Friday, January 3, 2014

110.මතකයන් බිඳක්.






අපේ අම්මලගෙ ගම වෙච්චි බෝතලේ ගමත් එක්ක අපිට ඉතාම ළඟ සම්බන්ධයක් තිබුනට තාත්තාගෙ අම්මගෙ ගම වුනු මගලෙගොඩත් එක්ක අර තරං ළඟ සම්බන්ධයක් තිබ්බෙ නෑ...මගලෙගොඩ ගැන මට තියෙන එකම මතකය මම බොහොම පොඩි කාලෙ දවසක අම්මත් එක්ක මගලෙගොඩ තාත්තලගෙ ගමේ ගිය දවසක මතකයයි...ආච්චිලගෙ ගෙදරදී විජේපාල මාමා මාව වඩාගත්තම මම කෑගගහ අඬා වැටුන මතකයි...

එදා එහෙ යද්දී කඩේක තිබුණු ලස්සන මැටි බළලෙක් දැකපු මම ඒ බළලව අරං දෙන්න කියල අම්මට කිව්වා, ගාන අහපුවම රුපියල් එකයි පණහයි,ඒ වුණාට බළලව ගත්තොත් අපිට ආපහු කෝච්චියෙ යන්න සල්ලි මදි කියල අම්ම කිව්වා...ආච්චිලගෙ ගෙදර ගිහිං ආපහු එනකොටත් ඒ කඩේ ලඟදි බළලව අරං දෙන්න කියල මම අම්මට කිව්වා,ඒ ගමනත් අම්ම ආපහු අම්මගෙ පොඩි පර්ස් එක ඇදල අරං ඒකෙ තිබ්බ කාසි ටික බැලුව...කාසි මදි නිසා අපට බළලව නැතුවම ආපහු එන්න වුන එක මගෙ හිතට හරි නොගියත් බළලව අරං දෙන්න අම්මට අවංක උවමනාවක් තිබුනත් සල්ලි මදි නිසා කරගන්න බැරිවුණු බව මගේ පුංචි හිතට වැටහුණු නිසා මම අඬන්නෙ නැතුව අම්මත් එක්ක ආපහු ආවා...

අතීතය නැවත නැවත සිද්ධ වෙනව කියනවනෙ, ඔය වැඩේම ඊට ගොඩක් කාලෙකට පස්සෙ මගෙ හිතේ අවුරුදු හතළිහකට විතර පස්සෙ ආපහු සිද්ද වුනා...ඒ අපි ඉන්දියාවෙ හිටපු කාලෙ සැරයක් බැංගලෝර් සහ මයිසූර්වලට ට්‍රිප් එකක් ගියා, වැඩේ කියන්නෙ අම්ම ඔය දවස්වල අපේ ගෙදර ඇවිත් හිටිය නිසා ගමනට අම්මත් එකතුවුණා, මයිසූර්වල මාළිගාව ලඟදි මැටි එළදෙනෙක් සහ පැටියෙක් දැකපු පුතාට ඒකට හිත ගියා...ගාන අහපුවම කඩේ මිනිහ හොඳටම වැඩි ගාණක් කියපු නිසා මම එපා කිව්වත්, ''අනේ පුතේ ඔන්න ඕක අරං දෙන්න'' කියල අම්ම කිව්වා...

මේකට මෙච්චර ගාණක් දෙන එක අපරාදයක් අම්මෙ,මුං කොහොමත් මෙතනට එන ටුවරිස්ට්ලට අස්ප ගණන් කියන්නෙ, මේකම වෙන තැනකින් මීට ගොඩක් අඩුවට ගන්න පුළුවන්...

මම නොවටිනා ගාණක් කියපු එක එදා පුතාට තේරුනේ නෑ, වෙන මොනවටද මම සල්ලි දෙනව දැකපු පුතා...

තාත්ත ළඟ සල්ලි තියෙනවනෙ ඇයි මට හරක අරං දුන්නෙ නැත්තෙ,කියල ඇහුවා...

ඒ එළදෙනම වෙන තැනකින් ඊට ගොඩක් අඩුවට මම පුතාට අරගෙන දුන්න,ඔන්න දැන් පුතාටත් වඩා අම්මට සතුටුයි...

මගලෙගොඩදී අපි දෙන්නට බළලව ගන්න බැරි වෙච්චි එක අම්මට මතකද...

අම්මට ඒ සිද්ධිය මතකෙ තිබුනෙ නෑ මම විස්තරේ කිව්ව...

මගේ අම්මේ ඒ මොන කාලෙකද ළමයො...

අම්ම හිනාවුනා,එදා අම්ම ළඟ සල්ලි තිබුනනං ගාන බලන්නෙ නැතුව මට බළලව අරං දෙනව කියල ඊට අවුරුදු හතළිහකට පස්සෙදි ආයෙමත් මට ප්‍රත්‍යක්ෂ වුනා,අම්මල එහෙම තමයි...

තාත්ත නැතිවෙද්දී අපි ඉස්කෝලෙ යන ළමයි, තාත්තගෙ පැන්ෂන් එක ලැබෙන්න ගොඩක් ප්‍රමාද වුණේ පයිල් එකේ තිබ්බ අඩුපාඩු ගොඩක් නිසා කියල දැන් තේරුණාට ඒ කාලෙ තේරුමක් තිබුනෙ නෑ...දවසක් ඉස්කෝලෙ ඇරුනු වෙලේ අම්ම මාව හම්බවෙන්න ටවුමට ඇවිත් හිටියා,මාත් එක්ක හෝටලේකට ගිහිං අපි දෙන්න තේ දෙකක් බිව්ව...

ඊට පස්සෙ අම්ම මාත් අඬගහගෙන තැපැල් කන්තෝරුවට ගියා, අම්ම ළඟ මගෙ තැපැල් කන්තෝරු පාස් පොත තිබුණා, දන්නවනෙ තැපැල් කන්තෝරු පාස් පොත බැංකු පොතක් වගේ පොඩි පොතක්,තැපැල් කන්තෝරුවට ගිහිං මුදලක් දුන්නම ඒ වටිනාකමට පොතේ මුද්දර වාගෙ දෙයක් අලෝනවා...

ඒකෙ තිබ්බ මුදලක් ගන්න හදපුවම තැපැල් මහත්තය මගෙ වයස අහළ අවුරුදු දොළහට අඩු නිසා තවම සල්ලි ගන්න බෑ කිව්වා...ඒ වෙලාවෙ අම්ම හරිම බලාපොරොත්තු කඩවෙච්චි තත්වෙකට පත්වුනා මට මතකයි, හරියට මුදලක් අතේ නැතුව තුන්වේල ළමයින්ගෙ බඩ පුරවන්නෙ කොහොමද කියල හිතන්න ඇති...ඒ අම්මලගෙ හැටි තමන්ට කන්න මුට්ටියෙ බත් ඉතුරුවුණේ නැතත් දරුවන්ට බඩ පිරෙන්න කන්න දෙනවා...

අම්ම අපිත් එක්ක ඉන්දියාවෙ හිටපු කාලෙ අපේ පුතා පොඩියි හරිම දඟයි දඟකම කිව්වොත් දවසක් ගෑස් ගේන මනුස්සය ගෑස් සිලින්ඩරෙත් කරතියාගෙන තට්ටු තුනක් නැගල ගෙට ඇවිත් සිලින්ඩරේ බිමින් තිබ්බ විතරයි මෙයා දුවගෙන ඇවිත් අර මිනිහගෙ ඇඟට පැන්න පාර මනුස්සයට මොකක්ද උනා...එහෙමම පපුව අල්ලං බිම ඉඳගත්ත, විනාඩි දහයක් විතර ගියාම හරිගියෙ, අපි ඒ ගමන මිනිහට සිසිල් බීම එකකුත් දීල වැඩිපුරත් සල්ලි දුන්නා...

පුතාගෙ දඟකාරකම අඩුවෙන්න මට බුදුහාමුදුරුවො ළඟ අධිෂ්ඨානයක් කරන්න ඕනෑ ළමයිනේ...

අම්ම එහෙම කිව්වම මට හිනාගියා ඒ වුනාට, ''ඔහොම තමා අම්මෙ පොඩිඋන්'' කියල මම කිව්වෙ නෑ,මහාබෝධියෙ හාමුදුරුවෝ හම්බවෙලා කතාව කිව්වා...

හාමුදුරුවනේ මේ බුදු පිළිමෙ ළඟවත් අම්මට බාවනාවක් කරන්න ලෑස්ති කරල දෙන්න පුළුවන් නං හොඳයි...

නෑ නෑ මහත්තය අම්මට එන්න කියන්න, මම උඩ සැතපෙන පිළිමෙ ළඟ ලෑස්ති කරල දෙන්නංකො, මොකටද මෙතන සෙනග අස්සෙ ඉන්නෙ...

ඒ ගමන පහුවදා උදේ මම අම්මව මහාබෝධියට එක්ක ගියා, දවල් කෑම අපේ ගෙදර මුරට හිටපු පොලිස්කාරය මනිවන්නන් අතේ යැව්වා,මනිවන්නන් ගිහිං කෑම දීල ආපහු ආවා...

කොහොමද මනිවන්නන් කෑම දුන්නද,අම්ම මොකද කරන්නෙ...

නෝන මෙහේම ඉන්නව සර්...

අම්ම වැඳගෙන ඉන්න හැටි මනිවන්නන් කරල පෙන්නුවා...

එතකොට ලොකු සාමිත් හිටියද...

හිටිය සර් ලොකු සාමි හොඳට නිදි...

ඒ කිව්වෙ සැතපෙන පිළිමෙ ගැන...

අපේ ගෙට ඉස්සරහ ගෙදර හිටපු පොඩි එකා සූරියා,පුතාගෙ වයසෙමයි දෙන්නම ඩොන් බොස්කෝ එකට උදේට ගියෙ එකටමයි...සූරියගේ වැඩේ පොඩ්ඩ එහෙමෙහෙ වෙනකොට ගෙදරින් පැනල පුතත් අඬගහගෙන බෝල ගහන්න යනඑක...අපේ අම්ම ඒ දවස්වල ලංකාවෙන් පිරිත් කැසට් එකක් ගෙන්නගෙන හැමදාම හවසට පිරිත්  අහනව, සූරිය දවසක් පුතාව හොයාගෙන එනකොට ඔය කැසට් එක දාල පිරිත් යනව...මම සාලෙ පත්තරයක් බල බලා හිටියෙ සූරියා මගේ ලඟට ආවා...

මොකද්ද අංකල් හැමදාම හවසට දාන ඔය සිංදුව...

මන්දන්නෙ නෑ සූරියා ඔය ආච්චි දාන සිංදුනෙ, ගිහිං ආච්චිගෙන්ම  අහල බලන්නකො...

සූරිය කෙලින්ම ගෙට ගියා අම්ම කාමරේ වැඳගෙන පිරිත් අහනව...

අයියෝ ග්‍රෑන්ඩ්මා මොනවද ඔය අහන සිංදු, බෝරිං නැද්ද ග්‍රෑන්ඩ්මා, කාජා බූජා ඕවත් සිංදුද, දාන්නකො හොඳ නම්බර් එකක්...

සූරිය ඉංග්‍රීසියෙන් කියාගෙන කියාගෙන ගියා,උන්ගෙ ප්‍රනවුන්සේෂන් එකත් දර පළනව වාගෙනෙ...අපේ අම්ම උඩබිම බලනව මේ මොකක්ද මේ පාත්වෙච්චි මරාලෙ කියල,අම්මට මූ කියන දේ තේරෙන එකක්යැ...මට එතන ඉන්න බෑ හිනායන හින්ද මම හෙමිහිට මාරුවුණා...

මූ නං දෙමළෙක්ම තමයි...

අම්ම කෙන්තියටම කියනව  මට යන ගමන් ඇහුණා....

කීප තැනකදිම කතාව සුපුරුදු විදියට පීළි පැනල වටේ යන්න ගියත් බොහොම අමාරුවෙන් ට්‍රැක් එකේ අරගෙන ආවෙ මේ අපේ අම්ම ගැන විතරක් කියවෙන කතාවක් නිසයි...

දැනට සතියකට විතර උඩදී අම්ම එකපාරටම වගේ ඇඳට වැටුණා,තාම ඇඳේමයි සේලයින් එකක්, අමාරුවෙන් පොවන දෙයක් ඇරෙන්න කෑමක් බීමක් නෑ...

හිතේ වේගෙටම  අම්ම ගැන අතීත මතක අකුරු කරන්නට ගත්ත පුංචි උත්සාහයක් මේ...















137 comments:

  1. Replies
    1. මට මතකයි පොඩි කාලේ අම්මා එක්ක පොලේ ගිහින් හිරමණයක් ඉල්ලලා හිටියා ඒ දවස් වල අපේ ගෙදරට සතියකට පොලෙන් බඩු ගෙන වියදම රුපියල් 100ක් විතර හිරමණය රුපියල් 25 ක් විතර ඇති ,හොදටම ගනන් ,අම්මා එත් මට එදා හිරමණයක් අරන් දුන්නා ,මට අදටත් හිතා ගන්න බෑ ,

      හැලප ගේ අම්මාට ඉක්මනින්ම පුර්ණ සුවය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ....

      Delete
    2. පොඩිකාලේ හිරමණයක් මොකටද?

      Delete
    3. මම කවදාවත් මෙසයකට හයි කරලා පොල් ගාන හිරමණයක් දැකලා තිබුණේ නෑ ,කොටින්ම ඒ දවස් වල අපේ ගෙදර හොද මෙසයක් තිබුණේ නෑ ,තිබුණේ බිත්තියට මැට් ගහන කොටම බිත්ති හරහා දඩු ලී දාලා ඒ උඩ ලොකු පිට පලු තියලා ,අම්මා බිම වාඩි වෙලා පොල් ගාන හිරමනයකින් තාමා පොල් ගෑවේ ,මට අර හිරමණය නිකන් මැජික් එකක් වගේ එකයි ඉල්ලුවේ ..

      Delete
    4. බොහොම ස්තූතියි සහෝදර,ඉතිං ගත්ත හිරමනෙන් පස්සෙ කාලෙකවත් වැඩක් ගන්න පුළුවන් වුනාද.

      Delete
    5. මේසෙට හයිකරල පොල්ගාන හිරමණයක් රුපියල් 25 කට?
      කොයි කාලෙද සහෝ මේ....

      Delete
  2. අම්මට ඉක්මන් නිරෝගී සුවය පතනවා හැලපේ !

    අම්මලා ගාන නොබැලුවට තාත්තලා එහෙම නෑ කියලද හැලපේ මේ ඔප්පු කරලා පෙන්නුවේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා,ඔය වගේ තැන්වලදී තාත්තල ටිකක් තර්කානුකූලව හිතනව නේද.

      Delete
  3. අම්මාලා එහෙම තමයි හැලපේ.,
    අම්මාට ඉක්මන් සුවය පතනවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විදානේ.

      Delete
  4. අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා හැලප අයියේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි poomaa

      Delete
    2. නම වැරදුනානෙ,ස්තූතියි පූමා

      Delete
  5. හැලපෙ අයියගේ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.මාත් පුංචි කාලේ හිට්යේ මගලෙගොඩ තමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනුක දැන් ඉන්නෙ මගලෙගොඩ නොවෙයිද.

      Delete
    2. හැලපෙ දන්නවද අර ඔබා අයියගෙ ගම මගලෙගොඩට අල්ලපු එක. මාරපොල

      Delete
    3. මාරපොල දන්නව නමුත් ඔබාගෙ ගම බව දැනගෙන හිටියෙ නෑ.බොහොම සුන්දර ගමක් මගේ පලවෙනි ගුරුතුමියත් මාරපොල ගමේ.

      Delete
  6. අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අයියෙ ! අම්මලා ලෙඩට වැටුනහම ළමයින්ට එන දුක අවුරුදු හතක්ම වින්ඳ කෙකෙන් විදියට දන්නවා එන හැඟීම..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වෙනී ඒ ගැන කියල වැඩක් නෑ,බොහොමත්ම ස්තූතියි.

      Delete
  7. අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. තව දෙයක් කියන්නම්, අර මුල් සිද්ධියෙදි අද කාලෙ පොඩි එකෙක් නම් හෙන පෙරළියක් කරයි.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් දිලිනි අපිට ඒ කාලෙත් යමක් තේරුණා,ප්‍රාර්ථනාවට ගොඩක් ස්තූතියි.

      Delete
  8. තාත්තලා ලෝබයි කියන එක නම් ටිකාක් විතර හරි වගේ.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවනි කකා,ඔය වගේ දේකදී තාත්තල වියදම ගැන අම්මලට වඩා සැළකිලිමත් නේද.

      Delete
  9. ඇයි ඔය තල මලක් දාලා?

    ReplyDelete
    Replies
    1. අම්මගෙ පින්තූරයක් හොයාගන්න බැලුවා ලැබුනෙ නෑ,ලස්සන අතරින්ම අනිත්‍යය මෙනෙහි වන නිසා මේ පින්තූරෙ දැම්ම.

      Delete
    2. ඒ උනාට තල මල මෙතැනට ගැලපෙන්නෙ නෑ හැලපයියෙ...තල මලක් පිපුණාම ඒ ගහ විනාශ වෙනවා...තල මලක් පිපෙන තැනට ඒ ගහ පත්වෙන්න අවුරුදු 50 කට විතර කිට්ටු කාලයක් ගත වෙනවා...ඒ වගේම ගම් පලාත් වල ඇත්තො විශ්වාස කරන්නෙ තල මල පිපුනාම ගමට විපත්තිදායක කාලයක් උදා වෙනවාය කියලයි...

      Delete
    3. තල මලත් එක්කම ගහත් ඉවරයි.ලස්සන නිසා දැම්මෙ

      Delete
    4. තලමල වගේම අපි හැමෝගෙම ජීවිතත් දවසක නැතිවෙනවා!

      ඔබ ඒ බව හොඳින් දන්නා නිසායි මේ සවිඥාණකව නොවුනත් තල මලක් සොයා මෙතනට යෙදුවේ.

      ඔබේ මවට නිවස් සැප ලැබේවායැයි පතමි.

      Delete
    5. තල මල යෙදූ අර්ථය දැනුයි වැටහුනේ...මෑණියන්ගේ තත්වය එවිට මා දැන සිටි නැති නිසයි එය නොගැලපේ යැයි කීවේ....

      මෑණියන්ට නිවන් සුව පැතීමට මමද එක්වෙමි.

      Delete
  10. අම්මාට ඉක්මන් සුවය පතනවා හැලපයියේ.!

    මනිවන්නන්,සුරියා මරු ඩබලක් නේ..

    ReplyDelete
    Replies
    1. සූරියා නං දැන් ලොකු ඉලන්දාරියෙක් වෙන්න ඇති,අපි ආපහු චෙන්නායි ගිය දෙසැරේදීම මුණගැහුනේ නෑ ඒ ගොල්ල දැන් ඉස්සෙල්ල හිටපු ගෙදර නැතිලු.
      ප්‍රාර්ථනාවට බොහොම ස්තූතියි.

      Delete
  11. අම්මා හට ඉක්මන් සුවය පතනවා! අම්මලාගේ ආදරේ තරම කියලා නිම කරන්න බෑ කියලයි මන් හිතන්නේ.....ඔයා වගේ පුතෙක් ලැබිම ඒ අම්මගේ වාසනාව

    ReplyDelete
    Replies
    1. අපට කරදරයක් වෙන තරමට අම්ම ආදරේ කළා,බොහොම ස්තූතියි ශානු.

      Delete
  12. අම්මෙකුගේ ආදරේ ගැන නම් මනින්ට තාම මිම්මක් හදලා නෑ. හැලපෙගේ ලියවිල්ලෙන් අම්මට තියෙන ආදරේ පේනවා...

    අම්මාට ඉක්මන් සුවය පතනවා...අම්මා ඉන්නේ හැලපෙලාත් එක්කද?

    ReplyDelete
    Replies
    1. එක නං ඇත්ත පොඩ්ඩි බොහොම ස්තූතියි.
      මම ගෙයක් හදල පදිංචියට ගිය දවසෙම අම්ම අපිත් එක්ක ඉන්න ආවා.

      Delete
  13. බළල අරන් නොදීපු එකට හැලපෙ පෙරළි නොකෙරුවෙ පරිසරයෙන් ලැබිච්ච අත්දැකීම් නිසා වෙන්න ඇති.

    අම්මට ඉක්මන් සුවය පතනවා !

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසන්න ඒ කාලෙත් අපට යම් දැනුම් තේරුමක් තිබුණා.
      ප්‍රාර්ථනාවට බොහොම ස්තූතියි.

      Delete
  14. අම්මාට ඉක්මන් සුවය පතනවා හැලප අයියේ...!

    ReplyDelete
    Replies
    1. ඔබේ කාරුණික භාවයට බොහොම ස්තූතියි නංගී,ඒ වගේම මගේ බ්ලොගයට ඔබව ආදරයෙන් පිළිගන්නවා.

      Delete
  15. අම්මලගෙ ආදරේ හ‍රි පුදුමාකාරයි හැලප අයියෙ. මන් හිතන්නෙ මිනිහෙක් පුදුමාකාර විදියට සංවේදී වෙන තැනක් ඔතන.

    මම පොඩි උදාහරණයක් කියන්නම්. මම මුලින් රස්සාවකට ගිය දවස්වල ඉදන් කෑම කත්දි අම්මට කතාකරනවා. බැන්දට පස්සෙ නම් අම්මටයි වයිෆ්ටයි දෙන්නටම කතා කරනවා. ඒක දැන් පුරුද්දක් වෙලා. මේ ලගදි වැඩකරත්දි උන ප්‍රශ්ණෙකට අප්සට් එකේ ඉන්න ගමන්ම දවල් කෝල් එක දුන්නා. මම "හෙලෝ" කියන වචනෙ විතරමයි කිවුවෙ. අම්මා ඇහුවා "ඇයි පුතේ මොකක්ද ප්‍රශ්ණෙ?" කියලා. එයාට එක වචනෙන් උනත් මගේ වෙනස තේරුනා. ඇත්තටම අම්මෙක්ගෙ ආදරේ ඒ තරම්ම පුදුමාකාරයි.

    ඔබේ ආදරණීය මෑණියන්ටත් ඉක්මන් නිරෝගී සුව ප්‍රාර්තනා කරනවා හැලප අයියෙ.

    ReplyDelete
    Replies
    1. අපේ එක වචනයකින් ඉරියව්වකින් ඒ අය අපි ඉන්න තත්වය දැනගන්නවා ප්‍රියා.
      ප්‍රාර්ථනාවට ගොඩක් ස්තූතියි.

      Delete
  16. මව්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා හැලපතුමා...!

    ReplyDelete
    Replies
    1. ඔබටත් ගොඩක් ස්තූතියි රෙහානි.

      Delete
  17. මචං...තල මල දැක්ක ගමන් මට එක පාරට මතක් උනේ මනෝගෙ නාට්‍යය "තලමල පිපිලා"

    / දවල් කෑම අපේ ගෙදර මුරට හිටපු පොලිස්කාරය මනිවන්නන් අතේ යැව්වා, /

    උඹේ ලියවිල්ලට මම කැමති මචං මේ අව්‍යාජත්වය හින්දමයි.නිවාස අඩස්සියෙ තියල පොලිසියෙං මුර දාල හිටපු එක උනත් උඹ හංගන්නෙ නැතුව කියනව.මොකද උඹට ඕන නං ඕක නොකිය ඉන්න තිබ්බෙ නැද්ද? අපි දන්නව කියලයි ආය අහන්ට මොකෝ බං උඹ අර නිවාස අඩස්සියෙ හිටපු කාලෙ ගැන විස්තරේ ලිව්වෙ නැහැනෙ කියල...අන්න ඒක තමයි හැලප, අවංකත්වය සහ අව්‍යාජත්වය කියන්නෙ.

    නිවාස අඩස්සියෙ හිටියෙ මොකද කියල මම අහන්නෙ නෑ..මම දන්නව උඹ ඒකත් කියනවයි කියල..මොකද උඹ ඇවිල්ල ඕපන් හාට් සර්ජරි පොරක් නැත්තං ඕපන් ඉකොනොමි...නැද්ද හොඳයි?

    අම්මට ඉතා ඉක්මනින් නිරෝගී සුවය පතමි!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මචං ඒ කාලෙ සම්පූර්ණයෙන්ම හිටියෙ නිවාස අඩස්සියේ තමයි,හැබැයි උඹ දැකල නැතුවට මම කලින් ඔය ගැන ලියල තිබුණා.http://helapakade.blogspot.com/2013/03/blog-post_22.html
      ඒක හරිම සුන්දර නිවාස අඩස්සියක් හැබැයි මට නෙවෙයි මුරකරපු උන්ට.කරන්න වැඩක් නැති නිසා උන් කාල බීල දවසම නිදාගන්නවා.මුරේ හැම මාසෙම මාරුකරනව එක සැරයක් හිටපු එකෙක් ආපහු එතනට නොඑන්න රෝස්ටර් එක හදල තියෙන්නෙ.එහෙම තියෙද්දිත් සැරයක් ඔය මූර්ති කියපු එකා ආපහු අපේ ගෙදරටම ආවනෙ,
      මූර්ති කොහොමද ආයෙ ආවෙ...මම ඇහුවා.
      ඩියුටි දාන ඉන්ස්පෙක්ටර්ට රුපියල් පනහක් දීල හදාගත්ත සර්...
      ඔන්න මූර්තිය කියපු එක.
      ප්‍රාර්ථනාවට බොහොමත්ම ස්තූතියි රවී.

      Delete
  18. හැලප අයියාගේ මවට ඉක්මන් සුවය පතමි ..
    දෙමව්පියෝ අසනීප උනාම දැනෙන දුක නම් කියල වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මොනවට කියනවද
      ඔබටත් බොහොම ස්තූතියි.

      Delete
  19. අම්මලා ලෙඩ වෙනවා නෙවෙයි විවේක ගන්නවා. ආයේ හරියනවා. අපේ අම්මත් මැරෙන තුරු එහෙමයි. අම්මලා හිතේ තියන දේවලින් 1% වත් කියනවාද මන්දා. ප්‍රතිකාර වලට වඩා අම්මලාට හරියන්නේ අපි නිතර ලඟින් ඉඳීමෙන්. පුලුවන්නම් දරුවෝ ඔක්කොම දවසේ වැඩි වෙලාවක් අම්මා ළඟ ඉන්න බලන්න.

    මගේ දෙමවුපියන්ට මම කුඩා කාලේදී මට ඇඳුමක් පැළඳුමක් අරන් දෙන්නවත් අමාරු කාලයක් තිබුනා. අද මම මගේ දුවලාට අවශ්‍ය අනවශ්‍ය ඔක්කොම අරන්දීලා එදා මම කුඩා දරුවකු ලෙස විඳගන්න බැරිවුණ සතුට මනසින් විඳිනවා. ජීවිතය ගැන හිතන්න හිතන්න ජීවිතය දික්ගැහෙනවා විතරයි.

    ReplyDelete
    Replies
    1. තල මල පිපෙන්නේ ඇයි කියලා හිතන්න යන්න එපා. කලයුතුදේ කරන්න.

      Delete
    2. ඔව් විචාරක තුමා,අම්මලට අවශ්‍ය තමන්ගෙ දරුවන් ළඟ ඉඳීම,මේ දිනවල නං මම ඇරෙන්න අම්මගෙ අනික් දරුවෝ ඔක්කොම ඉන්නෙ අම්ම ලඟයි.

      Delete
    3. ඔබ තල මලේ පින්තූරය පළකර තිබීමෙන් මා තේරුම්ගත්තා ඔබේ මවගේ ජීවිතය ගැන ඔබතුල යම් අවිනිශ්චිත බවක් තිබෙන බව. ඒ නිසයි මම නැවත කමෙන්ට් එකක් දැම්මේ තල මල ගැන හිතන්න එපා කලයුතු දේ කරන්න කියලා. ඔබේ මව් ජීවිත කාලය පුරා කල අනුපමේය සේවය, මහමෙරටවත් සමකරන්න බැරි ඇගේ ආදරය සෙනෙහස, චිත්ත ධෛර්යය මේ තල මලේ පින්තූරය තුල ගැබ්ව තිබුණා. ඔබට යම් දුකක් ඇති මවගේ අවසන් මොහොතේදී ළඟ ඉන්නට නොහැකිවීම ගැන. නමුත් ඔබට පුළුවන් ඔබේ ජීවිත කාලය පුරා ඇය වෙනුවෙන් පින් පමුණුවන්නට.

      ඔබේ ආදරණීය මෑණියන්ට නිවන් සුව අත්වේවා!

      Delete
  20. මම දැනුත් අහම්බෙන් වගේ අම්මගන කියවෙන සින්දුවක් අහනගමන්ම තමයි පොස්ට් එක කියෙව්වේ (ග්‍රේෂන් ආනන්දගේ අම්මා පෙව් කිරි කදුලෙනි....... කියන එක) අම්මාට ඉක්මන් සුවය පතනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාළේ.

      Delete
  21. හැලපගේ අම්මාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනය කරමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් මල්ලි

      Delete
  22. අපෙ අම්මත් නහයෙන් අඬ අඬ ඉන්නව ඔන්න ඔපරේෂන් එකට දින දීලා හින්ද ... මටත් මේ ටිකේම යන්න විදියක් නෑ... කෝල් එකෙන් ෂේප් වෙලා ඉන්නෙ... හෙට අනිද්ද යන්න ඕනෙ ඕපදූප ටික අහගෙන ඉඳල එන්න..

    අම්මලා ලෙඩ වෙනව කියන එක නං දරාගන්න අමාරුයි අප්ප... තාත්ත හොස්පිට්ල් ඉන්න එක එච්චර ගානක් නෑ ඇත්තටම... වැඩිපුර ගෙදර නෑ නේ ඉතිං... අපෙ අම්ම එකපාරක් හොස්පිට්ල් හිටිය.. ඒ දවස් ටික අපි හිටියෙ අම්මට වඩා ලෙඩ්ඩු වගේ.. මෙදා පාර තාත්තයි මල්ලියි මොනා කරගනීද මන්ද මාත් නැති කොට...

    හැලපයියගේ අම්මත් ඉක්මණට සනීප වෙලා ගෙදර එයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරූ,අම්මව හොඳට බලාගන්න.

      Delete
  23. මෑණියන්ට නිරෝගී සුව පතනවා. අම්මා කෙනෙක්ගේ ආදරය පුදුමාකාරයි...

    ReplyDelete
    Replies
    1. පැතුමට ස්තූතියි නාඩියෝ.

      Delete
  24. ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඇනෝ

      Delete
  25. ඉක්මනටම අම්මට සනීප වෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා හැලප අයියේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යක්ෂයෝ

      Delete
  26. හැලපෙගේ මව්තුමියට ඉක්මන් සුව පතනවා. ඒකයි මේ මතක ඇවිස්සුනේ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් මචං,බොහොම ස්තූතියි,කවදද ලංකාවෙ ඉඳල ආවෙ

      Delete
  27. හැලපෙ අයියේ
    අම්මට සනීප වෙලා ඉක්මනට ගෙදර එන්න කියල හදවතින්ම පතනවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පත්තර මල්ලි

      Delete
  28. හැලපෙ අපි හැමෝගෙම මතක අවුස්සලා. මීට වැඩිය යමක් කියන්න බෑ, ලිපිය සංවේදියි.
    මෑණියන්ට නිරෝහි සුව පතමි

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද ටොමියෝ.මතකය ලියවෙනවා.බොහොම ස්තූතියි.

      Delete
  29. හැලපයියා.. උබේ හිතේ තියෙන ආදරේ තරම නිසාම අම්මට කිසිම කරදරයක් වෙන්නෙ නැහැ බං. හොඳින් බලා ගනින්.. ඉක්මනින් සුව වෙයි..

    පාන්දරම ස්තුති කදුළු වලට.. !!

    ReplyDelete
    Replies
    1. කරුණාවන්ත වචනවලට ස්තූතියි සැමෝ

      Delete
  30. අනේ හැලප,මචන් මේ ලිපිය දැනුයි දැක්කේ....
    ඒ ඔබගේ පින්වත් මව් තුමියට ඔබ අප කල ඇති පින් බලෙන් ඉක්මන් සුවය පතමි...!

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට බොහොමත්ම ස්තූතියි කෙන්ජි.

      Delete
  31. මං කියුවනේ අම්මට හොද වෙනවා

    ReplyDelete
  32. මම මොකක්ද කියන්නේ හැලපේ...??? ඔයාගේ අම්මාට තව පුළුවන් තරම් කාලයක් ඉන්න ලැබේවා...!!!!
    අම්මලාගේ ආදරේ ගැන නම් කියලා ඉවරයක් කරන්න අමාරුයි... ගොඩාක් සංවේදී වුණා හැලපේ...

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද,බොහොම ස්තූතියි සඳා,

      Delete
  33. කොයි තරං මතක තියේද ඇවිස්සෙන සුළු.. හැලපයියාගේ මව ඉක්මනින් සුවපත් වේවා!!

    ReplyDelete
    Replies
    1. මතකයන් ගලාගෙන එනවා බං,බොහොම ස්තූතියි.

      Delete
  34. මව්තුමිය ඉක්මනින් නැවතත් සුවපත්වෙන්න කියා පතනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරෝ.

      Delete
  35. ඔබේ මවට නිදුක් නිරෝගී සුවය පතමි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඇනෝ.

      Delete
  36. අපි දන්නා කාලේ ඉඳන් නිතරම අම්මා අසනීප වුණු නිසා අපිට මේක හොඳට පුරුදුයි. අපේ අම්මා කොයි තරම් වාර ගණනක් රෝහල් වල හිටියද කියලා මතකත් නෑ. ඒත් එවෙලාවට එන හැගීම් වචන කරන්න අමාරුයි. මට හිතෙනවා ළමයි වශයෙන් අප පරිනත වෙන්න ඒවා හේතු වුණා කියලා. දෙමව්පියන් ජීවත් කරවන්නේ ප්‍රාර්ථනා නිසා . මම හිතනවා ඔයාලා ගැන තියෙන බලාපොරොත්තු නිසා ඇය තව බොහෝ කලක් ජීවත් වෙයි.

    ඉක්මන් නිරෝගී සුවයත් දීර්ඝායුත් පතනවා ඔබේ මවට.

    ReplyDelete
    Replies
    1. සුදීකගෙ කතාව ලොකු කතන්දරයක සාරාංශයක් වගේ.ප්‍රාර්ථනාවට ගොඩක් ස්තූතියි.

      Delete
  37. ඇත්තමයි අය්යෙ තලමල ගැලපෙන්නෑ..!
    අම්මාට නිරෝගී සුව ලැබේවා..!

    ReplyDelete
    Replies
    1. වීයටත් බොහොම ස්තූතියි.

      Delete
  38. හැලපෙ අයියෙ ඔයාගේ අම්මට ඉක්මන් නිරෝගී සුවය ප්‍රර්ථනා කරනව..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි උමේෂ්

      Delete
  39. මචං....පළමුවෙන්ම අම්මාට නිදුක්, නිරෝගි සුවය පතනවා.

    අම්මා කියන වචනය අර්ථ දක්වන්න උපන් කෙනෙක් මේ ලෝකේ නැහැ හැලපේ. මුදල් අඩුපාඩු නිසා මමත් ඔහොම දේවල් වලට මුහුණ දීපු කෙනෙක්. ඒ එක්කම අම්මා කියනවා මම කවදාවත් කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ කියලා.

    මම තමයි මචං අපේ ගෙදර හිතලා බලලා සල්ලි වියදම් නොකරන්නේ. එක හරිම නරක පුරුද්දක්. මම ඔන්න ඕක අරන් දෙන්න කිව්වාට ,වයිෆ් දන්නවා ඊට වඩා අඩුවට ගන්න හැකි තැන්. ඒ ක්‍රමය හරි.

    ReplyDelete
  40. හැලපෙගේ බ්ලොග් එක කියවන හිතවතුන්ට සහ හිතවතියන්ට දුක්ඛදායක කාරණාවක් කියන්න වෙනවා...

    හැලපෙගේ මෑණියන් අන්ත්‍රා වුණා... ඒ නිසා අපි හැමෝම එකතු වෙලා ඒ මෑණියන්ට නිවන් සුව ප්‍රර්ථනා කරමු...!!!!

    ReplyDelete
    Replies
    1. මගේ පවුලේ සාතිශය සංවේගය!!!

      Delete
    2. මම මොනවාටද බොරු කියන්නේ අටම්...

      Delete
    3. වරදවා හිතන්න එපා සදා

      Delete
  41. හැලපේගේ අම්මාට ඉක්මන් සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    බොරු කියන්නේ මොකටද මට නම් පොඩි කාලේ මම මොනවා හරි දෙයක් ඉල්ලුවා නම් ඒක ලැබෙනකම්ම ස්ට්‍රයික්. මම ඒ කාලේ ඒක හිතලාමයි කලේ. දැන් වගේ ඒ කාලේ ආර්ථික අපහසුතා අරවා මේවා තේරුම් ගන්න මගෙ පොඩි කාලේ මට උවමනාවක් තිබ්බේ නෑ. ඒත් අපි පොඩි කාලෙම අම්මායි අප්පච්චියි මිය ගියේ අඩුම තරමේ එයාලට ප්ලේන් ටී එකක්වත් අපි උපයපු සල්ලි වලින් අරන් දෙන්න ඉඩ නොතියා. මගේ ජීවිතයේ අද තියෙන කනගාටුවලින් මූලිකම එක තමයි ඒක.

    ReplyDelete
  42. ඔය තියෙන ආදරය සැලකිල්ල හන්දම අම්මට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ..

    තල මලක් මම හැබැහින් තාම දැකලා නෑ.. මේ වගේ පින්තූර වලින් විතරයි..

    ReplyDelete
  43. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හැලපේගේ මෑණියන්ගේ අභාවය පිළිබඳ සාතිශය සංවේගය....

      Delete
  44. pls.. my dear friends ... see my comment above ...// " හැලපෙගේ බ්ලොග් එක කියවන හිතවතුන්ට සහ හිතවතියන්ට දුක්ඛදායක කාරණාවක් කියන්න වෙනවා...

    හැලපෙගේ මෑණියන් අන්ත්‍රා වුණා... ඒ නිසා අපි හැමෝම එකතු වෙලා ඒ මෑණියන්ට නිවන් සුව ප්‍රර්ථනා කරමු...!!!! //
    so pls.. don't wish for Halape's mother's health... bcz it will hurt him much....

    ReplyDelete
  45. මට පේන්නෙ කට්ටිය සඳාගෙ පණිවිඩේ දැකල නෑ වගෙ....:(

    මෑණියනි ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  46. සදා අවසන් කටයුතු කොහේද කෙරෙන්නේ

    ReplyDelete
    Replies
    1. අවසන් කටයුතු වේයන්ගොඩ හැලපේගේ ගෙදර තියෙන්නේ නලීන්... අද රෑ හැලපේ ලංකාවට යනවා..

      Delete
  47. බොහොම කනගාටුයි. මම එනකොට පරක්කුයි! මෑණියන්ට නිවන් සුව ප්‍රර්ථනා කරනව හැලපඅයියෙ!

    ReplyDelete
  48. එනකොට පරක්කුයි ....හැලපයියේ අම්මට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  49. හ්ම්ම්ම් මේ පැත්තෙ එනකොට හැමදේම වෙලා ඉවරයි.. ගොඩක් කණගාටුයි හැලප අයියෙ :(

    මෑණියන්ට නිවන් සුව ප්‍රාර්තනා කරනවා !

    ReplyDelete
  50. හැලපේ !!!
    අම්මට නිවන් සුව පතනවා !!

    ReplyDelete
  51. අද උදේ මට අටමා තමයි දුරකථනයෙන් කිව්වේ ඔමේ ආදරණීය මෑණියන් අභාවප්‍රාප්ත වූ බව.

    එතුමියට නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනය කරනවා.

    ReplyDelete
  52. හැලප මාමගේ අම්මට නිවන් සුව පතමි !!!

    ReplyDelete
  53. හැලප අයියාගේ මව්තුමියට නිවන් සුව පතමි...!!

    ReplyDelete
  54. මවට නිවන් සුව!!! :(

    ReplyDelete
  55. එතුමියට නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනය කරනවා.

    ReplyDelete
  56. අදයි ලිපිය කියවන්න අවස්තාවක් ලැබුනේ...

    කමෙන්ටු ටික කියවන කොටයි දැක්කේ අමිමා නො එන ගමනක් ගිහින් බව හරිම කණගාටුයි ... අම්මට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  57. හැලපයියේ අම්මාට නිවන් සුව පතමි.!!!!

    ReplyDelete
  58. :(මෑණියන්ට නිවන් සුව පතමි !!!

    ReplyDelete
  59. ඇය ජීවිතයේ දිගු ගමණ අහවර නික්ම ගොස් ඇත. ඔබේ ආදරණීය මවට නිවන් සුව පතමු!

    ReplyDelete
  60. දෙමව්පියන්ගේ වියෝව දුකක්! ගොඩක්ම දෙමව්පියන්ගෙන් ආදරය ලබපු, දෙමව්පියන් දරුවන්ට සැප දෙන්න දුක් විඳපු හැටි දන්න සංවේදී දරුවන්ට. ඒත් ජිවිතේ පිරෙන්න අත්දැකීම් ඇති මුහුකුරා ගිය ඔබ වැන්නෙකුට මිනිස් ජිවිතයේ සැබෑව අනියත බව වටහාගෙන ඉදිරි කටයුතු කලයුතු දේ කිරීමට හැකිබවත් විශ්වාසයි.

    පුද්ගලිකව පැමිණිය නොහැකි නමුත් ඔබේ සටහන් කියවන සෑම කෙනෙක්ම ඔබ සමගම කනගාටුවට පත්වන්නේ ඔබේ මව එවැනි පුතෙක් සැදුව නිසා. දිරිය මව ගැන ආඩම්බර වන්න. ඇයට නිවන් සුව අත්වේවායි පතමි.

    ReplyDelete
  61. ඔබගේ මෑණියන්ගේ වියෝව පිළිබඳව සාතිශය සංවේගය පිළිගන්න.

    ඇයට නිවන් සුව ලැබේවා.

    ReplyDelete
  62. මෑණියනි ඔබට නිවන් සුව !!!

    ReplyDelete
  63. මෙහෙම පුතෙක් ලැබෙන්න, ඒ අම්මා රත්තරන් අම්මා කෙනෙක් වෙන්න ඕන. මේක කියවන කොට අම්මා නැති උනා කියලා ආරංචි උනා.. ආවා වගෙම යන්නත් ඕන නේ..

    ඒත් ඉතින් සසර පුරාම ඒ අම්මාම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    නිවන්... පස්සෙ යන්න බැරිය..

    ReplyDelete
  64. හැලපගේ මවට නිවන් සුව අත්වේවා......

    ReplyDelete
  65. අදයි මට දැනගන්ට ලැබුනේ... :(

    මගේ සාතිශය සංවේගය.. ඒ ආදරණීය මෑණියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමි!

    ReplyDelete
  66. ayiye obe ammata niwan suwa athwewa. dharshana

    ReplyDelete
  67. සති දෙකක විතර අවිවේකී කාලයකින් පස්සේ අද තමයි. මිතුරු බ්ලොග් කියවන්න වෙලාවක් හදා ගත්තේ. ඉස්සෙල්ලාම අම්මා ගැන අතිශය සංවේදීව හැලපේ ලියු පොස්ට් එක කියවලා කොමෙන්ට් ටික කියවාගෙන යනකොට හිත එකපාරටම ගල්වෙලා ගියා. දෙයියනේ ඒ රසවත් විචිත්‍ර කතා ලියන්නට පසුබිම සකස් කරපු දැවැන්ත චරිතය හැලපෙගේ ආදරණීය අම්මා මිය ගිහින්. ඇය අපි ඔක්කොගෙම අම්මා වෙලා හිටියා මේ කතන්දර ,කොමෙන්ට් හා වෙබ් පොස්ට් විනිවිද ගොස් ඇතිවෙච්ච මිත්‍රකම නිසා. ඉතින් මගේ ශෝකය දයාබර හැලපේ .

    ReplyDelete
  68. May your mother attend nibbana...............!

    ReplyDelete
  69. obageee adaraniya mawata niwan suwa athwewa...

    ReplyDelete
  70. ඔබේ මව නිවන් සුවයෙන් සුවපත් වේවායි ප්‍රාර්ථනා කරනව...

    ReplyDelete
  71. හරිම සංවේදී මතක සටහන්. ඔබේ මෑණියන්ට නිවන් සුව පතනවා. පෞද්ගලිකව අවමඟුලට සහභාගී වන්නට බැරිවීම ගැන කනගාටුයි. මතකයේ තියාගෙනම මා බලන්නට ආවාටත් ස්තූතියි.

    ReplyDelete
  72. කාලෙකින් මේ පැත්තට ආවේ මං. හැලප අයියාගේ මෑණියන්ගේ අභාවය වෙනුවෙන් මගෙත් කණගාටුව පල කර සිටිනවා...ඒ වගේම එතුමියට නිවන් සුව ප්‍රර්ථනා කරනවා..!!!

    ReplyDelete
  73. අම්මට නිවන් සුව ප්‍රාර්ථනා කන්නම් හැලපේ. . .

    ReplyDelete
  74. අදමයි මේ පැත්තට ආවේ මං. හැලප අයියාගේ මෑණියන්ගේ අභාවය වෙනුවෙන් මගේ කණගාටුව පල කරනව ඒ වගේම එතුමියට නිවන් සුව ප්‍රර්ථනා කරනවා..
    අම්මලාගෙ ආදරේ අපිට වැඩියෙන්ම දැනෙන්නෙ එයා අපි ළගනැති වෙලාවට හැලප අය්යා

    ReplyDelete
  75. මෑණියන්ට නිවන් සුව ලැබේවා...!

    ReplyDelete
  76. ඔබේ මව නිවන් සුවයෙන් සුවපත් වේවායි ප්‍රාර්ථනා කරනව!

    ReplyDelete
  77. හැලප කාලෙකින් ලියල නැහැනේ කියල හිතුන නිසා මේ පැත්තේ ආවේ නිකමට. හුඟක් පමා වෙලා .

    ඔබගේ මෑණියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ..

    ReplyDelete
  78. අම්මා මියගිය බව දැනගන්න ලැබුණා. අයියාගේ අම්මාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මව් ගුණ සිහි කිරීමත් ඒ වගේමයි අම්මා වෙනුවෙන් පින් දහම් කිරීමත් දැන් අයියලාට කරන්න පුලුවන්

    ReplyDelete

ඔබේ අදහස්