Sunday, November 17, 2013

103.ජාත්‍යන්තර කාන්තා දිනය,පොකැට් කැලැන්ඩරේ සහ තවත් කතා






අපේ කණ්ඩායම ඔන්න වැඩ පටන්ගන්න බදුල්ලට ගියා...ගියපු කණ්ඩායම මෙහෙමයි,අපේ ප්‍රධානියා, මමයි මගෙ ගෝලයයි තව අලුතෙන් ඔෆිස් එකට ආපු කොල්ලො දෙන්නෙකුයි, නම් කියන්න හොඳ නෑ දෙන්නම දැන් රජයේ ලොකු ලොකු තානාන්තරවල ඉන්නෙ, සරත් සහ උමගිළිය ඒ දෙන්න පින්තූර ගන්න ගියා, උමගිලියගේ ලොකු පුතත් ගමනට සහභාගී වුණා...අන්න කොල්ලො, තාත්ත ජේ ආර්ට කියල හදල දුන්න රජයේ රස්සාව පිස්සු කෙලල නැතිකරගත්තා, දැන් කන්න බොන්න දෙන්නෙත් සිගරැට් එක බොන්න පවා සල්ලි දෙන්නෙ තාත්තා... ඌට හෙන ජොලි, මොන කරදරයක්ද හැමදේම හම්බවෙනවනේ, අපි ඌට කිව්වෙ උමගිළිය ජූනියර් කියල පස්සෙ නිකම්ම ජූනියර් උනා...

එතකොට කණ්ඩායම ඔක්කොම අටයි නෙ, අපි කට්ටිය වාහන දෙකක ගිහිං දුන්හිඳ තියන පාරෙ කිලෝමීටර් දෙකතුනක් ගියතැන හම්බවෙන සරත්ගෙ යාළුවෙකුගෙ ගෙදර නවාතැන් ගත්තා...ගිය තැන දැන් ඇහුවට අයුරු කියන්න නං මට  මතකක් නෑ ඉවාන්, හැබැයි ඒ ගෙදරට වාහන යන්න බෑ කන්ඩියක් උඩ තිබුනෙ...වාහන පාරෙ නවත්තල කපල තිබ්බ පඩිවලින් ගලෙන් ගලට නැගගෙන අපි ඒ ගෙදරට ගියෙ, පාරට පහලින් සීතලම සීතල සුදෝසුදු වතුර ගොබයක් ගලාගෙන ආපු  පීල්ලක් තිබුණා, බොන්න වතුර ගන්නෙ නාන්නේ ඔක්කොම ඒ වතුර පීල්ලෙන් තමයි... පාරෙන් එහා පැත්තෙ කන්දෙ බඩ පිරෙනකන් බොන්න කිතුල් රා තිබුණා, ඔන්න ඉවාන් තැන මට එච්චරයි කියන්න මතක...

ඒ දවස්වල අපි රාජකාරියට ගියාම නවාතැන් ගත්තෙ ඔන්න ඔය විදියට...දැන් එවුන් නං  හෝටල්  නැත්නං යන්නෙ නෑ පහසුකම් මදි කියල, අපි ගිය පළාත්වල කිට්ටුව පාතක රජයේ ගොඩනැගිලි තිබ්බනං එවයේ නැවතුනා,  නැත්නං කාගෙහරි යාලුවෙක්ගෙ තැනක ගජේ ගහනව, තෙල්දෙණියේ ජංගම සේවෙට ගිය වෙලේ නැවතුනේ පොල්ගොල්ලේ සමූපකාර විද්‍යාලෙ   නේවාසිකාගාරවල, නුවර පදවිප්‍රාප්තියට ගිය වෙලේ නැවතුනේ ගන්නොරුවේ කෘෂිකර්ම විද්‍යාලෙ  නේවාසිකාගාරවල, මයියංගනේ සාහිත්‍ය උත්සවයට ගියවෙලේ නැවතුනේ ඒත් ටවුමෙම තනියම හිටපු සරත්ගෙ යාළුවෙකුගෙ නිල නිවාසෙක, ඔයවගේ තමයි නවාතැන් කෑම බීම ගැන මහලොකුවට හෙව්වේ නෑ, රාජකාරිය හරියට කරන එක තමයි ඉතාම වැදගත් කොට සැලකුවෙ ...

නුවර තිබුණු ශ්‍රීමතාණන්ගේ පදවිප්‍රාප්ත සංවත්සරයට දෙපාර්තමේන්තුවෙන්  නුවර බෞද්ධ මන්දිර ශාලාවෙ ඡායාරූප ප්‍රදර්ශනයක් තිබ්බා...අපි දෙසතිය කණ්ඩායම නුවරට ගියෙ දෙසැම්බර් තිස් එක්වෙනිදා හවස් වරුවෙ ශාලාවෙ අපේ දෙසතිය අළෙවිහල හදල නිදාගන්න ගන්නෝරුවෙ යනකොට රෑ දොළහත් පහුවුනා...

මුළු නුවර පළාතම අලුත් අවුරුදු වෙඩි හඬින් ගිගුම් දෙන නව අවුරුදු උදාව මොහොතෙ අපි ටික පාර අයිනෙ තිබුණු පෙට්ටි කඩේකින් සුදු ආප්ප ලුණුමිරිසුත් එක්ක  කාල තේ බිව්වා, ඒ අපේ රෑ කෑම...

ලංකාවෙ හිටියත් ලෝකෙ කොහෙ හිටියත් ජනවාරි පළවෙනිදට අපි කිරිබත් කෑල්ලක් කනවමනෙ, ඒ ජනවාරි පළවෙනිදා තමයි මට මතක තියෙන කිරිබත් නැති එකම නව අවුරුද්ද...උදේ දහයට විතර අපි ගිහිං පෙට්ටි කඩේකින් වේලිච්ච ආප්ප කෑවා,මම ඕක මගේ ඩයරියෙත් ලියල තිබ්බා "කිරිබත් නැති ජනවාරි පළවෙනිදාවක්"කියල, ඩයරියේ ලිව්වා කියපුවම උඹල හිතන්න එපා මම ඩයරි ලියන සතෙක් කියල...මම ඩයරියක් තියාගෙන හිටියෙ අපි රාජකාරිවලට පිට යන දවස් වෙලාවල් එහෙම ලියාගන්නයි...නැත්නං සබ්සිස්ටන්ස් ක්ලේම් පෝම් එක ලියන්න ඇඹරෙන්න වෙනවනෙ දවස් මතක නැතුව...හැබැයි ඩයරි නොලිව්ව එක අපරාදයක් කියල දැන් නං හිතෙනව, ඒ දවස්වල විස්තර ඩයරිවල ලියල තිබ්බනං මං මේ පෝස්ට් ලියන්නෙ කජු කනව වගේ, නිකං කජු නෙමේ රටකජු...දැන් ඉතිං ලියන්නෙ මොළේ කොර වෙනතුරු කල්පනා කරකර, නැත්තං එක එකාට පෝන් කරකර බැණුම් අහගන්නව...

මචං අපි අර අහරෙ ගියෙ කවුරු කවුරුද ඒ කොයි කාලෙද...

තොගෙ ඔලුවෙ අමාරුව තාම හොඳ නැද්ද  යකෝ...

ආ..මට විතරයි  ඔලුවෙ අමාරුව  තොට නෑ...තොට තියෙන්නෙ හොඳ වෙන ඔලුවෙ අමාරුවක් නෙමේනෙ,නාකි ගෑනියක් දැක්කත් තොට ඔලුවෙ අමාරුව හැදෙනවනෙ බොල...

මව් ගුණ ගායනාවලින් පස්සෙ බොහොම අමාරුවෙන් විස්තර අහගන්නෙ ඒ හින්ද මම මේ දැන් බ්ලොග් ලියන තරුණ ළමයින්ට දෙන එකම අවවාදය නම් ඔය විස්තර ලියල තියාගන්න, පස්සේදී හරිම වටිනව...ඩයරියක් නැත්නං කොපි පොතක හරි කමක් නෑ...අපි කොල්ලො කාලෙ එහෙමනෙ, අපට ආසාව තිබ්බට ඩයරි ලැබෙන්නෙ නෑ,දැන් නං දෙසැම්බර් මාසෙ ඉඳල අප්‍රේල් විතර වෙනකං ඩයරි ගෝනියක් විතර හම්බවෙනව, ඒ වුණාට දැන් ඩයරි ගැන කිසිම ආසාවක් නෑ, ආසාව තිබ්බ කාලෙ ලැබුනෙ නෑ, ඕව ඔහොම තමයි මම ඉස්පිරිතාලෙ වැඩකරන කාලෙ අපිත් එක්ක වැඩකරපු කෙල්ලෙකුගෙ මහත්තය මට ලස්සන ඩයරියක් දුන්න...

මමත්ඉතිං බොහොම සතුටෙන් ඔය ඩයරියත් අතේ තියාගෙන පොර වගේ ආඩම්බරෙන් දවස් දෙක තුනක් වැඩට එන්න ඇති ඕනැනං...ඒ දවස්වල මට ආලවන්තකම් පාපු අංගනාවක් ඔය ඩයරිය දැකල...

ආ මෙයා මේක මටත්  හොරෙන් තියාගෙන හිටිය නේද මේක මට හොඳයි...

කියල මවු තුරුලෙන් දරුවෙක් ඇදගෙන යනව වගේ මගෙ ඩයරිය  අරං ගියා, මොනව කරන්නද එපා කියන්නයැ එපා කිව්වොත් එහෙම...

තමුසෙට මට වැඩියෙ මේ කඩදාසි ටික ලොකුඋනා එහෙනං, ඔය මගුල තමුසෙම තියාගන්නව...මගෙ ගැන බලාපොරොත්තු තියාගත්තෙ නැතුවට කමක් නෑ...

ඔන්න ඔහොම කියල ඩයරියත් දමල ගහල යයි කියල මගෙ හිතේ බයකුත් නොතිබුනා නෙවෙයි...ගෑනු ඔහොමනෙ මගෙත් පළවෙනි කුළුඳුල් ආදරය නොවැ...ඉතිං මමත් ඒ දවස්වල සත්‍ය ප්‍රේම භෘංග රාජයා වගේ හිටියෙ...සත්‍ය ප්‍රේම භෘංග රාජය කියපුවම මට මතක් උනේ ඊට අවුරුදු හත අටකට පස්සෙ මට මුණගැහුණු භෘංග රාජයෙක්...

මෙයා බොහොම ලපටි කොල්ලෙක් රතුයි හරි ලස්සනයි,උපමාවකින් කිව්වොත් හරියට ජෝන් ඒබ්‍රහම් වගේ, ඒ දවස්වල නං ජෝන් ඒබ්‍රහම්ල බඩගාන කාලෙ වෙන්න ඇති...ඔන්න පොර රස්සාව හම්බවෙලා අපේ කන්තෝරුවට වැඩට ආව, ඒ දවස්වල සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ගත්ත තරං ගත්තෙ දකුණෙන්නෙ, දකුණෙන් කිව්වට හරියටම කිව්වොත් බෙලිඅත්තෙන්, මොකද සෞඛ්‍ය ඇමති රංජිත් අතපත්තු බෙලිඅත්ත ආසනේ මන්ත්‍රී නොවැ ඉතිං මේ අහිංසක කොලුවට රූප ලස්සනේ උගත්කම ආදී හැම දෙයක්ම තිබුනට මොකද පොඩ්ඩක් පොෂ් මදි...

පොඩ්ඩක් කිව්වට ඉතිං දන්නවනෙ ගතිගුණ හැසිරීම් කතා විලාසය ආදිය ඔක්කොම ගිරුවාපත්තුවෙ...

අපිටනං  ඔව්ව එච්චර ගාණක් නෑ ඌ මොනරාගල මධ්‍ය මහා විද්‍යාලයෙන් ආවත් එකයි රෝයල් එකෙන් ආවත් අපට එකයි...රෝයල් කිව්වම මතක් උනේ මගේ යාලුවෙක් හිටිය ඌ රෝයල්, හැබැයි ඉංග්‍රීසියෙන් වචන දහයක් ගැට ගහ ගන්න බෑ...මූ  කීප දවසක් ඇඹරෙනකොට මම ඌට කිව්ව...

මචං උඹ කියපං උඹ තුම්පනේ මහා විද්‍යාලෙ කියල...මම රෝයල් කියපං එතකොට උඹේ නම්බුවත් බේරෙනව රෝයල් එකේ නම්බුවත් බේරෙනව...

ඔන්න ඔච්චරමයි මම කිව්වෙ මාතලන් මූට තදවුනානෙ...මාස ගානක් මගෙ මූණවත් බැලුවේ නෑ ඒ ඇයි බං අරූ...

ඔන්න ඉතිං අපේ අහිංසක කොල්ලත් සතුටින් සමාදානයෙන් කන්තෝරුවෙ රාජකාරි කරමින් ඉන්න අතරෙ අනංගය මූට වැඩේ දුන්න, කෙල්ල ඇවිල්ල අල්ලපු බිල්ඩින් එකේ රස්සාව කරපු කෙල්ලක්, පුල් පොෂ් කෙල්ල, ගමත් කොළොන්නාවෙ...

කොළඹ චිත්‍රපටි හෝල් ගානෙයි වික්ටෝරියා පාක් එකෙයි මේ යුවළගේ ආදර අන්දරය බාධාවක් නැතුව ගලාගියා...කොල්ලගේ පළවෙනි ආදර අන්දරය වුනාට කෙල්ල ආදරයට කෝඩුකාරියක් නෙවෙයි හොඳ පුරුදු කාරියක් ...කොල්ලගේ අඩුපාඩු, පසුබාන තැන් ඔක්කොම ඒ කාලය තුලදී කෙල්ල නෝට් කළා නෝට් කරල නිකං හිටියෙ නෑ වෙලාවට කලාවට දඩ බූට් එකකුත්  දුන්නා...

දැන් මූ පිස්ස වගේ හැසිරෙන්නෙ, දවසක්දා මටත් උගේ කඳුළු කතාව කිව්වා...

මල්ලි ඕව ඔහොම තමයි හද පතුලෙන්ම කරපු ආදරයක් බිඳ වැටුනම දරාගන්න හරි අමාරුයි කාලයත් එක්ක ඔයාගෙ හදවතේ ඇතිවුණු තුවාල සනීපවෙයි, පස්සෙ කාලෙකදී ඒ ආදරේ මතකයක්ම පමණක් වේවි...කාලය හොඳම වෛද්‍යවරයා හැටියටත් හොඳම බෙහෙත හැටියටත් එකවර වැඩකරනවා, ඉවසගෙන ඉන්න...

මමත් සාහිත්‍යයෙන්ම දුන්නා, මූත් මගේ මූණ දිහා උණහපුලුව වගේ බලාගෙන අහගෙන හිටිය,අහගෙන ඉඳල එහෙම මේකා ගිහිං ඔෆිස් එකේම හිටපු අක්කෙකුට කඳුළු හල හලා මම කියපුදේ ගෙඩිපිටින්ම කිව්වා...

බලන්නකො අක්කෙ මට මෙයා මේ විදියට කිව්වනෙ...

කිව්වහම මොකද ඒ දවස්වල ඔය අක්කත් එක්ක මගෙත් පොඩි ඇයි හොඳයියක් තිබුණා...මමත් ඒ කාලෙ කුරුල්ලෙක් වගේ සැහැල්ලුවෙන් හිටපු තනිකඩ කොල්ලා,අක්ක කෙල්ලට ඊරිසියාවෙ බලාගෙන ඉන්න බැරුවද කොහෙද මට කොක්ක ගැහුවා, එදා ඉඳලම මෙයා හදන්නෙ මාවත් ඒ අයගෙ අර සම්ප්‍රදායික කොටුව ඇතුළට ඇදල හිරකරලා දාන්නයි...විරුද්ධ වුනොත් බැන්නොත් අඬනව, කඳුළු උපත අඬාගෙනම තමා කතාව පටන්ගන්නෙ...මට මේක විශාල හිසරදයක් වෙලා තිබුනෙ...

ඉතිං අපේ සත්‍ය ප්‍රේම භෘංග රාජය මල්ලි  ගිහිල්ල අක්කට කතාව කිව්වට පස්සෙ අක්ක කෙල්ල ඇවිත්  මට ගොඩක් දොස් කිව්වා ...

ඔයා මොනවද අර මල්ලිට කියල තියෙන්නෙ, බලන්න ඔහොම කියපුවම එයා ඔයා ගැන මොනවද හිතන්නෙ ඔයා හිතාගෙන ඉන්නෙ එයත් ඔයා වගේ ෂර්ට් මාරුකරන්නැහේ  කෙල්ලො මාරු කරන කොල්ලෙක් කියලද...

අවලාද අපහාස ගෝනියයි...මමත් බැන්න

එතකොට ඔයා කියන්නෙ ඌ අඬනකොට මටත් ඌත් එක්ක අඬන්න කියලද ඔයාට ඕනැනං  ගිහින් ඌත් එක්ක එකතුවෙලා අඬන්න, හැමදාම කරන වැඩේනෙ...හැබැයි ඌට කියනව මීට පස්සෙ උගෙ මගුල් මාත් එක්ක කියන්න එන්න එපා කියල...

තදවුණු වෙලාවට බලු බැණුම් බැන්නත් අක්ක කෙල්ලව අතඇරලා දාන්න හිතකුත් නෑ, හදිස්සියකට අසක්කුවකට රුපියල් සීයක් හමාරක් ඉල්ලගන්න ඉන්නෙත්, ඉන්ඩම බැරි අමාරුවකදී  ලෝඩ් එකක් බාගන්නකල් කිසිම ආඩම්බරයක් නැතුව අල්ලන්නෙත් ඔය අක්ක කෙල්ලමනෙ..ඉතිං අත ඇරල කොහොමද අපිටත් ඒ කාලෙ අත මිට බොහොම හිඟයි නොවැ...

අක්ක කෙල්ල ගස්සගෙන යන්න ගියා...අරකගෙ(අරූ කියල ලියන්න හැදුවට බෑනෙ,අපේ අරූ ඉන්නවනෙ එතකොට හිතයි මේ ඌට කියන්නෙ කියල,අනේ අම්මප දාගන්න නං නැතුවට මුනුත්  දාගන්න නං) හිත හදන්න යථාර්ථය කියල දුන්නට ඔන්න මට ලැබුණු තෑග්ග...ලියන්නම ඕනැනං අක්ක කෙල්ලගෙ කතාව මම පස්සෙ දවසක ලියන්නංකො...

ඉතිං කොහෙන්ද අපි නැවැත්තුවෙ ආ හරි ඩයරිය අරං ගිය යුවතිය නේද...ඔය යුවතිය හෙවත් මගේ පළමුවෙනි ආදර කතාව, ටික දවසකින්ම කිසිම හේතුවකින් තොරව ඇය මගේ ජීවිතයෙන් ඈත්වෙලා යන්නම යන්න ගියා...

හේතුවක් නැතුව කිව්වට ඒ මටනෙ, ඇයට ඕනෑ තරං හේතු තියෙන්න ඇති ඒ කාලෙ හිතන්න බැරි උනාට පස්සෙ කාලෙකදී නිවී සැනසිල්ලෙ කල්පනා කරද්දී මට ගොඩක් දේ වැටහුණා...හරියට ශතෝදීප් හිරගෙදරදී  තමන් හිරේ වැටෙන්න හේතුව නොදැන හිටපු එද්මොන් දාන්තේට පාරියා පූජකවරයා හේතුව පහදලා දුන්න වගේ මම තනියම කරුණු කාරණා එකිනෙක ගැටගහනකොට කාරණේ මහ දවල් වගේ නිකම්ම පැහැදිලි වුණා...

කොහොම වුනත් ඇය අපේ ආදර කතාවෙන් සමුගත්ත එක මට වැදුන දරුණු පහරක් වුණා...හුදෙක් කෙල්ලක් නැතිවීමම  පමණක් නොවෙයි...තරුණ වයසෙ මුල් හරියෙ ඉන්න කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙන් තමන් ප්‍රතික්ෂේප වුණා කියන එකම ලොකු අවමානයක් ලැජ්ජාවක්...අපි කවුරුත් කාගෙන්වත් ප්‍රතික්ෂේප වෙන්නට කැමති නෑ, ඒ අපේ අභිමානය සම්බන්ධ කාරණයක්...කෙනෙක් තමන්ට අත දික්කරල හිනාවෙනවට කවුද කැමති...ඒ වෙලාවට හිතෙන්නෙ ලෝකෙම බලනව ලෝකෙම මට හිනාවෙනව කියලනෙ...සනත් නන්දසිරි "මුළුලොව මගෙන් අසාවී'' කියල කිව්වෙ නිකංද...

ඉතිං නැතිවුණු අභිමානය සහ  ඒ කොට මොඩල් කෙල්ල පයින් ගහල විනාශ කරල දමපු ආත්ම ශක්තිය නැවත ගොඩනගාගන්න සහ  වැටුණු වලෙන් ගොඩ එන්න තවත් කෙල්ලෙක්ගෙ අතේ එල්ලෙන්නෙ නැතිවම බෑ...

ඔන්න ඔය වගේ වලේ වැටිල ඉද්දි, එන්න ඕනැවට රස්සාවට එද්දි දෙයියො දුන්න වගේ ස්වප්නට පත්වීමක් හම්බවෙලා අපේ ඉස්පිරිතාලෙ වැඩට ආවෙ...ස්වප්නා ගැන මම කලිනුත් ලියල තිබුනනෙ ඉතිං දිගම දිග  කතාවක් කෙටියෙන් කිව්වොත් ස්වප්නගේ අතේ එල්ලිලා මම වැටිච්චි වලෙන් ගොඩ ආවා...ඒ කතන්දරෙත් පස්සට තියමු...ආපහු ප්‍රධාන කතාවට...

බදුල්ලෙ මම ඔය කියපු ගෙදර නවාතැන් ගත්ත අපි කණ්ඩායම උදේ නැගිටල තේ එකක් එහෙම බීල,අපි සීනි තේකොළ කිරි එහෙම ගිහිං දුන්නම ඒ ගෙදර හිටපු අයිය උදේට කට්ටියටම තේ ලෑස්ති කරල දුන්නා...අර සීතලම සීතල වතුර පීල්ලට ඔලුව අල්ලල නාගෙන,එහෙම උදේ නාන්නෙ නැතුව යන්න අමාරුයි, රෑ ඔලුව කරවෙන්නම ගහලනේ නිදාගන්නෙ,උදේ පාන්දර ඔය වතුර පීල්ලට ඔලුව අල්ලන එක තමයි වැඩේ කියන්නෙ...කුරුමානං අල්ලල අල්ලල දත් මිටි කාගෙන පීල්ලට ඔලුව අල්ලනව ඔලුව විතරක් නෙවෙයි මුළු ඇඟම ප්‍රීස් වෙනවා මැලේරියා ලෙඩා වගේ සීතලෙන් ගැහෙන්නෙ...අමාරුවෙන් හරි නාගත්තට පස්සෙනනං තියෙන සනීපෙ කියාගන්න බෑ...බදුල්ලෙ වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනය හරියෙ තිබ්බ ශාලාවක අපේ වැඩේ ලෑස්ති කරල තිබුණා...

 යන ගමන් කඩේකින් උදේට කාල එහෙම ශාලාවට ගිහිං අඩුපාඩු බලල හදනව, දවල් දහය විතර වෙද්දි ප්ලාස්ටික් බූලි දෙකක් දාගත්ත වාහනයක් අර මම කියපු ඉවාන්ලගේ ගෙවල් හරියෙ තියෙන කිතුල් මණ්ඩියට යවනවා...

ඩ්‍රයිවර්ලා දෙන්නම කොල්ලො, කිසි කරදරයක් නෑ අපායට පලයන් කිව්වත් යනව...දහයට විතර මම එකෙකුට කතාකරනව...

ආසිරි මෙහෙ වරෙන් කොල්ලො...උඹ ගිහිං මේ බූලි දෙක පුරෝගෙන වරෙන් තැන දන්නවනෙ රා බිබී එතන ටැක් ගැහෙන්න එපා මෙහෙ ඇවිත් බීපන්,මොකද අද දවල්වෙද්දී ලොකු මහත්තයත් කොළඹ ඉඳල එනව කිව්ව...

හරි හරි මහත්තය බයවෙන්න එපා මම වෙලාවට එන්නංකො...

කිතුල් රා බූලි දෙක ගෙනත් පිටිපස්සෙන් තිබ්බට පස්සෙ එක එකා තමන් කැමති පමනෙන් සප්පායම් වෙනවා උමගිළිය දිදාලයක් වගේ චූටි කෝප්පයක් කොහෙන්ද හොයාගෙන ඇවිත් ඒකෙන් විස්සක් විතර බොනව,තාත්ත මාරුවුණ ගමන් ජූනියර් ඇවිත් ලොකු වතුර බොන වීදුරුවකින් දෙකක් ගහල අරිනව ඇල්වතුර බොනව වගේ...බීල සිගරැට් එකකුත් පත්තු කරගෙන ලෝඩ් පකීර් වගේ ඉස්සරහින් පුටුවක වාඩිවෙලා හුළං වැදී වැදී  ඉන්නව හරියට ගෙදරට ආපු අමුත්තෙක් වගේ,අපට වගේ නෙවෙයි ඌට මොන සැපද...

ඔය දවස්වල මම ඊළඟ අවුරුද්දට ගහන දෙසතිය කැලැන්ඩරේ මූලික වැඩ කටයුතු කරමින් හිටපු කාලෙ...ඉස්සෙල්ලම කැලැන්ඩරේටයි පොකැට් කැලැන්ඩරේටයි පින්තූර දෙකක් හොයාගන්න එපායැ,මගෙ අදහස තිබුනෙ පොකැට් කැලැන්ඩරේට කිතුලකට නගින රා මදින්නෙකුගේ පින්තූරයක් දාන්නයි...ඉතිං මේ ගමනෙන් ඒ වැඩෙත් කරගන්න පුළුවන් වෙයි කියල හිතපු මම හරිම සතුටින් හිටියා,ඇයි මල් කපන කිතුල් ගස් මංඩි කඳුවල වකාරෙට තියෙන්නෙ, වෘත්තීය මට්ටමේ පොටෝ කාරයෝ දෙන්නෙකුත් හොඳම කැමරා උපකරණත් තියනව,ඉතිං පොටෝද ගන්න බැරි...

සරත් මට පින්තූරයක් ඕනෑකරලා තියනව උදේ මල් කපන්න අර උපකරණ පෙට්ටියත් ඉනේ එල්ලගෙන කිතුල් ගහකට නගින මනුස්සයෙකුගෙ, ඒ මිනිහ උඩට කමිසයක් ඇඳල ඉන්න බෑ ...එතකොට නැගෙනහිර පැත්තෙන් ඉර එළිය තීරු තීරු ගස් අස්සෙන් පෙනෙන්න ඕනෑ...

ආදී වශයෙන් මම මගෙ අවශ්‍යතාව සරත්ට කියපුවම...

හරි මට තේරෙනව මම පින්තූර තුන හතරක්  අරං දෙන්නං හොඳ එකක් තෝරාගන්න එකයි...ඒක නෙවෙයි හැමදාම මේ මගුල් රා  බීල මගේ බඩ බුරුල්කරල,හරියට ටැප් එක ඇරිය වගේ බඩයන්නෙ ,අරක්කු කාලක් අමුවෙන් බිව්වනං බඩයන එක ගල ගැහුව වගේ නවතිනව...ගෙන්නමුද බෝතලයක්...

වැඩේ බාරදුන්න ගමන්ම මූ මගෙන් බෝතලයක් කැපුවා...මම කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියත් පින්තූරෙ වැඩේ හරිගියේ නෑ,රා මදින මිනිස්සු පිට අයව ගස් මුලට ගෙනියන්නෙ නැහැලු රා ගේන්න බූලි දෙක අරං ගියත් බූලි දෙක ඉල්ලගෙන...

මම විගැහින් රා ටික අරං එන්නං මහත්තය ඔතනට වෙලා ඉන්ට...

කියල යන එකාව ගලක් උඩ වාඩිකරල කන්දට ගිහිං රා ටික ගෙනත් දෙනව මිසක් ආයෙ කාවවත් කන්දට එක්කං යන්නෙ නෑ...


අන්තිමේදී මම පොකැට් කැලැන්ඩරේට පින්තූර දෙකක් හොයාගත්ත,එකක් වී බිස්සක පින්තූරයක්, අනික කැලේ එළිමහන් මන්ඩියක අහුලගෙන කන වළි කුකුල්ලු රංචුවක්...දැන් මේ පිංතූරදෙක ලොක්කට පෙන්නල එකක් අනුමත කරවගන්න ඕනෑ...මම වඩා කැමතිවුනේ වී බිස්සේ පින්තූරෙ දාල පොකැට්  කැලැන්ඩරේ ගහන්න, පින්තූර දෙකටම දෙසතිය කියල ලියවල ඩමි දෙකකුත් හදාගෙන ඒක ලොකු කරල ප්‍රින්ට් එකකුත් ගත්තා...දැකපු උන් නං නොයෙක් ජාති කිව්ව...

ඔන්න ඔය වී බිස්ස  විසිකරපන් උඹලනෙ  කරන්නෙ කෙලින්ම කුකුල්ලු ටික දාල ගහපං,ඒක තමයි හරියටම ගැලපෙන්නෙ ෂුවර් එකටම මම දන්නව ලොක්ක ඇප්රූ කරන්නෙ කුකුල්ලු ටික...

නෑ බං ලොක්කට පෙන්නන්න ඕනත් නෑ කෙලින්ම කැලැන්ඩරේ ගහලම පෙන්නපන් කුකුල්ලු ටික දැක්ක ගමන් ලොක්ක ඕ කේ කරනව...

ඔන්න ඔය වගේ මඩ වරුසා මැදින් මම පින්තූර දෙකත් අරං ලොක්ක හම්බෙන්න ගියා...

යනකොට ලොක්ක ගෝල් ලීෆ් එකකුත් බිබී පත්තරේ බලනව...වාඩිවෙන්න කියල මොකද කාරනේ ඇහුවා...

අර කැලැන්ඩරේ පින්තූර ටික පෙන්නන්න ආවෙ සර්...

කෝ බලන්න දෙන්න...

දැන් මොන පින්තූරෙද කැලැන්ඩරේට දාමු කියල කියන්නෙ...

වී බිස්සෙ පින්තූරෙ හොඳයි නේද ...

එතකොට වී බිස්ස දාන එකෙන්  අපි අදහස් කරන්නෙ මොකක්ද...

අප්පට හුඩු...ලොක්ක දැම්ම නේද දුස්රාවක්, මෙහෙම දෙයක් අහයි කියල මම හිතුවෙම නෑ ...තප්පර දහයකට විතර මාව තුෂ්නීම්භූත වුණා, ඉක්මනටම යථා තත්වයට පත්වෙද්දිම දිය යුතු උත්තරය කටට ආවා...

සෞභාග්‍යයනෙ සර්...අපි මේ පිංතූරෙන් අපේ රට සෞභාග්‍යයෙන් පිරිල තියෙන බව ව්‍යංගාර්ථයෙන් කියනව...

ලොක්කට හිනාවක් ගියා මොකුත් නෑ කට කණේ...දැන් ඔය පොකැට් කැලැන්ඩරේ  පලවෙනි එක ප්‍රේමදාස මහත්තයට පිලිගන්වනවනෙ,ඒ දවස්වල එහෙම තමා සාංඝීක දානෙක වුණත් අග්‍ර භාගය බුද්ධ පූජාවට තියනව වගේ කරන කියන හැමදේකම මුල් කොටස ප්‍රේමදාස මහත්තයට පූජා කරන එක සිරිතක්...

ඔය කැලැන්ඩර් පූජාවෙදි ප්‍රේමදාස මහත්තය ඇහුවොත් එහෙම මම ලොක්කට කියපු කතාව ලොක්ක ගෙඩිපිටින්ම ප්‍රේමදාස මහත්තයට කියල දානව... ඒ සුන්දර අවස්ථාව ලොක්කගෙ හිතේ මැවෙන්න ඇති...

ඔයයි ඔයාගෙ සාහිත්‍යයයි...කෝ ඕක දෙන්න මෙහාට...

කෙලින්ම වී බිස්ස අස්සන් කරල අනුමත කරල දුන්නා...







106 comments:

  1. හොඳ වෙලාවට ආපහු ෆොටෝ ගහන කතාවට ගියේ. ඒක අමතකම උණා. අර ශතෝදීප් උදාහරණෙට නම් මාරම කැමතියි.
    ඒක නෙවේ හැලප අයියේ මොකක්ද අර ලෝඩ් එකක් දානකල් අල්ල ගෙන ඉන්න කතාව?

    ReplyDelete
    Replies
    1. පෝන් ඒකට රීලෝඩ් එකක් දාන කතාව වෙන්නැති

      Delete
    2. හෙහ් හෙහ් පූම දන්න ගල් ලෝඩ්!

      Delete
    3. ෂුවර්ද ලෝඩ් එක ගල් කියලා.....අක්කා කෙනෙක් නිසා ඇහුවේ...

      Delete
  2. හැමදාම වගේ අපිවත් අරන් රටවටේ යන එකට උඹට පින් අයියෙ...

    ReplyDelete
    Replies
    1. රටවටේ විතරද වෙනී ලෝකෙ වටෙත්.

      Delete
  3. මං ඒත් අන්තිම වෙනකල් කල්පනා කර කර ආව මොකද්ද මෙයා මුලින්ම කියන්න පටං ගත්තෙ කියල... මඟක් හරියට යනකොට මුල කියවපුවා මතක නැති වෙනවනෙ වටේ කැරකෙන හැටියට... හි හි..

    අතේ එල්ලිලා මම වැටිච්චි වලෙන් ගොඩ ආවා///

    ඔය වගේ කේස් දෙකකදිම ඔය ගොඩ යන්න අත දෙන එකා උනා මං.. හැබැයි ඉතිං ඔන්න ගර්ල් ෆ්‍රෙන්ඩ් කියල මගේ ෆොටො එකක් පෙන්නන්න අවසර දෙන එක සහ ඉඳලා හිටලා එන කෝල් එකකට ආන්සර් කරන එක ඇරෙන්න වෙන දේවල් නං කළේ නෑ.. අර ඉතිං “ උඹ මට බූට් එක තිබ්බට උඹට වඩා හොඳ කෙල්ලෙක් දැං මට ඉන්නවා ” කියලා පෙන්නන්න.. එහෙම කළාම බූට් එක කාපු එකේ වේදනාව අඩු වෙනවද කොහෙද... හි හි.. එහෙම ගොඩ ගිය උන් දැන් නං දෙයියනේ කියල ලස්සන පවුල් ජීවිත ගත කරනව දරුමල්ලො හදාගෙන... ඒ පින මදෑ ආත්ම ගානකට... නැද්ද හැලපයියේ... හි හි

    ReplyDelete
    Replies
    1. ආ මොනව කියනවද හිරූ ඒ වගේ උදව්වක් කරන එක ආත්ම ගානකටම සෑහෙන පින්කමක් නොවැ

      Delete
  4. මම බැලුවා මේ මැදදි ඉවාන්ටයි මාතලන්ටයි අරුටයි කෑලි ලියලා තියෙන්නේ ඇයි කියලා පස්සෙදි තේරුණා... කුකුලෝ අනුමත උණා නම් එහෙම ඉඳලා ඉවරයි නේද?

    උඹලා මහ කැත විදිහට පෙම් කරලා තියෙන්නේ බං....

    ReplyDelete
    Replies
    1. ඉවාන් බදුල්ලෙ එකා,මාතලන් සහ අරූ රෝයල්.
      කොහොමද බං හොඳ විදිහට පෙම් කරන්න ඕනෑ විදිහ

      Delete
  5. හපොයි උඹත් මං වාගේ බූට් කාරයෙක්ද

    ReplyDelete
    Replies
    1. පලවෙනි එක,ඊළඟට ඔක්කොම මගෙන් කෙල්ලන්ට ලැබුණු බූට් .

      Delete
  6. Well Done Halape nice post ...

    ReplyDelete
  7. යතාර්තවාදියා ලියන නිහාල් ගුරුසිංහ ව අපි පසුගිය දිනවල හෙව්වා.
    අන්න ආයෙත් ඇවිල්ල.අපේ කස්ටිය එහාට ටිකක් ගොඩ වැදිල මොනවා හරි කොටලා ආවොත් හොද නැද්ද මං අහන්නේ......?
    පස්සේ එන්නම් හැලප මචං...

    ReplyDelete
    Replies
    1. නොවැරදීම වරෙන්

      Delete
  8. උඹත් එක්ක වගේ ගොහින් දැන් කැරකිල්ල වගේ බන්.

    ReplyDelete
    Replies
    1. උඹ දැන් ආපහු එනව නේද,කැරකිල්ල ටිකකින් මග ඇරෙයි බං

      Delete
  9. අඩේ හැලපයි‍යේ උඹත් ලෝඩ් බෑවද? ගල් ලෝඩ්ද ? මැටල්ද?

    ReplyDelete
    Replies
    1. ගල් ලොදුත් බැවා මටලුත් බැවා,කෑ ගහන්න එපා බං

      Delete
  10. අම්මපා හැලප අයියේ මේ උමගිලියා නම් මටත් මතකයි... බත්තල ගම් උදාව කාලෙදි පිස්සු කෙළිමින් අපිත් එක්ක හිටිය එකෙක් නේ. ඔබේ මේ මතකය නම් හරිම සුන්දරයි... අති විශිෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. උමගිලියා කිව්වෙ නලින් තාත්තද පුතාද,තාත්ත නං අපි එක්කමයි බුත්තල හිටියෙ.

      Delete
    2. මම කිව්වේ මහ උමගිලියා..... එදා අපිව සම්බන්ධිකරණය කළේ පලන්සූරිය ලොක්කා

      Delete
    3. නලින් බුත්තල මමත් හිටියනෙ,ඔය පත්තරවල අය ඔක්කොම වගේ අපේ දෙපාර්තමේන්තුවට ආවෙ ටෙලිපෝන් කෝල් ගන්න,දිනමිණෙන් ඇවිත් හිටියෙ තෝමස් කියල කෙනෙක්.

      Delete
    4. අපි ඒ කාලේ මොන්තිතොලි නනවා :)

      Delete
  11. කීයකට කියලා කොමෙන්ට් කරන්නෙයි බන්..

    අර ඔළුවට අල්ලපු වතුර ෆ්‍රීස් වෙලා තිබුනේ.. කවුරු හරි එකෙක් කන්දේ උඩ ෆ්‍රීසර් එකක් හෝදන්න ඇති..

    අර මගෙනුයි අරූගෙනුයි අහපු කුස්සන් එකට නම් කියන්න තියෙන්නේ ආයිබෝවන්ඩ.. මම හැමදාම කියන්නේ ඕකයි.. රෝයල් කියලා හිතාගෙන ඉන්නේ අමු මුලාවක්.. ඌට වචන 10 ක් හරි පුළුවන් කම තිබුනා.. සමහර උන් ඉන්නවා එකේ පන්තියේ ඉඳලා උන්න උන් කඩ්ඩ බැරි..

    ඉගෙන ගන්න එකා තූත්තුකුඩියේ උන්නත් ඉගෙන ගන්නවා කියලා මම හැමදාම කියන්නේ ඕකයි.. මමත් කඩ්ඩ ඉඔගෙන ගත්තේ පොස් බුඩු දාගන්න ඕන නිසාමයි.. මේක අරූත් අනුමත කරයි..

    අර අක්කා බඩුවට බෑවා වගේ ලෝඩ් බාන්න.. බූට් කන එකනම් නිකම් ළාදුරු ගානයි.. කිසිම හැඟිමක් දැණීමක් නැති වෙන්න කාලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එකට අමතර කෑලී එකතු කරපු නිසා අන්තිම හරිය අවුල් වගේ..

      කඩ්ඩ ඉගෙන ගත්තෙ පොස් කෑලී දාගන්න.. මොකෝ පොත්ත සුදු වෙලා වැඩක් නෑ නේ කඩුව වනන්න බැරුව. බඩු දාගත්තෙ නම් ඉතින් ලෝඩ් එකක් බාගන්න තමයි. නැතුව ඉතින් ඒ කාලේ අපචාර කේස් රේප් කේස් තිබුනේ නෑ නේ. කෑල්ලගේ කැමත්ත ඇතුව තමයි ගල් ලෝඩ් එකක් බාගන්නේ.. අපේ අකමැත්තෙන් බාපු ගල් ලොඩුත් තිබුනා.. ඒ උනාට කොහෙමෙයි රත්තරනේ අවංක ආදරයකට් පිටුපාන්නේ..

      Delete
    2. ඒක නෙවෙයි මාතලන් කොහොමද බං උඹගෙ අකමැත්තෙන් ලෝඩ් බාන්නෙ

      Delete
    3. මුගේ අකමැත්තෙන් වෙන එකෙක් බාල වගේ.

      Delete
    4. හා...හා...හා....ශුක්‍ර රාජ්!!!

      Delete
  12. ඒ හැලප අයියෙ අද මොකක්ද මේ අපිට කලේ ...චුයින්ගම් එකක් දුන්න නේද ?යන්තම් හපල ඉවර කරගත්ත..

    ReplyDelete
    Replies
    1. ඉවර කරගත්ත නං කමක් නෑ බං

      Delete
  13. හප්පේ අයියේ ඔය ප්‍රේමදාස මහත්තය ගැන විවිද රස කතා මම කනින් කොනින් අහල තියෙනවා. පුලුවන්නම් ටිකක් ලියල දාන්න ලොකු දෙයක් ඈ...... මගේ ආසම නවල් එකක් මත වුනා මොනත ක්‍රිස්තෝ සිටුවරයා. කී පාරක් කියෙව්වද කියලවත් මතක නැති වෙන තරම් කියවල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි කෝරළේ මහත්තයො,ඔය කතාව දැන් මට කට පාඩම්

      Delete
  14. උඹේ පෝස්ට් එකක් කියෙව්වට පස්සේ විනාඩි 10 ක් විතර යනකම් නිකම් ගංජා ගහපු එකා වගේ...
    උමගිලිය අපේ ඩී.උමගිලියගේ කවුරු හරිද?

    ReplyDelete
    Replies
    1. ටිකක් හාන්සිවෙලා ඉන්නකොට හරියයි,
      නෑ මම හිතන්නෙ

      Delete
  15. මේකෙ අන්තිම ටික කියවද්දි මට මතක් වුණේ ගරිල්ලා මාකටින්.

    ReplyDelete
    Replies
    1. මට එච්චර හෝදිසියක් නෑ දිලිනි මම ඒ චිත්‍රපටය බලල නෑ

      Delete
    2. @ඔමා,
      මොකද කෙල්ල හ්ම්ම් ගානෙ බකමූණ වගේ කියන්න දෙයක් නැද්ද

      Delete
    3. බලපු නැති එක හොදා අන්තිමට ඇති දෙයක් නැ . භින්නෝන්මාදය ගැන චිත්තර පටියක් . ජයන්ත උන්නැහේගේ . අර නළු නිලි වට්ටෝරුව ඒ විදිහටම ආරක්ෂා කරලා තියනවා. අග්නිදාහය අහලක තියන්ඩ බැ

      Delete
  16. \\\\\\\\\ඔය කැලැන්ඩර් පූජාවෙදි ප්‍රේමදාස මහත්තය ඇහුවොත් එහෙම මම ලොක්කට කියපු කතාව ලොක්ක ගෙඩිපිටින්ම ප්‍රේමදාස මහත්තයට කියල දානව... ඒ සුන්දර අවස්ථාව ලොක්කගෙ හිතේ මැවෙන්න ඇති...\\\\\\\\\ඉස්සරත් ඔහොම ලොක්කෝ හිටියද??????

    ReplyDelete
    Replies
    1. අපොයි ශානු ඒ වගේ ලොක්කො ඕනෑ තරං හිටියා

      Delete
  17. හැලපයත් ලේසි පහසු ඩයල් එකක් නෙමෙයිනෙ බලාගෙන ගියාම. ඔය රා බිපුවහම බඩයන සීන් එක සෑහෙන දෙනෙක්ට තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බඩයන සීන් එක ගොඩකට තිබුනනෙ

      Delete
    2. ඔය බඩයන්නේ රාවල වරදක් හන්දා නෙමෙයි නිලමැස්සෝ එහෙම ඉහද තියන හන්දා. ඔන්නං චෙක් කරලා බලහල්ලා රාවල තියනවා අසුචී වල තියන විසබීජ . බැක්ටීරියා . සහ වෛයිරස්

      Delete
    3. එහෙනං ඒක තාම කිතුල් රා වල තියෙන ටෙස්ට් එක අටමො.

      Delete
  18. මාව කරකවල අතෑරියා වගේ ඉතිං කියවපංකො ආයිත් වතාවක්.. කෝ කාන්තා දිනේ ?

    ReplyDelete
    Replies
    1. කාන්තා දිනේට තමයි මේ එන්න හදන්නෙ සරත්,තාම මග

      Delete
  19. හැලප අයියෙ ඔයාගෙ උපදෙස නම් රත්තරන්. මාත් පුළුවන් තරම්ි ඉක්මනට ඩයිරියක් ලියන්න ගන්නවා. අප්පෙ තව නූලෙන් අමතක වෙනවා අර 'අක්ක කෙල්ල' ගැනත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. හරියට හරි ප්‍රියා,ලියපං ඩයරියක් මමත් අක්ක කෙල්ල ගැන ලියන්නං

      Delete
  20. ඔය දුකට පිහිටවෙන්න ගිහිල්ල කෙලව ගත්ත කෙල්ලො නම් ඔන තරම්.(හිරුව එතන නැ හොදේ )

    ReplyDelete
    Replies
    1. පිහිට වෙන්න ගිය කෙල්ල අන්තිමට පෙම්වතිය වෙනව නේද දමිත්.

      Delete
  21. වෙනදා වගේම අදත් රසවත් ... කොහොමහරි අනුමත කරවගත්ත වී බිස්සේ පින්තූරේ අපිටත් බලන්න දැම්මනම් තමයි හොඳ..

    ReplyDelete
    Replies
    1. වී බිස්සෙ පින්තූරෙ මගේ ළඟ දැන් නෑ තුශානි,ඒ ගහපු පොකැට් කැලැන්ඩරයක්වත් දැන් මගේ ළඟ නෑ කොයි කාලෙද,තිබුන නං වටිනාකම කියන්න බෑ

      Delete
  22. ටික දවසකට පස්සේ හැලපගේ මුල් කාලේ වගේ කතාවක් කියෙව්වා.
    ඔය වගේ දිගට ලිව්වම කවුරුත් ආස ඇති.
    මම නම් මෙහෙම දිගට ලියනවට කැමතියි මචං.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි,මම මේ විදියටද මුල් කාලෙ ලිව්වෙ

      Delete
    2. මගේ මතකේ හැටියට මේ ටයිප් තමා.ඔබ කොහොම ලිව්වත් මට රසයි.
      එක එක අවදි වල මතකයන් අවුස්සනවා.

      Delete
  23. වී බිස්ස සෞභාග්‍යයටම ගැලපෙනව කියල, උබ පොටෝ කෑල්ල ගත්ත කියද්දිම මට හිතුන. එතකොට උබ කුකුලව ඇප්රූව් කරගන්න ගිහින්.. ලොක්ක ඇහුව නම් ඒකෙ තේරුම මොකක්ද කියල.. දෙන උත්තරේ මොකක්ද බොලව්???

    ReplyDelete
    Replies
    1. අමුතු දෙයක් නෑ සෑම් කියන්න දෙයක් නැතුව මම හොල්මන් වෙලා ඉද්දි ලොක්ක කියයි,
      ආ ඔයාල කට්ටිය නේද,හොඳයි හොඳයි කියල

      Delete
  24. රාජකාරි , රාජකාරි කියලා කීප තැනකම ලියාලා තියෙන්නෙ බොලා ඒ කාලෙ රජයේ සේවකයෙක්ද ? ඔය කිතුල් රා ගැන මමත් ඊළග පෝස්ටුවෙන් කථා කරන්නයි ඉන්නෙ...ඔය රා මදින්නො වතුර බෝතලේ හංගලා තියෙන්නෙ ගහ මුදුනෙ...තෙලිජ්ජ මුට්ටියට උඩදිම වතුර කලවං කරන්නෙ අන්න ඒ විදියට...අපේ පැත්තෙ පොල් ගස් මැදපු හාදයා නම් මේ වැඩේ සුපිරියටම කොලා.

    ReplyDelete
    Replies
    1. රාජකාරි කියල ලියල තියෙන්නෙ ඒ කාලෙ විතරක් නොවෙයි තවම රජයේ සේවකයෙක් නිසායි,කිතුල් රා ගැන මටත් කියන්න ගොඩක් දේවල් තියෙනව,අපේ පැත්තෙ පොල්ගස් මැදපු උන් නං මොනවද කලවන් නොකළේ,නිලමෙය මට කියපු විදියට රා සහ කිරි කලවන් නොකර දෙන්නෙ කවුද.

      Delete
    2. අපේ උන් ඒ දවස් වල ගහෙන් බඩු බාපු ගමන් නියම බඩු කියලා බෝතල් වලට දාගෙන ගහන්නෙ වතුර කලවං නෑ කියලා....ඒ උනාට ගහ උඩ තමයි වතුර ජෝගුව හංගලා තියෙන්නෙ...උඩදිම මික්ස් කරලයි බඩු පහළට ආවෙ...

      Delete

  25. දෙසතියේ ලියන ස්ටෑයිල් එකට ඒ කාලේ අපි හරිම කැමතියි. මාර කෑප්ෂන් තමයි දාන්නේ . ඇත්තටම දැන් දෙසතිය ගහන්නේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. දැන් නම් හරියටම දන්නේ නෑ. මීට අවුරුදු දෙක තුනකට කලින් නම් තිබුනා. මගෙ යාළුවෙක් ආටිකල් වගයක් කලා දෙසතියට.

      Delete
    2. දෙසතිය කියන්නෙ ලිවීමේ සහ කැප්ෂන් දැමීමේ කලාව නව මගකට යොමුකළ සඟරාවක් ඊටම ගැලපෙන සංස්කාරකවරුන් කලින් කලට වැඩකලා.
      දෙසතිය තවම පිටවෙනවා නමුත් වෙලාවට නොවෙයි මාසෙකට එකක් දෙකක් වගේ බොහොම ලස්සන මුද්‍රණය නමුත් එකල වගේ හරබරකම තරමක් අඩුවෙලාද කියල මට හිතෙනව තිලකේ.

      Delete
  26. කතා මැද කතා හින්දා මොන කතාවටද කමෙන්ට් කරන්නෙ කියලා හිතාගන්ට බෑ නෙව!

    ඩයරි ගැන කිව්වම මතක් උනේ ඒකාලෙ පරිපාලන අමාත්‍යාංශයෙන් ආණ්ඩුවේ ආයතන වලට දෙන කාකි පාට ඩල් පටිය වගේ ඩයරි එකයි ඒකෙම පත එකයි. පටිය පොඩ්ඩන්ට..පත එක ලොක්කන්ට! ඔය ඩයරි එකේ නොලියන මගුල්ලක් නෑ..මීටිං තියෙනකොට බලි රූපත් අඳිනවා.. වෙලාවක පොටෝ කෑල්ලක් එවන්නංකො..තාම ඒවයින් එකක් දෙකක් ගෙදර තියෙනවා.

    ReplyDelete
    Replies
    1. දැන් පටි ඩයරි නෑ කැන්ඩියන්,අර ලොකු එක විතරයි ලැබෙන්නෙ,අවුරුද්ද ඉවරවෙලත් මාසෙකට විතර පස්සෙ කෝල් අප් ඩයරියි ඩෙස්ක් කැලැන්ඩරෙයි ලැබෙනව මතකද

      Delete
  27. හොඳ වෙලාවට අර වී බිස්ස දැම්මේ! රෑ මදින එක දැම්මනම් කියන්න තිබ්බේ අපේ රට දැන් මතින් ස්වයංපෝෂිතයි නේ සෑර් කියලා!

    ReplyDelete
    Replies
    1. රෑ මදින එක දැම්මනං අහපුවම කියන්න දෙයක් නැතුව යනව නාඩියෝ

      Delete
  28. yakoo mam me kalpana kolee bollala akkekwath atha arala nane.hodata duka sapa balala.

    ReplyDelete
    Replies
    1. නැතුව තාරක අක්කලගෙ දුක සැප අපි නොබලා කවුරු බලන්නද

      Delete
  29. එහෙනම් හැලප මහත්තයත් සත්‍ය ප්‍රේම භෘංග රාජයෙක් ඒ දවස්වල :)-
    දැන් ඔය ඉන්න නෝනා කීවෙනි ප්‍රේමයද කියලා ඇහැව්වට කමක් නැද්ද මන්දා.?
    හරිම රසවත්... ගොඩාක් රස වින්දා මේ කතා ගොඩ කියවලා...

    ReplyDelete
    Replies
    1. කාලෙකට අපි කවුරුත් සත්‍ය ප්‍රේම භෘංග රාජයෝ වෙනවා නාලි,දැන් ඔය ඔයාටත් එක්කෙනෙක් ඉන්නෙ අන්න ඒ වගේ,ඉන්න නෝනා මගේ අවසාන සහ දීර්ඝකාලීන ප්‍රේමය කියල කියන්නංකො.
      අගය කිරීමට ස්තූතියි.

      Delete
  30. ඔය කියන දෙසතියේ කැලැන්ඩර් අපට ආවේ පෙට්ටි ගණන් වෙන්න ඕනේ. රාජ්‍ය ආයතන වලට අනිවාර්යෙන් ලැබුන දේවල්නේ. මොනව උනත් ඉස්සර කියවන්න රහ කතා ආංඩුවෙන් නෙමෙයි මොකෙන් කරත් ඔය සඟරා වල තිබුනා.
    බදුල්ලේ කිතුල් තියෙනවද? මමත් නම් බොහොම ආසාවෙන් යන ගමනක් බදුල්ල. ඒත් දැන් මහළු වයසේ හින්දා කොළඹින් පිට කඳු වංගු අස්සේ ඉස්සර වගේම රවුම් ගහන්න බෑ. අන්තිමට 2011 ද කොහෙද ගියේ. කෝච්චියෙන් බදුල්ලට යන්න අදහසක් නම් තියෙනවා පුළුවන් දවසක් තිබුනොත්.

    ReplyDelete
    Replies
    1. කැලැන්ඩර් බෙදා හරියෙත් මමයි රංගී, ආණ්ඩුවෙන් ගැහුවත් ඕනැවට වඩා පන්දම අල්ලගෙන ගියෙ නෑ.
      බදුල්ලෙ කිතුල් ඔසේට තියෙන්නෙ ඔන්න ඉවාන් කියයි.මොකක්ද අප්පා මහලු වයස කියන්නෙ යුරෝපෙ මහලුවයස ඔබ හොඳටම දන්නවනෙ.සංසන්දනය කරල බලන්නකො

      Delete
    2. මහළු වයස කියන්නේ දැන් මට ඒ තරම් මහන්සි වෙන්න හොඳ නෑ. හදිසියේ හොස්පිටල් එකකට දුර වැඩියම ඉන්න හොඳ නෑ එහෙම වගේ ඒවා. නැත්නම් තාම මම දෙකේ පන්තියේ බබා.

      Delete
  31. කිතුල් ගහට නගින එකාව දුන්නා නම් මොකද්ද දෙන උත්තරේ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඩිලාන් මම කිව්වෙ කියාගන්න දෙයක් නැතුව යාවි කියල

      Delete
  32. මේ කතා ඇතුලෙන් එළියට එන හැලපේගේ "නිර්ව්‍යාජකම"ට මගේ හිත ගියේ....

    හරිම රසවත් කතා ගොඩාක්... ලස්සනයි හැලපේ..:)

    (මේ.. මේ කතාව ඇතුලේ කතා කියක් තියෙනවද කියලා ගැනලා කියන්නද..??)

    ReplyDelete
    Replies
    1. ඒ නිසාම වෙන්න ඇති පාඨකයෝ මගෙ කතා රසවිඳින්නේ සඳාට ගොඩක් ස්තූතියි,කතා කීයක් තියේද කියල ගැනල කියන්න ලොකු උදව්වක්.

      Delete
  33. මේ වටේ යාමේ තියන නරක දේ තමයි මුලින් කිව් කතා පස්සෙ අමතක වීම. සාමාන්‍ය‍යෙන් කතාවෙන කතාව ගලායන විදියට තිබුනනං මීට වැඩිය මතක .තියනව. කොහොම උනත් එහෙම කලොත් උඹේ ලිවිල්ල අවුල්වෙන්න ඉඩ තියනව.

    බුංග රාජයෙක් ගැන කතාවක් මටත් මතක් උනා ඔන්න දාන්නං.

    වලි කුකුල්ලු දැම්මනං කිවහැකි අපේ ජාතික පක්ෂිය නිසා ජාත්‍යාලය පෙන්නන්න දැම්ම කියල. නවන්න පුළුවන් දිවක් නෙව අපිට තියෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. වටේ ගියාට පටන්ගත්ත තැන අමතකනොවේ රාජ්.ලියවෙන විදියටයි යන්නෙ මම හිතල ලියන්නෙ නෑ
      වළි කුකුලා ගැන කිව්වනං වී බිස්සට නො වෙයාර් නේද බං

      Delete
  34. යකෝ කිතුල් රා බූලි දෙකක් බීල වැඩ කරන්නෙ කොහොමද?
    ඇත්තටම මේකෙ තියෙන කතා ටික තෝරල බේරල ගන්නනං ෂොට් එකක් දාගෙනම බලන්න ඕන. :D

    ReplyDelete
    Replies
    1. යකෝ බූලි දෙකම බිව්වේ මමද,ඕක බොන්න විස්සක් විතර හිටියා හැබැයි ගෙන්නෙව්වෙ මම.ෂොට් එකක් දාගෙන බලන්නකෝ එහෙනං

      Delete
  35. පේමදාස ජනාදිපති තුමාගෙ ඔය පදවිප්‍රාප්ත සැමරුම මුලින්ම හැඳින්වුවෙ ජනාධිපති පද ප්‍රාප්තිය කියල. වියන්නෙ මොකක් හරි දෝසයක් තියනවයි කියල දෛවඥයො උපදෙස් දුන්නු නිසාය කියනව එහෙම හැඳින්නුවෙ.

    පේමදාස මහත්තය ලඟ හිටියයි කියනවනෙ රෙසිඩන්ට් ඉර්සිවරයෙක් හිමාල වනයෙන් ගෙන්නපු. එයා තමයි ඔහොම කියල තියෙන්නෙ. ඔය පද ප්‍රාප්ත කේස් එකට මට මතක විදිහට කාරියකරවන මහත්තය කිව්ව වෙන ලෝකෙ හැමතැනම තියෙන්නෙ ජනාධිපති පදවි..ලංකාවෙ විතරයි ජනාධිපති පදයක් තියෙන්නෙ කියල..

    ආ..අර ශ්‍රී ලංකාව ශ්රී ලංකාව උනෙත් ඒ ඉරිසින්නාන්සෙගෙ උපදෙස් අනුව තමයි ( From Sri Lanka to Shri Lanka )... ඔය ඉරිසින්නාන්සෙ ගැන කතා තියනව අප්‍රමාණව.

    යකෝ අසූනමයෙ පද පරාප්තිය බලන්ට මමත් ආව. පෝටොස් ප්‍රදර්සනයක් නම් මතක නෑ. ඒත් එහෙම එකක් තිබ්බනම් අනිවාර්යයෙන් මම බලන්ටම ඇති. අඩේ උඹව දකින්ටත් ඇති සම්ටයිම්ස්....

    පද ප්‍රාප්තියට පේමදාස මහත්තය සිය පවුලම නග්ග ගන්නවනෙ පත්තිරිප්පුවට. අන්තිම එකට රොහාන් ජයකොඩියි එයාගෙ මමා ඩැඩා දෙන්නයි ( හියුජේ ලොක්කා ) ඔක්කොමල නැඟල හිටිය පත්තිරිප්පුවට අර ලබ්බෙ තොයිලෙ වගෙ. එතුමා තව කාලයක් ජනාදිපති වෙලා හිටියනං අලුතෙං පත්තිරිප්පුවක් හදන්ටයි හිතාන ඉඳල තියෙන්නෙ තව ඉඩ කඩ තියෙන විදිහට.

    මගෙ යාලුවෙක් හිටිය එස්.ඊ.සී.එකේ. එයාලට ඇවිල්ල තිබ්බ ඕඩරයක් ඒකට ඇස්තමේන්තුවක් හදන්ටය කියල ඒකට..Kandy Paththirippu Renovation & Refurbishment Project….

    හෙහ්, හෙහ් යාලුවන්ගෙන් කතාකරල පරණ විස්තර අහල කුණු බැණුං අහන එකනම් මටත් වෙනව මචං..

    " තෝ ඉතිං කතා කරන්නෙ අපෙ සැපදුක් අහන්ට නෙවෙයි නෙ...මචං අර කවුද අපි අර කොබාගෙ තාත්තගෙ මල ගෙදර ගිය වෙලාවෙ මට සෙට් වෙච්චි කෙල්ලගෙ නම? උඹට මතකද? ඔන්න ඔය වගෙ රටේ නැති ගම්මැදි හෑලි අහන්ටනෙ."

    හෙහ්,හෙහ්, හෙහ්...............
    .

    ReplyDelete
    Replies
    1. රවී,
      ඉරිසිවරයෙක් ගෙනාගෙන ඔය මනුස්සය කරපු දෙවල්නන් අම්මප,ඔන්න සැරයක් අපල බොහොම බලගතු නිසා පූජාවක් කරන්න මුළු ඇඟේම තියන මයිල් පෙරන් ගාල ලෙලිගහපු කෙහෙල්ගෙඩිය වගේ එන්න කිව්වලු.ඔක්කොම ගැහැකි ලස්සනට ජෙල ගාල හදාගෙන ඉන්න කොන්ඩේ මොන හිතකින් ගාල දාන්නද තට්ටෙ ගාගෙන ජනාධිපතිකන් කරනවට වඩා තපසට යන එක හොඳයි කියල .
      පස්සෙ පුරෝහිතයෝ ටික ගිහිං ඉරිසින්නාන්සෙට කතාකරල අනික් හැම තැනම මවිල් පෙරන් ගාන්නන්ය දෙයියන්ට කියල කොන්ඩේ විතරක් ඉතුරුකරල දෙන්න කියල.
      හොඳයි කොන්ඩේ තියාගන්න හැබැයි ඇහිබැම ගාල දාන කිව්වලු,පස්සෙ ඇහිබැම ගෑවා මම ඇස දෙකට දැක්ක ඇහිබැම ගාගෙන හිටිය.
      අපි පද ප්‍රාප්තියට ගියෙ අසූනවයේ නෙවෙයි අනූ එකේ හරි දෙකේ හරි මට මතක හැටියට.
      යකෝ පත්තිරිප්පුව විශාල කිරීමේ ව්‍යාපෘතිය සිද්දවූනා නං රැස්සීමක් තියන්න සෙනග පත්තිරිප්පුවට එකතු කරගන්න තිබ්බනෙ,අපරාදෙ උන්නැහැ කලින්ම බ්ලාස්ට් වුණේ.

      Delete
  36. හැලපයියේ කොමද බන් කතා තොගයක් ගෙඩිපිටින් ලියලා ඒ එක කතාවකටවත් අයිති නැති මාතෘකාවක් හොයා ගන්නේ

    ReplyDelete
    Replies
    1. අන්න බලපන් ඒකත් සුළුපටු කාරියක්ද,මෙච්චර කතා තොගයක් ලියල ඒ එකක වත් ලඟින් යන්නෙ නැතුව මාතෘකාවක් දාන්න මොන තරං හැකියාවක් තියෙන්න ඕනද.හුහ්

      Delete
  37. හැලපේ මම ඉස්කෝලෙන් අස්වෙච්ච කාලේ හරි ආසාවක් තිබුනා ඔය මාධ්‍ය ආයතනයක රස්සාව කරන්න. වෙන මොහොකටවත් නෙමෙයි ගමන් යන්නයි, බොන්නයි. ඒ ආසාව ගැන මතකය අවධි උනා ජූනියර් නිසා. මම තාමත් හිතනවා ඒ දවස්වල මාධ්‍යට සම්බන්ධ මිනිස්සු හරි ජොලි පොරවල් කියලා. දැනුත් ඉන්නවා අපේ නලීන් වගේ අය අහම්බෙන් වගේ මගේ හිතේ.


    අර මාතලන් කියන රෝයල් කතාව හරි මචං. එක කාලෙක හිටියේ ගෙදරත් ඉංග්‍රීසි කතා කරන පවුල්වල බෝයිස්ලා. අර පොශ් කෙල්ලෙක් ඇවිල්ලා කිව්වැයි කියන්නේ....බලන්නකෝ මෙයා ආනන්දේ කොල්ලෙක් රෝයල් එකේ බෝයි කෙනෙකුට ගහලා...කියලා. ගුටි කෑවත් මොකෝ බන් ඌ කොල්ලෙක් නෙමේ බෝයි කෙනෙක්.

    මගේ ඉංග්‍රීසිය පොලිෂ් වුනේ හෝටල් රස්සාව තුලින්.

    ReplyDelete
    Replies
    1. අරූ,මාධ්‍ය ආයතනයක රස්සාව නොකලට ගමන් යන්නයි බොන්නයි දැනුත් නොඅඩුවම ලැබිල තියෙනව නොවැ.කොහොම වුනත් මාධ්‍ය කරුවන් බොහෝ දෙනෙක් ඉතාම සුන්දර මිනිසුන්.
      ඉංග්‍රීසි කතාව නං අද වුනත් රෝයල් කිව්වම ගොඩක් අය හිතන්නෙ සුපිරි කඩ්ඩ කියලනෙ.මම ඔය වැඩේ බොහොමයක් තැන්වල දැකල තියෙනව.

      Delete
  38. ශික් අම්මප කතාව කියන්න එන්න හොඳටම පරක්කු වුනා. හැලප්යියලා ඔය ගිහින් තියෙන්නේ මහියංගන පාරේ , ඔය පාරේ එක පැත්තක් කන්ද අනිත් පැත්ත පල්ලම ,ඉතින් ගෙවල් වල යන්න තියෙන්නේ පඩිපෙළවල් තමයි. අතුරු පාරවල් ඉඳ හිට තියෙනවා. ඔය පාරේ මහියංගනයට යනකම් ඕන තැනක් ඉස්තරම් රා තියෙනවා.
    වින්සන්ට් ඩයස් ක්රීදන්ගනය කියන්නේ බදුල්ල්ලේ තියෙන ලොකුම ක්‍රීඩා සංකීර්ණය. ෆුට් බෝල්, බාස්කට් බෝල්, ක්‍රිකට්, සැහැල්ලු පන්දු ක්‍රිකට් වලට වෙනවෙනම පිට්ටනි තියෙනවා දැන් , වින්සන්ට් ඩයස් කියන්නේ බදුල්ලේ හිටපු යූ.එන්.පී. මන්ත්‍රී ,මිනිහගේ දුව බැන්දේ හරීන් ප්‍රනාන්දු. හරීන් පාර්ලිමේන්තු ආවේ වින්සන්ට් ඩයස් නිසා.හැමෝම චන්දෙ දුන්නේ මුලින්ම වින්සන්ට් ඩයස් ගේ බෑණා නිසා

    ReplyDelete
    Replies
    1. අන්න දැනුයි මතක් වුණේ ඉවාන් මයියංගන පාර කියල.වින්සන්ට් ඩයස් ගැනත් කතා කීපයක් මගෙ ළඟ තියෙනව බං ඒ වුනාට ලියන්න බෑ.

      Delete
  39. දෙසතිය සඟරාව අපේ සරත් අමුණුගම ඇමතිතුමාගේ පාලනය යටතේ තිබුණා නේද කාලයක්? මට නිකම් එහෙම මතකයක් තියනවා. මම මුලින්ම දුන්හිඳ ගියේ 1970 දශකයේ. ඒ කාලේ ප්‍රධාන පාරේ සිට දුන්හිඳට තිබුනේ අඩිපාරක් පමණයි. විදේශීය සංචාරකයන් පවා ඒ දුර පයින් ගියේ. ඔය නැරඹුම් වේදිකා අරවා මෙව්වා මොකවත් නැහැ. හැබැයි ඒ කාලෙත් ලෝකෝත්තරයෝ හිටියා. මට මතකයි මම මගේ වෙන්ට බාරියාව සහ තව යාළුවො ජෝඩු දෙකක් සමග ගියේ. අර අඩි පාරේ කිලෝමීටරයක එකක් විතර තිබුනා කිතුල් රා පොළවල්. අපි පිරිමි තුන්දෙනා කෙල හලනකොට ගෑණු අපේ බෙල්ල කන්න ගිය නිසා වැඩේ කරන්න ලැබුනේ නැහැ. ආපහු එනකොට එක රාපොලක් තිබුන තැනක පිරිමි කෙනෙක් වැටිලා හිටියා සිහිය නැහැ. ගැහැණු කෙනෙක් අඬනවා රා දුන්න එකා සල්ලි රත්තරන් බදු ඔක්කොම අරගෙන පැන්නා කියලා. ඒ වැඩේ ඒ කාලේ නිතර වෙනවලු. අපිත් එක්ක කියා ගෑනුන්ගේ අවවාදාත්මක කතා කණ පිරෙන්න අසමින් ආපහු ආවා.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමා,දෙසතිය සඟරාව ආරම්භ කලේ ආචාර්ය සරත් අමුණුගමයන් රාජ්‍ය අමාත්‍යාශයේ ලේකම් වෙලා ඉද්දි 1978 දියි.ආරම්භක සංස්කාරක සිරිල් බී පෙරේරා මහතා.
      මම මුලින්ම දුන්හිඳ ගියෙ අපි පොඩි කොල්ලො කාලෙ ඉස්කෝලෙන් ගිය ට්‍රිප් එකකදියි.ඒ කාලෙ ටිකට්වත් දැන් හදල තියන බෙලිමල් කඩවත් තිබුනෙ නෑ දුන්හිඳට හැරෙන තැන අලියා බීම බුලත්විට එහෙම තියෙන පොඩි පෙට්ටි කඩයක් විතරක් තිබුණා.මහ පාරෙ ඉඳල දුන්හිඳ ඇල්ලට ගියෙත් හරි අමාරුවෙන්,නැරඹුම් වේදිකා නැති නිසා අපි ඇල්ල පාමුලටම ගියා,ඊට පස්සෙ තව තුන් සැරයක් ගියා බිරිඳත් පුතත් එක්ක අන්තිමට ගියෙ 2003 දි වගේ මට මතක,ඒ කිසිම ගමනක් ඉස්සෙල්ලම ගිය ගමන තරං රසවත් නෑ.දුන්හිඳ එන්න එන්නම වාණිජකරණය වෙලා දුක හිතෙනවා.

      Delete
  40. හැලපෙ අයිය කියපු කථාවක් එක්ක මම සර්ව සම්පූර්ණයෙන්, බොක්කෙන්, ආමශයෙන් උණඩුක පුච්චයෙන් මහාන්ත%යෙන්ම එකගයි...ඒක තමයි...අපේ එවුන් විරැද්ධ ලිංගිකයාගෙන ප්‍රතික්ෂේප වෙනවට අකමැතියි කියන එක...ඕක එක අතකින් සයිකොලිජිකල් හෙන එකක්..ඒක පැත්තක තියමුකො...මේ බ්ලොග් ලියන හුගක් උන්ට තේරැම් ගන්න බැරි....විරහව කියල ලියන හුගක් දෙනෙකුට තේරැම් ගන්න බැරි කාරනෙත් ඕකනෙ...කෙල්ල දාල ගිය අමාරැවට වඩා අභිමානෙ ගැන ප්‍රශ්නයක් තමා බහුතරයකට තියෙන්නෙ (මට නම් කාලයක් යද්දි ඕක නිකම්ම තේරැණා...හික්..&

    ReplyDelete
    Replies
    1. ඒ දේ තමයි ජෙමෝ මම අන්තිමට වටහා ගත්තෙ.විරහව ආදී මොන අකාරයෙන් කිව්වත් මුල් වෙන්නෙ ආත්මාර්ථයයි,කෙල්ලන්ටත් ඔය විදියටම වෙන්න ඇති අහල බලපන් බූට් පාරක් කාල ඉන්න කෙල්ලෙක්ගෙන්.

      Delete
  41. සිංහල කොටා ගන්න බැරුව උන්නේ හැලපයියේ.එකයි ආවත් කමන්ට් කරන්න බැරි වුනේ.
    හැලපයියගේ කතාවට උඩ කමන්ට් කරපු කළු ජෙමා වගේම මමත් එකගයි ඈ.

    ReplyDelete
    Replies
    1. දැන් සිංහල හරිනෙ මනෝජ් මල්ලි,එන බව නං දැනගෙන හිටියා.

      Delete
  42. කෝෆී දෙකක් ඉවරයි පෝස්ට් එකයි කොමෙන්ට් ටිකයි කියෝගෙන එද්දී .. කඩේ අයියේ ඔයා ගේ කතා අහද්දී අපේ මාමව මතක් වෙනවා එයත් මේ වගේ කතා කියනවා ඉස්සර වෙච්ච දේවල්, එයාට ඉතින් බ්ලොග් ලියන්න දන්නේ නැහැනේ ඉදගෙන ඔයා වගේ .. පමාවුණා කොමෙන්ට් කරන්න මං

    ReplyDelete
    Replies
    1. පමා වෙලා හරි කමෙන්ට් කරපු එක ලොකු දෙයක් ඔමා,ඉතිං අර මාමට කියන්න තියෙන්නෙ ඉඳගෙන බ්ලොග් ලියන්න දන්නෙ නැත්නං හිටගෙන ලියන්න කියලයි.

      Delete
  43. ශා ප්‍රේම කතා ටිකකුත් තියෙන්නේ අස්සෙං මැද්දෙං/...

    පෙර පිනකට තමයි වී බිස්ස සෙට් වෙලා තියෙන්නේ පිංතූරෙට..

    //ඔන්න ඔය වී බිස්ස විසිකරපන් උඹලනෙ කරන්නෙ කෙලින්ම කුකුල්ලු ටික දාල ගහපං,ඒක තමයි හරියටම ගැලපෙන්නෙ ෂුවර් එකටම මම දන්නව ලොක්ක ඇප්රූ කරන්නෙ කුකුල්ලු ටික...//හී හී

    ReplyDelete
    Replies
    1. ඔය අතීතෙ කතා රෙහානි,දැන් මතක් වෙද්දී හිත රිදුම් දෙන්නෙ නෑ මතකයක් විතරයි.
      වී බිස්ස ලැබුනෙ නැත්නං තව හොයන්න වෙනව පණ දාගෙන.

      Delete
  44. ඇත්තටම මාමෙ කොහොමද මේ කතා ගොඩක් එකට ලියන්නෙ? මගක් කියවල මං ටිකක් කල්පනා කරා මෙතන කතා කීයක් තියනවද කියල. ඔක්කොම එක පාර කියාගෙන යන්න තරං ඒ අත්දැකීම්, මතකයන් සුන්දරයි නේද?...

    ReplyDelete
    Replies
    1. ඔව් සිඟිති,කතාවක් කියාගෙන යනකොට ඒ හා බැඳුනු තව කතාවක් මතකෙට එනවා,අමතක වෙයි කියල ලියනවා,අන්තිමට කතා හත අටක් නොදැනුවත්වම ලියවෙලා.මතකයන් නං හරිම සුන්දරයි දැන් මතක් වෙනකොටත් අතින් අල්ලල ලඟට ගන්න තරං හිතෙනවා.

      Delete

ඔබේ අදහස්