Monday, July 29, 2013

78.ලංකාවට ටෙස්ට් වරම් ලැබීම,අප්‍රකාශිත සෙනෙහස සහ තවත් කතා 2



 
අපි කතාකරමින් හිටියෙ ටෙස්ට් තත්වය ලැබීම ගැනනෙ...ඔන්න ඒ කාලෙම තමයි ලංකාවට රූපවාහිනිය හඳුන්වා දුන්නෙ 1982 දි...හරියටම කිව්වොත් රූපවාහිනී සංස්ථාව පටන් ගත්තෙ 1982 පෙබරවාරි 14 වෙනිදා තමයි...ටෙස්ට් තත්වය ලැබෙන්නට සමගාමීව ඒ වැඩෙත් සිදුවුණා.

ඔය සමගාමීව කියන වචනෙ දැන් හැමතැනම නැගල යනවනෙ...අහවල් උත්සවයට සමගාමීව පැවැත්වෙන පිංකම එහෙම නැත්නම් වෙසක් දන්සැලට සමගාමීව පැවැත්වෙන භක්ති ගීත සංදර්ශනය ආදී වශයෙන්...මට මතක හැටියට ඔය කතාව පටන් ගත්තෙ ගම් උදාවෙන්...5 වන ගම් උදාවට  සමගාමීව ආරම්භ කර ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය වාගෙ කතා ඒ දවස්වල ඇහුණනෙ...ඔය මාළිගාවිල හිටි පිළිමෙ කෙළින් කළෙත් බුත්තල ගම් උදාවට සමගාමීවනෙ.

බුත්තල ගම් උදාව කියනකොට මතක් වුණේ ඔය ගම් උදාවලට සමගාමීව පා ගමනුත් පැවැත්වුණා...රටේ හතර කොණකින් පටන් අරන් එක දවසකදි ගම් උදාවට ළඟාවෙන්න තමා මේ පා ගමන් සංවිධානය කරල තිබ්බෙ...පා ගමන ගම් උදාවට එනකොට පිළිගන්න සූදානම් වෙලා ජනාධිපති ප්‍රේමදාස මහත්තය ඇතුල්වෙන  තොරණ ළඟ බලා ඉන්නව.
වැඩිපුරම පා ගමන් ආවෙ 1992 දි බුත්තල තිබ්බ ගම් උදාවට මගෙ හිතේ...ඒ කාලෙ මම වැඩකළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙ...අපේ දෙපාර්තමේන්තුවටත් ගම් උදාවෙ ලොකු ගොඩනැගිල්ලක් වෙන්කරල තිබුණා...ජූනි මාසෙ මුල ඉඳලම අපේ වැඩේ කොළඹ ඉඳන් බුත්තල යන එක...ගොඩනැගිල්ල බලන්න යනවා,ගොඩනැගිල්ල බාරගන්න යනවා,බඩුමුට්ටු ගිහින් දාන්න යනවා,සරසන්න යනවා ආදී වශයෙන් ගම් උදාව පටන් ගන්න කලින් දහ ගමනක්වත් බුත්තල ගියා...මොකද පවුල් බරක් තිබුණු එකක්යැ...නැගපල්ල වාහනේට කිව්ව ගියා...කොල්ලො කාලෙනෙ.

මම වැඩකලේ දෙසතිය සඟරාව බෙදාහැරීම බාරවනෙ...දෙසතිය අලෙවිහලකුත් අපේ ගොඩනැගිල්ලට ඇතුල්වෙන තැනම දාන්න ලෑස්ති කරල තිබුණෙ...ගම් උදාව පටන් ගන්න දවස් දෙක තුනකට කලින් දෙසතිය සඟරා ලොරියකුත් අරගෙන මම බුත්තල ගියා...මගෙ සහායට හිටියෙ රාජපක්ෂ, ගෝලයො දෙන්න සෝමපාලයි කාලිංගයි,රියැදුරු ජයකොඩි, ජයකොඩිට වාහනේ එළවද්දි නින්ද ගිහින් වෙච්චි අකරතැබ්බයක් නිසා කොළඹින් තව රියැදුරෙකුත් එව්වා පේමරත්න කියල කොල්ලෙක්...ඊට අමතරව දෙපාර්තමේන්තුවෙ ප්‍රධාන ඡායාරූප ශිල්පියා වුනු පර්සි උමගිලියත් අපිත් එක්ක එකතුවුණා.

අපට නවතින්න සූදානම් කරල තිබුණෙ සංස්කෘතික අමාත්‍යංශයට අයිති කතරගම හින්දු රෙස්ට් එක...ගම් උදාව පටන් ගන්නෙ හවස හයට,ඉවර කරන්නෙ රෑ දොළහට,අපි බුත්තල කතරගම රජ මාවතේ  යන්නෙ එන්නෙ ජයකොඩි එළවපු ඩැට්සන් පිකප් වාහනේ...රජ මාවත වැටිල තියෙන්නෙ යාල කැළේ 4 වෙනි කොටස මැදින්නෙ...රෑ එකට විතර ඔය පාලු පාරෙ ජයකොඩි පාගනවා ඊ ගහේ වේගෙන්.

ගමනෙ බාගයක් යන්නත් ඉස්සර මට සීට් එකේ නින්ද යනවා...එකපාරට ඇහැරෙන්නෙ ජයකොඩියගෙ කෑගැහිල්ලට...

අන්න...අන්න සර් දැක්කද...

මොනවද බං...

අලියෙක් අලියෙක්...

ජයකොඩි වාහනේ එලවන වේගෙට අලියෙක් තියා මහ ගල් පරුවතයක්වත් පේන්නෙ නෑ,සිං සිං ගාල පාස්වෙනව විතරයි...ඔය විදියට කතරගමට යනකල්ම ජයකොඩි අපට අලි පෙන්නනවා.

පාන්දර කතරගමට ගිහින් ඇඳට වැටුනම ඇහැරෙන්නෙ පහුවදා හොඳටම දවල්වෙලා...නාල කරල ලෑස්තිවෙලා යනගමන් රජ මාවතේ තියෙන පොඩි කඩේකින් තේත් බීල බුත්තලට යන්නෙ දවල්ට කන්න බලාගෙන.

අපේ දෙපාර්තමේන්තුවටම අයිති රජයේ චිත්‍රපට අංශයෙ චිත්‍රපට පෙන්නන අයත් වාර්තා චිත්‍රපට පෙන්නන්න ගම් උදාවට ඇවිත් ඒ ගොඩනැගිල්ලෙම නැවතිලා හිටියා...ඒ අයට දවල්ට ඇති වැඩක් නෑනෙ,ගෑස් කුකර් වළං හට්ටි මුට්ටි ගෙනත් ඒ ගොල්ලො උයනවා...අපිත් කන්නෙ ඒ අය උයන කෑම,කඩගානෙ යන්න ඕනැනෑනෙ හොඳට රසට උයල දෙනවා...දවසක්දා ඔය එක්කෙනෙක් මට කියනවා...

මහත්තය...එනකොට ඔය පාර අයිනෙ විකුණන්න තියෙන එළවලු මාලු එහෙම අරගෙන එන්න...ඒවයෙ වියදම කෑම සල්ලිවලින් අඩුකරන්න පුළුවන්නෙ...

ඔන්න ඊට පස්සෙ මමත් කන්න ආස කෑම ජාති එනගමන් මගින් අරගෙන උයන්න ගෙනත් දෙනව.

ගම් උදා භූමියට මත්පැන් ගෙනෙන්නත් තහනම්...ගෙනැල්ල අහුවුණොත් ගේට්ටුවෙ තියාගන්නව...බොන්න ඕනැනම් බුත්තල බාර් එකෙන් තමයි.

අපි කොළඹින්ම බඩු ගෙනිච්චා...ඔය ඩැට්සන් පිකප් එකේ පිටිපස්සෙ සීට් එක කඩන්න පුළුවනි,අපි කලේ සීට් එක කඩල බෝතල් ටික ස්ප්‍රිං අස්සෙ ගැහුවා...ගේට්ටුවෙන් එච්චර දුරට චෙක් කරන්නෙ නෑනෙ,ඔය විදියට කිසිම අතුරු අන්තරාවක් නැතිව අපි බෝතල් ඇතුළට අරගෙන ගියා.

බුත්තල දවල්ට ගිණි අව්ව,උඩින් ඉර අව්ව, යටින් තාර  රත්වෙලා මක්කොරලවත් දවාලක එළියට බැහැල යන්න අමාරුයි...දවල්ට ගිණි අව්වෙත් රෑට නිදි මරමිනුත් අපි බොහොම සතුටින් ගම් උදා රාජකාරියෙ යෙදුණා.

ජනාධිපති ප්‍රේමදාස මහත්තය ගම් උදා ආරම්භක උත්සවය ඉවරවෙලා ගම් උදාවෙ හැම ප්‍රදර්ශනාගාරයක්ම නරඹමින් පයින්ම ඇවිදිනවා...එතුමා එන්න කලින් අපි ගොඩනැගිල්ල නීට් එකට හදල තියල බිම පොලිෂ් කරවල තියනවා...ඇවිත් ගියාට පස්සෙ ගාණක් නෑ හැමතැනම කෑ ගගහ දඟලනවා, ආයෙ පහුවදානෙ එන්නෙ.

ප්‍රේමදාස මහත්තයට බොහොම ඉස්සර කාලෙ තිබුණලු මයිනර් කාර් එකක්...1ශ්‍රී 1961ද කොහෙද මට මතක හැටියට...

සැරයක් ගම් උදාව වෙලාවක ජනාධිපති තුමාට අපූරු කල්පනාවක් පහළ වෙලා...මොකක්ද කියනවනම් මේ පරණ මයිනර් කාර් එක එලවගෙන ගම් උදාව වටේ රවුමක් යන්න...උන්නැහේ ඔය වාගෙ සෝබන වැඩවලට බොහොම මනාපයිනෙ.
ඉතිං ප්‍රේමදාස මහත්තය මොකද කළේ තමන් හොඳට දන්න අඳුනන බාස් කෙනෙකුට එන්න කියල වාහනේ හොඳට රෙපෙයාර් කරල ඒ සී කරල දෙන්න කියල බාරදුන්නා...

බාසුත් වාහනේ අරන් ගිහින් සුපිරියට රෙපෙයාර් කළාට ඒ සී කරන්න ක්‍රමයක් ඇත්තෙම නැහැලු...බෑ කියන්නත් බෑනෙ කියපුදේ කොහොමහරි කරන්න එපායැ, කල්පනා කර හිටපු බාස්ට ටොප් අයිඩියා එකක් ඇවිත්...

බාස් ගිහින් තමන් දන්න අඳුනන ප්‍රිජ් හදන බාස් කෙනෙක් එක්ක ඇවිත් මයිනර් එකේ ඩිකියට මැෂිනරි එක සෙට් කරල බැට්රියකින් කරන්ට් එකත් දීල කාරෙක ප්‍රිජ් එකක් බවට පරිවර්තනය කළා...කොහොම උනාම මොකද සීතලනෙ ඕනැ වැඩේ ඉවරකරල බාස් ගිහින් මයිනර් එක ප්‍රේමදාස මහත්තයට බාරදුන්නා.

ප්‍රේමදාස මහත්තයත් පහුවදාම බොහොම උජාරුවෙන් මේ මයිනර් ප්‍රිජ් එකත් එලවගෙන ගම් උදාව වටේ රවුමක් ගියා...හැබැයි ප්‍රිජ් එකක් එලවගෙන ගියා කියල උන්නැහේ මැරෙනකල්ම දැනගෙන හිටියෙ නෑ.

 ගම් උදාවෙ අපේ බිල්ඩින් එකට පාරෙන් අනික් පැත්තෙ ගස්වලින් වටවෙච්චි එළිමහන් පිටියක් තිබුණා...දවසක්දා දවල් ඔතනට කණ්ඩායමක් ඇවිත් මල් පැල් හදනව,අතුයහන් හදනව හූනියමක් කපන්න වාගෙ කට්ටිය ඕසෙට වැඩ...

මම ඒ වෙලාවෙ කම්මැලිකමට පාරෙ ඇවිද ඇවිද හිටියෙ...කාෂ්ට ගිණි අව්වට මගෙ විළුඹ හතර අතට පැලිල ඇවිදින්නත් හරිම අමාරුයි...ඒත් මේ මිනිස්සු මොකද කරන්නෙ කියල බලන්න මමත් කොරගගහ එතෙන්ට ගියා...

ම්ම්හ්...උං මාව සත පහකට ගණං ගත්තෙ නෑ,කතා කරනව තියා...මටත් ඔරෝල උං තම තමන්ගෙ වැඩ.


වටින් ගොඩින් ආරංචි කරල බලපුවාම මේ අය කට්ටඬියො කණ්ඩායමක්...එදා හැන්දෑවෙ ගරා යකුමක් නටනවලු එතන,ආතුරය ජනාධිපතිතුමා.
හවස්වෙලා ආතුර ජනාධිපතිවරයාගෙ ප්‍රධානත්වයෙන් ගරායක් නැටුම බොහොම ජයට පටන්ගත්තා ...උමගිලිය පින්තූර ගන්න ගියා,මාත් උමගිලිය එක්කම ගියෙ ඉස්සරහටම යන්න පුලුවන් නිසා...මම වාඩිවෙලා පැයක් විතර ගරායක් නැටුම බැලුව...උමගිලිය ඇවිද ඇවිද පින්තූර ගන්නව,කම්මැලි හිතිල මම නැගිටල ඇවිත් අපේ ගොඩනැගිල්ලෙ ඉස්සරහ වාඩිවෙලා හිටිය...එකපාරටම හයි ඒස් වාහනයක් මම හිටපු තැන ඉස්සරහ පාරෙන් ගියා...ඇතුලෙ හිටියෙ දෑතින්ම ඔලුව බදාගත්තු ජනාධිපති තුමා...

මට දැන් හරි ප්‍රශ්නෙ නැටුම ඉවරවෙන්න කලින් මේ මනුස්සය ඔලුවත් බදාගෙන යන්න ගියෙ මොකද කියල...

ටිකකින් උමගිලිය ආවා...

මොකද වුණේ...

උමගිලිය බඩ බදාගෙන හිනාවෙනව...හිනාවෙලා ඉවරවෙලා මට කතාව කිව්වා...

ප්‍රේමදාස මහත්තයගෙ ඔලුවෙ පිටිපස්සට වෙන්න තට්ටෙ...ඉස්සරහින් කෙස් පස්සට පීරල ජෙල් ගාල එහෙම කොණ්ඩෙ නීට් එකට හදාගෙන ඉන්නෙ තට්ටෙ නොපෙනෙන්න.

කට්ටඬියො ටික නැටුමෙ අන්තිම හරියෙ බලාගෙන ඉන්න අයට සෙත් පතනව අඹ අත්තක් ඔලුවට තිය තියා...එකෙක් ප්‍රේමදාස මහත්තයගෙ ඔලුවට අඹ අත්ත තියල යාතිකාවක් කියල සෙත් පතල අඹ අත්ත ඔලුවටම තදකරල පස්සට ඇද්දලු...ඒ ඉතිං වැඩි හොඳට...

ඒ වුණේ මොකක්ද කෙස් ටික ඔක්කොම ඉස්සරහට වැටිල තට්ටෙ පෙනෙන්න අරගෙන...ඒ වෙලාවෙම ජනාධිපතිතුමා එතනම තිබුණු වාහනයට නැගල ඔලුවත් බදාගෙන යන්න ගිහින්...

ඕං ඕව තමා ගම් උදාවෙ රස කතා...ඒ උනාට මම කියාගෙන ආවෙ වෙන කතාවක්නෙ.


මම කියාගෙන ආවෙ ටෙස්ට් මැච් එකට සමගාමීව ලැබුණු රූපවාහිනී සංස්ථාව ගැනනෙ...ඉතිං මේ ළදරු රූපවාහිනී සංස්ථාව ටෙස්ට් තරඟයේ සජීවී ප්‍රචාරයක් දවස් පහේදිම දෙන්න තීරණය කළා...මේ වැඩේ ඒ කාලෙ හැටියට විශාල කර්තව්‍යයක්,කිසිම පූර්ව අත්දැකීමක් නැතිව හැම දේම අලුතෙන් නිර්මාණය කරන්න වෙලා තිබ්බ පසුබිමක රූපවාහිනියෙ පළමුවෙනි සභාපතිවරයා හැටියට පත්වෙලා හිටපු ඉතාම පරිණත ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙක් වෙච්චි මාපටුනගේ ජේම්ස් පෙරේරා හෙවත් එම්.ජේ.පෙරේරා මහතා ඉතා කැමැත්තෙන් මේ අභියෝගයට අත තිබ්බා.
 
                                    මතු සම්බන්ධයි

Saturday, July 27, 2013

77.ලංකාවට ටෙස්ට් වරම් ලැබීම, අප්‍රකාශිත සෙනෙහස සහ තවත් කතා


අපේ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවත් එක්ක මේ දවස්වල ගහන ක්‍රිකට් තරඟ නරඹමින් ඉන්නකොට මගෙ හිත ඉබේම අතීතයට ගියා...රවිත් ක්‍රිකට් ගැන අපූරු කතාවක් ලියල තිබුණනෙ...කතාවටත් වැඩියෙ ක්‍රිකට් කතා තිබුණෙ කමෙන්ට්වල...අපූරු අතීතයක්.

ලංකාවට ටෙස්ට් තත්වය ලැබුණෙ අසූඑකේ...හරියටම කිව්වොත් අසූඑකේ ජූලි විසි එක් වෙනිදා...ඒ දවස්වල ක්‍රිකට් පාලක මණ්ඩලයෙ සභාපති වෙලා හිටියෙ දිවංගත ගාමිණී දිසානායක ඇමතිතුමා.

මුල් අවදියෙ ක්‍රිකට් පාලක මණ්ඩලයෙ සභාපතිවරුන් හැටියට හිටියෙ ශ්‍රේෂ්ඨ පුරුෂයන්...

පී.සරවනමුත්තු මහතා
ජේ.ආර්.ජයවර්ධන මහතා
රොබට් සේනානායක මහතා
ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මහතා
ලකෂ්මන් ජයකොඩි මහතා

වැනි ක්‍රීඩාවට සැබෑ ආදරයක් තිබුණු මහා පුරුෂයන් එකල සභාපති පදවිය හෙබවූයේ ගරු සේවයක් වශයෙනුයි.

 ක්‍රිකට් ක්‍රීඩාව යනු මුදල් උල්පතක් වෙච්චි 1996 අවුරුද්දෙන් පස්සෙ මුදල් අතින් සරුසාරව තිබිච්ච ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉහඳ පණුවන් බැල්ම හෙලුවා...පාලක මණ්ඩලය විසුරුවල ගෙනාපු අතුරු පාලනවල සභාපතිවරු හැටියට හිටපු මේ ඉහඳ පණුවන් සරුසාරව වැඩී තිබුණු ක්‍රිකට් කියන ගහේ සාරය අවුරුදු කීපයකින් උරාබීල හප කරල දැම්මා.

ලංකාවෙ පැවැත්වෙච්ච පහුගිය ලෝක කුසලාන තරඟාවලිය වෙලාවෙ අයි.සී.සී එකෙන් ක්‍රිකට් ආයතනයට සල්ලි ගලන්න ගන්නකොට අතුරු පාලනයෙ සභාපති හැටියට ලොකුම ලොකු කඳ පණුවෙක්ව පිටරට ඉඳන් ආනයනය කළා...

අපරාදෙ කියන්න බෑඅවුරුද්දක් එකහමාරක් ඇතුළත ක්‍රිකට් ආයතනයෙ තිබ්බ ඉතුරුම් ටිකයි ලැබිච්ච සල්ලි කන්දරාවයි ඔක්කොමත් ගිලල අති විශාල ණය බරකට ක්‍රිකට් ආයතනය ඇදල දාපු මේ කඳ පණුවා කිසිම අතුරු ආන්තරාවක් නැතිව සභාපතිකමෙන් අයින්වෙලා යන්න ගියා.

හොඳේ කියන්නෙ කිසිම අවස්ථාවක මොවුන්ගෙ වංචා දූෂණ ගැන මොනම පරීක්ෂණයක්වත් පැවැත්වුණේ නැති එකයි...දැන් ක්‍රිකට් ආයතනයට ක්‍රීඩකයන්ගෙ පඩි ගෙවාගන්නවත් බැරුව ක්‍රීඩකයන්ටත් ණයවෙලා පවත්වාගෙන යනවා...

 මම කියාගෙන ආවෙ ලංකාවට ටෙස්ට් තත්වය ලැබුණු එක ගැනනෙ...ටෙස්ට් තත්වය ලැබෙන්න ඉස්සෙල්ලා 1979 දි එංගලන්තයෙ පැවැත්වුණු ලෝක කුසලාන තරඟාවලියෙ සීමිත ඕවර තරඟයකදි ලංකාව ඉන්දියාව පරාජය කළා...ඒ ජයත් අපට ටෙස්ට් තත්වය ලැබෙන්න ලොකු පිටුබලයක් වුණා කියල ක්‍රිකට් විචාරකයො කතාවුණා.

මේ ආදී සියලුම වාසිදායක කරුණු කාරණා ගොනුකරගෙන අයි සී සී රැස්වීමට සහභාගි වුනු ගාමිණී දිසානායක මහතා ලංකාවට පක්ෂ රටවල් ගණන වැඩිකරගන්න මෙහෙයුමක් දියත් කර ටෙස්ට් තත්වය ලබාගත්තා.

මහන්සි වෙලා ලබාගත්ත ජයග්‍රහණයක් වුණත් ලංකාවෙ මාධ්‍ය වලටනම් ඒ ප්‍රවෘත්තිය මුල් පිටුවට හෝ අන්තිම පිටුවට දාන්නතරම් වැදගත් එකක් වුණේ නෑ...පත්තරේ මැද පිටුවක ඉතාම කුඩාවට මේ ප්‍රවෘත්තිය පළවෙලා තිබුණා මට මතකයි...ගාමිනී දිසානායක ඇමතිතුමා ලංකාවට එනකොටනම් ගුවන් තොටුපොළේ විශාල පිළිගැනීමක් තිබුණා.
ඔය කියන කාලෙ මගෙ ජීවිතෙත් සෑහෙන පෙරළියක් සිද්ද වෙලා තිබුණු කාලයක්...මගෙ ජීවිතේට ඇතුල්වෙලා හිටපු යුවතියක් කිසිම හේතුවකින් තොරව මගෙන් සමුගෙන යන්න ගියෙ ඒ අවුරුද්දෙ දෙසැම්බර් මාසෙදි.

කලින් කියන්න බැරිවුණා ඔය කාලෙ මම වැඩකෙරුවෙ ඔය අටමලගෙ ගෙවල් හරියෙ තියෙන ඉස්පිරිතාලෙ.

අසූඑකේ මැද බාගෙ විතර ඉස්පිරිතාලෙට අලුතෙන් ගත්ත කෙල්ලන්ගෙන් එක කෙල්ලක් වෙච්චි(අපි නමකුත් දෙමු මේ කතාව කියාගෙන යන්න) ස්වප්නා වැඩට ආවෙ අපි ආපු කෝච්චියෙමයි...ගම මීරිගම පැත්තෙ උසයි මහතයි හැඩයි... හැබැයි පාට නම් නෑ...හරියට පදම් කරල ගත්ත රබානක් වගේ...පදම් කරපු රබානක් දැක්කමත් කෙනෙකුට නිකමට තට්ටු කරල බලන්න හිතෙනවනෙ...රාගමින් බැහැල අපි කට්ටිය එකට ඉස්පිරිතාලෙට ගියෙ...ඒ දවස්වල අපි උදේ පාන්දරින් වැඩට එනවා...සමහර දවස්වලට උදේ ඇවිත් කෝච්චියෙන් බැහැල බලපුවාම අපි දෙන්න විතරයි...ඉතිං දෙන්න කතා බහ කර කර වැඩට යනවා.

කොහොමත් කෙල්ලක් නිසා වැටුණු වලෙන් ගොඩ එන්න නම් තව කෙල්ලෙකුගෙ අතේ එල්ලෙන්නම වෙනවා...ඔය විදියට හමුවෙලා වැඩිකල් නොගිහින්ම අපි ගොඩක් සමීප වුණා...ස්වප්නා හැම උදේකම මම එනතුරු බලාගෙන හිටියා.

අපි කොච්චර සමීප වුණත් ස්වප්නගෙ හැඟීම්වලට ඒ විදියටම ප්‍රතිචාර දක්වන්න මගෙ හිත නම්‍යශීලි වුණේ නෑ...ඒ වෙනකොටත් මට කෙල්ලන් ගැන තිබිච්ච තරහ හිතෙන් දුරුවෙලා තිබුණෙ නැති නිසා...ඒ නිසා ස්වප්නගෙ යම් යම් කතාවලට මම ගොලුවෙක් වගේ හිටියා...කතා කර කර යනව එනව ඇරෙන්න වෙන මොකුත් නෑ...මට ඕනැකම තිබ්බත් එක්වෙන්න බැරිතරම් විශාල සමාජ පරතරයක් අපි අතර තියෙනව කියල දැනගත්තෙ කාලෙකට පස්සෙයි.

කොහොමත් අපේ ගෙවල්වලට මේවගෙ දේවල් අතිවිශාල ගැටළු...අපේ අම්මල හැමදාම ආචීර්ණ කල්පික මතවල ඇලිල ගැලිලනෙ හිටියෙ...යාළුවෙක් ගෙදර එක්කරගෙන එන්න බෑ හොයනව බලනව...අහනව කවුද කින්ද මන්ද කොහෙද කියල...හැමදේම අහන්නෙ වංස පරම්පරාව හොයාගන්න...මේ අද රෑ ඉඳල හෙට උදේ යන එකා...ඒත් වංහුං ඔක්කොම හොයන්නෙ නැතුව ඉන්න බෑ ඔක්කොම කුල පරම්පරාවල් දැනගන්න ඕනැ.

අම්ම විතරක් නෙවෙයි අම්මලගෙ පරම්පරාවම එහෙමනෙ...කෙල්ලෙක් එක්ක කතාකළොත් ඉවරයි කවුද කියල අලගිය මුලගිය තැන් ඔක්කොම හොයනව...කෙල්ලෙක් යාළුකරගත්තොත් එහෙම ඉතිං බැඳල එක්ක ආපු ගාණයි...යාලුවෙන හැම කෙල්ලම ගෙදර එක්කරන් එන්නෙ නෑ කියල ඒ ගොල්ලන්ට හිතාගන්න බෑ.

 අම්මගෙ නංගි මැණිකෙ පුංචි අම්මා...ඒ කියන්නෙ අපේ ශානුකගෙ ආච්චිඅම්මා...බුදු අම්මෝ මැණිකෙ පුංචි අම්ම අපේ අම්මටත් හපන්...


ඔන්න දවසක්දා ශානුකගෙ යාලු කොල්ලො කෙල්ලො ටිකක් ගෙදර ඇවිත්...ආපු වෙලේ ඉඳන් මුං ටික කෑ ගහනව දුවනව පනිනව වත්තෙ තියෙන ගහ කොළ පාලු කරනවා...පණ ඇති ළමයිනෙ.

ඔන්න මේ ගෝසාව ඇහිල ශානුකගෙ ආච්චිඅම්මත් පහළ ගෙදර ඉඳල පාර පැනල තුනටියටත් අත තියාගෙන බොහොම අමාරුවෙන් කණ්ඩිය නැගගෙන උඩ ගෙදරට ඇවිත්...කොල්ලො කෙල්ලො දඟලනව බලාගෙන හිටියෙ කම්මුලේ අත තියාගෙනලු...කට්ටිය ගියාට පස්සෙ...

අනේ අම්මේ ළමයො කවුද ඒ...

ගෙවල්වල ඇවිත් ඔහොමත් දඟලනවද හැදිච්චි ළමයි...
 
ඔක්කොටොම හපං අර කෙල්ලො ටික...දැක්කෙ නැද්ද බොඩි ඇඳගෙන...

සමහර කෙල්ලො අර පටි තියෙන බ්ලවුස්ලු ඇඳන් හිටියෙ...කතාව අහල අපට හිනාවෙලා පණගියා.

ඒ ඒ කාලෙ අයනෙ...මේ කාලෙ අය එහෙම නෑ කියන්න පුළුවනිද...ඔන්න මේ ඊයෙ පෙරේද දවසක වෙච්චි දෙයක්.

අපේ පුතා පහුගිය මාසෙ විභාගෙ ගත්තනෙ...පන්තියෙ කට්ටිය විභාගෙ ඉවරවෙච්චි සතුටට සල්ලි එකතු කරල හෝටලේක පාටියක් ලෑස්ති කරල තිබුණා...පුතත් ඔය පාටියට සල්ලි ඉල්ලගෙන ගිහින් දුන්නා...පාටිය දවසෙ හැන්දෑවෙ ගිහිල්ල මහ රෑ ගෙදර ඇවිත් පාටියෙදි ගත්ත පින්තූර ඒ මහ රෑම පේස්බුක් දාල නිදාගෙන...

උදේ ඔය පින්තූර ටික අපටත් පෙන්නුවා...ඔය පින්තූර අතරෙ පුතා කෙල්ලක් එක්ක කරට අතදාගෙන ගත්ත පින්තූරෙකුත් තිබුණා...

ඔන්න උදේම කෝල් එකක් එනව අපේ නංගිගෙ පොඩිපුතා ගෙන්...කෝල් එක ගත්තෙ බිරිඳ...ආගිය විස්තර කතාකරල ප්‍රස්තූතයට බැස්සා...

නැන්දෙ මල්ලි සුදු කෙල්ලෙකුත් එක්ක කරට අතදාගෙන ඉන්න පින්තූරයක් තිබුනා දැක්කද...

ආ...ඔව් ඔව් අපි දැක්කා...

ඔය විදියට එදානං කෝල් කීයක් ආවද මන්ද මේ ගැන අහල...අපිට හිසරදයක්...පුතාටත් කේන්තියි...

අම්මයි තාත්තයි විතරයි මොකුත් කිව්වෙ නැත්තෙ...

 පුතා කිව්වා...ඔව්ව ඉතිං ඔය ඉස්කෝලවල සාමාන්‍ය දේවල්නෙ...කෙල්ලො කොල්ලො කියල බේදයක් නෑ...කතා කරනව, විහිළු කරනව, බදා ගන්නව, ඕව මහලොකු දේවල් නෙවෙයි අපේ අය බීත වෙලා දැඟලුවට...
 
මම කිය කියා හිටියෙ ලංකාවට ටෙස්ට් තත්වය ලැබීම ගැනනෙ...ඔන්න ඔය ආකාරයට අසූ දෙකේ අවුරුද්දත් ලැබුවා...පෙබරවාරි මාසෙ එංගලන්ත කණ්ඩායම ටෙස්ට් තරඟයක් ඇතුළු තරඟ සංචාරයකට ලංකාවට එනව කියන ප්‍රවෘත්තිය ලැබුණා...ඔය වෙනකොටත් ස්වප්නයි මමයි එකට වැඩට යනව එනව...

මොකක්ද මේ මුං දෙන්නගෙ අමුතු ඇඟැලුම්කම කියල අපේ අනික් එවුන්ට ප්‍රශ්නයක්...කොල්ලො මගෙන් අහනව...
 
යාලුකමට වැඩිදෙයක් උඹල දෙන්න අතරෙ තියෙනව නේද...
 
කෙල්ලො ස්වප්නගෙන් අහනව...
 
ඇත්ත කියපං...උඹල දෙන්නගෙ සම්බන්ධයක් තියෙනව නේද...
 
දෙකටම උත්තරේ නෑ එහෙම දෙයක් නෑ කියන එක වුණත් අරුන් ඒක පිළිගන්න ලෑස්ති නෑ...ප්‍රගති සමාලෝචන රැස්වීම් පවා පවත්වනවා...
 
අපට නෑ කිව්වට ෂුවර් එකටම මුං දෙන්නගෙ මොකක් හරි තියෙනව...
                                   
                                       මතු සම්බන්ධයි

Sunday, July 21, 2013

76.මෝනාලිසා හමුවීම

 

 ආයෙම මොනාලිසා බලන්න යන්න පටන් ගත්තා...මේ සැරේ නං කෙලින්ම යන්න යි අදහස...මොකද කතාව ඉවර කරන්නත් ගොඩාක් ප්‍රමාද වුණානෙ.

කතාව ලියන්න පරක්කු වුණේ අහම්බෙන්ම නෙවෙයි...හිතලමයි,මොකද මම කිව්වා ප්‍රංශෙ ගියා...ලූව්ර ගිහිල්ලා මෝනාලිසා බැලුවා... ආදී වශයෙන්,නමුත් මම ගිය බව කියන්න මොකුත්ම සාධක මගෙ අතේ තිබුණෙ නෑනෙ...දාපු පිංතූර ටිකත් ඔක්කොම ජංජාලෙන් ගනිපුව.

ඔය මෝනාලිසා බලන්න ගිය දවස්වල මට ඩිජිටල් කැමරාවක් තිබුණෙ නෑනෙ...තිබ්බෙ රීල් දාන  S L R  එකක්...ඒකෙන් ගත්තු පින්තූර ප්‍රින්ට් කරල ඇල්බම් එකක දාල ගෙදර තිබුණා...ඔය ඇල්බම් ටික මට මෙහෙට ගේන්න අමතක වුණා.

ඉතිං මේ සැරේ ගෙදර ගිය වෙලේ මම ඉස්සෙල්ලම කළේ බිරිඳට කියල පරණ පින්තූර ඇල්බම් ටික හොයා ගත්තු එක...ඇල්බම් මහ ගොඩක් තිබුණනෙ...ඒ ඔක්කොම බිරිඳ බෑග් එකක දාල අල්මාරියෙන් පරිස්සමට තියල තිබුණා...එහෙම නැත්නං කොහෙ හොයන්නද.

ඉතිං මම දවස් ගාණක් ඔය ඇල්බම් ටික පෙරල පෙරලා ගේන්න ඕනැයි කියල හිතපු පින්තූර ගලවගත්තා...ඇල්බම් ටික පිටින්ම ගේන්න තිබ්බ නං හොඳයි, ඒත් එතකොට බර වැඩියි...අද මම පාවිච්චි කරන පින්තූරත් අපේ ප්‍රංශ ගමනෙ සිහිවටන හැටියට ඇල්බම් එකේ තිබුණු ඒවා...ඒකෙ ලියල තිබ්බ විදියට අපි ප්‍රංශ සංචාරයෙ යෙදිල තියෙන්නෙ 2004 අප්‍රේල් 9දා සිට 13 දා දක්වායි...ඒ තමයි අපේ පළවෙනි ප්‍රංශ ගමන...මොකද ඊට පස්සෙත් කීප සැරයක් යන්න ලැබුණා.
ඔය පින්තූර ඇල්බම් පෙට්ටිය වගේම තව සී ඩී පෙට්ටියකුත් මගෙ ළඟ තිබුණා...ඒක තිබුණෙ හැලපැට්ටගෙ බාරයේ...ඒකෙත් ගොඩක් තිබ්බෙ අපි ගිය ට්‍රිප්වල පින්තූර...ඊට අමතරව මම කාලයක් තිස්සෙ අරං එකතුකරල තියාගෙන හිටපු චිත්‍රපට රාශියකුත් තිබුණා.

ඔන්න ඔය පෙට්ටියත් ළඟට අරගෙන අපි දෙන්නා කොම්පියුටරය ළඟ වාඩිවුණේ ගෙනියන්න ඕනැකරන සී ඩී ටික තෝරාගන්න...හැබැයි සී ඩී පෙට්ටිය නං ඇල්බම් පෙට්ටිය වගේ සතුටුදායක තත්වයක තිබුණෙ නෑ...ඒ කියන්නෙ සී ඩී පෙට්ටිය ගැන හැලපැට්ටගෙ කිසිම ඇල්මක් ආදරයක් තිබිල නෑ.

මගෙ චිත්‍රපට සෑහෙන ගානක් ආගිය අතක් නෑ...තැටි දෙකක් තිබුණු සමහර චිත්‍රපටවල තියෙන්නෙ එක තැටියයි...තවත් මම ආසාවෙන් තියාගෙන හිටපු පරණ චිත්‍රපට සෑහෙන ගාණක් පෙට්ටියෙ තිබුණෙ නෑ...වෙච්චි දෙයක් කොල්ලත් දන්නෙ නෑ.

හිතට ආපු තරහත් යටපත් කරගෙන අපි දෙන්න මහ රෑ වෙනතුරුම සී ඩී බැලුවා...නැතිවෙලා කියල හිතන් හිටපු සී ඩී කීපයක් නැවතත් හමුවීම හිතේ දුක අඩුකළා...ඔන්න ඔය විදියට තමයි සී ඩී මිටියයි පින්තූර මිටියයි අරගෙන එන්න තෝරගත්තෙ.

මෝනාලිසා පටන්ගනිද්දි මගෙ හිතේ තිබුණෙ මගෙ අතින්ම ගත්තු මෝනාලිසා පින්තූරෙ ඔයගොල්ලන්ට පෙන්නලම කතාව ඉවර කරන්නම්ය කියන අදහස....ඒ බලාපොරොත්තුව අද ඉෂ්ට සිද්ධ වෙච්චි එක ගැන මට හරිම තං තෝසයි.

මෝනාලිසා ප්‍රමාද වීමේ සහ හමුනොවීමේ නිධාන කතාව ඔන්න ඔහොමයි...දැන් මාත් එක්ක මෝනාලිසා බලන්න යමු.
                               චානි අක්කත් එක්ක ගේ ඉදිරිපිට

තද සීතලකුත් එක්ක ඉර හිනැහෙන එක උදෑසනක අපි තුන්දෙනා ලූව්ර මියුසියම් එක බලන්න යන්න පිටත් වුණේ සුපුරුදු විදියට අපේ ගයිඩ් වැඩේ කරපු නිමල් එක්ක...පොළොව යටින් යන දුම්රිය දෙකකට විතර මාරුවෙලා ගිහින් ලූව්ර ස්ටේෂන් එකේ බැහැගෙන එතනම තියෙන දොරටුවෙන් ටිකට් අරන් ඇතුල්වුණා...ඒ නිසාම මහපාරෙ ඉඳල මියුසියම් එකට ඇතුල්වෙනකොට තියෙන ප්‍රිස්මයක හැඩගත් ඇතුල්වීමේ දොරටුව මගෙ පින්තූරවල නැහැ.

 මියුසියම් එක ගැන මම දැනගෙන හිටියෙ ඒක ඇතුලෙ මෝනාලිසා ඇතුළු අමරණීය කලාකෘති කීපයක් ප්‍රදර්ශනය කරන බව විතරයි...ඒත් එය අති විශිෂ්ට කලා නිර්මාණයන්ගෙන් හා පුරාවස්තු වලින් පිරුණු නියම කෞතුකාගාරයක් බව මම ඇතුල්වෙලා මොහොතක් යනවිට දැනගත්තා...අපි එක දවසකින් මියුසියම් එක බලන්න ආවත් එය බලන්න සතියක්වත් ගතවන බවයි මට ටික වෙලාවකින්ම හිතුණේ.

වරුවක්ම ගියත් බලාගන්න ලැබුණෙ බොහොම පොඩ්ඩයි...මම කොච්චර උනන්දුවෙන් බැලුවත් අපේ දෙන්නට නං ගාණක්වත් නෑ ඔහේ බලනවා...ඔන්න ඇඳුම් සාප්පුවක් හරි ආලේපන විලවුන් සාප්පුවක් හරිනං බිරිඳ බොහොම උනන්දුවෙන් බලයි... K F C හරි මැක්ඩොනල්ඩ්ස් කඩයක් හරිනං කොල්ලා උනන්දුවෙන් බලයි...මේ පින්තූරවලයි පිළිමවලයි කලුගැහිච්චි මමිවලයි මොනව බලන්නද.

ඊජිප්තුවෙ පාරාවෝ සොහොන්වලින් ගොඩගත් පුරාවස්තු ප්‍රදර්ශනයට තියල තියෙන පැත්තටත් ආවා...මට නං මේ ඔක්කොම බලාගන්න හරි කුතුහලයයි...මම පය ඉක්මන් කරල ගියා...

ඔයා ගිහිං බලල එන්න...අපි මෙතන ඉඳගෙන ඉන්නං...ඇවිදල ඇවිදල හරි මහන්සියි...

දෙන්නම පැත්තක තිබ්බ බිත්ති කණ්ඩියක් උඩ ඉඳගත්තා...මම තනියම ගිහිං ආවා...

මේ දෙන්නට මියුසියම් එක ගැන කොහෙත්ම උනන්දුවක් නැතිනිසා ඉක්මනටම ඉවරකරල ගියොත් හොඳයි කියල මටත් හිතුනා...මොකද මේවාගෙ තැනක් බලන්න එක්ක එන්න තිබ්බෙ මේ දෙන්නව නෙවෙයි...

එහෙනං චිත්‍ර තියෙන පැත්තට ගිහිං මෝනාලිසා බලල ගෙදර යමු...

ඒ පැත්තට යද්දි වීනස්,ඩයනා,ඩේවිඩ් වගේ අපූරු කලාකෘති කොරිඩෝවල  තියල තියෙනව අපි දැක්කා...

ටිකෙන් ටික මෝනාලිසාට ළංවෙද්දි සෙනගත් වැඩියි...වෙනතැන්වල වගේ නෙවෙයි...අපිත් හිමින් හිමින් ඉදිරියටම ගියා...

මෝනාලිසා ළංවෙද්දි ගොඩක්ම සෙනග තදබදේ...අපිත් හිරවෙවී දාඩියත් දාගෙන ඉස්සරහට තෙරපුණා...

දැන් ඈතින් මෝනාලිසා ඉන්න හරිය පේනව...හැබැයි චිත්‍රය පෙනෙන්නෙ නෑ...ළඟටම ගිහිං දකුණු පැත්තට හැරුණම තමා මෝනාලිසා ඉන්නෙ...

ඒ යාර පණහ යන්න පැය බාගෙකට වැඩියෙ ගියා...හොඳටම හෙම්බත් වුණා...
 
අන්තිමේදි ඔන්න යන්තං දෙන්නෙක් මුරකරන,මෝනාලිසාව දැකගත්තා...අමාරුවෙන් එකතැන ඉඳගෙන පින්තූරෙකුත් ගත්තා...
 

මෙන්න පුතේ මෝනාලිසා...හොඳට බලාගන්න...
 
මම පුතාටත් කිව්වා...සෙනග අස්සෙ හිරවෙලයි දාඩිය දාලයි මිනිහට ඇතිවෙලා හිටියෙ...හොඳටම රතුවෙලා...
 
මෙච්චර හිරවෙලා බලන්න ආවෙ මේකද...අර ඩොක්ට පියසේනගෙ ඩිස්පැන්සරියෙත් මේකනං තියෙන්නෙ...
 
පුතා ගත් කටටම කිව්වෙ එහෙමයි.

Friday, July 19, 2013

75.නිවාඩුව



 අද තමයි ටික දවසකට පස්සෙ ලියන්න ගත්තෙ...ඊයෙ රෑනෙ අපි ලංකාවෙ ඉඳල ආපහු ආවෙ...ලංකාවෙදි අවාරෙට අඹ වැටෙනව වගේ තමයි ජංජාලෙ ආශ්‍රය කරන්න ලැබුණෙ...එහෙම ලැබුණත් පෝස්ට් එකක් දාන්න තරම් විවේකයක් තිබ්බෙ නෑ...පිංතූර ටිකක් හොයල දැම්මා බ්ලොගේ පාලුවෙලා යන නිසා...ඒවට මහ සවුත්තු කාඩ් එකක් වැදිල තිබ්බනෙ මහරජා වාගෙ කියල...අප්පොච්චියේ මගෙ ඉහේ උකුණො බිමට පැන්නනෙ ලැජ්ජාවෙ...අනේ අප්පේ මොන මගුල කිව්වත් කමක් නෑ ඒ නම නොකියා...ඕනැනං මම උඩ රැවුල කපල දාන්නං.

ඉතිං අපි ලංකාවට ගියදා ඉඳං ආපහු එනදා වෙනතුරුම හැමදාම වැස්සක්...උදේ එළිවෙන්නෙ වැස්සත් එක්ක...ඒකත් නරකම නෑ මෙහෙ වැස්සක් දකින්න නැතිව වේලි වේලි ඉන්න අපට...නිවාඩු දවස් ටික නං ඒ පැත්ත බලල මේ පැත්ත බලනකොට ගෙවිල ගියා.

 විශේෂයකට කියන්න තියෙන්නෙ නලිනුයි අටමුයි මාව බලන්න ගෙදර ආපු එක...මම කල්පනා කළේ ඒ දෙන්නට උදේක එන්න කියන්න...එතකොට ඔය අපේ ගම වටේ රවුමක් ගහල නාල කාල එහෙම යන්න පුළුවනිනෙ කියල...ඒත් නලින්ගෙත් මගෙත් දීර්ඝකාලීන මිත්‍රයෙක් වෙච්චි වෙනුජ එදා ගමේ ඇවිත් හිටපු නිසා නලින්ට ඒ හැන්දෑවෙම එන්න ඕනැවුණා වෙනුජ බලන්නත් එක්ක.

කොහොමහරි නලින්ගෙ තව යාලුවෙකුත් එක්ක තුන්දෙනා සයිකලේ ඩබල් දාල අපේ ගෙදරට ආවෙ ගොම්මං අඳුරත් අරගෙනමයි...(ඒ කිව්වෙ පෙරේතයො කුම්භණ්ඩයො එහෙම එළිබහින වෙලාව )


සුළුවට සංග්‍රහයක් කළාට හිතේ හැටියට සළකන්න විදියක් නැතිවුණා ආපු වෙලාවෙ හැටියට...ඒ වෙනකොට අපි රෑ කෑමට මඟුල් ගෙදරක යන්නත් බලාගෙන හිටපු නිසා එදා රෑ ගෙදර කෑම හැදුවෙත් නෑ...ඒත් ඉතිං මට මේ අයට කෑම දෙන්න ලොකුවට උවමනාව තිබ්බා...

මම හැදුවෙ අපේ ගෙදරදි වතුර අල්ලල මේ ගොල්ල මඟුල් ගෙදර එක්කං ගිහිං ජයටම කෑම දෙන්න...මහ දුරකුත් නෙවෙයි වෙළෙන් එහා පැත්තෙ මඟුල් ගෙදර තිබුණෙ.

කොහෙද...මුං දෙන්න බෑම කිව්වනෙ...නලින්ගෙ නං එච්චර අකැමැත්තක් පේන්න තිබුණෙ නැති නිසා බලකරල හරි එක්කං යන්න තිබ්බා...අටම තමයි...ටයි කෝට් ඇඳල හිටපු නැති නිසා වෙන්න ඇති...ආයෙ මඟුල් ගෙදර කවුරුත් අහන එකක්යැ...ඇහුවත් ඔය කේටරිං සර්විස් එකේ පොරක්ය කියල කියන්නත් තිබුණනෙ...අනික ඉතිං ඔය මඟුල අපේ පොඩි මහින්දගෙ දෙවෙනි පුතාගෙනෙ...වැඩේ සහතිකෙන්ම දැනගත්තත් උං කවුරුවත් නෙවෙයි කටක් ඇරල වචනයක් කියන්නෙ...
මම බැඳල බිරිඳව ගෙදර කැන්දන් එද්දි  පොඩි මහින්දලගෙ කඩේ ළඟ තුංමං හන්දියෙ කොල්ලො ටික තියපු පිළිගැනීමෙදි ඔය කොල්ල පොඩි බට්ටෙක්...මිනිහ තමයි මට මල් මාලයක් දාල පිළිගත්තෙ...

 ඒ පින පලදීලද කොහෙද කොල්ල හොඳට ඉගෙනගෙන උසස්ලෙස විභාග පාස්වෙලා මොරටුවෙන් උපාධිය අරගෙන දැන් මැවිසුරුවෙක්...දැන් වැඩකරන කොම්පැණියෙන් ඩුබායි යවල එහෙ වැඩ...බැඳල ටික දවසකින්ම ඕං ජෝඩුවම ඩුබායි ගියා...ලැබුණොත් ඒ පැත්තෙ ඇවිත් යන්න එන්නං කියල මාත් කිව්වා.

මං බඳිද්දි වැඩ කළේ වරාය හා නාවික අමාත්‍යාංශය යටතේ රැජිණ පාලමේ තිබ්බ ෂිපිං ඔෆිස් එකේ...එතන අපි කට්ටිය එක පවුලක අය වගේ එකතුවෙලා සතුටින් වැඩකළා...බඳිද්දිත් මම ඔෆිස් එකේ උඩ ඉඳල පහළටම යනකං සියළුම දෙනාට ආරාධනා කළා...හැබැයි අමාත්‍යාංශයෙ අයට කිව්වෙ නෑ...ඒ අයට කියන්න ගියානං කියල ඉවරයක් නැති නිසා.

ඔන්න මඟුල් ගේ තිබුණු අප්‍රේල් දෙවෙනි සෙනසුරාදා උදේ අමාත්‍යාංශයෙ මිදුලෙ මඟුල් ගෙදර යන්න නවත්තල තිබ්බ වාහනේට අපේ අය ඇවිත් කඩිමුඩියෙ නගිනව...අඩුපාඩු හොයනව...නැත්තෙ කවුද බලනව...කෙල්ලො ටික ගිණි කිකිළියො වාගෙ ජයට ඇඳගෙන...කොල්ලොත් මනමාලයො වගේ...

එදා ඕ ටී එකක් කරන්න ඇවිත් හිටපු අමාත්‍යාංශෙ කා කා ස මහත්තයෙක් එළියට වෙලා මිදුලෙ සිද්දවෙන මේ කලබැගෑනිය දිහාවෙ බලාගෙන හිටියා...කට්ටිය පිටත් වෙන්න සූදානම් වෙනව දැකපු මේකාටත් ඉන්න බැරිවුණා...අමාත්‍යංශෙට වෙලා වේලෙනව වගේද මඟුල් ගෙදර යන එක...මූ හිමිහිට නඩේ ගුරා වෙච්චි දසනායක මහත්තය ළඟට කිට්ටු කළා.

සර්...මාත් මඟුල් ගෙදර යන්න එන්නද...

ඈ...උඹටත් මඟුල කිව්වද...

පොර හිනාවෙනව...අනික් අය එක්කත් කතාකරල කාගෙත් අකැමැත්තක් තිබුණෙ නැති නිසා පොරටත් නගින්න කිව්වා...

නැගපංකො...අපට ඕක හැලපයත් එක්ක මොනව කරගන්න බැරිද...

කට්ටිය ආපු ගමන්ම මට පැත්තකට කතාකරල සිද්ධිය විස්තර කළා...මම මොනව කියන්නද...ඔෆිස් එකෙන් ගෙනාපු තෑග්ගට උඹට සම්මාදං වෙන්න බැරිවෙච්චි නිසා යුතුකං ඉෂ්ට කරපං කියන්නයැ...පස්සෙ මම දැක්ක පොර හොඳට බීල නට නටා ඉන්නව.

ආ...බොනව කියපුවමනෙ මතක්වුණේ ආසාවෙන් පාවිච්චි කරමින් හිටපු දේට ආයුබෝවන් කියන්න වෙලානෙ...මොකද ලංකාවට ගියපු ගමන්ම මගෙ මූණ දෙපැත්ත ඉදිමෙන්න ගත්තා...ඉදිමිල්ල කොයිතරම්ද කිව්වොත් ඇස් දෙක පවා කුඩාවුණා...මම දාපු පිංතූරවල තිබුණෙ ඉදිමුනු මූණ...ඒ මගේ නියම ස්වරූපය නෙවෙයි...

පුතාට හෙම්බිරිස්සාවට බේත් ගන්න යනකොට ඔයත් ඩොක්ටට පෙන්නගෙන එන්න...

බිරිඳ කිව්වා...පහුවදා උදේම පුතයි මමයි ඩොක්ට පියසේන ළඟට බේත් ගන්න ගියා...ඩොක්ට පියසේන කියන්නෙ ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම අපට බේත් කරපු වෛද්‍යවරයා...

මාව ඇඳේ දාල බඩ මිරිකල බලල එහෙම විනාඩි දෙක තුනක් ගියෙ නෑ ලෙඩේ හොයාගන්න...

වෙන අයගෙ නං මූණ දෙපැත්තෙ තියෙන ග්ලෑන්ඩ්ස් ඉදිමෙන්නෙ මම්ස් වලට...ඒත් ඔයාගෙ නං ඇල්කොහොල් වලට...

අපේ පුතාටත් කිව්වා ...

දෙමව්පියො දරුවන්ව බලාගන්නව වගේම දරුවන්ගෙත් යුතුකමක් තියෙනව දෙමාපියන් බලාගැනීමට...

ඔහු පුතාට කිව්වෙ එවැනි තේරුමක් දෙන වාක්‍යයක්...

ඊළඟට තියෙන්නෙ මගේ තීන්දුව ප්‍රකාශයට පත් කරන්නයි...

මේ බේත් ටික පාමසියෙන් ගන්න...කියල ඔහු විනාඩි කීපයක දේශනයක් රූප සටහන්ද ආශ්‍රයෙන් කළා...ඒ හරිය මෙතන කියන්න අවශ්‍ය නෑ...

පුතාටත් බේත් දුන්න...සල්ලි ගත්තෙත් නෑ යන්න කිව්වා...

ගෙදර ආපු පුතා ඩොක්ට පියසේන කියපු කතාව අකුරක් ඉස්පිල්ලක් අඩු නැතිව අම්මට වාර්තා කළා...

ඔන්න ඔය ආකාරයට මට කරුමය පටිසන් දෙන්න පටන් අරගෙන තිබුණා...

මතකද මගෙ එක පෝස්ට් එකකට අර කරුමක්කාර ඇනෝ කාළකන්නියෙක් ඇවිත් හැම තැනම පහරල තිබ්බෙ මම බොනවයි එක එක ඒව කිය කියා...

ඒ කාලකන්නි පරයගෙ කටවහ වැදිල වෙන්නඇති මෙහෙම උනේ...කතාව එතනින් ඉවරයි...

මම කලින් ඉඳන්ම අටමට පොරොන්දු වෙලානෙ හිටියෙ ලංකාවට ආපුවාම ඌව බලන්න ගෙදර එනව කියල...යන්න දිනයක් හොයාගන්න හරිම අමාරුවුණා...මොකද අපේ ෂැඩුල් එක හරිම ටයිට් නිසා...ඒත් කොහොමහරි දවසක් හොයාගෙන මමයි ශානුකයි අටමව බලන්න රාගම ගියා...

අටම් නවලෝක හන්දියටම ඇවිත් අපිව පිළිඅරං ගෙදර එක්ක ගිහින් හොඳට සැලකුවා...

අටම්ගෙ ආදරණීය බිරිඳ දවල් කෑම ජයටම ලෑස්තිකරල අපට කන්න දුන්නා...පොඩි පැටව් දෙන්නා හුරතල් රසය නොඅඩුවම සැපයුවා...දවසම අටමගෙ ගෙදර ගතකරපු අපි ගෙදර ගියෙ කරුවල වැටෙද්දි...අපි ගෙදර යද්දි අටම්ලට ළඟම ඉන්න වැව් ඉස්මත්තත් මුණගැහුණා...

මම ලංකාවෙදි මහාචාර්ය මාතලන් ශූරීන්ටත් කතාකළා...ඔහු ඒ දිනවල මාසයක පමණ ඉඳල විදේශිකයන් කණඩායමක් එක්ක දෙනියායට කොටුවෙලා ඉන්නවය දැන්මම කොළඹ එවෙන්නෙ නෑය කියල කිව්වා...

මගේ කෙටි නිවාඩුව ශ්‍රී ලංකාවෙ ගතවුණේ ඔන්න ඔය ආකාරයටයි...

කෙන්ජි,දේශකයා ඇතුළු මා ගැන සිහිකළ අනික් සියළු දෙනාටත් බොහොමත්ම ස්තූතියි...

මේ සැරේ ගත්ත පින්තූර ගොඩකුත් පරණ සී ඩී සහ පින්තූර රාශියකුත් අරගෙන ආවෙ ලියනකොට ප්‍රයෝජනයට ගන්නයි...

ආගිය කතා ටිකක් එක්ක ඉක්මනටම හමුවෙමු.