අද මම ලියන්නෙ ලියන්න බලාපොරොත්තුවකින් හිටපු කතාවක් නෙවෙයි....මොකද ඉවුම් පිහුම් ගැන කියල දෙන්න බ්ලොග් අවකාශයේ දැන් චෙප්ල කීපදෙනෙක්ම ඉන්නවනෙ....ඒ ඉන්න ටික ඇති මොකද අර කතාවකුත් තියෙනවනෙ කෝකියො වැඩිවුණහම හොද්ද සවුත්තු වෙනව කියල.
මම මේක ලියන්නෙ නම් බ්ලොග්කරුවන්ට ඉවුම් පිහුම් කියල දෙන්න නෙවෙයි,අපේ කීපදෙනෙකුගෙ අහිංසක ඉල්ලීමක් ඉෂ්ට කරන්නයි....ඒ වගේ ඉල්ලීමක් කරපුවාම අපි දන්න අය හැටියට, අනේ...උඹයි මායි හදන වඩේ කියල ලොකු ඔලුව දාගෙන ඉන්නෙ නැතුව දන්න දේ දන්න විදියට කියල දෙන්න එපායැ....අපිත් දන්නෙ කොච්චර පොඩ්ඩද.
අපේ අවුරුදු කෑම මේසයේ උළුඳු වඩේ තියෙනව දැකපු වෙනීටත් පොඩ්ඩිටත් ප්‍රශ්නයක් ඇතිවෙලා තිබුණා උළුඳු වඩයේ මැද තියෙන හිල කොහොමද හදාගන්නෙ කියල....පින්තූර සහිත උළුඳු වඩේ සාදාගන්නා ආකාරය ලියන්න බලාපොරොත්තුවක් තිබුණෙ නැතත් ප්රසන්නත් කියල තිබුණා ඔන්න ඔහෙ ඒකත් ලියල දාමු අයියෙ...කියලා.
ඒ දෙතුන් දෙනාගෙත් මේ ප්‍රශ්නයම හිතට ආව නමුත් ඇහුවෙ නැති තවත් සියගණනකගෙත් හිතසුව පිණිස පින්තූරද සහිත උළුඳු වඩයේ හිල පාදා ගැනීමේ කතා වස්තුව ලියන්නට කල්පනා කලා.
මේ මම ලියන දිගම මාතෘකාවක් ඇති කතාව....මාතෘකාව හදාගන්න මට උපකාරී වුණේ මම කුඩාකාලෙ දැකල තිබ්බ සිතුවම් සහිත ස්ත්‍රී චිකිත්සාවලිය....ඔය පොත අපේ ගෙදර තිබිල මම පෙරලල බලල තියෙනව....එතකොට මම පොඩි එකා ..පින්තූර බැලුවට ඒකෙ තිබුණු කිසිම දෙයක් මට තේරුණේ නෑ....පස්සෙ කාලෙක ඒ පොත හොයන කොට ගෙදර තිබුණෙ නෑ....තිබුණ නම් මහඟු ප්‍රයෝජන ලබාගන්න පුළුවන්කම ඇතිවෙනවා.
අපි එග්මෝර් වල පදිංචි වෙලා හිටපු කාලෙ අපේ ගේ තිබුනු හරස් පාරෙන් ඇවිත් ප්‍රධාන පාරට හැරෙන හන්දියෙ තිබුණා කඩයක්....හැමදාම හන්දෑවෙ හතරට ඔය කඩේ උළුඳු වඩේ බදිනව.... බොහොම රසයි පුළුන් වගේ....හවස වැඩ ඇරිල එන ගමන් ඔය කඩේ ළඟින් බැහැල වඩේ හතරක් පහක් අරගෙන ගෙදර යන පුරුද්දක් මටත් ඇතිවුණා.
සමහර දවසක මම කඩේට යනකොට වඩේ හදල නැහැ....ටිකක් වෙලා හිටපුවාම වඩේ බාස් උඳු මිශ්‍රණය පුරෝපු විශාල කල්දේරමකුත් අරගෙන ඇවිත් තෙල් තාච්චිය ළඟ වාඩිවෙනව....ඒ තෙල් තාච්චියත් එසේ මෙසේ එකක් නෙවෙයි....අර පොඩිඋන් නාවන ප්ලාස්ටික් බේසමක් තරම් යකඩ තාච්චියක්....දියාරු මිශ්‍රණයෙන් ටිකක් වතුර එකක ඔබපු අතට ගන්න බාස් ඒක අතේ එහෙට මෙහෙට දෙතුන් සැරයක් හැඩ ගහල මැදට මාපටඇඟිල්ල ගහල උණුතෙල් තාච්චියට දාන්නෙ ට්‍රිෂ් ගාලා....සැරේකට ඒ වාගෙ වඩේ විසිපහක් තිහක්වත් බැදෙන්න දාලා මිටක් ගහපු ලොකු යකඩ කිරිගොට්ටකින් තෙල් බේරල ගොඩට ගන්නව....හැම වඩයක්ම එක සයිස් එකම බර එකම විදිහෙ හිල....ඉතින් මේ වැඩේ බලන්න ලස්සනයි....මට නම් වඩේ බදින හැටි බලාගෙන ඉඳීම හරිම ආස්වාදජනකයි....මොකද ඉවුම් පිහුම් කියන්නෙ මගෙත් එක විනෝදාංශයක් නිසා අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබෙනව නම් හරි වැදගත්නෙ.
හැමදාම ඔය විදියට බැදපුවඩේ කඩෙන් අරන් යනකොට මට හිතුනා බැරිද මටත් වඩේ හදන්න කියල.
ඔහොම හිතල දවසක හවස උඳු ටිකක් වතුරෙ දාල රැයක් පොඟවගෙන පහුවදා උදේ ගොඩතියල වතුර බේරෙන්න ඇරල ග්‍රයින්ඩරෙන් අඹරගත්තා....අඹරල භාජනයකට දාලා රෙදි කෑල්ලකින් වහල හවස් වෙනකල් පිපෙන්න තිබ්බ....පිපුම් කාරක මොකුත් දාන්නෙ නෑ හරිද...නිකම්ම පිපෙනව....හවස් වෙද්දි හොඳට පිපුණු මිශ්‍රණයට රතුළූණු අමුමිරිස්,කපල දාල කරපිංචයි ගම්මිරිස් ඇට ටිකකුත් රස අනුව ලුණුත් මිශ්‍ර කරල තෙල් තාච්චියකුත් රත්කරගෙන වැඩේ පටන්ගත්තා.
මුලදි නං බදිනකොට වඩේ එක වැඩුවෙ හෙවත් නිර්මාණය කලේ හැලපි....අත තෙත් කරගෙන මිශ්‍රණය ගුලියක් පැතලි කරල අනික් අතේ ඇඟිල්ලක් ගහල තමයි ඇය හිල හැදුවෙ.
පස්සෙදි මම කල්පනා කලා මෙහෙම හරියන්නෙ නෑ කඩේ හිටපු බාස් වගේ තනියම හදන්න ඉගෙනගන්න ඕනැ කියල එක අතකින් වඩය හදල තාච්චියට දාන ගමන් අනික් අතින් හැන්දක් අරන් බැදල ගන්න ඉක්මනටම ඉගෙන ගත්ත....එතකොට මම වඩේ හදද්දි හැලපිට වඩේ කන්න සම්බෝලෙ හැදියැහැකිනෙ.
ඉන්දියාවෙදි අපි හදපු වඩේවලට එච්චර තැනක් තිබුණෙ නෑ මොකද ආගිය අතේ හොඳම ප්‍රොපෙෂනල් උළුඳු වඩ ගන්න තියෙන නිසා....
නමුත් පස්සෙ කාලෙක ලංකාවට ආපුවාම අපි හදපු උළුඳු වඩේ හරිම ජනප්‍රිය වුණා.
මුලදි වඩේ මිශ්‍රණය තරමක ගණකමට හදාගත්තට කමක් නෑ වඩේ එක නිර්මාණය කරගන්න ටිකක් වෙලා යන හින්දා....නමුත් පස්සෙදි වඩේ හැදීමේ ප්රවීනත්වය ලබනකොට මිශ්‍රණය තරමක දියාරුවට හදාගන්න මතක තියාගන්න....දියාරු මිශ්‍රණය හැඩගහන්න ලේසියි නම්‍යශීලියි හොඳට පිපෙනව.
ඉතිං දැන් බලමු උළුඳු වඩේ සාදාගන්නා ආකාරය....මම ප්‍රදර්ශනය කරද්දී මගෙන් බැණුම් අහ අහ පින්තූර ගත්තු හැලපිට මගේ ස්තූතිය හිමිවෙනව.
මම නම් උඳු මිශ්‍රණය හදාගන්නෙ මේ වාගෙ යාන්ත්‍රික ගලක අඹරල....ඔයාලට ග්‍රයින්ඩරේ අඹරගන්න පුලුවනි.
වතුර බේරගත්තු උඳු ග්‍රයින්ඩරේට දාද්දි වතුර ස්වල්පයකුත් මිශ්‍ර කරන්න....නැතිනම් උඳු හරියට ඇඹරෙන්නෙ නැතිවෙයි.
උඳු අඹරනවිට කුඩා ඉඟුරු කෑල්ලකුත් එකතු කරගන්න,එය බඩේ අමාරුවලින් වැලකීමට උපකාරී වෙනවා.
වතුර බේරගත්තු උඳු ග්‍රයින්ඩරේට දාද්දි වතුර ස්වල්පයකුත් මිශ්‍ර කරන්න....නැතිනම් උඳු හරියට ඇඹරෙන්නෙ නැතිවෙයි.
උඳු අඹරනවිට කුඩා ඉඟුරු කෑල්ලකුත් එකතු කරගන්න,එය බඩේ අමාරුවලින් වැලකීමට උපකාරී වෙනවා.
අත හොඳින් තෙමාගෙන තෙත අතින් මිශ්‍රණය ගුලිකර ගන්න.
ගුලිය පසාරුවෙන්න මාපට ඇඟිල්ල රිංගවන්න.
මේ ආකාරයට වඩය නිර්මාණය කරගන්න.
හදාගත්තු වඩය ප්‍රවේශමෙන් පැහෙන තෙලට දමන්න.මේ හැම අවස්ථාවකදීම අත තෙත්ව තිබීම වැදගත්....නැතිනම් වඩය අතේ ඇලිල තෙල්වලට ඇඟිලි පිච්චෙන්න පුළුවනි.
රන්වන් පාට වෙනතුරු බැදගන්න....ලස්සනයි නේද.
වඩේ සමග කන්නට අමු සම්බලයක් මේ ආකාරයට පිළියෙල කරගන්න.
පොල්,අමුමිරිස්,රතුළූණු,ලුණු,සුදුළූණු බිකක් අරගෙන සියල්ල එකට කලවම් කර ග්‍රයින්ඩරයේ අඹරාගන්න....අඹරනවිට වතුර ස්වල්පයකුත් මිශ්‍ර කරන්න.
සුලු වැඩක් නිසා පින්තූර අවශ්‍ය නෑ නොවැ.
වෙනී,පොඩ්ඩි සහ උනන්දුවක් දක්වන සියලු දෙනාම ඔන්න ඔය අකාරයට හිල සහිත උළුඳු වඩය සාදාගන්න.
ලංකාවට ආපුවාම වෙනී හදන වඩයේ රස බලන්න මම එන්නම්....පොඩ්ඩි වඩේ හදපුවාම මට තැපෑලෙන්වත් එවන්න.