Thursday, June 20, 2013

73. හැලප කතා දෙකතුනක්




 අපි ලබන සතියෙ ලංකාවට යන නිසා මේ දවස්වල ටික ටික සූදානම් වෙනවා...ලංකාවට ගිහින් වැඩි දවසක් ඉන්න ලැබෙන්නෙත් නෑ නිවාඩුව බොහොම කෙටියි...ඒ පැත්ත බලල මේ පැත්ත බලනකොට ඔය දවස් ටික ගෙවිල යයි...කොහොමත් මමනං නිවාඩුවෙදි කරගන්න කියල වැඩ කටයුතු සැළසුම් කරගෙන නෑ...බිරිඳට නම් ඇයගෙ කන්තෝරුවෙන් රාජකාරි කීපයක් කරගන්න තියෙනවලු...විශේෂයෙන්ම යන්නෙ ඒ නිසයි...කලින්ම යන්න තිබ්බ නම් හොඳයි ඒත් පුතාගෙ විභාගෙ ඉවරවෙනතුරු ඉන්න වෙච්චි නිසයි පරක්කු වුණේ...සමර් නිසා මේ කාලෙ ඔක්කොම වාගෙ නිවාඩුවට ගං රටවල්වලට යනව...ටිකට් එහෙම හරි ගණං.

මගෙ බලාපොරොත්තුවක් කියල දේකට තියෙන්නෙ බ්ලොග් ලෝකෙන් හඳුනාගත්ත යාළුවො මුණ ගැසෙන එක තමා...දැනටමත් දෙතුන් දෙනෙක් පොරොන්දුවෙලා තියෙනව මුණගැහෙමු කියල...මම නං යාළුවො ඔක්කොම හරි මුණගැහෙන්න ආසයි...අඩුතරමින් කතා කරන්නවත් මොබයිල් නම්බර් එකවත් මේල් කළොත් මම කතා කරන්නං helapakade@gmail.com

ටික දවසකට බ්ලොග් ලෝකය ඇසුරු කරන්නත් බැරිවේවි ලංකාවෙ ජංජාල පහසුකම් මොන ආකාරයකට තියෙනවද කියල දන්නෙත් නැහැනෙ...ඒ නිසා හැලප කන්න මම ආපහු එනතුරු ඉන්න වෙනවා...

කිව්වහම තමයි මතක් වුණේ හැලප කන්නත් ආසාවක් තියෙනව හීනියට වගේ...මෙහෙ ඔක්කොම ජාති තිබුණත් කැන්ද කොළ නැති නිසා හදන්න බෑනෙ...මම කැමති පදමට පැණි දාලා හදාපු හැලප කෙසෙල්ගෙඩිත් එක්ක කන්න...මතකද අර මඩොල් දූව පොතේ තිබුණෙ ධර්මදාස ඉස්කෝලෙ මහත්තයගෙ ගෙදර තේ මේසෙ.

ඔය වාගෙ අපි බෙල්ජියමෙ හිටපු සන්දියෙ ලංකාවට ගිය යාළුවෙක් අතේ හැලප ටිකක් ගෙන්න ගත්ත ආසාවට කන්න...හැලප එවන්න කියපුවාම ගෙදරිනුත් මොකද කළේ ගමේ ඉන්න කෑම හදන කාන්තාවක් වන ලලිතට කියල හදවල එවල තිබුණා...හැලප පාර්සලේ දැක්ක ගමන්ම බොහොම සතුටින් එකක් දිග ඇරල කන්න ගත්තා...මොන...කෑල්ලක් කෑව විතරයි මට කලන්තෙ හැදෙන සයිස් තිබ්බ පැණිරස...මක්කොරලවත් කන්න බෑ...මට කන්න බෙල්ජියමට යවන්නයි කියපුවාම ලලිතා වැඩි හොඳට සීනියි පැණියි කෙළලා නැතිවෙන්නම...අන්තිමේ එච්චර අමාරුවෙන් ගෙන්න ගත්තට ආසාවට එක හැලපයක් කන්න නැතිවුණානෙ...

අන්තිමේදි ඔක්කොම හැලප ටික ඔපිස් එකට ගෙනිහින් තිබ්බා...ඒ ගොල්ල කෑවද නැද්ද කියල නං මම දන්නෙ නෑ...

ආයෙම සැරයක් අපට ලංකාවට යන්න වුණා 2007 ජනවාරි මාසෙ...ඒ වෙනකොට හිටියෙ පුතයි මමයි විතරයි බිරිඳගෙ නිවාඩු ඉවරවෙලා ඇය 2006 නොවැම්බර් මාසෙ ලංකාවට ගිය නිසා...මගෙත් කාලසීමාව ඉවරයි ඒ වෙනකොට නමුත් මා වෙනුවට කෙනෙක් ඒ වෙනතුරු එවල තිබුණෙ නැති නිසා මට දිගටම ඉන්න වුණා...

අපි නියමිත කාලෙම ඒවි කියන බලාපොරොත්තුවෙන් නංගිගෙ ලොකු පුතා එයාගෙ මගුල් ගේ ජනවාරිවල ලෑස්ති කරල මල් කුමාරයෙක් හැටියට පුතාවත් තෝරගෙන තිබුණු නිසා අපට යන්නම වුණා...

යනකොට අපි ගියෙ බ්‍රසල්ස්-අබුඩාබි-කොළඹ...නමුත් එනකොට ඒ මාර්ගය ලැබුණෙ නෑ එනකොට ලැබුණෙ කොළඹ-අබුඩාබි-ෆ්‍රැන්ක්ෆර්ට්-බ්‍රසල්ස්...ට්‍රාන්සිට් දෙකයි...

 මඟුල් ගේ ඉවර වෙලා මනමාලි ගෙදරට කැන්දගෙනත් ඇවිත් මනමාලි බාරදීල ඒ පාර්ශවයෙ කට්ටිය යන්න ගියා...මේ වෙනකොට හවස හය හත විතර වෙලා තිබුණා...අපි දෙන්නා පහුවදා පාන්දර පිටත් වෙන්නත් ඕනැ...

රෑ කෑමක් ලෑස්ති කරල නැතිවුණත් මනමාලයගෙ යාලුවො මහගොඩක් හෝටලේ ඉඳල ගෙදරටත් ඇවිත් හිටපු නිසා ඒ අයට එහෙම කෑම සූදානම් කරන්න වුණා...

රෑ කෑම කුස්සියෙ සූදානම් වෙන අතරෙ යාළුවො ටික එළියෙ පුටු තියාගෙන රවුමට වාඩිවෙලා ඉන්නව...ඒ අයට බොන්න ජාතිත් ගෙදර කොල්ලො දෙන්න ගෙනැත් තියනවා ස්ටූල් වල...අරක්කු බොන අයට ඒව...බියර් බොන අයට බියර්...

සවුදිය පිරීම්...සාද කතා...සතුටු සිනා...කාලෙකට පස්සෙ එකතු වෙච්ච යාළුවන්ගෙ ආගිය කතා...නිකමට හිතාගන්නකො කොහොමද කියල...එකම සතුටු සාගරයයි...නොදැනිම වෙලාව රෑ මැදියමටත් කිට්ටු වෙද්දි ගෙදරින් පොඩි පණිවිඩයක් ලැබුණා...

පාන්දරම පිටත්වෙන්න තියෙන නිසා පැයක් දෙකක්වත් නිදාගන්න බලන්න...

කතාව ඇත්ත වුණාට එතන තිබුණු තත්වය අනුව යාළුවන්ගෙන් සමුගන්න එක හරිම අමාරු වැඩක්...පාන්දර යනවයි කියපුවම ඒ අය කාරණේ තේරුම් ගත්තත් සමුගැනීම ඉතාම සංවේදී මොහොතක් වුණා...ඒ වෙලාවෙ මට නොහිතුනු දෙයක් නෑ...ඒත් මොනව කරන්නද...

උදේ පාන්දර පිටත්වුනාට අබුඩාබි වලට එනකොට දවල්වුණා...අබුඩාබිවල ට්‍රාන්සිට් එකට යද්දි මම දැක්ක ෆ්‍රැන්ක්ෆර්ට් යන්න තියෙන ගේට් එක ඇරල සෙනග ඇතුල් කරනව...



පුතේ අපි දැන් උඩට ගිහිල්ල කාල එන්න ගියොත් පරක්කු වෙයි ප්ලයිට් එකේදිම කමු...

පුතත් එක්කගෙන ගේට් එකට ගිහිල්ල බෝඩිං කාඩ් එක දීල වාඩිවෙලා හිටියා...

ප්ලයිට් එකට තව පැය බාගයක් විතර තිබුණා...ඒකෙන් කෑම කනකොට තව පැයක්වත් යයිනෙ...අතේ තිබ්බ බෑග් එකේ හැලප පාර්සලයක් තිබුණා...

පුතේ...ඔයාට හැලප දෙන්නද...

ඕනැ නෑ තාත්තෙ...තාම බඩගිනි නෑ...

බඩගිනි නෑ කිව්වට එයා හිටියෙ බඩගින්නෙ කියල මට තේරුණා...ටිකකින් එයාම කිව්වා...

තාත්තෙ...එහෙනං හැලප දෙන්න...

ඒ ගමන හැලප කන්න දීල වතුරත් දීල ෂේප් කරගෙන හිටියා ප්ලයිට් එකට නගිනතුරු...

දැන් ප්ලේන් එක බිම දිගේ යනව යනව ඉවරයක් නෑ උඩට නග්ගන්නෙත් නෑ...පැය කාලකට වැඩියෙ රවුං ගියා බිම දිගේ...අන්තිමේදි කැප්ටන් නිවේදනයක් කළා...

තාක්ෂණික දෝෂයක් නිසා යානය ගුවන්ගත කළ නොහැක...දැන් ගුවන් යානය ආපසු පර්යන්තයට ගෙනගොස් තාක්ෂණික දෝෂය නිවැරදි කරගත් වහාම නැවත පියාසර කරනු ඇත...එතෙක් යානයෙන් බැස ඉවසිල්ලෙන් සිටින්න.

කෙළපංකො...මදෑ නැගල කන්න හිටියා...

එහෙම නිවේදනයක් කළාට ගමන නැවතුනේ නෑ...තව රවුං කීපයක් ගිහින් වේගෙ වැඩිකරල එකපාරටම උඩට නැග්ගුවා...වැරැද්ද නිකම්ම හරියන්න ඇති...

අබුඩාබි ඉඳල ෆ්‍රැන්ක්ෆර්ට් වලට පැය නමයක්ද කොහෙද ආවා...එතකොටත් පරක්කුයි...ඒ අතිවිශාල සංකීර්ණ එයාපෝට් එකේ අපට යන්න නියමිත ටර්මිනල් එකට ඇතුළෙ යන මොනොරේල් එකක ගිහිල්ල ගේට් එකට යනකොට බ්‍රසල්ස් ප්ලයිට් එක ගිහිල්ලා...ආපහු ලුප්තාන්සා කවුන්ටරය හොයන් ගිහින් ඊළඟ ප්ලයිට් එකට බෝඩිං කාඩ් එකේ සීල් ගස්සගෙන ආයෙම ආවා...

අතේ ගෙනාපු බෑග් එක ස්කෑනර් එකට දාද්දි ඒකෙ තිබ්බ හැලප පාර්සලය මොකක්ද කියල එතන හිටපු ගෑණු කෙනාට බලන්න ඕනැවුණා...ඒ ගමන මම බෑග් එක ඇරල හැලපයක් අරගෙන කාල පෙන්නුව ස්වීට් ස්වීට් කියල...කිව්ව දේ ජර්මන් කාන්තාවට නොතේරුණත් කෑමක් නිසා අරං යන්න කිව්වා...

 එදා බ්‍රසල්ස් වලට එද්දි රෑ දෙකත් පහුවුණා...

මේ තව හැලප කතාවක්...

ආච්චියෙකුයි මිණිපිරියෙකුයි හිටියලු මේ දෙන්න ජීවත් වුනේ කෑම ජාති හදල දීල ලැබෙන ආදායමෙන්...අර අපේ ගමේ ලලිතා වගේ...

ආච්චි වයසයි බර වැඩ එහෙම අමාරුයි...මිණිපිරී නං නව යොවුන් වයසෙ තෙල් ඉහිරෙන කෙල්ල...ගිණි කිරිල්ලි වගේ...

දවසක්දා ආච්චිට හැලප සියගාණක් හදල දෙන්න ලොකු ඕඩරයක් ඇවිත්...වැඩේ කරගත්තොත් හොඳ ලාබයක් තියෙනව...ඒත් ඉතිං ආච්චි වචනයක් කියල නෑ වයසයිනෙ කරගන්න බැරිවෙයි කියල කල්පනා කරමින් ඉන්නකොට මිණිපිරී අහනවා...

මොනවද ආච්චියෙ කල්පනා කරන්නෙ...

නෑ කෙල්ලෙ...මේ කෑම ටික හදාගන්න බැරිකමනෙ...නැත්නං කීයක්වත් හොයාගන්න තිබුණනෙ...
 
අයියෝ ආච්චියෙ...ඕකත් වැඩක්ද...ආච්චි බය නැතුව ඕඩර් එක ගන්නකො...මම හදල දෙන්නං...
 
ඒ ගමන ආච්චි අර ලොකු හැලප ඕඩරේ බාරගත්තා...
 
හැලප තම්බන දවසෙ ආච්චි කුරහන් පිටි,හාල් පිටි එහෙම කළවම් කරල පැණිත් දාල  හැලප මිශ්‍රණය හදල මිණිපිරීට දුන්නා...
 
මිණිපිරිත් වත්ත පහළට ගිහින් කැන්ද කොළ තොගේකුත් කඩාගෙන ඇවිත් හැලප බාජනය ළඟට ගත්තා...
 
මිශ්‍රණය ගුලියක් අරගෙන ගවුම උස්සල ගුලිය කලවා දෙක අතරෙ තියල චිස් ගාල තද කරනවා...පැතලි වුණාම කැන්ද කොළෙන් තියල කොළේ නමනව...
 

දැන් මිණිපිරී පට පට ගාල කකුල් දෙකේ මැසිමෙන් හැලප ටික වඩනව...කලවෙ පිටි ඇලෙනවට එහෙම පොල්තෙලුත් චුට්ට චුට්ට ගානවා...
 
මිණිපිරී හදන හදන හැලප ටික ආච්චි තම්බනවා...
 
වැඩි වෙලා යන්න කලින් දෙන්නා හැලප ඕඩරේ හදල ඉවර කළා.

Saturday, June 15, 2013

72.ප්‍රංශ පන්තියේ ඉතියෝපියානුවා




අපට දවස් ගණනකින් මොකුත් ලියාගන්න බැරිවුණා...වෙලාවක් නැතිකමත් නෙවෙයි මම හිතන්නෙ ලියන්න නම් හිස බොහොම නිරවුල්ව තියෙන්නට ඕනැ...හරියට නිසල විල වගේ...කොහොමහරි පහුගිය ටිකේ මම හිටියෙ ලියන මූඩ් එකක නොවෙයි.අද මට පරණ කතාවක් මතක් වුණා ලියන්න...

දෙසතියත් එක්ක ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙ ගතකරපු සුන්දර කාල පරිච්ඡේදයට පස්සෙ මට වරාය හා නාවික අමාත්‍යාංශයට ස්ථාන මාරුවක් ලැබුණා...අමාත්‍යාංශය තිබුණෙ යෝක් වීදිය කෙළවරේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලේ ළඟ...මේ හෝටලේ හඳුන්වන කෙටි නම තමයි  
G. O .H

නවක පත්‍ර කලාවේදියෙකුට වර්තමානයේ හඳුන්වන නම අනුව මාධ්‍යවේදියෙකුට ඔය හෝටලෙ උත්සවයක් වාර්තා කරන්න ලැබුණලු...වාර්තාව ලියාගෙන ගියපුවම ඔහුගෙ ප්‍රවෘත්ති කර්තෘ හෝ වෙන කවුරුහරි ඇහුවලු...

කොහෙද මේ උත්සවය තිබුණෙ...

ගොහ් හෝටලේ...

මොකක්...මොන ලෝකෙද ඕයි එහෙම හෝටලයක් තියෙන්නෙ...ලංකාවෙ නං නෑ...

නෑ...නෑ...ගොහ් හෝටලේ තමයි...

කුණුහරුප කියන්නෙ නැතුව ඉන්නව ඕයි...

මොකක්ද මේ හරුපෙ කියල වැඩිදුරටත් හොයල හෝටලේ මොකක්ද කියල දැනගත්තම කට්ටියට පණයනකං හිනා...
ඇන්ටන් චෙකෝප් ලංකාවට ආපු වෙලාවෙත් ඒ හෝටලේ තමා නැවතිලා තියෙන්නෙ...ඒ කාමරය තාම තියෙනවා...අපි ඇන්ටන් චෙකෝප් කිව්වට රුසියන් විදියට ඒ නම උච්චාරණය කරන්නෙ අන්තොන් චේහව් හෙවත් අන්තොන් චේහප් යනුවෙන් කියල මම පොතක හරි ලිපියක හරි දැක්කා...මහ ගත්කරු මාටින් වික්‍රමසිංහයන් ඔහුට කිව්වෙ චැකෝප් කියලයි...

 කොච්චර නං වචන ඔය විදියට වරද්දල උච්චාරණය කරනවද...සුලභම උදාහරණය තමා GRAND PRIX කියන ප්‍රංශ වචනය...ඔය වචනය උච්චාරණය වන්නේ ග්‍රෝන් ප්‍රී  යනුවෙන්...නමුත් අපේ අය කෙලින්ම පරිවර්තනය කරන්නෙ ග්‍රෑන්ඩ් ෆ්‍රික්ස් කියලයි...ආයෙම FRANCOISE වල උච්චාරණය ප්‍රංශුවා...එය ප්‍රංශ භාෂාවෙ සුලභ නමක්...නමුත් අපේ පරිවර්තකයන් ලියන්නෙ ෆ්‍රැන්කොයිස් යනුවෙන්...

දැන් තියෙන පරිවර්තන ගැන නම් කියල වැඩක් නෑ ඒව ගැන මෙතන ලියන්නෙ නෑ වෙනම ලියනව...ආ තවත් එකක් කියන්න අමතක වුණා...අපේ සමහර බ්ලොග් කරුවන් පරිවර්තනය කියල ලියන්නෙ නෑනෙ...ලියන්නෙ පරිවර්ථනය කියලයි...වර්තමානය ලියන්නෙ වර්ථමානය කියලයි...මේ අනවශ්‍ය මහප්‍රාණ දැම්මම ලස්සනයි කියල ඒ අය හිතනව ඇති...

 මම බෙල්ජියමට ගිය අලුතම වගේ ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න පංතියකට බැඳුණා...බෙල්ජියමෙ ප්‍රධාන භාෂා කීපයෙන් එකක් වගේම බහුලව භාවිත වෙන්නෙ ප්‍රංශ භාෂාවයි...බ්‍රසල්ස් නගර සභාවෙන් සහන මුදලක් අයකරල ප්‍රංශ පංති පවත්වනවා...පාඨමාලාව මාස හයයි අවුරුද්දකට පාඨමාලා දෙකයි...පංති පටන් ගන්න කලින් ප්‍රසිද්ධ කරනව ඒ ගැන අවධානයෙන් ඉඳල ඉල්ලුම් කරන්න ඕනැ...මම ගියෙ නොවැම්බර් මාසෙ නිසා ඉල්ලුම් කරන්න වුණේ ජූනි මාසෙ පටන් ගන්න පාඨමාලාවට...මූලික පරීක්ෂණ පවත්වල බඳවගන්නෙ අප්‍රියෙල් මාසෙ...මාවත් තෝරගත්තා පාඨමාලා ගාස්තුව යුරෝ 35 යි...නිකං නාමික ගාස්තුවක් රජය මේ ප්‍රංශ ඉගැන්නිල්ලට විශාල මුදලක් වියදම් කරනවා...
පාඨමාලාව පැවැත්වෙන්නෙ බ්‍රසල්ස් ටවුන් එකේම තියෙන Vrije යුනිවසිටියෙ...පංතිය පටන්ගන්න දවසෙ මම ගියා...රටවල් එකොළහකින් ශිෂ්‍ය ශිෂ්‍යාවො තිස් ගණනක් අපේ පංතියට තේරිලා තිබුණා...ඒ වගේ පංති දහයක් පැවැත්වුණා...ගොඩක් දෙනා ව්‍යක්ත විදියට ප්‍රංශ භාෂාව කතා කරනවා නමුත් ඔවුන්ට ව්‍යාකරණානුකූලව වාක්‍ය දෙකක් ලියාගන්නට බෑ...එහෙම ව්‍යාකරණානුකූලව භාෂාව ලියාගන්න බැරි අයට බෙල්ජියමෙ රස්සාවල් හොයාගන්න අමාරුයි...ඒ නිසා ඔවුන් මේ පාඨමාලාවෙ සහතිකය ලබාගන්න එනවා...

අපට උගන්නන්න ආපු ගුරුතුමා හියුබට් මහතා... ඔහුට ඉංග්‍රීසි ඇතුලු භාෂා කිහිපයක් ව්‍යක්තව හසුරුවන්න පුලුවනි...නමුත් ඔහු පංතියට ආ දවසෙම අපට කිව්වෙ මම ප්‍රංශ භාෂාව හැර වෙන භාෂාවක් කතා නොකරන බව මතක තියාගන්න කියලයි...

ඒ තමයි පාඨමාලාවෙ ඉගැන්වීම ක්‍රමය...අපි ප්‍රංශ වචනයක්වත් නොදැන හිටියත් යමක් ගුරුතුමාගෙන් අහගන්න නම් ඒ භාෂාවෙන්ම අහන්න ඕනැ...

ඒ විද්‍යාත්මක  උගැන්වීමේ ක්‍රමය සිද්ධාන්තයක් වශයෙන් හරියටම හරි වුණත් මෙතනදි ප්‍රංශ බසේ අයන්න ආයන්න නොදන්න අපි කිහිප දෙනෙකුට යම්කිසි අසාධාරණයක් වුණාය කියල මට හිතෙනව...

මොකද පංතියෙ ඉන්න ප්‍රංශ කතාකරන බහුතරය හියුබට් එක්ක ප්‍රංශ බසින් කතාකරමින් ඔවුන්ට පැන නැගෙන ගැටලු පැහැදිලි කරගන්නවා...

භාෂාව කතාකරන්න බැරි නිසා අපට තියෙන ගැටලු ගිලගෙන ඉන්න සිද්ද වුණා...හියුබට් මේ ගැන නොදැන හිටියා නොවෙයි...

මගේ නමේ තිබුණු කෑල්ලක් අල්ලගත්ත හියුබට් ඇතුලු මුලු පංතියම මට කතාකළේ චන්ද්‍රා කියලයි...

භාෂාවෙ මූලික ව්‍යකරණ වරද්දල වාක්‍ය ලියපු දවසක හියුබට් මට මෙහෙම කිව්වා...

චන්ද්‍රා...ප්‍රංශවල මේ මූලික ව්‍යාකරණ ටික හරියට ඉගෙන නොගත්තොත් ඔබ කිසිදවසක ප්‍රංශ භාෂාව කතාකරන්නෙ නෑ...

 භාෂාව කතාකරන එක ගැන කියද්දි මට තව පොඩි කතාවක් මතක් වුණා...

බෙල්ජියමෙදි අපි පෝලන්තයෙ සංචාරයක් යන්න සූදානම් වුණා...යන්න තිබුණෙ බස් එකේ... මම දවසක් මිඩි වල තියෙන අන්තර්ජාතික බස් සමාගමක කාර්යාලයට ටිකට් ගන්න ගියා...සංචාරක කටයුතුවලටම වයසට ගියා වගේ පෙනෙන ප්‍රසන්න පෙනුමැති මහත්මයෙක් පිළිගැනීම් කවුන්ටරයෙ හිටියා...

පිළිගැනීමෙන් පස්සෙ වෙන හැම තැනදිම අහනව වගේ මමත් ඔහුගෙන් මෝඩ ප්‍රශ්නයක් ඇහුවා...

ඉංග්‍රීසි කතාකරනවද...

ඔහු මට අපහාසාත්මක හිනාවකින් සංග්‍රහ කළා...

ඉංග්‍රීසි...ඒවිතරක්නෙවෙයිප්‍රංශ,ජර්මන්,රුසියන්,ස්පැනිෂ්,පෝලිෂ්,චෙක්,
ස්විඩිෂ්...ඕනැම භාෂාවකින් කතාකරන්න...

අනේ මම නිකම්ම කැන්සල් වෙලා ගියා...
 අපි ඉගෙනගත්ත පංති කාමරය ගැනත් යමක් කියන්නට ඕනැ...බිත්තියෙ හයි කර තියෙන බ්ලැක්(වයිට්) බෝඩ් උඩට පහලට හෝ දෙපැත්තට අවශ්‍ය පරිදි ස්ථානගත කරන්නට පුලුවනි...ප්‍රොජෙක්ටර් ඇතුලු නවීන ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ ආදී දේශන පවත්වන්නට උපකාරී වන සියලුම දෙයින් පංතිය සමන්විතයි...

පාඨමාලාව ආරම්භ කර සතියකින් දෙකකින් දක්ෂ ගුරුවරයෙක් වූ හියුබට් පංතිය එකම විනෝද සාගරයක් බවට පත්කළා...

නීරස ව්‍යකරණ පාඩම රසවත් කරන්නට ඔහු පන්තියෙන්ම උදාහරණ සොයාගන්නවා...

විශාල ළැමක් තිබූ ඉතාලි ජාතික මරියාවත්...කුඩා ළැමකින් යුත් පෝලන්තයේ ජස්ටිනාවත් ඔහු ඒ ආකාරයෙන්ම බෝඩ් එකේ අඳිනවිට මුලු පන්තියම සිනා සාගරයක ගිලෙනවා...

සීත කාලයෙදි හවස හතර පහ වෙද්දි කලුවර වැටෙනවා...හතර හමාරට විතර මම ගෙදර එද්දි පාරෙ ලයිටුත් පත්තු කරලා...ගෙදර ආපු ගමන් ඇස්දෙක විතරක් ඉතුරුවෙන්න මුලු ශරීරයම ආවරණය කරගෙන අධික ශීතලෙත් හිම පතනයෙත් මම පන්තියට ගියා...7.40ට පන්තිය ඇරිලා ට්‍රෑම් හෝල්ට් එකට එද්දි 7.45 යි...ට්‍රෑම් එක එනතුරු ඉන්න විනාඩි කීපය අතිශය දරුණුයි...ශීතලෙනුත් හුළඟෙනුත් ගල් ගැහෙන තරමට මිදිලයි ට්‍රෑම් එකට ගොඩවෙන්නෙ...
පංතියෙ හිටිය ප්‍රංශ කතා නොකරන දෙතුන් දෙනා ඉක්මනටම එකතු වුණා...
එක්කෙනෙක් ඉතියෝපියානුවෙක් නම ගෙත්...ඔහු ඒ කැම්පස් එකේම උපාධියට ඉගෙනගන්නව...හවසට ප්‍රංශ පංති එනවා...අනිකා ඉන්දියන් කොල්ලෙක් දැන් මට නම මතක නෑ...ඔහු වැඩිකල් පන්තියට ආවෙ නෑ...

 පංතියෙ විවේකයෙදි එළියට එන මට, පැත්තකට කතාකරන හියුබට් ඒවනවිට ලංකාවෙ දරුණුවට ඇවිලෙමින් තිබූ වාර්ගික යුද්ධය ගැන තොරතුරු අහනවා...මමත් දෙමළද කියා ඔහුට දැනගන්නට අවශ්‍යව තිබුණා...

දවසක් හියුබට් පංතියෙදි යුරෝපයේ සිටි කවියන් කිවිඳියන් ගැන කතාකරමින් එංගලන්තයේ වර්ජිනියා වුල්ෆ් ගැන මහත් අභිරුචියෙන් කතාකළා...ඇයගෙ ස්වාමිපුරුෂයා වූ ප්‍රසිද්ධ සාහිත්‍යධරයෙක් වන ලෙනාඩ් වුල්ෆ් බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරියෙක් වශයෙන් ලංකාවේ කාලයක් ජීවත්වූ වග මා හියුබට්ට කියුවත් ඔහු ලෙනාඩ් වුල්ෆ් කවුද යන්න දැන සිටියේ නෑ...

ගෙත් මාත් එක්ක ඉක්මනටම යාලුවුණා...ඔහු නැවතිලා හිටියෙත් කැම්පස් එකේම කාමරයක...නිවාඩු දවස්වල මම ගෙත්ට කෑමට අපේ ගෙදර එන්න කියනවා...ඉතියෝපියාවෙ ප්‍රධාන ආහාරය චපාති වැනි රොටී වර්ගයක් හා මස් බවත් සැරට මිරිස් දැමූ කෑම කන්න පුලුවන් බවත් ගෙත් කියපු නිසා දවසක කෑමට හදපු මස් හොද්දට බිරිඳ හොඳට මිරිස් කලවම් කලා...කිව්වත් වගේම ගෙත් මස් හොදි කෑවෙ කිසි ගාණක් නැතුව...

ඉතියෝපියාවෙ අපි නොදන්න පැත්ත ඒ කියන්නෙ අඩිස් අබාබා හි රාත්‍රී සමාජ ශාලා කැබරේ නළඟනන් ඩීජේ සංගීතය ආදී විස්තර ගෙත් සී ඩී තැටිවලින් මට පෙන්නුවා...

අති දක්ෂ ශිෂ්‍යයෙක් වු ගෙත් උපාධිය සමත් වුණේ පළවෙනි පන්තියේ සාමාර්ථ්‍යයක් ලබාගනිමින්...ඔහුගෙ ප්‍රතිපල කොතරම් හොඳද කියතොත් විශ්ව විද්‍යාලය ඔහුට සහකාර කතිකාචාර්ය පදවියක් ප්‍රදානය කළා...අවුරුදු 20 කින් මෙපිට විශ්ව විද්‍යාලය ආචාර්ය මණ්ඩලයට බඳවාගත් ප්‍රථම අප්‍රිකානුවා වූයේ ගෙත්...

ඉන්පසුව ඔහු පශ්චාත්  උපාධියට ලියාපදිංචි වුණා...මේ මෑතකදී ගෙත් මට දැන්වුවේ ඔහු කැනඩාවේ සිටින බවයි...ඔහු දැන් ආචාර්ය ගෙත්

පංතිය ඇරිල ඇවිත් ට්‍රෑම් එකෙන් බහිනකොට රෑ අටහමාරවත් වෙනවා...ට්‍රෑම් ස්ටෑන්ඩ් එකේ ඉඳල පාරෙ පල්ලමේ තියෙන අපේ ගෙදරට යාර සීයක්වත් නෑ...මගෙත් එක්කම ට්‍රෑම් එකෙන් බැහැල ගෙදර යන කෙල්ලක් හිටියා... ඒ කෙල්ලගෙ ගෙවල් අපේ පාරට පාරවල් දෙකකින් එහා... මම ගේ ළඟට එනතුරු ඇයත් එක්ක කතා කරමින් එනවා...මුල් දවසක මම ඇගෙන් ඇහුවා...
 
තනියම යන්න පුලුවන්ද...

ඇයි...

නෑ රෑ නිසා ඇහුවෙ...

ඇය උපහාසයෙන් හිනාවෙලා බායි කියල යන්න ගියා...

අපේ ආශ්චර්ය දේශයේ ඔය වෙලාවට පාරක තට්ට තනියම යන සුන්දර යුවතියකට දෙයියන්නෙම පිහිටයි නේද කියල මට හිතුණා...
ඒ කාලෙ බොහොම අමාරුවෙන් දුක් වළඳමින් ඉගෙනගත්ත ප්‍රංශ භාෂාව භාවිතයක් නැති නිසාම පස්සෙ කාලෙකදි අමතක වෙලා ගියා...පුතා එයාගෙ පංතියෙ ළමයි එක්ක කතා කරලම ගිරව වගේ ප්‍රංශ කතාකළා දැන් වචන දහයක් මතක නෑ...
 
ඒ වුණාට අපේ ලේඛකයොයි පත්තරයි කරන ප්‍රාථමික වැරදි දැකපුවාම කාලෙකට ඉස්සර ඉගෙන ගනිපු භාෂාවයි පංති ගිය හැටියි නිරායාසයෙන්ම මතක් වෙනවා.

Friday, June 7, 2013

71.අටපිරිකර පූජාව සහ මේරි අක්කා


අටපිරිකර ගැන අපූරු කවි පෙළක් මාතලන් ලියල තිබුණ දැක්කහම මටත් අටපිරිකර ගැන කතාවක් මතක් උනා...

ආ... ඒ කතාව ලියන්න කලින් තවත් දෙයක් මතක් වුණානෙ...මගෙ පහුගිය කතාවට කමෙන්ට් කරන මාතලන් කියල තිබුණෙ මස් ගන්නකොට රතට රතේ තියෙන සූකර කෑල්ලකට ගොඩක් මනාපයි කියල...

ඉතිං මට එතකොට සූකර කතාවකුත් මතක් උනා...

ඔය රාගම මහබාගෙ පාරෙ යනකොට දකින්නට තියෙන සුලභ දර්ශනයක් තමා ඌරන් අල්ලන්න ගෙනියන දඩයම් බල්ලන්...

දැන් කට්ටිය හිතයි රාගම මහබාගෙ පාරෙ මම කොහෙද ගියෙ කියල...ඔය පාර මගෙ ජීවිතයට හරිම සමීප පාරක්...හැත්තැ ගණංවල අගභාගයෙ ඉඳල අසූ ගණංවල මැද භාගය වෙනතුරු මම ඔය පාරෙ ආව ගියා...මොකද ඒ දවස්වල මම වැඩකරපු ඉස්පිරිතාලෙ තිබුණෙ ඔය පාරෙයි...මගෙ ජීවිතේ ලස්සනම තරුණ අවදිය ගෙවිල ගියෙ අතිශය සුන්දර වටපිටාවකින් හෙබි ඒ ඉස්පිරිතාලෙයි...

      ඒ නිසා රාගම,ඇළපිටිවල,මඟුල්පොකුණ,අඩිවිස්ස පාර,වැලිසර,ගල්උඩුපිට,මහබාගෙ,කඳාන මට නිකං මගෙ ගම වගේ...අද වුණත් ඔය හරියෙ පාරක යනකොට අතීත මතකයන් අවදිවෙන්නෙ හරියට තරුණ කාලෙට ආපහු ගියා වගේ...

ඉතිං ඔන්න ඔය හරියෙ තමයි මම දඩයම් බල්ලන්ගෙ දර්ශනය දකින්නෙ...ඒ බල්ලො යන්නෙ ඌරො දඩයම් කරන්න යන්නෙ ඌරු දඩයක්කාරයගෙ සයිකලේ ලැගේජ් එකේ වාඩිවෙලා...අල්ලන්න අමාරු ඌරො එහෙම කොටුකරල අල්ලල දෙන්නෙ බල්ල තමා...
ඒ දවස්වල ඇළපිටිවල හිටපු හැඩකාර කාන්තාවකට අපේ ඉස්පිරිතාලෙ වැඩකරපු එකෙක් වහවැටිල හිටියනෙ...අපි මිනිහට නමක් කියමුකො ජලාල් කියල...හැඩකාර කාන්තාවට මාගරට් කියමු...

ඇළපිටිවල පෙට්‍රල් ෂෙඩ් එක පහුකරල මහබාගෙ පැත්තට එනකොට දකුණු පැත්තෙ පොඩි කණ්ඩියක් වාගෙ කඳු ගැටයක මාගරට්ලගෙ ගෙවල් තිබුණෙ...සිමියොං අයියලගෙ ගෙවල් හරියෙ...ගේ ඉස්සරහ පාරෙන් එහා පැත්තෙ පුරං වෙච්චි වෙල්යායට එහා ගොඩේ අර මරපු පළාත් සභා මන්ත්‍රීගෙ ගෙදර...ඒ කාලෙ පොර මන්ත්‍රී නෙවෙයි ඉස්පිරිතාලෙ  වැඩකරපු නිකම්ම කබ්බෙක්...උන්ගෙ අම්ම තමයි මේරි අක්කා...උස මහත කලු ගෑණි... කටෙන් පැත්ත පළාතම හොල්ලගෙන හිටියෙ...
පාරෙන් මෙහා පැත්තෙ ඉන්න මාගරට් එක්ක වෙළෙන් එහා පැත්තෙ ඉන්න මේරි අක්ක ජම්මාන්තර වයිරයි...කොයිවෙලාවෙ බැලුවත් දෙන්නා දෙපැත්තෙ ඉඳගෙන බැණගන්නව...මේරි අක්කගෙ මකර කටේ සද්දෙට මුලු ඇළපිටිවලම හෙල්ලෙනව...

ජලාල් මොන ජාතියක් දාල හරි මාගරට්ව යාලු කරගත්ත...මේරි අක්කට මේ දෙන්නගෙ ප්‍රේමය ඇහේ කටු අනිනව වගේ...

ජලාල් ඉස්පිරිතාලෙ නයිට් ඩියුටි දවස්වලට මහ  රෑ වෙන්න ඇරල මාගරට්ලගෙ ගෙදර එනව එහෙ නයිට් ඩියුටි කරන්න...

රාත්‍රිය පුරාම මාගරටුත් එක්ක කං සැප විඳින ජලාල් පාන්දරින්ම එළියට බැහැල යනව...

ජලාල්ගෙ කොටු පැනිල්ල මේරි අක්කට ඉක්මනටම ඉව වැටුණා...දැන් මේරි අක්කයි මාගරටුයි රණ්ඩු වෙනකොට මේරි අක්ක කියන්නෙ ජලාල් මාගරට්ගෙ ගෙදර ඇවිත් මාගරටුත් එක්ක කරන දේවල්...

අර කුණු තම්බියත් එක්ක එළිවෙනකං හැමණෙන පට්ට වේසිනෙ බොල තෝ...

කියල පටං අරං...අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මේරි අක්ක එගොඩහ ගොඩේ ඉඳල කියන්නෙ මුලු ඇළපිටිවලටම ඇහෙන්න හරියට ඉස්පීකරේ වගේ...

දවසක්දා පාන්දර කළුකපා එළිය වැටෙද්දි ජලාල් තමන්ට තුරුල්වෙලා නිදාගෙන හිටපු මාගරට්ගෙන් සමුඅරන් පාරට බහිනකොටම මෙන්න කලුවට කලුවෙ මේරි අක්ක පාරෙ ඉන්නව බහිරවය වාගෙ මාරාවේශයෙන්...

ජලාල්ගෙ මෑණියන් වහන්සෙ සිහිපත් කරල පින් දුන්නු මේරි අක්ක මාගරට්ගෙත් ආදරබර දෙමව්පියන්ට පින් අනුමෝදනා කරන්න අමතක කළේ නෑ...ඇය පිං අනුමෝදනාව අවසන් කළේ මෙන්න මේ ආකාරයට...

ඈ බොල මොට්ට වේසිගෙ පුතෝ...ඔය බැල්ලිගෙ කුණු හු##ට කෙළිනවට වැඩියෙ නරකද බොල මේකට කෙළියනං...

කියපු ගමං ඇඳන් හිටපු ගවුම ඔලුවටම උස්සල ජලාලයට පෙන්නුව...

හපෝයි එදානං ජලාලයට ඉහේ උකුණන් බිමට පනින වැඩක්නෙ සිද්ද වුණේ...

 ඔන්න ඔය ජාතියෙ ගෑණියක් තමයි මේරි අක්ක...රස්සාවට කලේ ඉන්දියාවට ගිහිං ඇඳුම් ආදී එක එක දේවල් ගෙනත් විකුණන එක, හොඳ සල්ලිකාරි...

ප්‍රයිවෙට් බස් පාරට දාපු මුල් අවදියෙම මේරි අක්කත් බස් එකක් අරගෙන 192 රාගම -කොළඹ පාරට දැම්මා...

 ඔය කාලෙම තමයි මේරි අක්කගෙ තාත්ත මැරුණෙ...තාත්ත හිටියෙ මේරි අක්ක ලඟ...පුතා යාලුව හින්ද අපිත් මළගෙදර ගියා...

මේරි අක්ක මළගෙදර දෙකවෙන්න කෑගගහ අඬනව...

හපෝයි...මගෙ යතුර නැතෝ...මටනං ඉඳල වැඩක් නැතෝ...

ආදී වශයෙන්...තාත්ත මැරිල ඉද්දි මේ ගෑණි මේ යතුරක් ගැන කියවන්නෙ පිස්සුවෙන්ද කියල අපි බැලුව...බැලින්නම් යතුර කියල තියෙන්නෙ තාත්තට...ගෑණි ඉන්දියාවෙ එහෙම යනකොට ගෙවල් දොරවල් රැක බලාගෙන ඉඳල තියෙන්නෙ තාත්ත...එයාට ගේ බාරදුන්නොත් යතුරු දාල වගේ හොඳට රැකබලාගන්නවලු...

 ඔය කතාව වෙලා දැන් සෑහෙන කල්...දැන්නං මේරි අක්ක ඉන්නවද දන්නෙත් නෑ...කෝකටත් අටමගෙන් අහල බලන්න ඕනැ...හිටියොත් එහෙම මගෙත් රෙදි ගැලවෙන්න දෙකක් කියයි. 

මළගෙදර අඬන එක කියපුවම මට මතක් වුණේ ඉස්සර කාලෙ මලගෙවල්වල කුලියට අඬන ගෑණු හිටියලුනෙ...යමක් කමක් තියෙන අයගෙ මළගෙවල් වල අඬන්න මේ ගෑණු හයර් කරන්නෙ මීගමු පළාතෙන්...
 
හැට්ටෙයි කම්බායයි ඇඳගෙන උඩටකරල තදවෙන්න කොණ්ඩෙත් බැඳගත්තු මේ කාන්තාවො මළගේ ඉස්සරහ නවත්තපු බක්කි කරත්තෙන් බහින්නෙ නිකං පනිනව වගේ...
 
පැන්න ගමන්ම ගෙට දුවගෙන එන්නෙ තුන්දෙනා එක්ක මොකුත් නෑ එකෙකුට එකෙක් පරාද නෑ කෑ ගැහිල්ල...
 
බුදු බාප්පේ...
 
අනේ මගෙ බුදු බාප්පා පෙරේදත් ඇවිත් කතාකරල ගියෙ මේකටදෝ...
 
ඔන්න ඔය ආකාරයට පෙට්ටිය ගාව බිම වැටිල පැය කාලක් විතර අඬන තුන්දෙනා ඒ ෂෝ එක ඉවර කරල කුස්සිය පැත්තට ගිහිං මූණකට හෝදගෙන උදේට කාල එහෙම සූදානමෙන් ඉන්නව...
 
මළගෙදරට කට්ටියක් එනකොට ඉස්සරහට ගිහිං අඬන්න ගන්නව...
 
පෙට්ටිය උස්සන වෙලාවට තමයි වැඩේ තියෙන්නෙ...
 
මුන් තුන්දෙනා මක්කොරලවත් මිනිය ගෙනියන්න දෙන්නෙ නෑ...පෙට්ටියෙ එල්ලිල කෑ ගහනව...
 
අනේ මගෙ බුදු බාප්ප ගෙනියන්න එපෝ...
 
මිනිය වලදාන්න ගෙනිච්චට පස්සෙ ගෑණු ටික ගණු දෙනු බේරගෙන යන්න යනවා...

 දැන් අටපිරිකර ගැන කතාව...
 

ඔය අපේ පන්සලේ ලොකු හාමුදුරුවො ඉන්නවනෙ...ලොකු ලොකු වැඩ සටහන් කරන්න හරි කැමතියි...දවසක් අපිත් එක්ක කියනව...
 

මේ සැරේ වෙසක් පෝයට අපි පන්සීයක් දෙනාව සිල් සමාදන් කරවන්න ඕනෑ...
 


අපිත් ඉතිං බොහොම අමාරුවෙන් ගමේ හිටපු කසිප්පු කාරයොයි ජීවිතේට පන්සලකට ගොඩ වැදිච්චි නැති උනුයි ඔක්කොම ඇදන් ඇවිත් පෝයට සිල් සමාදන් කෙරෙව්වා...
 

අනික් ගම්වලිනුත් සිල් ගන්න ඇවිත් හිටපු කට්ටියත් එක්ක පන්සීයක් කොහොම වෙතත් තුන් හාරසීයක් සිල් සමාදන් වුණා...
 

සීල ව්‍යාපාරය හාමුදුරුවන්ගෙ හිතේ හැටියට සිද්දවෙච්චි නිසා හාමුදුරුවන්ට හරිම සතුටුයි...

ඔන්න ඊළඟ වෙසක් පෝයට හාමුදුරුවො තවත් ලොකු වැඩක් කරන්න ලෑස්තිය...
 

ඒ කියන්නෙ 2011 අවුරුද්දෙ වෙසක් පෝය...හරියටම එදාට බුද්ධත්වයෙන් අවුරුදු 2600ක් පිරෙන දවස...
 

ලංකාවෙ උතුරු කොණේ තියෙන පන්සලට අටපිරිකර 2600ක් පූජා කරන්නයි 2600ක් උපාසක උපාසිකාවො ඒ පන්සලේ සිල් ගන්නයි හාමුදුරුවන්ගෙ අදහස...
 

කාර්ය සාධන බලකායක් එහෙම පත්කරල වැඩ පටන්ගත්තා මටත් සම්බන්ධවෙන්න කිව්වා...
 

මේ වැඩ පිළිවෙලේ සාර්ථකත්වය ගැන මට විශාල සැකයක් තිබුණා...මුළු වැඩ පිළිවෙලම රැඳිල තිබුණෙ දේශපාලකයන්ගෙයි අනුග්‍රාහකයන්ගෙයි මත...වැඩ පිළිවෙල නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙන්න නං මුල ඉඳලම කිසිම අඩුපාඩුවක් නැතිව වැඩ කෙරීගෙන යන්න ඕනෑ එක තැනක අඩුපාඩුවක් වුණොත් මුලු වැඩ පිළිවෙලම කඩාවැටෙනවා...

දේශපාලකයන්ගෙ පොරොන්දු මත සිද්දවෙන දෙයක් නිසා මගේ ඒ ගැන අබමල් රේණුවක විශ්වාසයක් තිබුණෙ නෑ...
 

කොටින්ම හාමුදුරුවන්ගෙ වැඩ පිළිවෙලේ කිසිම ප්‍රායෝගික බවක් මම දැක්කෙ නෑ...
 

මෙච්චර විශාල කණ්ඩායමක් ගෙනිහින් ඒ අයට කෑම බීම නවාතැන් දෙන එක ආදී නොයෙකුත් දේවල් ගැන නිසි තක්සේරුවක් කිසි කෙනෙක් කරල තිබුණෙ නෑ...

මම දකින දේ හාමුදුරුවන්ට කියන්නත් බෑ... කිව්වොත් හිතයි කරගෙන යන වැඩේ කඩාකප්පල් කරන්න හදනව කියල...හොඳම දේ ඒ ගොල්ලන්ට වැඩේ කරගන්න ඇරල මම  පැත්තකට වෙලා ඉන්න එකයි...

අපේ හාමුදුරුවනේ මටනං එන්න වෙන්නෙ නෑ පුතාගෙ විභාගෙ ඒ දවස්වලට යෙදිල තියෙන නිසා...කියන ඕනැ දෙයක් කරල දෙන්නං...
 

එහෙනං මහත්තයො අටපිරිකරවලට සම්මාදං වෙන්නකො...
 

මම අටපිරිකරටත් සල්ලි දීල තව ඕනැ කරන වැඩකට ගන්න කියල තව මුදලකුත් දීල පැත්තකට වුණා...දැන් හාමුදුරුවන්ගෙ වැඩ සටහන වේගයෙන් ක්‍රියාත්මක වෙනවා...අපේ ගමෙන්ම බස් දෙකකටද තුනකටද සෙනග එකතුවුණා...මිනිස්සුන්ටත් මොකද නිකං යාපනේ එක්ක යනව නං කෑම බීම ඔක්කොම නොමිලෙ ලැබෙනව නං වෙන මොනවද...
 

හාමුදුරුවන්ගෙ වැඩේට අහළ පහල පන්සල් හැම එකකින්ම ලොකු සහයෝගයක් ලැබුණා...

ඔය අතරෙ තව විශේෂ හාමුදුරු කෙනෙක් හිටියා මාතර පැත්තෙ...අපි කියමුකො ජිනරතන හාමුදුරුවො කියලා...මේ හාමුදුරුවො අපේ පන්සලේ මාසයක් පිරිත් කියපු වෙලාවෙ ඇවිත් ඒ වැඩේ සාර්ථක කරගන්න රෑ නිදිමරාගෙන බොහොම මහන්සියෙන් වැඩකලා...
 

අටපිරිකර පූජාවටත් මාතරින් කට්ටිය එක්කගෙන එන්නම් කියල හාමුදුරුවො පොරොන්දු වෙලා හිටියෙ...

පිංකමට අවශ්‍ය කරන අටපිරිකර ඇතුලු සෑම සියලු දේම උපයා සපයාගෙන හාමුදුරුවො වෙසක් දවස වෙද්දි සූදානමෙන් හිටියා...
 

වෙසක් දවසෙ උදේ වෙද්දි යන කණ්ඩායම එකතුවෙන්න ඕනෑ...අපේ ගමේ සහ අවට ගම්වල අය පන්සලටත් පිටපළාත්වලින් එන අයට ටවුමෙ සතිපොළේ හිස් ටකරං මඩුවලත් එක්කාසු වෙන්න සූදානම් කරල තිබුණා...දවල් දොළහ වෙද්දි සෑම සියලු දෙනාම පිටත් වෙන්න ඕනෑ...එහෙමයි සූදානම
 

සිහින් පොද වැස්සකුත් එක්ක වෙසක් දවසත් උදාවුණා...අටපිරිකර ආදී බඩු ගෙනියන ලොරි කලින්ම ආවා...දවල් දහයහමාර එකොළහ වෙද්දි යන කණ්ඩායම ඔක්කොමත් එකතු වුණා...තවම බස් නැහැ...

 අර ගාල්ල මාතර ඉඳල ඇවිත් සතිපොළේ ටකරං මඩුවල ගාල්වෙලා හිටපු කට්ටිය දවාලෙ අව්වට හොඳටම හෙම්බත්වෙලා...පොඩිඋං කෑ ගහනව...වතුර ටිකක් බොන්න තැනක්වත් දන්නෙ නෑනෙ...දාඩිය දාගෙන මර දුකක් විඳිනව දවල්ට කන්නත් නැතුව...

බස් දෙන්න පොරොන්දු වෙච්චි දේශපාලකයො ඩිපෝවලට බස් දෙන්න කිව්වට ටර්න් පාඩුකරගෙන ඩිපෝවලින් බස් යවන්නෙ නෑනෙ...දවස ඉවරකරල තමයි බස් දුන්නෙ...ප්‍රයිවෙට් බසුත් එහෙමයි තමන්ගෙ ටර්න් ඉවරකරල ආවා...
 

ඔක්කොම කට්ටියව පටවල යවල අන්තිම බස් එක පන්සල ළඟින් පිටත් වෙද්දි රෑ එකොළහත් පහුවෙලා...
 


ඇන්සන් තමයි මේ වැඩ පිළිවෙලේ භාණ්ඩාගාරික...ගමනෙ මුලු විස්තරයම මට කිව්වෙ ඇන්සා...

බස් ටික යාපනේට යද්දි වෙලාව උදේ නමයයි...කොහෙ සිල් ගන්නද සිල් වැඩ පිළිවෙල එතනින්ම ඉවරයි...
 

ඊට පස්සෙ කට්ටියව බෝට්ටුවලට දාලා පන්සලට යවල...ගිහින් අටපිරිකර ටිකත් පූජා කළා කියන්ඩකො...මෙතනදි කියන්න තව ලස්සන කතාවක් තියෙනව පොඩ්ඩක් ඉන්ඩකො...
 

ගිය නඩේට දවල්ට කන්න දෙන්නත් එපායැ...එතනම තිබ්බ හින්දු කෝවිලෙන් භාජන ආදී පහසුකම් සපයාගෙන කට්ටිය දවල්ට බත් උයල...උයල ඉවරවෙලා කෑම බෙදන්න බලනකොට පන්සලේ හිටපු ඔක්කොම ගේට්ටු කඩාගෙන කෑම ගන්න ඇවිත්...කෑම බෙදන්න හිටියෙ ඇන්සන් එහෙම...කාව කියල හොයන්නද එක එක පළාත්වලින් ආපු අය එකාට එකා අඳුනන්නෙ නෑ...ගමේ මිනිස්සුන්ව නං දන්නව...දවල් කෑම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි...
 

ජීවිතේට දැකපුවත් නැති උං හොඳට කාල ගිහින්...නඩේ උං බඩගින්නෙ...

ඔය අතරෙ හාමුදුරුවො හොයාගෙන පොලීසියෙන් ඇවිත්...
 


හාමුදුරුවනේ පොඩ්ඩක් පොලීසියට යමුද පැමිණිල්ලක් තියෙනව...
 

බලපුවාම දූපතේ පන්සලේ හාමුදුරුවො...අපි කියමුකො උතුරේ රාහුල කියල...කයිට්ස් පොලීසියෙ පැමිණිල්ලක් කරල...
 

පැමිණිල්ල මොකක්ද බාල අටපිරිකර ගෙනත් පන්සලට අපහාසයක් අවමානයක් කළා කියල...
 

මේ කට්ටිය පොලීසියට ගියාම උතුරෙ නියෝජ්‍ය පොලිස්පතිත් ඇවිත්...උතුරෙ රාහුල ලක්ෂ 10ක් වන්දි ඉල්ලනවා...
 

හාමුදුරුවනේ මේ මනුස්සයත් එක්ක කතාකරල වැඩක් නෑ...මෙයා කාටවත් කොන්ට්‍රෝල් නෑ...කෙලින්ම කෝල් එක ගන්නෙ අහවලාට...ඉල්ලන දෙයක් දීල සමාදාන වෙන්න...
 

ඒක තමයි පොලීසියෙන් දීපු අවවාදය...

ලක්ෂ 10ක් දෙන්න පොරොන්දු වෙලා පොතේ ලියල කට්ටිය ආපහු ඇවිත්...
 

දවල්ට කෑමත් ගොඩක් දෙනෙකුට මගඇරුණු හින්දා පන්සල ළඟ තියෙන හින්දු කෝවිලෙන් තෝසෙත් හදාගෙන ඇන්සන්ල ගොඩට එනකොට බස් එකක්වත් නැතිලු...බෝට්ටුවෙන් ගොඩට එන එන අය පටවගෙන බස් ගිහිල්ලා...

අන්තිමට ඇන්සන්ලට එන්න වෙලා තියෙන්නෙ ආරක්ෂාවට ගිය පොලිස් ජීප් එකේ...
 

ජීප් එකේ ආපු ගමනත් ලස්සන කතාවක් ...කියන්න ගියොත් කතාව තව දික් වෙනවා...ඒ නිසා වන්දනාවේ ගිය සියලුම දෙනා පහුවදා උදේ නවයට විතර දුකසේ ගමට ළඟාවුණා කියල තමයි කියන්න තියෙන්නෙ...
 

අපි එදා උදේ රාජලගෙ ගෙදර කිරිබත් දන්සැල දෙනවා...
 

වන්දනාවෙ ගිය අයට වෙච්චදේ අපට කලින්ම ආරංචි වෙලා තිබුණෙ...ඒ නිසා අපි නඩේ ඔක්කොමල්ල දන්සැලට ගෙනත් හොඳට කිරිබත් කන්න දීල ගෙවල්වලට පිටත් කළා...

පොලිස් කේස් එක වෙලා තියෙන්නෙ මෙහෙමයි...අර ජිනරතන හාමුදුරුවො උතුරේ රාහුලත් එක්ක යන්න කලින්ම ඩීල් එකක් දාගෙන...අටපිරිකර ටිකට ජිනරතන ලක්ෂ 5ක් උතුරේ රාහුලට දෙනව...ජිනරතන අටපිරිකර ටික ආපහු පටවගෙන එනවා...
 

පන්සලට ගිය වෙලාවෙ උතුරේ රාහුල සල්ලි ඉල්ලනකොට ජිනරතන අතේ සල්ලි තිබිල නෑ දෙන්න...ඒ ගමන සල්ලි පස්සෙ දෙන්නම් මට දැන් අටපිරිකරවල තියෙන පාත්‍රා ටික ගෙනියන්න ගලවල දෙන්න කියල පාත්‍රා ගලවනකොට තමයි බාල අටපිරිකර අහුවෙලා තියෙන්නෙ...
 

සල්ලිත් නැතුව කේන්තියෙන් හිටපු උතුරේ රාහුල කෙලින්ම ගිහින් කයිට්ස් පොලිසියෙ පැමිණිල්ල දාලා...
 

ඔන්න ඔය විදියට අපේ හාමුදුරුවන්ගෙ මහා අටපිරිකර පිංකම නිමාවුණේ ලක්ෂ දහයකටත් කෙළවෙලා...
 

ඊළඟ අවුරුද්ද වෙනතුරුම තැනින් තැනින් හොය හොයා හාමුදුරුවො අර සල්ලි ටික ගෙව්වා කියල තමයි පස්සෙදි මට ආරංචි වුණේ...
 

මගෙන් නං සත පහක්වත් ඉල්ලුවෙත් නෑ මම දුන්නෙත් නෑ.

Tuesday, June 4, 2013

70.මෝනාලිසා සහ හාල්පොල්ල


අපි ලා චැපල් යද්දි හවස හතරට පහට විතර වෙන්න ඇති...ගොඩක් ද්‍රවිඩ කඩ අතරෙ සිංහල කඩ කීපයකුත් තිබුණා...අපිත් එක කඩේකට ගොඩවෙලා බැලුව...අප්පා අපේ ටවුමක ගමක හොයාගන්න බැරි දුර්ලභ එළවලු පළතුරු වර්ග කිසි කරදරයක් නැතුව ලා චැපල් කඩවලින් ගන්න පුලුවන්නෙ බලපුවාම...තුඹ කරවිලද හිඟුරලද ඕනැ දෙයක් ඉදිච්ච කෙසෙල්කැන් දෙකතුනකුත් කඩේ එල්ලල තිබුණ  හරියට ලංකාවෙ වගේ.

අපිත් රෑට උයන්න කියල කෙළවල්ලො මාලු කෑල්ලකුයි කොළ මිටි දෙක තුනකුයි අරං කෙසෙල් ඇවරියකුත් කප්පෝගත්තා...බඩුටිකත් අරගෙන රෑ වෙන්න කලින් චානි අක්කලගෙ ගෙදරට ආවා.

එදා අවුරුදු කන්න තිබුණෙ රෑනෙ...බිරිඳයි චානි අක්කයි එකතුවෙලා කිරිබත් ලුණුමිරිස් මාලුහොදි ආදී ජාති කීපයක් ලෑස්ති කරල අවුරුදු මේසෙ හැදුවා...අපි යනකොට රසකැවිලිත් හදාගෙනනෙ ගියෙ.

ජයටම අවුරුදු මේසෙ තිබුණත් කන්න හිටියෙ අපි හතර දෙනා විතරයි...අඩියක් ගහන්නත් බෑ අවුරුදුනෙ...ෂේප් එකේ කාල බීල ටිකක් කතාකරකර ඉඳල නිදාගත්තා...

පැරිස්වල ඉන්නතුරුම ගෙදර කෑම ඉව්වෙ අපි තමා...මොකද චානි අක්ක උයන්න ටිකක් කම්මැලියි...අපි ආපුවමත් එයා කිව්වෙ ඔන්න ඕනැ දෙයක් තියනව ඕනැ විදියකට උයාගෙන කන එකයි කියලනෙ...අපි හැමදාම උදෙන්ම දවල්ටත් උයල ඇවිදල එහෙම ඇවිත් හවසට රෑ කෑම උයනව චානි අක්ක එන්ඩත් කලින්...

එයා එහෙම නෙවෙයි...සතියකට හරියන කෑම ඉරිදට උයල ප්‍රිජ් එකේ දානව...කන වෙලාවට රත්කරගෙන කනවා...දිනපතා උයන්න කම්මැලි උදවිය ඔය විදියටනෙ කෑම උයන ප්‍රශ්නය විසඳා ගන්නෙ...

ලොකු කුකුල් මස් වෑංජනයක්
පරිප්පු වෑංජනයක්
උයපු එළවලු දෙකක්

නිතරම ප්‍රිජ් එකේ තියෙනවා තුන්වේලම රත්කර කර කන්න...මටනං එහෙම කන්නත් බෑ කාලත් නෑ...පුතයි මමයි තනියම ඉද්දිත් මම හැමදාම පාන්දර පහට ඇහැරල කිරිත් උණුකරල උදේටයි දවල්ටයි දෙකටම කෑම හදල පුතාට ඉස්කෝලෙ ගෙනියන්න කෑම පාර්සලේ හදල දීල දවල්ට කන්නත් කෑම බෙදල තියල මමත් කෑම අරගෙන වැඩට යන්නෙ...
බාජන ටික හෝදන්න වෙලාවක් නැති නිසා බාජන සින්ක් එකට දාල වතුර දාල යනවා...පුතා දවල්ට ඉස්කෝලෙ ඇරිල ඇවිත් කන්නත් ඉස්සෙල්ල බාජන ටික හෝදනවා...එහෙමයි අපි වැඩකලේ...

දැන්නං ඒ වැඩ ටික බිරිඳ කරන නිසා උදේට ටිකක් වැඩිපුර නිදාගන්නව තමයි...ඒ වුණාට මෙහෙත් ගොඩක් අය මම දන්නව කරන්නෙ ඔය ප්‍රිජ් සෙල්ලම...අනේ මන්දා සතියක් තිස්සෙ එකම දේවල් මොන විදියකට කනවද කියලා.

එහෙම බැලුවොත් අපේ අම්ම තාත්තට හැමදාම පාන්දර කෑම ටික හදල ගෙනියන්ඩ දුන්න අවුරුදු තිස් ගාණක්...ඒ කාලෙ මස් මාලු ටිකක්වත් සීත කරල තියාගන්න ප්‍රිජ් කියල ජාතියක් ගැන අහලවත් තිබුණෙ නැතිව ඇති...ගෑස් කුකර් නෑ... දරලිපේ දුං ගහ ගහ ඉව්වෙ...හාල් ගරන්නත් එපායැ කට්ටිය එකතුවෙලා කනකොට ගල් කැටයක් හැපුණොත් එහෙම ලැජ්ජයිනෙ...ගල් වැලි නැති හාල් කියල ජාතියක් ඒ කාලෙ තිබුණයැ...ගෙදර හාල්ම තමා...

අම්ම මටත් කෑම එක හදල දුන්නනෙ අවුරුදු දහයක් විතරම...ඔය බිරිඳ අපේ ගෙදරට එනතුරු...

රස්සාව හම්බවෙන්න කලිනුත් මොන වැඩකට කොළඹ ගියත් අම්ම බත් එකක් බැඳල දෙනව දවල්ට කන්න...මේ වැඩේට මගෙ කිසිම කැමැත්තක් තිබුණෙ නෑ. අපි කැමතියිනෙ එදාටවත් හෝටලේකින් කන්න...කොහෙද එළියට බහිනකොට කෑම එක අතට දෙනවනෙ...

පස්සෙ කාලෙක හෝටල්වලින් කැන්ටිංවලින් වතුරයි බතුයි කනකොට තමා අම්මගෙ බතේ රස තේරුණේ...

ගෙදර හාලෙ බත්වලට අලයි හාල්මැස්සොයි තෙල් පෑදෙන්න හිඳෙන්න උයල පරිප්පුත් හින්දවල පොල් සම්බෝලයක් මලවල බත්වල ඇතුළට තියල කෙහෙල් කොළේ බැඳල දෙන බත්මුල වාගෙ රස බත් එකක් මම ඊට පස්සෙ කවදාවත් කාල නෑ...කන්න ලැබෙන එකකුත් නෑ...බිරිඳත් මට රසට කෑම උයල දෙනව තමයි...ඇයටත් අපරාදෙ කියන්න බෑ රසට උයන්න පුලුවනි...ඇයත් කියනව අපේ අම්මගෙ කෑම හරිම රසයි කියලා...

 ඒ කාලෙ කෑවෙම ඔය අපේ කුඹුරුවලින් ගන්න හාලනෙ...උයනකොට එහෙම හරි සුවඳයි...හාල් මෝල්වල වී පල්කරල කොටන හාල් වගේ නෙවෙයි...

ගෙදර වී තම්බල වේලල ගත්තහම වී කොටන්න මෝලට ගෙනියන්න අහුවෙන්නෙ මාවම තමයි...ලොකු පෝර උරේකින් එකක් තම්බාපු වී කර තියාගෙන හැතැප්ම එකහමාරකටත් වඩා දුර මාටිං මාමගෙ වී මෝලට පයින්ම යනවා.
ඒව ඔය දැන් තියෙන වී මෝල් වගේ පොෂ් ඒව නෙවෙයි...දැන්නං එක මැෂින් එකකිං වී ඇටේ පොත්ත ඇරල තව මැෂින් එකකට දාල පොලිෂ් කරනවනෙ...

අපි වී ගෙනිහිං ගෝනිය මෝලෙ අත ඇරල හූස් හූස් ගගා හැති අරිනකොට මාටිං මාමා වී ගෝනිය ලෙහෙල අහනව...

ඈ ළමයො...කැකුළුද තම්බපුවද...

 ඒ අනුව තමයි වී කොටන විදිය සකස් කරන්නෙ ඇණවලින්...ඊට පස්සෙ මෝලෙ අර අලි රෝදෙට පිස්ටන් එක දාලා දත්මිටිකාගෙන මුලුවීරියෙන්ම කරකවනවා...

බොහ් බොහ් බොහ් ගාලා බටෙන් දුංගුලි දෙකතුනක් පිටකරල මෝල ස්ටාට් වෙනවා...ඊට පස්සෙ තමයි වී කෙටෙන තැන  තියෙන ලොකු කටට වී ටික දාල කොටන්න ගන්නෙ...කෙටෙන කොටම හාලුත් එක්ක කලවං වෙලා එන දහයියා ටික හුළඟෙ යන්න පෑන් එකකුත් රෝදෙටම අල්ලල අටෝල තියෙන්නෙ...

මෝල පිටිපස්සෙ දහයිය කන්දයි...කුකුල්ලු රැළක් තුංසිය හැටපස් දවසෙම ඔය දහයිය කන්දෙ අහුලං කනවා.
තම්බාපු වී වේලිලා වැඩිනං හාල් ඇටේ කුඩුවෙනවා...වේලිලා මදිනං හරියට පොත්ත යන්නෙ නෑ වී ඇට ගොඩයි...වී කොටල ඉවරවෙලා කෙටිච්ච හාල් සේරු ගාණට තමයි මාටිං මාම සල්ලි ගන්නෙ...හාල් සේරුවක් කොටනවට සත තුනක් හරි හතරක් හරි ගත්තා මතකයි...

 ඒ දවස්වල හාල් සේරුවකුත් සත පණහද හැටද කොහෙදනෙ...ඔන්න ඔය කාලෙ තමයි මැතිණි හාල් පොලු දාල හාල් හිඟවෙලා ගණං ගියෙ...හාල් සේරුව එක පාරටම රුපියල් එකයි පණහ දෙක විතර වෙනකං ගණං ගියා...

ඔය කාලෙ මගෙත් එක්ක සිරිල් මාමලගෙ ගෙදර හිටපු මහතුනුත් එකතුවෙලා හිටියෙ...වී කොටන්න යන්නෙ අපි දෙන්නා එකතුවෙලා...

දවසක්දා අපි වී කොටාගෙන ගෝනි දෙකත් කරගහගෙන ආපහු ගෙදර එනව...

හාල් සේරුව සේරුව විකුණල යමුද...

මහතුං කියනව...

මම ඔය කතාවක් දන්නෙ නෑනෙ... මම උගෙ මූණ දිහා බැලුවා..

යංකො...

මාත් එක්කම ජූලිස් මුදලාලිගෙ කඩේට ගිය මහතුං දෙන්නගෙ ගෝනිවලින් හාල් සේරු දෙකක් මුදලාලිට කියල මන්නෝගෙන එකයි පණහ ගානෙ වික්කා...
හන්දියෙ කඩේකින් කඩචෝරු කාල තේ බීල අපි සද්ද නැතුව ගෙදර ආවා...

 ඊට පස්සෙ වී කොටන්න ගියොත් හැමදාම හාල් සේරුවක් විකුණල තමා එන්නෙ...කාටවත් කිසිම පාඩුවක් නෑ ගෙදර ඕනැතරං වී තියෙනවනෙ...මගෙ සාක්කුවට මුදලක් එකතුවෙන එක තමයි වැදගත්ම දේ...ඒ කාලෙ අපි සිගරැට් පාවිච්චියකුත් නෑ කඩචෝරු කාපු එකම තමයි කළේ...

දවසක් මම වී කොටාගෙන ගෙදර ආවා...හාල් ටික මැනපු අම්ම...

මෙච්චරද ළමයො හාල් තිබුණෙ...

ඔව්...

වෙන්න බෑනෙ...වෙනදට ඔයතරං ගෝනියකින් මීට වැඩියෙ හාල් කෙටෙනවනෙ...

මම දන්නෙ නෑ...ඔය මෝලෙන් කොටල දීපු තරම තමයි...හාල් මදිනං මීට පස්සෙ අම්ම ගිහිං කොටාගෙන එන එකනෙ ඇත්තෙ...

එහෙම කටිං ගහල මම බේරුණා...අම්මත් ඊට වඩා ඒක  පස්සෙ එලවන්නෙ නෑ මොකද මම ස්ට්‍රයික් කලොත් හාල් නැතුව යනවනෙ...

ඔය කාලෙ වෙළෙන්දො හරියට අපේ ගෙවල් පැත්තෙ රවුං ගහනවා...හාල් අරං ගිහිං වැඩි ගාණට විකුණන අය...ඒ මිනිස්සුත් කරන්නෙ සූදුවක් වගේ වැඩක් හාල් අරගෙන යද්දි පොල්ලකදි එහෙම අහුවුණොත් කෙලින්ම හාල් ටික රාජසන්තකයි... උන්ට හාලුත් නෑ සල්ලිත් නෑ...

අපට නං හාල් අහේනිය දැනුනෙ නෑ ගෙදර වී තිබුණු නිසා...ඒ වුණාට කොච්චර නං මිනිස්සු මඤ්ඤොක්කා නටු කකා දුක් වින්දද...

සතියකට දවස් දෙකක් බත් උයන කන එකත් තහනං කලානෙ...අපි නං ඔය නීති ගණංගත්තෙ නෑ හිතුනු වෙලාවට උයාගෙන කෑවා...මොකෝ කුස්සියට ඇවිත් මුර කරන්ඩයැ...
 ඒ වුණාට අනික් බඩු හිඟය අපටත් තදින් බලපෑවා...මිරිස්,කොත්තමල්ලි,උම්බලකඩ,කුළුබඩු ඔය ඔක්කොම දුන්නෙ සමූපකාරෙන් කාඩ් එකකටයි...කිරිපිටි සීනි එහෙම ඇහැට දකින්නවත් නෑ...පාන් දුන්නෙත් කාඩ් එකකට...රෙදි තිබුණෙ බූමිතෙල් ගඳ ගහන ලංකාවෙ නිෂ්පාදන...ඒවත් ඉතාම සීමිතයි...පාංසුකූලෙකට සුදු රෙදි කෑල්ලක් හොයාගන්න මරණ සහතිකේ අරං යන්න ඕනැ.

කිසිම සැලැස්මක් නැතිව මෝඩ විදියට සංවෘත ආර්ථික ක්‍රමයක් හඳුන්වල දීල මැතිණි නාගත්ත නාගැනිල්ල හින්දා තමයි හැත්තැ හතේ ජේ ආර් පප්ප හයෙන් පහක බලයක් අරන් ඇවිල්ලා අමුතුම ආකාරයෙ පුදුමාකාර දේශපාලන සංස්කෘතියක් ලංකාවට හඳුන්වලා දුන්නෙ.

ඔය කෑම අහේනි කාලෙමයි අපි කොල්ලො කට්ටිය එකතු වෙලා මඤ්ඤොක්කා කොටුවක් වැව්වෙ...ඊට අමතරව ඒ දවස්වල වත්තක පොල් ගස් දෙකක් මැදගන්නත් අවසර දීලා තිබුණා...ඒ හින්දා පොල් රාත් සුලභව ගලා ගියා...මිනිස්සු රා ටිකක් කසිප්පු ටිකක් බිව්වට ඔය දැන්වාගෙ බාර් එකෙන් ඉවරයක් නැතුව අරක්කු ගෙනත් බොන සිරිතක් තිබුණෙ නෑ.

 ටවුමෙ මස්කඩෙන් හරක්මස් ටිකක් ගෙනල්ල උයාගෙන කෑව මිසක් දැන් වගේ අඩියෙන් අඩියට බ්‍රොයිලර් කුකුල් මස් නෑනෙ...අනික දැන්වගේ ගවමස්කඩ වසව් කියල උද්ඝෝෂණය කරන්න වීරයො වීරවරියොත් ඒ දවස්වල හිටියෙ නෑ...

ඒ දවස්වල කුකුළ කියන්නෙ ඉස්සරහ කෑමක්... ගං කුකුළෙක් මැරුවොත් ඉතිං මඟුලකට තමයි...

කුකුල්ලු ගැන කියාගෙන එනකොට මට මතක් වුණේ සැරයක් අපි ගං කුකුළෙක් කාපු හැටි...ඒත් එක අලුත් අවුරුදු කාලෙක මීට අවුරුදු විස්සකට විතර එහා පැත්තෙ මගෙ මතකයෙ හැටියට...

අවුරුද්දත් ඉවරයි...ඒ වුණාට අපට තාමත් අවුරුදු කොල්ලො එකෙක්වත් රස්සාවලට යන්නෙත් නෑ...හැමදාම උදේට කට්ටිය එකතුවෙලා මොකක් හරි ජෝගියක් නටල දවස ගෙවාගන්නව...

 අද කුකුළෙක් කමු කියල එදා උදේම කට්ටිය කතාවුණා...බ්‍රොයිලර් එකෙක් නෙවෙයි ගං කුකුළෙක්...

හොයාගෙන යනකොට ලියනගේ ළඟ හෙන ඇම්බැට්ට කුකුළෙක් ඉන්නවය ලියනගේටත් මූත් එක්ක කරකියාගන්න දෙයක් නැතුවයි ඉන්නෙ කියල අපට ආරංචි වුණා...

ඒ ගමන අපි ලියන්නව හොයාගෙන ගියා...

ඔය ඉන්නෙ...මට නං ඕකව අල්ලන්න බෑ...රුපියල් සීයක් මට දීල අල්ලගන්ඩ...

ලියනගේ කිව්ව...

අපිත් ලියන්නට සීය දීල බොහොම පරිස්සමෙන් ගිහිල්ල ආදරෙන් කතාකරල අල්ලගන්න බැලුව...මොන පිස්සුද...ඌ මහ ඇම්බැට්ටයෙක්...දුවන්න ගත්තෙ නැතෑ වැටෙනුත් පැනල...අපිත් පස්සෙන් එළවගෙන ගියා...
අපි ගණුදෙනුව කලේ උදේ දහයට විතර...දවල් එක විතර වෙනතුරු මේකා ගම වටේම දිව්වනෙ...අතඇරල දාල නිකං ඉන්ඩත් බෑ සල්ලි දීල ගත්තු කුකුළනෙ...නැතිවෙයි කියල අපිත් උගෙ පස්සෙන්ම එලවගෙන ගියා...

මේකා පස්සෙන් එලවල අපට දැන් පට්ට හැති...මේ වේස කුකුළා කිසි ගානක් නැතුව තාම දුවනව හරියට කකුල්වලට රෝද හයිකරල වගේ...

යාංතං දවල් එකහමාර විතර වෙද්දි මූ ආපහු හැරිල ලියනගේලගෙ ගෙවල් පැත්තට දුවගෙන එන්න ගත්තා...

බැරිමතැන කුකුළව තියාගන්න කියල රුපියල් සීය ආපහු ඉල්ලගෙන ටවුමෙන් කුකුළෙක් ගේමු කියල කතාවෙවී අපි කුකුළා පස්සෙන් කන්ද උඩට දුවගෙන එනවා...

ගෙවල් ළඟට ආවා විතරයි හැති අමාරුවටද කොහෙද මූ ඩේවිට් අයියලගෙ දර මඩුව අස්සට රිංගල ඔලුව දර ගොඩේ හංගගත්තා...

පස්සෙන්ම දුවගෙන ගිය විජා කුකුළව බදල අල්ලගත්තා...

 එවෙලෙම බෙල්ල මිරිකන්න තරං කේන්තියි...හමගහල සුද්දකරගෙන වරෙං කියල උපාලිට කුකුළා දීලා අපි මැද පාරෙන් වෙල අයිනෙ නියරට එන්න පිටත්වුණා...

අපි පාරදිගේ එනකොට ගෙවල්වල ගෑණු මිනිස්සු අමුතු සත්තු ජාතියක් දිහාවෙ බලනව වගේ ඉස්සරහට ඇවිත් අපි දිහෑ බලාගෙන ඉන්නව...බලපුවාම අපි උදේ ඉඳන් කුකුළෙක් පස්සෙ එලෝනව කියල මුලු ගමේම ආරංචි වෙලා...විළි ලැජ්ජාවෙ බෑ.

අපි මදුරාසියෙ ඉඳපු කාලෙ කුකුල්ලු කාපු විදිහ දන්නවද...එහෙ මස්කඩවල මරපු කුකුල්ලු නෑ...පණපිටින් සත්තු කූඩුවල දාල කඩේ ඉන්නෙ...පෙන්නපුවාම මරල කපල දෙනවා...

එග්මෝර්වලදි අපි ගොඩක් වෙලාවට යන්නෙ පුරුසවල්කම් මාකට් එකට...යනකොටම කුකුල් මස්කඩපේලිය තියෙනවා...කඩේට ගිහිං මස්කඩකාරයට කුකුළව පෙන්නපුවාම කූඩුවෙන් එළියට අරං තටුදෙක පටලෝල තරාදියට දාල කිරල ගාණ කියනවා...

හරි කියපුවාම කුකුළව මරන්න දෙනව...ඔය වැඩේ කරන්නෙ අවුරුදු හයක හතක විතර පොඩි කොල්ලෙක්...ඌ ඔය වැඩේට එක්ස්පර්ට්... අතට ගත්ත ගමන් කුකුළගෙ හොට ඈත්කරල වතුර බිංදු දෙක තුනක් කටට දානවා...ඒ දාන්නෙ ආගම කියපු වතුර මොකද එහෙ ඉන්න ඔක්කොම මස්කඩ කාරයො මුස්ලිම්වරු...ඔවුන් ආගමානුකූලව මරපු නැති සත්තු නොකන නිසා පොදුවෙ හැම සතාම මරන්නෙ ආගමානුකූලවයි...

 වතුර දාපු ගමන් බෙල්ල පිට පැත්තට නමල අල්ලගෙන ලෙව්ව වගේ කැපෙන පිහිතලේකින් ට්‍රිෂ් ගාල කුකුළගෙ බෙල්ල කපල ලේ හලන්න මුල්ලකට දානවා...

ටිකකට පස්සෙ අරං උණුවතුර එකේ ඔබල තටු ගලෝල බඩ ඇතුල සුද්ද කරල කපන්න දෙනවා...වැඩේට විනාඩි පහක්වත් යන්නෙ නැති තරම්...

පුදුමාකාර පාපකර්මයක් අපිත් කරගන්නෙ මේ සත්තුන්ව මරන්න පෙන්නල...

බිරිඳ දවසක් මට කිව්වා...
 
ඉතිං මොනව කරන්නද...මස් ගන්නත් එපායැ...

පස්සෙදි අපි ක්‍රමයක් හොයාගත්තා...මස්කඩේට ගිහිං කඩකාරයට කුකුළව පෙන්නල කිරුවට පස්සෙ සල්ලි දීලා කුකුළව මරන්න ඉස්සෙල්ලා අපි එතනින් මාරුවෙනවා...එළවලු එහෙම අනික් බඩුජාති අරං ආපහු මස්කඩේට එනකොට මස්කඩකාරය කෑලි කපපු කුකුල් මස් පාර්සලේ කවරෙකට දාලා අතට දෙනව අපිත් අරං එනවා...

ඔන්න ඔහොම තමයි පව් සිද්ද කරගන්නෙ නැතුව අපි කුකුල් මස් කෑවෙ...කොහොමද බිරිඳගෙ මොළේ.

Saturday, June 1, 2013

69.මෝනාලිසා සහ සිංගප්පූරු කතා




අවුරුද්දටම ඇතිවෙන්න දන්සැල් කතා ලිව්වනෙ දැන් ඇති...තවත් දන්සැල් කතා මහ රාසියක් තිබුණත් ඔක්කොම කියන එක හරි නෑ අනික් අවුරුද්දටත් කියන්න ඉතුරු කරගන්න එපායැ.

දැන් ඉතිං මෝනාලිසා බලන්න යන ගමන ආපහු පටන්ගන්න කාලෙ ඇවිත්...ඔයාලට මෝනාලිසාව පෙන්නන්න එක්කරන් යන ගමනෙදි මට වැදුණු මඩ පාරවල් නං නිමක් නෑ...මොනව කරන්නද.

අපි නැවැත්තුවෙ යාලුවොත් එක්ක අවුරුදු පාටියට ගිය තැනින් නේද...දැන් තියෙන්නෙ අවුරුදු කන්න...ඊට ඉස්සෙල්ල අපි ගියානෙ ල චැපල්...ල චැපල් කියන්නෙ පැරිසියෙ තියෙන ඉතාම ප්‍රසිද්ධ වීදියක්...ඒ වීදියට ගියාම මට නං හිතෙන්නෙ ඉන්දියාවෙ හරි යාපනේ හරි වීදියකට ගියා වාගෙ.

ල චැපල් වලට ලිට්ල් ඉන්දියා කියලත් කියනව...ලිට්ල් ඉන්දියා කියපුවම මතක් වෙන්නෙ සිංගප්පූරුවෙත් තියෙනවනෙ ලිට්ල් ඉන්දියා කියල හරියක්...මොකුත් නෑ තනිකර ඉන්දියාවම තමා...සිංගප්පූරුවට යන්න මටත් චාන්ස් එකක් ලැබුණනෙ...

කාලය 2010 අවුරුද්ද...දවසක්දා බිරිඳ වැඩ ඇරිල ඇවිත් මට කතාකරල කියනව...

හැමදාම ඔයානෙ මාව රට එක්ක යන්නෙ...මේ සැරේ එන්න මාත් එක්ක යන්න...

බලපුවාම ඇය වැඩකරන කන්තෝරුවෙන් දින කීපයක වැඩසටහනකට සිංගප්පූරුවට යවන්න ඇයවත් තෝරගෙන...

ඔක්තෝබර් මාසෙ දවසක අපි ගමන පිටත් වුණා...එයාපෝට් එකේ ඔක්කොම වැඩ ඉවර කරගෙන ඩියුටි ෆ්‍රී පැත්තෙ රස්තියාදු ගහනකොට තිබුණු කැමරා දැකල බිරිඳ මගෙන් අහනවා...

කැමරාව ගෙනාව නේද...

අප්පට හුඩු කැමරාව ගේන්න අමතක වෙලා...

කමක් නෑ...අනික් අයගෙ ඒවයින්වත් පිරිමහ ගම්මු...

බලන්නකො...ඔයාට තිබුණෙ ඇඳුම් ඇඳගෙන කැමරාව ගන්න එක විතරනෙ...ඉතුරු වැඩ ඔක්කොම මම කරලනෙ තිබුණෙ...

කමක් නෑ අනික් අයගෙ කැමරා වලින්වත් පිරිමහ ගම්මුකො...

තමුං ගාව ඔච්චර කැමරා තියාගෙන අනුන්ගෙන් ඉල්ලහල්ලකො...

අලුත් එකක් ගන්නත් ලෝබයි කැමරා තියෙද්දි...

කොහොම හරි අපි සිංගප්පූරුවට ගිහින් ලිට්ල් ඉන්දියාවල හෝටලේක නැවතුණා...ඉන්දියාවම තමයි...ඔය මුස්තාපා කියන අති විශාල සාප්පු සංකීර්ණය තියෙන්නෙත් අපි හිටපු හෝටලේ ඉඳල පයින් යන දුර...

මුල්ම දවසෙ කෑම කන්න තැනක් හොයාගෙන යනකොට සිංහල අකුරු තියෙන හෝටලයක් දැකල ඒකට ගියා...ලංකාවෙ කෑම තියනව කියලයි ලියල තිබ්බෙ...

හැබැයි ලංකාවට කිසිම සම්බන්ධයක් නෑ ඉන්දියන් මුස්ලිම් ජාතිකයො කීපදෙනෙක් තමා කඩේ කරන්නෙ...කොහොම වුණත් කෑම රසයි ඒ වගේම ලාබයි...

අපි ආපහු ගෙදර එනතුරුම කෑවෙ ඒ කඩෙන් තමා...පාර්සල් ඉල්ලපුවම සිමෙන්ති කොළයක් වගේ තෙල් කඩදාසියක් අරගෙන ඔතල දෙනව අර අපි හරියට පොලිතින් කොළ ගන්නව වගේ...හොදි ලීක් වෙන්නෙත් නෑ...ඒ කොළ තියන තැන කඩේ මනුස්සයගෙන් අහගෙන මමත් එනකොට කොළ සීයක් අරං ආවා..

කැමරාවක අඩුව ලොකුවටම දැනුනු නිසා මම මුස්තාපා එකෙන් ඩොලර් හැත්තැපහකට කැමරාවක් ගත්තා...අප්පා ඒක හොඳයි මළමිනීවල පින්තූර ගන්න...බට්න් එක ඔබල පැය කාලකට විතර පස්සෙයි පින්තූරෙ වදින්නෙ...කිසි වැඩක් නෑ ලංකාවට ඇවිත් මම ඒක බිරිඳගෙ නංගිගෙ පොඩි එකාට දුන්න සෙල්ලං කරන්න.

ඒ වැඩ සටහනට බිරිඳත් එක්ක ගියපු යාලුවො ඔක්කොම වාගෙ ඒ අයගෙ දරුවො එක්කගෙන ගිහිං තිබුණෙ...මම විතරයි වැඩිහිටියෙකුට හිටියෙ ගෑණු  අය උදේම වැඩ සටහනට පිටත් වුණාට පස්සෙ මම කොල්ලො තුන් දෙනත් එක්ක කඩේට ගිහිං උදේට කාල එහෙම ඇවිදින්න යනවා...අපේ පුතාගෙ වයසෙ පොඩි එකෙකුයි තව ඒ ලෙවෙල් කරන වයසෙ කොල්ලො දෙන්නෙකුයි හිටියෙ...ලොකු කොල්ලො දෙන්නගෙ වැඩේ පොඩි එකාව බයිට් කරන එක නිසා පොඩි එකා හැම තිස්සෙම මාත් එක්ක කතා කර කර ගියෙ...

යනකං එනකං තුන්දෙනාගෙ ඉල්ලීම් ඉවරයක් නෑ...

අන්කල් මට අරක ගන්න ඕනැ...මේක ගන්න ඕනැ...අරං දෙනවද...

හරියට අසන්නන්ගේ ඉල්ලීම් වගේ...

දන්නවද අසන්නන්ගේ ඉල්ලීම්...අපි පොඩි කාලෙ රේඩියෝ එකේ වෙළඳසේවයෙ දවසකට දෙසැරයක්ද කොහෙද අසන්නන්ගේ ඉල්ලීම් ප්‍ර චාරය වුනා...

අපිත් ඔය වැඩ සටහනෙන් සිංදු ඉල්ලල පෝස්ට්කාඩ් දාල අහගෙන ඉන්නව හැමදාම...ඉඳල හිටල අපෙත් නං කියවල ඉල්ලපු සිංදුව දාපු දාට අපට හරි ජොලි...

ඉස්සර අපේ ගෙදර තිබුනේ ලොකු බැටරියකින් වැඩකරන ඉරෙස් කියල රේඩියෝ එකක්...බැට්රිය විසාලයි ඒක දාන්න පෙට්ටියකුත් තිබුණා...රේඩියෝ එකේ ඒරියල් එක හයිකරල තිබුණෙ ගේ පිටිපස්සෙ වැට අයිනෙ තිබුණු රට අඹ ගහේ මුදුන් අත්තක බැඳපු ලීයක ගැටගහලයි...
හරියට දැන් අපි ටී වී ඇන්ටෙනා හයිකරනව වගේ...

අර්ත් එක පොළොව යටින් ගෙනැත් අපේ නාන ළිඳේ ගැට්ටෙ කිරිමැට්ටට බස්සපු යකඩ කූරක ගැටගහල තිබුණා...

ලංකාවට ටී වී ආපු අලුත ඉස් ඉස්සෙල්ලම අඟල් 14 ටීවී එකක් ගත්තෙ මහින්ද...ඒ දවස්වල තිබුණු දිමුතු මුතු කියන ටෙලි නාට්‍යය පෙන්නන දවස්වලට අපි මහින්දලගෙ ගේ බදු අරං වාගෙ ඉන්නෙ...සිකුරාදා දවස්වලට චිත්‍රපටි පෙන්නනවා...එදාට නං චිත්‍රපටි බලන්න ගමේ ගෑණු පවුල් පිටිං එන්නෙ වාඩිවෙන්න පැදුරුත් කිහිල්ලෙ ගහගෙන...

නමය හමාරට පටන් ගන්න චිත්‍රපටිය ඉවරවෙන්නෙ මහ පාන්දර එකට දෙකට...ඇයි සැරින් සැරේ නවත්ත නවත්ත පැය කාලක් විතර ඇඩ් දානවනෙ...

අපිත් නොවැරදීම චිත්‍රපටි බලන්න යනවා...ගිහිං එළියෙ පුටු තියාගෙන වාඩිවෙලා ජනේලෙන් බලාගෙන ඉන්නෙ...මුලු ගේම ගෑණුන්ගෙන් පිරිල අඩියක් තියන්න ඉඩක් නෑනෙ...

අපට නං ඔය චිත්‍රපටි ගාණක් නෑ ඕව ඔක්කොම හෝල් එකේ බලලනෙ තියෙන්නෙ...අපි වැඩියම බලාගෙන ඉන්නෙ චිත්‍රපටි බලන්න ආපු කෙල්ලක් එහෙම රෑ පානෙ එළියට එයිද කියල...වෙන මොකකටවත් නෙවෙයි ඔය අහුමුල්ලකට එක්කං ගිහිල්ල සුහද පිළිසඳරක යෙදීමේ පරම පවිත්‍ර චේතනාවෙන්...නැතුව වෙන මොහොකටවත් එහෙම නෙවෙයි ඕං...

හැබැ ඉතිං කෙල්ලක්ව එහෙම ලේසියෙන් එළියට පන්න ගන්න බෑ...චිත්‍රපටි බල බලා හිටියට උන්නෙ අම්මල කෙල්ලො දිහෑ ඇහැ ගහගෙනමයි ඉන්නෙ දන්නවනෙ බඩුවල හැටි...

අපි ඉතිං මහ පාන්දර වෙනකං නිදිමරල හරියකට නිදාගන්නෙත් නැතුව උදේම රස්සාවටත් යනව නිදිමතේම මොක්කුද වගේ...
 ඊට පස්සෙ කාලෙක වෙනුජල කලර් ටී වී එකක් ගත්තා...වෙනුජල අපේ අල්ලපු ගෙදර...

ඔය දවස්වල වෙනුජලගෙ පියාට ඈතින් නෑයොවෙන පොඩිඋන් දෙන්නෙකුත් වෙනුජලගෙ ගෙදර නැවතිලා හිටිය වෙනුජලගෙ අම්මගෙන් පහේ ශිෂ්‍යත්වෙට ඉගෙන ගන්න...

දෙන්නම පහේ පංතියෙ...
දෙන්නගෙම නම චමින්ද...

අඳුන ගන්න ලේසියට අපි දෙන්නට හුරතල් නං දෙකක් දාල තිබුණා...

එකෙක් මුචලින්ද...
අනිකා ජාලයා...

මුචලින්ද කිව්වෙ ඌ ඉවරයක් නැතුව නයි අරින නිසා...අනිකගෙ තාත්ත දවස තිස්සෙම බිබී කුකුල්ලු කොටෝනව තාත්තගෙ කුකුලෙක් ඉන්නවලු ජාලය කියල...

පොඩිඋන් දෙන්න ඉක්මනටම අපේ බයිට් එක බවට පත්වුණා...

ක්‍රිකට් මැච් බලනකොට එකෙක් අහනව...

කොහොමද මාමෙ ඔය කට්ටිය ටී වී එක ඇතුළට එන්නෙ...

එළියට බැහැල බලනවකො ඔවුන් ඇන්ටෙනාව දිගේ බඩගාගෙන එන හැටි...ඊයෙ රෑ මම දැක්ක ඉයන් බෝතම් බහිනව...උගෙ බරට උණගහ නැමුන නැමිල්ලක් මම හිතුවෙ කඩාගෙන වැටෙයි කියල...

වෙනුජගෙ මල්ලි කළණ කියනව...

 ආයෙ බෝලර් බෝල් කරන්න ඉස්සෙල්ල බෝලෙ ඔපදාල කෙළ එහෙම ගානකොට එකෙක් අහනව...

ඒ මොකද කරන්නෙ මාමෙ...

ආ...ඒ මතුරල කෙළ ගානව බෝලෙට ගහන එකාව අවුට් වෙන්න...

හූනියම හරි ගියොත් පොලුම තමයි...

කළණ කියනවා...

සති අන්තෙට මුචලින්දයව බලන්න අම්ම හරි තාත්ත හරි දෙන්නම හරි වෙනුජලගෙ ගෙදර එනව අඩුපාඩු බලල යන්න...එදාට තමයි අපට වැඩ වැඩි...

දෙමව්පියො යන්න පිටත් උනාම මුචලින්දය අඬ අඬා පස්සෙන් වැටෙනව ගෙදර යන්න ඕනැයි කියල...

අපි බොහොම අමාරුවෙන් කොල්ලව හේ කරගෙන අල්ලගෙන වගේ ඉන්නව දෙමව්පියො යනතුරු...

 ඒ උනාට පොඩ්ඩ බැරිවෙනකොට මූ අපෙන් ගැලවිල දුවන්න ගන්නවා හරියට හාවෙක් වගේ...අපෙත් වැඩේ මුගෙ පස්සෙ එළවන එක...බට්ට වගේ පොඩියට දුවනව දිවිල්ලක් වැටෙන් පැනල අපේ වත්ත පුරහම...අපිත් හැතිදාගෙන එළෝනවා...දවසක්දා මූ දුවගෙන ගියා ගියාමයි ආගිය අතක් නෑ...හැම තැනම හෙව්වා...ළිඳකටවත් වැටිලද දන්නෙ නෑනෙ...කෑ ගගහ කතාකළා හාහෝවක් නෑ...

හොයාගෙන යනකොට අපේ ගල්ළිඳ ළඟ මහ උණ පඳුරෙ අකුළක් අස්සෙ මේකා මීමින්නෙක් වගේ හැංගිලා ඉන්නවා...
අකුලෙන් එළියට ඇදල අරං ගෙදර එක්ක ආවා...

අනේ මට මගෙ අම්මත් එක්ක යන්න දෙන්න මාමේ...

කොල්ලා හූල්ල හූල්ල අඬනව...

 ඔය මුචලින්දයලගෙ අම්ම එක විදියක විසේකාර අංගනාවක් කියල බබලත්තු කුටු කුටු ගානව මට කීප සැරයක් ඇහිල තියෙනව...

 ගෙවල් ළඟ වෙනුජලගෙ නෑදෑ අයිය කෙනෙක් ඉන්නව කොටු පප්ප...මූ කොටු පනිනවට වඩා වනකර ගන්නව...කතාව කියන්න මූට නමකුත් දෙන්න එපායැ අපි කියමුකො සරත් කියල...

දවසක්දා මුචලින්දයලගෙ අම්ම ඇවිත් වෙනුජලගෙ අම්මට විශාල පැමිණිල්ලක් කරනව සරත් ගැන...

මාත් එහෙන් මෙහෙන් හොයල බැලුවා...

අම්මා මුචලින්දයව බලන්න ආපු දවසක රෑ වෙලා ආපහු යනව...මූ අපේ වත්තෙ රැකල ඉඳලා පල්ලෙහා දෙල් ගහ යටට ගෑනිව උස්සන් ගිහින්... වැඩි කරදරයක් නැතුවම කොටුව පැනගෙන...

වැඩේ එළිවුණේ මෙහෙමයි...

ඔවුන් දෙන්න අපේ දෙල්ගහ යට කං සැප විඳිද්දි කරුමෙට මාත් එතනින් ඇවිත් වැඩ ඇරිල ගෙදර එනවද කොහෙද...

මේ ගෑණි හිතල තියෙන්නෙ මම සීන් එක දැක්ක කියල...

ඒ වුණාට මම මොකුත්ම දැක්කෙ නෑ කරුවලේ...

ඕක මගෙන් එළිවෙයි කියන බයට තමයි ගෑණි කලින්ම පැමිණිල්ල කරල තියෙන්නෙ සාක්කිකාරයට මාව දාල...මම ඔය සීන් එකට ආවෙ නැත්නං ගෑණි සද්ද නැතුව පිහදාගෙන යන්න යනවා...
ඔය කතා මගෙන් අහල හගිස්සවන්න ගියොත් එහෙම උඩ බලාගෙන කෙළගහ ගන්නව වගේ වැඩක් නිසා වැඩේ ගොඩින්ම බේරල දැම්මා...
 
ජාලය ගෙන් නං ඒ වගේ කරදරයක් තිබුණෙ නෑ...ජාලයව බලන්න එන්නෙ උන්ගෙ අම්ම විතරයි...තාත්තට ඒවට වෙලාවක් තිබුණෙ නෑ...පස්සෙ කාලෙක මනුස්සය බීලම මැරිල ගියා...
 
පහේ ශිෂ්‍යත්වෙ ලියල ඉවරවෙලා කොල්ලො දෙන්නම ගෙවල්වලට යන්න ගියා...ඊට පස්සෙ උං ගැන කිසිම ආරංචියක් මට ලැබුණෙ නෑ...
 
අම්මෝ ඒ කොච්චර කාලෙකට ඉස්සෙල්ලද...දැන් නං දෙන්නම යස තරුණයො වෙන්නඇති...බැඳලත්ඇති...මුචලින්ද රස්සාවක් හොයාගන්න හම්බවෙන්න ආවා කියල වෙනුජ පස්සෙ කාලෙකදි මාත් එක්ක කිව්වෙ උන් දෙන්න ගැන කතාකරකර ඉද්දි.