Friday, April 12, 2013

49.අතීත මතක මංපෙත් දිගේ




අලුත් අවුරුද්දක් ලබද්දි ජීවිත මතක මංපෙත ඔස්සේ ගොඩාක් ඈතට යන්නට මට සිතුණා....සමහර මතකයන් සිතට නගාගත්තෙත් හරිම ආයාසයකින්....ගොඩක් මතක බොඳවුණු චිත්‍රයක් වාගේ....එහෙමත් නැත්නම් පරණ චිත්‍රපටයක හමගිය රූප පෙළක් වාගේ.

තියන සුලු මතකයවත් අමතක වෙන්න කලින් සටහන් කරල තියන්න උත්සාහ කරන්නෙ වැඩිකල් නොගිහින්ම මතක තියෙන ටිකත් අමතක වෙන්න ඉඩ තියෙන නිසා.

මගෙ මතකයන් ඔයාලට කොච්චර රසවත් වේවිද කියන එක මට ප්‍රශ්නාර්ථයක් වුණත් අතීත මතක මංපෙත්වල අතරමං වෙමින් මේ සටහන තබන්නේ හුදෙක්ම මගේ ආත්ම තෘප්තිය සඳහායි....කොහොමත් මගේ මතකයන් කියවන ඔබ ඔබේ මතකයන් තුළ අතරමං වන බව නම් මට විශ්වාසයි.

 මම පොඩිකාලෙ ගියේ අපේ ගමේ මිශ්‍ර කණිෂ්ඨ පාඨශාලාවට....ගෙදර ඉඳල හැතප්මකට පොඩ්ඩක් අඩු වැඩි වශයෙන් දුර තිබුණා....ඒ කාලෙ ගමේ දෙමව්පියන්ට දරුවන්ව ටවුමෙ ඉස්කොලවලටවත් ජනප්‍රිය පාසල්වලටවත් දාන උණක් තිබුනෙ නැති නිසා ගමේ ළමයි ගියෙ ගමේම ඉස්කෝලෙට.

ඉස්කෝලෙට තිබුණු දුර අපි ආවෙ ගියෙ පයින්.....එකම වෙලාවට පාරට බහින කොලු කෙලි රැළ ගුරු පාර දිගේ පෙළට වැටෙනව....අපි අලවත්ත පාර දිගේ ඉස්කෝලෙට යනකොට වෙළෙන් එහාගොඩේ ළමයි ඉස්කෝලෙට එන්නෙ ගමමැද පාරෙන්....ඒ කාලෙ වෙළ එගොඩ මෙගොඩ යාකරන පාර වැටිල තිබුණෙ නෑනෙ.

පාර කෙළවරටම යනකං එක පැත්තක විශාල අලවත්ත....අනික් පැත්තෙ ඇළ ඇලයි පාරයි අතරෙ බඩවැටිය....ඔය බඩවැටියෙ තමයි අපි ප්‍රියකරන ගඩාගෙඩි ජාති ඔක්කොම තිබුණෙ.

හරියටම දුරෙන් බාගයක් විතර යනකොට හම්බවෙන්නෙ කොහු මෝල....අපි යනකොටත් වැඩ පටන් අරගෙන.... ඇන්ජිමේ ලොකු රෝදෙ කැරකෙමින් බටය දිගේ බුම් බුම් ගාල දුම් වළලු ඉහළ යනව....පැත්තක රබර් සීට් එල්ලපු මඩුවකුත් තිබ්බා....එහා පැත්තෙ පොල්ලෙලි වල ....මට්ට වලෙන් එන ගඳට රබර් ගඳත් මිශ්‍ර වෙලා අමුතුම ගඳක් ආවෙ.....ඒත් එක්කම වේලෙන කොහු සුවඳත් එනව....දැන් වුණත් ඔය කොහු සුවඳ හරි රබර් සුවඳ හරි නහයට දැනෙන තැන්වල මම හිතින් ගොඩක් ඈත අතීතයට යනව.

කොහුමෝල ලඟ ඉඳල කනත්ත ගාවට යනතුරු පාර එකම කිරිසුදු වැල්ල.....වැල්ල කොච්චර ගණකමද කිව්වොත් පාගන බයිසිකලයක් එහෙම පැදගෙන යන්න බෑ එරිල නවතිනව....ඒ හරියෙ වැහි දවස්වලට උල්දිය දානව....උල්දියදාන වතුර ඔක්කොම පාරෙන් ගිහින් ඇළට වැටෙනව....ඔය කාලෙට අපට හරිම සතුටුයි....ඕනැකමින්ම වතුරෙ ගිහින් ඇඳුම් තෙමාගෙන තමා යන්නෙ.

ඉස්කෝලෙ ගොඩනැගිලි දෙකයි.....අටේ පන්තියට යනකල් තමයි පංති පැවැත්වුණේ....අටේ පන්තියෙ උන්නෙ අලි කොල්ලො කෙල්ලො...ඉන්ටවල් එකට කලින් අටේ පන්තියෙ කොල්ලො ගිහින් ළිඳෙන් වතුර ඇදල ලොකු කල්දේරම් දෙකක් පුරවනව....ඒව ඉන්ටවල් එකේ වතුර බොන්න එන ළමයින්ට බෙදල දෙන්න කෝප්ප අතින් ගත්තු කොල්ලො දෙන්නෙකුත් ඉන්නව....ඒ කියන්නෙ අපි කවදාවත් ඉස්කෝලෙට වතුර බෝතල් ගෙනිහිල්ල නෑ....ලොකු ඉස්කෝලෙදිත් ගිහින් ටැප් එකෙන් වතුර බිව්ව.

දවල්ට බනිස් ගෙඩියක් එක්ක කිරි වීදුරුවක්....කිරි හදන්න ආච්චි කෙනෙක් දවල්ට ඉස්කෝලෙට එනව...ඇමරිකන් ආධාර යටතේ ලැබෙන කෙයාර් කිරිපිටි කොට්ට සිමෙන්ති කොට්ට වගේ කාමරේක ගොඩගහල තියෙන්නෙ....ආච්චි ඔය කිරිපිටි දියකරල විශාල කල්දේරමක කිරි උණුකරනව....ඉන්ටවල් එකේ අපි පෝලිමේ ගිහින් සීනි හැන්දකුයි කිරි කෝප්පෙයි අරගන්නව....ගොඩක් ළමයි කරන්නෙ සීනි ටික කටේ දාගෙන කිරිකෝප්පෙ එහා වත්තෙ පඳුරක් මුලට වීසිකරනව.....කවුරුහරි ගුරුවරයෙක් බලාගෙන හිටියොත් තමා කවුරුත් කිරි බොන්නෙ.

 බනිස් ගේන්න පන්තියෙ කවුරුහරි එහා ගොඩනැගිල්ලට යනව....අපේ පන්තියෙන් යන්නෙ ටියුඩර්...ටියුඩර් අපේ ගමේ කොල්ලෙක් අපේ ගමේ කිව්වෙ අහළ පහළ ගම් ගණනාවකින්ම ඉස්කෝලෙට ළමයි ආපු නිසා...ටියුඩර් අපේ පන්තියෙ උනාට අපට ගොඩක් වැඩිමල්....අපි හෝඩියෙ ඉඳල තුනේ පන්තියට යනකම් ටියුඩර් පේල් වෙවී එකම පන්තියෙ හිටියා....තුනේ ඉඳන් පහේ පන්තියට යනකම් මම ටියුඩර්ව අරගෙන ගියා....පහෙන් පාස්වෙලා මම සෙන්ට්‍රල් එකට යනකොට ටියුඩර් ගෙදර ගියා...පස්සෙ කාලෙක අපේ ගමේ ප්‍රසිද්ධම කුකුල් හොරා වුණේ ටියුඩර්.....ඔච්චර යාලුව වෙලත් මේකා මම හදපු කුකුල්ලුත් හොරකම් කළානෙ.

පෙළක් දවස්වලට සේනානායක නෝන මහත්තය මාවයි ටියුඩර්වයි යවනව ගම් බිත්තර හොයාගෙන එන්න....අපි දෙන්න බිත්තරත් අරගෙන එන ගමන සමූපකාර කඩේට ටිකක් එහයින් පොඩි කඩ කෑල්ලක් දාගෙන හිටපු ආච්චි කෙනෙකුගෙ කඩේට රිංගනව ආප්ප කන්න....ඒ වෙලාවට ආච්චිගෙ වෙළඳාමත් ඉවරයි....ආච්චි අපි දෙන්නට ආප්පයි පැණි ආප්පයි කන්න දෙනව.....තේ කහට දෙකකුත් හදල බොන්න දීල.....

හා...දැන් පරිස්සමින් ඉස්කෝලෙට පලයල්ල පුතේ....

කියල පාරට බැහැල අපි යනකං බලාගෙන ඉන්නව.

ඉස්කෝලෙ ඇරිල ආපහු ගෙදර එන්ඩනං අපට කිසිම හදිස්සියක් නෑ....අලවත්තෙ කනත්ත ගාවින් හැරුණහම ඇළ අයිනෙ හැතැප්මක් විතර දිග බඩවැටියකුත් අනික් පැත්තෙ විශාල වත්තකුත් තියෙනකොට       කන්ඩ දේවල් හිඟයැ....    වෙරළු,පේර,ඇඹුල් පේර,කොහුකිරිල්ල,එරමිණිය,දං එතකොට වත්තෙ වැටේ තියෙන කටු අන්නාසි...ඔය කටු අන්නාසි පඳුරුවල තියෙන ඉදිච්ච ගෙඩිත් කඩාගෙන කනවනෙ....අම්මල එපා කියල තියෙන්නෙ ඒව කන්න කට වණවෙනව කියල කොහෙද කහපාටට ඉදිලා බැබලි බැබලි තියනකොට කාටද බලාන ඉන්න පුළුවන්.

ලොකු කොල්ලො පාර අයිනෙ ගස්වලට නැගල කුරුම්බ කඩනව...කඩපු කුරුම්බ ටික උං බොනව මිසක් කවදාවත් අපට දෙන්නෙ නෑ...ඉඳල හිටල කුරුම්බ බෑවක් අපට දික්කරනව...

ලොඳ හූරගෙන කාපියව්....කියල.

කනත්ත ළඟින් එනව කියනකොට ඔන්න මට තවත් කතාවත් මතක් වුණා.... අමතක වෙන්න කලින් ඒකත් ලියල තියන්නම්කො...

ඔය කනත්ත තිබුණෙ මහ අහීමාන පරිසරයක....ගෙයක් දොරක් ළඟපාතක නෑ...දැන්නෙ වටේටම ගෙවල් හැදිල තියෙන්නෙ...

අපි ඔය ඉස්කෝලෙන් අයින් වෙලත් ගොඩක් පස්සෙ කාලෙක ලකී කියල පොඩි හුරුබුහුටි කොල්ලෙක් ඉස්කෝලෙ හෝඩියෙ පන්තියට ඇතුල් වුණා....

ලකිය ඉස්කෝලෙ යද්දි උන්ගෙ තාත්ත සුගතදාස ඌට දුන්න අවවාදය තමයි...

කොල්ලො උඹ එහෙම දවල්ට ඔය කනත්ත පැත්තෙ තනියම යන්න එපා....ඕකෙ යක්කු ඉන්නව...

සුගතදාස ඇස්ගෙඩි දෙකත් ලොඩි කරගෙන මූට කිව්ව...

ලකිය පහුවදා දවල් ඉස්කෝලෙ ඇරිල කනත්ත ළඟට ගිහින් බලාගෙන ඉඳල යක්කු එනකං....

 ආපු යකෙක් නෑනෙ...ලකී අර පරණ මිනී වලක් උඩ තිබුණු වේලිච්ච මල් රීඩ් එකකුත් අරගෙන ගෙදර ඇවිත් තියෙන්නෙ මල අතේ අරං.....

 ගෙදරට එනකොට සුගතදාස හාන්සි පුටුවෙ කකුල් දෙකත් උඩ තියාගෙන නිමිච්චි සුරුට්ටුවකුත් හප හපා ඉන්නවලු.....

අරං ආපු මල් රීඩ් එක මිදුලට දමල ගහපු ලකියා....

කෝ බොල කනත්තෙ ඉන්නව කියපු යක්කු.....මම මෙච්චර වෙලා බලාගෙන ඉඳල ආවෙ.....තෝ නං කොකෙක්ම තමා....

සුගතදාසට ගමේ කියන්නෙ කොකා කියල....

ආ මේකෙ කම්බි ටික හොඳයිනෙ බොල මට බුලත් වැල් බඳින්න..... කියල සුගතදාස මල් රීඩ් එකත් අරං වත්තට ගියාලු.

ඉස්කෝලෙ දුන්න බනිස් ගෙඩිය එච්චර ප්‍රමිතියකට තිබුණෙ නෑ....අපි බනිසෙ පොත්ත කාල මදෙන් කපුටන්ට ගහනව....බඩගින්නක් තිබුනොත් කොච්චි කඩාගෙන කොච්චිත් එක්ක බනිසෙ කනව....ඉස්කෝලෙ වත්තෙ ඕනැ තරම් කොච්චි මිරිස් තිබුණා..... එළවලු අල බතල ඉස්කෝලෙ වත්තෙම අපි වැව්වනෙ..පාරෙන් එහා පැත්තෙ දැන් පිට්ටනිය තියෙන කෑල්ලෙ මඤ්ඤොක්කයි බතලයි පැත්තක වවල අනික් පැත්තෙ බඩඉරිඟු වැව්ව.....අනික් පැත්තෙ පාර හරියෙ කංකුන්,මුකුණුවැන්න සාරණ වාගෙ පලා ජාති වැව්ව.....පුදුම පලදාවක්නෙ තිබුණෙ....අස්වැන්නත් අපටමයි වික්කෙ බොහොම පොඩි මුදලකට.

අඹ කාලෙට මගදිගට තියෙන අඹගස්වලට පොලු ගහල අඹ කඩනව...චීන කොට්ටං වාරෙටත් එහෙමයි....සාක්කු පුරෝල චීන කොට්ටං.....ගම මැද පාරෙන් එනකොටනං ඔය ගඩාගෙඩි ජාතියි කුරුම්බයි නෑ...පාර දෙපැත්තෙම ගෙවල්...ඒ පාරෙ යනවනං යන්නෙ කාගෙ හරි වත්තක තියෙන කොණ්ඩ ජම්බු හරි ලොවි හරි කඩන්න.

ඉඳල හිටල දවසක කට්ටිය කතාවෙනව....

අද යමුද නාරංවත්ත පාරෙන්......

නාරංවත්ත කියන්නෙ අලවත්තටත් වඩා විශාල වත්තක්...දෙවෙනි ලෝක යුද්දෙ කාලෙ ඔය වත්තෙ මිත්‍ර හමුදාවෙ ගුවන් හමුදා කඳවුරක් තිබිල තියෙනව...ඒ කාලෙ දාපු කොන්ක්‍රීට්,තාරපාරවල්,වතුර ටැංකිවල නෂ්ටාවශේෂ අපි ඉස්කෝලෙ ගිය කාලෙත් තිබුණා...නාරංවත්ත පාර කිව්වෙත් හොඳට තාර දාපු පාරක් නාරංවත්තෙ එහා කෙළවරේ ඉඳල අපේ ගම හරියට දාල තිබුණෙ....වත්ත නං ඒ කාලෙ කැලෑ වැහිල තිබ්බෙ...ඔය කැලේ දුරියං,වෙරළු,ජම්බෝල වාගෙ පළතුරු ගස් එහෙම තියෙනව...කැලේට රිංගුවොත් මොනව නමුත් කන්න දෙයක් හොයාගන්න පුළුවන්.

යුද්දෙ කාලෙ මිත්‍ර හමුදාවල භටයන්ට සෙල්ලම් කරන්න හදපු පිට්ටනියකුත් නාරංවත්තෙ තිබුණා....ඒ පැත්තෙ පිට්ටනි අතරින් මම දැකල තියෙන ඉතාම ඉහළ ප්‍රමිතියකට හදපු පිට්ටනිය තමා ඒක....ඒ වෙනකොට යුද්දෙ ඉවරවෙලා අවුරුදු තිස් ගාණක් ගතවෙලා තිබ්බත් පිට්ටනිය වල් වැහිල තිබුණෙ නෑ....ඒ කාලෙ හිටවපු තණකොළ පවා ඒ විදියටම තිබුණා....පස්සෙ කාලෙක අපි ඔය පිට්ටනියෙ සෙල්ලම් කරන්න පටන් ගත්තා....අවුරුදු උත්සවයකුත් පැවැත්තුවා....

හැත්තැ ගණංවල මුල් හරියෙ බණ්ඩාරනායක මැතිණිය ඔය වත්ත කෑලි කඩල ඉඩම් නැති අයට බෙදල දෙන්න පටන් ගත්ත....

මිනින්දෝරුවො ඉඩම මැනල කෑලි කඩාගෙන එනව....පිට්ටනියත් මැනල පර්චස් පහළොවේ විස්සෙ කෑලි ලකුණු කලා....

 මේක හරිම අපරාධයක්නෙ....එහෙම අපූරු පිට්ටනියක් ආයෙ ඒ අහළ පළාතක තිබුණෙ නෑ.

අපේ ඒ දවස්වල තිබුණු ක්‍රීඩා සමාජෙයි සිසිර ප්‍රජාමණ්ඩලෙයි එකතුවෙලා මේ වැඩේට විරුද්ධව කතාකළා...ඒ කාලෙ අපි හොඳ තරුණයොනෙ....සෑහෙන පරිශ්‍රමයකින් පස්සෙ පිට්ටනිය බෙදන්නෙ නැතුව බේරගන්න අපට පුළුවන් වුණා....ඒත් පර්චස් ගාණක් විතර අහිමි උනා.

අපි කාලයක් පිට්ටනියෙ සෙල්ලම් කළත් ගමේ ඉඳන් ටිකක් දුර නිසා පස්සෙදි සෙල්ලම් කිරිල්ල අතඇරුණ.

 ඊටත් පස්සෙ කාලෙක නාරංවත්තෙ පදිංචි වුණු අය පිට්ටනිය හදල එහෙම ඒ අයගෙ ක්‍රීඩා සමාජෙ නම ගහගත්ත....හැබැයි ඒ ගොල්ලන්ට නම ගහගන්න පිට්ටනිය බේරල දුන්නෙ අපි කියල ඒ අය දන්නෙ නෑ....අපි ස්තූතියක් නැති වැඩක් කළාට දැන් උනත් ඒ කරපු දේ ගැන අපට හරිම සතුටුයි.
 
ඉතිං ගම වටේම පඳුරු ටික තලා ගත්තනෙ....හිතුවට වඩා දික්වුණා...දැනට ඇති සෙන්ට්‍රල් එකට ගිය හැටියි ආපහු එමින් ගමන් ගස් නැගල කුරුම්බ කාපු හැටියි රිදි නැන්ද අපුල්ලන තොටුපොළේ නාපු හැටියි පස්සෙ දවසක කියන්නම්.

 ලැබුවාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද බ්ලොග් අවකාශයේ මගේ මිතුරු මිතුරියන් සියලුම දෙනාට ප්‍රීතියෙන් හා සතුටින් පිරුණු කිරිපැණි ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි ඉතා ආදරයෙන් පතමි.

41 comments:

  1. ඔව් ඔව් ඔක්කොම හැලප එක්දොහේ දිගෑරියාම කොහොමෙයි!

    මේ හතර වටෙන් ලැබුණු පලතුරු එක්ක ආයෙ අමුතුවෙන් විටමිං ගන්න උවමනාවක් එන්නේම නෑ නෙවද?

    කලවං ඉස්කෝලෙකටත් ගිහින් "සිහි වෙන විට තොල කටද තෙමේවී මා යනවා නංගෝ...." කියල කාටවත් කථා නොකල වගක් මතක මං පෙතේ නැති එක අඩුවක් වාගේ... :-)

    සුභ අලුත් අවුරුද්දක් හැලප කඩේ මහත්තය ඇතුලු පවුලේ හැමට
    නිදුක් නිරෝගී සුව ලැබෙන්න කියල ඕං පතනව!

    ReplyDelete
  2. හ්හ්ම්ම් ඒකත් එහෙමයි නේද තිස්ස.
    විප්‍රවාසයේ ගතකරන අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි ඉතා ආදරයෙන් ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  3. මොකද කිරි බොන්නේ නැතුව විසි කරන්නේ.. රස වෙනස් ද..?

    හැලප අයියගේ පවුලේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!

    ReplyDelete
    Replies
    1. ඒකට කියන්නෙ රස නැතිකම නෙවෙයි චන්දන,ගොන්කම කියලා

      Delete
  4. සුබ නව වසරක් වේවා හැලපයියේ මේ පැතුම ඔබේ පවුලේ සැමටම එක්කයි. මෙ පෝස්ටුව මටත් එක හා සමානයි. එත් මං වඩා කැමති මෙන්න මෙතෙන්ටයි.//නාරංවත්තෙ පදිංචි වුණු අය පිට්ටනිය හදල එහෙම ඒ අයගෙ ක්‍රීඩා සමාජෙ නම ගහගත්ත....හැබැයි ඒ ගොල්ලන්ට නම ගහගන්න පිට්ටනිය බේරල දුන්නෙ අපි කියල ඒ අය දන්නෙ නෑ....අපි ස්තූතියක් නැති වැඩක් කළාට දැන් උනත් ඒ කරපු දේ ගැන අපට හරිම සතුටුයි. //
    යාලුවෙක් හමුවුණා සුමිත් මායාදුන්න කියලා.

    ReplyDelete
    Replies
    1. නලීන් සුමිත් ගැන ලියවෙයි දෙසතිය ඊළඟ පෝස්ට් එකේ

      Delete
  5. යකෝ ඉක්කෝල බනිස්, එහෙම දීල තියෙන්නෙ අපෙ තාත්තල ඉක්කෝල යන කාලෙ. ඒ කියන්නෙ හැලපයියා නෙවෙ මූ හැලපසීයා..

    සියළු දෙනාට..අලුත් අවුරුද්ද සුභම සුභ වේවා...

    ReplyDelete
    Replies
    1. කෑ ගහන්න එපා සෑමො පොඩ්ඩක් ඔලුව කල්පනාකරල කතාකරපන්කො

      Delete
    2. ඇයි යකෝ ප්‍රේමදාස මහත්තය ඉන්නකොටත් කිරියි බනිසුයි දුන්නනෙ.

      Delete
    3. සිල් ගන්නට පන්සලට ගියත් අනුන්ගේ පැටිකිරිය සෙවීම, පුරාණයේ සිට පැවත එන හොඳ සිංහල සිරිතකි. එදා ගැමි ජීවිතය ගැන කතා කිරීමට මෙතරම් දේ ඇතත්, හැලපයියාගේ ‍තෝම්බුව ගැන විචිකිච්චාවක් ඇතිවුයේ ඒ නිසා යැයි සිතමි. :)

      සියළු දෙනාට..අලුත් අවුරුද්ද සුභම සුභ වේවා...

      Delete
  6. හැම රහම තියෙන මේ වගේ කථාවලට මන් නම් මනාපයි..79-87 මගේ ඕලෙවල් වෙනකම් ගිය ගමේ ඉස්කොලෙත් ඔය වගේ සිද්දීන්ගෙන් පිරිලා..අපිට තිබ්බෙ අතෑරලා තිබ්බ අක්කර ගනනාවක පරණ රබර් වත්තක් ඔය කියන ගඩාගෙඩි එක්ක..දං, මාදං, බෝටියා, වෙරළු....ගස් පිරිලා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වෙනී,බැලුවහම අපි ඔක්කොම එක වල්ලෙ පොල් වගේ.

      Delete
  7. පුංචි කාලේ ගත්තම නම් හැලපෙ, හැලපෙගෙයි අපෙයි ඒ තරම් වෙනසක් නෑ.

    අපි හෝඩියේ හිටපු කාලෙ ඔය කිරියි බනිසුයි තිබුණා වගේ මතකයි. හැබැයි හොඳට මතක ඇදිහැස බිස්කට් එක තමා.ඒ රසයට සමාන රසයක් තියෙන කිසිම බිස්කට් වර්ගයක් පසුකාලයේ දී හමුවුනේ නෑ.

    ගඳක් හෝ සුවඳක් ඔස්සේ මතකය අතීතයට යෑමේ සොඳුරු ‍අසනීපයනම් මටත් බොහොම තදේට තියෙනවා...

    කොහේ උන්නත් අපේ එකෙක්නෙ....හැලපෙටත් පවුලේ සැමටත් "සුබ අලුත් අවුරුද්දක් වේවා...."

    ReplyDelete
    Replies
    1. වෙනීට කියපු එකමයි ඔබටත් කියන්න තියෙන්නෙ සුමිත්.

      Delete
  8. ගමේ හැටි මැවිලා පෙනුනා හැලපේ.. ලස්සන විස්තරේ.

    හැලප කඩේ අපේ ආදර හැලපයියා
    කතා ගොඩක් රස කර කර දෙන දෙය්යා
    අලුත් අවුරුදුත් දැන් දැන් ළඟ එයා
    මේ නව වසරේ ඔබ හට කිරි ඉතිරේයා

    ReplyDelete
    Replies
    1. බැලුවහම අයිලාස් සුපිරි කවියෙක්නෙ ටොප් කවිය.
      ස්තූතියි ඔබටත්.

      Delete
  9. හැලප ඔබ මේ ලියල තියෙන 99%ක් වගේම අත් විදල තියෙනව.ඔබ වැනි කෙනෙක් තේරුම් ගත හැකි ලෙසටම රස බරව ලිව්වම සම වයසේ එව්වො සුන්දර අතීත මතක සටහන් අස්සෙ දියබුං ගහනවා.
    ලබන්නාවූ නව වසර ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට සුභ අවුරුද්දක් වේවායි පතමි...!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි,ඔබේ මතකයන් ඔබ නොලියන එක තමයි මට ඇති කණගාටුව.

      Delete
  10. මාර ගති...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔච්චරමද කියන්න තියෙන්නෙ රජෝ,ස්තූතියි.

      Delete
  11. දැංනං ඉතිං ඔය වගේ පරිසරයක් හොයන්න සෑහෙන්න අමාරුයි. ඇත්තටම ඔය වගේ ඉස්කෝල වල වගාකරන්න ඉගැන්නුවනං ඔය වගා සංග්‍රාම, අපි වවමු රට කමු වගේ ඒව අලුතෙං කරන්න ඕන නෑ.

    ලකියනං නියමෙට අවවාදෙ පිළි අරං තියෙනව ඒකනෙ යක්කු එනකං කනත්තට වෙලා බලා ඉඳල තියෙන්නෙ.

    හැලපයියටත්, පවුලේ සැමටත් ප්‍රීතිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ප්‍රසන්න බෝඩ් ගහගෙන වැව්වෙ නෑනෙ,වවන්න ඉගැන්නුව.
      ලකිය දැන් ත්‍රී වීල් එකක් එලවනව.

      Delete
  12. මෙන්න මේවා නියම ආත්ම කථන ලොකු අයියේ .
    ගොඩක් කැමති මම මේවට ..


    ( මේක ඔයාගේ ලිපි වලට අදාළ නැහැ ..අද ගොඩක්
    ආත්මකථන කියල කරන්නේ ප්‍රලාප කියැවීම ..තමන්ගේ
    මහන්තත්ත කම පෙන්නීම ..මොරටුවේ මිනිස්සුන්ට
    කොළ කඩල පෙන්නන්න එනවා වගේ වැඩ ඉතින් .
    කමෙන්ටුව පුංචි වෙන්නේ පෝස්ටුවේ සැර හොඳින්
    දැනෙන නිසා මිස අගයෙන් බාල නිසා එහෙම නෙවේ
    හොඳද ...?)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහන්,මට නම් ඉතින් කියවන්න තරම් ලොකුකම් නෑ.

      Delete
  13. ලස්සනයි....

    ReplyDelete
  14. http://sphotos-f.ak.fbcdn.net/hphotos-ak-prn1/535750_4036191322096_908010658_n.jpg

    ReplyDelete
  15. ජිවිතයේ කිසිමදාක මේ වගේ අත්දැකීමක්නම් මම ලබලා නැ.
    හැලප අයියගේ ජිවිත කථව උනත් එක රස විදින්න පුළුවන් උපරිමයෙන්ම.
    හැලප අයියාට,පවුලේ සැමට සුබම සුබ නව වසරක් වේවා...!!

    ReplyDelete
    Replies
    1. මනෝජ්ල මගේ කතා රසවිඳින එකම තමයි මගේ සතුට.

      Delete
  16. දැන් උඹත් බනිනවද ළමයින්ට කිරි බොන්න හොරයි කියලා?

    හැලපයා ඇතුලු පවුලේ හැම දෙනාටමත් සුභ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. උඹේ කමෙන්ට් එක ස්පෑම් එකේ තිබිල හොයාගත්ත,ඒක තමයි මචං අපිත් හරියට අර කකුළුවො වගේ නේද බං.

      Delete
  17. සිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ සියළු
    පැතුම් ඉටු වන බතින් බුලතින් සපිරුණු වාසනාවෙන් සපිරිණු
    නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා සහන්.

      Delete
  18. අලුත් අවුරුද්දේ හැලප කඩේ පැත්තේ ආවෙමි... ලැබූ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා...!!

    ReplyDelete
    Replies
    1. චන්දනගෙ පැමිණීමම සතුටක්,ඔබටත් එසේම වේවා.

      Delete
  19. හැලප පවුලට සුබ අලුත් අවුරුද්දක් වේවා...කමෙන්ට් එකක් දාන්ට ආයෙම එන්නම්.:)

    ReplyDelete
    Replies
    1. ආපු එක ගැන හරිම සතුටුයි පොඩ්ඩියෙ,ඔබටත් සුබ නව වසරක් වේවා.නොවැරදීම එන්න.

      Delete
  20. ඔබ ඇතුලු පවුලේ සැමටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
  21. අපි කාටවත්නොතිබුන ළමා කාලයක්.. තවත් සුපිරි පෝස්ටුවක්.
    ජය වේවා!

    ReplyDelete
  22. හැලප කඩේට ගොඩ වුනේ අදමයි. ආයෙත් එනවා. ඔබටත් කඩේටත් ජය!

    ReplyDelete
  23. හැලපයියලට කිරියි බනිසුයි දෙකම් හම්බු වෙලා .. අපිට නම් අර පස්සෙකාලෙක දුන්නු විස්කෝතු විතරයි ... ඉස්සර ඕව අරගෙන ඔට්ටුවට පෑන් ගහනවා අපි :)

    ReplyDelete

ඔබේ අදහස්