අපේ සිංහල සංස්කෘතියෙ තවත් ඉතා වැදගත් අංගයක් ගැනයි මම අද ලියන්න හදන්නෙ...
ඒ තමයි කිරි බාර හෙවත් කිරි දාන හෙවත් කිරිඅම්මලගෙ දාන...
මේ කිරිඅම්මාවරුන්ගෙ දාන ගැන මගෙ මතකය අවදි වුණේ හැලපි පහුගිය අවුරුද්දෙ මට එවපු පිංතූර පෙළක් දැකලයි.
ගොඩක් වෙලාවට ගෙදර යම් වැඩකදි හරි ලෙඩක් දුකකදි හරි අපේ අම්මල බාරයක් වෙන එක ඉතාම සාමාන්‍ය දෙයක්...ඒ විවිධාකාර බාරහාර අතරින් එක බාරයක් තමා කිරි අම්මාවරුන්ගෙ දානයක් දෙන එක...
අද කාලෙ දෙන කිරි අම්මාවරුන්ගෙ දානවලයි මීට අවුරුදු හතළිහකට හතළිස්පහකට විතර ඉස්සර දීපු කිරි දාන වලයි අතර මොනතරම් වෙනසක් තියන්වද කියල මට නිකමට හිතුණා...ඒ නිසාමයි මම මේ කතාව ලියන්න ගත්තෙ...කිරිඅම්මාවරුන්ගෙ දාන ගැන ඔයගොල්ලන්ටත් තියෙන අත්දැකීම් ආයෙම ඒ ඒ පළාත්වල කිරි බාර දෙන විධි ක්‍රම ගැන කියනව නම් මම එය ඉතාම වැදගත් කොට සළකනවා...
ගෙදරක කිරි බාරයක් ඔප්පු කරන්න තියෙනකොට ඒ ගෙදර තෙල් වළං ලිපේ තියන්නෙ නෑ,කිරිබත් කෑලි කපන්නෙ නෑ ආදී වශයෙන් තහංචි පැනවෙනවා...කිරිබාරය ඔප්පු කරන්න කැවිලි හදන්න තමයි ආපහු තෙල් තාච්චි ලිපේ තියන්නෙ...
මේ කිරිබාර දෙන චාරිත්‍ර එක එක පළාත්වල එක එක විදියයි...ඒ නිසා සියළු දෙනාම එකඟ වෙන නිශ්චිත ක්‍රමවේදයක් නෑ...මම කියන්නෙ බස්නාහිර පළාතෙ සියනෑ කෝරළේ මැද පත්තුවෙ පිහිටලා තියෙන මටනං ස්වර්ගය හා සමාන අපේ ගමේ කිරිඅම්මලගෙ බාර ඔප්පු කිරීමේදී කළ චාරිත්‍ර...
මම මේ කතාව ලියන ගමන් හැලපි එක්කත් සුහද සාකච්ඡාවක් කළා...බලපුවාම හාපිටිගම් කෝරළේ තියෙන හැලපිලගෙ ගෙදර කරපු කිරි බාර චාරිත්‍රවල යම් යම් වෙනස්කම් දකින්න පුළුවනි...
බාරෙ දෙන්නට ප්‍රමාණවත් කෙසෙල් කැනක් වත්තෙ නැත්නම් කැනක් හොයාගෙන ඇවිත් දුං ගහල ඉදව ගන්නව...අම්මා අලුත් කැකුළු හාල්වලින් පිටි වනක් කොටල පැත්තකින් තියනවා...
සාමාන්‍යයෙන් කිරි බාර දෙන්නෙ සෙනසුරාද හරි ඉරිදා හරි...මේ දවසුත් පළාත් අනුව වෙනස් වෙන්න පුළුවනි...
බාරෙ දෙන්න කලින් දවසෙ අම්මා ගමේ ගෙවල් ගානෙ ගිහිං කිරිඅම්මලා හත්දෙනෙකුට ආරාධනා කරල එනව...ඒ ඇවිත් තමයි දානෙට සෑහෙන්න අතිරස හදන්නෙ...මහ පාන්දර දෙකට තුනට නැගිටල කිරිබත් උයල කෑලි කපා ගන්නව...බාරෙට දෙන්න හදන කිරිබත් කෑල්ලක් ගඩොල් කැටයක් තරම් ලොකුවටයි හදන්නෙ...
බාරෙ දවසෙ පාන් කළුවෙන් ඒ කියන්නෙ බිමට එළිය වැටෙන්න ඉස්සර සුදු ඇඳගෙන තවත් සුදු වස්ත්‍රයක් පොරවගත්තු කිරිඅම්මල හත්දෙනා අපේ ගේ මිදුලට එකතුවෙනවා...
ඉස්තොප්පුවෙ තියල තියෙන වතුර බේසමෙන් දෙහි බෑයක් අරං ඔලුවෙ ගාගෙන තමා කිරිඅම්මල ගෙට ඇතුල්වෙන්නෙ...
පේළියට බිම වාඩිවෙලා ඉන්න කිරිඅම්මලට කිරිබත්, කැවුම්,කෙසෙල්ගෙඩි හත බැගින් බෙදාගෙන යනවා...ඒ බෙදිල්ලෙත් ක්‍රමයක් තියෙනවා...මං හිතන්නෙ කැවිලි හත බෙදන්නෙ තුනයි දෙකයි දෙකයි වශයෙන්...ඒ කියන්නෙ ඉස්සෙල්ල තුනයි ඊළඟට දෙකයි ආයෙමත් දෙකයි හැටියට...
බුද්ධ පූජාව තියල පන්සිල් අරගෙන ගථා කියන කිරිඅම්මාවරුන් ඔවුන්ට විශේෂිත කවි මාලය ගායනා කරන්නෙ ළයාන්විත හඬින්...
ඊළඟට පිළිගන්නපු කැවිළිවලින් බොහොම සුළු ප්‍රමාණයක් අනුභව කරල තේ හරි කෝපි කෝප්පයක් හරි පානය කරනවා...
ඊළඟට එක්කෙනා එක බැගින් දැල්වෙන පහන් තිර අතට අරගෙන ඒ පහන් තිරය හිසේ තියල ගෙදර සෑම සියලු දෙනාටම සෙත් පැතුවට පස්සෙ කැවිළි ටිකත් රෙදිකඩේ ඔතාගෙන ගෙදරින් පිටවෙන ගමන් අතේ තියෙන පහන් තිරය එළියෙ තියල තිබුණු වතුර බේසමට දානවා...
එහෙම තමා ඒ දවස්වල කිරිබාර ඔප්පු කළේ...ගොඩාක් ඉස්සර අපේ ගෙදර දීපු කිරි බාරයක් මට ඊයෙ දුන්නා වගේ මතකයෙ තියෙනවා...ඒක මතකය තමයි මම ඉහළින් ලිව්වෙ...
ඒ කාලෙ අපි හිටියෙ කුලී ගෙදරක...මොකද අපේ මහගේ කඩල ඒ දවස්වල අලුතෙන් ගෙයක් හදන නිසා...ඔය ගේ තිබ්බෙ අලවත්ත පාරෙ පල්ලමේ වංගුවට මූණදාලයි...
ඒ කාලෙ වෙළෙන් එහා මෙහා ගම යාකරන පාර දාල තිබ්බෙ නෑ...අපි හිටපු ගෙට පහළින් ඇළට උඩින් සිමෙන්ති පාළමක් විතරක් දාලා තිබුණා...ගමේම උදවිය එගොඩහ මෙගොඩහ යන්නෙ අපේ ගේ ඉස්සරහින් තමා...
අපි කොල්ලො කට්ටිය ඒ කාලෙ ඔය ඇළේ මාලු වලවල් ඉහිනවා...වතුර අඩු කාලෙට ඇළේ වලක් ගාව වැටියක් දාලා වතුර ඉහල වලේ දඟලන මාලු ටික අල්ල ගන්නව...ඔය විදියට ඇළේ උඩහට හරි පහළට හරි යමින් වලවල් කීපයක් ඉස්සහම ලොකු බාල්දියකින් එකක් විතර මාලු අල්ලගන්න පුළුවනි...
හැබැයි මම වෙල් මාලු කන්න එච්චර ප්‍රියක් නෑ...ගෙදර ගෙනියන්නෙත් නෑ...ගෙදර ගෙනිච්චොත් නං ඉතිං ඉඳල ඕනැ නෑ අම්මගෙන් බලු බැණුං...මාලු වලටම පැනල මැරෙන එක ඊට සැපයි...මාලු අල්ලන එක තමා මට තියෙන ජොලිය.
ඔන්න දවසක්දා අපිත් එක්ක කෝච්චියෙ යන ජයන්ත ඒ ගොල්ලන්ගෙ වෙලේ මාලු අල්ලන්න එන්න කියල මට කිව්වා...ඒ දවස්වල හැලපිට පුතා හම්බවෙන්න හිටියෙ...මාලු අල්ලන කතාවක් කියන්නෙ නැතුව ජයන්තලගෙ ගෙදර යනව කියල මම පිටත් වුණා...
මම යනකොට ජයන්ත බෙම්මුල්ලෙ ස්ටේෂන් එකේ සයිකලෙත් තියාගෙන ඉන්නවා මම එනතුරු...ගෙදර ගිහිං උදේට කාල එහෙම ඇඳුම් මාරු කරගෙන ජයන්තලගෙ ගෙට පහළින් තිබ්බ පුරං වෙච්චි වෙල්යායට බැස්සා...අවුරුදු ගණනාවකින් අස්වද්දල නැතිව කැලෑවැහුණු ඒ වෙල්යාය හරිම සුන්දරයි...දණක් වතුර මාලු පිරිලා...
අමුඩයක් ගහගෙන අපිත් එක්ක ආපු ජයන්තලගෙ තාත්තා මාලු ඇල්ලීමේ විශේෂඥයෙක්...තාත්තා කලින් දවසෙ අටවල තිබ්බ උගුලකට පත ලූලෙක් අහුවෙලා හිටියා...
මාලු අල්ලන අපට ගමේ තව කීප දෙනෙකුත් එකතු උනා...හවස් වෙනතුරුම වෙල්යායෙ මාලු අල්ලල ගොඩට ඇවිත් ජයන්තලගෙ ගෙදරින් දවල්ට බතුත් කාල අර ලූලයි, බට්ටොයි තව විවිධ ජාතිවල මාලුයි අරගෙන මම හවස ගෙදර ආවා...
බුදු සන්තෝ...එදා අහගත්තු බැණුං වරුසාව...අපේ අම්ම තමයි පටං ගත්තෙ...
සත්තු මරනවද යකෝ ළමයි හම්බවෙන්න ඉද්දි...
ආදී වශයෙන් පටන් අරං කියෝනව කියෝනව පැය බාගෙකට වැඩියි...හැලපි වෙල් මාලු කන්න කැමතියි ඒ වුණාට අම්ම පරල වෙලා කෑ ගහද්දි මොකුත් කරන්න බෑනෙ...
මට ඕනැ නෑ මාලු...කියල කටත් ඇදකරගෙන පැත්තකට උනා...
අපේ මල්ලිගෙ පවුල මාලු ටික අරගෙන හොඳට තුනපහේ දාල ඉව්ව මොකුත් නෑ ගෑවුණු තැන කන්න පුලුවනි...අපරාදෙ කියන්න බෑ එක මාලු කූරියෙක්වත් අහක ගියෙ නෑ...
(ජයන්තලගෙ ගෙවල් ළඟ වෙල්යායෙ මාලු අල්ලපු හැටිත් හරිම ලස්සන කතාවක්...ඒ කතාව වෙනම දවසක ලියන්නං)
අපේ ගෙවල් ළඟ ඇළේ අපි මාලු අල්ලද්දි වැඩිපුරම අහුවෙන්නෙ මගුරො,අංකුට්ටො,කාවයියො,හුංගො වාගෙ මාලු...ඉඳල හිටල ලූල් පැටියෙක් අහුවුණාට ලූල්ලු, ආඳො වාගෙ මාලු අහුවෙන්නෙ නෑ...මඩකරි හෙවත් මඩ කණයි නං ඕසෙට අහුවෙනවා...ඒ උනාට කට්ටිය මඩකණයින්ට මනාප නෑ...ආපහු වතුරටම දානවා...
ඉහපු වලේ මාලු ටික අල්ලගෙන ඇළඉවුරෙ තියෙන තණකොළ බිස්ස හිමිහිට උස්සපුවාම තවත් මාලු මහ රාසියක් ඇළ ඉවුරෙ ඉන්නව හරියට සැමන් ටින් එකක මාලු අඩුක් කරල තියෙනව වගේ...වැඩිපුරම ඉන්නෙ හුංගො...බොහොම පරිස්සමින් අල්ලගන්න ඕනැ...විද්දොත් එහෙම පුදුම වේදනාවක්...
ඔන්න සැරයක් අපේ කුඹුරෙ ගොයං කපල පාගනව...කොල්ලො කණ්ඩායමම උදව්වට ඇවිත් හිටියා...අපි කොළදින් කෙරුවෙ කනත්ත ළඟ පොඩීලගෙ කමතෙ...හරියටම එදාම මිනිස්සු කට්ටියක් මහපාරෙ බාප්පලගෙ ගෙවල් ළඟ පාලම යට බෝක්කුව ඉහලා මාලු අල්ලං ගිහිං...කොල්ලන්ට මේ කතාව ආරංචිවෙලා බෝක්කුවෙ ඉතුරු මාලු ටික අල්ලගන්න කියල දුවල ගියා...
පෑගිල්ල ඉවරවෙලා බැත හුළං කරන්න විතරයි තිබුණෙ...ඒ හින්දා මමත් කොල්ලන්ට මොකුත් කිව්වෙ නෑ...ඔහෙ ගිහිල්ල එන්නැතෑ කියල කමතට වෙලා ඉඳං හිටියා...
ඔන්න ටිකකින් කුමාර නියර දිගේ වේගෙන් එනව මට පේනවා...මේකා එන විදියයි එන වේගෙයි අසාමාන්‍ය කමක් දැක්ක නිසා මම ටිකක් විමසිලිමත් වුණා...මගෙ දිහා නොබලාම...
අයියෙ මම යනව...
කියාගෙන තවත් වේගෙන් නියර දිගේ යන්න ගියා...උගෙ කටහඬෙත් තරමක වියරු ගතියක් තිබුණද කියලත් මට හිතුණා...
තවත් ටික වෙලාවකින් කුමාරට සනීප නැතුව බේත් කරනව කියල කමතෙ හිටපු අපිට ආරංචි වුණා...කමතෙ වැඩ ටික ඉක්මනට ඉවර කරපු අපි කුමාර බලන්න ගෙදරට ගියා...
ගෙදර මිදුලෙ බූරු ඇඳක ලෙඩාව නිදිකරවලා...ඇඳ යට බේත් මුට්ටියක් කට කලු හබරල කොළේකින් බැඳල...කොළේ සිදුරු කරල ලෙඩාට හුමාලෙ වදින්න...
ලාල්ලගෙ තාත්තා මතුරනවා...
සිද්දවෙච්චි දේ පස්සෙයි ආරංචි වුණේ...
කමතෙ ඉඳල ගියපු කුමාර කෙලින්ම බෝක්කුවට බැහැලා...ඉණක් විතර මඩවතුර තිබිල තියෙනවා...ඔය වතුරෙ මඩ මිරික මිරිකා මාලු හොයපු කුමාරට වලේ ඉතුරුවෙලා හිටපු හුංගො ටික හොඳට සලකලා...ඇනල තියෙන්නෙ ඉණෙන් පහළ ප්‍රදේශයට...විශේෂයෙන් ඔලුවට එහෙම හොඳ සීරුවට ඇනලා...
වේදනාව ඉවසගන්න බැරිතැන කුමාර නියර දිගේ ගෙදරට දුවගෙන ගිහිල්ලා...ඒත් ඉන්න බැරුව අපේ නාන ළිඳට ඇවිත් නාන්න...එතන සිහිනැතුව වැටිල ඉන්නව නාන්න ආපු චන්දරේ දැකලා තමා උස්සගෙන ගෙදරට ගිහිල්ල තියෙන්නෙ...
වේදනාව ඉවසගන්න බැරිතැන කුමාර නියර දිගේ ගෙදරට දුවගෙන ගිහිල්ලා...ඒත් ඉන්න බැරුව අපේ නාන ළිඳට ඇවිත් නාන්න...එතන සිහිනැතුව වැටිල ඉන්නව නාන්න ආපු චන්දරේ දැකලා තමා උස්සගෙන ගෙදරට ගිහිල්ල තියෙන්නෙ...
එතන ඉඳන් ගමේ විෂ වෙදා වෙච්චි ලාල්ලගෙ තාත්ත ඇවිත් බේත් කරල තියෙන්නෙ...
ඔය කේස් එක නිසා පස්සෙ කාලෙක සෘජු වීමේ ප්‍රශ්නයක් පැන නැගිල කියල කුමාරමයි කිය කිය ඇවිද්දෙ...
එහෙම දෙයක් වුණාදවත් කියල මටනං සැකයි පස්සෙ කාලෙකදි මූ ගෑණුන්ට එළෝ එළෝ නෙලපු හැටියට...තාම එහෙමයි බැන්දෙත් නෑ වන වනා ඉන්නව...
ඔන්න ආයෙමත් ඉන්දියාවෙ ඉඳල අපි ගෙදර ආපු අලුත කොල්ලො ටික වලක් ඉහිනව කියල ආරංචි වෙලා මමත් ගියා...දැන් අපි වලවල් දෙකතුනක් ඉහලා ඇළේ උඩහ පෝටවත්තෙ පල්ලෙහා හරියෙ වලක් ඉහිනවා...ටිකකිං අපේ පෝටවත්තෙ නැන්දා ඇඳන් හිටපු කිමෝනාවත් පැත්තකින් උස්සගෙන නියර දිගේ දුව දුවගෙන එනව මම දැක්කා...
පුතේ...බුදු අම්මේ ඔය මොකද කරන්නෙ...චී චී යන්න ගෙදර...යන්න ගෙදර...
ඇයි නැන්දෙ...
ඇයි තමයි...ලැජ්ජ නැද්ද... මෙන්න මෙහෙට එන්ඩ...
නැන්දගෙන් බේරෙන්නම බැරි තැන මම මග ඇරල ගියා...නැන්ද හිතන්න ඇති මම පිටරට ඉඳල ආපු ගමන් ඇළේ තිත්තයො මිරිකන එක ලැජ්ජාවක් කියලා...ඒ ගොල්ලො එහෙමනෙ...මමනෙ දන්නෙ ඒ වැඩවල තියෙන සනීපෙ...
බුදු අම්මෝ...මම කිරි අම්මල ටික ගෙදර තියල මාලු අල්ලන්න ගියා නේද...එහෙනං කිරිඅම්මලගෙ බාරෙ දීලම ඉම්මු...
ඉස්සර කාලෙ කිරිබාර දීපු විදිහ මම කිව්වනෙ...දැන් කියන්න තියෙන්නෙ මේ කාලෙ කිරිබාර ඔප්පු කරන විදිය...
අපි බෙල්ජියමෙ ඉඳල ගෙදර ආපු දවස්වල කිරිඅම්මාවරුන්ගෙ දානයක් දුන්නා...ඒ දානෙට අපි හැදුවෙ කිරිබත්,අතිරස,කෙසෙල්ගෙඩි සහ කිරිකෑලි හෙවත් කිරියා...ඒ බාරෙ දෙන්න එද්දි කිරිඅම්මල පත්තිනි දේවියගෙ රූපයකුත් ගෙනත් පුද පූජා පැවැත්තුවා...
මේ මෑත කාලෙක ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ හැලපි මෙහෙ එන්න කලින් කිරිඅම්මලගෙ දානයක් දීලා තිබුණා...
අනේ අම්මේ...කිරිබාර මොඩ්වෙලා තියෙන තරමක්...
ඉස්සර වාගෙ අපට ඕනැ අයට ආරාධනා කරන්න බෑ...කිරිබාරෙට මූලික වෙන කිරිඅම්මා ළඟට ගියාම අහවල් අහවල් අයට ආරාධනා කරන්න කියල එයා කියනවා...
ඊට පස්සෙ කිරිඅම්මලගෙ බාරෙට කැවුම් කිරිබත් එක්ක කැවිලි ජාති හත බැගින් තියන්න ඕනැ...පඬුරු තියන්න ඕනැ...බාරෙ ඔප්පු කරල යද්දි තෑගි දෙන්න ඕනෑ...
ඔය ඔක්කොම හැලපි මට කතාකරල කිව්වා...
මම නං ඔහොම කිරිබාර දෙනව කවදාවත් දැකල නෑ...අපි දන්න ඉස්සර කරපු විදියටම දෙන්න...
එහෙම බෑනෙ අනේ...දැන් කවුරුත් ඔය විදියටනෙ කරන්නෙ...අපිටත් එහෙම කරන්න වෙනවා...
අනේ කාලේ වනේ වාසේ කිව්වලු...දෙන්න බැරිකමකට පෙරේතකමකට නෙවෙයි...තමන්ගෙ වාසියට එහෙම නීති හදාගන්න එක හරි නෑ...කැතයි...කිරිඅම්මා කියන උතුම් නමට කැළලක්...
දැන් කිරිඅම්මලට ට්‍රාන්ස්පෝට් දෙන්නත් ඕනැ...හත්දෙනා ගේ මිදුලෙ එකතුවෙලා පැය කාලක් විතර කවි කියනව ගෙට ඇතුල්වෙන්න කලින්...
ගෙට එන්නයි හදන්නෙ කියල...
ලාල්ලගෙ අම්මා තමයි කිරිඅම්මාවරුන්ගෙ මූලිකයා...මම හිටිය නං කවි ටික රෙකෝඩ් කරගන්නත් තිබුණා...
ලාල්ලගෙ අම්මා තමයි කිරිඅම්මාවරුන්ගෙ මූලිකයා...මම හිටිය නං කවි ටික රෙකෝඩ් කරගන්නත් තිබුණා...
දෙහි ගාගෙන ගෙට ඇතුල්වෙන්නෙ ගෙයින් එළියෙ තියල තියෙන කිරි බාජනයකුත් අරං...ඒ කිරි අන්තිමේදි ගෙයි හැමතැනමත් ගේ වටෙත් ඉහිනවා...
හැබැයි ඉතිං වැඩත් වැඩියි...කිරි උතුරෝල පත්තිනි අම්මගෙ පින්තූරෙට පූජා වට්ටියක් තියල නොයෙක් තාන්තුවා කරනවා.
හැබැයි ඉතිං වැඩත් වැඩියි...කිරි උතුරෝල පත්තිනි අම්මගෙ පින්තූරෙට පූජා වට්ටියක් තියල නොයෙක් තාන්තුවා කරනවා.
ඒ බාරෙ පින්තූර ටික තියනවනෙ...ලියනවට වඩා හොඳයි කට්ටිය බලලම පැහැදිලි කරගන්න එක.