Wednesday, April 17, 2013

51.ගමේ වැඩක්



අවුරුදු උත්සව ගැන සුදීක ලියපු පෝස්ට් දෙකම කියවපු මට හිතුණා මගෙ ළඟත් කොච්චර අවුරුදු උත්සව අත්දැකීම් තියෙනවද කියල.

ඉස් ඉස්සෙල්ලාම මම සම්බන්ධ වූ අවුරුදු උත්සවය තිබුණෙ හැත්තැ ගණංවල මුල හැත්තැ හතරෙ වගේ මට මතක....ගමට අලුතෙන් ආපු ග්‍රාමසේවක රාළහාමි මුල්වෙලා තමා ඒ අවුරුදු උත්සවය පැවැත්තුවෙ... එයා තරුණයන්ගෙ හිතවතා අපිවත් අල්ලගෙන ගෙවල් ගානෙ ගිහින් සල්ලි එකතුකරලා සංවිධානය කළා,ගමේ එහා කෑල්ලෙ අයවත් සම්බන්ධ කරගත්තම සෑහෙන ලොකු ජනගහනයක්.

අවුරුදු උත්සවය තිබ්බෙ නාරංවත්තෙ පිට්ටනියෙ....කලින් දවසෙ හවස ඉඳන් අපි පිට්ටනියට ගිහින් ස්ටේජ් ගහල ලිස්සන ගහ හිටවල කණාමුට්ටි එල්ලල සැරසිලි කරල එළිවෙනකම් මහන්සි උනා.

පහුවදා උදේ අවුරුදු උත්සවය උත්සවාකාරයෙන් පැවැත්වුණා පොර පොල් ක්‍රීඩාවකුත් තිබුණා....මගෙ ජීවිතේ පළවෙනි සහ එකම වතාවට පොර පොල් ගහනව දැක්කෙ එදා තමා.

අවුරුදු උත්සවය පවත්තන්න අපි පණයන කල් මහන්සි උනත් උත්සවයෙ මුල් තැන ගත්තෙ එහා ගොඩේ උදවිය....නිවේදන කටයුතු කළේ විනිශ්චය කළේ තීන්දු තීරණ ගත්තෙ ඒ අයට ඕනැ විදියට....අපේ පැත්තෙ අය කළේ ඒ අයට බීම අල්ලන එක.

වැඩ පිළිවෙල යන විදිහ මට ඇල්ලුවෙ නෑ....මට ඇතිවුණේ හරිම කළකිරීමක්....රාත්‍රියෙ සංගීතෙකුත් ලෑස්ති කරල තිබුණට හතට විතර කඩාපාත්වුණු ධාරාණිපාත වරුසාව හින්ද සංගීතෙ තියාගන්නත් බැරිවුණා.

පහුවදා අපි කට්ටිය මුදලාලිගෙ කඩේට වෙලා ඉද්දි ඔන්න ආව ලොකු අය මඩු ගලවල අස්කරන්න අපිව එක්කන් යන්න...මම යන්න බෑ කිව්ව....ලොකු මහින්දත් බෑ කිව්ව....අපි හැමදේම කරල දුන්නම නිකං හිටපු කට්ටියකට ඇවිත් උත්සවේ ඒ අයට ඕනැ විදියට කරගන්න දීල හිටියනං ඒ අයටම කතාකරල මඩු ගලවගන්න කියල අපි කිව්ව.

මේ ගැන තරමක බහින්බස් වීමකුත් ඇතිවෙලා අපට බැණ බැණ ලොකු අය යන්න ගියා.

ඊළඟ අවුරුද්දට උත්සවයක් පැවැත්වුණේ නෑ...

අවුරුද්දට ගමේ මොනව හරි සද්දක් නැත්නං ඒකත් හරි නෑ...

අපේ තප්ප පේමෙ හෙවත් පෙංගට මේ වෙලාවෙ හොඳ කල්පනාවක් ආව....

මම අපේ කැළණියෙ එල්ලෙ ටීම් එක මැච් එකකට කතාකරල දෙන්නම්....

පෙංග පොරොන්දු උනා....

දෙපැත්තට ලියුම් හුවමාරු වෙලා අලුත් අවුරුද්දට කලින් දවසෙ කැළණියෙ ගල්බොරැල්ලෙ ප්‍රගති ක්‍රීඩා සමාජය අපේ සමගි ක්‍රීඩා සමාජයත් එක්ක සුහද එල්ලේ තරඟයක් පවත්වන්න සියල්ලම සූදානම් උනා.
මැච් එක ගහන්නෙ නාරංවත්තෙ පිට්ටනියෙ....සංවිධාන කටයුතු ලහිලහියෙ කෙරුණා....ප්‍රධාන සංවිධායක පෙංග හැම දෙයක්ම හොයල බලල කරන නිසා අපට වැඩි කරදරයක් නෑ...ටීම් එකේ දාසයයි තව ඒත් එක්ක එන කට්ටියයි විසිපහකට විතර කෑම බීම ලෑස්ති කරන්න එපායැ.

 ඒ ඔක්කොම අඩුපාඩු බලල විසඳගත්තත්....තව එක දෙයක් තියෙනව කරගන්න....එල්ලෙ මැච් එකේ නිවේදන කටයුතු කරන්න කෙනෙක් නෑ....අපේ එකෙකුටවත් මයික් එකකින් කතාකරල පුරුද්දක් නෑ....අන්තිමේ පොඩි පියසේනටවත් කියමුද කියල කතාවුණත් මිනිහට ටීටර් වල මිසක් ක්‍රීඩා තරඟ නිවේදනය කරල පුරුද්දක් නෑ....මැච්වල නීතිරීති දන්නෙත් නෑ....කොහොම උනත් පොඩි පියසේනට ආරාධනා කළා....මිනිහගෙ හුරතල් නම ඌරුමීයා.

ඌරුමීයත් වැඩේ බාරගත්ත....හැබැයි මිනිහට කෙනෙක් ළඟ ඉඳගෙන සිද්දවෙන දේවල් කියල දෙන්න ඕනැ....ඒ වැඩේට මාව දැම්ම.

උඹට ඉතින් ඌරුමීයත් එක්ක එනවුන්ස් කරන්නත් බැරියැ....

අපේ කට්ටිය එහෙම කිව්වට මයික් එකකින් කතාකරන්න ගියොත් මගෙ දණිස් වෙවුලන්න ගනී....අනික ඉදිරිපත් වෙන්නත් මගෙ පසුබෑමක් තියනවනෙ.

කෝකටත් කියල මම එදාට අඳින්න ඇඳුමක් එහෙම ලෑස්ති කරගත්තා....ඔය දවස්වල ආණ්ඩුව පිටරටින් රෙදි ගෙන්නිල්ල තහනම් කරල තිබ්බ නිසා රටපුරාම තදබල රෙදි හිඟයක් පැවතුනා....රටේ නිපදවන රෙදි ටික ජනගහනයට පාවිච්චියට මදි....අර භූමිතෙල් ගඳ ගහපු රෙදි එහෙම ඇන්දෙ ඒ කාලෙ....පාංශුකූලෙකට සුදුරෙදි කෑල්ලක් හොයාගන්නත් මරණ සහතිකේ අරගෙන ගිහින් පුදුම දුකක් විඳින්න උනා.

 රට ඇතුළෙ තිබුණු පේෂකර්මාන්ත,බලවේග පේෂ කර්මාන්ත වලින් හදන රෙදි සමූපකාර වලින් බෙදාහැරියා....ප්‍රමාණවත් රෙදි තොගයක් ලැබුණෙ නැතුවාම සමූපකාරවලින් ලැබෙන රෙදි පොඩ්ඩට කුසපත් ඇද්දා....ඔන්න ඔය විදියට මටත් නිල්පාට කලිසම් රෙදි කෑල්ලක් ඇදිල තිබුණ.

ටවුමෙ චාලි මාමගෙ ටේලර් සාප්පුවට රෙදිකෑල්ල දීල කලිසමක් මහගෙන ඩියුරෝ කමිසෙකුත් ගත්ත දොළහයි පනහකට මැච් එක දවසට අඳින්න.

මැච් එක ගහන දවසෙ ගල්බොරැල්ලෙ කණ්ඩායම කල්වේලා ඇතුවම ආවා....කණ්ඩායම දෙකම පිට්ටනියට එක්ක ගිහින් මැච් එක පටන්ගන්න ලෑස්ති වෙනකොට අපේ පිලේ නායකය වෙච්චි පෝටය දුව දුවගෙන එනව මම දැක්ක.

මම ඒ වෙලාවෙ අලුත් ඇඳුමත් ජැන්ඩියට ඇඳගෙන ඉස්පීකර් වැඩ කරන මනුස්සය ගාව වාඩිවෙලා ඉන්නව....වැඩියෙ ඇවිදින්නෙ හෙම නෑ....මෝල් ගස් ගිලපු පිඹුර වගේ....ඌරුමීයත් හෝ ගාල කණ්ඩායම්වල ක්‍රීඩකයන්ගෙ නම් එහෙම විස්තර ලියාගන්නව.

පෝටය කෙලින්ම දුවගෙන ආවෙ මා ළඟට....

ඕයි ගිහින් මිටියක් ගේනවකො.....

මූ සත පනහක් දික්කරනව ගංජ මිටියක් ගේන්න කියල....

ඒ දවස්වලත් පෝටය රස්සාව කළා සී ජී ආර් එකේ....ඕකා දෙමටගොඩින් ගංජ ගහන්න පුරුදුවෙලා කොහොමහරි ගමට ගංජා ගෙනැත් ගමේ කොල්ලන්ටත් ගංජ උරන්න පුරුදු කෙරුවා....මම හිටපු පොඩිම එකා හින්ද මේකා මාව තමයි යවන්නෙ ගංජ ගේන්න.

පිස්සුද ඕයි මම මේ එනවුන්ස් කරන්නනෙ ඉන්නෙ....අදටවත් වෙනින් කවුරුහරි අල්ලගන්නවකො ඔය වැඩේට....

මොන නව නින්දාවක්ද....ක්ලීන් සූට් ගහගෙන ගංජ ගේන්න යනව කවුරුවත් දැක්කොත් එහෙම හතර විළිලැජ්ජාවයි.


 ආ තමුසෙට බෑ එහෙනං නේද....ඉන්නවකො බෝල ගහන උන්ට වතුර අදින්න දැම්මහම තමුසෙට තේරෙයි කියාපු දේ කළානං ඉවරයි කියල....

නොදකින්....සූට් ඇඳගෙන වතුර අදින්න පුළුවන්ද....

දෙනවකො එහෙනං බලන්න....

මම ඉක්මනට සත පනහත් අරං එතනින් පිටත්වුණා....

බඩ මුණයලගෙ වත්තෙන් පැනපුහාම ගංජ විකුණන ජිනදාසලගෙ ගෙදරට ලඟයි....මම දුව දුවගෙන ජිනාලගෙ ගෙදරට ගියා....

දවසක්දා මහ රෑ එකොළහට විතර කසිප්පු විකුණන තිලකයා මිටියක් හොයාගෙන ජිනදාසලගෙ ගෙදර ගිහින්....

කරුමෙට එවෙලෙ ජිනා පලංචිය උඩ ඉඳල තියෙන්නෙ....

ජිනයියේ....ජිනයියේ....

බඩු නෑ ඕයි....

ජිනා උඩ  ඉඳගෙනම උත්තර දෙනවා....

කම්මැලිකම නැතුව මිටියක් දෙනවකො ඕයි....මෙච්චර දුර ආපු එකටවත් මේ මහ රෑ....

ජිනාට මල පැන්න....කර කර හිටපු වැඩේ කරගන්නත් නෑනෙ....

හැම වේසිගෙ පුතාම එන එන වෙලාවට මම මුන්ට මිටිය දික්කරගෙන ඉන්න ඕනැ මෙතන....කරුමක්කාර බල්ලො....නෑ කිව්වට තේරෙන්නෙ නැද්ද යකෝ....

ගිලෙමින් හිටපු සොමියත් අමතක කරපු ජිනා තිලකයට ගෝලු ගත්ත....

වරකො @#$% පුතා ආයෙ කසිප්පු බොන්න වේස බල්ලට වහදාලයි කසිප්පු දෙන්නෙ හැඳිගෑවිලා යන්න....

නහුතෙට නැගපු තිලකයත් බැන බැන යන්න ගිහිං.

මම ආපහු එනකන් බලාගෙන හිටපු පෝටය මිටියත් උදුරගෙන වාෂ්ප වුණා....

ආපහු ඌරුමීය ළඟට ගියපු මම විස්තර ප්‍රචාරයට කන්දුන්නා....

ඔව් ක්‍රීඩාශීලී නරඹන්නෙනි....ගල්බොරැල්ල ප්‍රගති ක්‍රීඩා සමාජයත් සමගි ක්‍රීඩා සමාජයත් අතර හාපුරා කියා පැවැත්වෙන මහා එල්ලේ ගැටුම නරඹන්නට පැමිණි ඔබ සැම මා සාදරයෙන් පිළිගන්නා අතර....

ඌරුමීය කියාගෙන යනවා....වර්ණනා අයින් කරපුවාම කියපු දෙයක් නෑ.ඉනිමක් ඉවරවුණු වෙලාවෙ මටත් මයික් එක දුන්න ටිකකට....

සෙල්ලමත් ඉවරයිනෙ....මොනව කියන්නද....

ඔව් ක්‍රීඩාශීලී නරඹන්නෙනි....පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා ගල්බොරැල්ල ප්‍රගති ක්‍රීඩා සමාජය තව සුලු මොහොතකින් පිටියට පිවිසීමට නියමිතයි...

 ඊට වැඩියෙ කියන්න දෙයක් නෑනෙ....වචන එන්නෙත් නෑ....මම ඉස්පීකර් ගෙනාපු මනුස්සය දිහෑ බලපුවාම මිනිහ මයික් එක නවත්තල අලි තැටියක් අරගෙන සිංදුවක් දැම්මා.

නිවේදකයෙක් හැටියට මගේ මඩු බැසීම සිද්දවුණේ ඔය විදියටයි.

ඊට පස්සෙ අපි රිටන් මැච් එකට කැළණියෙ ගියා....එතකොට නං එනවුන්ස් වලට ගියෙ මම විතරයි....ඒ පැත්තෙන් හිටියෙ විජේපාල, එයා නම් නිවේදනය විතරක් නෙවෙයි කවිත් කියනව....යන්තං වැඩේ තලාගන්න මට මොන කවිද.

ඊට පස්සෙ හැම අවුරුද්දකදිම පැවැත්වුණු එල්ලේ තරඟ වල ස්ථිර නිවේදකය වුණේ මම.

 නිවේදකයෙක් හැටියට ගමේ ජනප්‍රිය වෙමින් හිටිය කාලෙ රෙදිමෝලෙ රස්සාවට ඇවිත් පොඩි මහින්දලගෙ ගෙදර නැවතිල හිටපු ඩැනිස් මට කතාකළා ගමේ යන්න....ඩැනිස් කිව්වෙ නෙල්සන්ලගෙ අයියා....ඩැනිසන් නන්දසේන ද සිල්වා.

ඔන්න එක අලුත් අවුරුද්දක අපි ඩැනිස්ලගෙ ගමේ ඒ කියන්නෙ අලුත්ගම කලුවාමෝදර ගියා අවුරුදු උත්සවයක් අල්ලලා.

ඒ අවුරුදු උත්සවයෙ ප්‍රධාන අංගය උනේ මහා බයිසිකල් ධාවන තරඟය....කලුවාමෝදර ඉඳන් ගාල්ලට ගිහින් ගාල්ලෙන් හරවල ආපහු කලුවාමෝදරට එන එක තමා ගමන් මාර්ගය.

 සයිකල් රේස් එකට ඉස්සරහින් යන වාහනේ එනවුන්ස් කරගෙන යන්න ඩැනිස් මාවත් දැම්මා....එහෙනුත් නිවේදකයෙක් හිටිය ඔන්න ඔය කන්දෙ විහාරෙ පැත්තෙ කෙනෙක්....නම නං මට දැන් මතක නෑ.

සයිකල් රේස් එක ඇරඹුණා....අපි වාහනේ නැගල රේස් එකට ඉස්සරහින් පාර පාදාගෙන යනව....ගමේ පොර තමා එනවුන්ස් කරන්නෙ....ඔහොම දිගටම කතා කරගෙන ගිහින් සෙනග කවුරුවත් නැති පාලු හරියෙදි මයික් එක මට දීල මිනිහ විවේක ගන්නව.

මම කාට කතාකරන්නද....පැත්තකින් මූද අනික් පැත්තෙන් රේල් පාර....මූද අයිනෙ වැටකෙය ගස්....රේල් පාර අයිනෙ පොල් ගස්....ඒවට ඇහෙන්න තමා මට එනවුන්ස් කරන්න වෙලා තිබුණෙ.

 සෙනග ඉන්න කඩමණ්ඩියක් හරියට එනකොට ගමේ නිවේදකය මගෙන් මයික් එක උදුරගන්නව.

මුලු සයිකල් රේස් එක පුරාම ඔය වැඩේ තමයි උනේ.....ආපහු කලුවාමෝදරට ඇවිත් තරඟය ඉවරවෙන තැන ඉස්සරහින් පාර අයිනට කරල වාහනේ නතර කරපු ගමන්ම මේ මනුස්සය පාර පැත්තට කාර් එකේ දොර ඇරිය බහින්න.

පළවෙනියට ආපු රේස් කාරය දඩාං ගාල දොරේ හැප්පිලා වැටෙනකොට පස්සෙන් ආපු සයිකල් කාරයො ඔක්කොම දඩ දඩ ගාල අර මනුස්සයගෙ ඇඟේ හැප්පිල වැටුණා.

සෑහෙන ගාණකට තුවාලයි.

එදා ගුරුගෙයි උගෙ යාලුව දෙයියන්නෙවෙල මොහොමඩුයි කලුවාමෝදර ඇවිත් හිටියා....අවුරුදු උත්සවය ඉවරවෙලා කට්ටියටම කන්න බොන්න ගෙන්නෙව්වා මහාරාජා කියල ගමේම කෙනෙක්....ටුවරිසම් වලින්ම ලක්ෂපතියෙක් වුනු මනුස්සයෙක්.

පදමට ගහපු කට්ටිය රෑ වෙලා වැඩි හින්දා කන්න දීපු බුරියානි පාර්සලුත් අරගෙන ඩැනිස්ලගෙ ගෙදර යනව පයින්ම...

බීපු වෙලාවට නං ඩැනිස් වාත කෝච්චියක්....කාගෙ හරි එක්ක එල්ලෙන්නමයි බලන්නෙ.

ටිකක් දුර යද්දි ගුරුගෙ මොහොමඩ් එක්ක මොකක්ද කතාවක් ඇතිකරගත්තා....ඩැනිස්ට ඒ ඇති....

තමුසෙ කොහොමද මගෙ ගෙදරට ආපු එකාට බනින්නෙ....තමුසෙත් එක්ක ආපු එක ඇත්ත.... නමුත් දැන් ඌ ඉන්නෙ මගෙ ගමේනෙ....

ඩැනිස් ගුරාට පලු පැලෙන්න බනිනවා....රණ්ඩුව නැගලම යද්දි ඩැනිස් අතේ තිබ්බ බුරියානි පාර්සලේ ඇළට වීසිකරල....

තොපිට කන්න දීපු එකත් වැරදියි....

කියල අරුන්ගෙ අතේ තිබුණු පාර්සල් ටිකත් අරගෙන ඇළට වීසිකළා...

 මම පැත්තකට වෙලා හිටිය මගෙ පාර්සලේ බේරගන්න....කොහෙද

දීපං ඕකත් .....

මගෙ බුරියානි පාර්සලෙත් ඇළේ....

ඇළේ හිටිය මාලුන්ට එදා රෑ සුපිරි භෝජන සංග්‍රහයක් ලැබෙන්න ඇති...  

දැන් ගෙදර ගිය ගමන්ම මං තොපේ ඇඳුම් ටිකත් එළියට වීසිකරනව....ඕනැ මඟුලක පළයව්....

බලු බැණුම් ඉවරයක් නෑ....

ගෙදර ආපු ගමන් ඇඳට වැටුණු ඩැනිස් බනිමින්ම නින්දට වැටුණා....

අපිත් වැටුණු වැටුණු තැන්වල බඩගින්නෙම නිදාගත්ත.

පහුවදා උදෙන්ම ඇහැරුණු ඩැනිස්....
 
හා හා ඉක්මනට මූණකට හෝදගෙන ලෑස්ති වෙයල්ලා මොනවහරි කන්න යන්න....හරිම බඩගිනියි කොහෙද ඊයෙ රෑට කන්නවත් හම්බවුනායැ....
 
ඔක්කොමල වෑන් එකේ දාගෙන ටවුමට එක්ක ගිහින් කන්න අරගෙන දුන්නා....
 
ඊයෙ වෙච්චි වැඩේ අමතක කරපල්ල....ගමේ වැඩක්නෙ.

අවුරුදු උත්සව ගැන කියන්න බැරි වුණානෙ....මොනව කරන්නද ආයෙ දවසක කියන්නම්.

38 comments:

  1. ව්‍යංගාර්ථ කතා එහෙම ඩිංගක් වෙලා ගියාමයි තේරුණේ මට .


    \\අවුරුදු උත්සව ගැන කියන්න බැරි වුණානෙ....මොනව කරන්නද ආයෙ දවසක කියන්නම්.\\

    අවුලක් නැහැ ලොකු අයියේ තව අවුරුද්දක්ම තියෙනවනේ ..:P

    ReplyDelete
    Replies
    1. ටිකක් වෙලා ගිහින් හරි කතා ටික තේරුම් ගත්ත එක වැදගත්,කොහොමත් ඒ කතා ටික ලියන්නම් අවුරුද්දක් යන්න ඉස්සරවෙලා.
      ඔබ ආපහු යථා තත්වයට පැමිණිලා ඇතැයි සිතනවා....සතුටුයි,ජයවේවා

      Delete
    2. \\\ඔබ ආපහු යථා තත්වයට පැමිණිලා ඇතැයි සිතනවා...///


      මට එක පාරට තේරුණේ නැහැනේ ලොකු අය්යේ .?

      Delete
    3. නෑ පහුගිය දවස්වල ඔබ පොඩ්ඩක් සිත් තැවුලෙන් හිටිය කියල තිබුන නිසයි එහෙම ඇහුවෙ

      Delete
  2. නියම කතාව.ජිනය කොටේ ඉර ඉරා ඉද්දි වෙච්ච් සීන් එකට නම් දුකයි අෆ්පා.

    ReplyDelete
    Replies
    1. කාටද බං තද වෙන්නෙ නැත්තෙ,බැනල නිකං හිටිය ඇති.

      Delete
  3. හැලපෙ කතාවක් ලියන්න කියල පටං ගත්තම ඉවර කරන්නෙ කතා සරිත් සාගරයක් ලියලයි.. අර බයිසිකල් කරයොටික කාඩ් පැක් එකා වගෙ දඩ බඩ ගාල එකා පිට එකා වැටෙන එක විහිලුවක් නෙවෙයි ඒත් මට හිනාව නවත්තාගන්න බැරි උනේ ඒක මැවිල පෙනුන හින්දයි..

    ReplyDelete
    Replies
    1. හැලපයියයි රයියයියයි දෙන්නම එකයි... කියන්න පටන් ගන්න එක නෙවෙයි අන්තිමට කියලා තියෙන්නේ... හි හි

      Delete
    2. @සරත්,හිරූ
      ලියාගෙන යනකොට පරණ විස්තර එකින් එක මතක් වෙනව , නොලිව්වොත් අපරාදෙ කියල හිතෙන නිසා තමයි ලියන්නෙ ඒකෙ අප්සැට් එකක් නෑ නේද.

      Delete
    3. අපෝ නෑ... ඕනේ තරම් පරණ විස්තර ලියන්න... අපි එන්නම් කියවන්න... හි හි

      Delete
  4. අතීතයට එක්කගෙන ගියාට ගොඩක් ස්තුතියි හැලපේ.

    ReplyDelete
    Replies
    1. කතාව රස වින්දට ගොඩක් ස්තූතියි අයිලාස්.

      Delete
  5. හා හා ඉක්මනට මූණකට හෝදගෙන ලෑස්ති වෙයල්ලා මොනවහරි කන්න යන්න....හරිම බඩගිනියි කොහෙද ඊයෙ රෑට කන්නවත් හම්බවුනායැ....//

    ඒක තමයි දවසේ කතාව.

    ReplyDelete
    Replies
    1. එදා රෑත් වලිනෙ රාජ්,ඒක තමයි ලස්සනම වැඩේ.

      Delete
  6. 'මම කාට කතාකරන්නද....පැත්තකින් මූද අනික් පැත්තෙන් රේල් පාර....මූද අයිනෙ වැටකෙය ගස්....රේල් පාර අයිනෙ පොල් ගස්....ඒවට ඇහෙන්න තමා මට එනවුන්ස් කරන්න වෙලා තිබුණෙ'
    දෙන්න තිබුණනෙ ඒ වෙලාවට නියමෙට එනවුන්ස් එක. මොකද කුණුහරුප කිවුවත් කාටවත් ඇ‍හෙනවයෙ.

    අවුරුදු උත්සවෙ ගැන කියන්න තව කල් තියෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ ප්‍රසන්න,ඔන්න ඔහෙ හිමිහිට කියමු.

      Delete
  7. හැත්තැ ගනං වල හැලපයා තරුණයෙක් කිව්වම ඉතින් අපි නං තාත්තගේ දනිස්සෙවත් නැති කාලේ.....

    ReplyDelete
    Replies
    1. මයිය ඇවිත් කමෙන්ට් කරනකොට මම හිතුවෙ යමක් කමක් තේරෙන ලොකු කෙනෙක් කියල,කවුද දන්නෙ මයියා තාම සූප්පුවෙන් කිරිබොන, මලෙන් දාපු පවුඩර් කණේ පුරෝගෙන ඉන්න ළදරුවෙක් කියල.

      Delete
    2. හෙ හෙ යමක් කමක් තේරීම කෙසේ වෙතත් සූප්පුවෙන් කිරි බොන මලෙන් දාප පවුඩර් කනේ ගා ගත්ති සූට්ටං කොල්ලො තුන් දෙනෙක් නං මට ඉන්නවා ලොක්කා.....:)

      Delete
    3. බලපුවාම මයියත් නියම වැඩකාරයෙක්නෙ බොලේ,මට එකයි බොට තුනයි.

      Delete
  8. හැලපඅයියාගේ කතානම් මල් හතයි,පංකාදු පහයි.

    ReplyDelete
  9. මාත් ආසයි මෙහෙම ඔළුව හැරුනු හැරුනු අතේ ලියවෙච්චි කතාවල් කියවන්න...නියමයි අයියෙ..එහෙනම් පස්සෙ අවුරුදු කතාවත් ලියන්ඩකෝ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වෙනී,ඊළඟට වෙනී ඉල්ලපු කතාව ලියනව.

      Delete
  10. ගල් බොරැල්ල අපි හොඳට දන්නා පැත්තක් .ඇත්තටම හැලප ලගේ ගම මොකක්ද

    ReplyDelete
    Replies
    1. මමත් එහේ ඔය එල්ලේ ටීම් එක මැච් ගැහුවේ රබර් වත්තේ අද ඒ පිට්ටනිය නෑ. එතනින් තමයි සපුගස්කන්දට කෝච්චිය ගියේ. දෙසරයයිද කොහෙද ගියේ. දැන් රේල් පාරත් නෑ. කෝච්චිත් නෑ. අනේ මේ හැලපයත් ඒ කාළේ පීකරේ කාපු පොරක්නේ බලාන යනකොට. ඔය පැත්තේ රස කතා සාගරයයි. ඒත් හැලපයා වගේ රහට ලියන්න බෑනේ....

      Delete
    2. ඇත්තටම බින්දි අපි ගල්බොරැල්ල ළඟ පාතකවත් නෙවෙයි,දන්න කරන කට්ටිය එහෙ හිටපු නිසා එල්ලෙ මැච් ගහන්න ගත්තෙ.
      මම හිතාගෙන හිටියෙ බින්දි රජරට පැත්තෙය කියල.

      Delete
  11. Replies
    1. මම දැක්ක මගෙ කතා ඔක්කොම කියවල කමෙන්ට් කරල තියනව,හැම තැනකටම ගිහින් උත්තර දාන්න බැරිවුණත් ඔක්කොටොම මෙතනදි ස්තූති කරන්නම්,දිගටම එන්න.

      Delete
  12. අත්දැකීම් ගොඩක්!!! දුවගෙන ආවේ ඒ කාලේ අවුරුදු උත්සවයක් බලන්ටනේ ...හී හී...

    ReplyDelete
    Replies
    1. අවුරුදු උත්සව ගැනත් ලියන්නම් පොඩ්ඩියෙ,ඊළඟට අර පොඩ්ඩි අහපු දේ ගැන පෝස්ට් එක දානව.

      Delete
  13. ගල්බොරැල්ලේ එල්ලේ මැච් බලන්න අපිත් යනවා. පාසිහේනේ අපේ බාප්පා කෙනෙක් උන්නා. ඒ කාළේ පොඩි ෆියට් එකකුත් තිබුනා. ඉතින් ඉරිදට එහේ පාටි. අපි ගොඩක්ම පොඩි නිසා. එල්ලේ මැච් බලන්න යනවා. රබර් වත්තේ ගහපු. ගෙවල් වලින් කැමති නෑ එල්ලේ මැච් බලන්න යනවට. ඒ නිසා භාගේ බයිසිකලෙන් හොරෙන් යන්නේ. අහුවුනොත් කියන්නේ පැරගන් බේකරියේ බනිස් කන්න ගියා කියලා. සමහර පාරවල් රබර් වත්තටත් යනවා. උඩ උඅන් කැච් අල්ලන් උන්. දුවන කොට උඩ පැනලා රවුම දුවන උන් ඒ කාළේ අපේ වීරයෝ. පාල කියලා එකෙක් මට හොඳට මතකයි. ඌ රවුම දුවන්න රුසියා. පස්සෙ කාළේ මමත් එල්ලේ ගැහුවා. ඒත් ගෙදරට හොරෙන්. අවුරුදු උත්සවේ හදිස්සියක් නෑ. තව අවුරුද්දක්ම තියෙනවනේ.

    ReplyDelete
    Replies
    1. කියවනකොටත් සුන්දරයි චිත්ත රූප මැවෙනව,මාතලන් දේශපාලනය ලිවිල්ල නවත්තපු දාට මේ කතා ටික ලියන්න.

      Delete
  14. //මගෙ ජීවිතේ පළවෙනි සහ එකම වතාවට පොර පොල් ගහනව දැක්කෙ එදා තමා.// එකම එක වතාවක් මාත් දැකල තියනවා...

    //දවස්වල ආණ්ඩුව පිටරටින් රෙදි ගෙන්නිල්ල තහනම් කරල තිබ්බ නිසා රටපුරාම තදබල රෙදි හිඟයක් පැවතුනා//

    ඒ කාලේ වුනු සිද්ධි ටිකක් මේ ලඟදි දවසක කිව්වා අපේ ඥාතියෙක්. දැන් නම් ඒවා අහද්දී හිනා යනවා.
    අර ජිනා ගේ කතාව මටත් මීටර් වුනේ පොඩ්ඩක් පහු වෙලා. :D

    පංකාදුයි පෝස්ට් එක.. අර කිව්වත් වගේ අවුරුදු උත්සවේම ඕන නෑ. ඔහොම කියාගෙන යං. ඒකත් වෙලාවට කියවෙයි එතකොට. මේ ක්‍රමේ අපි හම්බ වෙලා කතා කරනවා වගේ නේ. ඒ විදිහ හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දන අවුරුදු උත්සවේ නෙවෙයි අවුරුදු උත්සව ගැන ගොඩක් කතා තියනව,කොහොමින් කොහොමින් හරි ඒවත් ලියවෙයි හිතල නොලිව්වත්.

      Delete
  15. මචං හැලපේ. උඹ ගල් බො‍රැල්ල ගැන ඔච්චර දන්න එකේ සැමුවෙල් රොද්‍රිගෝ ගැනත් කියනන් දේවල් තියනවා ඇති නේද? කියාපංකො ලස්සන විස්තර ටිකක් අමාරිස් අයියා ගැනත්.

    ReplyDelete
    Replies
    1. මචං මම ගල්බොරැල්ලට ගියෙ මැච් ගහන්නයි,අමාරිස් අයිය ගැන විස්තර බින්දියි මාතලනුයි මට වඩා හොඳට දන්නව ඇති.

      Delete
  16. කතාව ඇතුලේ තවත් කතා තුනක් විතර තියෙනවා.. ඒත් ලස්සනයි..

    ReplyDelete

ඔබේ අදහස්