Wednesday, April 10, 2013

48.යුගයක කතාව





අපේ කුඹුරු තිබුණෙ වෙල්යායෙ හරි මැදට වෙන්න...චූටියලගෙ වත්ත පහළ ඒදණ්ඩෙන් නියරට ගොඩවෙලා ගස්වැටිය පහුකරල මහ නියරෙන් දකුණට හැරිල අඩි දහයක්වත් නෑ අපේ කුඹුරු කෑලි හතර... එතන වී බෙර තුනක වපසරිය.

වෙල ඉස්සරහම ඇළේ රිදි නැන්දා අපුල්ලන තොටුපොළ එතන ඇළ ගොඩක් පළලයි සුදු වැල්ල... ගොඩ පැත්තට වෙන්න හොඳට මැදිච්ච ලොකු කලුගලක් ඔලුවෙ රෙදිකෑල්ලකුත් බැඳගත්තු රිදිනැන්දා දවසෙන් වරුවක්ම ඔය ගලේ ගගහ රෙදි අපුල්ලනව දෝං දෝං ගාලා.

රිදිනැන්දලගෙ වත්ත පහළ තිබ්බ ඇල රිසිවේසමේ තමයි අපේ කමත තිබුණෙ....ඒ දවස්වල වැඩකළේ එක කන්නයක් නිසා අවුරුද්දෙන් මාස හයක්ම කමත වල් වැහිල තිබුණෙ....ගොයම් පැහෙනකොට කමත උදලුගාල සුද්ද කරනව...එතකොට නං රිදි නැන්දගෙ මනුස්සය වත්ත පහළට ඇවිත් අපිත් එක්ක කතා කර කර ඉන්නව....මිනිහ හරිම රසවතා...නිතරම විහිළුවක් කරගත්ත ගමන්.

දවසක් අපේ අයියව පෙන්නල කියනව මේ ළමයයි අපේ සෝමයයි වෑල්ඩිං කරල ගත්තොත් පාරෙ ලයිට් කණුවකට හිටවන්න පුලුවනි කියල....රිදි නැන්දගෙ ලොකු පුතා සෝමෙත් හරි උසයි මහ බඹා වාගෙ.

ආයෙ දවසක කියනව රිදි නැන්දත් එක්ක රණ්ඩුවෙලා කෝච්චියට පනින්න රේල් පාර ළඟටම ගියත් කකුලෙ තිබුනු තුවාලෙ හරියට රිදෙන හින්ද ආපහු ගෙදර ආව කියල.

බාල පුතා සිරිදාසට අකුරුත් කියල දෙනව...
අයන්න.....ලයන්න...
අයන්නයි ලයන්නයි මොකක්ද කියපං.....
සිරිදාසය බලාගෙන ඉන්නව...
අල යකෝ අල....
මයන්න....ලයන්න...
මයන්නයි ලයන්නයි මොකක්ද.....
කොල්ල සද්ද නෑ....
මල යකෝ මල...කියන්නෙ ඉතිං මල අතේ තියාගෙන...

රිදිනැන්ද අපේ ගමටම අපුල්ලන්නෙ කුලියකට මලියකට හෙම නෙවෙයි....හාල් පොල් තුනපහ තමා හම්බවෙන්නෙ.....ගෑණු දරුවෙක් වැඩිවිය පැමිණුනාම....මගුල් ගෙදරක වියන් බඳින්න සහ ජෝඩුවගෙ රෙද්ද පරීක්ෂාව ආදී වැඩවලට ගිහාම නං සල්ලිත් හම්බවෙනව.

හෝදල මැදපු විශාල රෙදි පොට්ටනියත් ඔලුවෙ තියාගෙන ගෙවල්වලට යන රිදිනැන්දා බෙදල දෙන්නෙ හෝදපු රෙදි විතරක් නෙවෙයි....ගමේම තියන ඕපාදූප ටිකත් බෙදලයි යන්නෙ...ගෙවල්වල ගෑණුත් හරි කැමතියි රිදිනැන්ද එනකොට... ඕපාදූප මල්ල ලෙහන නිසා....

ඉඳගනින්කො රිදිනැන්දෙ....

බංකුවකුත් ළංකරල දීල තේ කෝප්පෙකුත් හදල දෙනවා....තේ එක හෙමිහිට බීල විටකුත් කටේ දාගන්න රිදි නැන්දා ඕපාදූප කන්දක් අතාරිනව....අපේ අම්මට එහෙම ඕව ඉතිං කණේ මීපැණි වක්කරනව වගේ.....රිදි නැන්දත් කතාවෙ බරපතලකම අනුව උන්දැගෙ හඬ උස්පාත් කරනව....සමහර වෙලාවට බොහොම පහත් හඬින්...ආයෙම හඬ පිටනොකර කට හොල්ලනව විතරයි.

අම්මත් එක එක ඉරියව් වලින් කතාවට ඇහුම්කන් දෙනවා...පෙළක් වෙලාවට ඇස් ලොකු කරගෙන....ආයෙම කම්මුලේ අත තියාගෙන.

මම පොඩි එකා මට ඔය කතා මොකුත් තේරෙන්නෙ නෑනෙ....කෑම මේසෙ ලඟ තියෙන අම්මගෙ මහ පෙට්ටගම උඩට නැගගන්න මම දෙන්නගෙ කටවල් දිහා බලාගෙන ඉන්නව.

දවසක්දා රිදිනැන්ද ආපුවාම අම්ම කිව්ව..

ඉඳගනිං රිදිනැන්දේ.....

අනේ මැණිකේ ...ඉඳගන්න වෙලාවක් නෑ....ආපහු දුවන්නයි මේ ආවෙ...

කියල පටන්ගත්ත කතාව නතරකළේ පැය එකහමාරක් විතර හිටගෙනම කියවල....

අපේ ගේ තිබුණෙ වෙල ඉස්සරහින් කන්දක වාගෙ....වෙළෙන් එහා පැත්තෙ තිබුණු ගේත් කන්දක....ගෙවල් දෙක එකිනෙකට හොඳට පෙනෙනව...

දවසක්දා එගොඩගොඩේ ගෙදර මඟුල් ගෙයක්.....මනමාලියක් කැන්දන් යන්න ඇවිත් මොරටුවට.....එකම ගෝසාවයි...

මොරටුවෙන් ආපු අය අපේ ගමේ අය වගේ නෙවෙයි....හරි කළ එලියයි...විනෝදකාමියොනෙ.....සද්ද බද්ද අඩු නැතුව.

එහෙන් ආපු කාන්තාවො පිරිමිත් එක්ක හරි හරියට මිදුලට පැනල නැටුවෙ....

මොරටුවෙ අපි ....වෝ....වෝ... කිය කියා..

අපේ රිදි නැන්දත් රාජකාරි කරන්න ඔය මඟුල් ගෙදර ගිහින් ....අපේ අක්ක දැකල තියනව කවුද මනුස්සයෙක් රිදි නැන්දට වීදුරුවක් පුරෝල අරක්කු දුන්නම රිදි නැන්දා ඒක එක හුස්මට ගහල ඇරල...කට ඇඹුල් කරගෙන රෙද්දෙන් කටත් පිහ ගත්තලු.

අපේ ගෙවල් පැත්තෙන් ආපහු යන ගමන් අක්කට කියල...

ඔරෙංජං බාරලි වීදුරුවක් බිව්ව මැණිකේ...

 71 කැරැල්ලට සම්බන්ධ වෙච්චි  බාල පුතා සිරිදාස පොලිසියට ගෙනිච්ච වෙලාවෙ රිදිනැන්ද පොළොවෙ පස් කකා ඇඬුව....අපේ ගෙදර ඇවිත් අම්මත් එක්ක අඳෝනාව කියනව.

අනේ මැණිකේ තරහකාරයො මගෙ කොල්ලව පොලිසියට අල්ලල දුන්න..

කඳවුරක අවුරුද්දක්ද කොහෙද හිටපු කොල්ල ගෙදර ඇවිත් රස්සාවකටත් ගියා....හැබැයි පොලිසියෙදි ගහපුවයෙ ප්‍රතිපල සිරිදාසට ලැබුණෙ ඊට අවුරුදු දහයකට විතර පස්සෙයි..එතකොට මම ඉස්පිරිතාලෙ වැඩ.

දවසක් දා මම වැඩට යද්දි සිරිදාස මග රැකල හිටිය මාව අල්ලගන්න....

හුස්ම ගන්න අමාරුයි...පපුව රිදෙනව...අඩි දහයක් යන්න බෑ හැති...

මම මිනිහව ඉස්පිරිතාලෙට ගෙනිහිං බැලෙව්වා....පපුවෙ වතුර පිරිල....පස්සෙ පැත්තක් කපල බටයක් දාල වතුර ටික ඔක්කොම එළියට අරං බේත් දුන්න මාසයක් විතර ඉස්පිරිතාලෙ නවත්තගෙන.

ඔන්න ඔය කාලෙම තමයි වයලට් කියල රිදිනැන්දගෙ ඥාති දුවෙක් පවුලත් එක්කම ඇවිදින් ගෙයක් හදාගෙන ඒ වත්තෙම පදිංචි වුණේ....දරුවො තුන් දෙනෙක් හිටියත් ගෑනි බොහොම හැඩකාරයි....මනුස්සයටත් හරිහමන් රස්සාවක් නෑ...පස්සෙ පස්සෙ රෙදි ඇපිල්ලුවෙත් පොට්ටනිය ඔලුවෙ තියාගෙන ගෙවල්වලට ගියෙත් වයලට්.

හැම තිස්සෙම නැති බැරි අඩු පාඩු කියල ගෙවල්වලින් සල්ලි ඉල්ලගන්නව....ඔය වෙනකොට වයලට්ට තවත් ළමයෙක් ලැබෙන්න හිටියෙ.

 අපේ ගෙදර නැවතිල හිටිය තිලක් අයියටත් වයලට් ඇපිල්ලුවනෙ....ගෑණි තිලක් අයියගෙනුත් දුක් අඳෝනා කියල සල්ලි ඉල්ලනකොට තිලක් අයිය අහනව...

ඇයි වයලට් ඔච්චර කරදර අඩුපාඩු නං තවත් ළමයි හදන්නෙ....

අනේ කවුද තිලක් මහත්තයෝ ළමයි හැදුවෙ....

කියල තිලක් අය්යත් එක්ක අපූරු කතාවක් කියල තිබුණ......

ඔය වයලට්ලයි පාරෙම කෙනෙකුගෙ ඥාති පවුලක දරුවෙක් වැඩිවිය පත්වෙලා ඒ කටයුතු කරන්න වයලට්ව එක්ක ගිහිං.....ඔන්න ඔය පොල්ගහවෙලටත් එහා පැත්තෙ ගමක.

 උදේ වරුවෙම වයලට්ගෙ රාජකාරි ඉවරනෙ...කට්ටිය ඒ විසාල වතුයායෙ ඇවිදින්න ගිහිං.....වත්තෙ කෙළවරටම ගිය අර මනුස්සය....

ඇළෙන් එහා පැත්තෙ හොරට කසිප්පු පෙරන උන්ගෙ වාඩි තියෙනවා....යමුද බලන්න...
කියල වයලට්වත් එක්කරං කසිප්පු වාඩියකට රිංගල.....

මනුස්සයගෙ ග්‍රහණයට වයලට් මැදිවෙනකන් වෙන්නෙ මොනවද කියල වයලට්ටත් හැඟීමක් තිබිල නෑ....

අනේ....අත අරින්න මහත්තයො...පව්නෙ...

මොන පවක්ද බං....


ඒ හැඩිදැඩි ග්‍රහණයේ අමුතුම සුවයක් ඉවකල වයලට්....නිකං පුරුද්දට එපා කිව්ව මිසක් හදවතින්ම ඒ සුවය ප්‍රාර්ථනා කළා.

 හැඳ සිටි සළු පිළි සිථිල වෙනවාත් හැඩිදැඩි දෑතකට සිරවෙනවාත් ඇයට සිහිනෙන් මෙන් දැනුනා....

සිහි එළවා ගනිද්දී  දහඩිය පිරුණු පපුවක මුහුණ හොවා සිටියා ඇයට මතකයි.

වෙල් එළියෙන් හමන මද පවන ඔවුන් පසුකර හමාගියේ ගිණියම් සිරුරු නිවාලමින්....සිහිල් පවනත් ගත විඩාවත් ඇයව නිදිලොවට ඇදගත්තේ නිරායාසයෙන්....

ආපහු ඇවිත් මාස දෙකක් ගතවන්නටත් කලි වයලට් ගැබ්බර වුණා.

උඹට තියෙන කරදර මදිවටද තවත් ළමයි හදන්න ගත්තෙ....

රිදි නැන්දත් ගෝලු ගත්තේ වයලට්ට....

මට බනින්න එපා නැන්දේ....වයලට් රිදි නැන්දට කතාව ගෙඩි පිටින්ම කියල දුන්නා...

 රිදි නැන්දට හොඳටම කේන්ති ගියපු පාර ගේ ඉස්සරහ පාරෙ රැකල ඉඳල වැඩට යන්න ආපු වයලට්ගෙ මනමාලයව අල්ලගෙන හන්දුරුකං නැතිවෙන්නම දෙහිකැපුවා.....

මුන්නැහැ කොටහලු ගෙදරදි අපූරුවට රාජකාරි කොරල තියෙන්නෙ මේ අහිංසක කෙල්ලටනෙ....

ළමය වැදුවහම මම එඤ්ඤංකො කෙල්ලත් එක්ක මුන්නැහැලගෙ ගෙදර දරුවට පිටිකිරි ගන්ඩ කාසි අරං යන්ඩ.....

ඔය කතාව ආරංචි වුණු මනමාල මහත්තයගෙ පවුල ඇවිත් රිදි නැන්දත් එක්ක එල්ලිලා...රිදි නැන්දත් බැනල එක ගිණිකෙළියක් වුණා.

අන්තිමේදි සිද්ද වුණේ ඒ පැත්ත පළාතෙම අය කතාව දැනගත්තු එකයි....

වයලට්ට දරුව ලැබුණා....කෙල්ලක් කෙල්ලගෙ හැඩ හුරුකමත් වැඩ රාජකාරිත් තාත්තගෙ වාගෙමයි....දැන්නං ගොඩක් ලොකුයි...ඒ කෙල්ලගෙ වැඩ ගැන ලියනව නං කතාවක් නෙවෙයි පොතක් හරි ලියන්න පුළුවන්....ඒ හින්ද අපි ඒක අතෑරල දාමු.

රිදි නැන්ද මළාට පස්සෙ වයලටුත් ගමට රෙදි ඇපිල්ලිල්ල නවත්තල කොළඹ ගෙවල් කීපයක් අල්ලගෙන වැඩ කරන්න පටන්ගත්ත.

ඔන්න ඔය විදියට එක යුගයක අවසානය සනිටුහන් වුණා...ඉස්සර උදේ හවස ඔය නියරෙන් ගියපු අපි දැන් ඒ පැත්තෙන් වැරදිලාවත් යන්නෙ නෑ. 

දැන්නං මම හිතන්නෙ ඔය රෙදි ඇපිල්ලිල්ල කොහෙවත් නැතිව ඇති....කොහොම වුණත් එක යුගයක් නියෝජනය කරපු රිදි නැන්දා කියන චරිතය ඉටුකළ සමාජ මෙහෙවර ගැන නිසි අගැයීමක් මේ දක්වා කිසිකෙනෙක් අතින් සිදුවෙලා තියෙනව කියල මම නම් හිතන්නෙ නෑ.
 
ඔන්න ඉතිං ආවෙ කුඹුරු ගැන කියාගෙන....කිව්වෙ රිදි නැන්ද ගැන වටේ ගියානෙ මං මොනව කරන්නද...කොහොමත් මේ කතාවත් මම ලියන්න හිටපු එකක්නෙ...කුඹුරු කිරිල්ල ගැන ආයෙ දවසක ලියන්නම්කො...තරහ වෙන්න එපා.

50 comments:

  1. ගැමි කතාවක්, ගැමි වහරෙන් හිත ඇදගන්නා විදියට ලියලා.

    //අපේ කුඹුරු තිබුණෙ වෙල්යායෙ හරි මැදට වෙන්න...චූටියලගෙ වත්ත පහළ ඒදණ්ඩෙන් නියරට ගොඩවෙලා ගස්වැටිය පහුකරල මහ නියරෙන් දකුණට හැරිල අඩි දහයක්වත් නෑ අපේ කුඹුරු කෑලි හතර... එතන වී බෙර තුනක වපසරිය.//

    මම තාම මේ චිත්‍රය හිතේ අඳිනවා.

    ගොඩක් ප්‍රශ්නත් හිතට ආවා. 'වෙල, කුඹුර ' කියන්නේ එකම තේරුම නේද? මහ නියර කියන්නේ මොකක්ද? චූටි නියරවලුත් තියනවද? වී බෙර තුනක කීවාම, බෙර තුනක් වීවලින් පිරිලා පේනවා.:)

    //අපේ ගෙදර නැවතිල හිටිය තිලක් අයියටත් වයලට් ඇපිල්ලුවනෙ.//

    උපහාසය එක්ක හාස්‍යය!!! බොහොම අපූරුවට ඉදිරිපත් කරලා.

    // හැඳ සිටි සළු පිළි සිථිල වෙනවාත් හැඩිදැඩි දෑතකට සිරවෙනවාත් ඇයට සිහිනෙන් මෙන් දැනුනා....

    සිහි එළවා ගනිද්දී දහඩිය පිරුණු පපුවක මුහුණ හොවා සිටියා ඇයට මතකයි.//

    වචනවලින් මොන තරම චිත්ත රූප මවන්ට පුලුවන්ද කියලා හිතුනා මේ ටික දැක්කාම.

    කෙටියෙන් කීවොත් ලස්සන කතාව හැලපයෝ.

    ReplyDelete
    Replies
    1. "වී බෙර" කියන්නේ මොකක්ද කියලයි මාත් කල්පනා කලේ.. පොඩ්ඩක් හොයද්දි මේ විස්තරය හම්බ වුනා. හැලප අයියා උත්තර දෙන කල් බලන්නකො. :)

      සිංහල මඩ ඉඩම් මිනුම් ක්‍රමය

      වෙල කියන්නේ සම්පූර්ණ කුඹුරු යාය. කුඹුර කියන්නේ එක එක කෙනාට අයිති කොටස්. මහ නියර කියන්නේ පාරක් විදිහට පාවිච්චි කරන, වෙල මැදින් වැටිලා තියන නියර. අනෙක් ඒවායේ යන්නේ කුඹුරේ වැඩක් කරන වෙලාවට විතරයි.

      මං හරි ද හැලප අයියේ.

      Delete
    2. පොඩ්ඩිගෙ කමෙන්ට් එක දැක්කම උදේට කෑවා වගේ බඩ පිරුණා.
      වෙල හෝ වෙල් යාය කියාන්නෙ කුඹුරු ගොඩකට.
      මහ නියර කියන්නෙ වෙල මැදින් හෝ අයිනෙන් ඇති ලොකු නියර,ඒ නියර හැමෝම පාවිච්චි කරනව,එතකොට වෙල මැද ඇති පොඩි නියරවල් කුඹුරු බෙදා වෙන්කරන්නටත් තමන්ගේ කුඹුරට යන්නටත් පාවිච්චි කරනව.වී බෙරයක් යනුවෙන් වී ලාස් පහක් හැඳින්වෙනවා,ලාහ කියන්නෙ වී මැනීමේ උපකරණයක් සමහර පළාත්වල කුරුණිය කියලත් හැඳින්වෙනව.

      Delete
    3. හරි චන්දන ගොඩාක් ස්තූතියි මම වෙනුවෙන් විස්තරයක් ඉදිරිපත් කිරීම ගැන,ගොඩක් මහන්සිවෙලා.

      Delete
  2. එදා රෙදි නැන්දා නිවසට ආ විට පුටුවක වාඩි නොවීම ගැන දෙමාපියන් සමග කතා කරන්නට, එ සිරිත වෙනස් කරන්නට තරම් අපට දැනුමක් තේරුමක් නොතිබුනේ ඇයි?

    ReplyDelete
    Replies
    1. අපි ඒකාලෙ ඔය කාරණාව ගැන සවිඤ්ඤානක නොවුනේ ඇයි කියල මටත් තියෙන්නෙ ප්‍රශ්නාර්ථයක් කකා.

      Delete
  3. හැලපෙ දැං දිගටම ලියනවා, ඒක හොඳයි. කියන්න බොහෝ දේ තියනවා, වැඩට ගිහින් ඇවිත් ලියඤ්ඤං.

    අර වයලට්ගෙ දුවගෙ කතාවත් ලියනවද? ඒකත් මේ වගේම අපූරු කතාවක් වෙන්ටෑ?

    ReplyDelete
    Replies
    1. කියන්න තිබුණදේ මේ අනිත් අය කොමෙන්ට් වල ලියල තියෙන්නෙ :)
      රජ්ක, කුඹල්, රොඩී වගේ එදා අඩු යැයි සැලකූ කුලවල අය කොහොමත් ලස්සනයි. සමාජයෙන් කොන් කරාවි යන බයටද මන්දා, වෙනත් අය ඒ අයගෙන් කෙනෙක්ව කරකරෙට ගත්තා කියල නං අහල නෑ. ඒත් කො‍ටු පැනිලි, ගම්වල කුලීනයන්ගේ අයුතු බලපෑම් ගැන කතා නං අහල තියනවා. ඒ නිසා එදා ගම්වල තිබ්බයි කියන, සාධාරණ සමාජය ගැන කතා නං ප්‍රශ්ණයක්.

      Delete
    2. කෝ මම හිතුව ලොකු විවරණයක් කරයි කියල

      Delete
    3. මම දැනං හිටියෙ නෑනෙ පැලපෙ දීර්ඝ විවරණ වලට කැමතියි කියලා :)

      එදා ගම්වල තිබ්බ , කුල භේදයට විරුද්ධව කවුරුවත් කතා නොකිරීම ගැන නං මට උත්තරයක් තියනවා. අසාධාරණයක් උනත්, ඒක සමාජ සම්මතයක් වුනාම, එය ගැන බරපතල ගැඟීමක් ඇති වෙන්නෙ නෑ වගේම පිලිගත් සමාජ සම්මත වලට එරෙහි වීම එතරම් ලේසිත් නෑ. හැබැයි, පොඩි වරදකාරී හැඟීමක් තියෙන්න ඇති. බාග වෙලාවට, අර "නැන්දා" කෑල්ල වලිගෙට එල්ලුවෙත්, රෙදි නැන්දා , "රිදි නැන්දා" වුනෙත් ඒ නිසා වෙන්නත් ඇති :)

      මට නං,කතාවෙ හොඳම හරිය "පඳුරු තැලිල්ලයි." ඒකෙන් කතාවට අමුතුම රසයක් එනවා වගේම, කියවන්නාගෙ හිතේ විචිත්‍ර රූප පෙලක් මැවෙනවා. මැසිමට රෙදිටික දාලා බලන් ඉන්න එකත් මල වදයක් විදිහට හිතෙන මට, රෙදි නැන්දා ගැන ඇතිවෙන්නෙ කණගා‍ටුවක්. අද රෙදි නැන්දාගෙ "ජංගම ප්‍රවෘත්ති සේවය" , ටැබ්ලොයිඩ් පත්තරත්, රෙදි සේදිල්ල ලොන්ඩරිත් බාර අරං, කාළය මැව් වෙනසක අරුමේ.....

      Delete
    4. අන්න හරි ඔය තියෙන්නෙ.....ඔහොම තමයි ලියන්න ඕනැ....ජයවේවා මගෙ පොඩි ඇනෝ.

      Delete
    5. මමත් කල්පනා කලා ඇයි රෙදි නැන්දා නොකියා රිදි නැන්දා කිව්වේ කියලා.

      ඇත්තෙන්ම මේ ඇනෝගෙ මතය මගේ මතයට සමාණයි.

      එකම වෙනස ඇනෝ, අද රෙදි නැන්දාගෙ "ජංගම ප්‍රවෘත්ති සේවය" , ටැබ්ලොයිඩ් පත්තරත්, රෙදි සේදිල්ල ලොන්ඩරිත් බාර අරං, කිව්ව කොටසේ රෙදි සේදිල්ල ලොන්ඩරියට නෙවෙයි ප්‍රධාන ජන මාධ්‍ය බාර අරන් කිව්ව නම් වඩා හරි.

      Delete
    6. @Henry Blogwalker
      //රෙදි සේදිල්ල ලොන්ඩරියට නෙවෙයි ප්‍රධාන ජන මාධ්‍ය බාර අරන//

      :D :D

      Delete
  4. මැවිලා පේන ලෙසටම ලියල.
    වයලට් රොසන්ට වගේම නරක නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. ඔතන නරක කියන වචනෙ වෙනුවට අපි වෙනත් වචනයක් පාවිච්චි කරමුද කෙන්ජියො.

      Delete
    2. ඉතිං හැලපට නරක කියන වචනෙට ඔච්චර ඩෝන් ගියානම් එයාල දෙන්න ගොඩාක් හොදයි,කරපු අපි නරකයි කියල ගොඩින් බේරගමු අලිද??

      Delete
  5. ඇත්තටම ඉස්සර ලස්සන ගෑණීයෙක්ට බේරිලා ඉන්න තිබ්බෙම නැද්ද මන්දා.. කලින් රොසෙන්ටා, දැන් වයලට්....

    ඇත්තටම මගේ හිතේ නම් දුකක් නෑ රෙදි නැන්දා, රිදී නැන්දා කියන චරිතය අපේ සමාජයෙන් නැති වෙලා ගිය එකට... එක අතකින් ඒක අපේ සමාජයේ තියෙන පහත් මානසිකත්වයෙන් හැදිච්ච කුල බේදය ලෝකෙට හොඳට පෙන්නන තැනක්.. අනිත් එක ඔය රිදී නැත්දගේ රාජකාරි ටික.. කොටහලු ගෙවල්, ජෝඩුවගේ රෙද්ද බැලිල්ල වගේ දේවල් අනවශ්‍ය, මේ සමාජයෙන් අයින් කළ යුතු සම්ප්‍රදායන් කියලා මම හිතන්නේ... ඒවා නැතිවෙලා යන්නත් ඔය චරිනය මේ සමාජයෙන් නැති වෙච්ච එකත් එක හේතුවක් කියලා මං හිතනවා...

    මට අහන්න හිතුනේ, ගමේ හැමෝම වයස් බේදයක් නැතුව කතා කළේ රීදි නැන්දා කියලද...? සාමාන්‍යයෙන් ගම්වල කතා කරන්නේ මාමා, නැන්දා, අක්කා, අයියා වගේ වයසට අනුව නෑකමක් දාලනේ නෑයෙක් නොවෙන කෙනෙකුට උනත්.. ඒත් ළමයි කියන්නෙත් රීදි නැන්දා කියලා, ළමයගේ අම්මා කියන්නෙත් රීදි නෑන්දා කියලද...

    ReplyDelete
    Replies
    1. දැනුත් ලස්සන ගෑනියෙකුට බේරිලා ඉන්න බෑ තමයි.. වයසක ආච්චිලාත් දූශනය කරන අපේ රටේ..

      Delete
    2. ඒක නම් ඇත්ත සරත් අයියේ...

      Delete
    3. ඉස්සර කාලේ ගැහැණියට වස විෂ නැති කෑමත්,ශරීරයට හොද ව්‍යායාමයත් ලැබුන.එහෙම ගැහැණිය නිතරම බලාපොරොත්තු උනා තම සැමියාගෙන් යටිබඩ කොරවෙන රාත්‍රී කෑමක්.කොහෙද සම හරක් කන් වැට කඩොල්ලෙ පටලවාගෙන ඇවිල්ල පිලේම වැටිල නිදිනෙ ගොරෝද්දෙ ඇද ඇද.එකා ඇහැරෙන්නෙ පාන්දර 4.30ට විතර උගුර කට වේලිලිල වතුර තිබහට.එතකොට අල්ලපු ගෙදර සෝමය වයිපරේට යටි බඩ කොරවෙන්නම කන්න දීල ගිය සනීපෙට ඇය සුව නින්දේ.

      Delete
    4. හිරූ ඒක සාපේක්ෂයි,රිදි නැන්දා කියන සංකල්පය අපේ සංස්කෘතියට අවශ්‍ය අංගයක් ඒ වාගෙම ඔවුන්ට ඇති පහත් සැළකීම නිසා දැන් වඳවී ගොස් ඇති චරිතයක්.
      ඔව් ගමේ ඔක්කොම ඇයට රිදි නැන්දා කිව්වෙ ඇයගෙ ස්වාමියා හේනෙ මාමා ඔබ කිව්ව වගේ අම්මත් රිදි නැන්දා කියනකොට දරුවත් ඇයට කිව්වෙ රිදි නැන්දා කියලයි.

      Delete
    5. ඊට පස්සෙ ගෑණිට කිට්ටු කළාම ඒකි පයින් අයිනව නේද කෙන්ජියො.

      Delete
    6. කෑමේ සැරට ඒකී පය උස්සන්නෙ කොහෙද හැලපේ කේතලේ ලිප තියා ඇවිල්ල මගේ කොන්ද ටිකක් අත ගහං කියනව මිසක්ක.

      Delete
    7. අම්මප මේ කෙන්ජිය ව කොටියම කාපිය ::D

      Delete
  6. //වී බෙර තුනක වපසරිය.//

    වී බෙර කියක කතාව අහුවේම අදයි, වී බෙරයක් කියන්නේ කොපමණක්ද හැලපේ?

    අපෙන් පස්සේ පරම්පරාවට රිදී නැන්දා කියන චරිතය හමු උනේ නැහැ. ඇත්තටම මම හිතන්නේ හැම ගමකම හිටපු අපුරු චරිතයක් තමයි රිදී නැන්දා .

    ReplyDelete
    Replies
    1. අයිලාස් වී බෙරයක් කියන්නෙ ලාස් පහක්.ඔබ දන්නව නේද ලාහ කියන වී මැනීමේ උපකරණය,සමහර පළාත්වල කුරුණිය කියලත් කියනව.

      Delete
  7. අපේ පැත්තෙ රිදි නැන්දගෙ මහත්තයට කිවුවෙ හේනේ මමා කියලයි..බලන්න අපේ මිනිස්සු නැන්ද මාම කියල කතා කලෙ තමුන්ගෙ රෙදි හෝදපු මනුස්සයටත්.. පහු පරම්පරාවලදී ඩෝබියා කියලා අපහාස කරපු මිනිස්සු හිටියා. ඔන්න ඔහොමයි දියුණුව මනුස්සකම් නැති කලේ..

    ReplyDelete
    Replies
    1. ඩෝබි කියන්නේ මං හිතන විදියට දෙමල වචනයක් වෙන්න ඕ‌ෙන්... මං දෙමල ෆිල්ම් වල අහලා තියෙනවා ඔය වචනේ.. එහෙම නම් මේක අපේ අය අපහාසයක් විදියට පාවිච්චි කළාට ඇත්තටම මේක ඒ වෘත්තියට කියන නම වෙන්න ඕනේ...

      මතකද අර සක්කිලි කියන කතාව... මේක අපේ තාත්තා තමයි කිව්වේ ... නගරබදව වැසිකිලි පිරිසිදු කරන්න යොදවපු අය සක්කිලි කියන දෙමල සංක්‍රමණිකයෝ පිරිසක් උනත් අර එයාලා කරපු වෘත්තිය නිසා අදටත් ඒ වචනේ පාවිච්චි වෙන්නේ කෙනෙක්ට අවමානයක්, අපහාසයක් විදියට... ඉස්සර කොට කලසම් ඇන්දේ නෑ ලු අනිත් කිසි කෙනෙක්.. මොකද ඒ වැසිකිලි පිරිසිදු කරපු අය ඇන්දේ කොට කලසම් නිසා...

      Delete
    2. ඒක තමා සරත් ඒ පරම්පරාව වඳවෙලා ගියේ.

      Delete
  8. ඉස්සර මේ පැත්තෙත් රෙදි අපුල්ලන කට්ටිය හිටියට දැං නං නෑ වගෙයි.
    විස්තරේ මැවිල පේන විදියට කතාව ලියල තියෙනව.

    'ඔරෙංජං බාරලි වීදුරුවක් බිව්ව මැණිකේ...' හැලපයත් ඔහොමද දන්නෑ ඉස්සර බොනකොට. :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න,අනේ බං මම ඒ කාලෙ පොඩි කොලුව නොවැ

      Delete
  9. රෙදි නැන්දල හේනෙ මාමල දැං නං වඳවෙලා. ඉස්සර නැතුවම බැරි උදවියනේ. මම කැමති හෝදල ගෙනාපු රෙදිවල තියන සුවඳට.

    ReplyDelete
    Replies
    1. මාත් හරිම මනාපයි රාජ් ඒ සුවඳට,ඔබ මතක් කලාම මට ඒ සුවඳ දැනෙනවා වගේ

      Delete
  10. ලස්සනයි හැලප යියේ ස්ටොරි එක.
    කියනවනකොට චිත්‍රරුප මැවිලා පේනවා.

    ReplyDelete
  11. පට්ට කතාව හැලපයියේ. මං කැමති මෙන්න මේ ටයිප් එකේ ඒවාට. මේ පෝස්ට් එක කියවද්දී මතක් වුනා සෑහෙන කාලෙකට කලින් කියවපු, රෙදි නැන්දලා ගැන කියවෙන නවකතාවක්. ඒකෙ නම මතක නෑනේ.

    ReplyDelete
    Replies
    1. ළඟදිම ආපු කතාව තමයි සෙංකොට්ටං

      Delete
  12. \\\හැඳ සිටි සළු පිළි සිථිල වෙනවාත් හැඩිදැඩි දෑතකට සිරවෙනවාත් ඇයට සිහිනෙන් මෙන් දැනුනා....

    සිහි එළවා ගනිද්දී දහඩිය පිරුණු පපුවක මුහුණ හොවා සිටියා ඇයට මතකයි.///

    මෙන්න නියමම නියම ශෘන්ගාර රසය ( අකුරු හරිද මන්දා ) ..උපරිමයි
    ලොකු අයියේ ... මට ඉතින් වෙන කියන්න දෙයක් නැහැ ..
    අකුරක් නෑර රස වින්දා කියනවා ඇර ..
    +++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහන් වෙන මොනව කියන්නද ඔබ උපරිමව කතාව වින්දා නම් ඒකම තමයි මගේ සතුට.
      ආ අකුරු හරි පොඩ්ඩක් හදාගත්ත නං ශෘංගාර කියල හරි.

      Delete
  13. නවකතාවක් වගේමයි . අපි පොඩි කාලේ ඔය වගේ චරිත දැක ඇති නිසා ගානට රූප ටික මවා ගත්තා . අපි කිවේ රෙදි නැන්දා කියලයි . සේදීම් කාරක එතරක් බහුල නොවූ කාලයේ සබන් විතරනේ තිබුනේ . ඒ නිසා විශේෂයෙන් සුදු ඇඳුම් හොඳට සෝදාගන්න අමාරුයි . අපි පොඩිම කාලේ නිවාඩු දුන්නම එයාට එන්න කියලා සුදු ගවුම් සේරම දෙනවා . අපුල්ලන් ආවම හරිම සුවඳයි ලස්සනයි . ලොකු වෙනකොට රෙදි සෝදන අය නැතිම තරම් වුනා . ක්‍රම ක්‍රමයෙන් ඒ පුරුද්ද නැතිම වුනා . හිරු කිවා වගේ මාත් කැමතියි . ඒ මිනිස්සුන්ව පහතට දාලනේ සැලකුවේ . කොටින්ම කනත්තෙත් වෙනම කොටසක් වෙන් කරලා තිබුන .

    හැබැයි ලස්සනම වැඩේ අපේ පළාතේ උදාගමක් හැදුවේ කනත්තේ කොටසක ආයේ කාගේද බැලුවේ නැහැ වංශවත් අයගෙයි රෙදි සොදපු අයගෙයි දෙගොල්ලන්ගේම වලවල් තිබ්බ හරියක් අහුවුනේ .
    තව ඒ පවුල්වල ගැහැණු අය රට ගියා . ගෙවල් හොඳට හැදුවා . මන් හිතන්නේ අදටත් කසාද බඳිද්දී නම් හොරාට ඔය කුල මල සොයනවා ඇති . අනෙක් අතින් නම් ඒ අය සාමාන්‍ය මට්ටමට ඇවිත් .

    ReplyDelete
    Replies
    1. දැන් නම් බින්දි ඔය කුල මල හොයන්නෙ කසාද බඳින්න විතරයි.

      Delete
  14. අපේ ගමෙත් එක පවුලක් ඉන්නවා. නිසි කාලයේදි කවුරුවත් කසාද බැන්දෙ නැති නිසා ඊ ළග පරම්පරාවක් නම් නෑ.

    එයාලටනම් කවුරුවත් හේනෙ මාමා - රිදි නැන්ද කිව්වෙ නෑ. වැඩිහිටි අය කිව්වෙ "ජීරිස් අයියා" කියලා(වයස් භේදයක් නැතුව) අපි කිව්වෙ ජීරිස් ආතා කියලා.පවුලට රෙදි නැන්දා කියලා ඉදහිට කිව්වත් වැඩිපුර කිව්වෙ නැන්දා හා ආච්චි කියලා.
    එයාලා රෙදි සේදීමට අමතරව ගොයම් පාගන්න හරක් දුන්නා. ගාස්තුව වශයෙන් වී ලැබුනා.ඉතිං කුඹුරු තියෙන අයටත් වඩා ඒ අයට වී තිබුණා.

    දැන් කවුරුවත් එයාලා ලව්වා කියලා රෙදි සෝදවා ගන්නෙත් නෑ. හරක්ගෙන් ගොයම් පාගන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. තොටත් සාදු, මටත් සාදු, අළුත් පෝස්ට් එකක් ලිව්වොත් :)

      Delete
    2. දැන් සුමිත් ඒ පරම්පරාව වඳවෙලා ගිහින්.
      හැබෑටම නරකද අර ඇනෝ කිව්ව වාගෙ අලුත් කතාවක් ලිව්වොත්

      Delete
  15. Replies
    1. හෙහ්.. මම කිව්වේ යකෝ දිග වැඩි එක නං ඉස්තරම් කියලයි.. හැක්...

      Delete
    2. ඉස්තරම් නං ඉස්තරම්...ආයෙ දිගයි කොටයි කියල ඒකෙ වෙනසක් නෑ,බොට තේරුණාද.

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. වැරදි තැන අලෝපු නිසා මෙතන කමෙන්ට් එක ඩිලීට් කලා මචෝ.

    ReplyDelete
  18. ලොවෙත් නෑ. තවත් සුපිරි පෝස්ටුවක්!

    ReplyDelete

ඔබේ අදහස්