Sunday, November 24, 2013

104.ජාත්‍යන්තර කාන්තා දිනය,රැජිනි කාන්ත් සහ තවත් කතා.





අපි කැලැන්ඩර කතාව ඉවර කරලම කාන්තා දිනය කතාව කියමු, නැත්නං කැලැන්ඩර කතාව ආයෙම කොහෙහරි එල්ලන්න වෙනවනෙ... ඉතිං පොකැට් කැලැන්ඩරේ වැඩේ හරි, ඊළඟට තියෙන්නෙ ලොකු කැලැන්ඩරේ ඒ කියන්නෙ බිත්තියෙ එල්ලන එක ගහගන්න...පින්තූරයක් හොය හොයා ඉද්දි සුරේෂ් මුණගැහුනා, සුරේෂ් කිව්වෙ ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා, ඒ දවස්වල දෙසතියෙ වැඩකරලා අයින්වෙලා හිටියෙ,අපූරු කලාත්මක ඇහැක් තියෙන ඡායාරූප ශිල්පියෙක්, සුරේෂ්ට මගේ අවශ්‍යතාව කියපුවම පින්තූරයක් හොයල දෙන්න පොරොන්දු වුණා.

සුරේෂ් දුන්නු පින්තූරවලින් අපි තෝරගත්තේ කුඩා ළමයින් ටිකක් මීදුමත් එක්ක උදෑසන හිරු එළියෙ වෙල් නියරක් දිගේ  ඉස්කෝලෙ යන දර්ශනයක්,පින්තූරෙ හොයල කැලැන්ඩරේ ඩිසයින් කරල කලර් සෙපරේට් කරල ප්‍රින්ට් එකට දෙන්න ලැස්තිවෙලා ඉද්දි එකපාරටම ගිනිගෙඩියක් පාත්වුනා...ජනාධිපති ප්‍රේමදාස මහත්තයගෙ පින්තූරයක් කැලැන්ඩරේ පැත්තකින් දාන්න කියල ලොක්ක එකහඬින් කියාසිටිනව...

දන්නවනෙ මේ පොඩි පින්තූරයක් කැලැන්ඩරේ උඩ පැත්තකින් දාන්නකො...

ලොක්ක කිව්වෙ එහෙමයි,කියන විදියට ප්‍රේමදාස මහත්තයගෙ පින්තූරයක් දැම්මනං කිසි කෙනෙකුට කැලැන්ඩරේ දීගන්න බැරිවෙනව,අපි හරිම අසීරු අවස්ථාවකට මූණ පෑවා, මේක හරියට මහන්සියෙන් කිරි කලයක් දොවල ඉවරවුණාම ඒකට ගොම ටිකක් දාන්න කිව්ව වගේ වැඩක්නෙ...දන්න විදියට ලොක්කට කිව්ව හරිගියේ නෑ දාන්නම කියනව...

ගහන කැලැන්ඩර් ඔක්කොම අපිට තියාගන්න තමයි වෙන්නෙ මොකද ඔය පින්තූරෙ තියෙනකන් කවුරුවත් මේ කැලැන්ඩරේ අරං යන්නෙ නෑ, මේ වැඩෙන් මාව අයින් කරපල්ලා...

මම එහෙම කියල වැඩෙන් මග ඇරලා හිටියා,ඊට දවස් කීපෙකට පස්සෙ පින්තූරෙ වෙනුවට නොමිලෙ පාසැල් පොත් දීම ගැන කවියක් දාන්න ලොක්කව කැමතිකරගන්න අපිත් එක්ක වැඩකරපු අංගනාවියෙකුට පුළුවන් වෙලා තිබුණා...

අපිත් ඉක්මනට ප්‍රේමදාස මහත්තය නොමිලේ පොත් දීපු එක ගැන කවියක් ලියෝල පින්තූරෙ දකුණු පැත්තෙ පහලින් සුදුවට දැම්මා...කවිය ලියල දුන්නෙ දෙසතියෙ සහකාර සංස්කාරක වෙලා හිටපු මා දන්න ඉතාම අහිංසක මාධ්‍යවේදියෙක් වුනු හදිසියේ අප අතරින් වියෝවූ වින්සන්ට් පෙරියප්පෙරුම මහතායි...ඔහු අපට යවහන් දොස් නැති අපූරු කවියක් හදල දුන්නා, කවියෙ පද හතරම නං මට දැන් මතක නෑ දෙකක් විතරක් මතකයි...ඒ මුල් පදේ සහ අගපදේ...පද හතරම මතක තිබ්බ නං හොඳයි ඒත් ඉතිං අවුරුදු විස්සකට විතර කලින් වෙච්ච දෙයක් නොවැ...මතක තියෙන පදදෙක මෙහෙමයි...පුළුවන්නං මැදට එන පදදෙක ලියල දාන්න...අපේ බ්ලොග් අවකාසයේ හොඳ කවියො ඉන්නවනේ... 

අතට ලැබුණු පොතපත වාසනාවන්
දැයට කැකුළු මේ මතු   වාසනාවන්

ඔය ටික කරගත්තට පස්සෙ කැලැන්ඩරේ මුද්‍රණ කටයුතු ඉතාම වේගයෙන් කෙරිල ඔක්කොම වැඩ ටික ඉවර කරගෙන දෙසැම්බර් අග හරියෙ කැලැන්ඩර් ටික ඔපිස් එකට ගෙනාවා...

ඊට පස්සෙ එළඹුනේ බෙදාහැරීම කියන අමාරුම සහ එපාවෙන වැඩේ,අපි දෙසතිය කැලැන්ඩරේ බෙදන්නට මූලිකවම ඉලක්ක කරගෙන හිටියෙ දෙසතිය පාඨකයින්ට හා දෙසතිය විකුණන අලෙවි නියෝජිතයන්ට,ඉස්සෙල්ලාම කන්තෝරුවෙ අයට කැලැන්ඩර් දීල ඒ කරදරේ ඉවරයක් කරගත්තා...ලොකුම කරදරේ පටන්ගත්තෙ ඊට පස්සෙයි...අපට කිසිම සම්බන්ධයක් නැති සත පහක උදව්වක් නොකරපු අමාත්‍යංශ වලින් සහ ඇමතිවරුන්ගෙන් කැලැන්ඩරේ ඉල්ලලා ලියුම් ඒ කියන්නෙ නියෝග බඳු ඉල්ලීම් ගලා එන්නට ගත්තා  

අපට සීයක් එවන්න,දෙසීයක් එවන්න ආදී වශයෙන්,හැම එකාටම දහයක් පහළොවක්වත් දියයුතු නිසා අපේ මූලික ඉලක්කයන් ටික ටික මග ඇරෙන්න ගත්තා...මුදල් දීල දෙසතිය ගන්න පාඨකයන් අමතක කරල කිසි පලක් ප්‍රයෝජනයක් නැති අයට කැලැන්ඩර් දෙන්න වෙන වෙලාවට  බෙදිල්ල එපාවෙනවා ...

ඔන්න ඔය අතරතුරේ මගෙ හිතගත් ලිපියක් මට තැපෑලෙන් ලැබුනා...අතින් ලියූ ඒ ලිපිය එවා තිබුනෙ සියනෑ කෝරළේ ගම්පහ පැත්තෙ ගම්බද විදුහලක විදුහල්පති තුමෙක්, මට ලිපිය ලියල තිබ්බ හැටි මතක නෑ ඒකෙ සාරාංශය මෙහෙමයි...

බෙදාහැරීම් කළමනාකාර තුමා,
දෙසතිය සඟරාව,
මැලේ වීදිය,
කොළඹ 2.

 මහත්මයාණෙනි,

ඔබ අනගි සඟරාව මගින් මුද්‍රණය කර ඇති මෙම වර්ෂයේ දින දර්ශනයට ඇතුළත්වන ඡායාරූපයට පෙනී  සිටින්නේ මගේ පාසලේ ඉගෙන ගන්නා කුඩා දරුවන් සමූහයකි.ඔබ ඔවුන්ව  ඡායාරූපයට නගා දින දර්ශනය මුද්‍රණය කලත් එකම දින දර්ශනයක් හෝ එම දරුවන්හට ලබාදීමට කාරුණික වී නොමැති බව ඉතා කණගාටුවෙන් දන්වමි.

තවත් විස්තර ගොඩක් ලියල තිබුනත් ළිපියෙ හරය ඔන්න ඔය ටිකයි...මේ ලියුම දැකල මාව කරකවල අත ඇරිය වගේ වුණා, සුරේෂ් ගෙන් පින්තූරෙ ඉල්ලං කැලැන්ඩරේ ගැහුවට ඉන්න ළමයි කවුද ඉස්කෝල කොහෙද ගෙවල් දොරවල් කොහෙද කියල අපි හෙව්වයැ, එව්ව අපට අනවශ්‍ය දේවල්නෙ...කොටින්ම සුරේෂ් මට පින්තූරෙ දුන්නෙත් හිතවත්කමට සල්ලි සතයක්වත් ගත්තෙත් නෑ...වෙන එකෙක් නං ඒ දවස්වල අඩුම තරමෙන් රුපියල් විසිපන්දාහක්වත් ඉල්ලනව...

ඒ වුනාට අපේ ගෙදරදොර වැඩ කටයුතු විදුහල්පති තුමාට කියල වැඩක් ඇතෑ...එතුමගෙ දුක් ගැනවිල්ලට විසඳුමක් දෙන්න එපායැ, මම වහාම විදුහල්පති තුමාට පිළිතුරු ලිපියක් යැව්වා...

විදුහල්පති තුමා,
.....විද්‍යාලයය 
..........
ප්‍රිය මහත්මයාණෙනි,

ඔබ විසින් එවන ලද ..... දිනැති ලිපිය ලදිමි,එම ලිපිය මා වෙත එවීම ගැන මගේ ස්තූතිය පළමුව ඔබතුමාට පිළිගැන්වීමට කැමැත්තෙමි,මන්දයත් ඔබ විසින් සඳහන් කර ඇති ඡායාරූපය අප විසින් ගන්නා ලද ඡායාරූපයක් නොවන අතර එය බාහිර ප්‍රචාරක ආයතනයකින් ලබාගන්නා ලද ඡායාරූපයක් බැවින් එහි පෙනී සිටින පාසැල් දරුවන් පිළිබඳව අපහට කිසිම අවබෝධයක් නොතිබූ අතර එම දරුවන් හා ඔවුන් ඉගෙනගන්නා විදුහල පිළිබඳව අප දැනුවත් වුයේ ඔබතුමාගේ ලිපියෙන් බැවිනි.

ඔබතුමාගේ විද්‍යාලය සඳහා දින දර්ශන පණහක් වෙන්කර තබන අතර සතියේ දිනක දෙසතිය බෙදාහැරීම් අංශයට පැමිණ එම දින දර්ශන ලබාගතහැකි බව කරුණාවෙන් දන්වනු කැමැත්තෙමි.

තවද අවම වශයෙන් ඡායාරූපයේ පෙනී සිටින දරුවන් හටවත් දින දර්ශනය බැගින් ලබාදීමට කටයුතු කරන්නේ නම් කෘතඥ වෙමි.

ස්තූතියි,
මීට විශ්වාසී,
............

එහෙම ලිව්වෙ ඔය කොච්චර හිත උණුවෙන විදියට ලියුම් ලියල එව්වත් කැලැන්ඩර් ලැබුණාම ගුරුවරු ටික පොරකාල බෙදාගනී කියලයි,එතකොට අර පින්තූරෙ හිටිය අහිංසක දරුවන්ට හුළං...ප්‍රින්සිපල්ලගෙයි ගුරුවරුන්ගෙයි හැටි මම දන්නවනෙ...

ඔන්න ඔය ලියුම යවල සතියකට විතර පස්සෙ දවසක දවල් දහයට එකොළහට විතර හමුදා වාහනයකින් ආව සෙබළුන් දහදෙනෙක් විතර අපේ බෙදාහැරීම් අංශය වටකෙරුවා...මේ මොකක් වෙන්න යනවද කියල අපි බලාගෙන ඉන්නකොට හිනාවකින් මුහුණ සරසගත්ත උස මහත හමුදා නිලධාරියෙක් සෙබළුන් අතරින් ඇවිත්  අපේ කාර්යාලෙට ගොඩවුනා...

ඔහු කෙලින්ම මගෙ ලඟට ඇවිත් සුහදව කතාකළා...

මම කර්නල් නියංගොඩ නාරාහේන්පිට කෑම්ප් එකෙන්...

වාඩිවෙන්න කර්නල්...

වාඩිවෙලා කර්නල්වරයාගෙ අතේ තිබිච්ච ලියුමක් මගේ අතට දුන්නා...දිග ඇරලා බලපුවාම මම අර විදුහල්පති තුමාට යවපු ලියුම...

ලියුම දිහාත් කර්නල් නියංගොඩ දිහාත් බලපු මගෙ මූණෙ මතුවුණු ඉස්පිලි පාපිළි ප්‍රශ්නාර්ථ සැණෙකින් වටහාගත්ත කර්නල්වරයාට ආයෙම හිනාවක් ගියා...

ඔය ලියුමයි හමුදාවයි අතරෙ තියන සම්බන්ධකම මොකක්ද කියල නේද බලන්නේ...මගෙ නෝන උගන්නන්නෙ ඔය ඉස්කෝලෙ, ප්‍රින්සිපල්ට එන්න අපහසු නිසා නෝනට කියල තියෙනව මට කියල පුලුවන්නං කැලැන්ඩර් ටික ගෙන්නල දෙන්න කියල...

ඉස්කෝලෙට වෙන්කරලා තිබුණු කැලැන්ඩර් ටික කර්නල්වරයා අරගෙන ගියා...

කැලැන්ඩර් වැඩෙන් හිතට කිසිම තෘප්තියක් නොලැබුණු නිසා ඒ අවුරුද්දෙන් පස්සෙ මම දෙසතියට කැලැන්ඩර් ගැහුවෙ නෑ...

කැලැන්ඩර් කතාව මෙයින් අවසාන වෙනව සහ අපි නැවතත් මුලින් කියන්න පටන්ගත්ත කතාවට එනවා...

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට ආර්යාව බදුල්ලෙ වැඩ සටහන් කීපයක්ම ලෑස්ති කරගෙන තිබුණා...

කාන්තාවන්ට පොල් පැළ බෙදාදීම 
පාවහන් බෙදාදීම
කිරිඅම්මාවරු දහසකට කිරි දානය 
කාන්තාවන්ගේ විවිධ ප්‍රසංගය 

පොල් පැළ සපයල දෙන්න බාරදීල තිබුනෙ පොලිසියට පොලිසියෙ අයත් බොහොම මහන්සිවෙලා පොල් පැළ දාහක් හමාරක් හොයල ගෙනත්දාළ තිබුණා...බදුල්ලෙ පොල් පැළ හොයාගන්න අමාරුයි බස්නාහිර පළාතෙන්ම ගෙනෙන්න ඕනෑ...සෙරෙප්පු ලෝඩ් එකකුත් කොළඹින්ම ගෙන්නගෙන තිබ්බා, කිරිඅම්මල එක්කඑන්න බාර දීල තිබුනෙ ග්‍රාමනිලධාරීන්ට, කිරිඅම්මල ගෙනෙන කොටම ඒ අයට පිළිගන්වන්න ඇතිවෙන්න  කිරිබත් කැවුම් කෙසෙල්ගෙඩිත් අරගෙන එන්න ඕනෑ... 

ඔන්න ඔය ආකාරයට මහා පරිමානෙන් ලෑස්තිකරල තිබුණු කාන්තා දිනය එනතුරු බදුල්ලෙ විතරක් නෙවෙයි ඌව පළාතෙම කාන්තාවො ඇඟිලි ගනිමින් හිටිය කිව්වොත් නිවැරදියි...

අපිත් සුපුරුදු පරිදි නවාතැනේ ඉඳල උදේ බදුල්ලට ඇවිත් ඡායාරූප ප්‍රදර්ශනයේ වැඩ කටයුතු ලෑස්ති කරනව රා බොනව, හැමදාම වගේ දවල් කෑමට කොහෙන් හරි ආරාධනාවක් ලැබුණා අපි එක එක්කෙනාගෙ යාළුවො හරියට ඒ අහළ පහල හිටියා...

ඔන්න එක දවසක් අපි නවාතැනේ ඉඳල වාහනේ එද්දී බදුල්ලෙ රෙක්ස් හෝල් එකේ දාල තිබුණු චිත්‍රපටියක් දැකපු අපේ ප්‍රධානියා එක පාරටම කලබල වුණා...

අන්න බං රැජිනිගෙ ෆිල්ම් එකක්...

බලපුවම ඔහු රැජිනි කාන්ත්ගේ හොඳම රසිකයෙක්...උදේ දහයට විතර මට කතාකළා...

මම යනව ෂෝ එක බලන්න උඹත් එනව නං වරෙන්...

රැජිනි කාන්ත් ගැනවත් දෙමළ ෆිල්ම් ගැනවත්  මට ඒ කාලෙ එච්චරම හෝදිසියක් තිබුනෙ නෑ...කතාකරපු නිසා මමත් ගිහිං චිත්‍රපටය බැලුවා... රැජිනි කාන්ත් රඟපානවා  මම මුල්වරට දැක්කෙ එදායි...නිළිය කවුද කියලනං මට මතකක් නෑ එදා චිත්‍රපටය බලන්න ඇවිල්ල හිටපු වතු කම්කරුවන්ගෙ ගෝෂාව නං මතකයි...රැජිනි තිරේට එනකොට එකම එක කම්බැල්ලෑවයි මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑ... 

බදුල්ලෙදි පෙන්නන්න අපේ දෙපාර්තමේන්තුවෙනුත් චිත්‍රපටයක් ලෑස්ති කරල තිබුණා ඒක හැදුවෙ රජයේ චිත්‍රපට අංශයෙන්...ඒ කාලෙ චිත්‍රපට අංශෙ සංස්කාරකයෙක් හැටියට වැඩකරපු ප්‍රසිද්ධ නළුවෙක් ප්‍රේමදාස මහත්තය ගැන චිත්‍රපටය හැදුවා...මේ නළුවා ඒ දවස්වල මගෙත් එක්ක හුඟක් හිතවත් වුණා පස්සෙ කාලෙක ඔහු ගැන රස කතා සාගරයක් අපේ බෙන් ෆිල්ම්ස් එකේ වැඩ කරපු කොල්ලො මාත් එක්ක කිව්වා ඒවා ලියනවද නැද්ද කියල මං කල්පනා කරමින් ඉන්නෙ...මොකද ඒ කතා ඔක්කොම වගේ වැඩිහිටියන්ට පමණයි කතා...ඒ වුනාට මේ බ්ලොගට වැඩිහිටියොත් එනව දරුවොත් එනව ඉතිං අපි ස්වයං වාරණයක් ඇති කරගන්න ඕනැනේ...

Sunday, November 17, 2013

103.ජාත්‍යන්තර කාන්තා දිනය,පොකැට් කැලැන්ඩරේ සහ තවත් කතා






අපේ කණ්ඩායම ඔන්න වැඩ පටන්ගන්න බදුල්ලට ගියා...ගියපු කණ්ඩායම මෙහෙමයි,අපේ ප්‍රධානියා, මමයි මගෙ ගෝලයයි තව අලුතෙන් ඔෆිස් එකට ආපු කොල්ලො දෙන්නෙකුයි, නම් කියන්න හොඳ නෑ දෙන්නම දැන් රජයේ ලොකු ලොකු තානාන්තරවල ඉන්නෙ, සරත් සහ උමගිළිය ඒ දෙන්න පින්තූර ගන්න ගියා, උමගිලියගේ ලොකු පුතත් ගමනට සහභාගී වුණා...අන්න කොල්ලො, තාත්ත ජේ ආර්ට කියල හදල දුන්න රජයේ රස්සාව පිස්සු කෙලල නැතිකරගත්තා, දැන් කන්න බොන්න දෙන්නෙත් සිගරැට් එක බොන්න පවා සල්ලි දෙන්නෙ තාත්තා... ඌට හෙන ජොලි, මොන කරදරයක්ද හැමදේම හම්බවෙනවනේ, අපි ඌට කිව්වෙ උමගිළිය ජූනියර් කියල පස්සෙ නිකම්ම ජූනියර් උනා...

එතකොට කණ්ඩායම ඔක්කොම අටයි නෙ, අපි කට්ටිය වාහන දෙකක ගිහිං දුන්හිඳ තියන පාරෙ කිලෝමීටර් දෙකතුනක් ගියතැන හම්බවෙන සරත්ගෙ යාළුවෙකුගෙ ගෙදර නවාතැන් ගත්තා...ගිය තැන දැන් ඇහුවට අයුරු කියන්න නං මට  මතකක් නෑ ඉවාන්, හැබැයි ඒ ගෙදරට වාහන යන්න බෑ කන්ඩියක් උඩ තිබුනෙ...වාහන පාරෙ නවත්තල කපල තිබ්බ පඩිවලින් ගලෙන් ගලට නැගගෙන අපි ඒ ගෙදරට ගියෙ, පාරට පහලින් සීතලම සීතල සුදෝසුදු වතුර ගොබයක් ගලාගෙන ආපු  පීල්ලක් තිබුණා, බොන්න වතුර ගන්නෙ නාන්නේ ඔක්කොම ඒ වතුර පීල්ලෙන් තමයි... පාරෙන් එහා පැත්තෙ කන්දෙ බඩ පිරෙනකන් බොන්න කිතුල් රා තිබුණා, ඔන්න ඉවාන් තැන මට එච්චරයි කියන්න මතක...

ඒ දවස්වල අපි රාජකාරියට ගියාම නවාතැන් ගත්තෙ ඔන්න ඔය විදියට...දැන් එවුන් නං  හෝටල්  නැත්නං යන්නෙ නෑ පහසුකම් මදි කියල, අපි ගිය පළාත්වල කිට්ටුව පාතක රජයේ ගොඩනැගිලි තිබ්බනං එවයේ නැවතුනා,  නැත්නං කාගෙහරි යාලුවෙක්ගෙ තැනක ගජේ ගහනව, තෙල්දෙණියේ ජංගම සේවෙට ගිය වෙලේ නැවතුනේ පොල්ගොල්ලේ සමූපකාර විද්‍යාලෙ   නේවාසිකාගාරවල, නුවර පදවිප්‍රාප්තියට ගිය වෙලේ නැවතුනේ ගන්නොරුවේ කෘෂිකර්ම විද්‍යාලෙ  නේවාසිකාගාරවල, මයියංගනේ සාහිත්‍ය උත්සවයට ගියවෙලේ නැවතුනේ ඒත් ටවුමෙම තනියම හිටපු සරත්ගෙ යාළුවෙකුගෙ නිල නිවාසෙක, ඔයවගේ තමයි නවාතැන් කෑම බීම ගැන මහලොකුවට හෙව්වේ නෑ, රාජකාරිය හරියට කරන එක තමයි ඉතාම වැදගත් කොට සැලකුවෙ ...

නුවර තිබුණු ශ්‍රීමතාණන්ගේ පදවිප්‍රාප්ත සංවත්සරයට දෙපාර්තමේන්තුවෙන්  නුවර බෞද්ධ මන්දිර ශාලාවෙ ඡායාරූප ප්‍රදර්ශනයක් තිබ්බා...අපි දෙසතිය කණ්ඩායම නුවරට ගියෙ දෙසැම්බර් තිස් එක්වෙනිදා හවස් වරුවෙ ශාලාවෙ අපේ දෙසතිය අළෙවිහල හදල නිදාගන්න ගන්නෝරුවෙ යනකොට රෑ දොළහත් පහුවුනා...

මුළු නුවර පළාතම අලුත් අවුරුදු වෙඩි හඬින් ගිගුම් දෙන නව අවුරුදු උදාව මොහොතෙ අපි ටික පාර අයිනෙ තිබුණු පෙට්ටි කඩේකින් සුදු ආප්ප ලුණුමිරිසුත් එක්ක  කාල තේ බිව්වා, ඒ අපේ රෑ කෑම...

ලංකාවෙ හිටියත් ලෝකෙ කොහෙ හිටියත් ජනවාරි පළවෙනිදට අපි කිරිබත් කෑල්ලක් කනවමනෙ, ඒ ජනවාරි පළවෙනිදා තමයි මට මතක තියෙන කිරිබත් නැති එකම නව අවුරුද්ද...උදේ දහයට විතර අපි ගිහිං පෙට්ටි කඩේකින් වේලිච්ච ආප්ප කෑවා,මම ඕක මගේ ඩයරියෙත් ලියල තිබ්බා "කිරිබත් නැති ජනවාරි පළවෙනිදාවක්"කියල, ඩයරියේ ලිව්වා කියපුවම උඹල හිතන්න එපා මම ඩයරි ලියන සතෙක් කියල...මම ඩයරියක් තියාගෙන හිටියෙ අපි රාජකාරිවලට පිට යන දවස් වෙලාවල් එහෙම ලියාගන්නයි...නැත්නං සබ්සිස්ටන්ස් ක්ලේම් පෝම් එක ලියන්න ඇඹරෙන්න වෙනවනෙ දවස් මතක නැතුව...හැබැයි ඩයරි නොලිව්ව එක අපරාදයක් කියල දැන් නං හිතෙනව, ඒ දවස්වල විස්තර ඩයරිවල ලියල තිබ්බනං මං මේ පෝස්ට් ලියන්නෙ කජු කනව වගේ, නිකං කජු නෙමේ රටකජු...දැන් ඉතිං ලියන්නෙ මොළේ කොර වෙනතුරු කල්පනා කරකර, නැත්තං එක එකාට පෝන් කරකර බැණුම් අහගන්නව...

මචං අපි අර අහරෙ ගියෙ කවුරු කවුරුද ඒ කොයි කාලෙද...

තොගෙ ඔලුවෙ අමාරුව තාම හොඳ නැද්ද  යකෝ...

ආ..මට විතරයි  ඔලුවෙ අමාරුව  තොට නෑ...තොට තියෙන්නෙ හොඳ වෙන ඔලුවෙ අමාරුවක් නෙමේනෙ,නාකි ගෑනියක් දැක්කත් තොට ඔලුවෙ අමාරුව හැදෙනවනෙ බොල...

මව් ගුණ ගායනාවලින් පස්සෙ බොහොම අමාරුවෙන් විස්තර අහගන්නෙ ඒ හින්ද මම මේ දැන් බ්ලොග් ලියන තරුණ ළමයින්ට දෙන එකම අවවාදය නම් ඔය විස්තර ලියල තියාගන්න, පස්සේදී හරිම වටිනව...ඩයරියක් නැත්නං කොපි පොතක හරි කමක් නෑ...අපි කොල්ලො කාලෙ එහෙමනෙ, අපට ආසාව තිබ්බට ඩයරි ලැබෙන්නෙ නෑ,දැන් නං දෙසැම්බර් මාසෙ ඉඳල අප්‍රේල් විතර වෙනකං ඩයරි ගෝනියක් විතර හම්බවෙනව, ඒ වුණාට දැන් ඩයරි ගැන කිසිම ආසාවක් නෑ, ආසාව තිබ්බ කාලෙ ලැබුනෙ නෑ, ඕව ඔහොම තමයි මම ඉස්පිරිතාලෙ වැඩකරන කාලෙ අපිත් එක්ක වැඩකරපු කෙල්ලෙකුගෙ මහත්තය මට ලස්සන ඩයරියක් දුන්න...

මමත්ඉතිං බොහොම සතුටෙන් ඔය ඩයරියත් අතේ තියාගෙන පොර වගේ ආඩම්බරෙන් දවස් දෙක තුනක් වැඩට එන්න ඇති ඕනැනං...ඒ දවස්වල මට ආලවන්තකම් පාපු අංගනාවක් ඔය ඩයරිය දැකල...

ආ මෙයා මේක මටත්  හොරෙන් තියාගෙන හිටිය නේද මේක මට හොඳයි...

කියල මවු තුරුලෙන් දරුවෙක් ඇදගෙන යනව වගේ මගෙ ඩයරිය  අරං ගියා, මොනව කරන්නද එපා කියන්නයැ එපා කිව්වොත් එහෙම...

තමුසෙට මට වැඩියෙ මේ කඩදාසි ටික ලොකුඋනා එහෙනං, ඔය මගුල තමුසෙම තියාගන්නව...මගෙ ගැන බලාපොරොත්තු තියාගත්තෙ නැතුවට කමක් නෑ...

ඔන්න ඔහොම කියල ඩයරියත් දමල ගහල යයි කියල මගෙ හිතේ බයකුත් නොතිබුනා නෙවෙයි...ගෑනු ඔහොමනෙ මගෙත් පළවෙනි කුළුඳුල් ආදරය නොවැ...ඉතිං මමත් ඒ දවස්වල සත්‍ය ප්‍රේම භෘංග රාජයා වගේ හිටියෙ...සත්‍ය ප්‍රේම භෘංග රාජය කියපුවම මට මතක් උනේ ඊට අවුරුදු හත අටකට පස්සෙ මට මුණගැහුණු භෘංග රාජයෙක්...

මෙයා බොහොම ලපටි කොල්ලෙක් රතුයි හරි ලස්සනයි,උපමාවකින් කිව්වොත් හරියට ජෝන් ඒබ්‍රහම් වගේ, ඒ දවස්වල නං ජෝන් ඒබ්‍රහම්ල බඩගාන කාලෙ වෙන්න ඇති...ඔන්න පොර රස්සාව හම්බවෙලා අපේ කන්තෝරුවට වැඩට ආව, ඒ දවස්වල සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ගත්ත තරං ගත්තෙ දකුණෙන්නෙ, දකුණෙන් කිව්වට හරියටම කිව්වොත් බෙලිඅත්තෙන්, මොකද සෞඛ්‍ය ඇමති රංජිත් අතපත්තු බෙලිඅත්ත ආසනේ මන්ත්‍රී නොවැ ඉතිං මේ අහිංසක කොලුවට රූප ලස්සනේ උගත්කම ආදී හැම දෙයක්ම තිබුනට මොකද පොඩ්ඩක් පොෂ් මදි...

පොඩ්ඩක් කිව්වට ඉතිං දන්නවනෙ ගතිගුණ හැසිරීම් කතා විලාසය ආදිය ඔක්කොම ගිරුවාපත්තුවෙ...

අපිටනං  ඔව්ව එච්චර ගාණක් නෑ ඌ මොනරාගල මධ්‍ය මහා විද්‍යාලයෙන් ආවත් එකයි රෝයල් එකෙන් ආවත් අපට එකයි...රෝයල් කිව්වම මතක් උනේ මගේ යාලුවෙක් හිටිය ඌ රෝයල්, හැබැයි ඉංග්‍රීසියෙන් වචන දහයක් ගැට ගහ ගන්න බෑ...මූ  කීප දවසක් ඇඹරෙනකොට මම ඌට කිව්ව...

මචං උඹ කියපං උඹ තුම්පනේ මහා විද්‍යාලෙ කියල...මම රෝයල් කියපං එතකොට උඹේ නම්බුවත් බේරෙනව රෝයල් එකේ නම්බුවත් බේරෙනව...

ඔන්න ඔච්චරමයි මම කිව්වෙ මාතලන් මූට තදවුනානෙ...මාස ගානක් මගෙ මූණවත් බැලුවේ නෑ ඒ ඇයි බං අරූ...

ඔන්න ඉතිං අපේ අහිංසක කොල්ලත් සතුටින් සමාදානයෙන් කන්තෝරුවෙ රාජකාරි කරමින් ඉන්න අතරෙ අනංගය මූට වැඩේ දුන්න, කෙල්ල ඇවිල්ල අල්ලපු බිල්ඩින් එකේ රස්සාව කරපු කෙල්ලක්, පුල් පොෂ් කෙල්ල, ගමත් කොළොන්නාවෙ...

කොළඹ චිත්‍රපටි හෝල් ගානෙයි වික්ටෝරියා පාක් එකෙයි මේ යුවළගේ ආදර අන්දරය බාධාවක් නැතුව ගලාගියා...කොල්ලගේ පළවෙනි ආදර අන්දරය වුනාට කෙල්ල ආදරයට කෝඩුකාරියක් නෙවෙයි හොඳ පුරුදු කාරියක් ...කොල්ලගේ අඩුපාඩු, පසුබාන තැන් ඔක්කොම ඒ කාලය තුලදී කෙල්ල නෝට් කළා නෝට් කරල නිකං හිටියෙ නෑ වෙලාවට කලාවට දඩ බූට් එකකුත්  දුන්නා...

දැන් මූ පිස්ස වගේ හැසිරෙන්නෙ, දවසක්දා මටත් උගේ කඳුළු කතාව කිව්වා...

මල්ලි ඕව ඔහොම තමයි හද පතුලෙන්ම කරපු ආදරයක් බිඳ වැටුනම දරාගන්න හරි අමාරුයි කාලයත් එක්ක ඔයාගෙ හදවතේ ඇතිවුණු තුවාල සනීපවෙයි, පස්සෙ කාලෙකදී ඒ ආදරේ මතකයක්ම පමණක් වේවි...කාලය හොඳම වෛද්‍යවරයා හැටියටත් හොඳම බෙහෙත හැටියටත් එකවර වැඩකරනවා, ඉවසගෙන ඉන්න...

මමත් සාහිත්‍යයෙන්ම දුන්නා, මූත් මගේ මූණ දිහා උණහපුලුව වගේ බලාගෙන අහගෙන හිටිය,අහගෙන ඉඳල එහෙම මේකා ගිහිං ඔෆිස් එකේම හිටපු අක්කෙකුට කඳුළු හල හලා මම කියපුදේ ගෙඩිපිටින්ම කිව්වා...

බලන්නකො අක්කෙ මට මෙයා මේ විදියට කිව්වනෙ...

කිව්වහම මොකද ඒ දවස්වල ඔය අක්කත් එක්ක මගෙත් පොඩි ඇයි හොඳයියක් තිබුණා...මමත් ඒ කාලෙ කුරුල්ලෙක් වගේ සැහැල්ලුවෙන් හිටපු තනිකඩ කොල්ලා,අක්ක කෙල්ලට ඊරිසියාවෙ බලාගෙන ඉන්න බැරුවද කොහෙද මට කොක්ක ගැහුවා, එදා ඉඳලම මෙයා හදන්නෙ මාවත් ඒ අයගෙ අර සම්ප්‍රදායික කොටුව ඇතුළට ඇදල හිරකරලා දාන්නයි...විරුද්ධ වුනොත් බැන්නොත් අඬනව, කඳුළු උපත අඬාගෙනම තමා කතාව පටන්ගන්නෙ...මට මේක විශාල හිසරදයක් වෙලා තිබුනෙ...

ඉතිං අපේ සත්‍ය ප්‍රේම භෘංග රාජය මල්ලි  ගිහිල්ල අක්කට කතාව කිව්වට පස්සෙ අක්ක කෙල්ල ඇවිත්  මට ගොඩක් දොස් කිව්වා ...

ඔයා මොනවද අර මල්ලිට කියල තියෙන්නෙ, බලන්න ඔහොම කියපුවම එයා ඔයා ගැන මොනවද හිතන්නෙ ඔයා හිතාගෙන ඉන්නෙ එයත් ඔයා වගේ ෂර්ට් මාරුකරන්නැහේ  කෙල්ලො මාරු කරන කොල්ලෙක් කියලද...

අවලාද අපහාස ගෝනියයි...මමත් බැන්න

එතකොට ඔයා කියන්නෙ ඌ අඬනකොට මටත් ඌත් එක්ක අඬන්න කියලද ඔයාට ඕනැනං  ගිහින් ඌත් එක්ක එකතුවෙලා අඬන්න, හැමදාම කරන වැඩේනෙ...හැබැයි ඌට කියනව මීට පස්සෙ උගෙ මගුල් මාත් එක්ක කියන්න එන්න එපා කියල...

තදවුණු වෙලාවට බලු බැණුම් බැන්නත් අක්ක කෙල්ලව අතඇරලා දාන්න හිතකුත් නෑ, හදිස්සියකට අසක්කුවකට රුපියල් සීයක් හමාරක් ඉල්ලගන්න ඉන්නෙත්, ඉන්ඩම බැරි අමාරුවකදී  ලෝඩ් එකක් බාගන්නකල් කිසිම ආඩම්බරයක් නැතුව අල්ලන්නෙත් ඔය අක්ක කෙල්ලමනෙ..ඉතිං අත ඇරල කොහොමද අපිටත් ඒ කාලෙ අත මිට බොහොම හිඟයි නොවැ...

අක්ක කෙල්ල ගස්සගෙන යන්න ගියා...අරකගෙ(අරූ කියල ලියන්න හැදුවට බෑනෙ,අපේ අරූ ඉන්නවනෙ එතකොට හිතයි මේ ඌට කියන්නෙ කියල,අනේ අම්මප දාගන්න නං නැතුවට මුනුත්  දාගන්න නං) හිත හදන්න යථාර්ථය කියල දුන්නට ඔන්න මට ලැබුණු තෑග්ග...ලියන්නම ඕනැනං අක්ක කෙල්ලගෙ කතාව මම පස්සෙ දවසක ලියන්නංකො...

ඉතිං කොහෙන්ද අපි නැවැත්තුවෙ ආ හරි ඩයරිය අරං ගිය යුවතිය නේද...ඔය යුවතිය හෙවත් මගේ පළමුවෙනි ආදර කතාව, ටික දවසකින්ම කිසිම හේතුවකින් තොරව ඇය මගේ ජීවිතයෙන් ඈත්වෙලා යන්නම යන්න ගියා...

හේතුවක් නැතුව කිව්වට ඒ මටනෙ, ඇයට ඕනෑ තරං හේතු තියෙන්න ඇති ඒ කාලෙ හිතන්න බැරි උනාට පස්සෙ කාලෙකදී නිවී සැනසිල්ලෙ කල්පනා කරද්දී මට ගොඩක් දේ වැටහුණා...හරියට ශතෝදීප් හිරගෙදරදී  තමන් හිරේ වැටෙන්න හේතුව නොදැන හිටපු එද්මොන් දාන්තේට පාරියා පූජකවරයා හේතුව පහදලා දුන්න වගේ මම තනියම කරුණු කාරණා එකිනෙක ගැටගහනකොට කාරණේ මහ දවල් වගේ නිකම්ම පැහැදිලි වුණා...

කොහොම වුනත් ඇය අපේ ආදර කතාවෙන් සමුගත්ත එක මට වැදුන දරුණු පහරක් වුණා...හුදෙක් කෙල්ලක් නැතිවීමම  පමණක් නොවෙයි...තරුණ වයසෙ මුල් හරියෙ ඉන්න කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙන් තමන් ප්‍රතික්ෂේප වුණා කියන එකම ලොකු අවමානයක් ලැජ්ජාවක්...අපි කවුරුත් කාගෙන්වත් ප්‍රතික්ෂේප වෙන්නට කැමති නෑ, ඒ අපේ අභිමානය සම්බන්ධ කාරණයක්...කෙනෙක් තමන්ට අත දික්කරල හිනාවෙනවට කවුද කැමති...ඒ වෙලාවට හිතෙන්නෙ ලෝකෙම බලනව ලෝකෙම මට හිනාවෙනව කියලනෙ...සනත් නන්දසිරි "මුළුලොව මගෙන් අසාවී'' කියල කිව්වෙ නිකංද...

ඉතිං නැතිවුණු අභිමානය සහ  ඒ කොට මොඩල් කෙල්ල පයින් ගහල විනාශ කරල දමපු ආත්ම ශක්තිය නැවත ගොඩනගාගන්න සහ  වැටුණු වලෙන් ගොඩ එන්න තවත් කෙල්ලෙක්ගෙ අතේ එල්ලෙන්නෙ නැතිවම බෑ...

ඔන්න ඔය වගේ වලේ වැටිල ඉද්දි, එන්න ඕනැවට රස්සාවට එද්දි දෙයියො දුන්න වගේ ස්වප්නට පත්වීමක් හම්බවෙලා අපේ ඉස්පිරිතාලෙ වැඩට ආවෙ...ස්වප්නා ගැන මම කලිනුත් ලියල තිබුනනෙ ඉතිං දිගම දිග  කතාවක් කෙටියෙන් කිව්වොත් ස්වප්නගේ අතේ එල්ලිලා මම වැටිච්චි වලෙන් ගොඩ ආවා...ඒ කතන්දරෙත් පස්සට තියමු...ආපහු ප්‍රධාන කතාවට...

බදුල්ලෙ මම ඔය කියපු ගෙදර නවාතැන් ගත්ත අපි කණ්ඩායම උදේ නැගිටල තේ එකක් එහෙම බීල,අපි සීනි තේකොළ කිරි එහෙම ගිහිං දුන්නම ඒ ගෙදර හිටපු අයිය උදේට කට්ටියටම තේ ලෑස්ති කරල දුන්නා...අර සීතලම සීතල වතුර පීල්ලට ඔලුව අල්ලල නාගෙන,එහෙම උදේ නාන්නෙ නැතුව යන්න අමාරුයි, රෑ ඔලුව කරවෙන්නම ගහලනේ නිදාගන්නෙ,උදේ පාන්දර ඔය වතුර පීල්ලට ඔලුව අල්ලන එක තමයි වැඩේ කියන්නෙ...කුරුමානං අල්ලල අල්ලල දත් මිටි කාගෙන පීල්ලට ඔලුව අල්ලනව ඔලුව විතරක් නෙවෙයි මුළු ඇඟම ප්‍රීස් වෙනවා මැලේරියා ලෙඩා වගේ සීතලෙන් ගැහෙන්නෙ...අමාරුවෙන් හරි නාගත්තට පස්සෙනනං තියෙන සනීපෙ කියාගන්න බෑ...බදුල්ලෙ වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනය හරියෙ තිබ්බ ශාලාවක අපේ වැඩේ ලෑස්ති කරල තිබුණා...

 යන ගමන් කඩේකින් උදේට කාල එහෙම ශාලාවට ගිහිං අඩුපාඩු බලල හදනව, දවල් දහය විතර වෙද්දි ප්ලාස්ටික් බූලි දෙකක් දාගත්ත වාහනයක් අර මම කියපු ඉවාන්ලගේ ගෙවල් හරියෙ තියෙන කිතුල් මණ්ඩියට යවනවා...

ඩ්‍රයිවර්ලා දෙන්නම කොල්ලො, කිසි කරදරයක් නෑ අපායට පලයන් කිව්වත් යනව...දහයට විතර මම එකෙකුට කතාකරනව...

ආසිරි මෙහෙ වරෙන් කොල්ලො...උඹ ගිහිං මේ බූලි දෙක පුරෝගෙන වරෙන් තැන දන්නවනෙ රා බිබී එතන ටැක් ගැහෙන්න එපා මෙහෙ ඇවිත් බීපන්,මොකද අද දවල්වෙද්දී ලොකු මහත්තයත් කොළඹ ඉඳල එනව කිව්ව...

හරි හරි මහත්තය බයවෙන්න එපා මම වෙලාවට එන්නංකො...

කිතුල් රා බූලි දෙක ගෙනත් පිටිපස්සෙන් තිබ්බට පස්සෙ එක එකා තමන් කැමති පමනෙන් සප්පායම් වෙනවා උමගිළිය දිදාලයක් වගේ චූටි කෝප්පයක් කොහෙන්ද හොයාගෙන ඇවිත් ඒකෙන් විස්සක් විතර බොනව,තාත්ත මාරුවුණ ගමන් ජූනියර් ඇවිත් ලොකු වතුර බොන වීදුරුවකින් දෙකක් ගහල අරිනව ඇල්වතුර බොනව වගේ...බීල සිගරැට් එකකුත් පත්තු කරගෙන ලෝඩ් පකීර් වගේ ඉස්සරහින් පුටුවක වාඩිවෙලා හුළං වැදී වැදී  ඉන්නව හරියට ගෙදරට ආපු අමුත්තෙක් වගේ,අපට වගේ නෙවෙයි ඌට මොන සැපද...

ඔය දවස්වල මම ඊළඟ අවුරුද්දට ගහන දෙසතිය කැලැන්ඩරේ මූලික වැඩ කටයුතු කරමින් හිටපු කාලෙ...ඉස්සෙල්ලම කැලැන්ඩරේටයි පොකැට් කැලැන්ඩරේටයි පින්තූර දෙකක් හොයාගන්න එපායැ,මගෙ අදහස තිබුනෙ පොකැට් කැලැන්ඩරේට කිතුලකට නගින රා මදින්නෙකුගේ පින්තූරයක් දාන්නයි...ඉතිං මේ ගමනෙන් ඒ වැඩෙත් කරගන්න පුළුවන් වෙයි කියල හිතපු මම හරිම සතුටින් හිටියා,ඇයි මල් කපන කිතුල් ගස් මංඩි කඳුවල වකාරෙට තියෙන්නෙ, වෘත්තීය මට්ටමේ පොටෝ කාරයෝ දෙන්නෙකුත් හොඳම කැමරා උපකරණත් තියනව,ඉතිං පොටෝද ගන්න බැරි...

සරත් මට පින්තූරයක් ඕනෑකරලා තියනව උදේ මල් කපන්න අර උපකරණ පෙට්ටියත් ඉනේ එල්ලගෙන කිතුල් ගහකට නගින මනුස්සයෙකුගෙ, ඒ මිනිහ උඩට කමිසයක් ඇඳල ඉන්න බෑ ...එතකොට නැගෙනහිර පැත්තෙන් ඉර එළිය තීරු තීරු ගස් අස්සෙන් පෙනෙන්න ඕනෑ...

ආදී වශයෙන් මම මගෙ අවශ්‍යතාව සරත්ට කියපුවම...

හරි මට තේරෙනව මම පින්තූර තුන හතරක්  අරං දෙන්නං හොඳ එකක් තෝරාගන්න එකයි...ඒක නෙවෙයි හැමදාම මේ මගුල් රා  බීල මගේ බඩ බුරුල්කරල,හරියට ටැප් එක ඇරිය වගේ බඩයන්නෙ ,අරක්කු කාලක් අමුවෙන් බිව්වනං බඩයන එක ගල ගැහුව වගේ නවතිනව...ගෙන්නමුද බෝතලයක්...

වැඩේ බාරදුන්න ගමන්ම මූ මගෙන් බෝතලයක් කැපුවා...මම කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියත් පින්තූරෙ වැඩේ හරිගියේ නෑ,රා මදින මිනිස්සු පිට අයව ගස් මුලට ගෙනියන්නෙ නැහැලු රා ගේන්න බූලි දෙක අරං ගියත් බූලි දෙක ඉල්ලගෙන...

මම විගැහින් රා ටික අරං එන්නං මහත්තය ඔතනට වෙලා ඉන්ට...

කියල යන එකාව ගලක් උඩ වාඩිකරල කන්දට ගිහිං රා ටික ගෙනත් දෙනව මිසක් ආයෙ කාවවත් කන්දට එක්කං යන්නෙ නෑ...


අන්තිමේදී මම පොකැට් කැලැන්ඩරේට පින්තූර දෙකක් හොයාගත්ත,එකක් වී බිස්සක පින්තූරයක්, අනික කැලේ එළිමහන් මන්ඩියක අහුලගෙන කන වළි කුකුල්ලු රංචුවක්...දැන් මේ පිංතූරදෙක ලොක්කට පෙන්නල එකක් අනුමත කරවගන්න ඕනෑ...මම වඩා කැමතිවුනේ වී බිස්සේ පින්තූරෙ දාල පොකැට්  කැලැන්ඩරේ ගහන්න, පින්තූර දෙකටම දෙසතිය කියල ලියවල ඩමි දෙකකුත් හදාගෙන ඒක ලොකු කරල ප්‍රින්ට් එකකුත් ගත්තා...දැකපු උන් නං නොයෙක් ජාති කිව්ව...

ඔන්න ඔය වී බිස්ස  විසිකරපන් උඹලනෙ  කරන්නෙ කෙලින්ම කුකුල්ලු ටික දාල ගහපං,ඒක තමයි හරියටම ගැලපෙන්නෙ ෂුවර් එකටම මම දන්නව ලොක්ක ඇප්රූ කරන්නෙ කුකුල්ලු ටික...

නෑ බං ලොක්කට පෙන්නන්න ඕනත් නෑ කෙලින්ම කැලැන්ඩරේ ගහලම පෙන්නපන් කුකුල්ලු ටික දැක්ක ගමන් ලොක්ක ඕ කේ කරනව...

ඔන්න ඔය වගේ මඩ වරුසා මැදින් මම පින්තූර දෙකත් අරං ලොක්ක හම්බෙන්න ගියා...

යනකොට ලොක්ක ගෝල් ලීෆ් එකකුත් බිබී පත්තරේ බලනව...වාඩිවෙන්න කියල මොකද කාරනේ ඇහුවා...

අර කැලැන්ඩරේ පින්තූර ටික පෙන්නන්න ආවෙ සර්...

කෝ බලන්න දෙන්න...

දැන් මොන පින්තූරෙද කැලැන්ඩරේට දාමු කියල කියන්නෙ...

වී බිස්සෙ පින්තූරෙ හොඳයි නේද ...

එතකොට වී බිස්ස දාන එකෙන්  අපි අදහස් කරන්නෙ මොකක්ද...

අප්පට හුඩු...ලොක්ක දැම්ම නේද දුස්රාවක්, මෙහෙම දෙයක් අහයි කියල මම හිතුවෙම නෑ ...තප්පර දහයකට විතර මාව තුෂ්නීම්භූත වුණා, ඉක්මනටම යථා තත්වයට පත්වෙද්දිම දිය යුතු උත්තරය කටට ආවා...

සෞභාග්‍යයනෙ සර්...අපි මේ පිංතූරෙන් අපේ රට සෞභාග්‍යයෙන් පිරිල තියෙන බව ව්‍යංගාර්ථයෙන් කියනව...

ලොක්කට හිනාවක් ගියා මොකුත් නෑ කට කණේ...දැන් ඔය පොකැට් කැලැන්ඩරේ  පලවෙනි එක ප්‍රේමදාස මහත්තයට පිලිගන්වනවනෙ,ඒ දවස්වල එහෙම තමා සාංඝීක දානෙක වුණත් අග්‍ර භාගය බුද්ධ පූජාවට තියනව වගේ කරන කියන හැමදේකම මුල් කොටස ප්‍රේමදාස මහත්තයට පූජා කරන එක සිරිතක්...

ඔය කැලැන්ඩර් පූජාවෙදි ප්‍රේමදාස මහත්තය ඇහුවොත් එහෙම මම ලොක්කට කියපු කතාව ලොක්ක ගෙඩිපිටින්ම ප්‍රේමදාස මහත්තයට කියල දානව... ඒ සුන්දර අවස්ථාව ලොක්කගෙ හිතේ මැවෙන්න ඇති...

ඔයයි ඔයාගෙ සාහිත්‍යයයි...කෝ ඕක දෙන්න මෙහාට...

කෙලින්ම වී බිස්ස අස්සන් කරල අනුමත කරල දුන්නා...







Wednesday, November 13, 2013

102.ජාත්‍යන්තර කාන්තා දිනය, ඕ ටී වල සහ තවත් කතා


අපි ලියල ඉවර කරන්නෙ නැතිව මගින් නවත්තපු කතා කීපයක්ම තියෙනව නේද ඒව ටිකත් ඉක්මනට ඉවරකරන්න ඕනෑ...ඒත් එක්කම මේ මම ඊයෙ පෙරේද දැකපු දෙයක්,බ්ලොග් ලියන හිරිමල් තරුණයො අපි ලියන පරණ කතා කියවන්න කැමති නෑනෙ... ඒ අයට අපි ලියන කතා අල්ලල යන්නෙ නැතුව ඇති, මේ නාකි ටික මොන මගුලකට පරණ ගම්මැදි හෑලි ලිය ලියා දානවද කියලත් හිතනවා ඇතිනෙ, මොනා කරන්නද ඔව්ව ඔහොම තමයි, කලින් කලට පලින් පල කිව්වලුනෙ...

තවත් දෙයක් මම කල්පනා කළා ඒක මේ කකාගෙ අදහසක්...කකා කියනව මගෙ එක පෝස්ටුවක් කකාගෙ පෝස්ට් හතරක් විතර දිගලු, බලාගෙන ගියාම ඒකත් ඇත්ත,ඒ නිසා පෝස්ට්වල දිග අඩුකරන්නත් අදහසක් තියනව හැබැයි ඔයගොල්ලන්ගෙ ප්‍රතිචාර අනුව...

ආරම්භයක් හැටියට මම ඔය කතාව කිව්වෙ අදත් මට පරණ කතාවක් මතක්වෙච්චි නිසා...ඒ මම දෙසතිය බාරව වැඩ කටයුතු කරපු කාලෙ කතාවක්,ඒ කාලෙ අපි බුත්තල ගම් උදාවට ගිය හැටි  මම කලිනුත් ලිව්වනෙ...

ඔය කාලෙ කියන්නෙ ජනාධිපති ප්‍රේමදාස මහත්තය තමන්ගෙ බලයෙ උපරිමයෙ හිටපු කාලෙ...කොටින්ම කිව්වොත් එතුමගෙ ඉහට උඩින් කපුටෙක්වත් පියාඹන්නේ නෑ  බැරිවෙලා හරි පියාඹුවොත් එහෙම ඒ සැනින්ම වෙඩි තියල කපුටව බිම දාන්න තරං සුවච සහචරයන් රැසක් එතුමා වටේ සැදී පැහැදී හිටියා...

මම මෙතෙක් කල්ම විස්තර කිව්වෙ ප්‍රේමදාස ජනාධිපති තුමා ගැන විතරයි. ..නමුත් ආර්යාව ගැන නොකියා එතුම ගැනම කියන එකත් එච්චර හරි මදි, මොකෝ ආර්යාව ගැනත් රස කතා මහගොඩයි...ඔන්න ඔය බුත්තල ගම් උදාව පැවැත්වුණු සමයෙ එතුමිය ගායිකාවක් හැටියටත් මඩු බැහැල ශීග්‍රයෙන් ජනප්‍රිය වෙමින් හිටියා.

කොච්චර ජනප්‍රියද කිව්වොත් ගම් උදා භූමිය වටායි ගම් උදා භූමියෙ සිට බුත්තල ටවුම දක්වායි කණුවල හයිකරල තිබුණු සියගණන් යකඩ කටවල් වලින් හැම හවසකම ආර්යාවගෙ මධුර මනෝහර ගීත  ප්‍රචාරය වුනා...

ඔන්න අපි හවස්වෙලා ගම් උදාවෙ වැඩට යද්දී යකඩ කටෙන් ඇහෙනව...

මීළඟ ගීතය ගයන්නේ හේමා ප්‍රේමදාස මැතිණිය සමග බණ්ඩාර අතාවුද...

ආර්යාව ගායනයට පමණක් නොවෙයි පිහිනුම් නෙට්බෝල් ආදී ක්‍රීඩාවලටත් සහජ දක්ෂකම් පෑවා...එතුමිය තමයි නෙට්බෝල් කණ්ඩායමේ නායිකාව...ගහපු හැම තරඟයකින්ම එතුමියගෙ කණ්ඩායම උසස් ජයග්‍රහණ ලැබුවා...

ආර්යාව තරඟ කරන තරඟයකට ඉස්සෙල්ල සංවිධායකයින් ප්‍රතිවාදී පිලේ ක්‍රීඩිකාවන්ට තරඟ කොන්දේසි පහදලා දෙනවා ඒ කොන්දේසි මෙන්න මෙහෙමයි...

ආර්යාවගෙන් බෝලෙ ගන්න තහනම්.
ආර්යාවට හරස් කපන්න තහනම්.
ආර්යාවගෙ ඇඟේ හැපෙන්න තහනම්.
ආර්යාවගෙ ඉස්සරහට පනින්න තහනම්.
පිටියෙදි ආර්යාව අපහසුතාවට පත්වෙන කිසිම දෙයක් කරන්නට තහනම්.

ඔන්න ඔය ආකාරයට තරඟ කරද්දී හැම තරඟයකින්ම විශිෂ්ට දක්ෂකම් දක්වන්නට එතුමිය සමත් වුණා.

ආර්යාව පමණක් නෙවෙයි ප්‍රේමදාස ජනාධිපතිතුමා, එතුමත් ඊට දෙවෙනි නෑ හරිම දක්ෂ ක්‍රීඩකයෙක් ඔය සෝන්ඩර්ස් ගහපු පී ඩී සිරිසේනලගෙ සමකාලීන ක්‍රීඩකයෙක් නොවැ...එතුම ජනාධිපති උනාට පස්සෙත් පුට්බෝල් මැච් එකක් ගැහුවනෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමයි තවත් කවුද කණ්ඩායමකුයි එක්ක  ප්‍රේමදාස මහත්තය තමයි නායකයා, ඒ පුට්බෝල් මැච් එකේ තරඟ කොන්දේසි මෙහෙමයි...

එතුමා පස්සෙන් එලවන්න බෑ.
එතුමට වෙට්ටු දාන්න ස්ලිප් ෂොට් ගහන්න බෑ.
එතුමා බෝලෙ ගෙනියනකොට ගන්න බෑ.
එතුමා බෝලෙ ගන්න හදනකොට නොදී ඉන්න බෑ.

ඔය ආකාරයට ගහපු පුට්බෝල් මැච් එකෙන් ප්‍රේමදාස මහත්තයගෙ කණ්ඩායම ගෝල 1-0 ක දිනුමක් වාර්තා කළා...ජයග්‍රාහී ගෝලය වාර්තාකලේ කවුද... වෙනින් කවුරුවත් නොවෙයි නායක ප්‍රේමදාස ජනාධිපතිතුමා

එතුමා ගෝලය ගහද්දි ප්‍රතිවාදී පිලේ ගෝල් රකින්නා වුණේ බ්‍රිගේඩියර් ආනන්ද වීරසේකර ඒ දවස්වල පුනරුත්ථාපන කොමසාරිස්, ප්‍රේමදාස මහත්තය පෝවඩ් සෙල්ලං කලේ...ඔන්න දැන් එතුමා බෝලෙත් අරං ඊගහේ වේගෙන් දුවගෙන එනවා අහල පහළ ප්‍රතිවාදී ක්‍රීඩකයන් කිසි කෙනෙක් නෑ(පණට ආදරේ ඇති එකෙක් අහළ පහලක ඉඳීයැ)පෙනල්ටි කොටුවට බෝලෙ ගෙනාපු ප්‍රේමදාස මහත්තය මොහොතකට බෝලෙ නවත්තල ගෝලෙ ගහන්න කලින් වටපිට බැලුවා...

ප්‍රේමදාස මහත්තය ගහන පහර වලක්වන්නට ගෝලි බ්‍රිගේඩියර් ආනන්ද වීරසේකර බලාගෙන ඉන්නව...එතුමා ගෝල් එකේ දකුණු පැත්තට පහර එල්ල කරද්දී බ්‍රිගේඩියර් ආනන්ද වීරසේකර ගෝල් එකේ වම් පැත්තට ඩයිව් කරලා ඉගිල්ලුනා...

බෝලෙ කිසිම අවහිරයක් නැතිව දැල සිප ගත්තා...

මම ජාතික කණ්ඩායමෙත් දැල රැකලා තියෙනව, එවැනි ආකර්ශණීය පහරක් මගෙ ජීවිතේටම දැකල නෑ මාව අන්දුන් කුන්දුන් උනා...

තරඟයෙන් පස්සෙ බ්‍රිගේඩියර් ආනන්ද වීරසේකර පත්‍ර වාර්තාකරුවන් සමග පැවසුවා...උන්නැහේ පැන්ෂන් ගිහිල්ල පස්සෙදී මහණ වුණා දැන් බණ භාවනා කරගෙන ආරණ්‍යයකට වෙලා ඉන්නවලු...

හැබැයි ප්‍රේමදාස මහත්තයගෙ බෝල ගැහිල්ලෙන් එක හොඳක් නං වුනා,ඒක උනේ මෙහෙමයි...පුට්බෝල් මැච් එකේදි ප්‍රේමදාස මහත්තයට කකුලෙ අමාරුවක් හැදිල අඩිය තියාගන්න බැරුව ගියා...ඒ දවස්වල කැඩුම් බිඳුම් වලට නම් දරාපු සමර්ථම වෙදරාළ වුනු හොරිවිල වෙද මහත්තය ලඟට මෙතුමව එක්කරගෙන ගියා...

හොරිවිල හේරත්හාමි වෙදමහත්තයා ජීවකයෙක් වගේ වෙදෙක්, කපන්න ලෑස්ති වෙලා හිටපු අත් කකුල් කීයක්නං වෙද මහත්තය කපන්න නොදී  බේරගෙන තියෙනවද...ඉතිං වෙදමහත්තය ප්‍රේමදාස ජනාධිපති තුමාව පරීක්ෂා කරල...

ආ...මේක මේ කකුලෙ කණ්ඩරාව ඉරිලා හින්දනේ ටික දවසක් බේත් කරන්න වෙයි...

වෙද මහත්තයගෙ තෙල් බේත් පත්තු වලින් සති දෙකක් යද්දී ප්‍රේමදාස මහත්තයගෙ කකුල එතනම සනීප උනා...ප්‍රේමදාස මහත්තයට හරි සතුටුයි, ඊළඟට තියෙන්නෙ කළගුණ සැලකීම හෙවත් තෑගී බෝග දීම නොවැ,ජනාධිපති කෙනෙක් තෑගි දෙනකොට අපි උඹල තෑගි දෙනව වගේ සීයක් හමාරක් දීල බෑනෙ තෑග්ග හොඳ ලකේට තියන්න එපායැ...

වෙද මහත්තය බේත් කලාට සල්ලි ගන්නෙත් නෑ බුලත් අතේ කීයක් හරි තියල දුන්නත් ඒ දිහා බලන්නෙත් නෑ...

වෙද මහත්තයට මගෙන් කෙරෙන්න අවශ්‍ය ඕනෑම දෙයක් තියෙනවනං කියන්න...

ප්‍රේමදාස මහත්තය වෙද මහත්තයගෙ ළඟින් වාඩිවෙන ගමන්  කිව්වා...

අවශ්‍ය දේ නේද...

වෙදමහත්තය ප්‍රේමදාස මහත්තයගෙ මූණ දිහා බලල හප හපා හිටපු බුලත් හපෙත් එලියට වීසි කොරල එහෙම උගුරෙ රැල් බුරුල් ඇරල කතාකළා...

මෙහෙමයි...මට නං ඉල්ලන්න දෙයක් නෑ ජනාධිපතිතුමෝ...හැබැයි දුර ඉඳන් එන ලෙඩ්ඩුන්ට මෙහෙ එන්න හරි කරදරයි,හොරිවිලට කෝච්චිපොළක් ලැබුණොත් ඒ ලෙඩ්ඩුන්ට හරි පහසුවක්, ඔබ තුමාටත් පිං සිද්ධ වෙනවා...

වෙද මහත්තයගෙ ඉල්ලීම ඉස් මුදුනින්ම පිළිගත්තු ජනාධිපතිතුමා කොළඹ ආ ගමන්ම හොරිවිලට කෝච්චි ඉස්ටේසමක් දෙන්නයි කියල දුම්රිය බලධාරීන්ට නියෝග කළා...

අපේ කෝච්චි බලධාරීන් ඉන්නවා නේද හප්පා සුපිරිම වැඩකාරයෝ ටිකක්, මම මේ මගෙ නේත්තරා දෙකෙන්ම දැකපුවයි කියන්නෙ...ඔන්න සැරයක් රාගම ඉඳල කොළඹට තුන්වෙනි මාර්ගයක් අත්‍යාවශ්‍යයි කියල තීරණය කරල කෝච්චි පාර හදන්න පටන් ගත්තා,පටන් ගත්තෙ මට මතක හැටියට අසූ දෙකේ හරි තුනේ හරි, රාගම ඉඳල කොළඹට කිලෝමීටර් දහඅටයි නොවැ... 

ඔය ටික දුර පාර හැදුව අනූහතර විතර වෙනකං අනේ අම්මපල්ල මගේ දෑහින් උදේ හවස දැකපුදේ...ඒ හැදුවෙත් රාගම ඉඳල කැලණියට යනකල් විතරයි කැළණි ගඟට කෝච්චි පාලං දෙකක් විතරක් තිබුන නිසා එතනින් නැවතුනා... 

ඔන්න පස්සෙ කාලෙක කැළණි ගඟේ තුන්වෙනි දුම්රිය පාලම හදල රේල්පාරෙ ඉතුරු ටිකදුර හදන්න ගත්ත, ඔය කැලණියේ ඉස්ටේෂන් එක පහුකරපු ගමන් පොඩි බෝක්කු කෑල්ලක් දාන්න තිබ්බ...සී ජී ආර් එකේ ගෝලයො ඇවිත් මඩුවක් ගහන් වැඩ පටන්ගත්ත, දවසකට එක ගල ගානෙ බැන්දත් අවුරුද්දකින් බෝක්කුව හදන්න තිබ්බා... මුන් ටික අවුරුදු හතරකටත් වඩා වැඩේ ඇදන් ගියානෙ, කොහොමහරි මම රටෙන් පිටවෙද්දිවත් තාම බෝක්කුව හදල තිබුනෙ නෑ, දැන්නං හදලද දන්නෙ නෑ...

මම ඔය ගැන රේල්ලුවෙ වැඩකරපු මගේ යාලුවෙක්ගෙන් ඇහුවා...

ආ...ඔතෙන්ට කියන්නෙ ඕ ටී වල කියලනෙ...

යාලුව කිව්ව, පැය අටේ වැඩ මුරේට පස්සෙ ඉතුරු පැය දාසයම ඕ ටී ලු, වැඩේ ඉවරවුනොත් ඕ ටීත් ඉවරනෙ ඉතිං බෝක්කු හදයියැ...

දුම්රිය සුරැකීමේ කියල කට්ටියක් යාපනේට රේල් පාර හදන එක පිටරට සමාගමකට දුන්න කියල මහා ගෝසාවක් කොලානෙ,

දෙපාර්තමේන්තු සේවකයන්ට හදන්න පුළුවන්ලු...දුන්නනං එහෙම ලබන ආත්මෙ නෙවෙයි ඊළඟ ආත්මෙ විතර දෙයියන්නෙ පිහිටෙන් කෝච්චියෙ යාපනේට යන්න තිබුණා...

ඒ ගොල්ල ගැන කියන්න ගියොත් නං කියල ඉවරයක් නෑ...ඉතිං කොහොම හරි අන්තිමේදී හොරිවිලට කෝච්චි පොලක් ලැබිල තිබුණා....

මම කියාගෙන ආවෙ ඔව්ව නෙවෙයිනෙ,ඔන්න ඉතිං ඒ අවුරුද්දෙ ජාත්‍යන්තර කාන්තා දිනයත් ළඟ ලඟම එනව... කාන්තා දිනය මහ ඉහලින් උත්සවාකාරයෙන් සමරන්නට හේමා ප්‍රේමදාස මැතිණිය සූදානම් වුණා,

රාජ්‍ය අනුග්‍රහයෙන් උත්සවය බදුල්ලේදී පවත්වන්නට තීරණය කෙරුනා.

අපටත් වැඩ වැඩිවේගෙන එන කාලෙ, කාන්තා දිනයට සමගාමීව අපේ දෙපාර්තමේන්තුවත් බදුල්ලෙ වැඩ කටයුතු රාශියක් කරන්න ලෑස්ති වුණා...

ශ්‍රීමත් ජනාධිපතිතුමාගෙ  ඡායාරූප ප්‍රදර්ශනය.
ශ්‍රීමත් ජනාධිපතිතුමා ගැන චිත්‍රපටයක්.
දෙසතිය ප්‍රදර්ශනාගාරය සහ අළෙවිහල.

වහාම බදුල්ලට ගිහිං වැඩ පටන්ගන්න...අපට නියෝග ලැබුණා...





Sunday, November 10, 2013

101.මල් කළඹක්



අද නොවැම්බර් 11 වෙනිදා ඒ කියන්නෙ 11.11 විශේෂ දවසක් ,යුරෝපෙ නං නොවැම්බර් 11 ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...මම ඉස් ඉස්සෙල්ලම යුරෝපෙ රටකට ගියෙ නොවැම්බර් 10 වෙනිදාවක හවස, සීත කාලෙනෙ රෑ නිදාගෙන ඉඳල නැගිටින්න ගියාම එපාවුණත් වැඩට යන්න තියන නිසා කම්මැලි කමෙන්ම පහුවදා උදේ නැගිට්ටා...කිට මරාගෙන එහෙම යාලුව එනකං ඉද්දි මෙන්න පුල් කැෂුවල් ගහගෙන උදේට කන්නත් අරගෙන යාලුව ආවා...

ආ...මට ඊයෙ කියන්න අමතක වුණා අද නිවාඩුනෙ ...

අපරාදෙ ඊයෙ කිව්වනං අපි තව ටිකක් නිදාගන්නවනෙ...මට එහෙම හිතුනට කිව්වෙ නෑ...

මේ නිවාඩුව මොකක්ද කියල මම පස්සෙ හොයල බැලුවා...බැලින්නං යුද්දෙ සමාදාන වෙච්චි නිවාඩුව,  යුද්දෙ කිව්වෙ පළවෙනි ලෝක මහා සංග්‍රාමය, සමාදාන වෙලා තියෙන්නෙ 1918 නොවැම්බර් 11 වෙනිදා උදේ 11.11 ට.කතාව ඔන්න ඕකයි.

ලෝක යුද්ද සමාදාන වුනත් බ්ලොග් අවකාසෙ ඇතිවෙන යුද්ද කවද සමාදාන වේවිද කියල හිතාගන්න අමාරුයි...ඒ යුද්ද නං කිසි වැඩකට ඇති යුද්දත් නෙවෙයි යුද්දෙන් දිනුවය කියල ලැබෙන දේකුත් නෑනෙ...

මෙහෙම කියමුකො, අපි කවුරුත් බ්ලොග් ලියන්නෙ අතින් වියදම් කරගෙනනෙ...මොකද බ්ලොග් ලිව්වය කියල සතපහකවත් ආදායමක් ලැබෙන එකක්යැ...අපි කවුරු කවුරුත් තම තමන්ගෙ ආත්ම තෘප්තියට,හිත නිදහස් කරගන්න,යමක් අනික් අයට කියල දෙන්න  ආදී වශයෙන් විවිධාකාර හේතූන් නිසා බ්ලොග් ලියනව...ඒ වගේම මේ බ්ලොග් අවකාශය තුල විවිධාකාර දැනුමැති උගත් බුද්ධිමත් පිරිසකුත් ඉන්නව ඉතිං මොන තරං අපූරුවට සතුටින් සමාදානෙන් මේ වැඩේ කරගෙන යන්න පුළුවනිද...

දහසක් මල් පිපේවා කියල මාවෝ සේතුං කිව්වනෙ, පිපෙන පිපෙන මල පොඩිකරල හිරගෙවල්වල දැම්ම එක වෙනම කතාවක්, අන්න ඒ වගේ බ්ලොග් අවකාසෙත් දහසක් මල් පිපෙනව නං කොච්චර අපූරුද...

හරියටම කල්පනා කරල බැලුවොත් අපි මේ ගෝරි දාගන්න භාවිත කරන අවකාශය හෙවත් අපි අඩිය ගහගෙන ඉන්න තැනවත් අපේ නොවෙයිනෙ...අනුන් අපට දීල තියෙන තැනක ඉඳන් අපි ලියන්නෙ සහ ගෝරි දාගන්නෙ හරියට කුලී ගෙවල් පේළියක ඉන්න කට්ටිය රණ්ඩු වෙනව වගේනේද කියලත් මට නිකමට වගේ හිතෙනවා ...

අන්න ඒ නිසා පටු පරමාර්ථ වලින් දුරස්වෙලා කාටත් ප්‍රයෝජනවත් කාටත් රසවත් දැනුම දියුණුවෙන හිත ප්‍රීතියට පත්වෙන ආනන්දයෙන් ප්‍රඥාවට අපව ගෙනයන බ්ලොග් කලාවක් බිහිවේවා කියල හැලප කඩේට අවුරුද්දක් පිරෙන අද දවසෙ මම අවංකවම ප්‍රාර්ථනා කරනවා...

2012 නොවැම්බර් 11 වෙනිදා අලුතෙන් හදාගත්ත මගේ බ්ලොගයට පූර්විකාව කියන පෝස්ට් එක දමද්දී මගේ හිතේ මිශ්‍ර හැගීමක් තිබුණා, ඇත්තටම කිව්වොත් මෙවැනි තැනකට ඇතුල්වෙන්න මට හැකිවෙයිද කොයි ආකාරයට මාව පිළිගනීද මම ලියන ඒවට හිනාවෙයිද ආදී වශයෙන් හිතමින් ඊළඟ පෝස්ට් එක ලියන්න දෙසැම්බර් වෙන තුරුම කල්පනා කරමින් හිටියා...දෙසැම්බර්වල කතාවක් ලියල දාපුවම මා බලාපොරොත්තු නොවුණු විදියේ පිළිගැනීමක් බ්ලොග් ලෝකෙන් මට ලැබුනා...

දිරිගැන්වීම් අගය කිරීම් ප්‍රචාරය කිරීම් ආදිය නොඅඩුවම මට ලැබුනා...මුලදී මුලදී හිට්ස් කමෙන්ට්ස් අඩුයි තමයි ඒක කාටත් ස්වාභාවිකයි නොවැ, නමුත් පසුකාලීනව ඒ සියල්ල ඉතා හොඳ මට්ටමකට ළඟාවූ නිසාවෙන් බ්ලොගයට අවුරුද්දක් පිරෙන අද දවස වනවිට ඉතාම අපූරු මිතුරු මිතුරියන් පිරිසක් ඉන්න තෘප්තිමත් බ්ලොග්කරුවෙක් වෙන්න මට හැකියාව ලැබිල තියෙනව...

උදව් කල අය, මුලදී දිරිදුන්න අය නම් වශයෙන් කියන්න හිතුනත් කාරණා දෙකක් නිසා එහෙම නොලියන්න මම තීරණය කළා...එකක් නම් ලැයිස්තුව දිග වීම, එතකොට මට වෙනත් දෙයක් ලියන්න වෙලාවක් නැතුව යනව ,අනික එක නමක් හෝ මග ඇරුණොත් ඒක ආපහු හදාගන්නට බැරි විශාල වරදක් වීම...

එහෙම පුද්ගල නම් තියෙන ලිපියක තමන්ගෙ නමත් ඇතුල්වෙලා තියෙනව දකින්න කවුරුත් කැමතියි ඒ පෘථග්ජන ස්වභාවය, ඉස්සෙල්ලම බලන්නෙ මගෙ නම තියනවද ඒ කොතනද කියලනෙ...පින්තූරයක් ගත්තොත් ඉස්සෙල්ලම බලන්නෙ ඒ පින්තූරෙ තමුන් ඉන්නෙ කොතනද කියල...

අපි ජීවත්වන්නෙ ඉතාම තදබල ආකාරයට මමත්වයෙන් පිරුණු ලෝකයක...ඩේල් කානගී ලියූ How to win friends and influence people කියන පොතේ තියෙන ආකාරයට ලෝකයේ වැඩිපුරම ලියවෙන කතාකරද්දි කියවෙන වචනය ''මම'' කියන වචනයයි.

මෙන්න මේ ''මම'' කියන ආයතනයට පහරක් එල්ලවෙද්දී මදිපුංචිකමක් වෙද්දි අපි ඉතා තදින් කිපෙනවා පළි ගන්නවා, වැඩිදුරටත් කිව්වොත් අනුන්ගෙ අහංකාරකමට පොලු පහර දෙන්න නොපැකිලව ඉදිරිපත්වන අපි තවත් කෙනෙක් අපේ අහංකාරකමට පොඩි කටුවකින් ඇන්නත් ඉතාම දරුණු විදියට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට පෙළඹෙනවා...

ඒ මනුෂ්‍ය ස්වභාවයයි ලෙඩක් නොවෙයි, බ්ලොග් ලෝකෙටත් ඔය ධර්මතාව ඒ ආකාරයටම පොදුයි...අනිත් අයගේ බ්ලොග් රෝල්වල අපේ බ්ලොගය තියෙනව දකින්න අපි හරි ප්‍රියයි, තිබුනෙ නැත්නං පුංචි කණගාටුවක් ඇතිවෙනව...එහෙම තමයි,මනුෂ්‍යයින්ගේ විවිධවූ ක්‍රියාවන් අර්ථ දක්වන්නට හරිම දුෂ්කරයි...

ඉතිං මෙන්න මේ මමත්වය පිරුණු තැන අනෙකාගේ අහංකාරකමටත් නිසි තැන දෙමින් අපේ ලිවිල්ල ඉතාම සීරුවට කලයුතු වෙන නිසාවෙන්ම අවශ්‍යයෙන්ම කිවයුතු අයගෙ වුනත් නම් නොලියා ඉන්න මම කල්පනා කළා...ඒ ගැන මගේ ඒ හිතවතුන් මට සමාවෙතැයි මා විශ්වාස කරනවා...

ඉතිං වසරක් පිරෙන මේ දවසේ මගේ බ්ලොගය කියවූ,උදව්කළ,කමෙන්ට් කල හා විවිධාකාරයෙන් මට දිරිදුන් ඔබ සියලු දෙනාටම මා හිස නමා මල් කළඹක් දී මගේ අවංක ආදර ස්තූතිය පිළිගන්වනවා...

ඒ වගේම බ්ලොග්කරණයෙදී මට උදව්කළ ලඟින්ම සිටි විවේචකයන් දෙන්න වුනු බිරිඳ සහ පුතා මේ වෙනකොට මාත් එක්ක නැහැ, ඔවුන් දැනට මාස දෙකකට විතර උඩදී ලංකාවට ගියා, ළඟ නැතිවුනත් ඒ දෙන්නටත් මගේ ස්තූතිය පිරිනමනවා...

ඉතිං අවුරුද්දක් පිරුණු කතාව කියන්න ගිහිං ගොඩක් වටේ ගියා මොනව කරන්නද, සියලුම බ්ලොග් හිතවතුන්ට හිතවතියන්ට ජය පතමින් නවතින්නම්.

ප.ලි.අලුත් ඇඳුම නිර්මාණය කරදුන්නේ හිරු ඩිසයින්ස්.බ්ලොගේ නිකම්ම තියෙනව පාලුයි වගේ කියල ඇයම හිතල මේ අලුත් ඇඳුම හදල එව්වා.
හිරුට ගොඩක් ස්තූතියි.


Sunday, November 3, 2013

100.කාරතිව්වල කරෝල වාඩිය සහ වාලම්පුරි



 අපි පොඩිකාලෙ තනියම එහෙ මෙහෙ යන්න හදද්දී දෙමව්පිය වැඩිහිටියො අපිව බයකරනව,බිල්ලො අල්ලං යයි එහෙම නැත්නං සන්නාසි ගෙනියයි කියල...

බිල්ලොයි සන්නාසියොයි පොඩි ළමයින්ව අල්ලගෙන යන්නෙ කරෝල වාඩිවලටලු එහෙම ගෙනියන ළමයින්ගෙන් වාල්ලුන්ගෙන් වගේ වැඩ ගන්නවලු වැඩ කලේ නැත්නං මඩු වලිගෙන් තලනවලු...ඔන්න ඔය වගේ කතා ඒ දවස්වල හරියට කියවුනා...මෙව්වා වැඩිහරියක් අතිශයෝක්තියෙන් යුතුව ගොඩනැගුනු කතා වුනත් ඉඳල හිටල කියවෙන කතාවක කිසියම් ඇත්තකුත් තිබුණා මොකද පොඩි ළමයින් පැහැරගෙන යාම රටේ සමහර  තැන්වලදී සිදුවෙලා තිබුණ නිසා ...

ළමයින්ව පැහැර ගැනීම පසුබිම් කරගෙන රොඩ්නි ජොන්ක්ලාස් මහතා වාලම්පුරි කියල නවකතාවක් ලිව්වා  ඒ පොතට වස්තු විෂය වෙලා තිබුනෙ කඳුකර ගමකින්  පැහැර ගන්නා කුඩා දරුවෙක්ව කරවල වාඩියකට විකිණීම ගැන සහ ඊට පස්සෙ සිදුවෙන දේවල් ගැන...

පසුකාලීනව අසූවෙ දසකයේදී වගේ මේ වාලම්පුරි නවකතාව ඒ නමින්ම චිත්‍රපටයකටත් නැගෙද්දී  විජය ගීතා දෙපොල ප්‍රධාන චරිත රඟපෑවා...

වාලම්පුරිය කියන්නෙ හක්ගෙඩියක්,සාමාන්‍යයෙන් හක්ගෙඩි දක්ෂිණාවෘතව කැරකිලා තියෙනව අපට දකින්නට පුළුවන්...නමුත් ඔය හක්බෙල්ලන් අතරේ දස දහස් ගණනකට එකක් විතර වාමාවෘතව කැරකිලා හැදෙනවා...ඇත්තෙන්ම ඒ ස්වභාව ධර්මයේ විකෘතියක් වුනත් හින්දු භක්තිකයන් මේ වාමාවෘත හක්ගෙඩිය වාලම්පුරි යනුවෙන් නම්කර පූජනීයත්වයෙන් සලකනවා...දක්ෂිණාවෘත හක්ගෙඩිය හඳුන්වන්නෙ එඩම්පුරි නමින්...
වාලම්පුරිය ඇති තැනට  සැප සම්පත් ධන ධාන්‍ය ආදී සියළුම දේවල් කිසිම ආයාසයකින් තොරව ලැබෙනවා යයි හින්දු භක්තිකයින් තදින්ම විශ්වාස කරනවා...

ඉතිං මේ වාලම්පුරි නවකතාවේදීත් කරවල වාඩියකට විකුණනු ලබන කුඩා ළමයා පසුව එයින් මිදිලා ගිහිං මූදෙ කිමිදිලා හක්බෙල්ලන්  ගොඩ දමන කණ්ඩායමකට එකතුවෙලා පසු කාලෙක වාලම්පුරියක් හොයා ගන්නා ආකාරය විස්තර වෙනවා...

කරෝල වාඩියක් ගැන මගේ හිතවතෙක් පහුගිය දවසක මට කියපු කතාවක් නිසා මට මේ වාලම්පුරි කතාව මතකයට නැගුනා...මගේ මිත්‍රයා ඇත්තෙන්ම කරෝල වාඩියක වැඩ කරපු කෙනෙක්, ඔහුව නං පැහැරගෙන ගිහිං නෑ, ඔහු විසින්ම කරෝල වාඩියට ගිහිං වැඩ කරපු හැටි ගැන කතා  කීපයක් මට දවස් කීපයකදී කිව්වා...ඒ කතා අහගෙන හිටපු මම කල්පනා කලේ ඔහු කියන දේවලින් මට ලියන්න යමක් හොයාගන්න පුලුවනිද කියන එක...

කතාව කියාගෙන යන්න මගේ මිත්‍රයට නමකුත් දෙන්න ඕනැනෙ අපි ඔහුට නෙවිල් පෙරේරා කියල කියමු...

නෙවිල් මට ඔය ටික ලියල දෙන්න බැරිද...

මට ඕවා ලියන හැටි තේරෙන්නෙ නෑ ඕනෑ නං ලියාගන්න...

හැත්තෑව දශකයෙ රට ගිණිගනිමින් තිබුණු එක් අවුරුද්දක නෙවිල් සාමාන්‍යපෙළ විභාගයට වාඩිවුනා, රටේ පැවතුනු තත්වය අනුව ප්‍රතිපල එනතුරු ඔහු ගෙදර නවතින එකට ගෙදර වැඩිහිටියන් කැමතිවුනේ නෑ...තරුණයන් දඩයම් කිරීම ඒ කාලෙත් ජයටම සිදුවුණු නිසා දෙමව්පියන්ගෙ අදහස උනේ නෙවිල්ව ගෙදරින් පිටකරන්නයි...

නෙවිල්ව වෙන කොහෙවත් යවන්න එපා මගෙ ලඟට එවන්න...

පමුණුගම ධනවත් ව්‍යාපාරිකයෙක් වූ ඔහුගෙ මාම කෙනෙක් එහෙම කියල එව්වා...ජෝන් ෆ්‍රෙඩ්රික් ක්ලැරන්ස් ජයමාන්න නම් වූ ඔහුගෙ ව්‍යාපාරවල අඬු බඬු රටේ කිහිප අතකටම විහිදිලා තිබුණා...එක ව්‍යාපාරයක් වුණේ කරවල වේලීම...මාමලගෙ ගෙදර ගිය නෙවිල්ව පහුවදාම කල්පිටියට එපිටින් මූද මැද තිබුණු දූපතකට අරගෙන ගියා...

කල්පිටිය අර්ධද්වීපයට එපිටින් ඇති දූපත් දාහතරෙන් එකක්වූ මේ දූපතේ නම කාරදූව හෙවත් කාරතිව්, මෙන්න මේ දූපතේ නෙවිල්ලගෙ  මාමට අයිති  මාදැලක් තිබුණා ඒ මාදැලට අමතරව තවත් මාදැල් තුනක් දූපතේ තිබුණා...

ඩේවිඩ් මුදලාලිගෙ මාදැල
ලියෝ තිසේරාගේ මාදැල
මට්ටකොටුවෙ රාළහාමිගෙ මාදැල

ඔක්කොම මාදැල් හතරයි නෙවිල් ගිය මාදැලේ ධීවරයො දහඅටක් විස්සක් විතර හිටිය ඒ ඔක්කොම අය පමුණුගම පැත්තෙන් ගියපු ධීවරයො...මාදැල් වාඩියේ වැඩකටයුතු බලාගත්තෙ ලියන මහත්තය කියල කෙනෙක්, නෙවිල්ට  දූපතෙන් කොළඹ එවන කරෝලවල  ගණන් හිලව් තබාගැනීමේ රාජකාරිය බාරවුනා...

ඒ හරියෙ තිබුණු විශාල දූපත් දෙක වෙච්චි බත්තලන්ගුණ්ඩුව හෙවත් ගුණ්ඩුව සහ පල්ලියවත්ත කියන දූපත්වල කරවල ව්‍යාපාරය මහා පරිමාණයෙන් කෙරෙන්නෙ නැහැ, ඒ දූපත්වල අල්ලන මාළු ඔක්කොම අයිස් දාල කොළඹ යවනව...

කාරදූව අක්කර විසිඅටක් විතර විශාලයි මාදැල් වාඩිවල වැඩකරපු අයට අමතරව මීගමු පළාතෙන් දූපතට පවුල් පිටින් ගිහිල්ල පදිංචිවෙලා මූදු රස්සාව කරපු පවුල් කීපයකුත් හිටියා...ඔවුන්ගෙ පොල් අතු ගෙවල් එක තැනක තියාගන්න අමාරුයි කාලෙන් කාලෙට දූපතේ දෙපැත්ත මූදු කන නිසා එක පැත්තක් මූදු කනකොට ගෙවල් අනික් පැත්තෙන් අටවගනිමින් ඔවුන් ජීවත්වුනා...

මේ ධීවර පවුල් සහ මාදැල් ධීවරයන් අතර හොඳ සහජීවනයක් ඇතිවෙලා තිබුණා මාදැලට බහුලව අහුනොවෙන මාළු ඒ කියන්නෙ එකා දෙන්න අහුවෙන මාළු මේ ධීවරයන්ට මාදැලෙන් ලබාදෙනවා ඔවුන් ඒ මාළු වේලල කරවල කරනව ඒ කරවල ගෙනියන්න මීගමුවෙන් කරවල මුදලාලිලා කාලෙන් කාලෙට දූපතට ඇවිත් යන එක සිරිතක් ...

දූපතට අරක්කු ගේන ඒ මුදලාලිල ධීවරයන්ට බොන්න දීල ඒ ගෙවල් වල  ගෑණු හරි කෙල්ලො හරි එක්කත් සැතපිලා කරෝලත් අරං යන එක සාමාන්‍ය දෙයක්...ඒ සහජීවනයම දැල්වාඩිවල ධීවරයනුත් භුක්තිවින්දා...අවස්ථාව අනුව හදිස්සියක්ම නං දොරමුල්ලේ හිටගෙන හරි සේවය සපයන්නට කෙල්ලන් පසුබට වුණේ නෑ...

දවස ගානෙ උදේට අපේ මාදැල  වටකෙරුවා...දැල එලාගෙන ගියාම දැල් අදින මිනිස්සුන්ගෙ පරතරේ කිලෝමීටරයක් විතර... දැල ගොඩ එනකොට පරතරේ ටිකෙන් ටික අඩුවෙලා එක තැනකට එනවා, දැල බලාගන්න මිනිහා මංඩාඩි දැල පස්සෙන් ඔරුවක එනව...මංඩාඩි දැලේ මඩිය මඩ කාගෙන නොයන්න උඩින් තියාගන්න ඕනෑ මඩිය මඩ යට ගියොත් මාළු අඩුයි...

වැඩිපුරම අපි වේලුවේ කට්ටා තෝරු පරව් හාල්මැස්සෝ කාරල්ලො, එක දැලකට හාල්මැස්සෝ කිලෝ සීය හමාර අහුවෙන දවස් තියෙනව...කෑමට ගත්තෙ බල කෙලවල්ලෝ වගේ රතු මාළු, තෝරු පරව් ගණන් ගත්තෙ නෑ... දැලේ පැටලිලා එන  ඉස්සො පොකිරිස්සෝ වගේ උන්  මට වෙනම හදල දෙනවා,තුන් වේලටම කන්න ලැබුනෙ බතුයි මාළුයි මොනම එළවලුවක්වත් නෑ මාළුවලට අමතරව පරිප්පු තිබුණා...මාළු නං මිරිසට උයල කිරට උයල බැදල තෙල්දාල වගේ හැම විදියකටම හදනව...
 
උදේට දැල ගොඩ ඇදල ඉවර උනාම වාඩියේ වැඩකරපු හැම කෙනාම මිරිසට උයපු මාළුයි කටදන්න හදල දෙහි ඇඹුල් දාපු පොල් සම්බෝලයි  එක්ක උණු උණුවෙ දුම්දමන සම්බ බත් මහ ගොඩක් හායි හූයි ගගා කනව, මම වෙන්න ඇති අඩුවෙන්ම කාපු එකා...

කෑම කාල ඉවරවෙලා ලොකු මාළු පලල ලුණුවතුර ඔරුවක දාල ලුණු අල්ලන්න ඇරල වේලෙන්න වැල්ලට දානව පොඩි මාළු නං ලුනුවතුරේ දාල එහෙම්මම වේලෙන්න දානව...ලුනුවතුර ඔරුවේ දාල ගත්ත කාරල්ලො වාඩියේ අය කිරට උයනව පුදුම රසක්...

අපේ වාඩියේ කරවල පැටෙව්වෙ කොළඹ කුමාරසිංහ මුදලාලිට, වේලපු කරෝල සිප්පම්  වලට බඳිනවා  කරෝල මිටිය වියාපු පොල් අතු වලින් ඔතල කොහු ලණු වලින් බැන්දම සිප්පම කියනවා...සිප්පමේ බර කිරල මුදලාලි එවල තියෙන කාඩ් එකක ඒ බර ලියල සිප්පමේ ගහනව...සිප්පම් කොච්චර පැටෙව්වද කියල වාඩියේ අයිතිකාරයටත් දන්වනවා...

වාඩියේ කෑමට හාල් පොල් පරිප්පු තෙල් එහෙම   එවනකොටම සිප්පම් ඔතන්න පොල් අතු කොහුලණු එහෙම කුමාරසිංහ මුදලාලි ලොරියෙ  පටෝල වාඩියට එවනවා අපි කරන්නෙ කරෝල සිප්පම් පටවල යවන එක විතරයි , මුදලාලිල දෙන්න ගණන් හිලව් බේරගන්නව...

නාගන්න ඕනෑවුනාම මූදට පැනල ඇතිවෙන්න නාගෙන ගොඩඇවිත් බෙලෙක් පිඟානකින් වැල්ලෙ වලක් හාරල උනන වතුර ටිකෙන් ලුණු හෝදගන්නව...බොන්න වතුර ගන්නෙත් එහෙමමයි වැල්ලෙ හාරන වලට උනන වතුර ගෙනත් උණුකරල ගන්නව...උණුකලාට බොන්න අමාරුයි හරිම කිවුල...

දූපතේ ගිනි අව්ව උනාට මූදු හුළං නිසා අව්ව ගානක් නෑ හැබැයි ගජරාමෙට කලුවෙනව,හවස ඉර බැහැගෙන යනකොට මම වැල්ලෙ ඇවිදින්න යනව ගෙවල්වල ඉන්න කෙල්ලො කීපදෙනත් වෙරළට  එන්නෙ ඒ වෙලාවට තමා...

වාඩියේ වැඩකරන අයට හැම සතියෙම පඩි බේරනවා ඒකට කියන්නෙ සුමාන කාසි ගෙවනව කියල...සුමානෙට කීයද ඉතිං ඒ දවස්වල රුපියල් හැටයි හැත්තෑවයි ඒකෙනුත්  ඒ මිනිස්සු  ලියන මහත්තයගෙන් බීඩි මිටි එහෙම ඉල්ල ගත්තු සල්ලිත් අඩුකරලයි ගණන් බේරන්නෙ...

ඔය සොච්චමත්  ඒ මිනිස්සුන්ව උදේ ඉඳන් රස්තියාදු කරලයි දෙන්නෙ, ඒ ගැනත් මට කළකිරීමක් තිබුණා...මම දූපතේ වැඩි කාලයක් හිටියෙ නෑ ඒ දවස්වල දූපතේ හිටියත් මගේ හිතේ තිබුනෙ ගෙදර එන්නෙ කවදද කියලයි,දැන් එහෙම නං වෙනසකටත් එක්ක ටික කලක් ඉන්න තිබ්බ...ඒත් මම කොල්ලනෙ, තරුණ ජීවිතේ පාලු දූපතක ගෙවල දාන්න මට කොහෙත්ම උවමනාවුනේ නෑ...රට සාමාන්‍ය තත්වයට එන්න පටන් ගත්තට පස්සෙ මම ආපහු ගෙදර ආවා...

ඉතිං නෙවිල් මගෙත් එක්ක සැරෙන් සැරේ කියපු කතා ටික එක කතාවකට ගොනුකරගත්තම කතාව ඕකයි...

අපි කෝච්චියෙ ගිය කට්ටිය සැරයක් ට්‍රිප් එකක් යන්න ලෑස්ති වෙද්දී කල්පිටියෙ යමු කියල නෙවිල් යෝජනා කළා, කල්පිටිය ඒ දවස්වල සංචාරකයන් ආකර්ෂණය කරගන්න තැනක් නොවුනත් වෙනසකටත් එක්ක අපි කල්පිටියෙ ගියා...නෙවිල් අපට කල්පිටි යන්න යෝජනා කළේ අර අපට තියෙන අතීත මතකයන් අතර අතරමං වීම කියන රෝගය ඔහුටත් වැළඳිලා තිබුණු නිසාද කියල මට අද හිතෙනව... කොහොම වුනත් අවුරුදු තිස්දෙකකට පස්සෙ නෙවිල් කල්පිටියට පය ගහපු වෙලාවෙ ඔහු නඩේ ගුරා වගේ අපිව කල්පිටියෙ තැන් තැන්වල එක්ක යද්දී ඔහුගෙ දෑස් දිළිසුනා මට මතකයි...වෙලාවකට ඒ දෑස්වල තෙතමනයක් තිබුණදෝ කියල මට දැන් හිතෙනව, එහෙමවුනත් ඒක පුදුමයක් නෙවෙයි...කොහොමහරි ඒ ගමන මම ගිය හොඳම ට්‍රිප්වලින් එකක් වුණා...

අපි එක දවසෙන් ගියාට ඒ ට්‍රිප් එක හරිනං දවස් දෙකක හරි තුනක හරි ට්‍රිප් එකක්...

නෙවිල් මේ ඊයෙ පෙරේදාවක මට කිව්වා...

එහෙමනං ඊළඟ ට්‍රිප් එක දවස් දෙක තුනකට දාගම්මු  හැබැයි කාරදූවටත් ගිහිං එන්නම ඕනෑ...

ඔක්කොටම ඉස්සෙල්ල අපි දෙන්නම එකසැරේ ලංකාවෙ ඉන්න වෙලාවක් හොයාගන්න එපායැ...

කොහොමවුනත් ගමන යන එක ගැන ප්‍රතිපත්තියක් වශයෙන් අපි දෙන්න එකඟ වෙච්චි නිසා කවදා හෝ අපි දෙන්න ලංකාවෙදි මුණගැහුණු දවසක ගමන යැවෙයි...

අපි එදා කල්පිටියෙ ගිය කතාව අද ලියන්න හිටියත් දැන් ලිව්වොත් මේ පෝස්ටුව ගොඩක් දික්වෙන නිසා වෙන දවසක ලියන්නං...

ප.ළි.
මේ මම ලියපු  සියවෙනි පෝස්ටුවයි අවුරුද්දකට විතර  කලින් මම මේ බ්ලොගය පටන් ගද්දි සීයක් ලියාගන්න හැකිවෙයිද එහෙම නැත්නං කොච්චර ලියනවද කියල කිසිම අදහසක් මට තිබුනෙ නෑ වගේම මම ලියන දේ  කියවයිද විවේචනය කරයිද කියන සැකයත් මට තිබුණා. ඒ වුනත් මගේ සැකය හිතලුවක්ම බවට පත්කරමින් මම බ්ලොගයට ලියපු ඕපාදූප ඔයගොල්ල ආදරයෙන් පිළිගත්තා...ඒ විතරක් නෙවෙයි අටම් මාතලන් දේශකයා වැනි සහෘදයින් ඔවුන්ගෙ බ්ලොග්වලින් මාව බ්ලොග් ලොවට හඳුන්වල දුන්නා, ඒ අයටත් නම් වශයෙන් සඳහන් කරන්නට නොහැකි මගේ බ්ලොගයේ පාඨකයන් වන ඔබ සැමටත්  මගේ හද පිරි ආදරය පිළිගන්වන්නට කැමතියි.

බ්ලොගයට අවුරුද්ද පිරෙන දවසට විස්තර ඇතිව ලියන්නම්,ඔබ සැමට ජයවේවා.