Monday, March 31, 2014

123.රාජ්‍ය සාහිත්‍ය උත්සවය,මාස්ටර් සහ සංඝානන්ද.





අද අපේ දවස නිසා අලුතින් පෝස්ට් එකක් ලියනවමයි කියල හිතාගත්තා,නමුත් හදිසියට පෝස්ට් එකක් ලියාගන්න බෑ, අනික ඔන්න දැන් මම එකක් ලියනව කියල හිතාගෙන ඉඳගත්තට ලියන්න බෑ එන්නෙ නෑ, ඉස්සෙල්ලම හිතේ කතාව ලියවෙලා මෝරලා එහෙම එලියට එන්න ඕන ඊට පස්සෙ  අඩුපාඩු හදල නිවැරදි කිරීම් කරල පළකරන්නට පුළුවනි.

අපට ලියන්න ඕනැවෙලාවට ලියවෙන්නෙ නෑ කියන කියුම ඉස්සර මමත් විශ්වාස කලේ නෑ,මම හිතං හිටියෙ ලියන්න හිතුනම ලියන්න පුළුවන් කියලයි,ඔයිට සමාන කතාවක් මීට සෑහෙන කාලෙකට ඉස්සෙල්ල මට අහන්න ලැබුණත්  මම ගණන්ගත්තෙ නෑ,ඒ කතාව මෙහෙමයි...

කාලය මීට අවුරුදු විසි ගණනකට පෙර මම දෙසතියෙ බෙදාහැරීම බාරව කටයුතු කරන  සමය,ඒ අවුරුද්දෙ රාජ්‍ය සාහිත්‍ය උත්සවය හංවැල්ලෙ රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වෙන්නට නියමිතව තිබු අතර දෙසතිය සඳහාද ප්‍රදර්ශන කුටියක් සංස්කෘතික අමාත්‍යාංශයෙන් වෙන්කර තිබුණා,ඉතිං ඔය කුටිය  බාරගන්න මට හංවැල්ලෙ යන්න තිබ්බෙ සෙනසුරාද දවසකයි,ඒ කාලෙ අපේ දෙසතිය බෙදාහැරීම් අංශෙ තිබුනෙ මැලේ වීදියෙ  ඉස්සර  අධ්‍යාපන අමාත්‍යංශෙ තිබුනු පරණ බිල්ඩින් එකකයි.

මම ගමන යොදාගත්තේ මෙහෙමයි, මැලේ වීදියෙන් පිටත් වෙලා හංවැල්ලෙ පහත්ගම හිටපු මගේ සහායකය වන රාජපක්ෂලගෙ ගෙදර ගිහිං උදේ කෑම කාල රාජවත් දාගෙන ඉස්කෝලෙට ගිහිං ඒ කටයුතු ඉවර කරල ආපහු එන ගමනෙදි ඒ ලඟපාත පදිංචිවෙලා හිටපු  අපේ ඔෆිස් එකට අලුතින් ආපු කෙල්ලක් වන රම්‍යගෙ ආරාධනාව අනුව එහෙන්  දවල් ආහාරය අරගන රාජවත් ගෙදරින් දාල කොළඹ එන්නයි...

ඔන්න නියමිත සෙනසුරාද උදේ මම මහව කෝච්චියෙ කොළඹ  එද්දි ගනේමුල්ලෙන් කුමාර ගොඩවුනා...

කොහෙද බං අද යන්නෙ...

අද මෙන්න මේ රාජකාරියකට හංවැල්ලෙ යන්න තියෙනව බං,ගිහිං එන්න යනවා...

අපි දෙන්න කතා කරමින් කොළඹට ආවත් කුමාර සුපුරුදු විදියට දෙමටගොඩින් බැස්සෙ නෑ, මාත් එක්කම කොටුවට ආවා,කොටුවෙදි කුමාර වෙන අතකට යයි කියල හිතුවට මු මාත් එක්කම එනව...

මොකෝ  උඹ අද වැඩට යන්නෙ නැද්ද...

වැඩට යන්න කම්මැලියි බං, අනික ගියත් වැඩක්  කරන එකක්යැ ඊට හොඳයි උඹත් එක්ක හංවැල්ලෙ යනව...

කුමාරගෙ ඔය වගේ අප්‍රබ්‍රංස වැඩ මටත් අපේ ඔෆිස් එකේ අයටත් හොඳට පුරුදුයි,සතියෙ දවස්වලත් දවල්ට කුමාර අපේ ඔෆිස් එකට ඇවිත් කට්ටියත් එක්ක කයිය ගගහ ඉන්න එක කාටත් සුපුරුදු දෙයක්,මාව හම්බවෙන්න ඇවිත්ම කුමාර අපේ ඔෆිස් එකේ ගොඩ දෙනෙක්ව අඳුනනවා ...

ඔෆිස් එකට ගියාම රියදුරු ආසිරිත්  ඔහු පදවන L 300 වෑන් එකත් අපේ ගමනට වෙන්කර ඇතිබව දැනගෙන වැඩිපුර කාලය ගතනොකර පිටත්වෙමු කියල ඇවිත් වාහනේ ඉඳගත්ත විතරයි ප්‍රවාහන නිලධාරී පීරිස් දුවගෙන ඇවිත් මමත් එනව හංවැල්ලෙ යන්න කියල වාහනේට ගොඩවුනා, ඒ පස්සෙන්ම අපේ සී සී හේරත් දුවගෙන එනවා...

උඹල ඔක්කොම ගියාම මම කොහොමද තනියම මේකෙ ඉන්නෙ...

හේරතුත් නැගගත්තා, ඔන්න දැන් මම තනියම යන්න ආපු ගමනට කුමාර,පීරීස් සහ හේරත් එකතුවුනා ආසිරියි පහයි, දැන් වාහනේ කෙලින්ම හංවැල්ලෙ රාජලයි ගෙදර බලා ධාවනය වෙනව,කට්ටිය දාගත්තට මොකද  මට ටිකක් බයයි,රාජ මම විතරක් එනව කියල හිතාගෙන කෑම ලෑස්ති කරල තියෙනකොට තව හතරදෙනෙක් වැඩිපුර උස්සං ගියාම මොනව හිතයිද, දැනුම් දෙන්න විදියකුත් නෑ කමක් නෑ එහෙම උනොත් කඩෙන් හරි කන්න අරං දෙන්න බැරුවයැ,මම ඔන්න ඔහොම හිතමින් හිටියා...

දවසක්දා ඔහොම වැඩක් මටත් උනානෙ,කළුතර ඉන්න සරත් අයිය දවසක් මළගෙදරකටද කොහෙද ගමේ ඇවිත් ඉද්දි මම රෑ කෑමට අපේ ගෙදර එන්න කියල කිව්වා... 

මල්ලි මට ඔය බත්, තෙල් බැදුම් ජාති එහෙම ඕනැ නෑ සුලුවෙන් පාන් කෑල්ලක් ලෑස්ති කළොත් හොඳටම ඇති...

කියපු විදියටම මම එදා රෑට පාන් එක්ක මිරිසට උයපු මාළු හොදි ,පරිප්පු හොද්ද සහ තක්කලි සලාදයක් සූදානම් කළා...

සරත් අයිය රෑ අටට විතර අපේ ගෙදර කෑමට ආවෙ පවුලෙ නෑදෑයො තව හයදෙනෙක් එක්කයි,මට කටඋත්තරත් නෑ බිරිඳ මට හොඳටම දොස් කියනව...

ඔයා කලින් කියන්න එපායැ දැන් මොකද කරන්නෙ...

මම දන්නවෑ මම හිතුවෙ සරත් අයිය විතරක් ඒවි කියලනෙ...

කොහොමත් බෝතල් සාදෙ ඉවරවෙලා කට්ටිය කෑම මේසෙට යද්දි පැයක් විතර ගතවුනා, ඒ කාලෙ ඇතුළත ටක් ටක් ගාල නූඩ්ල්ස් ටිකක් සුදානම් කරගන්න පුළුවන් වෙච්චි නිසා එදා යන්තං හංදුරුකම බේරගත්තා...

ඒ වුනාට එදා මට වුන වැඩේ  නං  මෙදා රාජට වුනේ නෑ,ඉඳිආප්ප,කහ පොල් මැල්ලුම, මාළු හොදි, රෝස් පාන්, වන්ඩු,පුවාලු කෙහෙල්ගෙඩි   ආදියෙන් සමන්විත ප්‍රනීත කෑම මේසෙ දහ දෙනෙකුට උනත් ඇතිවෙන්න සුදානම් කරල තිබ්බා... 

දෙසතියෙ වැඩ කරපු කාලෙ අපි කට්ටිය කොහෙ ගියත් අන්තිමට වාහනේට ගොඩවෙන කෙනාගෙ ගෙදර කෑම සුදානම් කරන එක ලියපු නැති ගිවිසුමක් වගේ ස්ථිර වෙලා තිබුණා,ගොඩක් වෙලාවට ඔය වැඩේ පැවරුනේ මටයි,ඒ කාලෙ මම බැඳලත් නැති කොල්ල , මමත් කොහොම හරි අම්මට කියල කෑම ටික ලෑස්ති කරවල තියනව,කොල්ලො වැඩිපුරම ආස වුනේ අපේ අම්ම හදන කහ පොල් මැල්ලුමත් එක්ක ඉඳිආප්ප කන්නයි...

බුත්තල ගම් උදාව තිබුණු වෙලාවෙ ගම් උදාව ගැන දෙසතිය කවරයේ කතාවක් කරන්න අවශ්‍ය විස්තර හොයාගන්නයි,අපේ දෙපාර්තමේන්තුවට වෙන්කරල තිබුණු බිල්ඩිම බාරගන්නයි ආදී වැඩ දෙකතුනකට අපි කීපදෙනෙක් බුත්තල යද්දිත් උදේට කෑමට ඉඳිආප්ප අම්මට කියල හදාගෙන එන්න කියල ඔක්කොමල කිව්වා,එදා නං මම ඉඳිආප්ප ප්ලාස්ටික් බාල්දියක් පොල් මැල්ලුමත් එක්ක අරං ගියා ... 

යන අය පටවගන්න මග නැවති නැවති උදේ කෑමත් කාල බුත්තලට යනකොට හොඳටම දවල් වුනා,කඩේකින් දවල් කෑමත් අරං අපේ ගොඩනැගිල්ලට ගිහිං නාල කාල ඇඳුම් මාරුකරගෙන එහෙම අපි නිවාස ඇමති හම්බවෙන්න ගියා,අපට හවස හතරට වෙලාව දීල තිබුනට අපි නිවාස අමාත්‍යංශයට යද්දි නිවාස ඇමති සිරිසේන කුරේ හිටියෙ නෑ, ඒ ගමන අපි ආපහු ඇවිත් අපේ තැනට වෙලා ඉද්දි,

''ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් පැමිණි කණ්ඩායමට වහාම නිවාස අමාත්‍යංශයට පැමිණෙන ලෙස ගරු නිවාස ඇමතිතුමා ඉල්ලා සිටී'' 

කියල ඉස්පීකරෙන් කිව්ව නිසා අපිත් වහ වහා නිවාස අමාත්‍යංශයට  ගියා,අම්මෝ ඇමතිවරය හම්බෙන එක බොහොම අමාරුයි අවසේස කෙනෙකුට එහෙම පැත්ත පළාතක යන්න දෙන්නෙ නෑ,අපිව නං බොහොම ආදරයෙන් පිළිඅරගෙන වාඩිවෙන්න කියල බොන්න සිසිල් බීමත් දීල, උදේම  කොළඹින් පිටත්වෙච්ච ගමන් නේද,දවල්ට කෑම කාලද කියල එහෙම අහල දෙසතියෙ ලියන කණ්ඩායමත් එක්ක ඉන්ටවිව් එකත් කළා,ඔක්කොම වැඩ ඉවර කරල ආපහු එන්න වෑන් එකට නගිද්දී කරුවලත්  වැටිල,මග දිගට පිස්සු නටාගෙන ගෙදර එද්දී පහුවදාට එළිවුනා...  

කෑමට ආරාධනා කිරීම ගැන කියද්දි මට තව කතාවක් මතක්වෙනව අමතකවෙන නිසා ඒකත් කියලම ඉන්නං... 

ඒ අපි චෙන්නායි වල හිටපු කාලෙ, දවසක්දා කේමදාස මාස්ටර් වකුගඩු අමාරුවට බේත් ගන්න චෙන්නායි ඇවිත් ඉද්දි මාව මුණගැහුනා,ඒ දවස්වල අර්ජුන ලංකාවට ගිහිං හිටපු නිසා මාස්ටර් නැවතිල හිටියෙ මහාබෝධියෙ, මාස්ටර්ට අවශ්‍ය වැඩ ටික කරල දීල එහෙම අපි ටික වෙලාවක් සතුටු සාමීචියෙ යෙදෙමින් ඉද්දි මම මාස්ටර්ට පහුවදා රෑ කෑමට ආරාධනා කළාම මාස්ටරුත් ආරාධනාව පිළිගත්තා...

මාස්ටර් සමුගෙන ගිහිං ටික වෙලාවකින් ඒ සංදියෙ මහාබෝධියෙ කළමනාකරු වෙලා හිටපු ජයතුංග මහත්තය මට කතාකළා... 

හෙට  රෑ කේමදාස මාස්ටරුත් එක්ක මම එනවා,හැබැයි මාස්ටර් සැර බීම ජාති බොන්නෙ නෑ ලෙඩේට හොඳ නෑනෙ, එතකොට වැඩිපුර මිරිස් සැරට හදපු හොදි මාළුපිණි කන්නෙත් නෑ...

හරි හරි එහෙමනං මම  බියර් දෙන්නංකො ඒකත් සැර නං නොබීම හිටපුදෙන්,එතකොට මාස්ටර්ට වෙනම සැර නැති හොදි මාළුපිණි හදවන්නං එහෙම හොඳනෙ...

ඔය කතාව මම බිරිඳට කියපුවම ඇය පොඩ්ඩක්වත් මිරිස් සැර නැති කිරිහොදිත්,සුදට වැටකොළු වැංජනයකුත් මාස්ටර්ට විශේෂයෙන් පිළියෙළ කළා,පැණිරසත් අගුණ නිසා අනිත් අයට කන්න වටලප්පන් හදද්දි මාස්ටර්ට බාගෙට ඉදුණු කෙසෙල්ගෙඩිත් ගස්ලබුත් ගෙනත් තිබ්බා...

ඔන්න පහුවදා රෑ මාස්ටර් ජයතුංග මහත්තයත් එක්ක අපේ ගෙදර ආව,ඊට අමතරව බන්දූ,ටෙරන්ස් නාගේෂ්වරන්, අසෝකන් ආදී කණ්ඩායමත් සුපුරුදු විදියට ඇවිත් හිටියා...

සතුටුසාමීචියෙ යෙදෙන ගමන් බෝතල් පාටියත් පටන් ගත්තා,මාස්ටර්ට තියල තිබුණු බියර් දිහා ඔහු බැලුවෙවත් නෑ, බ්ලැක් ලේබල් ග්ලාස් එකක් කටකපල වක්කරගත්ත 

මාස්ටර් බ්ලැක්ලේබල් දෙකතුනක් දාගෙන  කෑමට ගිහිං  හොඳට මිරිස් සැරට හදල තිබ්බ චිකනුයි රතුම රතු පොල් සම්බෝලයි එක්ක ඉඳිආප්ප කෑවා,විශේෂයෙන් හදල තිබ්බ කිරිහොදි,වැටකොළු හොදි එහෙම ඇල්ලුවෙවත් නෑ...

කාලෙකින් ෂෝක් ඉඳිආප්ප ටිකක් කෑවා...

කියල කෑමෙ රස පාරට්ටු කරපු මාස්ටර් වටලප්පන් කෝප්පෙකුකිනුත් සප්පායම් වුනා,කෑම ඉවරවෙලා කට්ටිය යන්න ගියාට පස්සෙ බිරිඳ මට වදේ ගැහුවා...

සැර දේවල් කන්නෙ නෑ කියපු කෙනා ඔය අගේට සැර නැති ජාති කෑවෙ,කියල හදෝගත්ත වැටකොළු, කිරිහොදි ටික ඔයාවත් කන්න...

ඊට පස්සෙ කීප වතාවක්ම මාස්ටර් චෙන්නායි වලට වෛද්‍ය ප්‍රතිකාර ගන්න ආවම මට මුණගැහුනා,ඒ වුනාට කෑම ගැන බණ නං ආයෙම කිව්වෙ නෑ,එතකොටත් මාස්ටර්ගේ වකුගඩු දෙක හොඳටම නරක්වෙලා කියල මාස්ටර්ම මාත් එක්ක කිව්වා,ඒ දවස්වල මාස්ටර් නතරවෙලා හිටියෙ අර්ජුනගෙ ගෙදර... 

මහාබෝධියෙ  වෙසක් උත්සවේට අර්ජුනල අපි බැහැලම වැඩකලා,එතකොට මහාබෝධියෙ  පාලනය වෙනස්වෙලා ජයතුංග මහත්තයල හිටපු හාමුදුරුවරු එහෙම ආපහු ගිහිං අලුත්ම හාමුදුරුවරු සැට් එකක් පත්වෙලා ආව කාලෙ,ධම්මාලෝක පොඩි හාමුදුරුවන්ට වෙසක් උත්සවය සරුවටම කරන්න අවශ්‍යතාව තිබුණා...

වෙන අවුරුදුවල වෙසක් එකට රැස්වීමක් තියල එන අය පැය ගණන් දෙමළෙන් කතා පවත්තනව  අහගෙන  ඉඳල තිත්ත වුනාම ඔය මුරුක්කු ටිකකුයි  වඩේයි කන්න දීල  බොන්න අඹ ජුස් පැකට් එකක් දීල වෙසක් උත්සවේ ඉවර කරනව වගේ නැතුව මේ වෙසක් උත්සවය බොහොම උත්කර්ෂවත්  විදියට කරන්නට කට්ටිය උනන්දුවෙන් වැඩ කළා 

කෙනට් ලේන් එක දිගේ මහාබෝධියට පෙරහැරක් එන්නයි,උත්සව සභාව ඉහළින්ම පවත්වන්නයි,වෙසක් කූඩු හදල පන්සල මිදුලෙ එල්ලන්නයි ආදී වශයෙන් වැඩ රාශියක් කරන්නට තිබුන නිසා අපි බොහොම කාර්යබහුල වෙලා හිටියෙ,එතකොට මහාබෝධියේ ඉඳල ලංකාවට සජීවී රේඩියෝ ප්‍රචාරයක් දෙන්න ලක්හඬේ නිවේදකයෙකුත් ඇවිදින් හිටියා...

දවස් ගාණක් මහන්සිවෙලා කරපු වෙසක් උත්සවේ ඉතාම සාර්ථක ආකාරයට නිමාවට පත්වුනා,පෙරහැර ලස්සනට වීදි සංචාරය කළා ,උත්සවයෙදි වෙනද පැය ගාණක් එපාවෙනකන් දෙමළෙන් කියවන ඩොක්ට සිද්ධාර්ථන්ටත් එදා කතාකරන්න දුන්නෙ විනාඩි පහයි,ඔක්කොම වැඩ කටයුතු ඉවරවෙලා ආරාධිතයන්ට තේ පැන් සංග්‍රහය ලෑස්ති කරල තිබුණු උඩ තට්ටුවට ආරාධිතයො  යද්දී අපි කණ්ඩායමක් වෙන පැත්තකට ගියෙ කලින් ලෑස්ති කරලා තිබ්බ වෙන සංග්‍රහයක් හොරෙන්ම භුක්ති විදින්නයි... 

උඩට නැගල බිරිඳ ඇතුළු කාන්තාවො ළමයි එහෙම දකුණු පැත්තට යද්දී අපි වම්  පැත්තට යනව එක්කෙනෙකුට වසංගන්න බැරිවුනා,ඒ සංඝානන්ද හාමුදුරුවෝ,සංඝානන්ද හාමුදුරුවොත් මෑතකදි මහාබෝධියට ආපු තරුණ හාමුදුරු නමක්,මේ හාමුදුරුවො බොහොම මිහිරි හඬින් බෝධි පූජා කවි ආදිය කියනව අහං ඉන්න ලස්සනයි, හාමුදුරුවන්ව ලංකාවෙ ඉඳල ගෙන්න ගත්තෙත් ඔය හැකියාව හින්දම වෙන්න ඇති ...

මහත්තයල සෙට් වෙන්න වගේ...

අපි කට්ටිය හයියෙන් හයියෙන් කාමරේ පැත්තට යද්දී සංඝානන්ද හාමුදුරුවො ඇහුවා...

ඔව් හාමුදුරුවනේ එනවද...

කියල කටගන්න  හම්බවුනේ නෑ මෙන්න පොරත් අපි පස්සෙන් එන්න ගත්තා...

ඊට පස්සෙ සිදුවුණු සිදුවීම් ගොන්න හරිම රසවත් සහ සදා මතකයේ රැඳෙන සුළුයි,නමුත් ඔය කතා කියන්න ගිහිං සුචරිතවාදීන්ගෙන් සහ මූලධර්මවාදීන්ගෙන් එක එක ජරා කතා අහගන්න මම කිසිසේත්ම කැමති නැති නිසා ඒ කතාව මෙතැනින් නවත්වන්නට සිද්ද වෙන බව කියන්නට කැමතියි...

ඉතිං හංවැල්ලෙ යන්න ගිහිං මගින් හැරිල බුත්තල හරහා චෙන්නායි යන්න වුන නිසා රාජ්‍ය සාහිත්‍ය උත්සවයෙ කතාව කියන්න බැරිවුනා,දැන් ලිව්වොත් කතාව දිග වැඩිවෙනව ඒ නිසා සාහිත්‍ය උත්සවයෙ කතාව ආයෙම ලියන්න වෙනවා.




Wednesday, March 26, 2014

122.මගේ කෙහෙල් කොටුව මුද්දර සහ හිඟුරල




 අදත් තව ටිකක් මඤ්ඤොක්කා ගැන ලියන්න කල්පනා කලේ මම ලියපු මඤ්ඤොක්කා හැළියෙ කතාවට අපේ කට්ටිය බොහොම මනාපයක් දක්වපු නිසයි,මනාප කියන්නෙ ගොඩක් අය මඤ්ඤොක්කා ගැන කෙළ හලාගෙන කමෙන්ට් කරල තිබුණා. නොරට ඉන්න අපි වගේ අයනං කමක් නෑ කියමුකො, ලංකාවෙ ඉන්න අයත් බොහොම කෑදරකමකින් කතා කළා නොවැ...

ඒ වුනාට පහුගිය කාලෙ මම ලංකාවෙ හිටපු දවස්වල මෙන්න මෙහෙම දේකුත් වුනා,මගෙ අර පොඩි කෙහෙල් කෑල්ල තියෙනවනෙ මම නැති ටිකේ කෙහෙල් ගස්වලට කිසිම සාත්තුවක් තිබිල නැතුව බොහොම දුක්ඛදායක තත්වයකට කෙහෙල් කොටුව පත්වෙලා තිබුණා, වල් වැවිල ගස් කඩාගෙන වැටිල කපපු කෙහෙල් මුල් දිර දිරා යනවා   බලන්න දුකයි කිව්වහම මොකද  නලින්ල අටං ල අපේ ගෙදර ආපු වෙලාවෙත් පුතා කොටුවට යමු යමු කිව්වට මම උන්ව එක්ක ගියෙ නෑ පෙන්නන්න බෑ විලි ලැජ්ජයි...

ඉතිං කොටුව මේ විදියට තියන්නත් පුළුවනැයි බලන්න බෑ දුකයි  ඒ නිසා මම කොල්ලො ටිකකුත් අඬගහගෙන කොටුවට රෙපෙයාර් එකක් දෙන්න පටන්ගත්තා. කෙහෙල් මුල් ඔක්කොම ගලෝල දාල වැඩිපුර පැළ අයින් කරල වල් සුද්ද කරලා පෝර පාරකුත් දාල යන්තං මනුස්ස පාටකට හදාගත්ත,වැඩක් නං නෑ ඉතිං මම ඇවිත් කොටුව සුද්ද පවිත්‍ර කරලා පෝර දාල යන්න ගියාම  වැටෙන කෙසෙල්කැන් ටික ඉන්න අය කපාගෙන කනව,අඩු තරමෙ කපපු ගහක මුලක් වත් ගලෝල දාන්නෙ නෑ,ආයෙම කැලෑ වැහුනම මම ආපහු ආපු වෙලාවක සුද්ද කරන තුරු එහෙමම තියෙනව හරියට සංසාර චක්කරේ වාගෙ තමයි ,ඉතිං ඔය වැඩ ටික ඉවර වෙද්දි දවල් එක දෙක උනා මම කට්ටියට එතනම හීනියට කර්තව්‍යයකුත් කරන්න ලෑස්තිකරලා තිබුණා...

මඤ්ඤොක්ක පඳුරු දෙකක් ගලෝල තම්බගමු...

මම එහෙම කිව්වම කට්ටිය කට ඇද කරගත්ත...

මඤ්ඤොක්ක කන්න බෑ අයියෙ පාන් ගෙන්නන්න...

ඒ ගමන චූං පාන් වෑන් එකෙන් උණු පාන් අරගෙන කලටි පොල් ගෙඩියක් කඩල සම්බෝලෙකුත් ගලේ තලෝගෙන කට්ටිය එක්ක සතුටින් කෑවා,සම්බෝල එක්ක නෙවෙයි උණු පාන් කලටි පොල් එක්ක කාල තියෙනවද මාර රසයි,අපි කොල්ලො කාලෙ ඔය වෙසක් සැරසිලි එහෙම කරද්දි මහ රෑ හොර කුරුම්බ කඩනවනෙ ඒ වෙලාවටත් කලටි කඩල ටවුමෙ බේකරියෙන් උණු පාන් ගෙනැත් කනවා...

පෙළක් කොල්ලන්ට නං පාන් කන්න ඔය මොකුත්ම ඕනත් නෑ. දවසක්දා පාන්දර පාන් ගෙනාපු වෙලාවක කපිලය පාන් ගෙඩි දෙකයි තුන්කාලක් නිරි පිටින්ම කෑවනෙ,ඔය රැකෝඩ් එක අවුරුදු කීපයක් තිබිල ආපහු කැඩුවේ කපිලගෙම පොඩි මල්ලි වසන්ත,වසන්ත එදා පාන් රාත්තල් තුනයි කාලක් නිකම්ම කෑවා...

ඔය වගේ රැකෝඩ් කාලෙන් කාලෙට ඇතිවෙනව කැඩෙනව, වීරෙ කුරුම්බ බීල තියපු රැකෝඩ් එක නං තාම කඩල නෑ, දවසක්දා මහ රාත්තිරියෙ වීරය කුරුම්බ ගෙඩි හතරක් බීල හතරෙම ලොඳත් කෑවා,වීරයව දැකපු කෙනෙක් නං මු මෙහෙම වැඩක් කරයි කියල හිතන්නෙවත් නෑ, ඒ තරං  කේඬෑරි කොල්ලෙක්,දැන් ඉන්න කොල්ලො පරපුර නං හොර කුරුම්බ කඩනව කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැතුව ඇති...

ඔව්ව ඔහොම තමයි කලින් කලට පලින් පල කිව්වලුනෙ,මම නං ඉතිං කොයි රටේ හිටියත් අල බතල මඤ්ඤොක්ක ටිකක් හොයාගන කන්න උපරිම උත්සාහයක් ගන්නවා,යුරෝපෙ සමහර වෙලාවට හුළං වදිනවට ලෙල්ලෙ ඉටි ගාපු මඤ්ඤොක්කා  තායි කඩවල ඉන්දියන් කඩවල තියෙනව දැක්කම අරං ගිහිල්ල තැම්බුවට කොච්චර වෙලා තැම්බුවත් තැම්බෙන්නෙ නෑ ගල් කෑලි වගේ, අපරාදෙ ගෑස් ටික කියල බැන බැන අල කෑලි ටික විසික්ක කරල දානව...

ඔන්න අපි චෙන්නායිවල ඉන්න කාලෙ බිරිඳගේ ගමේ මනුස්සයෙක් ඉන්දියාවෙ එනව කියල මොනවද එවන්න ඕනි කියල ගෙදරින්  ඇහුවම මඤ්ඤොක්ක ටිකක් එවන්න කියල බිරිඳ කිව්වලු,අයියත් රට ගෙනියන්නනෙ කියල මඤ්ඤොක්කා කිලෝ ගාණක් වත්තෙන් ගලෝල අර මනුස්සයට ගිහිං දුන්නට බර වැඩිවෙනව කියල අල දෙකක් විතරක් අරං ඇවිත් තිබුණා,පහුවදා උදේ ඒ මඤ්ඤොක්කා අල දෙක තම්බල පොල් සම්බෝලත් එක්ක කෑම මේසෙට තිබ්බම අර මනුස්සය තම්බපු අල ටික ඔක්කොම කාල යන්න ගියා,අනේ පව් මඤ්ඤොක්ක කන්න ආසාවෙන් හිටපු අපි දෙන්නට හුළං...

දැන් කොල්ලො නං අපි වගේ ඔය වැල්අල, බතල මඤ්ඤොක්ක වලට පෙරේතකමේ දඟලන්නෙ නෑ, උන්ට පොටැටෝ චිප්ස් බැදල දුන්නනං කයි,ෆ්රෝසන් චිප්ස් හැමදාම කන අපිට  මුද්දරලගෙ දෙන්දරමුන්දෙ ගෙදර ගියාම ප්‍රෙෂ් චිප්ස් කන්න ලැබෙනව,ඒ කියන්නෙ මුද්දර වත්තෙ අර්තාපල් වවනවා,ගේ පිටිපස්සෙ තියෙන පොඩි ඉඩං කෑල්ලෙ අර්තාපල් ලීක්ස් තක්කාලි බීට්රූට් එක්ක තව අපි නම් දන්නෙ නැති එළවලු ජාති මුද්දර වවාගෙන තියෙනව...




ඒ ගොල්ල වත්තෙ පලදාව එකසැරේ නෙලාගන්නෙ නෑ  උයන්න ඕනෑවුනාම හිල්ඩ නංගි ගිහිං වත්තෙන් ලීක්ස් ටිකක් බීට්රූට් ගහක් දෙකක් ගලෝගන්නවා,එහෙම නැත්නං අපි ගියාම අපට ගේන්න දෙන්න ගලෝනවා, එහෙමත් නැත්නං ඊළඟ කන්නෙ වෙනකල්ම මෝර මෝර තිබිල පස් පෙරලනකොට යටවෙලා යනවා...

දවසක්දා අපි එහෙ ගිය වෙලාවක හවස මුද්දරයි මමයි ගේ පිටිපස්සෙ තියෙන සමර් හට් එකට වෙලා බියර් බෝතලයක් සප්පායම් වෙමින් හිටියා,එදා මුද්දර මට දීපු බියර් බෝතලේ හරිම රසයි, මම ඕක කිව්වම අපොයි ඔය ජාතියෙන් බෝතල් දෙකතුනයි ගෙදර ඇත්තෙ කියපු මුද්දර දඩ බඩ ගාල වාහනේට නැගල ගිහිං ඒ ජාතියෙ බියර් පෙට්ටියක්ම ගෙනාවා,මොකද මුද්දරල බියර් වයින් එහෙම බොන්නෙ වතුර වෙනුවටනෙ, මමත් එහෙම කියල හිතන්න ඇති,බෙල්ජියමෙ ඉන්ටනැෂනල් බ්‍රෑන්ඩ් ඇරෙන්න ලෝකල් බියර් වර්ග හාර පන්සීයක් තියෙනව වයිනුත් එහෙමයි දවසකට එක වර්ගෙ ගානෙ අවුරුද්දක් බිව්වත් ටේස්ට් කරලා ඉවර කරන්න බෑ ...

අපි උදේට කහට තේ, කිරි එහෙම බොද්දි මුද්දර පෝට්වයින් ටිකක් බොනවා උදේ එළිවෙනකොට බේකරියට ගිහිං පාන්,කෘවසොන් එහෙම අරං ඇවිත් බටර් ගාගෙන හය වෙද්දී උදේට කනව, දවල් දොළහට දවල් කෑමත් හවස හයට රෑ කෑමත් ගන්නවා,හැම කෑම වේලකදිම හරි හරියට රෙඩ් වයින් බොනවා,අවුරුදු හැත්තෑ ගානක් වෙලත් තවම තරුණය වගේ ඉන්නෙ වාහන එළවන්නෙ එහෙම මුද්දරගේ කෑම වේලේ තියෙන ක්‍රමවත් භාවය නිසා කියලයි මට නං හිතෙන්නෙ...

ලංකාවට ගිය වෙලාවට මුද්දරට බොන්න  වයින් හෙවිල්ල හරි අමාරුයි, ඒ රටේ යුරෝ දෙක තුනක් වෙන බාල වයින් බෝතලයක් වුනත්  ලංකාවෙ රුපියල් දෙතුන් දාහක් වෙනවලු,මුද්දරට වයින් නැතුව කන්න බැරි නිසා ලොකු ගණන් දීල වයින් ගන්න වෙනවා...

ඉතිං මම කියාගෙන ආවෙ අපි දෙන්න බියර් බිබී හිටපු කතාවනෙ,ඔන්න අපි ඉඳන් හිටපු තැනට  පොඩ්ඩක් එහයින් මුද්දරගෙ අර්තාපල් වගාව,අපේ රටේ අර්තාපල් වැව්වට මොකද හිටවන හැටි අල ගලවන හැටි එහෙම අපි කවදාවත් දැකල තියෙනවයැ,ඔය නුවරඑළිය වැලිමඩ පැත්තෙ ගියොත් අල පාත්තිවලට තෙල් ගහන හැටි දකිනව ඇරෙන්න...

ඉතිං මමත් නොදන්නාකම සහ කුතුහලය නිසාම මුද්දරගෙන් අල ගැන විස්තර ටිකක් ඇහුව,ගලවන්නෙ කොහොමද අර්තාපලුත් බතල වගේ මුලකින් සම්බන්ධවෙලා තියෙනවද ආදී වශයෙන් මෝඩ ප්‍රශ්න දෙකතුනක් ඇහුවා...

මුද්දර වචනයක්වත් කතා නොකර එතනම වැටට හේත්තු කරලා තිබුණු සවලත් අරගෙන අල පාත්තියට ගිහිං කොළ කහ පාට වෙලා තිබුණු අර්තාපල් පඳුරු දෙකක් සවල ගහල ගලවනකොට ලොකු බිත්තර ගෙඩි වගේ අර්තාපල් අල පොළොවෙන් මතුවුනා,එතනම අල  කිලෝ තුනහතරක් තිබුණා,ටිකක්  එවෙලෙම පොතුඇරලා පොඟන්න වතුර එකක දාල තියල චිප්ස් මේකර් එකෙන් කපල ප්‍රෙෂ් චිප්ස් බැදල කෑවා,ඉතුරු ටික අපි පහුවදා බ්‍රසල්ස් එද්දී අරං ආවා ...

මම තවදුරටත් විස්තර අහපුවම අර්තාපල් හෝ  එළවලු වවන්න කිසිම රසායනික පොහොරක් හෝ බෙහෙතක් නොයොදන බවත් කන්නයක් වගා කරන්නට පෙර කොම්පෝස්ට් පෝර ට්‍රැක්ටරයක් ඉඩමට දාල පස පෙරලගන්න බවත් වතුර ඇරෙන්න වෙන කිසිම දෙයක් වගාවට නොදමන බවත් මුද්දර මට පැහැදිලි කරල දුන්නා...

අපේ රටේ එළවළුවලට පොළොවෙන් කොළේ උඩට ආදා ඉඳන් රසායනික පෝර සහ තෙල් බෙහෙත් දැම්මෙ නැතිනං වගාව පාළුවෙන බව මම කියපුවම මුද්දර ඇස් දෙකත් උඩ ඉන්දගෙන අහගෙන හිටියා...

ඇත්තම කතාව ඒකනෙ අපේ රටේ තෙල් බේත් ගහන්නෙ නැතුව හදන්නෙ මොනවද, පළා වර්ගවලට පවා කපන්න දවස් දෙකකටද කොහෙද කලින් තෙල් ගහනවලු,එහෙම බලපුවම මොන තරං විසක් අපි කනව ඇද්ද .කොහොමත් අපි පොලේ ගියාම පලා ජාති දෙක තුනක් ගන්නවා,තක්කාලි දාල උයන්න කියල බිරිඳ සාරණ මිටියක් ගන්නව,එතකොට මැල්ලුමක් කන්නයි කොළකැඳවලට දාන්නයි මම මුකුණුවැන්න මිටියක් ගන්නව,හදිසියෙ බයිට් එකක් එහෙම හදාගන්න ඕනෑවුනොත් කියල කංකුන් මිටියකුත් ගන්නව...

කංකුන් ගස් කීපයක් තෙල් දාල, බැදපු මස් හරි මාළු හරි කෑලි දෙක තුනක් උඩින් තියල දෙන බයිට් එකට නාරාහේන්පිට වලේ ඒ කාලෙ රුපියල් එකසිය පනහක්ද කොහෙද ගත්ත දැන් නං ඊට වැඩි ඇති...

අපි සිංගප්පූරුවෙ ඉද්දි දවසක්දා එහෙ ඉන්න ඒකනායක මාව හම්බවෙන්න හෝටෙලේට ආවා ඇවිත් බියර් එකක් ගහන්න යමු මචං කියල මාව එළියට එක්කරන් ගියා,අපි හිටපු හෝටෙලේ ලඟම තිබ්බ රෙස්ටුරන්ට් එකකට ගිහිං එළියෙ තියල තිබ්බ මේසෙක වාඩිවෙලා බියර් ඕඩර් කළා, බයිට්වලට මොනවද කන්නෙ කියල වේටර් කෙල්ල ඇහුවම ඒකනායක වෙජිටේරියන් නිසා කංකුන් ගේන්න කිව්වා...
මොනවද සෝස් වගේකින් තම්බල හදපු තෙල් නැති රසම රස කංකුන් බයිට් එකත් එක්ක අපි දෙන්න බඩ පැලෙන්න බියර් බොමින් ඉද්දි ෂොපින් ගිහිල්ල හිටපු බිරිඳ ඇතුළු කාන්තා කණ්ඩායම පස්සෙන් මිනිහෙක් එනවය හොරෙක්ද දන්නෙ නෑ වහාම එන්නය කියල මට කෝල් එකක් ආව නිසා ඒකනායකට ටැක්සියක ගෙදර යන්න කියල මම කාන්තා කණ්ඩායම හිටපු තැනට පයින්ම ගියා...

අපේ පොලේ පළා විකුණන ගෑනු පේලියෙ හිටපු එක කටකාර ගෑනු කෙනෙක් පළා විකුනලම අපිත් එක්ක හිතවත් වුනා,අපිට පළා ඕනැ නැති  දාටත් මේ අම්මණ්ඩි කොහොම හරි පළා මිටියක් ඇඟේ ගහනව,ඈත එනව දකිද්දීම...

එන්න මැණිකෙ මොනවද ගන්නෙ...

ඔන්න ඔය විදියට පළා ගනුදෙනු සිද්දවෙද්දී තවත් දවසක අපි දෙන්න පොලේ ගියා,පළා අම්මණ්ඩි කෑ ගහනවා ...

එන්න මැණිකෙ,එන්න පැටියො මොනවද ඕනැ...

පැටියො කිව්වෙ මට, බිරිඳ මාවත් ඇදගෙන ශීග්‍රගාමී දුම්රියක වේගෙන් එතනින් ගියා,ඊට පස්සෙ නං කොළ ගන්න ඒ ගෑනු කෙනා ලඟට ගියෙ නෑ නමක් දාගත්ත විතරයි...

ඔයාට කොළ ගන්න ඕනැනං තව කොච්චර තැන් තියෙනවද පැටියගෙන්ම ගන්න ඕනැයි...

ඒ වුනාට අපි කෙහෙල්ගෙඩි ගන්න තැන ඉන්න අම්මයි දුවයි නං එහෙම නෑ ඒ ගොල්ල කාබයිට් ගහල ඉදෝපු කෙහෙල් ගේන්නෙත් නෑ,කොළ මිටි කොස්,දෙල්,වැල්අල ජාති, නාරන් කාමරංගා පොල් රඹුටන් කෙහෙල්මුහ ආදී නොයෙකුත් ජාති ගංගොඩෙන් හොයන් ඇවිත් මේ ගොල්ල විකුනනවා...


වැල්අල ජාතිවලිනුත් හිඟුරල මම ආසම අල ජාතියක්,බඩේ ඌෂ්ණේ නිසා දරුපල ප්‍රමාද වෙන කාන්තාවන්ටත් වෙද මහත්තුරු හිඟුරල කන්න කියනවලු, බඩ හීතල වෙන්න කියාපු බේත,ඔය අම්ම ගාව හිඟුරල නැති දවසටත් මම අහනව...

හිඟුරල ගලවන්න තව සතියක් දෙකක් යනව මහත්තයො මේ මාසෙ අන්තිමට ඉතර ඕං ගේන්න පුළුවනි...

එහෙනං ගෙනත් දෙන්නකො කිව්වහම මොකද මට නං නෙවෙයි මේ අපේ නෝනට කන්න දෙන්න...

මාව අල්ලගන්නෙ නැතුව ඔයාට ඕනෑ දෙයක් ගෙන්නගෙන කන එකයි...

ඔන්න  බිරිඳ ගෝලු ගන්නව ...

හරි හරි මං මහත්තයට හිමිහිට අල ටිකක් ගෙනැත් දෙන්නන්කො...

අම්මත් හිනැහී හිනැහී කියනව,මම එතනට ගියාම එතන ඉඳන් ටිකක් වෙලා වෙළඳාම් කරලත්  තමා පොලෙන් පිටවෙන්නෙ...

හිඟුරල කොච්චර රසවුනත් සුද්ද කරනකොට අත කසන නිසා බිරිඳ අල්ලන්නවත් කැමති නෑ,අතට සිලි කවරයක් දාගෙන හරි මම සුද්ද කරල දීල උයෝගෙන කනවා,කන්න ගෙනාපු හිඟුරල වල ඉහටිය කපල අළු ගාල තිබ්බම හිටෝන කාලෙ වෙනකොට දළු දාන්න ගන්නව,ගෙදර තිබ්බ අල ඉහටි ටික මම ගිහිං කොටුවෙ කොළ රොඩු පුච්චපු තැනක් කොටල යටකරල දැම්ම,වැල් දුවන්න කෝටුත් තිබ්බා,මාස ගානකට පස්සෙ වැල් මැරෙන්න ගත්ත, අල ගලවපුවම කිලෝ විසිපහකටත් වඩා අස්වැන්න තිබුණා,ඒ ගමන අපි ගෙදරත් කාල ඉතුරු හරිය යාළුවන්ටත් බෙදල දැම්මා...

ඊට පස්සෙ අල වාරෙ එතන කුකුළල හිටෙව්වා,දන්නවනෙ අර වටු බිත්තර වගේ පොඩි අලේ පොත්ත පිටිං තම්බල පොත්ත ඇරල කනවා,කොච්චර රස උනත් පොත්ත ගලවන්න ගියාම කම්මැලියි,කුකුළල තම්බපුවම අල බෙදපු පිඟාන බිරිඳට දීල තව පිඟානක් අරං මම එතන වාඩිවෙනව,බිරිඳ පොතු ගලෝ ගලෝ මගෙ පිඟානට දාන දාන අලේ පොලුත් එක්ක මම කනව,හරි ලේසියි හරි පහසුයි හරිම රසයි.

මාර්තු 31 වන දිනට යෙදෙන බිරිඳගේ විවාහ සංවත්සරය වෙනුවෙන් මේ කතාව ඇයට ආදරයෙන් පිළිගන්වමි.





Saturday, March 22, 2014

121.අකරතැබ්බය 2.

 
 අකරතැබ්බය 2 කියල මේ කතාවට නම දැම්මෙ කලිනුත් මට මේ වගේ දෙයක් වෙලා අකරතැබ්බයක්  කියල කතාවක් ලියපු නිසයි,ඒ පබ්ලිෂ් කරපු කතාවක් ඩිලීට් වුනු වැඩක්,ඒක නං කට්ටිය එකතුවෙලා කමෙන්ටුත් එක්කම ආපහු හොයල දුන්නා...

අද පබ්ලිෂ් කරන්න හිතාගෙන ලියපු කතාව ඊයෙ රෑ මම නොසිතූ ආකාරයට වාෂ්ප වුණා.දවස් දෙකක් තිස්සෙ බඩවැලක් වගේ දිගට ලියපු කතාවෙ අඩුපාඩු දවසක්ම හැදුවා,අඩු තැන් දික් කළා වැඩි තැන් කපා දැම්මා, අකුරු ඉස්පිලි ඇලපිලි වචනෙන් වචනෙට කියව කියව හදල අවසාන කරල ඊයෙ රෑ පින්තුර ටිකකුත් දැම්මා...

පින්තුර හොයාගන්න සී ඩී විස්සකට වඩා බැලුවා,අන්තිමේ ඔක්කොම ඉවර කරද්දි රෑ එකොළහමාර විතර වුණා,එවෙලෙ මාත් එක්ක කතා කරමින් හිටපු අටං ටත් මම හෙට අලුත් කතාවක් දානව කියල කිව්වා ඕං ...

ඔක්කොම අවසාන වෙලා බැලුවම මම කතාව හරියට ඉවර කරල තිබ්බෙ නෑ නේද කියල අවසානය හැදුව වෙලාවෙ තමයි කොපි පේස්ට් එකක් කරන්න රයිට් ක්ලික් කරද්දී එක තප්පරයකින් හතරෙන් පංගුවක් ඇතුළත මගේ ඔක්කොම මහන්සිය වතුරේ ගියෙ...

කතාවෙ මාතෘකාව විතරක් ඉතුරු වෙද්දි මුළු කතාවම නැතිවෙලා තිබ්බා,මොකද කරන්නෙ නහින්නයැ ඒ වෙලාවෙ ඉඳල අද මේ වෙනකං හිතේ තිබුණු දුකටයි කේන්තියටයි බ්ලොගර් පැත්ත පළාත බලන්න හිතුනෙ නෑ,ඒක මගේ නොලැබීම වෙන්න ඇති කියල හිත හදාගන්නව ඇරෙන්න වෙන මොනව කරන්නද...

ආපහු ඒ කතාව ලිව්වත් ඒ විදියටම මගෙ අතින් ලියවෙන එකක් නෑ,බොහෝ විට ඒ අත්දැකීම කෑලි වශයෙන් වෙන වෙන කතාවලට එකතු වෙන්නත් ඉඩ තියෙනවා,මුල් ආකාරයට කොහොමත් ආපහු ලියවෙන්න විදියක් නැති එක ඉතාම ස්වාභාවිකයි නෙ  අර කවුද කියල තියෙනව වගේ...

කෙනෙකුට එක ගඟක්
දැකිය නොහැකිය දෙවරක්

ඇරිස්ටෝටල් වෙන්න ඇති බොහෝ විට මට හරියටම මතක නෑ වැරදි නං මාව නිවැරදි කරන්න,ඇරිස්ටෝටල් කියපු එක බුදුරජාණන් වහන්සේ තව දුරටත් දියුණු කරල ඉදිරියට ගෙනිහින්...

දකින්නට දෙවරක්
එසේ ජීවත් නොවේ කිසිවෙක්

යනුවෙන් වදාරලා තියෙනව,මෙතනදී ඇරිස්ටෝටල් ජීවත් වුනු කාලෙ සහ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලෙ ගැටෙනවා,එහෙම කොහොමද වෙන්නෙ කියල මාත් එක්ක රණ්ඩු අල්ලන්න හදන්න අවශ්‍ය නෑ,ඒ දෙපොළ කියපු ඔය කතා දෙක එකකට එකක් කිසිසේත්ම සහ සම්බන්ධ වෙලා තිබුනෙ නෑ,කතාවෙ තිබුණු අර්ථාන්විත භාවය නිසා එකලඟ යොදාගත්ත මිසක්...

අපි ඇත්තටම අරගෙන බැලුවොත් මේ කියන කතාව මොන තරම් සත්‍යයක්ද කියන එක මට නිකමට හිතුණා,අපි කොළඹ යනකොට හැමදාම උදේ හවස කැළණි ගඟ උඩින් යනව,කැළණි ගඟ කැළණි ගඟ කිව්වට ගඟ කියන්නෙ මොකක්ද වතුරද,එහෙම නැත්නං ඉවුරුද ,අපි හවස දකින්නෙ උදේ දැකපු ගඟමද,එතකොට උදේ දැකපු වතුර හවස තියෙනවද, හවස ඒ වතුර නැත්නං ඒ ගඟම වෙන්නෙ කොහොමද ,නැත්නං ඒ වතුර අපට ආපහු දකින්න පුලුවනිද,ඒ වතුර ආපහු ඒ ගඟටම එකතුවෙනවද, එහෙම නං ඒ කොයි කාලෙද,කවද හරි මේ දේවල් අපි කල්පනා කරල තියෙනවද...

ගඟක් පමණක් නෙවෙයි ඕනෑම වතුරකට මේ උපමාව යොදාගන්නට පුළුවනි,අපි එක දියපහරකින් හැමදාම නානවය කියල කිව්වට අපට ඇත්තෙන්ම එහෙම කියන්න පුලුවනිද, අපිට නං  පොඩි කාලෙ ලොකු ගංගාවල් ඇල දොළ තිබ්බෙ නෑ,වතුරෙ සෙල්ලං කලේ අපේ වත්ත පහලින් ගලාගෙන ගිය ඇල පාරෙ දැන් සාත්තුවක් නැතුව අත ඇරිල ජරාවාස වෙලා තිබුනට ඒ කාලෙ ඔය ඇල ලස්සනම ලස්සන දිය පාරක්, උඩ ඉඳල පහළටම තියෙන වෙල්යායේ ගොවියො ටික තමන්ගෙ ඇල කොටස මහ වතුරකට කඩාඬු නොකැඩෙන්න සුද්ද කරල උසට නියර බැඳගෙන ලස්සනට තියාගෙන හිටියා,ඇල ඉවුරු දෙපැත්තෙ වල් හබරළ,කෙටල,අරත්ත ආදී විවිධ ජලජ පඳුරුත් එක්ක හරි හරියට කොහිලත් හැදිල තිබුණා,ඇලේ උඩ ඉඳන් පහලට ටික දුරක් ගියාම මාළුවක් උයන්න කොහිල දළු කඩාගන්න පුළුවනි,එතකොට කොරවක්කො කොක්කු දියබරි ගෙම්බෝ ආදී එක එක එක ජාතියෙ සත්තු ඇල අයිනෙ පිරිල හිටිය,නලහඳයො පෙතියො මඩකනයි කාවයියො ආන්දූ ලූල්ලු හුංගො එහෙම පිරිල හිටිය, අපි එතකොට ඇලේ වතුර අඩු කාලෙට මාළු වලවල් ඉහිනව එක එක තැනක ලොකු වැටියක් බැඳල ඊට උඩහින් ඇල ඉහගෙන ඉහගෙන ගිහිං මාළු අල්ලගන්නවා,හුංගො ඇල ඉවුරෙ දෙපැත්තෙ බටදැල්ල ගොල්ල යට රොත්ත පිටිං වැතිරිලා ඉන්නව බටදැල්ල ගොල්ල උස්සපුවම හරියට සාඩින් ටින් එකක මාළු පැක් කළා වාගෙ, හැබැයි නියම විදියට ඔලුවෙන් අල්ලගත්තෙ නැත්නං විදින්නෙ අල්ලපු එකාට හුජ්ජ පතක් විසිවෙන්න  ...

ගුණපාල ඇල දිගේ කැලෑ ගොල්ල පීරගෙන ඇවිත් පත කොහිල දළු මිටියකුත් අරං නියරට ගොඩවෙනව මම මේ ළඟදිත් දැක්ක, ඔය යකා නං කොහිල දළු මිටිය කාටහරි විකුණල කසිප්පු ගහනව මිසක ජීවිතේට ඕක ගිහිං ගෙදරට කන්න දෙන එකක්යැ...

දැනට අවුරුදු ගානකට කලින් කොහොමහරි ඒ මම දෙසතියෙ හිටපු කාලෙ, අපි කතරගම ෆීල්ඩ් ට්‍රිප් එකක් ගිහිං ආපහු එනවා,එන පාර අයිනෙ ලී තට්ටුවල එක එක ජාති විකුණන්න තියල තියෙනව ඊට අමතරව පොඩි ළමයිනුත් අඹ දිවුල් වගේ දේවල් පාරට දික්කරගෙන ඉන්නවනෙ,ඒ වගේ පොඩි කොල්ලො ටිකක් පාරෙ මුරුංග මිටි විකුණමින් හිටපු තැනක් පහුකරගෙන අපි එනකොට පාර අයිනෙ බිම දාපු මුරුංග මිටියක් ළඟ පොඩි කොල්ලෙක් අඬා අඬා ඉන්නව දැකල වාහනේ නතරකරල අඬන්නෙ මොකද කියල ඇහැව්වා...

අරුන් ටික මට පාරට එන්න දෙන්නෙ නෑ ඈ ඈ ඈ ...

පොඩි එකා අඬමින්ම එහෙම කිව්වා,බලපුවම මුරුංග විකුණන අනික් කොල්ලො ටික මේ පොඩි එකාට පාරට ඇවිත් උගෙ මුරුංග ටික විකුණගන්න දෙන්නෙ නෑ එලෝල දාලා...

මුරුංග ටිකට කීයක් ඕනැද...

රුපියල් විස්සක් දෙන්න...

කොල්ලට රුපියල් විස්ස දීල මුරුංග ටිකත් දාගෙන මම ගෙදර ආවා,එදා සැරේ මුරුංග වාරෙ හරිම සරුයි මම ගෙනාපු අපූරු මුරුංග මිටිය කිලෝ පහක් හයක් බරයි හොඳ මහත මස් මුරුංග මෝරලත් නෑ,ගෙදරත් කාල අපේ අම්ම අහළ පහළ ගෙවල්වලටත් මුරුංග බෙදුවා,ඒ දවස හරියටම කිව්වොත් කොබ්බෑකඩුව සහ විජය විමලරත්න සෙනෙවියො දෙන්න බ්ලාස්ට් වෙලා මැරුණු දවස, අපි එද්දි රේඩියෝ එකෙන් ප්‍රවෘත්තිය කිව්වෙ හරියටම එදා රෑ ක්‍රිකට් මැච් එකකුත් තිබුණා ලංකා කණ්ඩායම ලෝක කණ්ඩායමත් එක්ක, ඒ දවස්වල ක්‍රිකට් තරුවක් වෙලා හිටපු බ්‍රයන් ලාරා ඉස්සෙල්ලම ලංකාවට ආවෙ ඒ මැච් එකටයි ...

ඉස්සර ආයෙම මනුස්සයෙක් ඇල දිගේ ඇවිදගෙන ඇවිත් දඩ වල් හබරළ කොළ මිටියක් කඩාගෙන යනව,ඒ මාකට් එකේ මාළු ඔතන්නයි මස් කඩේ මස් ඔතන්නයි විකුණන්න,ඒ කාලෙ මස් මාළු  හබරළ කොළවල  ඔතල ඊට පස්සෙ කඩදාසියක දවටල දෙන්නෙ දැන් වගේ පොලිතින් බෑග්වල නෙවෙයි,මොන තරං පරිසර හිතකාමීද බලන්න,කඩදාසිවල ඔතල බඩු දෙන එක දැන් නැත්තටම නැතිවෙලා ගිහිං වුනත් මීට අවුරුදු කීපෙකට ඉස්සෙල්ල ඒ අත්දැකීම මට ආයෙම ලැබුණා,ඒ ලංකාවෙ නං නෙවෙයි කේරළේ තිරුවානන්දපුරම් ටවුමෙ පාර අයිනෙ මිදි ගොඩක් තියාගෙන හිටපු මනුස්සයෙක්ගෙන් මිදි ගත්තම මිදි ටික කඩදාසි කොලේක ඔතල රබර් බෑන්ඩ් එකකුත්  දාල දුන්න..

ලංකාවෙ කඩවල බඩු කඩදාසි කොළේ ඔතල ගෝනි ලණුවකින් බැන්ද කාලෙ සිල්ලර කඩවල ගෝනි ලණු ගුලිය ඉහට උඩින් ආධාරකයක එල්ලල ලණු පොට පහලට වැටෙන්න ඇරල තිබුණා,කඩේ විශාලත්වය අනුව ලණු ගුලි එකක් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් උඩ රඳවල තිබුණා,සීනි රාත්තලයි මිරිස් කාලයි අල බාගයයි ආදී වශයෙන් පාරිභෝගිකයා ඉල්ලන බඩු ටික කඩදාසි ගොට්ටක ඔතල ගෝනි ලනුවෙන් ගැටගහල ලනුව බුරුල් කරල කඩලා ගැටේ දාන හැටි බලන්න ලස්සනයි,ඊට පස්සෙ ගත්ත බඩු ටික සිමෙන්ති කවරෙකට දාල දෙනව,දැන්නං සිමෙන්ති කවර දකින්නවත් නෑ ඒ කාලෙ හිස් සිමෙන්ති බෑග්වලින් කවර හදන එකත් හොඳ ව්‍යාපාරයක් වෙලා තිබුනනෙ,සිමෙන්ති කොට්ටයක් කඩනකොට බොහොම සීරුවෙන්  කවරෙ තුවාල වෙන්නෙ නැතිව නූල් ලෙහෙලා කවරෙ අයින් කරගන්නෙ හිස් සිමෙන්ති කවරෙ විකුණන්න පුළුවන් නිසයි,දැන්නං සිමෙන්ති කොට්ටෙ වැලි ගොඩ උඩම තියල චහ් ගාල සවල් පාරක් දීල කවරෙ විසිකරලා දානවනේ...

ඒ කාලෙ අපේ ගෙවල්වලට ඔය එක එක බඩු ගන්න එන වෙළෙන්දෙක් සිමෙන්ති කවරත් සල්ලිවලට ගත්ත,අපේ පැත්තට කනා වෙළෙන්දා කියල මනුස්සයෙක් කදකුත් කරේ තියාගෙන ඇවිත් බෝතල් පත්තර ඇලුමිනියම් යකඩ එතකොට කෝපි පුවක් ගොරකා ආදී නොයෙකුත් දේ සල්ලිවලට ගත්තා,ඇහැක් පේන්නෙ නැතුව මදිවට වෙළෙන්දගේ කකුලෙත් පොඩි අමාරුවක් ඇදයක් වගේ තියෙන නිසා ඇවිදින්නෙත් හරහට පරණ හම්  සෙරෙප්පු දෙකේ අඩියට පින්න කොළ තියල කකුලට ලණුවලින් ගැටගහල නැමීගෙන කදත් කරේ තියාගෙන හරහට ඇවිදිමින් ගෙවල් ගානෙ යනව, පස්සෙ කාලෙක අපේ අවුරුදු උත්සවේ විකට ඇඳුම් තරඟෙට කනා වෙළෙන්දගේ පාට් එක කරපු ජයතුංග තෑගිත් දිනුවා...

පොඩි අපිත් ඔය මනුස්සයට විකුණන්න ගස්වල තියෙන කෝපි ගොරකා පුවක් එහෙම කඩල ලෑස්ති කරගෙන ඉන්නව, අපේ වත්ත පහළ ඇල අයිනෙ ගොරකා ගස් දෙකක් තිබුණා, මැර බැහිච්ච පරණම  ගහ අපේ අත ඇරල දාපු ගල් ලිඳ ළඟ උණපඳුර අයිනෙ තිබුනෙ, ගහටම හේත්තු වෙච්ච උණ ගස් තිබුන නිසා උණ ගහේ නැගගෙන ගිහිං ගොරකා ගහේ ඇලට උඩින් විහිදිලා ගිය විශාල අත්තට ගොඩවෙන්න පුළුවනි,ගෙදර ඉන්න වෙලාවට මගෙ වැඩේ ඔය ගොරක අත්ත උඩට නැගල බලාගෙන ඉන්න එකයි,මොනාහරි කන්න දෙයක් හම්බ වුනත් කන්නෙත්  ඔය අත්ත උඩට නැගලයි...

දවසක්දා දවාලෙ මම ඔය අත්ත උඩ ඉඳගෙන වතුර පිරිල තිබ්බ වෙල දිහා හිස් බැල්මෙන් බලාගෙන ඉද්දි පෝටය නියර දිගේ අපේ ගෙදර එන්න ඈත එනව මම දැක්කා,කලින් දවසෙ රාත්තිරියෙ වැහැපු මහ වැස්සට ඇලයි වෙලයි වතුරෙන් පිරිල තිබුණා,බොර පාට අලුත් වතුර ඇල දිගේ ගලාගෙන ආව,ඇල දිහා බලාගෙන හෙමිහිට නියර දිගේ ආපු පෝටය එකපාරටම වේගෙන් අපේ ගේ ඇතුළට  දුවගෙන ගිහිං දිග මන්නෙකුත් අතේ තියාගෙන එළියට ඇවිත් එක පිම්මෙන්ම ඇල පැත්තට දිව්වා,ටිකකින් දඟලන ආඳෙක්ව  එල්ලගෙන ආපහු ආවා, මම අත්ත උඩ ඉඳන් ඔක්කොම බලාගෙන හිටියෙ,අලුත් වතුරට මාළු උඩ එනවා පෝටය කොටපු ආඳා අඩි දෙකක් විතර දිගයි,කැපුවට මොකද පෝටය ආඳව හම ගහගන්න දන්නෙ නෑ,අල්ලන්නත් බෑ ලෙස්සනව පස්සෙ සිරිල් මාමට කියල හම ගස්සෝගත්තා...

ආඳා මාළු කන්න මුස්ලිම් උදවිය බොහොම මනාපයි කියනවනෙ,ඒ ගොල්ල ආඳා මාළු කන්නෙ ඉරටෙන්ලු ඒ කියන්නෙ ඇඟිලිවල ගෑවෙන ටිකත් අහක යයි කියල,මම මෙහෙම කතාවකුත් අහළ තියෙනව ඇත්තද බොරුද නං කියන්න දන්නෙ නෑ...මුස්ලිම් අය ආඳා අරං පිටි ගොඩක් උඩ දාල තැවරුණ පිටි ටික සූරල ගන්නවලු,අර ආයෙම පිටිගොඩට දානවලු ඔය විදියට ආඳාගෙ සෙවල ඔක්කොම ඉවරවෙනතුරු පිටිවලට අරං ඒ පිටිවලින් රොටී හදල ආඳ මාළුත් එක්ක කනවලු...

ඒ මිනිස්සුන්ට දැන් හරක් මස් ටිකක්වත් කන්න නැති එකේ එහෙමවත් හදාගෙන කාපුවාවෙ කියල තමා කියන්න තියෙන්නෙ බලු සේනායි වානර බලේකුයි උන්ව මරාගෙන කන්න හදනවනෙ,ඉතිං යන්නෙ කොහෙද මල්ලෙ පොල් වාගෙ පටන් ගත්තෙ කොහෙන්ද ඉවර වුනේ කොහෙන්ද,හිතේ අමාරුවට ලියන්න ගත්ත එක ලියවෙන අතේ ලියවුනා රහද නැද්ද දන්නෙත් නෑ...අදට මේ මදැයි පස්සෙ හොඳ පරණ කතාවක් ලියල දාන්නංකො.

Monday, March 17, 2014

120.මදුමල සහ ගොඩ්ෆ්‍රිගෙ මඤ්ඤොක්ක හැළිය


අපේ ගමට බෝඩිංකාරයො හැටියට ඉස් ඉස්සෙල්ලම ආවෙ රෙදි මෝලේ වැඩකරපු ඔය හලාවත ගොඩ්ෆ්‍රිල සෙට් එක  කියල මම කලින් කතාවකදිත් කිව්වනෙ,ඉතිං ඔය කට්ටිය දනියෙල්ලගෙ ගෙදරට ඇවිත් ටික දවසකින්ම අපේ ගෙවල්වල අයත් එක්ක බොහොම හිතවත් වුණා,කට්ටියම නාන්න එන්නෙත් ඒ කාලෙ බොහොම ජනප්‍රිය වෙලා තිබ්බ  අපේ නාන ලිඳ ටයි....

ඔය කාලෙ සිද්දවෙච්ච විශේෂ සිද්දියක් මට අද වාගෙ මතකයි,ඒ ගායකයෙක් හැටියට පස්සෙ කාලෙක ඉතාම ජනප්‍රියවූ  මිල්ටන් මල්ලවාරච්චිගේ මඩු බැසීමයි,අද වගේ  සල්ලි වියදං කරලා සී ඩී එකක් හදාගෙන එෆ් එම් චැනල් එකකට සල්ලි දීල ප්‍රචාරය කරවගෙන ගායකයෙක් වෙන්නට එදා පුළුවන්කමක් තිබුනෙ නෑ...

ඉස්සෙල්ලම රේඩියෝ එකේ හඬ පරීක්ෂණයෙන් පාස් වෙලා සරල ගී වැඩ සටහනක් කරල ආදී වශයෙන් හරිම පිළිවෙලක් ඇතුවයි එදා ගායකයන් බිහිවුනේ,ඔය ආකාරයට මිල්ටන් මල්ලවාරච්චිත් හාපුරා කියා ඔහු සරල ගී වැඩ සටහනකට කියපු ගීත හතරක් පොඩි තැටියක් හැටියට නිකුත් කළා...එදා අද වගේ සී ඩී තියා කැසට්වත් තිබුනෙ නැති කාලෙ,තිබ්බෙ රැකෝඩ් ප්ලේයර් එකක ඉඳිකට්ටෙන් වාදනය වෙන කළු එල් පී තැටි,තැටි ජාති දෙක දෙපැත්තෙ සිංදු හතරක් තියෙන පොඩි තැටියත් දෙපැත්තෙ සිංදු අටක් තියෙන ලොකු තැටියත් යන තැටි වර්ග දෙකයි.මේ තැටි විවිධ වෙළඳ නාමයන්ගෙන් නිකුත්වුනා,ඇයි අපි ඒ කාලෙ රොටීවලටත් රැකෝඩ් කිව්වනෙ පොඩි රැකෝඩ් ලොකු රැකෝඩ් කියල...

ඉතිං මිල්ටන් මල්ලවාරච්චි හාපුරා කියල නිකුත් කරපු  රැකෝඩ් එකේ සිංදු හතර එක රැයෙන් රට පුරා ජනප්‍රිය වුණා,සිංදු ටිකට තරුණ තරුණියො පිස්සු වැටුණා...


රැකෝඩ් එකේ දෙපැත්තෙ තිබුනෙ ඔන්න ඔය සිංදු හතරයි,කොල්ලො කෙල්ලො වැඩියත්ම පිස්සු වැටුනෙ මදූ  මල ලෙස සිංදුවට...ඔය සිංදුවලට කොච්චර කැමති වුණත් අපට අවශ්‍ය වෙලාවට අහන්න බෑ මොකද තැටියක් හොයාගත්තත් රැකෝඩ් ප්ලේයරයක් කා ළඟවත් නොතිබුණු නිසා සිංදුව අහන්න රේඩියෝ එකේ වාදනය වනතුරු ඉන්න වුණා...

මමත් ඉස්සර මදු මල සිංදුවට ගොඩක් ප්‍රියකලත් මිල්ටන් ඊට ගොඩක් පස්සෙ කාලෙක ගායනා කල මෙන්න මේ ගීය පසුකාලීනව මගෙ හිත පැහැරගත්තා...කරුණාරත්න අබේසේකරයන් අතින් ලියවුණු ඉතාම භාවපූර්ණ පදවැලක් හැටියට මේ ගීතය හඳුන්වන්නට පුළුවනි,ගීතයෙන් කියැවෙන්නේ කාලෙකට පස්සෙ තම ප්‍රියාවිය දකින්නට යන තරුණයෙකුගේ සිතුවිල්ලකුයි...
බැඳන් ආවේ 
ආයාසයකිනි කියන්න බැරි තරමේ//

නිලුපුල් දෙනුවන් දැකගන්නයි
සුවඳැල් මුහුලස සිපගන්නයි
සුළැඟිල්ලෙන් ගෙන ලෙලවන්නයි
සිහිලැල් වදනින් සැනසෙන්නයි

ලියගොමු වියැලී මල් පරවී
අතුකොළ වැහැරී බිම වැටිලා
ඔබ ගිය වග සරණෙක බැඳිලා
කවුද කියයි මට කොඳුරාලා

සිතුම් පැතුම් පොදි ආදරේ...

තරුණයා තම පෙම්බරිය  බලන්නට යන්නෙ මොන තරම් බලාපොරොත්තු ගොන්නක් සිත දරාගෙනද, ඒත් ඔහුගෙ බලාපොරොත්තු කඩවෙන ආකාරය සිත්ගන්නා සුළු  ලෙස පද කීපයකට නංවා ඇති අකාරය ඉතාම මනහරයි නේද ගීතය අහලම බලන්න...

දවල්ට නාගන්න අල්ලපු වත්තෙ අඩිපාර දිගේ පහලට බැහැගෙන  අපේ නාන ලිඳට එන ගොඩ්ෆ්‍රිට අපේ ගෙදර රේඩියෝ එකේ මදූ මල සිංදුව යනව ඇහුනොත් නෑම පැත්තක තියල සිංදුව අහන්න ආපහු යනවා...දැන් ඉන්න කොල්ලො කෙල්ලො නං මෙහෙම කියනකොට හිනාවෙයි ඒ උනාට ඒ කාලෙ එහෙමයි සිංදු අහනව නං රේඩියෝ එකේ පිහිටම තමා,ඒ කාලෙ මගුල් ගෙවල් වලත් ලවුස්පීකර් වලින්නෙ  සිංදු දැම්මෙ එහෙම කරගන්න බැරි අය රේඩියෝ දැම්මා...කොටින්ම මම කැසට් ප්ලේයර් එකක් දැක්කෙත් අපේ පෝටවත්තෙ නැන්දගෙ දෙවෙනි දුව දීග දෙන මගුල් ගෙදරදිනෙ, එදා මනමාල පාරුසේ එක්කෙනෙක් කැසට් ප්ලේයර් එකක් ගෙනත් තිබුණා,කටත්  ඇරගෙන බලං හිටියට මොකද ඕකෙන් වෙන්නෙ මොනවද කියල මම දැනගෙන හිටියෙත් නෑ ,මනමාලය ධර්මෙ අපේ හොඳම යාලුවනෙ ධර්මෙත් රෙදිමෝලෙ වැඩට ඇවිත් ගොඩ්ෆ්‍රිලත්  එක්ක එක කාමරේ නැවතිල හිටිය කෙනෙක්, හැබැයි ධර්මෙ හලාවත නෙවෙයි දැදිගම...

ධර්මෙ කිව්වහම මතක්වුණේ අපේ ඔෆිස් එකේ ධර්මසිරි කියල කොල්ලෙක් හිටිය හරි විහිළුකාරය මිනිහටත් අපි ධර්මෙ කියලයි කිව්වෙ,දවසක්දා මේ ධර්මෙ බ්‍රාන්ච් එකේ වැඩකරන නෝන කෙනෙක් එක්ක ආගිය කතාවක්...

ඉතිං මිස් මම මිස්ල ඉන්න  පැත්ත හොඳට දන්නවනෙ...

අපි නං ලඟදි ඒ පැත්තෙ පදිංචි උනේ ධර්මෙ...

මමනං ඒ පැත්ත  හැමතැනම වගේ දන්නව මිස්ලගෙ පංසලේ ලොකු හාමුදුරුවො මගෙ හොඳම හිතවත් හාමුදුරුනමක්නෙ...

ඇත්තද ධර්මෙ...

එහෙනං...මිස් පංසලට ගිය වෙලාවක ලොකු හාමුදුරුවන්ගෙන් අහන්නකො ධර්මෙ දන්නවද කියල...

මිස් පන්සල් ගිහිං හාමුදුරුවන්ගෙන් අහපුවම හාමුදුරුවන්ට මල පැන්න පාර ඔහොමම වාඩිවෙන්න නෝනා කියල පැයක් බණ කිව්ව කිය කිය ධර්මෙ හිනාවුණා...

ඉතිං ගොඩ්ෆ්‍රිල ගමට ඇවිදින් අවුරුද්දක් විතර වෙද්දි අපේ මහප්ප නැතිවුණා, හත් දොහේ දානෙට මාළු ගේන එක ගොඩ්ෆ්‍රි කැමැත්තෙන්ම ඇඟට ගත්තා, තනියට මාවත් අඬගහගෙන දානෙට කලින් දවසෙ ගොඩ්ෆ්‍රි  හලාවත යන්න පිටත් උනා, ඒ මම හලාවත ගොඩ්ෆ්‍රිලගෙ ගෙදර ගියපු ඉස්සෙල්ලම දවස...

ගෙදරින් දවාලක පිටත්වෙච්චි අපි බස් එකේ මීගමුවට ඇවිත් මීගමුවෙ කොරනේෂන් හෝටලෙන් දවල්ට කාල එහෙම  හලාවතට ආවා හලාවත ලංසියවත්තෙ ගොඩ්ෆ්‍රිලගේ ගෙදර පිහිටල තිබ්බෙ හරි අපුරු තැනකයි...ගේ ඉස්සරහම පාර ඊට එපිටිං රේල් පාර ඊළඟට කලපුව අපි ගොම්මනේ ගෙදරට ගොඩවෙන වෙලාවෙ දැනුන කලපුවෙ සිහින් රළ පෙළ සිපගෙන ආව ලුනුමිශ්‍ර කළපු හුළං වල සුවඳත් ඊට පොඩ්ඩකට පස්සෙ හුවක් කියාගෙන එතනින් ඇදිල ගිය හවස බංගදෙනිය කෝච්චියත් මට අද වාගෙ මතකයි... 

ගොඩ්ෆ්‍රිගෙ තාත්ත නෑ, අයියයි නංගියි මල්ලියි,අයිය බැඳල වෙනම පදිංචිවෙලා හිටියෙ හලාවත ටවුමෙමයි අනික් තුන්දෙනා අම්මත් එක්ක මහගෙදර පදිංචිවෙලා හිටියා,ගොඩ්ෆ්‍රිලගෙ අම්මා ගෙට පිට පැත්තෙන් තිබ්බ කුස්සියෙම පොඩි කඩයකුත් කළා...කට සැර හැම තිස්සෙම කියෝන කඩකාර ඉස්තිරියාවක් හැටියටත්  ඉතාම මෘදු ගතිගුණ ඇති කරුණාවන්ත මවක් හැටියටත් ඇය ද්විත්ව චරිත රඟපෑවයි කිව්වොත් නිවැරදියි,ඇගෙ කෑම ඉවිල්ල ගැනනං ඉතිං කියන්න දෙයක් නෑ උයන දේ ගෑවුණු තැන කන්න පුළුවනි විශේෂයෙන් මාළු, හලාවත වැල්ලෙන් අරං එන අලුත් මාළු මිරිසට කිරට බැදුමට ආදී ඕනෑම ආකාරයකට කටදිව පිනායන රසට හදන්නට ඇය හරිම සමර්ථයි, කොහොමත් ඒ පළාතෙ අය එළවලු ආහාරයට ගන්නෙ අඩුවෙන් නිසා  විවිධ ආකාරයට හදපු මාළු වර්ග කීපෙකුත් පෙළක් වෙලාවට කුරිඤඤං කොළ මැල්ලුමක් හෝ මුරුංගා වගේ එළවලුවකුත් ඇය දෙන රසම රස බත්පත සැරසුවා...

ඔය මාළු රසට උයන එක ලංකාව වටේම වැල්ලකරේ කාන්තාවො සියළුම දෙනාට  ආවේනික දෙයක්,හරියට උඩරට කාන්තාවො හදන පොලොස් ඇඹුල වගේ දකුණෙ කාන්තාවන් හදන ඇඹුල් තියල් වගේ, හලාවත ඉඳල කොළඹට එනකල් වෙරල තීරෙ කතෝලික අය බහුතරය වාසය කරන හරියෙ කාන්තාවො මාළු වගේම මසුත් හරි හරියට බොහොම රසට ඉව්වා...බස්නාහිර පළාතෙ රට මැද හරියට වෙන්න ඉපදිච්ච අපේ අම්මල අල බතල,කොළ පළා,එළවලු ජාති එහෙම බොහොම රසට හැදුවා...ගොඩ්ෆ්‍රිල කට්ටිය එකතුවෙලා දවසක්දා ලොකු මඤ්ඤොක්ක හැළියක් තැම්බුවා,හොඳ ජාතියක් හින්දත් එදාම ගලෝපු කොටුවක  මඤ්ඤොක්ක හින්දත් අල හැළිය පිටි ගොඩ වගේ හොඳට තැම්බූණා,දැන් මඤ්ඤොක්ක හැළිය කන්න ලුණුමිරිසකුත් හදන්න එපැයි...

අම්මට කියල හොඳ කොච්චි සම්බෝලක් තලෝගන්න බැරිවෙයිද...

ගොඩ්ෆ්‍රි ඇවිත් මගෙන් ඇහුවා...

මං අම්මට කියන්නංකො...

ගෙදර ඇවිත් අම්මට කියපුවම අම්ම මට වත්තෙ පඳුරෙන් කොච්චි කඩාගෙන එන්න කියල හොඳ සැරට කොළපාටට දඩ ලුණුමිරිස් තලියක් හදල කෙහෙල් කොළේක ඔතල දුන්නම මාත් ඒක ගිහිං ගොඩ්ෆ්‍රිට දුන්න, කට්ටිය එකතුවෙලා මඤ්ඤොක්ක පුරෝපු ලොකු බේසමත් මැදින් තියාගෙන හායි හූයි කිය කියා කඳුළු පෙරමින් තම්බාපු  මඤ්ඤොක්ක කොච්චි ලුණුමිරිසත් එක්ක හොඳහැටි කෑවා...

කොච්චි සම්බෝලෙ හදපු අත කපල තියාගන්න වටිනව...

ගොඩ්ෆ්‍රි කොච්චි ලුණුමිරිසේ රසේ පාරට්ටු කළේ එහෙමයි... 

අසුවෙ මහ ඉස්ට්‍රයික් එකටත් කලින් ගොඩ්ෆ්‍රි රස්සාවෙන් අස්වෙලා යන්න ගියා,ඔහු කොහෙ ගියාද මොනව උනාද කියල  ඊට පස්සෙ මට දැනගන්න ලැබුනෙ නෑ,මමත් ඒ කාලෙම වගේ රස්සාවට ගිය නිසා ඒ වැඩවලම යෙදුනා මිසක ගොඩ්ෆ්‍රි ගැන හොයා බලන්න වෙලාවකවත් උවමනාවක්වත් තිබුනෙ නෑ, කාලාන්තරේකට පස්සෙ අපේ කැලුම්ගෙ  මගුල් ගෙදරදි ගොඩ්ෆ්‍රි එක්ක කාමරේ එකට හිටපු ධර්මෙව මට හම්බවුණා, අපි දෙන්න පරණ කතා කියමින් ඉද්දි විය යුතු ආකාරයටම ගොඩ්ෆ්‍රි ගැනත් කතාව ඇදුනා...

අපිත් එක්ක හිටපු ගොඩ්ෆ්‍රි මතකද...

නැතුව, කෝ  දැන් මිනිහ කොහෙද...

මිනිහ ඒ කාලෙම බැන්දනෙ යාළුවෙලා හිටපු කෙල්ලක්ව,දැන් පදිංචි වෙලා ඉන්නෙත් ඒ ගෙදරමයි ඔන්න ඔය කටුවැල්ලේගම පැත්තෙ, හැරීගෙන් අහන්නකො මිනිහ නිතරම එහෙ යනව එනවත් එක්ක... 

ඊට පස්සෙ මම හැරී හම්බවෙලා විස්තර ඇහුව...

ගොඩ්ෆ්‍රි බැඳල ඉන්නෙ ලොකු බිස්නස්කාර මුදලාලි කෙනෙකුගෙ දුවෙක්නෙ,මම ඉඳහිට එහෙ යනවා,ලඟකදී නං ගියෙ නෑ...

ගොඩ්ෆ්‍රිගෙ ගෙදර නම්බර් එක හැරී ළඟ තිබුනෙ නෑ,ඒකත් වෙලාව නැත්නං ටෙලිපෝන් කරන්නවත්  තිබුණා... 

යමුද වෙලාවක මට ආසයි මිනිහව හම්බවෙන්න...

අපොයි යමු,මට කතාකරන්නකො මම එන්නං...

ඒ 2007 අවුරුද්ද, හැකි ඉක්මනටම ගොඩ්ෆ්‍රි හමුවෙන්න යන්න හිතාගෙන හිටියත් තව අද වෙන තුරු ඒ ගමන යන්නට නොලැබීම ගැන මගේ හිතේ තියෙන්නෙ ඉතාම වරදකාරී හැඟීමක්,ඒ කාලෙ ඉඳල අද  වෙන තෙක් මම වැඩිපුර හිටියෙ පිටරටවල බව ඇත්ත, නමුත් ලංකාවට ගිය වෙලාවක අවශ්‍යතාවක් තිබුන නං මට ලේසියෙන්ම යන්න තිබ්බ නේද කියල දැන් කල්පනාවෙනවා,ඊළඟ වතාවෙ යනව කියල හැමදාම හිතාගෙන ඉන්නව දැනුත් එහෙමයි, ඒ දිනේ කවදා ඒවිද ... 

අද අපේ පුතා හෙවත් හැලපැට්ටගෙ උපන්දිනේ,පුතාට තාත්තගෙ සුබ පැතුමත් මේ සමගම එකතුකරනවා...  



   



Tuesday, March 11, 2014

119.සිහින පුස්තකාලය,වෙල්ලවැහුම් සහ සුබ උපන් දිනයක්.


 
අපේ රටේ කණ්ඩායම ආසියා කුසලානය දිනුවට පස්සෙ පකිස්තාන් යාලුවොත් ඉන්දියන් යාලුවොත් දෙගොල්ලම මට සුබ පැතුවා,ඉන්දියන් අය කිව්වෙ පකිස්තානය නැතුව ඕනෑම රටක් කප් එක දින්නට කමක් නෑ කියලයි...අපි දින්නත් එකයි උඹල දින්නත් එකයි ඉන්දියාව නැතුව ඕනැ රටක් කියල පකිස්තාන් අය කිව්වා...

මුන් දෙගොල්ලගෙ තියෙන ජම්මාන්ත වයිරෙ ගැන මම කල්පනා කලේ, 1947දි පකිස්තානය ඉන්දියාවෙන් වෙන්වෙච්ච දවසෙ ඉඳන් පටන්ගත්ත මේ වෛරය එන්න එන්නම උග්‍රවෙනවා මිසක නැතිවෙන පාටක් නං ළඟ පාතක පෙනෙන්නට නෑ...රටක් බලෙන් දෙකට කඩපුවම ඇතිවෙන නියත ප්‍රතිපල මෙහෙම තමයි, සුද්දො ඉන්දියාවෙන් පිටවෙද්දි ඇතිකරල ගිය මේ ප්‍රශ්නය පරම්පරාවෙන් පරම්රාවට දිගින් දිගට තවම ඇදෙමින් පවතිනවා,පකිස්තානය නමින් වෙනම රටක් ඇතිකර ගැනීමට සිහින මවමින් සිටි මොහොමඩ් අලි ජින්නා ඇතුළු ජාතිවාදීන් පිරිසගේ සිහිනය සැබෑකරමින් ඉංග්‍රීසි ජාතිකයන් කරලා ගිය විපැත්තිය සදාකාලිකයි කියා මට නිකමට හිතෙනවා...

මොහොමඩ් අලි ජින්නා වෙනම රටක් ගැන සිහින දැක්ක වගේ අපිත්  අපේ ජීවිත කාලය තුළ නොයෙකුත් ආකාරයේ සිහින දකිනවා,මම මෙතන සිහිනයි කිව්වෙ නින්දෙදී දකින හීන නෙවෙයි අපි මවන සිහිනවලටයි,අපි කාගෙත් සිත්තුළ ඇති සිහින විවිධයි වගේම කාලෙන් කාලෙට  මවන සිහිනත් එක එක විදියයි...ගෙයක් දොරක් හදාගන්න එක වාහනයක් අරගන්න එක බොහෝ දෙනෙකුට පොදු සිහිනයක් කියන්න පුළුවනි...එතකොට විදේශගතවීම,තමන් ප්‍රියකරන කෙනා තමන් සතුකරගැනීම ආදී වශයෙන් මෙතන ලිව්වොත් දවසක්ම ලියන්නට තරං අපරිමිත සිහින සම්භාරයක් තියෙනව කිව්වොත් නිවැරදියි...

සිහින මවන එක කිසිසේත්ම වරදක් නොවෙයි ඇත්ත වශයෙන්ම කිව්වොත් අපි සිහින මැවිය යුතුයි,සිහින සැබෑවන්නේ එවිටයි, සිහින මවන්නෙ නැතිව සැබෑවන්නට බැහැනෙ...මමත් කාලෙන් කාලෙට එක එක ජාතියෙ සිහින මැව්වා මට මතක තියෙන ඈතම කාලෙක මවපු සිහිනය මෙහෙමයි,මම පොඩි කාලෙ ඒ කියන්නෙ අවුරුදු දොළහක් දහතුනක් වයස කාලෙ තොම්සන් ඒ වැන්දබෝනා මහතා සිළුමිණ පත්තරේට කොටස් වශයෙන් පලවෙන නවකතාවක් ලිව්ව, නවකතාවෙ නම පැරීසියේ කතාවක්,කතාව පස්සෙ කාලෙක පොතක් හැටියටත් පිටවුණා,ඔය කතාව කියවපු මට පැරිසියට ගිහිං බලන්න ආසාවක් ඇතිවුණා, ආසාව තිබ්බට ඒ කාලෙ එහෙම දෙයක් ගැන මට හිතන්නවත් විදියක් තිබුනෙ නෑ මොකද පිටරට යන එක එදා සිහිනයක්ම  පමණයි,අනික මමත් ඒ කාලෙ පොරොප්පයක් වගේ මෝඩයෙක්, ඒ ආසාව සිහිනයක් හැටියට මගේ හිතේ කාලයක් තිස්සෙ තිබුණා,ඊට බොහොම කාලෙකට පස්සෙ පුදුමාකාර ආකාරයට ඒ සිහිනය සැබෑවුනා...

ඊටත් පස්සෙ රස්සාවක් ගැන හොඳ කැමරාවක් අයිති කර ගැනීම ගැන ආදී වශයෙන් නොයෙකුත් සැබෑවූ සිහින දැක්කත් ගෙයක් දොරක් ගැන බිරිඳක් ගැන සිහින කවදාවත් මගේ සිහින ලැයිස්තුවෙ තිබ්බෙ නෑ කාන්තාවන්ගේ නං සිහිනවල මුලටම එන්නෙ කසාද බඳින එකනෙ...අනික ගෙයක් හදා ගන්නව කියන්නෙ එදා අපට  හිතන්නට වත් අමාරු සිහිනයක්, මොකද රජයේ සේවකයන් වන අපට ගෙයක් හදාගන්න හෝ  ඉඩමක් ගන්න තිබ්බ එකම ක්‍රමය නම් රජයෙන් දුන්න අවුරුදු පහේ අඩු පොළී දේපළ ණයක් අරං ඒ වැඩේ කරගන්න එකයි...හැබැයි ඉතිං ණය වාරිකයයි පොළියයි පඩියෙන් කැපුනම පඩිය කුඩු, ජීවත්වෙන්න තවත් රස්සාවක් කරන්න වෙනව, දැන් නං රජයෙන් දෙන ඒ ණයත් නවත්තල බැංකුවෙනුයි දෙන්නෙ...

මගෙ යාළුවො ටික නං දේපළ ණය අරගත්ත, ගෙවල් හැදුවද නැද්ද මම දන්නෙ නෑ මාත් එකෙකුට ඇපේට අස්සං කළා ඇපේට අස්සං කරපු කෙනෙකුට දේපළ ණය ගන්න බෑ, ගෙයක් දොරක් ගැන මගේ අදහසක් නොතිබ්බ නිසා මට ඒකෙ එච්චර ගාණක් තිබ්බෙ නෑ.... පස්සෙ කාලෙක ගෙවල් දෙකක් හදන්න වෙච්චි එක වෙනම කතාවක්,ගෙයක් ගැන හිතේ නැතිවුනත් මගේම කියල පුස්තකාලයක් අයිතිකරගන්න නං මගෙ  හිතේ ලොකුම සිහිනයක් තිබුණා...

පොත් කියවන්න පුරුදුවෙලා හිටියට ලයිබ්‍රරියකින් අරගෙන හරි කාගෙන් හරි ඉල්ලගෙන හරි කියෙව්ව මිසක පොත් සල්ලිවලට ගන්න තරං ආර්ථික අතින් හයියක් මට තිබුනෙ නෑ, රස්සාවෙන් ලැබිච්ච පඩිය එදිනෙදා ජීවත්වෙන්න මිසක් අත දිග ඇරල  වියදම් කරන්නට කොහොමවත්ම ප්‍රමාණවත් නොවුන නිසා පොත් කියවන්න තව දුරටත් මහජන පුස්තකාලෙ පිහිට පතන්නටම වුණා...

බෙන් ෆිල්ම්ස් එකේ නැවතිලා හිටිය දවස්වල මම හවස වැඩ ඇරිල ලයිබ්‍රරියට ඇවිත් රෑ වෙනකල් පොත් කියවල ගෙදර ගිහිං කියවන්න පොතුත් අරගෙන මගින් කෑම එකකුත් අරං හොඳටම රෑවෙලා බෙන් එකට යන්නෙ කෑම එක කාල ඇඳට වැටෙන්න බලාගෙනයි... බෙන් එකේ  මාත් එක්ක හිටපු උන් තුන්දෙනා ගොඩක් දවස්වලට කොහෙහරි ෂූටිං ගිහිං, ළඟක ගියොත්නං රෑ වෙලා හරි එනව, දුර පළාතක වැඩක් නම් කොච්චර දවස් ගිහිං හරි ෂෙඩුල් එක ඉවරකරල තමා ආපහු එන්නෙ...ඒ තුන්දෙනා එනතුරු බෙන් එකේ මම තනියම කට්ට කාගෙන ඉන්නව...

ඔන්න දවසක්දා රාත්තිරියක අපි කට්ටිය හෝකන්දර දේවාලෙ කපුවගෙ කොන්තරත් එකකට දෙවොල් මඩුවක් වීඩියෝ කරන්න ගියා,ප්‍රභාත්ට යකා පැන්නේ එදා, ඇත්තටම යකා පැන්නම තමා ඌට අනාගත බිරිඳ  මුණගැහුණේ එදයි...

කොල්ලෙක් කෙල්ලෙක් යාලුවෙන එකේ කිසි වරදක් නෑ නමුත් පොඩි ඇදකට තිබුනෙ ප්‍රභාත්ට ඒ වෙනකොටත් පාසල් සමයෙ ඉඳන් පැවතගෙන ආපු ආදර සම්බන්ධයක් තිබුණු එකයි,අපිත් ඉතිං ඔය වැඩේ එච්චර දිගදුර යාවි කියල හිතුවෙ නෑ, උඹට නුවර නාරං කැවුම් වලට වඩා මාතර වෙල්ලවැහුම් රහ වැටුන නේද කියල අපි හිනාවුනාට මොකද වැඩේ ඇදිල ගියා කොහොමහරි ප්‍රභාත්ට මාතර ගැටේ ලෙහාගන්න බැරිවුනා,ඒක දිග කතාවක් දැන් කියන්න ගියොත් කියාගෙන ආපු කතාව කියන්න බැරිවෙන නිසා ඒක පස්සට තියමු...

එහෙම කිව්වට මොකද වෙල්ලවැහුම් කියනකොට මට තව කතාවක් මතක්වුණා ඒක නං නොකියම බෑ...හැබැයි මේක ගොඩක් පරණ කතාවක් සමහරවිට කට්ටිය අහලත් ඇති,මේ කතාවෙන් සරච්චන්ද්‍ර මහත්තය වෙල්ලවැහුම් කියල නාට්‍යයකුත් කළා මට මතකයි,ඉතිං කතාව මේකයි...

ඔන්න ගමක මනුස්සයෙක් දවසක් යාලුවෙක් හම්බවෙන්න යාලුවගෙ ගෙදර ගියා,යාලුවත් මෙයාව ආදරයෙන් පිළිඅරන් බිරිඳටත් අඳුන්නල දුන්නම ඒ ගෑනු කෙනා ගෙදර හදපු වෙල්ලවැහුම් වලින් යාලුවට සංග්‍රහ කළා,වෙල්ලවැහුම් කවදාවත් කාල නැති මේ මිනිහ මොකක්ද මේ රසම රස කෑම ජාතිය කියල අහපුවම...

ඇයි අයියෙ මේ වෙල්ලවැහුම් නෙ කාල නැද්ද...

ම්ම්හ් අපේ පවුල මට මෙහෙම කෑම ජාතියක් කවදාවත් හදල දීල නෑනෙ...

එහෙනං මෙදා සැරේවත්  හදෝගෙන කන්නකො...

ඔව් ඔව් නම මතක තියාගන්න ඕනෑ ගිහිං හදෝගන්න...

කාල බීල එහෙම මේ මනුස්සය ගෙදර යන්න පිටත්වුනා,පාරෙ ගියාට මොකද මිනිහගෙ හිත තියෙන්නෙ වෙල්ලවැහුම් හදාගන්න එක ගැනමයි...නම අමතක වෙනවට වෙල්ලවැහුම්,වෙල්ලවැහුම්, වෙල්ලවැහුම් කිය කියා තොල් මතුරමින් පාරෙ යනව,ඔහොම යනකොට යනකොට එකපාරටම මේ මනුස්සයගෙ කකුල ගලක හැප්පුන පාර හුට්ටපටස් කියල කියවුනා...

ඊට පස්සෙ මිනිහට වෙල්ලවැහුම් නම අමතකයි හුට්ටපටස්, හුට්ටපටස්, හුට්ටපටස් කිය කියාම ගෙදර ගියා,ගෙදර ගිහිං පවුලට කතාකරල කියනව...

ඈ බං යෝදියේ උඹට කියන්න මං අද අපුරු කෑමක් කෑවනෙ,ඒවයේ රසනං මෙතෙකැයි කියන්න බෑ පුදුම රසක් බං,මට හෙට උදේ කුඹුරට යනකොට කාල යන්න එයින් ටිකක් හදල දීපල්ලකො...

මොනවද අප්පේ  ඔච්චර පාරට්ටු කරන බෝජනේ හැබෑටම ...

ඒකෙ නම බං මේ මේ හුට්ටපටස්, හුට්ටපටස්...

හෑ...මොකක් මොකක් හුට්ටපටස්,මගේ ජීවිතේට අහළ නෑනෙ බොලේ එහෙම කෑමක්...

ඇයි යකෝ ඔච්චර කෑම ජාති හදන ගෑනි හුට්ටපටස් හදන්න දන්නෙ නෑ කිව්වම විස්වාස කරන්නත් පුලුවන්ද...

උඹලට මං එක වලියක් කිව්වනෙ මං ඔය නම ඇහුවමයි ඕං ...

කතාව ඔය විදියට දිගින් දිගට ඇදිල යද්දී මනුස්සයගෙත් පුෂ්පය ටික ටික විකසිත වේගන එමින් පවතිනවා,දැන් ගෑනිට කතාකරන්නෙත් බොහොම උච්චස්වරයෙන්...

තෝ බොරු කියන්න දන්නෙම නෑ නේද බොල,හනේ අම්මප මේකිත් මහ එකී වාගෙමයි කට ඇරියොත් බොරු, කට ඇරියොත් බොරු...

සීවරං දෙයියන්ටම  පෙනිච්චාවෙ මේ අවනඩුව , ඒ ගමන අර අහක ඉන්න අම්මවත් ඇදල අරං බනින්න ගත්තනෙ මේ අමනුස්ස මිනිහ...

අම්මපල්ල බොරු කියනවට මට තොගෙ කට කජුගෙඩිය වාගෙ  ගලක් උඩ තියල තලන්න තියේනං ...

තොගෙ කටට හෙන ගහන්න ඕනෑ අහිංසක මට මේ කියන කතා ඔලට...

ඔහෙ හිටු පට්ට බැල්ලි හුට්ටපටස් හදන හැටි තොට මම කියල දෙන්න...

කියල ගෑනිගෙ කොණ්ඩ වල්ලෙන් අල්ලං බිම පෙරලගෙන ඇඟකඳ  නිල්වෙනකල් ගෑනිට හොඳටම තඩි බෑවා ...තලල තලල මහන්සි වෙච්චි පාර  එළියෙ තිබ්බ ලණු ඇඳේ වාඩිවෙලා හැති අරින්න ගත්තම ගෑනිත් එතනම බිම පෙරළිලා අඬා අඬා  අඳෝනා කියෝනව, දන්නවනෙ ඉතිං ගෑනු අඬන්න ගියාම වැලගිය මුලගිය තැන් පවා මතක් කර කර කියෝනවනෙ...

අගේට ගෙදර හිටපු මං මේ අසප්පුරුසයත් එක්ක ආවට මට මෙහෙම වෙලා මදි,අම්මල තාත්තල කියපු දේ ඇහුව නං මට මෙහෙම වෙන්නෙ නෑ...අනේ දෙයියනේ දෙයියන්ටම පේන්න ඕනෑ මේ අපරාදෙ,මේ අදරුමිස්ට කාලකණ්ණිය තලල මගේ ඇඟ ඔක්කොම වෙල්ලවැහුම වගේ වෙලා අයියෝ...

මේක ඇහුනු මිනිහ විදුලියක් වගේ නැගිටලා ගෑනි ලඟට ඇවිත්...

ඈ ඈ මොකද්ද මොකද්ද උඹ ඒ කිව්වෙ වෙල්ලවැහුම්, එව්ව තමයි යකෝ තොට මම  හදල දෙන්න කියල කිව්වේ...

ඔන්න ඔය ආකාරයට දෙන්න දෙමාල්ලො බොහොම සමාදානෙන් වෙල්ලවැහුම් හදාගෙන කෑවයි කියල තමා පොතේ තියෙන්නෙ...

ආපහු කියමින් හිටපු කතාවට ආවොත් පුස්තකාලයක් සතුකරගැනීමේ මගේ සිහිනය පසුකාලීනව සැබෑවුනේ මගේ බිරිඳගේ කාරුණික අනුග්‍රහයෙනුයි...ඇය මට පොත් මිලදී ගන්නට කියවන්නට සහ එකතුකරන්නට සම්පුර්ණ සහයෝගය දුන්නා,ඒ ගෙදරට කලයුතු වියදම්වලින් මා සම්පුර්ණයෙන්ම නිදහස් කිරීමෙනුයි,ඒ විදියට අවුරුදු ගාණක් එකතු කළ පොත්වලින් පස්සෙ කාලෙක අපි හදපු ගෙයි කාමරයක මගේ සිහින පුස්තකාලය හදාගන්නට මට හැකියාව ලැබුණා...

මගෙ පුස්තකාලය සාපේක්ෂව බොහොම පොඩි එකක්, දකින අය සමහරවිට හිනාවුනත් අමාරුවෙන් හදාගත්ත මගෙ පුස්තකාලය මට ගොඩක් වටිනවා...ඒ වගේම මට මගේම පුස්තකාලයක් ලබාදීමේ  සම්පූර්ණගෞරවය බිරිඳට ලබාදෙන්නට මම පොඩ්ඩක්වත් පැකිලෙන්නෙ නෑ,මගේ සිහිනය සැබෑකලාට ඔබට බොහොම ස්තූතියි, ...

අද ඇයගේ උපන් දිනයයි, උපන් දිනයට ඇයට මගෙන් ලැබෙන තෑග්ග මේ කතාවයි...

ප්‍රිය සොඳුරිය ඔබට සුබ උපන් දිනයක් වේවා !!!


Sunday, March 2, 2014

118.මගේ පොත් ගොඩ,මාගරට් මිචෙල් සහ ගෝන් විත් ද වින්ඩ්



අපේ ජීවිතේ අපි කරන්න හුරුවෙලා ඉන්න නොයෙක් පුරුදු තියෙනවනෙ,දැන් මගේ ගැන ගත්තොත් මම මතක ඇති කාලෙක ඉඳලම පොත් කියවන්න පුරුදු වෙලා ඉන්නෙ...පුරුද්දක් කියනවටත් වඩා පොත් කියවීම මට ඇබ්බැහියක් එහෙම නැත්නං ලෙඩක් තරමටම තදට වැළඳිලා තිබුණා...මේ ව්‍යාධිය හොඳකරගන්න මටත් උවමනාවක් තිබ්බේ නෑ ලෙඩෙත් එක්කම ජීවත් වුණා, නමුත් දැන් දැන් මේ ලෙඩේ හොඳ වෙන්න එනවද කියල ඉතාම මෑතකදී ඉඳන් මට බරපතල සැකයක් පහළවෙලා තියෙනව කිව්වොත් නිවැරදියි...


මම එහෙම කියන්නෙ ලංකාවට ගියාම ගන්න පොත් සහ විටින් විට යාලුවන්ට කියල ගෙන්න ගන්න පොත් මෙහෙට ඇවිත් සතියක් දෙකක් ගතවෙනකොට ඔක්කොම ටික කියවල ඉවර කලත් මේ සැරේ ගිහිං එද්දී ගෙනාපු පොත් තවම ඒ ආකාරයෙන්ම ගොඩගහල තියෙන නිසායි...පින්තුරෙ ගන්න නිසා මම පොත් ගොඩ එක උඩ එක තිබ්බා...

අකුරු කියවන්න පුලුවන් වෙච්ච කාලෙ ඉඳලම අතට අහුවුණු හැම දේම කියවපු මට මෙදා සැරේ ගත්ත  පොත් ටික කියවගන්න ඇති නොහැකියාවට බලපාන ආසන්නතම හේතුව හැටියට මට හිතෙන්නෙ මෙන්න මේ බ්ලොග් වලට ඇබ්බැහිවීමයි...

එදිනෙදා බ්ලොග් ටික කියවන්නයි කමෙන්ට් ලියන්නයි මගේ බ්ලොග් එක ලියන්නයි කාලය වැයවුනාම පොතක් පතක් කියවන්න තියා නාගන්නවත් වෙලාවක් නැතුව යනව,ඒකට නං ප්‍රශ්නයක් නෑ බ්ලොගේදි ඇතිවෙන්න නානවනෙ...

                                 
මෙදා පාර මම පොත් විස්සක් සල්ලිවලට ගත්තා ඊට අමතරව නලින්ගෙන් පොත් දෙකකුයි අටං ගෙන් පොත් දෙකකුයි තෑගී ලැබුණා,ලංකාවෙ ඉද්දි ඔය පොත් ගොඩෙන් කීපයක් කියෙව්වා, මෙහෙට ආවට පස්සෙ  මට තවම කියවන්න ලැබුනෙ පොත් දෙකයි,ඒත් පොඩි පොත් දෙකක්...එකක් ටී ජී ඩබ් සිල්වා මහතාගෙ මහ රෑ හමුවූ ස්ත්‍රිය, 1966 දි මේ පොත චිත්‍රපටයකටත් නැගුනා,චිත්‍රපටයේ ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න,සන්ධ්‍යා කුමාරි, පියදාස ගුණසේකර ප්‍රධාන චරිත රඟපා තිබෙනවා මම චිත්‍රපටයත් කතාවත් දෙකම බලල නැති නිසා කුතුහලයටම කියෙව්වා එහෙම නැත්නං ඒ පොත බැලෙන්නෙත් නෑ,අනිත් පොත වැවදෙනියෙ ඇල් ඩී මැන්දිස් මහතාගේ හිච්චි බබා, ඒකත් බොහොම පොඩි පොතක් ....

ආ තව කතාවක් කියන්න අමතක උනා,මම බොහොම බලාපොරොත්තු තියාගෙන ගත්ත පොත් දෙකක් කියවල මගේ හිත එහෙම පිටින්ම සවුත්තු වුනා පොත් දෙක අනෝමා ජනාදරීගේ පුනරෝකතන සහ පුනරාගමන,මේ පොත් දෙකත් අනෝමා කලින් ලියපු පුනරුක්ති පොත වගේ බොහොම විප්ලවීය පොත් දෙකක්  වෙන්න ඇති කියල හිතාගෙන ගත්ත ගමන් පොත් දෙක කියෙව්වා...මොන පිස්සුද ඒ පාඨකයාගේ සල්ලි කඩාගන්න ගහපු පොත් දෙකක් මම අන්තයටම කලකිරුණා,ගන්න මෙලෝ දෙයක් නෑ පරිච්ඡේද පිටිං ලෙනින්ගෙ කතා ගෙඩි පිටිං ඔබල,ලෙනින්ගෙ දේශනා කියවන්න අපි අනෝමගේ පොත් ගන්න ඕනෑ නෑනෙ,ලෙනින්ගෙ  තෝරාගත් කෘති කියවනවනෙ,ජීවිත කතාව කියල ලියල තිබ්බට ගන්න සසරක් නෑ වැඩකට ඇති තැනකට තියෙන්නෙ හඳයා එයාට ලෝඩ් එකක් බාපු කතාව විතරයි,ඒ පොත් දෙක මම මෙහෙ ගෙනාවෙත් නෑ ගෙදර දාල ආවා...

එහෙම කියනකොට මට තව දෙයක් මතක්වුණා,ඔය ලෝක ප්‍රසිද්ධ වෙච්ච සම්මානනීය පොත් සමහර  වෙලාවට මට කියවන්න බෑ,මේ ගැන හෙන්රිත් කොහෙ හරි ලියල තිබ්බ මට මතකයි...ගත්තට කියවගන්න බැරිවෙච්ච පොත් ටිකක් මෙන්න මෙහෙමයි...

ජෝජ් ඕවල්ගේ 1984
අරුන්දතී රෝයිගෙ Gods of small things
මයිකල් ඔන්ඩච්චිගෙ English patient
 එතකොට මිහායිල් ෂෝලහොව් ගෙ Quite flows the Don

ෂෝලහොව්ගෙ පොත් කොච්චර ලස්සනද පෙරලූ නැවුම් පස එහෙම,ඒ පොත කියවපු වාර ගානවත් මට මතක නැති තරමයි ඔහුගෙ අනික් පොත් තලු මරමින් කියපු මට මේ පොත කියවගන්න බැරිවුණා...වැඩේ කියන්නෙ බිරිඳ ඒ පොත කියෙව්වනෙ,ඔන්න ඔය වගේ තවත් මට නම මතක නැති කෘති කීපයක්ම කියවන්න බැරිකමට  පැත්තකට දාල තියෙනව...මේ ගැන කල්පනා කලාම කෘතියෙ විශාලත්වයත් ලියා ඇති ආකාරයත් මේ නොහැකියාවට අදාළ නොවන බවත් කිවයුතුයි...මොකද ඒ කතුවරයන්ගෙම ඊට වඩා විශාල පොත් කිසිම අමාරුවක් නැතිව එක දිගට කියවල ඉවරකරන්නට පුළුවනි...සමහර වෙලාවට පරිවර්තකයන් හොඳ පොත් විනාශ කර දමන අවස්ථාවන් ද විරල නෑ...ඒ වගේම තමන් පරිවර්තනය කරන පොතට අවශ්‍ය පමණටත් වඩා සාධාරණය ඉටු කරන පරිවර්තකයන්ද  සිටින බව කිව යුතුයි,අටං මට දීපු අරණකට පෙම් බැඳ කියන පොත එවැනි පරිවර්තනයක්...එය බෙංගාලි ලේඛක විභූතිභුෂණ බන්ද්‍යෝපාධ්‍යාය ලියු ආරණ්‍යක් පොතේ සිංහල පරිවර්තනයයි ,පරිවර්තනය කර ඇත්තේ චින්තා ලක්ෂ්මි සිංහආරච්චි මහත්මියයි,ඇය වෙනත් පරිවර්තකයන් මෙන් ඉංග්‍රීසි කෘතියෙන්  නොව කෙලින්ම වංග භාෂාවෙන් සිංහලට පරිවර්තනය කරන පරිවර්තිකාවක් වීම ඇයගේ පරිවර්තන කෘති වල සාර්ථකත්වයට එක හේතුවක්...අරණකට පෙම් බැඳ ඇතුළු බෙංගාලි කෘති දහයක්  විශිෂ්ට ලෙස සිංහලට පරිවර්තනය කළ ඇය මීට අවුරුදු කීපයකට පෙර මියගියා...සිංහල පරිවර්තන සාහිත්‍යයට ඇය විසින් ලබාදුන් අමිල දායකත්වය ගැන ප්‍රමාණවත් අගැයීමක් සිදුවී ඇතිද යන්න ගැන මට ඇත්තේ ප්‍රශ්නාර්ථයක් පමණයි... 

එහෙම බැලුවොත් මාගරට් මිචෙල්ගේ Gone with the wind(1936) මොන තරං විශාල පොතක්ද,නමුත් රස කරමින් කියවගෙන යන්න පුළුවන් නේද...ඒ පොත මීට අවුරුදු කීපයකට කලින් සුළගේ ගිය දිවිය නමින් ජයන්ති සමරසේකර අතින් සිංහලට පෙරළුණා,මම දැක්කෙ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී, පොත කොටස් හතරයි එක කොටසක පිටු හත්සීයක් හෝ අටසීයක් මට මතක හැටියට,ප්‍රදර්ශනයෙන් මම පළවෙනි කොටස ගත්තා ඊට පස්සෙ සතියෙ මම ඉතුරු කොටස් තුන ගන්නට මරදානෙ සූරිය ප්‍රකාශකයන්ගෙ  පොත් සාප්පුවට ගියා,ගිහිං ඉතිරි කොටස් තුනත් අරගෙන තවත් අලුතෙන් නිකුත්වුන පොත් කීපයකුත් අරං පොත් රාක්ක දිහා බල බලා ඉද්දි පොත් සාප්පුවට ඇවිත් හිටපු එක් වැදගත් පෙනුමැති තලතුනා මහත්මයෙක් මගෙ දිහා බලාගෙන ඉන්නව මම දැක්කා,මං හිතන්නෙ විදුහල්පතිවරයෙක් ඔහු මගෙත් එක්ක හිනාවුනා මාත් හිනාවුනාට පස්සෙ ඔහු මගෙ  ලඟට ඇවිත් කතාකළා...

මහත්තය පොත් ගෙනියන්නෙ ඉස්කෝලෙකටද...

නෑ මට කියවන්න...

ඔහු මම ගත්ත පොත් ටික අරං බැලුවා...

මේ විශාල පොත මොකක්ද...

ගෝන් විත් ද වින්ඩ් පොතේ සිංහල පරිවර්තනය,මේ වගේ කොටස් හතරක් තියෙනව ...

පොතෙන් කියවෙන්නෙ මොකක් ගැනද ...

ඇමෙරිකානු සිවිල් යුද්ධය පසුබිම් කරගෙන ලියැවුනු කතාවක්,යම් තරමකට ආදර කතාවක් කියන්නත් පුළුවනි...

මහත්තය මේ පොත ගත්තෙ ඇයි...

ඇමෙරිකන් සිවිල් යුද්දෙ ගැන මම මොකුත් දැනගෙන හිටියෙ නෑ,මගේ දැනුමෙ ඒ අඩු කොටස සම්පුර්ණ කරගන්න මේ පොත ගත්තා...

ඔහු බොහොම බැරෑරුම්ව හිස වනල මට සමුදුන්නා...

ඇත්ත වශයෙන්ම ඇමෙරිකාවෙ සිවිල් යුද්දයක් තිබ්බ කියල සහ ඒබ්‍රහම් ලින්කන් සහ ජෙනරාල් ලී ඒ යුද්දෙට සම්බන්ධයි කියන දේ ඇරෙන්න යුද්දෙ ගැන වෙන කිසිම දෙයක් මම දැනගෙන හිටියෙ නෑ...වහල් සේවය තහනම් කරන්නට ඒබ්‍රහම් ලින්කන් අස්සන් කළ පනතට එරෙහිව ප්‍රාන්ත ගණනාවක් එකතුවී ලින්කන්ට විරුද්ධව යුද වැදුණු බවත් 1861 දි ඇරඹුණු  සිවිල් යුද්ධය එක්සත් ප්‍රාන්ත හමුදාවන්ට දුක්ඛිත පරාජයක් උරුමකරදෙමින් 1865 දි අවසන් වූ බවත් එක්සත් ජනපද හමුදාව අවතක්සේරු කරමින් ඔවුන් සමග යුද වැදුණු එක්සත් ප්‍රාන්තවලට සහ එහි ජීවත්වූ ජනතාවට යුද්ධය නිසා ගෙවන්නට සිදුවූ වන්දිය ඉතා බරපතල බවත් මා පසුව දැනගත්තා...

මේ පොත ලියැවුනු අකාරයද ඉතා රසවත් කතාවක්...රිය අනතුරකට ලක්ව එක්තැන්ව ඇඳට වැටී කම්මැලිකමින් සිටි මාගරට් මිචෙල්ට කියවන්නට පොත් සොයා දීම ඇගේ සැමියාට ප්‍රශ්නයක් වුණේ ඇය දවසකට එක පොත බැගින් කියවන්නට පටන් ගැනීම නිසායි...ඇයට කියවන්නට තරම් දිග පොත් සොයා දීම තමාට බරපතල ප්‍රශ්නයක් බවත් කියවන්නට අවශ්‍ය නම් දිග පොතක් ඇයටම ලියාගන්නා ලෙසත් ඇගේ සැමියා දිනක් කියාසිටියා...මේ කතාව විහිළුවකට බාර නොගත් මාගරට් මිචෙල් කෙසේ හෝ පොතක් ලියන්නට අධිෂ්ඨාන කරගත්තා,මේ ගැනම කල්පනා කරමින් සිටි ඇයගේ මනසේ ටිකෙන් ටික මේ කතාව ලියලන්නට වුනා...සිවිල් යුද්ධය පසුබිමේ  ටාරා වතුයායත්,ට්වෙල්ව් ඕක්ස් නිවෙස,ස්කාලට් ඔහාරා,ඈෂ්ලි,මෙලනි හැමිල්ටන්, රෙට් බට්ලර්, මැමී ආදී චරිත ඇයගේ සිතේ කතාව රඟදක්වන්නට වන් විට ඇය සිතේ ගොඩ ගැසුණු කතාව එළියට දමන්නට වුණා...


1936 දී ගෝන් විත් ද වින්ඩ් පොත මුද්‍රණයෙන් නිකුත් වූ විට ආදායම් වාර්තා තබමින් විකිණෙන්නට වූ අතර මාගරට් මිචෙල් 1937 දි පුලිට්සර් සම්මානයෙන් පුදනු ලැබුවා...2008 දි කරන ලද සමීක්ෂණයකට  අනුව මේ පොතේ පිටපත් මිලියන 30ක් ලොව පුරා විකිණී ඇති අතර ඇමෙරිකානු පාඨකයන් අතර බයිබලයට දෙවැනිව ජනප්‍රිය වී ඇති පොත ලෙසත්  සොයාගනු ලැබුවා...1939 දි චිත්‍රපටයට නැගු,විවියන් ලී ස්කාලට් ඔහාරා ලෙසත් ක්ලාක් ගේබල්  රෙට් බට්ලර් ලෙසත් රඟපෑ ගෝන් විත් ද වින්ඩ්  චිත්‍රපටය 1940 දී හොඳම චිත්‍රපටය ඇතුළු ඇකඩමි සම්මාන 10 දිනා ගන්නට සමත්වුනා...

ස්කාලට් ඔහාරා ගේ චරිතය සඳහා තරුණියන් 1400ක් සම්මුඛ පරීක්ෂණයට ලක්කර අවසානයේ විවියන් ලී එම චරිතයට තෝරාගනු ලැබුවා,රෙට් බට්ලර්ගේ චරිතය සඳහා ක්ලාක් ගේබල්වම අවශ්‍ය බව නිෂ්පාදකයා කියා සිටි බැවින් ක්ලාක් ගේබල්ගෙන් දින ලබාගැනීමට අවුරුදු දෙකක් බලාසිටීමට චිත්‍රපට කණ්ඩායමට සිදුවී තිබෙනවා...
මම කියාගෙන ආපු පොත් කියවිල්ල ගැන කතාවට ආපහු ආවොත් ඉතිං ඔය පොත් කියවිල්ලෙදී මම ඉස්සෙල්ලම කියවපු පොත හැටියට මට මතක තියෙන්නෙ ඩබ් ඒ සිල්වා මහතාගෙ විජයබා කොල්ලයයි,ඒ  මම තුනේ පංතියේ ඉන්න කාලෙ, එදා ඉඳන් කියවීම මගේ ජීවිතෙත් එක්ක තදින්ම බැඳුනු දෙයක් වුනා...කොටින්ම කෑම කන්නෙත් මොනවා හරි කියවමින්, ගෙදරට කරෝල ඔතාගෙන එන කොළ කෑල්ල පවා අහක දාන්නේ නැතුව කියෙව්වා...

අපේ ලොකු අම්මෙක් ඒ කියන්නෙ සිරිල් මාමගේ අක්ක බැඳල හිටිය මහප්පට පුස්තකාලයක්ම තිබුණා, ඔහු උගතෙක් බහුශ්‍රැතයෙක්, ප්‍රාචීන පඬිවරයෙක් ඒ දෙන්නට දරුවෝ දෙන්නයි හාමිනේ අක්කයි,මහත්තය අයියයි, ඒ දවස්වල දෙන්නම රස්සාවල් කරනවා මහත්තයිය කච්චේරියෙ, හාමිනේඅක්ක ඉස්පිරිතාලෙ... සිරිතක් විදියට ඒ ගොල්ලො අපේ ඉස්කෝලෙ ශිෂ්‍යයො  දෙන්නෙකුට හැමදාම  ඉස්සරහ කාමරේ නවාතැන් දුන්නා,බෝඩිමක් හැටියට නොවෙයි දන්න කරන අයගෙ දරුවො හරි කවුරු හරි නෑදෑයෙක් යාළුවෙක් නිර්දේශ කරන කෙනෙක්  හරි තමයි නවත්තගත්තේ...

මහප්පගෙ  ලයිබ්‍රරිය පාලු කරන්න මම ගිය දවස්වල ඔය කියන ඉස්සරහ කාමරේ නැවතිල හිටියෙ ඉලංගසිංහයි රණසිංහයි කියල කොල්ලො දෙන්නෙක් ඉලංගය අනුරාධපුරේ සිවලාකුලමෙ, ඉගෙනගත්තෙ අපේ ඉස්කෝලෙ සාමාන්‍ය පෙළ පංතියෙ, රණය ඇහැලියගොඩ පැත්තෙ, අපිත් එක්ක හතේ පංතියෙ  හිටියා...
හවසට මම ඔය කාමරේට වෙලා පොත් කියවද්දි මහත්තයියයි ඉලංගයයි රණයව බයිට් කරනව,මහප්පත් මේ දෙන්නගෙ වැඩ දන්නෙ නෑ වගේ කට කොණකින් හිනාවෙවී ඉස්තෝප්පුවේ පත්තරේ බලනව...

දවසක්දා රණසිංහ පහුවදාට ඉස්කෝලෙ ගෙනියන්න දියසායම් වලින් චිත්‍රපොතේ පෙරහැරක් ඇඳල වේලෙන්න එළියෙ බිත්ති කණ්ඩියේ තියල තිබුන වෙලාවෙ අර දෙන්න පොත උස්සගෙන ගිහිං නැට්ටුවන්ගෙ  බෙරකාරයන්ගෙ  විතරක් නෙවෙයි අලින්ගෙත් පොලු ඇඳල කළුම කළුපාටට, ඔලු රෝසම රෝස පාටයි මැද පොඩි තිතක්, ඊට පස්සෙ ආපහු ගෙනත් වේලෙන්න තියල පිටිපස්සෙන් ගෙට ගිහිං ආපහු ගේ  මැදින් ඇවිත් රණයටත් ඇහෙන්න මහප්පට කතාකළා...

රණසිංහ අද ලස්සන චිත්‍රයක් ඇඳල තියෙන්නෙ...

කෝ රණසිංහ ගේනවකො  බලන්න...

රණය එන්න කලින් අරුන් දෙන්න ඉස්සරවෙලා පොත ගෙනත් මහප්පට පෙන්නනව...

ඈ රණසිංහ මේ මොනවද මේ තියෙන්නෙ...

රණයට දැන් කඳුළු විසිවෙන්න ආසන්නයි,මහත්තයියයි ඉලංගයයි පිටිපස්සෙ ඉඳන් හිනාවෙනවා...

ඉලංගය ඒ ලෙවෙල් ඉවරවෙලා ගෙදර ගියාට පස්සෙ උපාලි කියල නොම්බර එකේ ආනාදියෙක් කාමරේට ආවා...ඌ බොරු කියනව කියන්නෙ බොරු හිලක්,මුචලින්ද කියල දැම්මනං ඌට නියමෙට ගැලපෙනවා...

ඔය වගේ වැඩ හැමදාම මොනවහරි තියෙනව...හාමිනේ අක්ක ගෙදරින් කටයුත්තක් කරල දෙන්න ඉස්සරවෙලා ඉස්පිරිතාලෙම වැඩකරපු කෙනෙක් එක්ක යාළුවෙලා ගෙදරට හොරෙන් කසාද බැන්දා,ඒකට ගෙදරින් විශාල ප්‍රශ්නයක් මතුවුනා මොකද හාමිනේ අක්කගේ මහත්තය කුලෙන් අඩුයි කියල...ඒත් ඉතිං බැන්දයින් පස්සෙ මොනව කරන්නද,මහත්තයිය නං ජයට මගුල් කාල කසාද බැන්ද...මහත්තයියට ගෙනාවෙ උඩුගම්පොලින් දයානන්ද ගුණවර්ධනයන්ගේ නංගි මිහිරා ගුණවර්ධන,දයානන්ද ගුණවර්ධනයන් ගැන කියනවනං මේ වගේ පෝස්ට් හතරක් විතර ලියන්න වෙන නිසා ඒ කතා පසුවට ...

ලොකු අම්මලගෙ මහ ගෙදර ඒ කියන්නෙ අල්ලපු ගෙදර හිටියෙ ලොකු අම්මගෙ මල්ලි සිරිල් මාමා,ඒගොල්ලයි ලොකු අම්මලයි අමනාපයි, හේතුව මුළු දවසෙම බීගෙන ඉන්න සිරිල් මාමගෙ කුණුහරුප වරුසාව ඉවසගන්න බැරිකමයි,මේ අමනාපෙ කොච්චර දිගදුර ගියාද කිව්වොත් ලොකු අම්මල මුළු පවුල පිටිංම අක්කර තුන හතරක ඉඩමයි අලුත හදාගත්ත ගේයි බොහොම අඩු මුදලකට විකුණල දාල නුවර පාරෙ අලුත්ගමින් ඉඩම් අරගෙන පදිංචියට ගියා...

 දරුවො  දෙන්නෙකුත් ලැබුනට පස්සෙ හාමිනේ අක්කගෙ විවාහය කඩාකප්පල් වුනා,පස්සෙ කාලෙකදි ඇය ආපහු විවාහවුනා, හාමිනේ අක්ක ඉතා මෑතකදි මෙලොව හැරගියා  කියල මෙදා සැරේ ලංකාවට ගිය වෙලේ මට ආරංචි වුණා...

ලොකු අම්මල ගෙවල් ඇරල ගියාට පස්සෙ උපාලි අපේ මහ ගේ  පිටිපස්සෙ තියෙන අට්ටලගෙ මහ ගෙදරට නවතින්න ආවා...ඒ ගේ පිටිපස්සෙ දනියෙල් ලගෙ ගෙදරත් ඒ කාලෙ බෝඩින් කාරයො  ටිකක් නැවතිල හිටියා ඔක්කොමල රෙදි මෝලේ වැඩකරන්න  හලාවතින් ආපු කට්ටිය,අර මම කලින් පෝස්ට් එකක ලියපු ෂර්ලි ගොඩ්ප්‍රි හෙවත් ගාමිනිත් ඒ අයගෙන් කෙනෙක්...ගාමිණී සහ මම හලාවත ගිහිං කරපු දේවල් ආයෙම ලියන්නං.