවන්ට වටින්නෙ මේ කරපු දහදුරා වැඩේට " එහෙමයි ඒ කාලෙ කොල්ලොන්ට බණින්නෙ.

      Delete
    10. මටත් මේ තල්දෙන මතකයි. මාරස්සන තියෙන්නේ අර නුවරින් මොකක්ද ජලාශයක් හදන්න ගොඩකරපු පැත්තේ නේද? බලාගෙන ගියාම මම කිතුල් රා විතරයි බීල නැත්තේ අනිත්වා ඔයාලා හා සමානවම කරලා තියෙනව වෙන්න ඕනේ.

      Delete
  51. හැලප පුංචට සුභම සුභ උපන් දිනයක් වේවා!!!!!!!

    මිල්ටන් මල්ලවාරච්චිගේ සිංදු ගැන නම් කියල වැඩක් නැහැ.ඔය කෑම වර්ග ගැන ඔච්චර ලියන්න එපා කන්න ආසා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ලියාගෙන යනකොට කෑම වර්ග ගැනත් ලියවෙනවා,ඒකෙන් සොන්යාට අපහසුතාවක් ඇතිවෙනව නං කණගාටුයි.
      සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
  52. තුන් දෙනාටම සුභ උපන් මාසයක් වේවා.
    ගිය සෙනසුරාදා හවස ගමනක් යන ගමන් මමත් මිල්ටන්ගේ MP3 වගයක් අහන්න ගත්ත. සමහර ඒවා සන්ෆලවර් කට්ටිය "නව සංගීතයෙන්" විනාස කරපුව. මුල් සින්දුව ලඟින් වත් තියන්න බැහැ. කොලිටි අඩු වුනත් infolanka හරහා ගිහින් මියුරු ගී වලින් අහන පරණම සින්දුව තාමත් ලස්සනයි.
    මගේ ළඟ මිල්ටන්ගේ සින්දු ඔක්කොම වගේ තියෙනවා.
    ස්තුතියි ලස්සන අතීතයක් මතක කලාට.

    ReplyDelete
    Replies
    1. මටත් ඔය සන්ෆ්ලවර්ස්ල කාල තියෙන සිංදු නං අහන්න බෑ,මමත් සින්දුවක් අහන්න ඕනෑ වුනාම මියුරු ගී වලින් තමයි අහන්නෙ.
      සුබ පැතුමට බොහොම ස්තූතියි ප්‍රභාත්.

      Delete
    2. If you haven't done yet, try 3 sinhala web radio too.
      http://www.3sinhala.srilist.org/

      Delete
  53. මඤ්ඤොක්කා හැලිය ගැන කිව්වාම කටට කෙළත් ආවා :D

    පුතාට සුභ උපන් දිනයක් පතනවා :)

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට බොහොම ස්තූතියි හසිත.

      Delete
  54. හරි.....ඕන් එහෙනම් ජූනියර් හැලපේනිස්ට සුබ උපන්දිනයක් පැතුවා.

    මචං ඔය මාළු වර්ග හැදිල්ලිට වැලිගම පැත්තේ අයත් හරි දස්සයි. මම වැලිගම කාලයක් හිටියා. ඒ නැවතිලා හිටිය ගෙදර ඇන්ටි බල මාළුවලින් මැල්ලුමක් හදනවා මාළු කුඩුකරලා.බත් මරන්න පුළුවන්. පොලොස් මැල්ලුමට දාන අඩුවැඩියම තමයි දාන්නේ. මම දවසක් ට්‍රයිකරා ඒ රස ගන්න බැහැ.

    මිල්ටන් මල්ලවාරච්චි කියන්නේ ඉතින් කියන්න දෙයක් උඹලා ඉතුරුකරලා නැහැනේ. නියම පොරක් තමයි හැලපේ. හොඳට ඉතින් අඩිපුඩිත් ගැහුවානේ. හරිම කූල් මණුස්සයෙක්. ක්‍රිස්ටෝපර් ලියනගේ (ඉස්සර සන්ෆ්ලවර් හිටියේ ) මෙහේ ඉන්න කාලේ මිල්ටන් ප්‍රණාම උළෙලක් කලා.ඌ නියම මිල්ටන් මචං සින්දු කියන්න ගියාම. ඒකේ මම මිල්ටන් ගැන හැඳින්වීමක් කරා මුලින්ම. මට හරිම සංතෝසයි එදා...මගේ ප්‍රියතම ගායකයෙක් ගැන එහෙම දෙයක් කරන්න හැකිවීම ගැන.

    මිල්ටන් පුදුමාකාර ක්‍රිකට් පිස්සෙක් කියලා මම අහලා තියෙනවා.

    නියම පෝස්ට් එක හැලපේ.

    ReplyDelete
    Replies
    1. ඕකෙ වැඩේ කියන්නෙ මචං ඒ අය දාන අඩුවැඩිය ඒ විදියටම දාල අපි හැදුවට ඒ රස ගන්න බෑනෙ,ඒ කියන්නෙ අත් ගුණේ.
      මිල්ටන් ගායකයෙක් වගේම පුදුම විදියට ක්‍රිකට් වලට ඇලුම් කල ක්‍රිකට් පිස්සෙක් කියල මාත් අහළ තියෙනව,මිල්ටන්ගේ ක්‍රිකට් දැනුම කොච්චරද කිව්වොත් ක්‍රිකට් ගැන රුපවාහිනී වැඩ සටහනකටත් ඔහුව සම්බන්ධ කරගන්න සුදානමක් තිබුන කියල මම පොතක කියෙව්ව මතකයි.
      සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
  55. මඥ්ඥොක්කායි කොච්චියි හම්මෝ?
    මම නම් මඥ්ඥොක්කා කන්නේ නිකම්. පොල් සම්බෝල මිරිස් අඩුවෙන් දාලාත් කාලා තියෙනවා. ඒත් අන්තිමට කෑවේ අවුරුද්දකටත් වැඩි කාලෙකට කලින්. ඉස්සර අපේ ගමේ ශ්‍රමදාන වලට එහෙම ඔය වගේ මෙනු එකක් හදනවා දැන් ඉතින් හුලං වුනාට ඉස්සර අපිත් ඕවා කෑව බීව අය.
    හැලප බේබිට සුභ උපන් දිනයක් ඔන්න මගෙනුත්.

    ReplyDelete
    Replies
    1. දැන් ගම්වල කොල්ලො මයියොක්ක කන්න ආස නෑ කියල රංගි දන්නවද,මගෙ කෙහෙල් කොටුවෙ දවසක් අපි කට්ටිය වැඩක් කර කර ඉන්නකොට කර්තව්‍යයක් කරන්න ලෑස්තිවෙලා මයියොක්ක පඳුරු දෙකක් ගලෝල තම්බගම්මු කියල මම කිව්ව.මුන් ටික කට ඇද කරගෙන පාන් ගෙන්නමු අයියෙ පාන් හොඳයි කියල කිව්ව.පස්සෙ උණු පානුයි පොල් සම්බෝලයි දුන්නම කට්ටිය සතුටින් කෑවා.ඔන්න තත්වය.
      සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
  56. හැලපෙ අයියගෙ පුතන්ඩියට සුබ උපන් දිනයක් පතනව..

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට බොහොම ස්තූතියි උමේෂ්

      Delete
  57. හැලප පුතාට සුබම සුබ උපන් දිනයක් පතනවා ගී පවුරෙ අපිත්................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගී පවුරෙ කට්ටියටම

      Delete

ඔබේ අදහස්