Tuesday, September 24, 2013

92.සුනන්දගේ ප්‍රශ්නය සහ බෝධිදාසගේ සොමිය.


අද මූණු පොතේ මී පැටියෙක් විතර පොඩි කලුපාට දරුවෙකුගෙ පින්තූරයක් දකපුවම මට දැකල පුරුදු ගතියක් තේරුනා...කොයිකාලෙද කොහෙදිද  කියල මතක් කරගෙන යද්දී මට කතාව මතකෙට ආවා.

ඒ දැනට ගොඩක් කාලෙකට ඉස්සෙල්ල අපි හොඳ තරුණයො කාලෙ තමයි මේ සිද්දිය වුණේ,අපේ යාලුවෙක් හිටිය අපි කියමුකෝ සුනන්ද කියල...ඔය සුනන්දගේ හොඳම යාලුව අනිල් මේ දෙන්න දවස පුරාම එකටමයි හිටියේ සෙල්ලමට ගියත් නාන්න ගියත් රන්ඩු වුනත් දෙන්න එකටමයි ...ගමේ මිනිස්සු මුන් දෙන්නට නූලයි ඉඳිකට්ටයි කිව්වට අපි නං කිව්වේ අමුඩෙයි පුකයි කියල ඒ තරමටම ළඟින් තමයි දෙන්න හිටියෙ...

මේ දෙන්නගෙ තියෙන විශේෂත්වය නම් සුනන්දගේ ඇස් පෙනීමේ දුර්වලතාව සහ අනිල්ගෙ කන් ඇසීමේ දුර්වලතාව ...මේ අඩුපාඩු පිරිමහගන්න දෙන්න එකටම හිටියද දන්නෙ නෑ සුනන්දය මොනවහරි දිහා බලන්නෙ එතනටම ඇහැ තියල,අනිල්ට අපි මොනවහරි හිමින් කිව්වොත් ඌ හිනාවෙලා නිකං ඉන්නව...

මම ඉස්පිරිතාලෙ රස්සාව කරනකොට සුනන්ද මාව හම්බවෙලා ඇස් පෙනෙන්නෙ නැතිවට බේත් ගන්න ඕනෑ කිව්වම මම සුනන්දව ග්ලාස් හවුස් එකට එක්ක ගිහිං චැනල් කරවල කන්නාඩියක් ගන්න වැඩ කටයුතු කරල දුන්නට පස්සෙ මූ මට බොහොම ගරුසරු ඇතුව සැලකුවා...

සුනන්දගේ තාත්ත වඩු රාළ,පුතත් තාත්තගෙ රස්සාවමයි පුරුදුවුනේ...උන්ගෙ තාත්ත අම්මට වඩා බොහොම වයසයි ඒ නිසාම වැඩත් අඩුයි සුනන්දත් එක්ක ගෙදර දරුවෝ හතර දෙනෙක්ද කොහෙද...ඇත්තම කිව්වොත් මේ අය බොහොම අමාරුවෙන් තමයි ජීවිතේ ගැටගහගත්තෙ ...

ඉස්කෝලෙ ගිහින් ඉවරවෙලා සුනන්ද වඩු වැඩ ඉගෙනගන්න වඩු ඉස්කෝලෙට යන්න පටන් ගත්තා...වඩු ඉස්කෝලෙ කියනකොට මතක් වුණේ ඔය වඩු ඉස්කෝලෙ හරියෙ සුපිරි පොරක් හිටියනෙ...

වඩු ඉස්කෝලෙ පහු කරගෙන එනකොට පාරෙ වම්පැත්තෙ තියෙන නුග ගහ ලඟ වත්ත ඇතුලෙ තිබ්බ පරණ සැම්පලේ ගෙදර තමයි බෝධිදාස පදිංචි වෙලා හිටියේ...මනුස්සය ඉස්සර වැඩකලේ රෙදිමෝලෙ, උගෙ බාව තමයි බාව කියන්නෙ...සූට් බූට් ඇඳල ආපුවම ආයෙ කිසි අඩුවක් නැතුව අඟල් එකොළහයිලු...තේ බොන්න කැන්ටිමට ආපුවෙලාවට කැන්ටිමේ කොල්ලන්ට පෙන්නල...

වැඩිය නෑ මල්ලි අඟල් එකොළහයි...

පොර උසයි කැහැටුයි...අර වැල මැරෙනව අල බහිනව කියල තියෙන්නෙ උන්ට වෙන්න ඇති...

පස්සෙ කාලෙක මනුස්සය පලවෙනි ප්‍රාදේශීය සභා චන්දෙටත් ඉල්ලුව කරනව කියල කියන්න දේකුත් නැති නිසා මොනවා පෙන්නලා චන්දෙ ගත්තද මන්දා කොහොම හරි ප්‍රාදේශීය සභා මන්ත්‍රී වුනා...

බෝධිදාස හැන්දෑවට සූස්තියකුත් ගහගෙන කකුල් දෙක පුටු ඇන්ද උඩ තියාගෙන සරම අස්සට හුළං වැදි වැදි ඉන්නකොට මිනිහගෙ පවුල පණ බයයි...මොකද තව ටිකකින් ගෑනිවනෙ හොයන්නෙ...

ඒ වෙලාවට පවුල අඳෝනා කිය කියා  ගේ වටේ දුවනව කියලනං දැකපු අය කියනව...ඒත් ඉතිං අපියි කියල මොනවා කරන්නද ඔව්ව ඉතිං ඒ දෙන්නගෙ පවුලෙ ප්‍රශ්නනෙ...

ඔය කාලෙ සුනන්දලගේ ගෙදර මොකක් හෝ ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනව කියල අපිට වටින් ගොඩින් ආරංචි උනත් අපි එව්ව හොයන්න කරන්න ගියෙ නෑ උන්ගෙ ගෙවල්වල දේවල්නෙ...

දවසක්දා රාත්‍රියෙ සුනන්දලගෙ ගෙවල් පැත්තෙන් කෝලාහලයක් වගේ ඇහෙනව...හයියෙන්ම ඇහෙන්නෙ සුනන්දගේ කටහඬ...

විජෝ විජෝ වරෙන්...ඉක්මනට 

වෙච්චි සිද්දිය මම හොයල බැලුවෙ පහුවදා උදේ ...මොකෙක්හරි උන්ගෙ අම්මට කොටුව පනිනව කියල සුනන්දට ඉව වැටිල තියෙන්නෙ සතියකට විතර කලින්...මොකාහරි එන එකා අල්ල ගන්නං කියල මූ හැමදාම රෑට ගේ පිටිපස්සෙ රැකලා...රෑ නමයට දහයට විතර සුනන්දලගේ අම්ම කුස්සිය පිටිපස්සෙ එළියෙ තිබ්බ මිරිස්ගල උඩ පත්තුවෙවී තිබුණු කුප්පි ලාම්පුව නිමල දැම්මා...ඊටත් ටිකවෙලාවකට පස්සෙ කෙහෙල් පඳුරු අස්සෙන් ගේ පැත්තට එන අඳුරු රූපයක් දැකපු සුනන්ද පැන්න ගමන් බදල අල්ලගත්ත...

දෙන්න ටිකවෙලාවක් එතන පොරකන ගමන් සුනන්ද විජාට කෑගහල කතාකලා...ඒ අව් අස්සේ ආපු එකා බේරිලා යන්න පොරකන ගමන් සුනන්දට කියනව...

සුනන්ද අතඇරපන් බං මම කුලේ...

බලපුවම එහා ගොඩේ කුලය තමයි කොටු  කාරය...සුනන්දත් අත ඇරියෙ නෑ බිම පෙරලිලා කාගෙන අරූව කකුලෙන් බදාගෙන හිටියා කුලයත් දන්න සෙල්ලං ඔක්කොම දාල සරම සුනන්දගේ අතේ තියෙද්දී කට්ටිය වටවෙන්න කලින් පැනල දිව්වා...

පහුවදා අපි ඔය කතාව අහල හිනාවෙලා ඒක අමතක කරලා දැම්මා...ඔය විදියට මාස කීපයක් ගෙවිල යන්න ඇති ඒ දවස්වල අපි ගමට මරණාධාර සමිතියක් පිහිටුවාගන්න සාකච්චා කරන කාලෙ,  හැමදාම හැන්දෑවට අපි කට්ටිය පෝටවත්තට එකතුවෙලා ඔය ගැන මහ රෑ වෙනතුරු කතාබහ කරනවා ...

ඔන්න දවසක් අපි රෑ හඳපානෙ වාඩිවෙලා කතාකරමින් ඉන්දැද්දි හන්දිය පැත්තෙන් මහ ගෝසාවක් ඇහෙනව....කීප දෙනෙක් දුවන සද්දෙකුත් ඇහෙනව.

බැලුවාම කන්ද උඩ ඉඳල පල්ලමට දුවගෙන එන්නෙ  සුනන්ද..වෙසමුණිය වගේ...

මං මැරෙනව යකෝ...අද මැරෙනව මං...

කිය කියා මූ දුවගෙන එනව....කීප දෙනෙක් පස්සෙන් එළවනව.

අපි ඉන්න තැන මැදින් දුවගෙන යන්න ආපු සුනන්දව අපි ටික වටවෙලා අල්ලගෙන බිම පෙරල ගත්ත....කොච්චර උණත් අපේ යාලුවනෙ....බිම පෙරලගෙන ඇඟ උඩට නැගගත්තෙ මම.

දැන් මගෙ මූණටයි පපුවටයි සුනන්දයගෙ දෑතින්ම පාරවල් වදින්නෙ හරියට කොස් කඩනව වාගෙ දඩ දඩ ගාල.....හැබැයි කතා කළේ බොහොම සංයමයෙන්.

මට යන්න දෙන්න අයියෙ....මට මැරෙන්න දෙන්න...

හරි හරි සුනන්ද...මැරෙන්න ඉස්සරවෙලා හුස්මක් කටක් අරං ඉඳින්කො....

පොඩ්ඩක් සන්සුන් කරල පැත්තකට වෙච්චි ගමන් මූ ආයෙම දුවනව අපිවත් පෙරළගෙන..

ආයෙත් අල්ලගෙන ආව.

කොහොමහරි සෑහෙන වෙලාවක් පොර අල්ලල සුනන්දයව ආම්බාන් කරල අනිල්ට බාරදුන්න අනිල්ලගෙ ගෙදර එක්ක යන්න කියල ...

මුගේ මේ වෙස් පෙරළිය මොකක්ද කියල හොයල බලපුවම තමයි උන්ගෙ අම්මට ආයෙම දරුවෙක් ලැබෙන්න යනවා කියන සුබ ආරංචිය අපට ලැබුනේ...

ඊටත් මාස හය හතකට පස්සෙ දවසක අපි කොල්ලෝ ටික පොඩි මහින්දගෙ කඩේ ලඟ කතා කරකර ඉන්නකොට හන්දිය පැත්තෙ ඉඳල ආපු කිඹුලා පාරෙ නැවතිලා මට කතාකලා...

පොඩ්ඩකට එනවද...

මොකද කියල බලන්න මමත් ගියහම මූ කෙලින්ම මාත් එක්ක ඊට එහා පැත්තෙ තිබුණු සුනන්දලගේ ගෙදරට ගියා...

ගෙයි සාලෙ රෙදිකඩමල්ලක් උඩ තියපු අඟුරු කෑල්ලක් වගේ කලුපාට මැරිච්චි දරුවෙක්...

උඹ ගෙනිහින් වළලලා දාපං...

සුනන්දලගේ අම්ම කිඹුලට කිව්වා...

උඹ කිව්වට හරියන්නෙ නෑනෙ ඔව්ව මොනවද අපි දන්නවයැ ඒකයි මම මෙයාව එක්ක ආවේ...

එතකොටයි මට තේරුනේ කිඹුලා මාව එක්ක ඇවිත් තියෙන්නෙ මේ වැඩේ නීතිමය පැත්ත දැනගන්න...

මේ ගැන කවුරුහරි පොලිසියට නොකිව්වොත් ප්‍රශ්නයක් නෑ හැබැයි කොහොමහරි පොලිසිය දැනගත්තොත් උඹටත් සෝලි වැටෙයි...

කිඹුලට තේරෙන බාසාවෙන් මම නීතිය පැහැදිලි කළා...

ඒ ගමන කිඹුල පස්ස ගැහුව ගෑනිත් ඔල්මොරොන්දම් වෙලා ඉන්නව අහිංසක ගෑනි ගැන මට දුකත් හිතුණා...

උඹට මේක වලදාන්න පුලුවනිද...

මම කිඹුලගෙන් ඇහුවා...

ඒකට තමයි මම ලෑස්තිවුණේ ඊට කලින්නෙ ඔයාව හම්බවෙන්න ආවේ...

හරි ගනිං ඕක යමං මාත් එන්නං...

මළකඳ බාටා සපත්තු පෙට්ටියක දාගෙන උදල්ලකුත් අරං අපි දෙන්න පිටත් වෙනකොට කොල්ලෝ කට්ටිය ඔක්කොමත් අපේ පස්සෙන් වැටුනා...

වැඩේ කනින් කොනින් ආරංචි වෙලා අපි යනකොට පාරෙ වැටවල් අයිනට වෙලා ගෑනුයි කෙල්ලොයි බලාගෙන ඉන්නව...

ටිකක් විසේකාර ගැටිස්සියන්ට අපේ අම්ම කියන්නෙ විසුරුකොඩි කියල ඔය ඉන්නෙ විසුරුකොඩි ටික කියල පෙළක් වෙලාවට අම්ම කියනව...උන්ට මේක බලන්නත් ඕනෑවුනා...

අනේ අයියෙ පොඩ්ඩක් පෙන්නල යන්නකො...

මමත් ඉතිං ඔය තරුණ කෙල්ලොත් එක්ක බොහොම සාමකාමී සහජීවනයෙන් ඉන්න කොල්ලෙක් නිසා කෙල්ලොන්ගෙ ඉල්ලීමට මගෙත් හිත උණුවුනා...

ඔන්න ඕක පොඩ්ඩක් පෙන්නල යමු ඕයි...

මම කිඹුලට කිව්වා...

දුවපියව් යන්න තොපේ මහ එකීගෙ රෙද්ද  බලාගනියව්කො ගිහිං ආව මෙතන බලන්න...

කිඹුල කෙල්ලන්ට ගෝලු ගත්තාම කෙල්ලෝ ටික පැනල දිව්වා...

අපි කට්ටියම අලවත්තෙ කනත්තට ගිහිං ඒ සමාජ සේවෙත් ඉෂ්ට කරලයි ගෙවල්වලට ගියේ...

ඔය වැඩේ ගමේ ගමේම කතාවෙලා කාලෙකට පස්සෙ අමතක වෙලා 
ගියා මිසක අපට මොකුත් කරදරයක් වුණේ නෑ..

සුනන්දට අම්මගෙ ක්‍රියාව හින්ද ගමට රටට මූණදෙන්න බැරිව තමා මැරෙන්න ගිහින් තියෙන්නෙ ...උන්ගෙ අම්මටත් දොසක් කියන්න බෑ ගෑනිත් ඒ වැඩේට පෙළඹිලා තියෙන්නෙ අධික දරිද්‍රතාව නිසා මිසක වනචර කමකට නෙවෙයි ..මනුස්සයටත් හරියට අදායමක් නැතිකොට ඒගෑනි මොනව කරන්නද දරු හතර දෙනෙකුගෙ බඩ පුරවන්නත් එපැයි...ගමේ මිනිස්සු මොන මොන කතා කිව්වත් මම නං හිතුවේ ඒ පැත්තෙන්...

පස්සෙ කාලෙක සුනන්ද වීරඟුල පැත්තෙන් කසාදයක් කරගෙන එහෙටම බින්න බැස්සා...දවසක් ටවුමෙදී මට ජෝඩුවම හම්බ වුනා...

Saturday, September 21, 2013

91.ඡන්දය සහ අනගාරික තුමා


 

අද ලංකාවෙ ඡන්දෙ දවස නිසා ඡන්ද කතාවක් ලියන්න හිතුණා...
 
උදේම පත්තර බලපුවම එක එක ඡන්ද අපෙක්ෂකයො විරිත්තගෙන පෙට්ටියට ඡන්ද කොළේ දාන පින්තූරත් තිබ්බා...ඒ වගේම බලවත් අය ඡන්දෙ දෙන්න ආපුවම ඡන්ද පොළ නිලධාරීන් බය පක්ෂපාතව සීරුවෙන් හිටගෙන ඉන්න ආකාරයකුත් සමහර පින්තූරවල තිබුණදෝ කියලත් මට නිකමට හිතෙනව...
 
හැබැයි මම දන්න ආකාරයට ඡන්ද පොළ ඇතුළට නිශ්චල කැමරා වීඩියෝ කැමරා ආදිය ආදිය ගෙනයාම තහනම්...විශේෂ අවසරයක් සහිතව ජනාධිපති,අගමැති,විපක්ෂ නායක ආදී අය ඡන්දය පාවිච්චි කරන ආකාරය පින්තූර ගන්න ඉඩ ලැබෙනවා...නමුත් හැම අපේක්ෂකයටම එහෙම අවසරයක් දෙන්නෙ නෑ...
 
අනික නමගිය අපේක්ෂකයොවත් මැති ඇමතිවරුන්වත් ඡන්දෙ දාන්න හරි ඡන්ද පොළ බලන්න හරි ආවට ඡන්ද පොළේ නිලධාරීන් නැගිටින්න අවශ්‍යත් නෑ මොකද ඔවුන් ස්වාධීන් නිලධාරීන් නිසා...
 
ඡන්ද රාජකාරියට ඡන්දෙට කලින් දවසෙ හතර වටින්ම පොලිස් ආරක්ෂාව සහිතව නිලධාරීන් එක්ක යන්නෙ හරියට රාජ්‍ය අමුත්තො වගේ...ඡන්දෙ කරල නිදිමරල ගැනලත් ඉවරවුනාම නිකම්ම  පාරට දානවා...
 
ඒ වෙනකොට ඉතිං හොඳ ගණං ඡන්දෙට කලින් දවසෙ උදේ පාන්දර ගෙදරින් පිටත් වෙච්චි ගමන්නෙ...එදා රෑ ගතකරන්නෙ ඡන්ද පොළේ නිසා හරියකට නින්දක් නෑ...ඡන්දෙ දවසෙත් රෑ එළිවෙනතුරු ඡන්ද ගනින්න නිදිමරනවනෙ...
 
ඔන්න පහුගිය මහ ඡන්දෙට අවුරුද්ද මතක නෑ මට රාජකාරි කරන්න ලැබිල තිබුණෙ කැස්බෑවෙ ඡන්ද පොළක...ඡන්දෙ ඉවරවෙලා ගැනපු ඉස්කෝලෙට ඇවිත් ඡන්ද ගැනල එහෙම පහුවදා උදේ දහයට විතර එළියට බහිද්දි තෙහෙට්ටුවයි නිදිමතයි නිසා හිටගෙන ඉන්නත් බැරි තරමට අමාරුයි ...
 
බස් එකක කොටුවට ඇවිත් ස්ටේෂන් එකට ආවහම නුවර එක්ස්ප්‍රස් එක තිබුණා ඒකෙ නැගල ගෙදර ආවා...
 

මම ඇඳුම් මාරුකරපුවම කිළුටු ඇඳුම් ටික බිරිඳ හෝදන්න අරගෙන ගියා ඇඳුම් හෝදල වේලෙන්න දාල එහෙම ඇවිත්...
 
අද ඔයා කොහොමද ගෙදර ආවෙ...
 
මං කෝච්චියෙ ආවෙ...ඇයි
 
කෝච්චියෙ හිටපු මිනිස්සු ඔයාට සල්ලි එහෙම දුන්නෙ නැද්ද...
 
මම ගලවල දාපු ඇඳුම් ඒ තරමටම ගඳයි...
 
ඡන්ද රාජකාරි කරපු හැටි ගැන කියනවනං කතා සිය ගණනක් ලියන්න පුළුවනි...දැන් කියන්නෙ ඡන්දෙන් පත්වෙච්චි කෙනෙක් ගැන පොඩි කතාවක්...
 
අපි අකුරළ ටෙලියක වැඩ කරද්දි නැවතිල හිටපු හෝටලේ අයිති ඒ දවස්වල ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දිමිත්‍ර ද සොයිසා මහතාට...ඔහුගෙ ගෙවල් තිබුණෙත් ඒ ළඟමයි,ගමේ හිටපු ගොඩක් කොල්ලො අපේ කණ්ඩායමත් එක්ක රොද බැඳගෙන හිටියෙ මන්ත්‍රීවරයගෙ මල්ලිත් ඒ අතර හිටියා...ඔහුගෙ නම මට හරියට මතක නෑ කුමාර ද සොයිසා වගෙ නමක්,මට මේ කතාව කිව්වෙ කුමාර...
 
77 දි අම්බලන්ගොඩ ආසනය යූ ඇන් පීයෙන් දිනපු රයිටර් තිලකසේකර මහතාගෙ ගෙවලුත් ඒ හරියෙමයි...ඡන්දෙ දිනල ටික දවසකින් රයිටර් තිලකසේකර අනගාරික වුණා...එතකොට කියන්නෙ අම්බලන්ගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රී අනගාරික තිලකසේකර මැතිතුමා කියලයි...එහෙම කරගත්තෙ ආසනේට වැඩ කරන්න වෙනවටයි මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන්න වෙනවටයි මිසක් අමුතු ශ්‍රද්ධාවක් නිසා නෙවෙයි...අනගාරික වුණාම මම ඔය ලෞකික වැඩ කටයුතුවලට නෑනෙ කියල ෂේප් වෙන්න පුළුවනිනෙ...
 
අනගාරික තිලකසේකර තුමා ලෝඩ් බාන්න දෙයියා...ඒ පැත්තෙ කොල්ලෙකුට නොයෙකුත් පොරොන්දු දීල රස්සාවක් දෙනව සල්ලි දෙනව කියල අංබානක ලෝඩ් බාගත්තට ඌට මොකුත් දීල නෑ...
 
කොල්ල මේකට කේන්තියෙන් ඉඳල තියෙන්නෙ...දවසක් අනගාරික තුමා කොල්ලට ලෝඩ් එකක් බාන්න ලෑස්තිවෙලා ඇඳුමට උඩින් ඒකාංශ කරල පොරොවගෙන ඉන්න සිවුර එහෙම ගලවපුවම කොල්ල සිවුරත් අරගෙන ගෙදර දුවන් ඇවිත්...
 
තිලකසේකර තුමා කොල්ලට පණිවිඩ පිට පණිවිඩ එවනව...
 
මට අද හවස ගමනක් යන්නත් තියෙනව සිවුර ගෙනත් දීපංකො...
 
ඕනැනං ඇවිත් අරං පලයං කියල කොල්ලත් සද්ද නැතුව ඉඳල...
 
බඩ මුණයගෙ අයියටත් අපි කිව්වෙ අනගාරික කියලනෙ...ඒ නං වයසට ගිහිනුත් බැඳල හිටපු නැති නිසා මිසක් උගෙ ඇති සිල්වත් කමකට නෙවෙයි...
 
අනගාරිකය අපිත් එක්ක එකතුවෙලා කරපු තරං කළේ පලප්ප වැඩ...
 
බීල පාරෙ එන මිනිස්සුන්ට මදු තිබ්බයි ගල් ගැහුවයි ඔව්ව තමයි...
 
පස්සෙ කාලෙක අනගාරික ඌටවඩා අවුරුදු විස්සක් විසිපහක් බාල කෙල්ලක් කසාද බැඳගත්ත...දරුවෙකුත් ලැබුණා කොල්ල පොඩිකාලෙ හෙන චබී...
 
ඒ දවස්වල අපි ඒ ළමයව පුතාට පෙන්නල...
 
අන්න ඔයාගෙ අයිය යනව කියල කියනවා...


Sunday, September 15, 2013

90.විමල්ගෙ කතාව සහ තවත් කතා, අවසාන කොටස



අපි දෙතුන්දෙනෙක් හොරබඩු බාන්නො වගේ ඇඳගෙන ලැස්ති වෙලා බ්‍රෙක් වෝටර් එක පිටිපස්සෙ නොගැඹුරු මූදට බෝට්ටුවකින් ගියා,වෙරළෙ ඉඳන් කිචි ධර්මයා කැමරාව ක්‍රියාත්මක කරද්දී බෝට්ටුවෙන් බාගන්න හොරබඩු වෙරළට අරං එන්න පටන් ගත්ත.

ගෙනාපු බඩු වෙරළෙන් තියල ආපහු බෝට්ටුවට දුවන්න යද්දී ගල් අස්සේ හැංගිල රැකලා හිටපු කස්ටම් එකේ කට්ටිය පැන්න ගමන් අපිව අල්ල ගත්තා...දඟලල බිම පෙරලිලා බේරිලා යන්න හැදුවට වැඩක් වුණේ නෑ උන් අපිව අල්ලං ඉන්නෙ හරියට දඬු අඬුවකට හිරකරල වගේ...මගේ අත් කකියනව රඟපාද්දී හෙමිහිට අල්ල ගත්තම ඇති කියල ඒ මිනිස්සු දන්න එකක්යැ...

සීන් එක ෂූට් කරලා ඉවරවෙන්න පැයක් විතර ගියා...දවසම මහන්සිවෙලා අමාරුවෙන් හිටපු අපට හරි සතුටුයි ඒ වුනාට යන්න ලැබුනෙ නෑ...තවත් මරාලයක් ඔලුවට කඩාවැටුනා...

වෙරළ කිට්ටුවටම ගෙනත් නවත්තල තිබ්බ බෝට්ටුව වඩදිය බැහැල ගියාම පතුල වැල්ලේ ඇනිල හිරවෙලා හොල්ලන්නවත් බෑ ...කට්ටියම එකතුවෙලා තල්ලුකලා හරියන්නෙ  නෑ ඒ ගමන වරායට කතාකරල තව බෝට්ටුවක් ගෙන්නාගෙන කඹ දාල ඇදල යන්තං මූදට දාගත්තා ...ඒ වැඩේට තවත් පැයක් විතර ගියා...

ගොඩට ගිහින් ඇඳුම් මාරුකරගනිද්දී හොඳ ගනන් ඇඟපත තලල දැම්ම වගේ හරිම අමාරුයි...රඟපාද්දී ඇඳන් හිටපු සරම අයිතිකාරයට ආපහු දෙන්න මම උඩට ගියා...සරම දීල ආපහු එනකොට වාහන දෙකම පිටත්වෙලා ගිහිං...වාහන දෙකේම අය හිතල තියෙන්නෙ මම අනික් වාහනේය කියලයි  බෙන් එකට ගියපුවහම තමයි මම නැති බව දැනගෙන තියෙන්නෙ...

මට යන්න වාහනේ ආපහු එනතුරු ඉඳගෙන ඈනුම් ඇර ඇර ඉන්නකොට රෑ වැඩමුරයෙ අය මාව ඒ ගොල්ලන්ගෙ රෙස්ට් රූම් එකට එක්ක ගිහිං හොඳට සැලකුවා...කිචියල මාව එක්කං යන්න එද්දි මම සුදු සෝස් ගාපු ඉස්සො බයිට් එකත් එක්ක බ්ලැක් ලේබල් බොමින් හිටියෙ...

ඇඟේ තියෙන උණට ඔය ෆීල්ඩ් එකේ වැඩ කලාට කරපු වැඩවලට සතපහක වත් ගෙවීමක් මට ලැබුනෙ නෑ...බෙන් එකේ අනිත් අය ඔක්කොටොම ඒ අය කරපු වැඩ අනුව ගෙවීම් කලා ඒක ඒ අයගෙ රස්සාවනේ...මම රස්සාවක් කරන අතරෙ උදව්වට යන නිසා මට ගෙවන්න නැතිව ඇති...මුදල් නොලැබුනත් ඒ ලැබිච්චි අත්දැකීම් ටික අද මට හරියට වටිනවා...

හරියටම කිව්වොත් ඔය දවස්වල ආණ්ඩුවත් දේශප්‍රේමියොත්  තදින්ම ගැටෙමින් හිටපු කාලෙ ...එතකොට පාලන දෙකයි එකක් ආණ්ඩුවේ පාලනය අනික සියඹලාණ්ඩුවේ පාලනය දවසක ආණ්ඩුවෙ ඇඳිරි නීතිය දවසක සියඹලාණ්ඩුවේ ඇඳිරි නීතිය...අපට නං මේ දෙගොල්ලන්ගෙන්ම තර්ජනයක් නොතිබුනාට දෙගොල්ලන්ගේම වැඩවලින් අපි අප්‍රමාණ දුක් කරදර වින්දා...

වැඩට යන්න ලෑස්තිවෙලා එලියට බැස්සම බස් නෑ රස්සාවට නොගියොත් එහෙන් ප්‍රශ්න ඉතිං කොහොම හරි වැඩට යනවා...ඒ දවස්වල රුවන් චැලියක් ගෙනත් තිබුනා ගොඩක් වෙලාවට චැලියෙ වැඩට යනවා...ඒක නොතිබුනොත් පුෂ් බයිසිකලේ යනවා...පැලවත්තට ගිහිං පාර්ලිමේන්තු පාරෙන් රාජගිරියට ගිහිං බොරැල්ලෙන් බෞද්ධාලෝක මාවතේ දාල ඔෆිස් එකට ගියාම සමහරදාට උදේම ඔෆිස් එකට කොළ කෑල්ලක් දීල වහන්න කියල...ඔක්කොම ඉතිං ආ පයින්ම ආපිට යනව දවසක් මම ගෙදර ගියාම ආපහු එන්න විදියක් නැතුව සතියක්ම ගෙදරට කොටුවෙලා හිටියා...කෝච්චිත් නෑ බසුත් නෑ දෙගොල්ලම එකතු වෙලා පුදුම කරුමක්කාර ජීවිතයක් මිනිස්සුන්ට උරුමකරලා දීල තිබුනෙ...

එක සෙනසුරාද දවසක උදේට කන්න පාන් ගේන්න මම බයිසිකලේ පාරට දැම්ම විතරයි...බයිසිකල් කාරයෙක් කන්ද නැගගෙන එනවා පස්සෙන් වේගයෙන් ආපු වැන් එකක් අර බයිසිකල් කාරය ළඟ  කරා.....ස් ගාල බ්‍රේක් ගහල දඩ බඩ ගාල දොරවල් ඇරල බයිසිකල් කාරයව දාගෙන ටයර් කෑගස්සවාගෙන වේගෙන් යන්න ගියා...වැඩේට තප්පර ගානයි ගියෙ...බිම පෙරලිලා තිබුණු සයිකලේ රෝද එතකොටත් කැරකෙනවා...

සාමාන්‍යයෙන් කෙනෙකුට  මේවගේ දර්ශනයක් දකපුවම ලොකු කම්පනයක් ඇතිවෙනවා...දණිස් පණ නැතිව යනවා ...නමුත් මට එහෙම මොකුත් වුණේ නෑ මම ආපු ගමන ගිහින් පානුත් අරගෙන ආවා...

ඒ මගේ තියෙන වීරකමකටවත් නිර්භීතකමකටවත් නොවෙයි...ඒ දවස්වල අපි කවුරුත් එහෙම්පිටින්ම නිර්වින්දනය වෙලා හිටියෙ...හැඟීම් නෑ දුක සතුට තේරෙන්නෙ නෑ ජීවත්වෙලා ඉන්නව කියන්නෙ ලොකු හපන්කමක්...
ඔය දේශප්‍රේමියො වැඩ පටන්ගත්තු මුල්ම දවස්වල දවසක්දා මම ටවුමට යනවා පයින්ම...මිකාඩාවත්තෙ පල්ලමේ යද්දී වෙඩි සද්දයක් ආවා ඒත් එක්කම බයිසිකලයක් වේගෙන් මගේ ළඟින් ගියා...ටිකක් ඉස්සරහට යනකොට මනුස්සයෙක් පාරෙ වැටිලා ඉන්නව ඔලුවෙ ලොකු හිලක් කොච්චර විශාලද කිව්වොත් මේ පැත්තෙන් බලපුවම ඒ පැත්ත පේනවා ගල් කටස් එකකින් තියපු වෙඩි පාරක්...මැරිලා හිටියෙ අල්ලපු ගමේ ග්‍රාම සේවක කියල මිනිස්සු කතාවුනා...රස්සාවක් නැතුව ඉඳල චන්දෙන් පස්සෙ මිනිහට  වගා නිලධාරි කමක් ලැබුනා 

වගා නිලධාරීන් ග්‍රාම සේවකල හැටියට බඳවා ගත්තම මිනිහටත් වසමක් ලැබුනා...අහිංසකම මනුස්සයෙක්, දවල් කෑමට සයිකලෙන් ගෙදර එන ගමන්...ඒ එකක් ආයෙම බෙන් එකේ ඉද්දි කිඹුලාවල වෙලේ නියරක් උඩ කොල්ලො හය දෙනෙක්ව මරල දාල තිබ්බා...හෝකන්දර පොලිස් ජීප් එකක් බිම් බෝම්බෙකට අහුවෙලා විනාස උනාට පස්සෙ බෝම්බෙන් හැරුණු වල මිනී වලින් පිරෙව්වා...

මනුස්ස ජීවිතේක වටිනාකම තුට්ටුවටම බාල්දු වෙච්චි යුගයක්...හරි හරියට දෙපැත්තෙන්ම මිනී මරාගත්තා...ලස්සන වැඩේ කියන්නේ ඔච්චර මිනීමරන අස්සෙ ජනකලා කේන්ද්‍රයේ කානිවල් හිටං පැවැත්වුනා අපි බලන්නත් ගියා...

දවසක් උදේම ඇඳිරි නීතිය දැම්මා එදා බෙන් එකේ අනික් උන් හිටියේ නෑ කලින් දවසෙ වැඩකට ගිහින් ...මම විතරයි තනියම හිටියෙ එදා කරගන්න කිසිම දෙයක් නෑ උදේ හතහමාර වෙද්දී විමල් කඩාගෙන බිඳගෙන බෙන් එකට ආවා...

බලපුවාම විමල් මට කෑම ගෙනත්...

මෙන්න පානුයි හොදියි උදේට කන්න,මේ දවල්ට බත් එක ...

ඒ විතරක් නෙවෙයි සිගරැට් පැකට් එකකුත් ගෙනත් තිබුනා ...මම තනියම ඉන්නෙ කන්නවත් විදියක් නෑ නේද කියල ලලිතයි විමලුයි කඩිමුඩියේ කෑම උයල මට එවල තියෙන්නෙ...

කෑම දුන්නු ගමන් විමල් පිටත්වෙලා ගියා...ඔය විදියට සතුටින් සමාදානෙන් අනික් අයටත් ආදර්ශයක් වෙන විදියට පවුල් කමින් හිටපු දෙන්නෙක් වෙන්වුනා කියපුවම මට හරිම කම්පනයක් ඇතිවුනා...

වෙන කිසිම දෙයක් නෙවෙයි මම හිතන්නෙ විමල් සම්බන්ධ වෙලා හිටපු ක්ෂේත්‍රයේ වැරැද්ද...කරමින් හිටපු රස්සාවත් අත ඇරලා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ කලාවට තිබුණු කැමැත්ත හින්දයි...අන්තිමට සිද්ද වුණේ කවුරුත් නොහිතපු දෙයක්.

ඔය ෆීල්ඩ් එකේ ඉන්න නාරිලතා මල්වලට ඕනෑම තවුසෙකුගේ සිල් බිඳින්න පුළුවනි...විමලුත් ෆීල්ඩ් එකේ ඉන්න අංගනාවීයෙකුට අහුවෙන්න ඇති...

බැන්දට පස්සෙත් වැඩ කීපයකටම ආරාධනා ලැබුනත් මම ආපහු ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවට බිරිඳ කිසිසේත්ම කැමති වුණේ නෑ...

තියෙන රස්සාව කරගෙන ඉන්න,රස්සාවක් නැතිව නෙවෙයිනෙ ...ඕවට ගියා කියල අමුතුවෙන් ලැබෙන දෙයක් නෑනෙ...

ඇය කිව්වේ එහෙමයි...

විමල් නිට්ටඹුවේ නිළියගෙ ගෙදර පදිංචියට ආවට පස්සෙ මට කීප සැරයක්ම කතාකලා...අපේ ගෙදර එන්න කියල මම දවස් කීපයක්ම විමල්ට කිව්වා...

වෙලාවක ගෙදර වරෙන් මහ දුරක් නෙවෙයිනෙ...

එන්නං කිව්වට ආවෙ නෑ...

එන්න බැරිනං ඉන්න තැන කියපං මම එන්නං...

ඒ කිව්වෙත් නෑ...

ටවුමෙ තියෙන අපි යනඑන රෙස්ටොරන්ට් එකකදී හමුවෙමු කිව්වා...ඒත් බැරිවුනා

ඔහොම ඉද්දි දවසක් විමල් මට කතාකලා...

උඹ ගෙදරද ඉන්නෙ මම දැන් එන්නද...

මම එන්න කියල පාරත් කියපුවම ටිකකට පස්සෙ විමල් ටවුන් ඒස් එකක ආවා...
රට ඉන්න අක්ක ඉඩම් කෑල්ලක් ගන්න හොයනව බං...මේ පැත්තෙ ඇති කියල හිතුණා...

දැන් මූ හොයන ඉඩම වෙලක් අයිනෙ තියෙන්නත් ඕනෑ...රේල් පාරක් පෙනෙන්නත් ඕනෑ, මේ නං අක්කට ඉඩම් හෙවිල්ලක් නෙවෙයි මූටමයි කියල මම එවෙලෙම දැනගත්ත...ඒවා මම කියන්න ගියෙත් නෑ... හැමදාම මහගෙදර ඉන්න බෑ දැන් දරුවෙකුත් ඉන්නවනෙ ගෙයක් දොරක් හදාගමු කියල නිළිය කියන්න ඇති...

ඒ ගමන මම විකුනන්න තියෙන ඉඩම් ගණනාවකටම විමල්ව එක්කං ගියා...අපි වාහනේ යන අතරතුරේ විමල් මට කතාවක් කිව්වා...

උඹ දන්නවනෙ මම කොහෙගියත් හවසට ගෙදර එන මිනිහෙක් කියල ...ආදී වශයෙන් කතාව පටන් අරගෙන දිග කතාවක් කිව්වත් ඒ කතාව අසම්පූර්ණයි කියලයි මට හිතුනෙ...හරියට චිත්‍රයක කොටසක් අතින් වහගෙන ඉතුරු හරිය පෙන්නනව වගේ...

ලලිත දොස් කියනකොටයි බනිනකොටයි රණ්ඩුවෙන්නයි ගහගන්නයි මට බෑනේ බං...තාත්ත යකෙක් කියල දරුවො හිතනවට මම කැමති නෑ ඒකයි මම ගෙදරින් යන්නගියේ...ඒ වුනාට දරුවො ගැන මම කොහේ හිටි යත් බලනවා...

මම වචනයක්වත් නොකිය මුළු කතාවම අහගෙන හිටියා...හැබැයි විමල් කතාව කියද්දී ඒ දෙන්නගෙ ලස්සන අතීතය මතක්වුණු මගෙ හදවත හඬාවැටුනා...බිඳ  වැටිලා සුනු විසුනු වුනු මාලිගා අපි කිසිකෙනෙකුට ආපහු ගොඩනංවන්න බෑ...

විමල් ඉඩම් ගණනාවක් බැලුවත් හරිගියේ නෑ...හරියන ඉඩම් ගණන් වැඩිලු  ඌට තිබුනෙ බොහොම පොඩි බජට් එකක්...

උඹ හොයන ගණන්වලට ඉඩම් මෙහෙන් ගන්න බෑ ආපහු යමං...

අපි දෙන්න ආපහු ආවා...අන්තිමට මම විමල්ට කතාකලේ පහුගිය අවුරුද්දෙ...

ඇයි උඹ රුවන්ගෙ අම්මගෙ මරණෙට ආවේ නැත්තෙ...

විමල් ඇහුවා...

මම ඉන්නෙ ලංකාවේ නෙවෙයිනෙ බං...හිටියනං මම එනවනෙ...

කවුද දන්නෙ උඹ කොහෙ ඉන්නවද කියල දවසක ඇමරිකාවෙ ඉන්නව කියයි දවසක යුරෝපෙ ඉන්නව කියයි...

විමල්ල කරපු චිත්‍රපටයක රඟපාපු ජගත් චමිල හොඳම නළුවා වෙලා සම්මාන ගන්න නිව්යෝක් ගිය වෙලේ ඒත් එක්ක විමලුත් ඉන්නව මම පින්තූර වගේක දැක්කා.

Friday, September 13, 2013

89.කොන්දේසි සහිත ආදරය 2






පළමුවෙනි කොටස


අපි දෙන්න රහසිගතව සොයා ගෙන යනකොට දැනගන්නට ලැබුණු විස්තරය මෙහෙමයි...

ඔය මනමාලය කාලෙකට ඉස්සෙල්ල බඳින්න කියල නිවාඩු ඉල්ලගෙන ඇවිදින්  සති දෙක තුනක් ගමේ රස්තියාදු ගහල ගිහින් තිබිච්චි නිසා මෙදා සැරේ මඟුලට කියල නිවාඩු ඉල්ලන්න විදියක් නැති තැන ගෙදර යන්න නිවාඩු ඉල්ලලා ...ඒ නිවාඩුව අනුමතවෙලා නැහැ,  මඟුල දවසෙත් මිනිහට ඩියුටි කරන්න වෙලා...

මනමාලයගේ  පැත්තෙන් ඇවිත් හිටපු පළාත් සභා මන්ත්‍රී කෙනෙක් ඇතුළු වැඩිහිටි උදවිය දන්න දන්න ලොකු අයට කතා කරලා මනමාලයව කෑම්ප් එකෙන් මුදා ගැනීමේ මහා මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනව...

ඒ මෙහෙයුමේ ප්‍රතිපලයක් විදියට මනමාලයට සතියක් නිවාඩු දීල කෑම්ප් එකෙන් මුදා හැරලා...ඒ වෙනකොටත් මගුලට පැමිණෙමින් සිටිනවා...මනමාලය ඒ වෙනකොට ඉන්න තැන නිශ්චිතවම හොයාගන්න විදියක් තිබුනෙ නෑ ඒ දවස්වල අද වගේ හැම කෙනා අතේම මොබයිල් පෝන් තිබුනෙ නැති නිසා...

ඒ කාලෙ මොබයිල් පෝන් එකක් තිබුනෙ කලාතුරකින් කෙනෙක් අතේනෙ...මොබයිල් කිව්වට ඒවා අර ගඩොල් ගෙඩි තරං විශාල එලියට ඒරියල් එකක් විහිදුනු හෙනට බර භාන්ඩයක්...

මනමාලය එන බව සහසුද්දෙන්ම දැනගත්තට පස්සෙ පිළියෙළ කරලා තිබුණු ආකාරයටම මඟුල් උත්සවය පැවත්විලා...

ඔන්න ඔය ටික තමයි පැයක් විතර මහන්සිවෙලා රැවුලයි මමයි හොයාගත්තේ...

කෑම කාලත් ටික වෙලාවකට පස්සෙ ආපු අය එකා දෙන්න ගෙවල්වලට යන්න පල්ලම් බහිනව, වෙලාව හතරටත් කිට්ටුයි...

අයියෙ ඔයාලත් දැන් යනවද...

සරෝජිනී ඇවිත් මගෙන් ඇහුවා...ඇයව දැක්කහම මට හරිම දුකක් ඇතිවුනා...

නෑ නෑ අපි කොහෙවත් යන්නෙ නෑ ඔයා බය නැතිව ඉන්න...

එහෙම කියල මම අපේ අනික් යාළුවො ටිකට කතාකලා...

මේ කෙල්ලව මෙතන අතඇරල අපි යන එක හරි නෑනෙ...වැඩේ මොකක් හරි පිළිවෙලක් වෙනතුරු අපි කට්ටිය ඉම්මු...

බිරිඳටත් කතාකරල යන කට්ටියත් එක්ක යන්න ලැස්ති කරල දුන්න දුර යන්න එපායැ...කලින් කතාවෙලා හිටියෙ මඟුල ඉවරවෙලා අපි දෙන්න ජෝඩු දාල බිරිඳව ඇරලවන්න එහෙ යන්න...

අන්තිමට ඉතුරුවුණේ අපි ටික විතරයි...ඉන්න ගමන් කරන්න දේකුත් නැති නිසා තව බෝතල් දෙකක් ගෙන්නගත්තා...

ඔය බෝතල් බොමින් ඉන්න අතරෙ අර මම කලින් ගියපු මඟුල් ගෙදර ජෝඩුව,ඒ ජෝඩුවත් රෑ නවතින්න අපි හිටපු  හෝටලේටම ආවා...

ඔහොම ඉඳල ඉඳල අන්තිමේදී හවස හතහමාරට විතර මනමාලය සුභ නැකතින් හෝටලේට පය තැබුවා කියන සුභ ආරංචිය ලැබුනා...ඒ වෙනකොට අපට ටවුමට යන්න බසුත් නෑ එකෙක් ගිහිං කුලී කාරෙකක් ගෙනාව...අපි ජෝඩුවගෙන් සමුගන්න ගියාම හිටියෙ මනමාලි විතරයි මනමාලය එතනම කාමරේකට වෙලා මෙලෝ සිහියක් නැතුව බාගයක් ගහනවා...

අපි ටික කාර් එකේ ටවුමට ඇවිත් කෝච්චියෙ යන අය ස්ටේෂන් එකට දාල බස්වල යන අය බස්වලට නග්ගල මම පයින්ම ගෙදර යන්න පිටත්වුනා...

එදා හරියටම ජනාධිපති ප්‍රේමදාසගෙ අවමංගල උත්සවය පැවැත්වුණු දවස...ටවුමේ ඉඳල ගෙදරට යනතුරුම පාර දෙපැත්තෙ ගෙවල්වල තිබුන ටී වී වලින් ජනාධිපති ආර්යාවගේ නන්දෙඩවිල්ල නොනැවතීම ඇහුනා...

බැඳල වැඩිකල් නොගිහිම්ම සරෝජිනී මවක් වෙන සුබ ලකුණු පෙන්නුම් කලා...පුරපසට මෝරන සඳසේ ඇගේ බඩ විශාල වෙනකොට අපිත් එක්ක ගිය කට්ටියගෙන් හරි සැළකිලි...කන්න ආසා දේවල්, බත් පාර්සල් ආදිය නොකඩවාම ඇයට ලැබුණා...
 

දවස් සති මාස කෙමෙන් කෙමෙන් ගෙවී ගියා...වැහි කාලෙ දවසක වැඩ ඇරිල එද්දි තෙමීගෙන ගෙදර ගිය සරෝජිනී එහෙම්මම පීල්ලෙන් වැටෙන වැහි වතුරෙන් නාගත්තා, මේ වැඩේ ඇයට හොඳට පුරුදුයි...නමුත් වෙනද වගෙ වැඩේ හරිගියෙ නෑ සීතල වැඩිවෙලා සන්නියක් වගෙ හැදිල ඇඟ ඉදිමෙන්නට අරන්...ගෙදර අය ඉක්මනටම සරෝජිනීව ඉස්පිරිතාලෙට ඇතුල් කලහම කොළඹට මාරුකරල...අසිහියෙන්ම ඇයට ප්‍රසව වේදනා ඇවිත් තිබුණු නිසා ඒ රාත්‍රියෙම සීසර් කරල දරුවව අරං තියෙනවා...
 

සරෝජිනී රෝහලේ සුවපත් වෙමින් ඉන්න දවස්වල අපි ඇයව බලන්න ගියා...අපිත් එක්ක කෝච්චියෙ ගියපු රාජා වැඩකළේ එම් ආර් අයි එකේ...රාජා සරෝජිනීලගෙ තාත්තගෙන් අහනව...
 

අඩු මාසෙන් නේද අන්කල්...
 

නෑ නෑ පුතා දින ගණං හරි...
 

සරෝජිනීගෙ තාත්ත බොහොම විශ්වාසෙන් රාජට උත්තර දුන්නා...අපට මේ කතාව හරිම ප්‍රහේලිකාවක් ඒ වෙනකොට සරෝජිනී බැඳලත් මාස හතකට වඩා ගතවෙලා තිබ්බෙ නෑ...
 

අපට ඔය ගැන යම්කිසි උපකල්පනයක් විතරක් තිබුණා පසුකාලීනව සරෝජිනී ආපහු කෝච්චියෙ යන්න ආවට පස්සෙ ඒ උපකල්පනය ස්ථිර කරගන්න ලැබුණා...
 

මඟුල ගද්දිත් සරෝජිනීගෙ බඩට මාස දෙකක්, මනමාලයා ඒ දවස්වල මඟුලට කියල බොරුවට නිවාඩු අරං ආවට ඇත්තටම මදුසමයක් ගත කරලයි ගිහිං තියෙන්නෙ... හදිසි කරල මඟුල ගන්න ඕනැවුණේ තව ටිකක් දවස් ගියානං බඩ වසංගන්න බැරිවෙන නිසායි.
 

මමයි බිරිඳයි දවසක් අලුත උපන් දුව බලන්න සරෝජිනීලගෙ ගෙදර ගියා...කිරිඳිවැලට ගිහිං තවත් බස් එකක නැගල කිව්ව තැනිං බැහැගත්තා...සරෝජිනීලගෙ ගෙවල් කොහෙද කියල ඒ හරියෙ අයගෙන් අහපුවම කිසිකෙනෙක් දන්නෙ නෑ... උදේ හවා ඒ පාරෙන් වැඩට යන කෙනා ගැන දන්නෙ නෑ කිව්වම අපට හරි පුදුමයි...
 

අන්තිමේදි විස්තර කියල හැඩහුරුකං කිව්වට පස්සෙ එක්කෙනෙකුට මතක් වුණා...
 

ආ... මේ කියන්නෙ කුමාරිනෙ...
 

කුමාරි කිව්වම නං ගමම දන්නවා අපට ගේත් පෙන්නුවා...

කාලෙකට පස්සෙ දවසක අපේ සෝමෙට සරෝජිනීව හම්බවෙලා...
 

අපිත් වෙලාවක එන්නංකො බබා බලන්න...
 

ඒ වෙනකොට ළමය ගොඩක් ලොකුයි...
 

ගෙදර එන්න කරදර වෙන්න එපා සෝමෙ අයියෙ...මොන්ටිසෝරියෙ ගේට්ටුව ලඟට ආවොත් ළමය බලාගත්තහැකි...
 

ඔන්න මට කතාවක් මතක් වෙනවා...ඒකත් කියලම ඉන්නංකො...
 

අපේ ගමේ හිටපු වඩුවා තමා අමරෙ, වැඩක් කරවගන්න එහෙම හරි අමාරුයි...දවසක් නාරංවත්තෙ මනුස්සයෙක් අලුත උපන්න දරුවට තොටිල්ලක් හදන්න අමරෙට බාරදීලා...
 

මේ මනුස්සය අනේ දවස ගානෙ අමරය හම්බවෙන්න එනව තොටිල්ල හදලද බලන්න...
 

මොන...අත තියලවත් නෑ...
 

හරි හරි දවස් දෙකකින් එන්ඩකො මම හදල තියන්නං...
 

අර මනුස්සයත් හැමදාම ඇවිත් හිස් අතින් ආපහු යනව... 

දිගින් දිගටම ඇවිල්ල එපාවෙච්ච පාර මිනිහ වැඩේ අතෑරල දාල නිකං හිටියා...ඊට පස්සෙ ආවෙ නෑ...
 

ඔහොම කාලයක් ගියාට පස්සෙ දවසක්දා ටවුමෙදි අමරෙට තොටිල්ල හදන්න දීපු මනුස්සයව හම්බවෙලා...
 

ආ...මං අර තොටිල්ල හෙට අනිද්දට හදල දෙන්නංකො...
 

අනේ...බාස් උන්නැහැ දැන් ළමය මොන්ටිසෝරිත් යනවනෙ...
 

ඉතිං කතාව ඕකයි... මගේ මිම්මෙ හැටියට නං සරෝජිනී ආදරය ඉන්ෂුවර් කරගන්න නොහිතපු ආදරයට ආදරය කරපු කෙල්ලක්...
 

එදා අපි බලන්න ගියපු දුව දැන් ඒ ලෙවෙල් කරනව කියල දවසක ස්ටේෂන් එකේදි හම්බවුනු වෙලාවෙ සරෝජිනී මට කිව්වා...ඒ දුවට බාල තව පුතෙකුත් ඉන්නවලු.

Wednesday, September 11, 2013

88.කොන්දේසි සහිත ආදරය


ආදරය කියන වචනයට නිවැරදි   නිර්වචනයක් හෝ අර්ථකතනයක් දෙන්නට තවම කිසි කෙනෙකුට හැකියාවක් ලැබිල නෑ කියල මට නිකමට හිතෙනව.

අද බොහෝවිට ආදරයක් එහෙමෙහෙ වුනාම තුවක්කුවක් උදුරගෙන වෙඩිතියල මරල දාන එක හරි හොඳට කැපෙන මන්නයක් අරං ගිහින් පෙති කපල දාන එක හරි ඉතාම සාමාන්‍ය දෙයක් වෙලානෙ තියෙන්නෙ...
මේ වෙඩි තියන,පෙති කපන අය අතරෙ ඇත්තටම ආදරයක් තිබිල තියෙනවද,එහෙම තිබුනානං මෙහෙම වෙන්න පුලුවනිද,ඔන්න ඕකයි මට තියෙන ප්‍රශ්නේ...

අනිකගේ කැමැත්තට ඉඩ දීල සතුටුවෙන එක නැත්නං අනිකගේ සතුට දැකල උපේක්ෂා සහගත වෙන එක නොවේද නියම ආදරය කියන්නෙ...හරියට දෑසනිසා එකේ නිරුදක වගේ එහෙම නැත්නං තුංමං හන්දියෙ අබිලිං වගේ...

'ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි' කියල යමුනා විනෝදිනි කියනවා, වර්තමානයට නම්  ඔය පදපෙළ ටක්කෙටම ගැලපෙනවා ...යමුනා විනෝදිනී කිව්වට ඔය පද පෙළ ලිව්වේ වෙන කෙනෙක්නෙ...

ලිව්වේ කවුද කියල හොයාගන්න මම බොහොම උත්සාහ කළා නමුත් හරිගියේ නෑ...හරි නං ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කොස් ගසකටවත් සමවිය යුතුයි.මොකද ප්‍රේමය තියෙන තැන  වෛරය තියෙන්න විදියක් නෑ...ඒ වගේම වෛරය තියේනං එතන ප්‍රේමයක් තිබිලත් නෑ.

ඔයවාගෙ ඒ දවස්වල මොහිදීන් බෙග් සූරීන් බොහොම පණ්ඩිතමානී සහ ආදර්ශමත් ගීත රාශියක් කිව්වනෙ...

'සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා '

'මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ'

ඔය සිංදු අහගෙන ඉන්න අපේ අම්මා...

ඒ මනුස්සය විතරයි වැදගැම්මකට ඇති දෙයක් කියන්නෙ...

කියල කියනව,අම්ම හිතන්නෙ ඔය සින්දු ලියන්නෙත් බෙග් මාස්ටර්මයි කියලනේ...වෙන කෙනෙක් ලියල බෙග් මාස්ටර් කියනව කියල අපි කියන්න ගියොත්...

ඒ මනුස්සයට පිස්සුද මෙච්චර අපූරු සින්දු ලියල වෙන උන්ට කියන්න දෙන්නෙ...

කියල අම්ම කියයි,ඉතිං අපට වෙන්නෙ කරුණාරත්න අබේසේකරයන්ට කියල සින්දු කියවන්න...

අසූ ගණන්වල මම හිතන්නෙ අසූඑකේ හෝ අසූදෙකේ බෙග් මාස්ටර් එයාගෙ ඔක්කොම පරණ සින්දු ටික තරංගා කැසට් දෙකකට ගායනා කලා...

විජය රාමනායක පටන් ගත්ත තරංගා රෙකෝඩ් බාර් තමා ලංකාවෙ ඒ වර්ගයෙ පළවෙනි එක...මේ රෙකෝඩ් බාර් එක විවෘත කරද්දි පත්තරෙත් පළවෙලා, සිංහල පත්තරේ දාන්න මේ නම සිංහලට පරිවර්තනය කරන්න ඕනැනෙ... පත්තරේ කෙනෙක් මේ නම පරිවර්තනය කරල තිබ්බෙ මෙහෙමයි,
 

තරංගා තැටි තැබෑරුම
 

හොඳ වෙලාවට පත්තරේ යන්න කලින් දැකල නවත්තගෙන තිබුනා...

මම ඒ දවස්වල වැඩකලේ ඉස්පිරිතාලෙ...උදේට කෝච්චියෙ ඇවිත් රාගමින් බැහැපුවම ස්ටේෂන් එක ලඟම තියෙන රෙකෝඩ් බාර් එකක මේ සින්දු වාදනය වෙනවා...සින්දු ටික අපට කනේ මීපැණි වක්කරනව වගේ රසවත්...අපි සිංදු ටික ඔක්කොම එතන ඉඳන් අහල පරක්කු වෙලා වැඩට ගිහිං ෂෝට් ලීව් දානවා.

මම මෙච්චර අටුවා ටීකා ලිව්වෙ ආදරය කියන දේ බෙදන්න කොටස් කරන්න හෝ කොන්දේසි මත පිරිනමන්න පුළුවන් දෙයක්ද කියල විග්‍රහ කරගන්නයි...

සමහර කෙල්ලෝ ඉන්නව උන්ට ආදරය ප්‍රකාශ කරපුවම කියන්නෙ...

ගෙදරින් කැමතිනං මමත් කැමතියි...

ඔයා අපේ ගෙදරට කියන්නකො...

ආදී වශයෙන්නෙ...ඒ කියන්නෙ ආදරේ කරන්න  කලින්ම ඉන්ෂුවර් කරගන්න එක...කෙල්ල හිතන හැටියට ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්න කලින් ඉන්ෂුවර්  කරගන්න එක අත්‍යාවශ්‍ය දෙයක්...

මම ගිය අවුරුද්දට පස්සෙ අවුරුද්දෙ අපේ ඔෆිස් එකට ආපු සුරාජ්ට උන්ගෙ කණ්ඩායමේම හිටපු පුන්සරා ගැන පිලිබඳ සිතක් පහලවෙලා...ඒ කට්ටිය දවල්ට කන්නෙත් එකටමයි  දවල් කෑම වෙලාවට පුන්සරා හරි  වෙන කෙල්ලෙක් හරි  ඇවිත් අපේ බ්‍රාන්ච් එකේ දොර ලඟ පෙනී සිටිනවා...මොකුත් කියන්නෙවත් කතාකරන්නේවත් නෑ...ඒ කියන්නෙ සුරාජ්ට කෑමට එන්න කියන එක...

අන්න උඹව එක්ක යන්න ඇවිත් ඉන්නෙ පලයන්...

අපි කියනවා...සුරාජ් පුන්සරාට ඇති කැමැත්ත අපි එක්කත් කිව්වා...

තටම තටම ඉන්නෙ නැතිව  අහල බලපන්...

අපි කිව්වහම සුරාජ් කෙල්ලගෙන් අහලා...ඔය කොල්ලො කෙල්ලන්ගෙන් කැමැත්ත අහන්නෙත් විවිධ ක්‍රමවලටලු නොවැ  ව්‍යංගාර්ථයෙන් එහෙම,එක කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් ඇහුවලු...

මැරුණම අපේ පවුලේ සුසාන භූමියෙ සැතපෙන්න ඔයා කැමතිද ...

සුරාජ් නං කොහොම ඇහුවද දන්නෙ නෑ,පුන්සරාගෙන් කැමැත්ත අහපුවම...

අනේ මන්දා සුරාජ් ගෙදරින් කැමතිනං මම කැමතියි...

ඔන්න ඔහොමයි උත්තරේ ලැබිල තියෙන්නෙ...සුරාජයා ඇවිත් අපට කතාව කිව්වා...

වරෙල්ලකො බං පුන්සරාලගේ ගෙදර යන්න...

මේ සුරාජ්...ඔහොම ලත් තැනම කෙල්ලගෙ ගෙදර යන සිරිතක් නෑ බං...ඉස්සෙල්ල කෙල්ලව යාලු කරගෙන ගෙදරට හොරෙන් ලව් කරපල්ල...කොහොම හරි ඔය කතාව ගෙදර දැනගන්නවනේ...ඊට පස්සෙ බඳින්න බැරියැ...එතකොටනේ බං ඒ ලව් එකේ ජොලිය තියෙන්නෙ...

කොහොමත් ඌ එක්ක කෙල්ලන්ගෙ ගෙවල්වල යන්න වෙලාවක් මට තිබ්බේ නෑ...මම ඒ දවස්වල ඉන්දියාවෙ යන්න සූදානම් වෙමින් හිටියෙ...අපි කවුරුත් යන්න බෑ කියපුවම

උඹලට බැරිනං  මම මල්ලි එක්ක හරි යනව...

සුරාජ් කොහොමහරි ගෙවල් කැමති කරවාගෙන පුන්සරාව කසාද බැඳගත්තා...එදා ඉඳල අද වෙනකං ජෝඩුව බොහොම සතුටින් පවුල් කනව...දැන් දරුවෝ දෙන්නෙක්,මේ දවස්වල පදිංචිවෙලා ඉන්නෙත් ලඟපාත රටකයි... ලඟකදී කතාකරපුවමත් එහෙ එන්න කිව්වා...

උඹල මේ පැත්තෙ එන්නෙ නැද්ද බං...

ඩ්‍රින්ක් එකක්වත් දාන්නවිදියක් නැති රටකට ඇවිත් වැඩක් තියේය බං...මෙහෙ එනවනං වරෙන් මම ඇතිවෙන්න බොන්න දෙන්නං...

ඉස්සර ඌට බියර් බෝතලයක් තනියම බොන්න බෑ වෙරිවෙනව...සුරාජ්ල රෝමෙ පදිංචි වෙලා ඉන්න කාලෙ අපි එහෙ ගියාම මම විස්කිවලට සෝඩා දාගෙන බොද්දි සුරාජ් බියර් දාගෙන විස්කි බිව්වෙ...එච්චර දියුණුයි...

ඔන්න ආදරය ගැන කියාගෙන ආව කතාව ට්‍රැක් පැනල වටේ ගියා...

අපිත් එක්ක කෝච්චියෙ වැඩට ගිය කෙල්ලෙක් හිටියා...අපි මෙයාට නමක් දෙමු සරෝජිනී කියල...සරෝජිනී විවාහ වෙන්න සූදානමෙන් හිටියෙ, මනමාලය ආමි එකේ කොල්ලෙක්,ඒ දවස්වල යාපනේට කිට්ටුව කෑම්ප් එකක හිටියේ...

කෝච්චියෙ අපිත් එක්ක   ගිය ඔක්කොටොම සරෝජිනී මගුල් කිව්වා...ඒ දවස්වල මමත් බැඳලා හිටියෙ මගුල අරං තිබ්බෙ නෑ, බිරිඳටත් මඟුල් කිව්වා...
මගුල් උත්සවය පැවැත්වුනේ පස්යාල මීරිගම පාරෙ හෝටලේක...එදාටම මට තව මඟුල් ගෙදරක යන්න වෙලා තිබුණා...ඒ අපේ පොඩි මහින්දගෙ බිරිඳගේ නංගිගෙ මගුල,තිබුනෙ පොඩි මහින්දලගේ  ගෙදර... 

මගුල් ගෙවල් දෙකටම යන්න උවමනාව තිබුණු නිසා ඉස්සෙල්ලම පොඩි මහින්දලගෙ ගෙදරට ගොඩවැදුනා එහෙන් කේක් කෑල්ලක් කාල බීම වීදුරුවක් බීල එහෙම ටිකක් දවල් වෙනකොට මට තව මගුල් ගේක යන්න තියෙනව කියල පිටත්වෙලා හෝටලේට ගියා...

හෝටලේ සරෝජිනීගේ මගුල බොහොම ජයට පැවැත්වෙනවා...කෝච්චියෙ යාළුවො කට්ටිය,බිරිඳ  එහෙම මම යනකොටත් ඇවිත් හිටියා...අපි කට්ටිය එකතුවෙලා සිසිල් බීම බීල ඉවරවෙද්දි සැර බීම බොන්නත් ආරාධනාවක් ලැබුණා...

ෂොට් දෙක තුනක් වැදිල මූණ කන් එහෙම රතුවෙනකොට මගුල් ගෙදර තිබ්බ බොහොම පොඩි අඩුපාඩුවක් ගැන මටත් දැනගන්න ලැබුනා...

ඒ මොකක්ද කිව්වොත් මනමාලය ඇවිත් නැති එක...අපට නං ඒක කොහොමත්ම ප්‍රශ්නයක් නෙවෙයි,නමුත් මනමාලිට ඒ ප්‍රශ්නෙ තදින් බලපානවනේ...

දැන් හෝටලේ සේවකයො දවල් කෑමත් බුපේ එකට ගෙනත් තියන්න ලෑස්තිය...ඔය අතරෙ මනමාලයට මොකද වුණේ කියල හොයන්න මමයි, රැවුලයි රහසිගත මෙහෙයුමක් දියත් කලා...

මතු සම්බන්ධයි....

Sunday, September 8, 2013

87.මාළු පස්තෑල සාදා ගැනීමේ කතා වස්තුව





අද ලියන්න හිටියෙ කිටියගෙ කතාවෙ අන්තිම කොටස,ඒ වුණාට එක දිගටම කියවල කට්ටියට මහන්සි නිසා ඔක්කොමල එකතුවෙලා  මොනවහරි රස කෑමක් හදාගෙන කාලා මහන්සි ඇරල ඉතිරි කොටස කියවමු කියල මම හිතුවා...

මට තියෙන විනෝදාංශ එකක් නෙවෙයි...විවිධයි ප්‍රධානතම එක පොත් කියවීම...විනෝදාංශයකට වඩා ඒක සුවකරගන්නට බැරි රෝගයක්.

ඊළඟ විනෝදාංශය කෑම පිළියෙළ කිරීම,දැකපු කෑමක් හදනහැටි ඉගෙනගෙන ඒ කෑම වර්ගය හදල අනික් අයටත් රස බලන්න දීල සතුටුවෙන්න මම  කැමතියි.

දැන් මම විවිධ කෑම ජාති හැදුවට මීට අවුරුදු දහයකට දොළහකට ඉස්සර බතක් හොද්දක් උයාගන්නෙ කොහොමද කියලවත් මම දන්නේ නෑ...ඉවීම ගැන මගේ මුල්ම අත්දැකීම තරමක හාස්‍යජනකයි,කතාව මෙහෙමයි ...

අතීතයේ දවසක දෙකටම නැති වෙලාවක ගෙදරට ගොඩවුණු මම හරිම බඩගිනියි කියල අම්මට කීවා...කුස්සියෙ හොදි මාළුපිණි ඉතිරිවෙලා තිබුනත් බත් නොතිබුණු නිසා අම්මා මට සෑහෙන්න හාල් ලිපේතියල ලිපට ගින්දරත් දාල නාන්න ගියා...බත් එක ඉදවගන්න ඕනෑ නමුත් කොහොමද කියල මම දන්නේ නෑ බඩගිනියි ඊටත් වඩා කේන්තියි අම්මත් එක්ක, මොකුත් නොදන්නා මාව මෙතන තියල ගියාට...

මම මොකුත් නොකලත් බත් මුට්ටිය ගානට ඉදුනා... මුට්ටියෙ බත් ටික පිඟානට බෙදාගත්තු මම කේන්තිය නිසා  බත් බෙදාගත්තු හැන්දෙ මිටෙන්ම මුට්ටිය පතුලට එකක් ඇන්නා...

කරපු වැඩේට මට දඬුවමක් ලැබෙයි කියල මම හිතාගෙන හිටියත් කවුරුවත් ඒ ගැන  වචනයක්වත් කතා කලේ නෑ.

පස්සේ දැනගත්ත ආකාරයට මම බිඳපු මුට්ටිය දැක්ක ගමන්ම අම්මට හිනාගිහින්, අම්මට මතක්වෙලා තියෙන්නෙ ගේ කුරුළු මුට්ටියක්.

කෑම උයන්න ඉගෙනගන්න ප්‍රධානතම හේතුව විප්‍රවාසයේ හුදකලාව ගතකිරීමයි,මුලින්ම ඉන්දියාවට ගිය වෙලේ මාස හතරක් විතර තනියම හිටියා...එහෙ කඩවල කෑම කන්නත් බෑ මට උයන්න දන්නෙත් නෑ...

බැහැයි කියල බඩගින්නේ ඉන්නයැ කොහොමහරි උයාගත යුතුයි කියන තැනට මාව පත්වුනා...මිරිස් කුඩු  තුනපහ කුඩු මම එද්දි බිරිඳ බෑග් එකට දාල තිබුනා හට්ටි මුට්ටි ටිකක් කඩෙන් අරං ඇවිත් මම උයන්න පටන්ගගත්ත...මුලදී හදාගත්තු කෑම මක්කොරලවත්   කන්න බෑ මෙලෝ රහක් නෑ පස්සෙ පස්සෙ නොදන්න දේවල් කාන්තා පාර්ශවයෙනුත් අහගෙන එහෙම කෑම ඉවීම තරමක දියුණුවකට පත්කරගත්තා...

මට මුල ඉඳන්ම තිබුණු ප්‍රශ්නයක් තමයි මීට අවුරුදු විස්සකට විසිපහකට විතර කලින් අපේ අම්මල උයපු තරං රසට දැන් උයන්න බැරි ඇයි කියන එක...ඔය දේ මම නිතරම කල්පනා කරද්දී මගේ හිතට ආපු උත්තරය මේකයි...

දැන් අපි හොදි මාළුපිණි හදද්දී මිරිස් කුඩු ටිකක් දානව,කහ කුඩු ටිකක් දානව,තුනපහ කුඩු ටිකක් දානව ආදී වශයෙන් කුඩුමනේ...නමුත් ඒ දවස්වල අම්මල ඉව්වේ ඊට වෙනස් ආකාරයකට,ඒ ගොල්ලෝ වෙනවෙනම  මිරිසුත් තුනපහත් කහත් වතුර ටිකක් මිශ්‍ර කරලා හීනියට ගලේ අඹ‍රගත්තා...

අඹරපු මිරිස් ගුලිය තුනපහ ගුලිය කහ ගුලිය මිරිස් පොල්කට්ටේ අලවල ලුණු පොල්කට්ට ලඟම ඒ කියන්නෙ මිරිස් ගලේ ඉහත්තාවේ තියල තිබ්බේ...හොද්දක් මාළුවක් එදද්දී අම්මගේ අත් ගුනෙත් එක්ක  අර අඹරපු මිරිස් තුනපහ මිශ්‍රකලා...ඒ රස සුවඳ අද වියලුනු කුඩු දාල අපට ගන්න බැරිඑක පුදුමයක් නෙවෙයි.

ඉන්දියාවේ ඉන්න දවස්වල චිත්‍රපට අධ්‍යක්ෂ අර්ජුන මට කතාවක් කිව්වා...අර්ජුනල කුඩා කාලෙ පදිංචිවෙලා ඉඳල තියෙන්නෙ යාපනේ...ආච්චි අම්ම කුඩා අර්ජුනලට උදේට බත්දංකුඩ , කඩල,මීකිරි, පැණි ඔක්කොම එකට මිශ්‍ර කරල ආච්චිගෙ ආදරෙත් එක්ක කවපු බත්ගුලිය තරම් රස බත් ගුලියක් ඊට පස්සෙ කිසි දවසක කාල නෑ කියල අර්ජුන කිව්වා...

තල් ගස් වර්ග දෙකක් තියෙනවලු...ගෑනු ගස, පිරිමි ගස කියල...තෝරගත්තු පිරිමි ගහ මුලට යන ආච්චි බාවාගන්න තල් තෙලිජ්ජ වීදුරුවකුත් අර්ජුනලට දීල තියෙනව...ගෑනු ගස්වල තෙලිජ්ජවත් ගස් කීපයකින් කලවම් වෙච්චි තෙලිජ්ජවත් බොන්න ආච්චි ඉඩදෙන්නෙ නැතිලු. අවුරුදු හැට ගණනක් ගතවෙලත් අර්ජුන කොල්ල වගේ ලස්සනට සුදුවට හිටියේ ඒ කාපු කෑම නිසා වෙන්න ඇති.

ඔන්න මට කතාවක් මතක්වෙනව,කතාව කිව්වේ ඇන්සන්...

දවසක්දා රාත්‍රියෙ රොසන්ටත් එක්ක නරක වැඩක් කරන්න අකුලකට රිංගපු ඇන්සා රොසන්ටගෙ යට භාගය ගවේෂණය කරද්දි සාක්ෂාත් කරගත්ත කාරණයක් නම් රොසන්ටගේ අහවල් තැන තට්ටේ වෙන්නම බාලා කියන එක,බේතකටවත් ගහක් හොයාගන්න නැතිලු...ඇන්සා ඇහුවලු ඇයි කියල,

කරදරයි...ඒ හින්ද කපල දැම්මා...

මොකෙන්ද කැපුවෙ...

බෝධිගෙ රේසරෙන්...

බෝධි කිව්වෙ රොසන්ටගේ ලොකු කොලුවා...බෝධිය මැරෙනකල්ම උගෙ මූනෙ ඒකම කුරුලෑවක්වත් ආවෙ නෑ, මූණ හඳ වගේ තිබුනෙ ඒ නිසාය කිය කියා ඇන්සා හිනාවුනා...

මට තල් රා මිසක් තෙලිජ්ජ බොන්න ලැබිල නෑ ඉස්සෙල්ලම තල් රා බිව්වේ මන්නාරමේ ගිය ගමනකදී...

කාලය 2002 වර්ෂය,ආණ්ඩුව කොටිත් එක්ක සාම ගිවිසුමක් අස්සන් කලේ මම ඉන්දියාවෙ ඉඳල ආපු අලුතමයි...හරියටම දවස කිව්වොත් 22.2.2002...මේ දවසෙ 2 ඇරෙන්න වෙන ඉලක්කමක් නෑ බිංදුව ඉලක්කමක් හැටියට නොගත්තොත්, ඒ නිසාම මේ විශේෂ දිනයෙ සාම ගිවිසුම අස්සන් කළා...

ඒ දවස්වල ඔෆිස් එකේ ත්‍රීමූර්තිය වගෙ එකටම හිටියෙ මමයි,සිරියි,ලයනලුයි වැඩක් නැති වෙලාවට අපි අනික් උන්ව බයිට් කරමින් ඇවිදිනවා...දවල් කෑමෙන් පස්සෙ තුන්දෙනා බ්‍රිස්ටල් වීදියට ගිහින් කෙසෙල්ගෙඩි කන්න පුරුදු වෙලා හිටියා...බ්‍රිස්ටල් වීදියෙ කොමර්ෂල් බැංකුව ළඟ අත්තික්කා ගහ මුල ගස්ලබු සහ කෙසෙල්ගෙඩි විකුණන මනුස්සයෙක් ලෑල්ලක් දාගෙන හිටියා...දවස පුරහම ඔතනට එන අය මිනිහගෙන් පළතුරු කනව සහ අරං යනවා...දවල්ට කට්ටිය වැඩියි,අපි තුන්දෙනත් ගිහිං ඇම්බුං හරි ආනමාලු හරි ගෙඩි තුනක් කාල එනවා...අපි හැමදාම යන නිසා මිනිහ අපිත් එක්ක ගොඩක් හිතවත් වුණාම අපි මිනිහවත් බයිට් කරන්න ගත්තා...සිරි තමා පටන්ගන්නෙ,

අපට දෙන්නකො කාබයිට් දාපු...

අපෝ නෑ මහත්තයා...මම කාබයිට් දාල පළතුරු ඉදවන්නෙ නෑ...

ෂහ්..අපරාදෙ මෙතෙන්ට ආවෙ කාබයිට් ටිකක් නැති කෙසෙල් ගෙඩියක් කාල වැඩක් නෑ...

ආ...එහෙනං එන්නකො ටිකක් දාපුවයින් දෙන්න...

ඊට පස්සෙ යනකොටත් අපි දකිනකොටම මිනිහා හිනාවෙලා...

ආ...මහත්තයලට අරව දාපුවයින් කෙහෙල්ගෙඩි නේද...

කියල අපිව බයිට් කරන්න පටන් ගත්තා...
මනුස්සය කියපු කතාව ඇත්ත...ඔහුට පිටකොටුවෙ කඩ කාමරයක් තියෙනවා...හැමදාම උදේ පාන්දර පිටකොටුවට එන ලොරිවලින් ඔහුට අවශ්‍ය ගස්ලබුත් කෙසෙල්කැනුත් අරගෙන කඩකාමරේට දාල කාමරේ තියෙන ඉදිච්චි පළතුරු ටික මිනිහගෙ ත්‍රී වීල් එකේ පටවගෙන බ්‍රිස්ටල් වීදියට ගෙනත් විකුණනවා...ඒ නිසා ඔහුට පළතුරුවලට කාබයිට් ගහල ඉදවන්න අවශ්‍යතාවක් නෑ...

මනුස්සයො කනබොන දේවලට වහ දාන්න හොඳනෑ මහත්තයා...ඒක අපරාධයක්...

ඔහු නිතරම කිව්වා...අපිත් එක්ක කොච්චර හිතවත් වුණාද කිව්වොත් අපි ලොකු ඇම්බුං හරි ආනමාලු හරි ගෙඩි තුනක් කෑවහම මිනිහ ගන්නෙ රුපියල් දහයයි...

දවසක්දා සිරී මගෙන් උදව්වක් ඉල්ලුවා...

සිරීගෙ යාලුවෙකුගෙ නෝන බෙල්ජියමෙ ඉඳල ඉන්දියාවට එනවලු සායි බබා බලන්න බැංගලෝර් යන්න...ඇයව චෙන්නයි එයාපෝට් එකෙදි හම්බවෙන්නයි බැංගලෝර් යන්න කෝච්චියට දාන්නයි උදව්කරන්න කවුරුවත් නැද්ද කියල සිරී මගෙන් ඇහුවා...

මට එක පාරටම අසෝකන්ව මතක් වුණා...ඌත් ඔය වගේ ගයිඩ් වැඩවලට හරි කැමතියිනෙ...අසෝකන්ට මම කතාකරල විස්තරේ කිව්වා...

හරි හරි මට එන දවසයි වෙලාවයි කියන්නකො...මම එයාපෝට් එකෙන් පික් කරන්නම්...

නම ඇතුළු සියළුම විස්තර අසෝකන්ට දීල එන වෙලාවත් කිව්වා...

සිරිගෙ යාලුවගෙ නම ප්‍රේමා...අසෝකන් චෙන්නයිවලදි ප්‍රේමව පිළිගත්තු හැටි පස්සෙ දවසක සිරී මට කිව්වා...මෙහෙමයි,

නියමිත දවසෙ අසෝකන් එයාපෝට් එකට ගිහින් බෝඩ් එකකුත් අල්ලගෙන ඉන්නවා...ඉංග්‍රීසියෙන් ප්‍රේමගෙ නම ලියාගෙන ගියානං කිසි ප්‍රශ්නයක් නෑ ප්‍රේමා ඇවිත් අසෝකන්ට කතා කරනවා...මූ වැඩි හොඳට සිංහලෙන් ලියන්න ගිහිං...ඌට සිංහල ලියන්න බැරි නිසා සිංහල දන්න එකෙකුට කියල ලියවගෙන...
දෙමළ භාෂාවෙන් ප්‍රේ කියල ලියන්න බෑනෙ, ලියපු එකා ලියල දීල තියෙන්නෙ පිරේමා කියල...අසෝකන් ඒක බලාගෙන ලස්සනට බෝඩ් එක ඇඳගත්තා,අන්තිමට අසෝකන් එයාපෝට් එකේදි අල්ලගෙන හිටපු බෝඩ් එකේ තිබුණෙ මෙහෙමයි...

පී රෙමා

ප්‍රේමා මේ බෝඩ් එක දැක්කට එච්චර ගණං අරන් නෑ...කාටද මුගෙ සිංහල කියවන්න පුළුවන්...අන්තිමේ කවුරුවත් හිටියෙ නැති නිසා ආයෙම ඇවිත් බලලා අවිස්වාසෙන් වගේ කතාකරල තමා අසෝකන්ව හොයාගෙන තියෙන්නෙ...බෝඩ් එකේ කතාවට හිනාවෙලා ඉළ රිදුණා...

අසෝකන් මාර්තු මාසෙ ලංකාවට ආවා...ඉස්සෙල්ලම අපි කලේ රෙමා කියල උගෙ නම වෙනස්කරපු එක...

ඉන්දියාවෙදි අසෝකන් ගොඩක් උදව් කරපු යාලුවෙක් මන්නාරමේ ඉන්නවය එයා අසෝකන්ට එහෙ එන්න  කිව්ව කියල අපටත් මන්නාරම් යන්න කතාකලා...

ගමන ගියෙ මම සිරී සහ අසෝකන්...යන දවසෙ හවස සිරීලගෙ ගල්කිස්සෙ ගෙදර ගිහින් රෑට කාල පිටකොටුවට ඇවිත් මන්නාරම් බස් එකෙකට ගොඩවුණා...

මුලු ගමනම රාත්‍රියෙ සිද්දවෙච්චි නිසා ගමනෙ විස්තරයක් කියන්න තරම් දෙයක් නෑ...පහුවදා පාන්දර පහමාර වෙද්දි අපි මන්නාරම් බස්පොලෙන් බැහැගත්තා...

රෑ පුරාම හරියකට නින්දකුත් නැති නිසා අපි ගිහිං නිදිමතයි ගමන් මහන්සියයි යන්න හොඳට නිදාගත්තා...
 

අසෝකන්ගෙ යාලුවා ගෙදරම කොමියුනිකේෂන් එකක් කරන කෙනෙක්...ඊට අමතරව ඔහු ත්‍රීවීල් එකක් එලවනවා...බිරිඳයි දරුවො දෙන්නයි,ගේ ළඟම තව අලුත් ගෙයක් හදල තිබුණා අපට නවතින්න දුන්නෙ ඒ ගෙදර...

මම පටන්ගත්තෙ මාළු පස්තෑල හදන හැටි කියල දෙන්න...අන්තිමට වෙන වෙන තැන්වල ගිහිං ඒ කතාව අතපසු වුණානෙ, දැන් ඒ කතා මෙතන ලියන්න ගියොත් මේ පෝස්ට් එක දිග වැඩි වෙනවා...මන්නාරමේදි තල් රා බීපු කතාවයි මාළු පස්තෑල හදන හැටියි ආයෙම පෝස්ට් එකකින් කියන්නං...

මතු සම්බන්ධයි.



Thursday, September 5, 2013

86.වරායේ කිටියා,අනාවරණය සහ තවත් කතා 2.


අපරාදෙ කියන්න බෑ ඔෆිස් එකේ හිටපු කාටත් හොඳම බයිට් එක වුණේ කිටියා...අපේ කාර්යාලයෙ ප්‍රධාන නාවික ඉංජිනේරුවරයා හැටියට හිටියෙ මිස්ට අල්මේදා...වරායට එන නැව්වල ජාත්‍යන්තර නාවික නීතිවලට අනුකූලව යාත්‍රා කරන්න අවශ්‍ය කරන උපකරණ ආදිය පරීක්ෂා කරන එක ඔහුගෙ රාජකාරියෙ කොටසක්...

මේ පරීක්ෂණයන්ට නැව්වලට නගින්න යද්දි මිස්ට අල්මේදා අපටත් අඬගහනවා...කිටියත් අපේ පස්සෙ එල්ලිලා එන්න බොහොම කැමතියි.

නැවට ගියාම කැප්ටන් ඔහු දන්න උපරිම ආකාරයට අපට සලකනවා...මොකද පොඩි අඩුපාඩුවක් එහෙම තිබුණොත් නැව යන්න නොදී නවත්තගන්න පුළුවනිනෙ...අපිත් ඔය චීන බියර් ,වියට්නාම් බියර් ආදී බොන්න නොලැබෙන බීම බිව්වෙ නැව්වලට ගිය ගමන්වලදියි...

නැවට ගියාම මිස්ට අල්මේදා කැප්ටන් එක්ක කතාකරනකල් අපි නැව පුරා රවුං ගහල ඇන්ජින් රූම් එකටත් ගිහින් තමා උඩට එන්නෙ...අපි සමුගනිද්දි කැප්ටන්ගෙන් විස්කි බෝතලයක් දෙකක් සිගරැට් කාටූන් එකක් ආදිය ලැබෙනවා...

ඊළඟට ඉන්නව ෂිපිං මාස්ටර්...එය නැව්වලට යන්නෙ නාවිකයන්ට තිබිය යුතු සහතික ආදිය නිසියාකාරව තියෙනවද කල් පැනලද කියල බලන්න...ඒ ගියාමත් හොඳට කෑම බීම දීල සලකල එනකොට බෝතලේකුත් දෙනවා...

නැව්වලට නගින්නෙත් හොයල බලල හොඳ රටවලට අයිති නැව්වලට විතරයි...පොතු ගැහිල මළකඩ කාච්ච ඉන්දියන් නැව්වලට එහෙම නැගල කිසි ප්‍රයෝජනයක් නෑ...උං දෙන්නෙ තේ එකක් විතරයි ඒකත් මෙලෝ යකෙකුට බොන්න බැරි ඉන්දියන් තේ...

අපි ආපහු එනකං ඔෆිස් එකේ බොනයො ටික බලං ඉන්නවා...උං දන්නවනෙ එනකොට බෝතලයක් දෙකක් ගේනවමයි කියල...කිටිය ඔය වෙලාවට බොහොම කඩිසරයි...කෑම කාමරේට බෝතල් ගෙනිහිං වීදුරු ලෑස්තිකරල සෝඩ හොයලා පුදුම උනන්දුවකින් වැඩ කරන්නෙ...

මිස්ට අල්මේදාත් හරිම විනෝද කාමියා, කට්ටිය බොන්න පටන්ගන්න හදනකොටම කිටියට එන්න කියල පණිවිඩයක් එවනවා...

මම ටක් ගාල එන්නං...

කියල කිටී මිස්ට අල්මේදගෙ කාමරේට ගියාම...

ඉතිං...ඉඳගන්නවකො ක්‍රිස්ටෝපර්...මොනවද තොරතුරු...

කියල පටං අරං රටේ නැති බහුබූත ගැන කිටියත් එක්ක කියවනවා...ටික ටික වෙලාව ගතවෙනකොට කිටියටත් බොනතැන මතක් වෙලා ඉන්න බැරිව ගිහිං ඇඹරෙනවා...

මොකද ක්‍රිස්ටෝපර් වට පිට බලන්නෙ කවුරුවත් එනව කිව්වද...

මිස්ට අල්මේදා අහන්නෙ හිනාව තදකරගෙන...

නෑ නෑ සර්...

ආයෙම කතාව...ඉඳල ඉඳල අන්තිමේ ඉන්නම බැරි තැන...

සර්...මම එහෙනං යන්නද...

මොකද හදිස්සිය...තව ටිකක් ඉඳල යනවකො මටත් කම්මැලියි...

ඔය විදියට කිටියව කාමරේ තියාගෙන මඩෝල බෝතලේ ඉවරවෙන්න ඔන්න මෙන්න ඇති කියල හිතෙනකොට කිටියට යන්න කියනව...කිටියත් බොනතැනට දුවන් එන්නෙ නිකං දුන්නෙන් මුදාහල ඊයක් වගේ...ඒ වෙනකොට කිටියට බොන්න තරං දෙයක් ඉතුරුවෙලා නෑ...ඒ මදිවට හොඳට බිබී හිටපු උං ටික ඌට බනිනවා...

කොහෙද මනුස්සයො ගියෙ...අපි හැමතැනම හෙව්වනෙ...
මේකෙ නං බොන්න ඇතිදෙයක් නෑ...බොන්නම ඕනැනං ගිහිල්ල බාර් එකෙන් බෝතලයක් ගේනවා...

අහිංසක කිටිය මොනව කරන්නද...ඊට පස්සෙ මිස්ට අල්මේදා හම්බවුණාම දෙපැත්තෙ සිද්දවෙච්චි දේවල් කියල කට්ටිය බඩ අල්ලගෙන හිනාවෙන්න...

හේමාල් තමයි කිටියව වැඩිපුරම බයිට් කරන්නෙ...කිටිය හැම තිස්සෙම හේමාල්ට බැණගත්ත ගමන්මයි...

දවසක්දා කිටිය කලිසම බාත් රූම් එකේ දොරේ එල්ලල...කිටිය ඇතුළෙ, ජුලියස් මේක දැකල ගිහිං කලිසම ගන්න හිමිහිට ටික ටික අදිනවා කිටිය එකපාරටම මේක දැක්ක...

හේමාල් බලු වැඩ කරන්න එපා හේමාල්...

කිටිය කෑගහනවා...කිසි ප්‍රශ්නයක් නෑ වැඩේට හේමාල්වනෙ අහුවෙන්නෙ ජුලියස් කලිසම අරං ආවා...

පැය බාගයක් විතර කිටියට  බාත් රූම් එකේ ඉන්න ඇරලා කලිසම ගිහිං ආපහු එල්ලුවා...

මුණු මුණු ගගා දවසෙම බැන බැන හිටිය මිසක් කිටී කෑගැහැව්වෙ නෑ...කෑ ගැහුවනං ඔෆිස් එකේ කෙල්ලො වැඩේ අහනවනෙ...කිටිය කිව්වත් නැතත් අපි කෙල්ලන්ට වැඩේ කලින්ම කියලයි තිබුණේ...උනුත් හොරෙන් හොරෙන් හිනාවෙනවා.

ඔෆිස් එකේ හිටපු කැටිපෙ ආරච්චි ගමට මාරුවක් අරං ගියාම ඒ වෙනුවට ආවෙ ලක්ෂ්මන් කියල ලෝක ආනාදියෙක්...

ආපු දවසෙම මූ මිස්ට දසනායක ළඟට ගිහිං කියනවා...

සර්...මට වැඩ ගැන නං කිසි ප්‍රශ්නයක් නෑ ඕනැ වැඩක් කරන්නං...හැබැයි මම දුර ඉඳල එන නිසා උදේට ටිකක් පරක්කු වෙනවා...

තමුසෙ කොහෙ ඉඳලද එන්නෙ...

ගම්පහ ඉඳල සර්...

ඈ යකෝ...පොල්ගහවෙල ඉඳල ඇවිල්ලත් මම වෙලාවට එනවා තමුසෙට ගම්පහ ඉඳල එන්න බෑ නේද හරි දුරයිනෙ...

ලකෂ්මන් ඔලුව කස කසා යන්න ගියා...

ලක්ෂ්මන් පණ්ඩිතයා, කතා කළොත් මන්තර ගුරුකං,ජ්‍යොතිෂය ගැනමයි...මන්තර ගුරුකං වලින් කරපු දෙවල් ගැන කයියගහන්නෙ හරියට ඌ කළා වාගෙ...

 මේ රස්සාව කරල මදි කීයක් හරි වැඩිපුර ගාණක් හොයාගන්න ඕනැ කියපු හේමාල් නෝපේ ලීව් දාල නැවකට නැග්ගා...දැන් ඔෆිස් එකේ දෙන්නගෙම වැඩ කරන්න ඉන්නෙ ලක්ෂ්මන් විතරයි...

ඒ 96වර්ල්ඩ් කප් මැච් පටන් ගත්ත දවස්...අපි කතා කර කර ඉන්නකොට ලක්ෂ්මන් එනවා...

කොච්චර වැඩකාරයො හිටියත් වැඩක් නෑ...ග්‍රහය උච්චවෙලා තියන කට්ටිය තමා දිනන්නෙ...

ඈ බං...මෙච්චර ලක්ෂ කෝටි ගණං වියදං කරලා මැච් ගහන්නෙ මොන මඟුලකටද...දිනන්නෙ කවුද කියල කලින්ම ජ්‍යොතිෂයෙන් බලල ඒ ටීම් එකට කප් එක දුන්නනං ඉවරයිනෙ...

මුගෙ කයිය ඉවසගෙන ඉන්නම බැරිතැන කරු කිව්වා...

මාස හයක් හතක් ගතවෙලා හේමාල් නැවෙන් බැහැල වැඩටත් ආවා...

ලක්ෂ්මන් ලියුමකුත් ලියාගෙන වැඩිපුර කරපු වැඩවලට සල්ලි ඉල්ලනවා...
 
උඹ කරපු අමතර වැඩක් නෑනෙ බං...මෙතන බොරු පූච්චානං කියෝ කියෝ හිටිය මිසක්...
 
අපි ලක්ෂ්මන්ට වදේ ගහනකොට හේමාලුත් එතනට ආවා...
 
මම උඹගෙ වැඩත් අනාවරණය කළා...නැද්ද මචං...
 
ඈ...මොනවද යකෝ තොට අනාවරණය කරන්න තිබුණු මගෙ වැඩ...
 
හේමාල්ගෙ පුෂ්පය ටික ටික විකසිත වේගන එනවා...
 
නෑ මචං මම වැරැද්දක් කිව්වෙ නෑනෙ...වෙන කවුරුවත් හිටපු නැති නිසානෙ මම උඹේ වැඩ අනාවරණය කළේ...
 
හේමාල්ට හොඳටම තදවුණා...
 
මේ ලක්ෂ්මන්...උඹ මගෙන් කුණුහරුප අහගන්න එපා...මොන රෙද්දක්ද යකෝ මම කරල තියෙන්නෙ තොට අනාවරණය කරන්න...
 
ලක්ෂ්මන් උඩ බිම බලනව මොකක්ද වැරදුනේ කියල...ඌ මුලදිම වචනෙට අකුරක් වැඩිපුර දාල කිව්වෙ,අපිත් හිනාවෙන්න ඕනැ නිසා ඌව බයිට් වෙන්න ඇරල බලං හිටියා...
ආවරණය කියන්න ඕනැ එකට මූ කිව්වෙ අනාවරණය කියල හාත්පසින්ම විරුද්ධ තේරුමක් එන වචනයක්නෙ...

කිටී කෑම කන්නෙ යසයි,ගුනෙයි එක්ක...කිටී නොගෙනාවත් යසා කිටීටත් එක්ක කෑම ගේනවා...යසා කෑම ගේන්නෙ බොහොම පිළිවෙලට,ඔක්කොම කෑම ජාති එක ගොඩේ දාගෙන නෙවෙයි...බත් වෙනමයි,දෙල් මාළුව වෙනමයි,මාළු ඇඹුල් තියල් වෙනමයි,අඟුණ කොළ මැල්ලුම වෙනමයි,පරිප්පු වෙනමයි ආදී වශයෙන්...

පරිප්පු කිව්වම මට තව කතාවක් මතක්වුනානෙ...ඒකත් කියල ඉන්නංකො අමතක වෙන්න ඉස්සරවෙලා...

අපි බෙන් ෆිල්ම්ස් එකේ ඉද්දි බෙනාට කොන්ත්‍රාත් එකක් ලැබුන ...ඒ ගම් උදාවෙ පෙන්නන්න කස්ටම් එක ගැන ඩොකියුමන්ට්‍රියක් හදන්න.

අපි සියල්ල සූදානම් කරගෙන වරායට ගිහින්  දවස් කීපයක්ම ෂූටිං කළා...එක දවසක් ෂූටිං වලට නැවකට ගියා ඒ නැව ලංකාවට පරිප්පු ලෝඩ් එකක් ගෙනාපු නැවක්...

ඒ දවස්වල බඩු ආවෙ දැන් වගේ කන්ටේනර්වල නෙවෙයි  නැවේ හැච් එකේ පරිප්පු ගෝනි ගොඩගහල තිබුනා...කම්කරුවො හැච් එකට බැහැල ගෝනි දහයක් පහළොවක් දොඹකරයට අමුනපුවම  උස්සල අරං කෙලින්ම ලොරිවලට බානව...ජැටියේ ලොරි පෝලිමක් තියෙනව බාන බාන පරිප්පු ලෝඩ් ගෙනියන්න...

අපිත් දැන් මේ පරිප්පු බානව ෂූට් කරනව...කැමරාමන් කිචි ධර්මයා, ඒක අපේ වැඩේට අවශ්‍ය කරන දර්ශනයක් නොවුනත් ඕනැකරන වෙලාවකට ගන්න අරං තියාගන්න සිරිතක් තියෙන නිසා ගත්තා...

සමහර වෙලාවට දොඹකරයෙන් උස්සනකොට ඉරුණු ගෝනිවලින් පරිප්පු හැලෙන්නෙ දිය ඇල්ලක් ඇදහැලෙනව වගේ...ඕක දැකපු නැවේ ප්‍රධාන නිලධාරියා ඇවිත් ඒවා ෂූට් කරන්න එපා කියල බොහොම කරුණාවෙන් කිව්වා...ධර්මයත් හරි හරි කියල වැඩේ නැවැත්තුව එතකොට ගන්න ඕනෑ හරිය අරං ඉවරයි...ප්‍රධාන නිලධාරියත් තෑන්ක්ස් කියල යන්න ගියා...

බීම ගබඩාව සීල් තියන දර්ශනයත් ගත්තෙ ඒ නැවේමයි...සාමාන්‍යයෙන් නැවක් වරායට එනකොට වරායෙ නවතල තියෙන දවස් ගානට ඇතිවෙන්න මත්පැන්,බීම ගබඩාවෙන් එලියටගන්න දීල කස්ටම් එකෙන් ගබඩාව සීල් තියනවා සීල් කඩන්නෙ නැව ආපහු යනකොටයි...දැන්නං ඔය ක්‍රමය හරියටම අනුගමනය කරනවද කියල දන්නෙ නෑ...සීන් එක ගත්තට පස්සෙ කැප්ටන් අපට බෝතල් දෙකක්ම දුන්නා...

එදා රාත්‍රියෙ තව සීන් කීපයක් ගන්න තිබුණා...බෝට්ටුවලින්  වෙරළට හොරබඩු ගෙනා අයව අල්ලන සීන්...කස්ටම් බෝට්ටුවකින් අපිව වරායේ පිටිපස්සෙ බ්‍රෙක්වෝටර් එක හරියේ නොගැඹුරු මූදට ගෙනිහින් දැම්මා...වරායේ මනුස්සයෙකුගෙන් ඉල්ලගත්තු සරමකුත් ඇඳගෙන මම හොරබඩු බාන්නෙකුගේ කොටස කරන්න ලෑස්තිවෙලා හිටියේ...

මතු සම්බන්ධයි....

Tuesday, September 3, 2013

85.නීතගේ පුතා,චිත්‍රාගේ කතාව සහ තවත් කතා 3


දෙවෙනි කොටස 
පළමුවෙනි කොටස

අහුන්ගල්ලෙ යන්න ගියපු මම මගින් හැරිල අතුරුගිරියෙ විමල්ලගෙ ගෙදර ගියානෙ...අද අහුන්ගල්ලෙ යමු.

කිව්ව වගේම මාව කොටුවට එක්කං යන්න විමල් වෑන් එක අරං ආවා...බලපුවම රෝදෙක හුළං බැහැලා...

මම බස් එකේ යන්නං බං...

නෑ නෑ ඉඳපං පට ගාල ටයර් එක මාරුකරගෙන යමු...

විමල් ටයර් මාරුකරනකල් මම හිටියෙ නෑ...කොටුව බස් එකකට නැග්ගා...

මුළු රෑම නිදිමරපු නිසා උදේ අව්ව වැටෙනකොට හරි අමාරුයි...ඇස්දෙකෙන් බුදුරැස් විහිදෙනව වගේ හිටගෙන නින්ද යනවා...උදේ හතහමාරට විතර කොටුවෙන් බැහැපු මම ගාල්ලෙ ඉන්ටසිටියකට නැග්ගා...

මල්ලි අහුන්ගල්ලෙදි කතාකරන්න මම අහුන්ගල්ලෙන් බහිනවා...

කොන්දොස්තර කොල්ලට කලින්ම කිව්වෙ ෂුවර් එකටම නින්ද යනව කියල දන්න නිසා...

ඔහොම කියද්දි මට ප්‍රයිවෙට් බස් කොන්දොස්තර කෙනෙක්ගෙ කතාවක් මතක්වෙනවා...මේක මේ ජයලත් මනෝරත්නයන්ට වෙච්චි වැඩක්...

දංකොටුවෙ පෙන්නන නාට්‍ය දර්ශනයකට මනෝරත්නයන්ට නාට්‍ය කණ්ඩායම ගියපු බස් එකේ යන්න බැරිවෙලා තියෙන්නෙ හදිසි පුද්ගලික වැඩක් යෙදිල තිබුණු නිසා...

මම පාරෙ බස් එකේ ඇවිත් වෙලාවට එන්නං මට තැන කියන්නකො...
මනෝ කිව්වා...

දංකොටුවෙ නෙළුම්මල උළුමෝල ළඟින් බැහැගන්න...එක්කංයන්න කෙනෙක් එතෙන්ට එවන්නම්...

ඔන්න හවස මනෝ දංකොටුව බස් එකකට නැගලා ටිකට් ගන්නකොට කොන්දොස්තර කොල්ලට කියල...

මල්ලි මාව නෙළුම්මල උළුමෝල ළඟ බස්සවන්න...

හරි හරි මහත්තයා...

නින්දකුත් ගහගෙන ගියපු මනෝට ඇහැරෙනකොට උළුමෝල් එක එක පහුවෙනවලු...

ටිකකින් කොල්ලට කතාකරලා...

මල්ලි නෙළුම්මල උළු මෝල තව දුරද...

වටපිට බලපු කොල්ල ඔලුවෙ අත ගහගෙන...

ෂහ්...නෙළුම්ම්මල උළුමෝල පහුවෙලානෙ...

ටිකක්වෙලා කල්පනා කරපු කොල්ලා...

මහත්තය,ඔය නෙළුම්මල උළු ගන්න එපා...මහ බාල උළු ජාතියක් මම මහත්තයව බස්සන්නංකො නියම උළු මෝලක් ළඟ...ලේනා ළකුණ දරණ උළු...අන්න නියම බඩු මේ ඉස්සරහ තියෙන්නෙ...

 තවත් බස් කතාවක් මතක්වුණා ඒකත් කියල ඉන්නංකො...

පුතෙක් අම්මව බස් ස්ටෑන්ඩ් එකට එක්කං ඇවිත් නුවර බස් එකට නග්ගවල ගියාලු...අම්ම  කොන්දොස්තරට කියල තියෙනව ...

පුතේ මට නින්ද ගියොත් කෑගල්ලෙදි කතා කරන්න...

දැන් බස් එක යනව අර අම්මටත් හොඳටම නින්ද ගිහිං...

කෑගල්ලෙදි අම්මට කතාකරන්න කොන්දොස්තරට අමතක වෙලා...කෑගල්ල පහුකරලත් කිලෝමීටර් දෙකක් විතර ගියාම තමා කොන්දොස්තරට අර නිදා ඉන්න අම්මට කතාකරන්න මතක්වෙලා තියෙන්නෙ...

දැන් මොකද කරන්නෙ...

වෙච්චි සිද්දිය ඩ්‍රයිවර්ටත් කියල දෙන්න කතාවෙලා තියෙනවා...

පව්නෙ අපි අම්මව ආපහු ගිහිල්ල දාමු...

බස් එකේ හිටිය අනික් අයත් කැමතිකරවගෙන බස් එක ආපහු හරවගෙන කෑගල්ලට ගිහිං අම්මට කතාකරල තියෙනව...

අම්මෙ අම්මෙ මේ කෑගල්ල...

හා පුතේ කියපු අම්ම ළඟ තිබුණු බෑග් එක ඇරල බේත් පෙත්තක් කටේ දමාගෙන බිව්වලු...

ඇයි අම්මෙ බහින්නෙ නැද්ද...

නෑ පුතේ මට දවල්ට ගන්න තියෙන බේත් පෙත්ත බොන්න වෙලාව කෑගල්ලට විතර එනකොට හරියයි කියල ගෙදර ළමයි කිව්වා...ඒකයි මම කෑගල්ලෙදි ඇහැරවන්න කිව්වෙ...

මට නං එහෙම මොකුත් කරදරයක් වුණේ නෑ...අහුන්ගල්ලට ළංවෙද්දි කොන්දොස්තර කොලුවා මාව ඇහැරෙව්වා...

මහත්තයා ඉස්සරහින් බැහැගන්න ...

බස් එකෙන් බැහැල වටපිට බලනකොට මට හැරිල එන්න කියපු පාර තියෙනව...පාරට හැරෙනකොටම පොඩි කෙල්ලො දෙන්නෙක් බයිසිකලේකුත් තියාගෙන ඉන්නව...

පස්සෙ දැනගත්ත විදියට ඒ චිත්‍රාගෙ අක්කගෙ දුවලා...මම ආවද පාර හොයාගත්තද නැත්නම් අතරමං වුණාද කියල බලල එක්ක එන්න තමා මේ දෙන්න ඇවිත් තියෙන්නෙ...ඒ වුණාට මම පාරට හැරෙනව දැක්ක විතරයි කෙල්ලො දෙන්න කෑ ගහගෙන හූ කියාගෙන සයිකලෙත් හරවගෙන යන්න ගියා...

චිත්‍රලගෙ ගේ පිහිටල තිබුණෙ බොහොම සුන්දර තැනක...වත්ත මායිම්වෙලා තිබුණෙ මුහුදට, මුහුදෙන් වත්තට නෙරල ආපු බොක්කක් වගේ කොටසක් ගෙයි කුස්සිය පිටිපස්සට වෙන්න තිබුණා...මම යද්දි අනිත් කට්ටිය ඇවිදින් තේ බොනවා...ටිකකින් අපි කට්ටියම එළියට බැහැල ඇවිදින අතරෙ අර නොගැඹුරු මුහුදු බොක්කට පැන්නෙ නිරායාසයෙන්මයි...

විටින් විට ඒ බොක්කට මුහුදෙන් මාළු රංචු එනවා...අපි ටිකක්වෙලා එතන දඟලද්දි වයසක මනුස්සයෙක් ඇවිත් මාළු රංචුවකට බරු දැලක් ගැහුවා...දැල බේරපුවම එතන කිලෝ දෙක තුනක කලවම් මාළු නිකං රිදී කෑලි වගෙ දඟලනවා...අලුත්ම බඩු නිසා බැදල බයිට් එකට ගන්න අපිත් මාළු කූරයියො කීපදෙනෙක් අරගෙන ආවා...
දවසම මූදෙ නටලා දවල්ටත් කාලා හවස ජයන්තලගෙ වාහනෙන් ආපහු පිටත්වෙන්න ලෑස්තිවෙනකොට රෑට කන්න ලොකු බත්මුලකුත් ලැබුණා...

මට ආපහු අහුන්ගල්ලෙ යන්න වුණේ ඊට අවුරුදු පහළොවකට විතර පස්සෙ හදිසියෙ මැරුණු චිත්‍රලාගෙ අක්කගෙ මළගෙදරට...ඒ කාලෙ වෙද්දි චිත්‍රා මීගමුව පැත්තෙන් ගෙයක් අරගෙන පදිංචි වෙලා හිටියෙ...චිත්‍රලාගෙ අම්ම ඊට කලින් මැරුණත් ඒ කාලෙ මම ලංකාවෙ හිටියෙ නෑ...

ඉස්සර මාව එක්කං යන්න ආපු පොඩි කෙල්ලො ඒ වෙනකොට ගොඩක් ලොකුයි...එකෙක් කොල්ලෙක් එක්ක පැනල ගිහින් ගෙදරට පයගහල තියෙන්නෙ අම්මගෙ මරණෙට...

මේ දෙන්න මතකද...මෙයා ලොකු හපන්කමක් කරලනෙ ඉන්නෙ...

චිත්‍රා මට කෙල්ලො දෙන්නව හඳුන්වලා දුන්නා...

2004 දී සුනාමියට චිත්‍රලගෙ ලොකු මල්ලි පදිංචි වෙලා හිටපු මහගේයි බාලම මල්ලි මුහුද අයිනෙ හදල තිබුණු ගෙස්ට් හවුස් ඇන්ඩ් රෙස්ටුරන්ට් එකයි කෑල්ලක්වත් ඉතුරු නොවී හෝදලම ගියා...

මම චිත්‍රාට කණගාටුව ප්‍රකාශකළා...

ජීවිත බේරුණු එකම මදැයි...එහෙමවත් හිත හදාගන්න...

නූල් පොටක්වත් ඉතුරු නොවී සකල සේසතම ගහගෙන ගියාට පස්සෙ ජීවිත බේරිලා ඇති වැඩේ මොකක්ද...හිටියත් මළා වාගෙ තමයි...

බලාගෙන ගියාම ඒ කතාවත් ඇත්ත කියල හිතෙනවා...

දකුණු වෙරළ තීරයේ පදිංචිවෙලා හිටපු මගෙ අනිත් යාලුවා ඩැනිස්ට නං මූද අයිනෙම පදිංචිවෙලා හිටියත් සුනාමියෙන් කරදරයක් වුණේ නෑ...

ඩැනිස් රෙදිමෝලෙ වැඩට ආවෙ හැත්තැ ගණංවල මුල්හරියෙ...නැවතිලා හිටියෙ පොඩි මහින්දලගෙ ගෙදර ඉස්තෝප්පු කාමරේ...රෙදිමෝලට එන්න කලින් ඩැනිස් යුද්ධ හමුදාවට බැඳිලා හිටියෙ...ඒ හැට ගණංවල එතකොට දැන්වගේ හමුදාව බල්ලට ගිය කාලයක් නෙවෙයි...බොහොම නම්බුකාර ආයතනයක් හැටියටයි තිබුණෙ...හමුදාවට බඳවගනිද්දි හත්මුතු පරම්පරාවකම විස්තර සොයා බලනවා...ගෑවිච්චි තැනක එකෙක් හරි උසාවියෙන් වැරදිකාරයෙක් වෙලා තිබුණොත් හමුදාව පැත්ත පළාතට ගන්නෙ නෑ...පස්සෙ කාලෙක නං හොරුයි මංකොල්ල කාරයොයි හැම එකාම හමුදාවට බන්ද ගත්තනෙ...ඒ ගද්දි බැලුවෙ අතපය හතර පණ තියෙනවද කියල විතරයි...

ඩැනිස් හමුදාවෙ ඉද්දි දුර දිවීමේ ශූරයෙක්...රෙදි මෝලෙ ඉන්නකම්ම ඩැනිස් අවුරුදු උත්සවයෙ ගම හරහා දිවීම තරඟය දිනුවා...ඩැනිස් දිව්වා විතරක් නෙවෙයි ගමේ පොඩි අයටත් දුර දුවන්න පුහුණු කලා...ඒ දවස්වල එහෙම දුවල ධාවන ශූරයන් වෙච්චි ගමේ කොල්ලොන්ට පසුකාලීනව ක්‍රීඩා උපදේශක තනතුරු පවා ලැබුණා...

කොච්චර වැඩකාරය වුණත් ඩැනිස් බීපු වෙලාවට නං වනේ...නිකං වනේ නෙවෙයි සාල වනේ...

ඩැනිස් රෙදිමෝලෙන් අස්වෙලා ගියාට පස්සෙත් අපේ යාළුකම ඒ විදියටම පවත්වාගෙන ගියා...විශේෂයෙන් ඩැනිස් රෙදිමෝලෙ වැඩට එක්කරං ආපු මල්ලි නැල්සන් අපේ ගමෙන්ම පිළිවෙලක් වීම ඒකට වැඩියත්ම හේතුවුණා...

අසූව දසකයෙ මැද බාගෙ විතර අපි කළුවාමෝදර ඩැනිස්ලගෙ ගමේ ක්‍රීඩා සමාජයට ක්‍රිකට් තරඟයකට ආරාධනාවක් කළා...

ඒ දවස්වල දැන්වාගෙ අපේ ගමට පිට්ටනියක් තිබුණෙ නෑ අපි සෙල්ලං කලේ නාරංවත්තෙ පිට්ටනියෙ...

නියමිත දවසෙ කළුවාමෝදර ක්‍රිකට් කණ්ඩායම වෑන් එකක් පුරවල අපේ ගමට ආවා...

මැච් එක ගහල ඉවරවෙලා දුර යන්නත් තිබුණු නිසා අපි මේ අයට ලෑස්ති කරල තිබුණෙ එක ඉනිමක තරඟයක්...ඊට පස්සෙ දවල් කෑම සහ පිටත්වීම...

ඒ වුණාට ආපු ඔක්කොටොම සෙල්ලං කරන්න ඕනැය කියල ඉල්ලීමක් කරපු නිසා ඉනිම් දෙකම ක්‍රීඩා කරන්න ලෑස්ති කළා...පලවෙනි ඉනිමෙ ගහපු අයව දෙවෙනි එකේ අයින් කරල වෙන අයට අවස්ථාව ලබාදුන්නා... 
පළවෙනි ඉනිම සෙල්ලම් කරපු ඩැනිස් දෙවෙනි ඉනිම පුරාවටම තවත් යාළුවෙකුත් එක්ක ළඟ තිබුනු ගේක මිදුලෙ පුටුදෙකක් තියාගෙන හොඳට සප්පායම් වුණා...
 
ඉනිම් දෙකේ වැඩේ නිසා දවල් කෑම හොඳටම පරක්කුවුණා අන්තිමේදී තරඟය අපි දිනුවා...
 
ප්‍රමාදවෙලා දවල් ආහාරය ගත්ත කණ්ඩායම පිටත්වෙද්දි හොඳටම හැන්දෑවුනා...
 
ගමනෙ ඉතිරි කොටසෙ විස්තරය මට කිව්වෙ කණ්ඩායමත් එක්ක ගියපු නැල්සන්...
 
වෙරිමතේ හිටපු ඩැනිස්ගෙන් යනකන් කණ්ඩායමට බලු බැණුම්...ඩැනිස් බීලා බනින්න ගත්තම බනින්නෙ ආයෙ මූණ බලන්න නෙවෙයි...ක්‍රීඩා සමාජයත් ඉවරයි...කළුවාමෝදර ක්‍රිකටුත් ඉවරයි...
 
මග්ගොන හරියෙදි එකපාරටම ඩැනිස්ට බාප්ප කෙනෙක් බලන්න යන්න ඕනැවෙලා වෑන් එකත් හරවගෙන එහෙ ගිහින්...
 
බාප්පගෙ ගේ ළඟ වාහනේ නවත්තපුවම ඩැනිස් බාප්පට කතාකරනවා...
 
මගෙ බුදු බාප්පේ...
 
ඇයි මගෙ බුජු පුචේ...
 
බාප්පා උත්තර දෙනවා...
 
බුදු බාප්පේ...
 
මගෙ බුජු පුචේ...
 
මගෙ බුදු බාප්ප කොහෙද ඉන්නෙ බාප්පේ...
 
අනේ මගෙ බුජු පුචේ මට එළියට එන්න විදියක් නෑ මම හැංගිලා ඉන්නෙ...
 
බලපුවම පොර හොඳටම බීල ගිහිං එකෙක්ව කපල ඇවිත් හැංගිලා...
 
ඩැනිස්ගෙ පිස්සු කෙළි නිසා එදා කළුවාමෝදරට යද්දි පාන්දර ජාමෙ වුණාලු...
 
මම බඳිනකොටත් කලින්ම ගිහින් ඩැනිස්ට මඟුල් කිව්වා...අමතක වෙලා එහෙම පස්සෙ ආරංචි වුණොත් බලු බැනුම්නෙ...
 
ඩැනිස්ගෙ කෙළවරක් නැති බීම පසුකාලීනව ඔහුව හෘද රෝගියෙක් බවට පත්කළා...
ඒත් ඔහු බීමත් ඔහුගෙ ප්‍රියතම කෑමත් නැවැත්තුවෙ නෑ...
 
බීමත් එක්කම ඔහු කෑමට ඉල්ලන්නෙ හරක් මස් සහ දෙල්...ඔහුට අගුණම ආහාර...
 
2006 අවුරුද්දෙ ඩැනිස්ට දෙවෙනි වතාවටත් හැදුණු හෘදයාබාධය නිසා රෝහල් ගතකලා...
රෝහලෙන් ගෙදර එන්න හදපු දවසෙ හැදුනු හෘදයාබාධයෙන් ඩැනිස්ට ගොඩ ඒමක් වුණේ නෑ...
 
ඩැනිස් මියයද්දි මම ලංකාවෙ හිටියෙ නෑ...ඒ නිසා ඔහු මගේ හිතේ තාම ජීවමානයි...
                     
අන්තිමට මම කළුවාමෝදර ගියෙ 2011දී...ඒ නැල්සන්ගෙ තවත් සොහොයුරෙක්ගෙ මරණ ගෙදරක...
 

අපි එදා ඇවිදපු පොල් රුප්පාවන් ගහකොළ රන්වන් වෙරළ තීරය දැන් ගොඩක් වෙනස් වෙලා...ඒ කාලෙ චූටියල අපි රෑට වැල්ලෙ ගුල්වලින් ගොඩට එන කකුළුවො අල්ලපු හැටි වැල්ලෙදි මතක්වෙන්නෙ නිරායාසයෙන්මයි...අද චූටියත් නෑ ඩැනිසුත් නෑ...එදා හිටපු තරුණයන් අද වයසට ගිහිං...කාලය නොදැනිම අපේ දෙපා යටින් ගලා ගිහින්...