Sunday, December 29, 2013

109.දේවාලෙ කැලේ වෙල මැද අම්බලම සහ තවත් කතා



අපි ගතින් 21 වෙනි සියවසේ ජීවත්වුණත් සිතින් ජීවත් වෙන්නෙ අතීතයෙද කියල මට නිකමට වගේ හිතුණා...මොකද නොස්ටැල්ජික් හෙවත් අතීතකාමය අපි කාටත් අඩු වැඩි වශයෙන් තියෙන බව නොයෙකුත් අවස්ථාවන්හිදී අපට තේරුම්යන නිසා...

වැඩියෙ ඕනැ නෑ දැන් ඔය අපි බොහොම උජාරුවෙන් කරන මස් පළහා කෑම හෙවත් බාබකිව් කියන ක්‍රමයත් ඈතම අතීතෙ අපේ ආදිතම මුතුන් මිත්තන්ගෙ ආහාර ක්‍රම වර්තමානයට නැවත රැගෙන ඒමක් නොවැ...බාබකිව් එකක් කරද්දී අපිනං ඔහොම හිතන්නෙ නෑ බොහොම ආඩම්බරෙන් සමහර වෙලාවට බාබකිව් එක කරන්න සෑහෙන කැලේකුත් හොයාගන්නව...කිව්වහම මොකද මාත් මේ ලඟදි කැලේ පැත්තක ගිහිං කරපු බාබකිව් එකකට සහබාගි උනා  මම නං ඉතිං කොහොමත් ඔය අතීත කාමෙ වැඩිපුර ඉහට ගහපු එකෙක්නෙ, මහ මන්දිර වලට වඩා කැලේට කොළේට පොල්ලතු වහපු මැටි ගෙදරට බොහොම කැමතියි...

මම ඔය විස්තරේ කිව්වේ අද උදේ පත්තරේ කියවනකොට පත්තරේ තිබ්බ පින්තූර දෙකක් එක්ක මම හිතින් බොහොම ඈත අතීතයකට ගියා...කාලෙකින් නොදැකපු නෑදෑයෙක් දැක්ක වගේ මට හිතුණා කලිනුත් පෝස්ට් එකක  ලීව වගේ  මම පොඩි කාලෙ අපේ අම්මලගෙ ගමේ ගිහිං කාලයක් හිටියනෙ එතකොට නැවතිලා හිටියෙ අපේ ලොකු අම්මලගෙ ගෙදර, ලොකු අම්ම කිව්වේ අපේ අම්මගේ අක්ක, බැඳලා හිටියෙ බෝතලේ ප්‍රසිද්ධ කපු පරම්පරාවක මද්දුමය, ඒ මහප්පගෙ නම පුංචිබණ්ඩාර...ගෙදර මහප්ප කියලයි අපි කිව්වෙ.

ඒ ගොල්ල පරම්පරාගත කපුවො, මහප්පලගෙ ගෙවල් ලඟම තිබ්බ පොඩි කැලේට අපි කිව්වෙ දේවාලෙ කැලේ කියලයි, ඒ කැලේ පොඩි පත්තිනි දේවාලයක් තිබුණා...දේවාලෙ නං බොහොම පොඩි කිසිම ලකයක් නැති දියසෙවෙල බැඳුනු පරණ දේවාලයක්, ඒ වුනාට මොකද දන්න කියන කිසිම කෙනෙක් ඔය දේවාලෙටවත් කැලේ තියෙන අවුරුදු සිය ගානක් පරණ රූස්ස ගස් වැල් වලටවත් අතක් තියන්නෙ නෑ...සැරයක් මම ආසාවට කියල ගෙයි මිදුලෙ හිටෝගන්න වේවැල් පැළයක් ඔය කැලෙන් ගලෝගන යන්න හැදුව, වේවැල් පැළ ඕසෙට තිබුනත් මට පැළයක් ගලෝගන්න බැරිවුනානෙ...

ඔය කැලෙත් දේවාලෙත් බෝතලේ මහවලව්වේ සේනානායක පවුලෙ බූදලයක් දිවංගත මහ සේනානායකයන්ගෙ ඉඳල එතෙක් මෙතෙක් හිටපු සහ ඉන්න සියලුම සේනානායකවරු අදටත් තමන් කරන කියන හැම දේකටම ඉස්සෙල්ල සෙත් ශාන්ති ආශීර්වාද කරවගෙන යන්නෙ ඔය දේවාලෙන්...

ඔය මම බෝතලේ හිටපු කාලෙ දේවාලෙ කපුකම කළේ අපේ ලොකුඅම්ම බැඳල හිටපු මහප්පගේ අයිය, අපි කිව්වෙ කඩේ මහප්ප කියල, ගෙදර මහප්පයි තව බාප්ප කෙනෙක් හිටිය ඔය තුන්දෙනාම අමුඩයෝ උදේ ගහගන්න අමුඩෙ ගලවන්නෙ රෑ නින්දට යන්න...අමුඩෙ ගහගෙන කළයක් වගේ බඩත් එළියෙ දාගෙන ඉන්නකොට කඩේ මහප්ප ඇරපු අතක් නෑ බහිරවයෙක් වාගෙමයි...

ඒ කාලෙ හැම අවුරුද්දකම දේවාලෙ ගම්මඩුවක් නැටුවා, අහළ පහළ ගම්වල ඉන්න නැට්ටුවෝ බෙරකාරයො කපුවො ඔක්කොටොමත් ආරාධනා කරල රෑ එළිවෙනකන් නටන ගම්මඩුව බලන්න ලස්සනයි...ඒ කාලෙත් ගම්මඩුවක් නටන්න සෑහෙන වියදමක් යනව, කඩේ මහප්පටත් කුඹුරුවලින් එන වී ටිකෙන් ගෙදර කෑමටත් අරං ඉතුරු හරිය විකුණල ගන්න මුදලක් ඇරෙන්න වෙන ආදායමක් තිබ්බ එකක්යැ...ගම්මඩු නටන්න ගමපුරා සම්මාදමේ ගියෙත් නෑ ගම්මඩුවේ යාතිකා කරල පඬුරු පෙට්ටියට වැටෙන මුදලක් තමයි...මඩු නටන්න එන නැට්ටුවන්ට බෙරකාරයන්ට බොන්න කසිප්පු  හොයල දෙන එක තමා කරදරම වැඩේ...බීම ඉල්ලිල්ල ඉවරයක් නැතිතැන කඩේ මහප්පටත් කේන්ති යනව...

මුංගේ ලපැලියාවෙ ඉවරයක් නැති හැටි අම්මප...

එහෙම කිව්වට කසිප්පු ගෙනාපුහම කඩේ මහප්පත් දෙකක් දාගන්නව...ගෙදර මහප්ප බොන්නෙ නෑ ගම්මඩුවෙදි පත්තිනි දේවිට අඳින්නෙ ගෙදර මහප්ප බලන්න එපායැ මහප්ප පත්තිනි දේවිට ඇඳල එන ලස්සන...ගම්මඩුව නටල යාතිකා කරල ඉවරවෙද්දි කොහොමත් උදේ  නවය දහය විතර වෙනව...නැට්ටුවො බෙරකාරයො පස්සෙන් අපිත් කඩේ මහප්පලගේ ගෙදරට යනවා...

ඒ වෙනකොට එන අයට කඩේ මහප්පලගෙ ගෙදර කෑම ලෑස්තියි, පිළිහුඩු කරෝල ජාති මොකුත් මුහු නොකර බතුයි කිරිහොදි හරි ලබු හරි පුහුල් වගේ හොද්දකුයි සම්බෝලයි එක්ක ඔක්කොමල බිම ඉඳගෙන උණුවෙන් කෙහෙල් කොළේට බෙදන බත් පත කනව...කාල ඉවරවෙලා  කඩේ මහප්ප කට කපල පිරිලා තියෙන පඬුරු මුට්ටියෙන් කාසි අහුරක් දෙකක් පිටින් ආපු අයට දුන්නම ඒ අය මහප්පට වැඳල සමුඅරන් බෙරයි නැටුම් ඇඳුම් පොට්ටනියි කර ගහගෙන යන්න යනවා...ආයෙ ගණන් පොරොන්දු වීමක් සල්ලි ගණන් කිරිල්ලක් මොකුත් නෑ ඒ කාලෙ එහෙම තමා,ඔය විදියට ආපු අයට පඬුරු අහුරු අහුරු දීල පිටත් කරපුවම අන්තිමට මහප්පටත් මුට්ටියෙ පඬුරු ටිකක් ඉතුරු වෙනව සමහර වෙලාවට මොකුත් නෑ...

කඩේ මහප්පගේ ලොකු පුතා කඩේ අයියටත් මඩු නැටිලි බෙර ගැහිලි ඔක්කොම පුළුවනි ඒ උනාට කඩේ මහප්ප මැරුණට පස්සෙ අපි බලාපොරොත්තු වුනු විදියට එයා දේවාලෙ තේවාව බාරගත්තෙ නෑ...එතකොටත් කඩේ අයියට ජෙප්පො කොක්ක ගහල, එයා බෙරගැහුවේ ජේ වී පී මැයි පෙළපාලියෙ,දවසක් මම ඇහැටම දැක්ක, ඔය දේශපාලනය නිසාම කඩේ අයිය පස්සෙ කාලෙක පුදුමාකාර දුකක් වින්දා රස්සාවක් කලෙත් නෑ පවුල් පන්සල් වුනෙත් නෑ පුල්ටයිම් කරන නිසා...ජීවිතේම නැති නාස්ති කරගෙන අසනීප වෙලා දැන් මල්ලි කෙනෙක් ළඟ ඉන්නව, බාප්ප මැරුණු වෙලාවෙ බෝතලේ ගියාම අන්තිමට මට හම්බවුණේ.

ගෙදර මහප්පට හිටියෙ එක පුතයි ඒ චන්දරේ අයිය,එයත් බොහොම හොඳට ගොවිතැන්බත් කරගෙන ඉඳල කරුමෙට වගේ නොගැලපෙන තැනකින් කසාදයක් කරගත්ත,පවුලගෙ කීමට මහ විසාලෙට තිබ්බ පරණ ගේ කඩල පොඩි මඩුවක් වගේ ගෙයක් හදාගත්ත...

කඩේ මහප්පට පස්සෙ බාප්ප දේවාලෙ කපුකම බාරගත්ත,ඔය කාලෙදිම ගෙදර මහප්පත් මියැදුනා...ඔන්න ඔහොම වැඩ කෙරීගෙන යද්දී පත්තිනි දේවාලෙ හළඹ ආගිය අතක් නැතුව ගියා,දන්න හැම  ආකාරයටම  හොයල බැලුව නිමිති පේන බැලුව මොකුත් හරිගියෙ නෑ...අන්තිමේ බාප්ප ප්‍රසිද්ධියෙම තර්ජනයක් කළා...

මම නරක මිනිහ කියන්න එපා ගත්ත කෙනෙක් හළඹ ගෙනල්ල දාපල්ල කිසිම සෝලියක් තියන්නෙ නෑ...හැබැයි එහෙම නොකොළොත් හෙට මම පළි ගහනව...

හළඹ ලැබුනෙ නෑ,පහුවදා උදේම බාප්ප නාල එහෙම දෙහි බෑයකුත්  ඔළුවෙ ගාගෙන මල් පළතුරු වට්ටියකුත් අරං දේවාලෙට ගියා, ගිහිං වැඳල එහෙම යාතිකාව පටන් ගත්තා...

පස්වාන් දහසකට බුදුවන්ඩ පත්තිනි දේව මෑණියන් වහන්ස ඔබ වහන්සෙගෙ දෙපා මුල වැඳ වැටිල ඔබ වහන්සේගේ ගැත්තාවන මේ නරපනුවා ඔප්පු කරන්න හදන මේ අවනඩුව අහල මේ නරපනුවාට සාධාරණයක් ඉස්ට සිද්ධ කරන්න හොඳයි...ඒ අවනඩුව මොකක්ද කියල කියනවනං ඔබ වහන්සේගේ පයලන අවුරුදු සිය දහස් ගාණක් මේ ඉස්තානේ වැඳුම පිදුම් කරන්නට බාරහාර ඔප්පු කරන්නට එන මේ ගං කොටුවේ අහළ පහළ ගං කොටුවල ඔබ වහන්සේගේ අනාඥාව පවතින හතර හීමාවේ නර පනුවන්ගේ ඉහ තියා සෙත් සාන්ති කරන්නට ඒ රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ කාලයේ පටන් යොදා ගත්තා වූ ඒ මහානුභාව සම්පන්න හළඹ පහුගිය කීප දවසක ඉඳන් ආගිය අතක් නැතුව තියනවාය...මේ නරපනුවා දන්නා කරන විදියට හොයා බැලුවත් සාත්තර පේන අහල බැලුවත් වැඩක් උනේ නැතිඑක ඔබ වහන්සේගේ ගැත්තා වන මේ නරපනුවාට විඳ දරාගන්නට බැරිය...ඒ නිසාවෙන් ගැත්තාට අනුකම්පා කර ඔබ වහන්සේ පයලන හළඹ හොරකම් කරපු මොකා හෝ එකා ඔබ වහන්සේගේ දිවැසින් බලා සොයාගෙන ගැත්තාට පෙන්නා වදාරන්නට හොඳයි ඒ වගේම ඒ කරන්නට යෙදුනාවූ අවකාරියට හරියන දඬුවමකුත් ඔබ වහන්සේම දීල වදාරන්නට හොඳයි...පස්වාන් දහසකට බුදුවෙන්න මේ මා කියන්නට යෙදුනු අවනඩුව හැකි විගැහින් සොයා බලා විසඳුමක් දෙන්නට හොඳයි අවසර ආයිබෝ....

අපූරුවට ගොයිතැන් බත් කරගෙන හිටපු චන්දරේ අයියගෙ අතේ අමාරුවක් හැදුනෙ ඊට සතියකට විතර පස්සෙයි...මුලිම්ම දකුණු අතේ මැණික්කටුව ලඟින් පටන්ගත්ත වේදනාව එන්න එන්නම දරුණු වුනා,ගොඩ වෙදකම් කරල හරිගියෙ නැතුවම සිංහල වෙදකම් කළා ඒත් බැරිතැන ඉස්පිරිතාලේ ගියා මොනම ආකාරයකටවත් අතේ අමාරුව හරිගියෙ නෑ, අන්තිමේ මැණික්කටුව ලඟින් දකුණු අත කොරවුනා...ඒ අතෙන් මොනම වැඩක්වත් ගන්නට බැරි ආකාරයට පත්වෙලා නතරවුණේ...

ඊට මාසෙකට විතර පස්සෙ චන්දරේ අයියගෙ ඔලුව නරක් වුණා නුහුගුණේ වගේ කියවන්න ගත්තා...ඔන්න ඔහොම විඳවල විඳවල තිරිසනෙක් වගේ දුක් විඳපු චන්දරේ අයිය දැනට අවුරුද්දකට එකහමාරකට විතර ඉස්සරවෙලා මැරිලා ගියා...කොහොමහරි අපිට මළගෙදරවත් යන්න වුණේ නෑ...

බාප්පගෙ බාලපුතා ආනන්ද දැන් දේවාලෙ කපු වැඩේ කරගෙන යනව, මීට ටික දවසකට කලින් ඔය දේවාලෙ ගැන පත්තරේක ගියපු ලිපියක ආනන්දගෙ පින්තූරෙත් තිබුන මම දැක්ක...

හැබැයි ඉතිං ලියවුනේ නං මම කියන්න ආපු කතාව නෙවෙයි,කියන්න ආපු කතාව මොකද්ද දන්නවද අද උදේ ලංකාදීප පත්තරේ කියවද්දි දැකපු පින්තූරයක් නිසා මම අවුරුදු ගණනාවක් ඈත අතීතයට ගියා...පින්තූරෙ තිබුනෙ මම පොඩිකාලෙ මහප්පල කඩේ අයියල චන්දරේ අයියල එක්ක කුඹුරු වැඩ කරපු ලස්සන වෙල්යාය...ඒ වෙල්යායට කිව්වෙ බෝගහවට වෙල්යාය කියලයි, වෙල මැද තිබුණු පෞරාණික අම්බලමේ පින්තූරෙකුත් එක්ක...අපි වයසට ගියත් වෙල්යාය තාම තරුණයි, ඔය වෙල්යායේ හැම කුඹුරකම මම හාල පෝරුගාල වපුරල තියෙනව ගොයං කපල තියෙනව...වටේ කඳු වල්ලලත් එක්ක බලන්න ලස්සනේ බෑ...


වෙල් වැඩ කරද්දී වැස්සක් ආවොත් වැස්සෙන් බේරෙන්න අපි ගියෙ ඔය අම්බලමටයි ඒ කාලෙ අම්බලමට සිංහල උළු හෙවිල්ලල තිබුනෙ ඔයිට වඩා ප්‍රතාපවත් පෙනුමකුත් තිබුණා...කුඹුරු වැඩ කරල මහන්සියට විටක් හපල ගිමන් නිවාගන්න අම්බලමට ගියපු වාර අනන්තයි, ඒ ආපහු නොඑන ලස්සන අතීතය ච්ත්‍රපටයක් වගේ මට මැවිලා පෙනුනා අද ඒ හිටපු අය කොහෙද...හිතට මහා පාළුවක් දැනෙන්න උනා...


අම්බලම පින්තූර උපුටා ගැනීම ලංකාදීප පත්‍රයෙනි.

එළඹෙන 2014 බ්ලොග් අවකාශයේ සියලුම සොයුරු සොයුරියන්ට සුබම සුබ නව වසරක් වේවා!!!



116 comments:

  1. ඔබගේ අතීත මිහිර රස විදලා අපිත් අතීතයට ගියා. ඔබ වින්ද බොහෝ දේ අවාසනාවට අපි දැකලා නැහැ. අපි දැකපු බොහෝ දේ අපේ පොඩිවුන් දැකලා නැහැ.

    මම අලුත බ්ලොග් ලියන්න ආව පොරක්. බොහෝ මාධ්‍ය වල අපි සෙක්ස් වලින් එක වුනා කියලා කියන නිසා මම පොඩි විමර්ශනාත්මක ලිපියක් ලියුවා අපි කප් ගැසුවේ sex වලින් පමණද? කියා පළමු ලිපිය ලෙස. ඇවිත් කියවා අදහස් දක්වා සහය පලකරන්න.

    ReplyDelete
    Replies
    1. මුලින්ම ඔබව මගේ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා,ඒ වගේම අලුත් බ්ලොග් ලියන්නෙක් ලෙස බ්ලොග් අවකාශයට එක්වීම ගැනත් සුබ පැතුම්.
      රසට ලියන්න එතකොට කට්ටිය බලන්න ඒවි.

      Delete
  2. මහ මන්දිර වලට වඩා කැලේට කොළේට පොල්ලතු වහපු මැටි ගෙදරට බොහොම කැමතියි...

    අපි නොදන්වයි ඒක. මොන තැනක මොන තානාන්තරයක හිටියත් උඹ අමු ගැමියා

    ReplyDelete
    Replies
    1. ඔව් බං අපේ ගැමිකම කොහෙ යන්නද.

      Delete
  3. මටත් හිටියො ඔහොම මහප්පෙක්... හැබෑටම

    ReplyDelete
    Replies
    1. උඹ මහප්ප ගැන කමෙන්ටුවක ලියල තිබ්බ මට මතකයි.පෝස්ට් එකකුත් ලියන්න බැරිද.

      Delete
  4. නව වසරට සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ලබන නව වසර සුබම සුබ නව වසරක් වේවා.

      Delete
  5. අතීත සිදුවීම් නැවත නැවත සිද්ධ වෙනවා කියනවා නොවැ
    අම්බලම් වලින් යහතින් ඉතුරු වෙලා තියෙන්නේ කඩුගන්නාවේ අම්බලම විතරද කොහෙද

    සුබ නව වසරක් වේවා කියලම යන්නම්කො

    ReplyDelete
    Replies
    1. පළමුව අයාල්ව මගේ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා,ඔන්න ප්‍රා ජේ කියන විදියට කෝට්ටෙත් අම්බලමක් තියෙනවලු.

      Delete
    2. @ප්‍රා ජේ
      බොහොම ස්තූතියි.

      Delete
    3. ඇයි අර දියවන්නාවෙ මැද තියන එක.......

      ලිපිය නම් ගොඩක් රසවත්

      Delete
    4. http://www.yamu.lk/the-hidden-kingdom-of-kotte.html

      Delete
    5. @ නෙමෙසිස්
      හැබෑටම දියවන්නාවෙත් එකක් තියෙනව නොවැ

      Delete
  6. සුබ නව වසරක් වේවා හැලප මාමේ !

    ReplyDelete
    Replies
    1. මධුටත් සුබ නව වසරක් වේවා.

      Delete
  7. සුබ පැතුම් නව වසරට....

    ගමේ ජීවිතේට මහා ලෝබ කමක් ඇති වුණා මේ ලිපිය කියවලා.මේ හතර අතටම ගොඩනැගිලි කාන්තාර දැකලා මෙහෙම දැක්කාම ලංකාවට පියාඹන්න හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේම තමයි මටත් කියන්න වෙලා තියෙන්නෙ.
      බට්ටිටත් නව වසරට සුබ පැතුම්.

      Delete
  8. හැලපයියටත් සුභ නව වසරක් වේවා!!!!!

    මමත් මේ කිව්වට මොකෝ දැනුත් මේ අතීතයට සම වැදිලයි හිටියේ.

    ReplyDelete
    Replies
    1. අඩු වැඩි වශයෙන් අපි කවුරුත් අතීතයේ ජීවත්වෙන්න බොහොම කැමතියිනෙ කෝරළේ මහත්තයෝ.
      ඔබටත් සුබ නව වසරක් වේවා.

      Delete
  9. නව වසරට සුභ පැතුම් !!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් නව වසර සුබම සුබ වේවා.

      Delete
  10. ගෙදර මහප්පට කලගෙඩියක් වගේ බඩක් තියෙන්ට නැතුව ඇතිනේ. නැත්නම් අර කරලා තියෙන විස්තරේ විදියට පත්තිනි දේවිට ඇන්දානම් කොහොම තියෙයිද? :)

    අත අමාරු උණේ, පිස්සු හැදිලා වගේ ඇවිද්දේ, ඒ හොරාද හැලපේ? ඒ කියන්නේ එතන තාමත් ඒ වගේ හාස්කම් තියෙනවලුද?

    කුඹුරු අලුත් වෙනවා වගේ මිනිස්සුත් තරුණවුනොත් හරි වැඩේ. එතකොට තරුණ අයට මොකද වෙන්නේ?

    මේ වගේ රස කතා බර ගානක් ලියැවෙන සුබ අලුත් අවුරුද්දක් හැලප පවුලේ හැමෝටම...!!!

    ReplyDelete
    Replies
    1. අත කොරවුනේ පිස්සු හැදුනෙ හොරකමට වස් වැදිලය කියලයි ගමේ මිනිස්සු නං කීවෙ,දේවාලෙ හාස්කම් තවම එලෙසමයි.
      කවුරු කවුරුත් තරුණ වුනොත් ලෝකෙම තරුණයන්ගෙන් පිරිල තියේවි.
      පොඩ්ඩිටත් කුමාරයටත් සියලු සිතුම් පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

      Delete
  11. ලාංකික ගැමි සමාජය පරම්පරා විකාශයට ලක්වීම පිලිබඳ කරන ලද සරල, රසවත්, විග්‍රහයක් ලෙස මේ ලිපිය අතිශයින් අගය කරනවා. අපේ අභිචාර විධි තවම නොනැසී පැවතීම එක අතකට හරි පුදුමයි. 21 වැනි සියවසේ අවසානයේදී කෙබඳු තත්වයක් ඇතිවේද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම විචාරක තුමා යම් දෙයක් ඉතිරිවී පවතී කියල මම අවංකව විශ්වාස කරනවා,මොකද පැරණි දේ වලට දැන් නව වටිනාකමක් එකතුවෙන නිසාවෙන් මේ දේවලුත් කොහෙ හෝ රැකිලා තියේවි.

      Delete
  12. කියල වැඩක් නෑ හැලපෙ අයියා. ගමේ මිනිස්සුම ගම නැතිකරන්න කටයුතු කරන එක තමයි හරිම අවාසනාව.

    හැලප අයියටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි ප්‍රසන්න කැලේ ගහක් නසන්න කැලේ ගහක්ම ඕනෑය කියනවනේ.
      ප්‍රසන්න ඇතුළු පවුලේ සැමට සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  13. එහෙනම් හැලපෙ අයියටත් සුබ නව වසරක් වේවා..ලස්සන වෙල් යාය..

    ReplyDelete
    Replies
    1. උමේෂ්ටත් සුබම සුබ නව වසරක්,
      ඔය මම පොඩි සංදියේ වෙල් වැඩ ඉගෙනගත්ත වෙල්යාය,කාලෙකට පස්සෙ දැක්කෙ

      Delete
  14. හරිම සුන්දර ගමක්නේ හැලපයියේ.එතකොට සලබ ගත්තේ චන්දරේද...?මම නම් එහෙමනම් හිතන්නේ නැහැ.
    ආයෙත් පාරක් මුළු හැලප පවුලටම සුබම සුබ නව වසරක් වේවා....!!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මනෝජ් මම කලිනුත් කියල තියෙනව වගේ හරිම සුන්දර ගම්මානයක්.සළඹ ගත්තෙ චන්දරේ කියල මම කියන්නෙ නෑ,එහෙම නොවෙයි කියලත් කියන්නෙ නෑ.
      මනෝජ් ඇතුළු පවුලේ සියලු දෙනාටම සුබ නව වසරක් වේවා!!!

      Delete
  15. අපේ ගමේ තාමත් හැම අවුරුද්දකම ඔය දෙවියන් පුදන අලුත් සහල් මංගල්ය තියනවා :) අපේ ගමේ , එහා ගමේ එහා ගමට එහා ගමේ හැම එකකම තියනවා .. රැයක් නටලා පස්සෙන්දා ගරායක් නැටුමෙන් තමයි අවසන් වෙන්නෙ :) වාහල බලන්න එහෙම අපි හරි ආසයි

    සුභ නව වසරක් වේවා හැලප මාම්!!

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ දැන් නැතත් අල්ලපු ගමේ තවම හැම අවුරුද්දකම දෙවොල් මඩුව නටනවා.
      සමීටත් සුබ නව වසරක් වේවා!!!

      Delete
  16. බාබකිව් ගැන නම් ලීවට කමක් නැහැ කඩේ අයියේ මගේ ආසම කෑම තමයි .. අර රස බේරෙන බත් පිගන් නොදා මෙවුවා දාන්න ,,

    වෙලක් මැද්දේ ඔහොම අම්බලමක් දැක්කමයි ඔය.. //පිළිහුඩු කරෝල ජාති /// මේ මොනාද කඩේ අයියේ

    ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් ඒ වගේම නිරෝගිව ඉන්න වාසනාව ඔබටත් ඔබේ දරු පවුලටත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. ඔය අම්බලමට දීර්ඝ ඉතිහාසයක් තියෙනව ඔමා,අපි කුඩා කාලෙ ලස්සනට තිබුණු අම්බලම දැන් ගරාවැටිලා.
      පිළිහුඩු කරෝල කියල මම එකට ලීවට මේ වචන දෙකක්,පිළිහුඩු කියන්නෙ මස් මාළු වලට.
      ඔමාටත් පවුලේ අයටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

      Delete
    2. මම හිතුවෙ පිළිහුඩුවො අල්ලලා කරෝල කරපුව කියලා :D

      Delete
  17. මඩු නටනවා දැකලා නෑ කවදාවත්.. :D

    අම්බලම වෙල් යාය දකිද්දි ඇති උන හැඟීම හිතා ගන්න පුළුවනි.හරියට අම්මා තාත්තා දැක්කා වගේ ඇති නේද?

    සුභ නව වසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. මඩු නැටිල්ලත් එක සැරයක් හෝ දැක බලාගත යුතු දෙයක් රෙහානි.
      ඇත්තටම ඔය අම්බලමත් වෙල්යායත් දකිද්දී මාව ගල් ගැහිල ගියා වගේ උනා,අවුරුදු කීයක අතීතයක්ද.ඒ වගේම හරිම සතුටක් ඇතිවුනා.
      ඔබටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  18. ඇත්තටම හැලප අයියෙ හළඹ ගත්තෙ චන්දරේමද?
    ඒකත් අර කණප්පුව ඇවිද්දන වැඩේ වගේ නේද?

    ඔබටත් සුභම සුභ නව වසරක් වේවා!!!!

    ReplyDelete
    Replies
    1. හළඹ ගත්තෙ චන්දරේමයි කියන්නත් බෑ එහෙම නෙවෙයි කියන්නත් බෑ,හැබැයි ගමේ මිනිස්සු එහෙම තමා විශ්වාස කලේ.
      ප්‍රියාටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  19. මොනවද පිළිහුඩු කරවල කියන්නේ? මම දන්නේ ඒ නමින් කුරුල්ලෙක් නේ.
    මම නම් දේවාල වල යන්න පුදුම බයක් තියෙන්නේ. මේ ලඟ දවසකදි මගෙ යාළුවෙක්ගේ අම්මා මට වෙනුවෙන් ඒ තැනක පූජාවක් තිබ්බා. බය වෙච්ච තරම කොයි තරම්ද කියනවා නම් වෙනදා මේ ගහක් ගලක් හෝ ඕනෙම දෙයක් දැක්කම ෆොටෝ ගන්න බුරු බබා එදා නම් ෆොටෝ තියා වෙවුල වෙවුල හිටියේ. පොල් ගෙඩියක් කුඩු කරන්න දුන්නත් ඒකත් බය වෙච්ච පාරට කුඩු කරගන්න බැරි වුනා. දැන් නම් ඒක හිනා යනවා තමයි. ඒ වුනාට එදා රෑටවත් මට නින්ද ගියේ නෑ. ඒ මදිවට ඒ කපු මහත්තයා කීවනේ මට දෙහි කපන්න ඕනේ කියලා. බය වෙච්ච පාරට මම පස්සේ සතියෙම ලංකාවෙනුත් ආවා.

    ReplyDelete
    Replies
    1. මම එකට ලියල තිබ්බට ඒ වචන දෙකක්,පිළිහුඩු කියන්නෙ මස් මාළු වලට.ඇයි රංගි දහඅට සන්නියේ කවියක් තියෙන්නෙ මෙන්න මෙහෙම,
      බඩ හෝ ගාමින් වැටි පෙරල න්නේ
      රුදාව ගනිමින් කෑම නොක න්නේ
      පිළිහුඩු පැණි රසමය ඉල්ල න්නේ
      අමුතු සන්නි යකු ලෙඩ හැර ය න්නේ
      දේවාල වලට බයක් ඇතිවෙන්නෙ ඒ පරිසරයට නුපුරුදු කම නිසයි,ඒ රංගිට විතරක් නෙවෙයි නුපුරුදු ඕනෑම කෙනෙකුට හැදෙන බයක්,කාලයක් දිගටම දේවාලෙට පුරුදු වුනාම බය මග ඇරිලා ආසාවක් ඇතිවෙනවා.

      Delete
  20. මතක් කර කර රස විඳිනකොට ගමේ ජීවිතේ මරු කියලා හිතුවට දැං අපිට ඒ ජිවිතේට යන්න හිත හදාගන්න අමාරුයි මං හිතන්නෙ.. නැත්තං අපි කිය කිය ඉන්නෙ නැතුව ගිහිල්ලනෙ මෙලහකට... කරන්ට් එක, ඉන්ටනෙට් එක, ගෑස් කුකර් එක, මෙට්ට දාපු ඇඳ නැතුව ඉන්න පුලුවන් වෙයි වැඩිම උනොත් සතියක්... ඊට පස්සෙ කාන්සිය හැදෙනව... ඔන්න පොඩි නිවාඩුවකට වගේ නං ගිහිල්ල ඉන්න පුලුවන්.... ආපහු පුරුදු ජීවිතේට යන බව දන්න නිසා... හි හි...

    හැලපයියලා මේවා කියලා අපිට නොස්ටලොජියා හැදෙව්වට ඉතිං මේ කතන්දර අපේ පරම්පරාවටත් සුරංගනා කතා ගානට වැටිලා....

    සුබ අලුත් අවුරුද්දක් වේවා කට්ටියටම....

    ReplyDelete
    Replies
    1. dan kenjige blog aka kiyavanne nedda ?

      Delete
    2. දැන් අපට ආපහු එතනට යන්න හිත හදාගන්න බෑ හිරූ,අපි දැන් සුඛෝපභෝගී බහුභාණ්ඩික රෝගය තදින්ම හැදිලා තියෙන නිසා.ගමට ගියාම ඉන්න බැරුව එපාවෙන එක ගැනත් පෝස්ට් එකක්ම ලියන්න දේ තියෙනවා.කොහොමත් ඉතිං මේ කතා ඔයාල අත්දැකල නැති නිසාවෙන් සුරංගනා කතාම තමයි.
      ඔබ දෙපොලටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

      Delete
  21. ගමට යන්න අද ගොඩ දෙනෙක් ආසයි. එත් එදා තිබ්බ ගම අද නෑ ගොඩක් තැන වල . අනික දැන් ගොඩ දෙනෙක් හදන්නේ ගම මාකට් කරන්න. හැම දේම මාකට් වෙලා තියෙන මේ කාලේ ගමට විතරක් එකෙන් බේරෙන්න බැරිවුණා. අද ගොඩක් තැන වල ගැමි නළුනිලියෝ එක්ක කරන රඟපෑමක් තියෙන්නේ.
    හැබැයි හැබෑ ගැමි සුවඳ තියෙන තැන් නැතුවමත් නෙවෙයි.
    ගමේ තිබ්බ වටිනාකම් ගොඩක් ගමෙන් ඉවත් වෙලා ගිහිං. මේ ඉතිරිවෙලා තියෙන ගමත් තව පරම්පරා කීයකට දකින්න ලැබේවිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. අප කුඩා කාලේ දැක්ක ගම තියෙන්නෙ අපි හිත්වල විතරයි. ලඳු කැලෑවල්, පාළු ඉඩම්, පිට්ටනි, වගුරු බි, පුරන් කුඹුරු ඔක්කොම ගොඩ කරහෙන ගෙවල් හැදිලා. ගමේ වැඩිය ඉන්නෙ පිටින් ඇවිත් පදිංච් වෙච්ච අය. ඒ අය, ගමේ පුරාණය දන්නෙ නෑ. දැන ගත්තත් , ඒ අයට වෙලාවක්වත්, එයින් වැඩක්වත් නෑ.

      ඉස්සර රබර්වතු, පොල්වතු එකක්වත් අද නෑ. අපේ ගමේ, කුරුන්ද කියල තිබ්බ , ඉස්සර කුරුඳු වවපු විසාල ඉඩමෙ කෑලිවත් නෑ. ඔක්කොම කුට්ටි කරල විකුනලා. බලන්ට එපෑයැ දාලා තියන නං, අහල පහල කපුටෙක්වත් නැති වුනාට , නම " කුරුලු උයන" :)

      මේකෙ හරි වැ‍රැදි නං කියන්න අමාරුයි. ජනගහන වැඩිවෙන කොට, මිනිස්සුන්ට ඉන්න ඉඩං ඕන නෙව. හරි නං වෙන්න ඕනෙ, පරිසරයත්, ගමේ වැදගත් ස්ථානත් බේරලා කෙරන නිවාස ව්‍යාපෘතියක්. එව්ව ඉතිං නොකෙරන වැඩ නෙව

      මේ ලිපිය කියවද්දි සතුටක් වගේම දුකකුත් දැණුනා. කඩේ අයියගෙ වගේම, චන්දරේගෙ ඉරණම ගැනත් ඇතිවුනේ දුකක්. වාණිජකරණයේ, දේශපාලනයේ සෝදා පාලුවට අහුවෙච්ච තවත් ගොදුරු දෙකක්.....

      දැන් මේක කියවලා අර මොකක්ද "කාමේ" ඔලුවට ගහලා නැට්ට කෙලින් කරගෙන ගමේ දුවන්න හදන එවුන්ටයි මේ කියන්නෙ. ගමට හියොත්, දවස් දෙකෙන් ආවට වඩා නාව නං හොඳයි කියල හිතෙයි :)
      ගම තියෙන්නෙ ඈතිං ඉඳන් රසවිඳින්න. නැත්නම් මේවගේ ලිපි හරහා මතක් කරගන්න මිසක්, යථාර්තය දැකලා හිත් සවුත්තු කරගන්න නෙමෙයි

      - ටොමියා -

      Delete
    2. ඔබට සහ පවුලේ සැමට සුභ නව වසරක් හැලපෙ

      - ටොමියා -

      Delete
    3. ටෝමියා මට මග අරුණු ටික සම්පූර්ණ කරලා ... ස්තුතියි ටොමියා, අපි කොච්චර අකමැති වුනත් එක තමයි ඇත්ත. මිනිස්සු ගමට ආස නිවාඩුව ගත කරන්න විතරයි මමත් හිතන්නේ, කොච්චර සුන්දර වුනත් දිගටම ගමේ ජීවත් වෙන්න කැමතිද අද කාලේ මිනිස්සු.

      Delete
    4. ඇත්ත.. ඇත්ත... හැමෝම ගමේ යන්න කැමති ආතල් ගන්න විතරයි..අපිට ආතල් දෙන්න ගමේ පිරිසක් ඉඳීමත් අපි බලාපොරොත්තු වෙනවා... ගමේ උන් බලන්නේ කවදද ටවුමට පනින්නේ කියලා..

      Delete
    5. ඉවාන්,මේ දවස්වල ඉතාම ස්වාභාවික ගම පිහිටල තියෙන්නෙ කොළඹ හතේ බී එම් අයි සී එච් එක පිටිපස්සෙ.ඇත්තටම ගම කියන ආයතනය ඔන්න ඔය අලුත් අවුරුද්දට වාගෙ උත්සවයකදී මාකට් කරනව ඇරෙන්න වෙනත් ආදර්ශ ගමක් ඇත්තෙම නෑ.හරියට අර දඹානේ වැද්දෝ රඟපාන්නෙ,අන්න ඒ වගේ තමයි.අපි හැබෑ ගම ගැන ලිව්වොත් එහෙම මරාගෙන කන්න හදයි ගම්වල එහෙම කොහෙද කියල.

      Delete
    6. ටොමියා,
      ඉතාම ඉහළ මට්ටමේ විවරණයක් ටොමියෝ,ගම කියන සංකල්පය අද නාම මාත්‍රයක් පමණයි.නමුත් හැම දේම වෙනස්වන විට ගම විතරක් බේරෙයිද.ගම තියෙන ආකාරයකට තියෙන්න ඇරල ගම කියල ව්‍යාජව හදපු කෙහෙල්මල් මාකට් කරන එක නැවත්තුවොත් නං ලොකු දෙයක්.

      Delete
    7. සෙන්නා,
      ඇත්තටම අපි ඉතාම ආත්මාර්ථකාමී ආකාරයට ගම එදා තිබු විදියටම තියෙන්න ඕනෑ කියල දැඩි මතයක ඉන්නව,අපි හිතන්නෙ නෑ ගමත් අනික් හැමදේම වගේ පරිණාමයට භාජනය වෙනව කියල.හරිම අසාධාරණයි නේද සෙන්නෝ.

      Delete
    8. ටොමීටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  22. අතීත කාමෙද මොකද්ද කියන්න මාත් දන්නේ නෑ ඒත් මම තාමත් කැළේටත් ඔය කියන බාබකිව් වලටත් කෑදරයි.. අර තියෙන්නේ බෝතලේ වෙලමැද අම්බලම නේද? ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා හැලප අය්යේ.

    ReplyDelete
    Replies
    1. බාබකිව් වලට නං අපිත් කැමතියි.නලින් දන්න විදියටම ඒ බෝතලේ වෙල මැද අම්බලම තමා.
      නලින්ටත් පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  23. මාමේ පින්තූරයකට අපේ හිත කොච්චර දුර ඇදගෙන යන්න පුලුවන්ද කියලා මාත් දන්නවා...
    ඔබටත්,පවුලේ සැමටත් නිරෝගි,සෞභාගය පිරි නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ශානු පින්තූරයක් සුවඳක් අපිව ගොඩක් දුර අරගෙන යනවා.
      ඔබටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  24. වෙල් යාය මැද්දේ තියෙන අම්බලම නං හරිම ලස්සණ යි! දැන් ඉතින් අම්බලමක් කියන්නේ ඉතිහාස පොතේ පිටු අතරේ තියෙන දෙයක්නේ. පත්තින් දේවිය ගැන කියනකොට මතක් වුණේ ඌව‍ වෙල්ලස්ස පැත්තේ තියෙනවා අං කෙළිය කියලා උත්සවයක්. ‍පොඩි දරු‍වන් සහ ගැබිනි මව්වරුන් ව පත්තිනි දේවියට භාර කරන උත්සවයක් :)

    හැලප මාමට සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. අම්බලමක් ඉඳල හිටලවත් දකින්න ලැබෙන්නෙ පින්තූරෙකින්ම තමයි.
      ධාරටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
    2. මම නම් හිතන්නේ තවමත් මේ දේවල් රට පුරා තියෙනවා. අපේ අර රජා දාලා තිබ්බා නේද රජ කාලේ ගිමන් නිවන තැනක්. මම හිතන්නේ අපි රට තොට ඇවිදින්න ඕනේ මේ වගේ තැන් බලන්න.

      Delete

  25. අම්මප අය්යෙ ඔය ගැමිකමට ආපහු අපිට යන්න බැරිද..බං..!!

    අම්බලමට වෙලා තියෙන දේ දැක්කම මාර දුකයි බං...! අහෝ අපේරටේ පුරාවවිද්‍යාව රකින්න ඉන්න හැත්ත. එකාතකින් උන් මොනා කරන්නද ත‍ටු කපලනෙ උන්ගෙ.

    අමතක වෙනව තවපොඩ්ඩෙන් බොටත් සුබ නව වසරක් වේවා..!

    ReplyDelete
    Replies
    1. ගැමිකමට යන්න දැන් ප්‍රමාද වැඩියි වීයො,ඇත්තටම ඔය අම්බලම හදන්න දෙන්නෙ නැත්තෙ පුරාවිද්යාවෙන්ලු.උන් හදන්නෙත් නෑ හදන්න හදන අයට හදන්න දෙන්නෙත් නෑ.
      වීයටත් දරු පවුලටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  26. මේක කියෙව්වට පස්සෙ ආයේ බොතලේ ගිහින් එන්න හිතුනා. මම බොතලේ සිරිය තාම හරියට දැකලා නෑ කියලා හිතුනා මේක කියෙව්වට පස්සෙ.

    අර දඬුවම සැර වැඩිද මංදා !!

    හැලපෙ අයියා ඇතුලු පව්ලේ සැමට සුබම සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ආපහු බෝතලේ ගිහිං බලල වරෙන් සෙන්නෝ.දඬුවම දෙවියෝ දීපු එකක් නිසා අපට ඒ දඬුවමේ සර ගැන කතා කරන්න බෑ.
      සෙන්නටත් දරු පවුලටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  27. අතීත මතක ගොඩාරියක් එක්කලා.. හැලපයියා සමග ගෙවූ වසරක නිමාව... සුභ නව වසරකට ආසිරි..හැලපටත්..හැලපිටත්.. පොඩි හැලපටත් එක්කලාම ඕං...

    මඩු කිව්වම ඉතිං තුන් හතර වංගියක් දැකලා තියෙනවා උනත් දැකපු සුපිරිම මඩුව තමා වඩුවේගම හන්දියෙන් හැරිලා බියගම වෙළඳ කලාපේ පැත්තට හැරිලා යද්දි ටික දුරකින් පාරේ දකුණු අත පැත්තේ තියෙන දේවාලේ නටන මඩුව තමා.. ආයේ ඉතිං සුපිරි පිරි පිරි...

    අම්බලං කිව්වම මතක් උනේ මෙන්න මේක

    http://goo.gl/maps/HCp25

    ඔය තියෙන්නේ ටිකෙන් ටික අබලන් වීගෙන යන නමුත් තාමත් සෑහෙන තරමේ හොඳ මට්ටමක තියෙන තවත් අම්බලමක්.. තියෙන්නේ යක්කල... මෙතන මම ගහපු පොටෝ වගයක් තිබුනත් දැන් හොයා ගන්න නැහැ.. නැත්තං දාන්න තිබුනා.. වෙලා යාය අයිනේ පුදුම සනීප තැන...

    ReplyDelete
    Replies
    1. මාරෙටත් සුබ නව වසරකට ආසිරි පතනවා,තවත් අතීත මතකයන් රැසක් නව වසරෙත් ගෙනෙන්න බලාපොරොත්තු වෙනව.
      මාත් දැකල තියෙන මඩු නං අනන්තයි,ඒත් හොඳම මඩුවක් අපේ ගම් පළාතේ මොට්ටුන්නෙ දේවාලෙ නටනව.
      ගමපහ වෙල්යායක් මැදත් ඔය වගේ ලස්සන අම්බලමක් තිබුන මතකයක් තියෙනව තාම තියේද දන්නෙ නෑ.

      Delete
    2. එහෙමනං ඔය මං කියන එකම වෙන්න පුළුවන් අයියේ... මේකත් පුදුම ලස්සන ප්ලේස් එහෙක තියෙන්නේ... මෙතනට යන්න තියෙන පාර පටු හින්දා හුග දෙනෙකුට යන්න වෙන්නේ නැහැ.. මේක ලාවට වගේ පේනවා යක්කල කිරිඳිවැල පාරේ මාළිගාතැන්නට හැරෙන පාර පහු කරලා ටිංගක් වෙල මැද හරියට එද්දි.... යක්කල කියන්නේ ගම්පහ ඉදලා ඒ හැටි දුරක්යෑ.. ගම්පහ ටවුමේ ඉඳලා මං ඔය කියන තැනට කිලෝ මීටර් 8ක් ඇති වැඩිම උනොත්...

      Delete
  28. ලබන්නාවූ නව වසර සුභම සුභ නව වසරක් වේවා හැලපයා අයියේ...........
    දිගටම ලියන්න හරිම රසවත්.ටිකක් දිගනම් වැඩියි වගේ..
    ඒත් කියවනවා හලිද........?

    ReplyDelete
    Replies
    1. ඔබව මගේ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා,සුබම සුබ නව වසරක් වේවා!!!
      මම හිතං හිටියෙ මේ පෝස්ටුව කෙටියි කියලයි මොකද වෙනදට මම මීට වඩා දිගට ලියන නිසා.දිගටම එන්න ස්තූතියි.

      Delete
  29. අඩේ අප්පා එතකොට සළඹ?
    සුභ පතනවා හැලප අයියාට දිගටම අපිට හැලප ඔතලා දෙන්න ලැබේවා කියලා

    ReplyDelete
    Replies
    1. හලඹට මොනව උනාද නෑ යක්ෂයෝ.
      ස්තූතියි,දිගටම හැලප කන්න එන්න.සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  30. හැලප බොස්
    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමාටත් පොඩි එකාටත් නෝනමහත්මයාටත් ඕං !!

    අර බාබකිව් එකට වඩා බං ඩෙවල් එකක් එකක් එක්ක ගල් බාගෙකට තම‍යි මගෙ මනාපෙ..ඇත්ත කීවට රෙදි උස්සං එන්න එපා මං පුතජ්ජනයා !!!

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලිටත් අලුත ගෙනාපු නෝනටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
      බාබකිව් කන්න ලැබෙන්නෙ ඉඳල හිටලනෙ,නිතරම කන්න ලැබෙන්නෙ ඩෙවල් තමා,ඕකට මොනවට තදවෙන්නද බං.

      Delete
  31. අතීත මතක.. එක අතකට අපිට මේවගේ දේවල් විදින්න වුනේ නැති එකේ අහන කියවන එකවත් වටිනවා..

    සුභ නව වසරක් අයියේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්,නොදන්නා දේවල් කියවන්න ලබාදෙන්නට ලැබෙන එකත් සතුටක්.
      ඔබටත් සුබම සුබ නව වසරක් දිනේෂ් මල්ලි!!!

      Delete
  32. මේ අවුරුද්දේ අන්තිමට මේ වගේ හැලපයක් කෑවේ නැත්තම් ඉතිං මොකක්ද වගේනේ

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ,

      පූමටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  33. ගම කොච්චර සුන්දර වුණත් අපි දැන් නගරෙත් එක්ක බද්ධ වෙලා නේද? නිවාඩුවකට වුණත් ගමේ ගියාම සතියත් විතර ඉන්නකොට ආපහු එන්න ඕනෙකම් දැනෙනවා.. කොච්චර ඕනේ වුණත් තියෙන වගකීම් එක්ක ඉස්සර වගේ ඒ ජීවිත ගත කරන්න අමාරුයි නේද?

    හැලප මාමාටත් පවුලේ හැමෝටමත් සුබම සුබ 2014ක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබේ කතාව සහතික ඇත්ත.අපි කොච්චර ගමට ඇලුම් කලත් ඉන්න නම් බෑ වගේ නේද.
      ඔබටත් පවුලේ අයටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  34. අතීත මතක තවත් හොඳට එලියට එන සුභම සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. නාඩියටත් හොඳ රසවත් කෑම බීම ලැබෙන සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  35. මමත් ඉතිං ගමේ මිනිහා හින්දා අඩු වැඩි වශයෙන් ඔය කිව්ව අත්දැකීම් විදලා තියෙනවා...වෙල්යාය නම් බොහොම සුන්දරයි...අර අම්බලම ජීවිතයේ යථාර්ථය අපුරුවට කියා දෙන කැඩපතක් වගේ...දිනෙක ඇති වෙන සියලු දේ දිනෙක නැසේ....සුභ නව වසරක් වේවා...හැලපයියට සහ පවුලේ සැමට...

    ReplyDelete
    Replies
    1. සිරා මල්ලි ගම්පහත් වෙල් යායක් මැද ඔය වගේ අම්බලමක් තියෙනවද?මට නිකං ඒ වගේ ලාවට මතකයක් තියෙනව ගම්පහද කොහෙද කියන්න මතකක් නෑ.
      ඔබටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
    2. ගම්පහ නගරය අවට නම් මම දන්න විදියට නෑ....වල් රජාලගෙ ගෙවල් කිට්ටුව එකක් තියෙනවලු...

      Delete
  36. ඉස්සර දැකපු දෙයක් ආයේ දැක්කම, ඒ ගැන ඇහුවම ඔහොම හිතින් අතීතයට යන එකත් හරි, ලස්සනම වැඩේ තමයි මොකක්හරි සුවඳක් ගැන මතක් උන වෙලාවට, ඇත්තටම සුවඳ දැනෙනවා දැනෙනවා වගෙයි නහයට.. ඒක හරි මිහිරක් හිතට...

    ReplyDelete
    Replies
    1. සුභ නව වසරක් වේවා හැලප අයියේ ඔබට !

      Delete
    2. අතීත මිහිරි මතක හිතට එන්නෙ හීනෙන් ගෑ සුවඳක් සේ හිතට පවන් සලමිනුයි.
      ඔබටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  37. සුබ නව වසරක් වේවා හැලප මාමේ !

    ReplyDelete
    Replies
    1. සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  38. ඔබට සහ පවුලේ සැමට සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔබ සහ පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  39. සුභ නව වසරක් වේවා හැලපේ.. මට ඉඩක් ලැබුන ගමන් කියවන්නේ, උඹයි, අරූයි, රවියයි ලියන එවා ඉස්ස ඉස්සෙල්ලාම...

    ReplyDelete
    Replies
    1. මාතලන්ටත් සුබම සුබ නව වසරක්,මේ දවස් ටිකේ පේන්න හිටියෙ නැතුවට කොහෙ ගිහින්ද කියල බැලුව ඒත්.

      Delete
  40. සුභ නව වසරක් වේවා!! ඉතින් අර නැති උනු සලඹ ආයේ හම්බුනේ නෑද?

    ReplyDelete
    Replies
    1. තවම ලැබුනෙ නෑලු.
      ඩිලාන්ටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  41. අතීතයේ බොහොම අතරමං වෙන පාටයි... :) ලස්සන සටහන....
    හැලපේ ඇතුළු පවුලේ සැමට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳා,ඔබටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  42. oya ambalame news 1ka mamath kalin dakka.matath puduma sankawak athi una oya gana.mata thiyana duka mamath oya kittuwama idalath ambalama athulata yanna 1 sarayakwath bariuna eka gana.news 1ka dakka gaman hithune lankawata giyahama oya ambalama athulata gihin enna ona kiyala.habai dan thiyana thathwaye hatiyata a tharan kal thiyeida danena.habai issara oya paren gewalwalata horen monatharamnam bothale unudiya allata gihin athida nanda.
    ''halape pawlatama suba alutha awruddak wewa''

    ReplyDelete
    Replies
    1. ඔව් තාරක උණුදිය ඇල්ල මගෙ බෝතලේ ජීවිතේ තවත් එක මං සලකුණක්.
      ඔබටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  43. අම්බලම් දෙකක් තිබුනා 120 හොරන පාරේ වේරහැර පහුකලහම තියන බෝකුන්දර වෙල අයිනෙයි කැස්බෑව ඩිපෝ එක පහුකරල ටිකක් ගියහමයි. එතන හන්දියට කිව්වෙත් අම්බලම ලඟ හන්දිය කියලයි. දැන්නම් තියනවද දන්නෙ නෑ. සමහරක් වෙල්යාය වල කමත් මඩුත් තිබුනා.අපේ ගමේත් එකක් ත්වම තියනව.ගම්මඩු තොවිල් එහෙම දැන් ටිකටික අභාවයට යනව නේද? ඉස්සර අපි පුංචි කාලෙ හුඟක් දවස් වල රෑට කොහේහරි තොවිලෙක යක් බෙර සද්දෙ ඇහෙනව.ඔය දහාට සන්නියෙ කවිය "ජිනපාලගෙ කතන්දරේ" පොතේ තියනව. හැලපෙට සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. කමත්මඩු මම දැකලම නෑ ගම්මඩුත් තියෙන්නෙ අතරින් පතර නොවැ ඇනෝ.
      ඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මං හිතන්නෙ හැලපෙ මම කියපු කමත් මඩුව වරදවල තේරුම් අරගෙන වගෙයි. කමත් මඩුව කියන්නෙ වෙල් යායක මැද හරි අයිනක හරි තියන ඕවිටක හදල තියන ක්ලොකු මඩුවක්. ඒක ඇතුලෙ ගොයම් පාගන කමත එලන්න පුලුවන් තරම් ලොකුයි.එතකොට අව්ව වැස්ස ගැන බයක් නැතුව ගොයම් පාගන එක කරන්න පුලුවන්.හොඳට ඉඩ තියනව මුදුන් කනුවක් තියන නිසා හරක් ඒක වටෙ යන්න බ්ඳින්න්ත පුලුවන්.අපේ ගමේ තිබුන එකනම් හොඳට ගඩොලෙන් කනු බැඳල හදල තිබුන ඒ වුනාට බිමට ගොමමැටි ගාල තිබුනෙ මොකද හරකුන්ගෙ කුරවලට වී ඇට කැඩෙනව සිමෙන්ති දැම්මොත්.

      Delete
    4. අපොයි ඇනෝ මම හොඳටම නොමග ගිහිං නොවැ ලජ්ජාවෙ බෑ,ඇත්තටම කමත් මඩු දැකල තියේ,හැබැයි තාවකාලික ඒවා.හරක්ගෙන් පාගගන්න වීය බිත්තරට බොහොම අපූරුයි.ඔය බූතයන්ගෙන් සුනාමිවලින් මැඩුවම කරපුවම උෂ්නෙටම වී ඇටේ ජීවය නැතිවෙලා යනවලු.නැත්නම් වී ඇටේ කුඩු වෙනවලු.

      Delete
  44. මම දැන් නුගේගොඩ හිටියට "හදාගත්ත පැල" තියෙන්නෙ පන්නිපිටියේ.
    හැම සි0හල අලුත් අවුරුද්දෙම පන්නිපිටියෙ "දු දරුවෝ" ගෙවල් ලග කතුරු ඔන්චිල්ලාවක් හදනවා තරුණ කැල. ඕක කොච්චර ලොකුද කියනවනම්, පැය 1 1/2 ක් තියාගෙන ඕනේ පදින්න පටන් ගන්න. අන්තිමට ගම්මඩු තොවිලකුත් නටලා තමයි උත්සවය ඉවර කරන්නේ. මේ පාර අවුරුද්දට කලින් මම දැනුම් දෙන්නම්. පූලුවන් කට්ටිය එන්න දැක බලා ගන්න.
    Delete

    ReplyDelete
    Replies
    1. දැනුවත් කිරීම ගැන ඇල්බන්ට බොහොම ස්තූතියි.

      Delete
    2. ඇල්බන්

      ඔය කතුරු ඔංචිල්ලව බඳින්නෙ කොතනද? දූ දරුවො ගේ නම් මම දන්නව.ඕය හරිය පැලැන්වත්ත නේද?

      Delete
  45. මම හිතන්නේ අර දඬුවම මානසික එකක් කියලා. අපේ ගමෙත් ඔහොම එකක් වුණා.

    තවමත් අම්බලම් තියෙන තැන් ඇති. අපි ටිකක් රට-තොට ඇවිදින්න ඕනේ. මට රාජකාරි වලට ගොඩක් ලංකාවේ ඇවිදින්න ලැබුණ නිසා බොහොම දුර්ලභ තැන් විශාල සංඛ්‍යාවකට යන්න ලැබුණා. නමුත් මේ දේවල් විඳින්න කණ්ඩායමේ සියල්ල කැමති නැතිනම් ලොකු ප්‍රශ්නයක්. මම ඕනෑම පලාතකට ගියාම මේ වගේ තැන් සොයාගෙන යනවා. කරුමේ තියෙන්නේ ඒ කාලේ මගේ ගාව කැමරාවක් තියා කැමරා ෆෝන් එකක් වත් තිබුනේ නෑ.

    පන්න්නිපිටියේ දෙපානම දේවාල පාරේ තියෙන දෙවාලෙත් ගම් මඩුවක් නටනවා. අපේ ලියන්නා එහෙම දන්නවා ඇති. ලියන්නා (වෙනියා) ඉන්නේ ඒ හරියේ.

    තවමත් ප්‍රමාද නැතිව ඇති සුභ අලුත් අවුරුද්දක් කියන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුදීක,ඔබටත් සුබම සුබ නව වසරක් වේවා!!!
      ඇත්තටම රට තොට ඇවිදින්න ගියොත් මමත් මෙවැනි දේවල් සොයාගෙන යනව හැබැයි අම්බලම් නං දකින්න ලැබෙන්නෙ බොහොම කලාතුරකිනුයි.රටතොට ඇවිදපු දවස්වල මටම කියල කැමරා කටුවක්වත් නොතිබුණු එක මටත් විශාල අඩුපාඩුවක් වුනා.

      Delete
  46. හැලප පවුලට සුභ 2014ක්!
    මොකක්ද නචං ගම් කො‍ටුව කියන එකේ තේරුම?

    ReplyDelete
    Replies
    1. යාතිකා කරද්දී කියන්නෙ එහෙම තමා හෙන්රි.
      ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට සුබ නව වසරක්!!!

      Delete
  47. මේ දේවාලේ නම මොකක්ද අයියා ? අර ලංකාදීපේ ගියාය කිව්ව ලිපිය මොකක්ද මම හොයලා බැලුවාට හම්බුණේ නැහැනේ. මට ඒ දේවාලේ ගැන හොයලා බලන්න ආසා හිතුණා :)

    ReplyDelete

ඔබේ අදහස්