Thursday, March 7, 2013

35.මතක සටහනක්



අද මම කියන්න යන්නෙ කතාවක්ම නෙවෙයි....මතක සටහනක්...මේක කොච්චර දුරට ඔයාලගෙ හිත් ගනීද නම් මට කියන්න අමාරුයි...කතාව මේකයි.

1986 අවුරුද්ද වෙනතුරු අපේ ගමට මරණාධාර සමිතියක් තිබුණෙ නෑ...පොත විතරයි...සමිතියක් පිහිටුවන්න කීප සැරයක්ම උත්සාහ කළත් ඒ උත්සාහයන් කඩාකප්පල් වෙලා ගිහින්.....හැබැයි එක සමිතියක් නං පිහිටුවලත් තිබුණලු පණස් ගණංවල අග හෝ හැට ගණංවල මුල.

ඒ සමිතියෙ නම "උභය ලෝකාර්ථ සාධන සමිතිය" හෝ ඒ වාගෙ නමක්....කොහොම හරි ඒ සමිතියටත් වැඩි ආයුෂක් තිබිල නෑ.....අපි තරුණයො හැටියට සමාජයට පා තබද්දි ගමේ අයගෙ පොදු විශ්වාසය වුණේ මොන වැඩේ කළත් අපේ ගමේ මරණාධාර සමිතියක් පිහිටුවන්න බෑ කියන එකයි.
කවුරු ඔය කතාව කිව්වත් තරුණ අපි ඕක විශ්වාස කළේ නෑ...අපෙත් ඉතිං නාහෙට නාහන වයසනෙ...කරන්න බැරි දේ හඹා ගිහින් කරන්න උත්සාහ කරන එක වයසෙ හැටි...ඒ වෙනවිටත් අපි තරුණ සමිතියක් ආරම්භ කරල වෙසක් සැරසිලි හතර පහක් ඉතාම සාර්ථකව ප්‍රදර්ශනය කරල අරමුදල හැටියට සෑහෙන තැන්පත් මුදලකුත් එකතු කරගෙන දැඩි ආත්ම විශ්වාසයකින් තමා හිටියෙ.
අපේ තරුණ සංගමයෙ සභාවාරයකදීමයි ගමට මරණාධාර සමිතියක් පිහිටුවන්න බැරි ඇයි කියල සාකච්ඡා වුණේ.....අපි අපි කතාකරල ඉවරවෙලා පස්සෙ මේ ගැන දන්න කියන වැඩිහිටියන් එක්කත් කතා කළා...ඔය සාකච්ඡා වලින් පස්සෙ අපි හොයගත්ත ගමේ මරණාධාර සමිතියක් පිහිටුවන්න බැරි හේතුව.
සමිතියක් පටන් අරගෙන එක මාසයක් සල්ලි එකතු කරපු ගමන්ම ගමේ මිනිස්සු මැරෙන්න ගන්නවලු....එක දිගට මරණ හතක් වෙලාලු නවතින්නෙ...ඉතිං අර අලුත් සමිතියට පටන්ගත්තු ගමන් හැම මරණෙටම ආධාර දෙන්න බැරි නිසා සමිතිය බිඳ වැටෙනවලු.
 මේ කතාව විශ්වාස කරන්න අපි සූදානම් වුණේ නෑ...විශේෂයෙන් ආරිගෙ අයිය නිළමෙ එක හඬින් කියා සිටියා අපි මේ වැඩේ කරල පෙන්නන්න ඕනැයි කියල.
සාකච්ඡා වට ගණනාවක් තිබ්බ...ඒ කාලෙ දැන්වගේ  අපිට කතාකරන්නවත් හරිහමන් තැනක් තිබුණෙ නෑ...මුදලාලිගෙ කඩේ හරි පෝටර්වත්තෙ බිම ඉඳගෙන හරි තමා අපි කතාකළේ...කතාකරල එකඟත්වයකට ආව සමිතියක් පටන්ගමු කියල...හැබැයි අමාරුම හරිය තිබුණෙ ඉස්සරහටයි.
ඒ මොකක්ද කිව්වොත් මේ වැඩේ කරන්න බෑමයි කියල දැඩි මතයක ඉන්න ගමේ වැඩිහිටි අයව වැඩේට කැමති කරවගන්න එක....මෙහෙම දේකට කැමතිවෙනව තියා කිව්ව ගමන් ඔළොක්කුවට හිනාවෙලා යන්න යන අයව කොහොමද නම්මගන්නෙ.
කමක් නෑ කවුරුහරි වැඩේ පටන්ගන්නත් එපායැ...අපි දවසක් ලෑස්ති කරගෙන ගමේ සියළුදෙනාටම එන්න කිව්ව තම තමන්ගෙ අදහස් කියන්න...ඒ හමුවත් තිබුණෙ පෝටර්වත්තෙමයි...හැම ගෙදරකින්ම වාගෙ වැඩිහිටියො ඇවිල්ල තිබුණා...අපිත් ඉතින් බොහොම ප්‍රවේසමෙන් මේ වැඩේ ගමට විය යුතුම දෙයක් නේද කියල පැහැදිලි කරල දීල අන්තිමේදි ඒ අයගෙ අදහස් ඇහුව.
 මොන පිස්සුද....හිටිය තැනමයි....හැම කෙනාම කියන්නෙ මේක කරන්න බෑ කියලමයි....කෑ ගහනව.... රණ්ඩු වෙනව...එකම ගෝසාවයි.
ආයෙමත් කියනව අපි හදන්නෙ මෙච්චරකල් පැවතුණු පොත නැතිකරන්නලු.....අපේ දෙමව්පියන්ට සලකන්න එපා කියලද කියන්නෙ ......කියල අපෙන් අහනව.....කිසිම පදනමක් නැති බොරු තර්ක ගේනව....පිස්සන් කොටුව වගේ.
සමිති පටන්ගැනිල්ල පැත්තක තියල කෑ ගහන උන්ගෙ හොම්බ රිවෙට් වෙන්න දෙකතුනක් දෙන්න හිතිලයි තිබුණෙ.
 ඔය වෙලාවෙදි හේරත් අයිය අපරාදෙ කියන්න බෑ ගමේ කෙනෙක් නොවුණත් ඇතිවෙන්න ගිය උණුසුම් වාතාවරණය බොහොම අගේට කළමනාකරණය කළා....අපිව නිහඬව තියාගන්න ගමන් වැඩිහිටියන්ටත් යාප්පුවෙන් කතාකරල රැස්වීම විසුරුවල ඇරියෙ නැත්නම් අපරාදෙ අපි අර වයසක මිනිස්සුන්ට තඩිබාල පව් පුරෝගන්නව.
 කිසිම එකඟතාවකට එන්න බැරිවයි එදා කට්ටිය විසිරිලා ගියෙ...එහෙම වුණා කියල අපි පස්සට ගියෙ නෑ පොඩ්ඩක්වත්.....ආයෙමත් උත්සාහ කළා ඔන්න ඔය හැම වෙලාවකදිම අපේ පැත්තට කතාකරපු එක වැඩිහිටියෙක් හිටිය.
ඒ තමයි සියදෝරිස් උන්දැ...
ඔය ළමයින්ට ඒ වැඩේ කරගන්න දීපල්ලකො....හරිගියා නැතා උඹලට පාඩුවක් වෙන්නෙ නෑනෙ...අනික ඒ ළමයි කරන්න හදන්නෙ නරක වැඩක්යැ...කොච්චර හොඳ වැඩක්ද...
කියල සියදෝරිස් උන්දැ කියාහිටියෙ අනික් වැඩිහිටියන්ගෙ උසුළු විසුළු මැද.
 අන්තිමේදි මාස ගාණක් උත්සාහ කරල කොහොම හරි අවමංගල්‍යාධාර සමිතියක් පිහිටුවා ගන්න සෑහෙන පිරිසක් එකඟ කරවාගන්න පුළුවන් වුණා.ඒත් වැඩි හරියක් ඕනැවට එපාවට එන්නං කිව්ව මිසක් සමිතිය ගැන සැබෑ උවමනාවකින් කැමතිවුණු අය නෙවෙයි.
සමහරු නං ආවෙ කෙලින්ම සමිතිය කඩාකප්පල් කිරීමේ පිරිසිදු චේතනාවෙන්මයි.
හැබෑවටම පුකේ අමාරුව තිබ්බෙ අපි කොල්ලො ටිකට විතරයි.
ඔන්න ඉතින් අන්තිමේදි 1986 ජනවාරි මාසෙ අපි සමිතිය පිහිටුවාගත්ත....මූලික කටයුතු කරගෙන දැන් අපි කරන්නෙ සමිතියට ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම.
 අහල පහල ගම්වල සමිතිවල ව්‍යවස්ථා හොයාගෙන ඇවිත් ඒවයින් ගතයුතුදේ බැලුව....විජේතිලක තුල්හිරියෙ රෙදිමෝලෙ සමිතියෙ ව්‍යවස්ථාවත් අරගෙන ආව.....ඔය හැම ව්‍යවස්ථාවකම සාධනීය කොටස් අරගෙන එකතුකරල අපේ ව්‍යවස්ථාව හදාගන්න එක තමා අපේ උත්සාහය උනේ....අනික් පුද්ගලික වැඩ ඔක්කොම පැත්තක දාල මුලු හදවතින්ම අපේ අලුත් සමිතියත් එක්ක බැඳිල තමා ඒ දවස්වල වැඩකලේ.
හවසට වැඩ ඇරිල ගෙදර ඇවිත් තේ එක බීපු ගමන් මම යන්නෙ  පෝටර්වත්තට .....කට්ටිය එතන ඉන්නව....මහ රෑ වෙනතුරු සාකච්ඡාව දික්ගැස්සෙනව.
අපේ කතාවලට සහභාගි වෙන්න තරම් දැනුමක් නැතිවුණත් හැමදාම අපි කතාකරන තැනට ඇවිත් බලාගෙන ඉන්න වැඩිහිටියෙක් තමා සියදෝරිස් උන්දැ.....අපේ උත්සාහය ඔහුටත් හරිම ආස්වාදජනකයි....උදේට කඩේ ළඟ කහට එකක් බිබී කයිය ගහන්නෙ හරියට එයා කරන වැඩක් වාගෙ.
ඔන්න දවසක් අපි රෑ හඳපානෙ වාඩිවෙලා කතාකරමින් ඉන්දැද්දි හන්දිය පැත්තෙන් මහ ගෝසාවක් ඇහෙනව....කීප දෙනෙක් දුවන සද්දෙකුත් ඇහෙනව.
බැලුවාම කන්ද උඩ ඉඳල පල්ලමට දුවගෙන එන්නෙ     ආනන්ද..වෙසමුණිය වගේ...
මං මැරෙනව යකෝ...අද මැරෙනව මං...
කිය කියා මූ දුවගෙන එනව....කීප දෙනෙක් පස්සෙන් එළවනව.
අපි ඉන්න තැන මැදින් දුවගෙන යන්න ආපු ආනන්දව අපි ටික වටවෙලා අල්ලගෙන බිම පෙරල ගත්ත....කොච්චර උණත් අපේ යාලුවනෙ....බිම පෙරලගෙන ඇඟ උඩට නැගගත්තෙ මම.
දැන් මගෙ මූණටයි පපුවටයි ආනන්දයගෙ දෑතින්ම පාරවල් වදින්නෙ හරියට කොස් කඩනව වාගෙ දඩ දඩ ගාල.....හැබැයි කතා කළේ බොහොම සංයමයෙන්.
මට යන්න දෙන්න අයියෙ....මට මැරෙන්න දෙන්න...
හරි හරි ආනන්ද...මැරෙන්න ඉස්සරවෙලා හුස්මක් කටක් අරං ඉඳින්කො....
පොඩ්ඩක් සන්සුන් කරල පැත්තකට වෙච්චි ගමන් මූ ආයෙම දුවනව අපිවත් පෙරළගෙන..
ආයෙත් අල්ලගෙන ආව.

කොහොමහරි සෑහෙන වෙලාවක් පොර අල්ලල ආනන්දයව ආම්බාන් කරල අනිල්ට බාරදුන්න අනිල්ලගෙ ගෙදර එක්ක යන්න කියල ....ඒ දෙන්න හොඳම යාලුවොනෙ...කොහෙ ගියත් මොන වැඩේ කළත් දෙන්න එකටමයි.....ගමේ අය මුං දෙන්නට කිව්වෙ ඉඳිකට්ටයි නූල් පොටයි කියල....
ඒ වුණාට අපි කිව්වෙ නං අමුඩෙයි පුකයි කියල....
ආනන්ද මැරෙන්න දිව්වෙ ගෙදර ප්‍රශ්නයක් නිසා....ඒක අපිට විසඳන්න පුළුවන් එකක් නෙවෙයි.
පහුවදා හවස මම යද්දි සියදෝරිස් උන්දැ කඩේගාව ඔය කතාව රස කර කර කියනව....මාව දැකල කියනව මේ ළමය වාගෙ උස මහත කෙනෙක් ඌ බිම පෙරළගෙන තදකරගෙන නොහිටින්න එහෙම ඌ අනික් අයවත් පෙරළගෙන දුවගෙන ගිහින් මැරෙනව.....කියල.
අපේ වැඩේ අතරෙ ඔය වාගෙ දේවලුත් උනා....සමිතියට ව්‍යවස්ථාවකුත් හදල සාමාජික මුදලුත් එකතු කළා.
ඔන්න හාපුරා කියල පළවෙනි මරණය සිද්ද වුණා...ඒකට ආධාර කළා....ඊළඟ සතියෙ අනික් මරණය....සල්ලි කොහෙන් දෙන්නද.
අපි වහාම රැස්වෙලා සාකච්ඡා කළා...සල්ලි හොයාගන්න කිසිම ක්‍රමයක් නෑ...කතාකරනකොට හොඳ නුවණක් පහළවුණා.
ඇයි අපේ තරුණ සංගමය....ඒකෙ ඇතිවෙන්න සල්ලි තියනවනෙ.
අපි කරපුදේ වහාම මරණාධාර සමිතිය අපේ තරුණ සංගමයට අනුබද්ධ කරන එකයි....අනුබද්ධ කරල ඒකෙන් සල්ලි අරගෙන ආධාර මුදල් ගෙවාගන්න පුළුවන් වුණා.ඔය විදියට මරණ පහක්ද කොහෙද එකදිගට ගමේ සිද්ද වුනා....
 තරුණ සංගමයේ අරමුදලට පිං සිද්ද වෙන්න හැම මරණයකටම අඩුවක් නැතිව ආධාර දෙන්න අපේ මරණාධාර සමිතියට හැකිවුණා.
අපි ඇනගන්නකන් කට ඇරගෙන බලාහිටපු අයට දැන් කියාගන්න දෙයක් නෑ....ඊළඟ මාසෙ ඇතුළත සමිතියෙ සාමාජිකත්වය තුන් ගුණයකින් ඉහළ ගියා.
ඊටත් පස්සෙ  අවුරුද්දක් විතර යනතුරු ගමේ කිසිම මරණයක් සිදුවුණේ නෑ.....ඒ අවුරුද්ද ඇතුළත තරුණ සංගමයෙන් ගත්තු ණයත් ආපහු ගෙවල සමිතියෙ අරමුදලත් වැඩිකරගන්න පුළුවන් වුණා... අපි ටිකට් වික්කා..සල්පිල් තිබ්බා.
ඔහොම අවුරුදු කීපයක් හොඳට කරගෙන ගිය සමිතිය වැරදි පුද්ගලයන් අතට පත්වීම හේතුවෙන් විනාශ වෙන්න පටන් ගත්තා...යම් යම් වංචාවන් සිදුවෙන්න ගත්තා....පස්සෙදි වහාම ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිකර්ම කිරීමෙන් සමිතිය නැවතත් නිවැරදි මාර්ගයට ගන්න හැකිවුණා.
අද අපේ ගමේ ප්‍රබලම සමිතිය මරණාධාර සමිතියයි....ලොකු ස්ථාවර තැන්පත් මුදලකුත් තවත් වත්කම් මහ ගොඩකුත් සමිතිය සතුයි.....මරණයක් සඳහා සෑහෙන මුදලකුත්  හාල් පොල් ආදියත් සමිතියෙන් ලබාදෙනවා.
2005 අවුරුද්දෙ ඉඳල හැම වසරකම සුනාමියෙන් මියගිය අය සිහිකරල දෙසැම්බර් 25 වෙනිද බණක් කියල 26 වෙනිදා දානයක් දෙනව අද තව වෙනතුරු.
දැන්නම් සමිතියට බැඳෙන්න පිටගම්වලින් පවා ඉල්ලීම් තියෙනව වුනත් සාමාජිකත්වය ගමට සීමා කරලයි තියෙන්නෙ.
2011 ජනවාරි මාසෙට මරණාධාර සමිතියට අවුරුදු 25ක් සම්පූර්ණවුණා...ලොකු පිංකමකුත් කලා.....ආරම්භක සාමාජිකයෙක් වශයෙන් බැඳිලා ඒ දක්වා කිසිම ප්‍රතිලාභයක් නොලැබූ සාමාජිකයන් පිරිසකට උපහාර තිළිණයක් සමග මාස හයක සාමාජික මුදල් නොගැනීමට සමිතිය තීරණය කළා...මටත් එදා උපහාර තිළිණයක් ලැබුණා මම ගමේ හිටපු නිසා.  

අපට උදව් කරපු සියදෝරිස් උන්දැ මීට අවුරුදු දහයකට දොළහකට ඉස්සෙල්ලා මෙලොව හැරගියේ ඔහුගෙ එක් සුන්දර බලාපොරොත්තුවක් වූ මරණාධාර සමිතියෙ ආධාර සහ උපරිම ගෞරවය ලබමින්.
 
ආනන්ද දැන් පදිංචි වෙලා ඉන්නෙ ඔහුගෙ බිරිඳගෙ ගම වීරඟුලේ....ගමෙන් පිට පදිංචි නිසා ආනන්දට සමිතියෙ සාමාජිකත්වය තවදුරටත් ලැබුණෙ නෑ.
 
දැන් ඉන්න තරුණ පරපුර සමිතියේ අතීත කතාව දන්නෙ නෑ....ඒ හින්දම ඒ අය අපිත් එක්ක තමන් නොදන්න දේවල් ගැන තර්ක කරන්න එහෙම පෙළඹෙනව.....ඒ වෙලාවට නෙල්සන් නම් කියන්නෙ ....
 
මේ මේ කට වහගෙන ඉඳපල්ලා...ඔය ඉන්නෙ සමිතියෙ ඇට.... කියලයි.

43 comments:

  1. ඔය සමිති සීන් එක අපෙත් තිබ්බා.. ළමා සමිතියක් පිහිටුවන්න ලෑස්ති කළාම ළමයි නෑ... ඇයි ඉතිං.. උන්ට පන්ති නේ හැමදාම... බො‌ෙහාම ආමරුවෙන් පිහිටුවගෙන අවුරුදු 4ක් විතර ඇද්දා... මං උපදේශක.. එතකොට ජොබ් එකත් කරනවා.. මං බැඳලා ආපු අවුරුද්‌ෙද් ඉඳලා සමිතිය වළපල්ලේ.. දැන් ඒකෙ අරමුදලුත් දාලා තාත්තලා පටන් ගත්තා මරණාධර සමිතිය... ඒක නම් හොදට යනවා... ඒත් ඉතිං හැම තැමනම කුහකකම්, කුඩුකේඩුකම්... ළමා සමිතියටත් තිබ්බ එකේ වැඩිහිටියන්‌ෙග් එකට නොතිබෙයියෑ...

    ReplyDelete
    Replies
    1. ළමා සමාජයක් බොහොම සද්දෙට පටන් ගත්ත අපේ ගමෙත් රාජ්‍ය අනුග්‍රහයෙන් කියල,ඒත් ළමයින්ගෙ පිටේ නැගපු වැඩිහිටියො පිස්සු කෙළපු නිසා ඒ සමිතියත් බොහොම ශෝචනීය විදියට අවසන් ගමන් ගියා.

      Delete
  2. අපේ ගමේ නං තියෙනවා මරණාධාර සමිතිය...
    ඔය තාමත් එකතු කරන්නේ හාල් පොල් :)

    ළමා හා තරුණ සමිති දෙක අභාවයට ගියා :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තරුණයො වැඩිහිටි වෙද්දි තරුණ සමිතියේ ක්‍රියාකාරිත්වය නැතිවුණා,දැන් නමට විතරක් තියෙනවා.

      Delete
  3. මෙහෙත් මරණාධාර සමිති තියෙනව. සමහර පරණ ඒව හරියට පවත්වගෙන යන්නෙ නෑ. අලුතෙන් පටන්ගත්ත ඒව නිසි කළමණාකරණය හින්ද දියුණු වෙලා යනව.

    කොහොමටත් ගමේ කොල්ලො වැඩක් පටන් ගන්න යනකොට ඔය අලි වංසෙං ඉන්න ලොකු ඈයො ඒකට කැපිල්ල දානව තමයි.

    ‍කොහොම හරි වැඩේ සාර්ථක කරගත්ත එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඒක කොහෙත් සිද්දවෙන දෙයක් ත්‍රිභාෂා

      Delete
  4. කොයි කාරණේදීත් අතීතය හැදෑරීම යහපත් දෙයකි
    නැහ්නං රෑ වැටුණු වලේ දවල්ද වැටිය හැක
    එහෙම බලනකොට එදා වැඩිහිටියොත් විරුද්ධ වුණේ නිකම්ම වෙන්ට බැරිය
    ආවේග සංසිඳවන්ට හැකි සියදෝරිස්ලා හේරත්ලා වැඩි වැඩියෙන් වුවමනා කාලයකි!

    ReplyDelete
    Replies
    1. තිස්ස කියන කතාවෙත් ඇත්තක් තියෙනව,දැන් නැත්තෙත් හේරත්ල සියදෝරිස්ල තමා.

      Delete
  5. \\ මේ ළමය වාගෙ උස මහත කෙනෙක් ඌ බිම පෙරළගෙන තදකරගෙන නොහිටින්න\\
    ඔහොම කී දෙනෙක් බේරා ගත්තද දන්නෙ නෑ නේ ???!!! :-D

    පුකේ අමාරුව තියෙන තරුණ පරම්පරාවයි වයසක් ගොයියොයි අතරෙ හැමදාව තිබිච්ච මේ ඝට්ඨනය සමනය කරන්න පුළුවන් වෙච්ච අයත් හැමදාම ගමේ හිටියා..ඒ හින්දම අද ලබලා තියෙන දියුණුව ගැන ආඩම්බර වෙන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. පිරිමි අය ආනන්ද විතරයි

      Delete
  6. තනි ඇහැට ඇඩෙනවා හැලපයෝ මේ ලිව්වේ මමද කියලා හිතෙනවා. අපේ මරණාධාර සමිතිය පටන් ගත්ත එකත් ළඟදි මලා. ඌ තමයි ඒකේ සභාපති, ලේඛම්, භාන්ඩාගාරික ඔක්කෝම.. මොකෝ ඒ තරම් ඌ හැමෝටම විශ්වාසයි. දැන් තනතුරු බෙදාගන්න මරාගන්නවලු.. මට පේන්නේ මරණාධාර සමිතියත් වලලන්න වෙලා වගේ තියෙන්නේ. මටත් සමාජිකත්වය නෑ. ගමේ නැති නිසා. රනිල් මහත්තයා ආපු රැස්වීමක රස කතාවක් තියෙනවා. වෙලාවක ලියන්නම්..

    ReplyDelete
    Replies
    1. මගේ නම් සාමාජිකත්වය නැතිවෙන එකක් නෑ ගමේ නැතිවුණත්,අර කතාව ඉක්මනට ලියපන් මචං

      Delete
  7. කොහොමෙන් කොහොම හරි පටන් ගත්ත සමීතියට අවුරුදු 25ක් පිරුණා කියන්නෙ කොච්චර හොඳද..කොහොමත් අලුතින් දෙයක් පටන් ගන්න යනකොට එහෙට මෙහෙට අදින එක ගමේ අයගෙ පුරුද්දක් . අපේ ගම්වලත් ඒ වගේමයි. හැබැයි ප්‍රයෝජනයක් උනාම තම උඩ තියන්නේ...

    ReplyDelete
    Replies
    1. නිතරම බලන්නෙ කොහොමද සමිතියෙන් කීයක් හරි වැඩිපුර ගන්නෙ කියලයි ගම්වල අය නිතරම,තමන්ගෙ දෙයක් කියල මොහොතකටවත් හිතන්නෙ නෑ.

      Delete
  8. අපෙත් තිබ්බා.. ඒත් එකතු කරන්නෙ සල්ලි විතරයි.. අනං මනං සීන් වෙලා කට්ටියගෙ විස්වාසෙ නැති උනා... අන්තිමට නැවතුනා දන්නෙම නැතුව.....

    ReplyDelete
    Replies
    1. ඔය සමිති කෙරුවාවට උපරිම කැපවීම නැත්නම් සමිතිය නිකම්ම දියවෙලා යනවා.

      Delete
  9. සියදෝරිස් උන්නැහේ ගෙ පැතුම ඉටු වෙච්ච එකනම් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. මටත් ඇති සතුට එයමයි කෙන්ජි,අවාසනාවකට මා ඒ දිනවල රටේ හිටියෙ නැහැ.

      Delete
  10. මමත් අපේ ප්‍රදේශයේ සමිතියක් ආරම්භ කරන්න ලොකු උත්සහයක් ගත්තා.එක ප්‍රාදේශීය සභාවකට අයිති හැම ගමකම සාමාජිකයන්ව බඳවා ගත්තා. එකට මුල් කාලේ අපි ආධාර එකතු කලේ ගඟෙන් වැලි ගොඩ දාලා. ඒ කලේ මගේ බර කිලෝ 45ක් විතර වැලි කුඩේ බර කිලෝ 30ක් විතර. කෙලින්ම ගඟෙන් ගත්තු ගමන්මයි වතුර පිටින්. සිරිපාදේ පඩිපෙළ වගේ. පස්සේ පස්සේ අපි අයින් වෙලා වෙනමම සමජිකයෝන් ටිකක් දැන් අරන් යන්නේ පෝයට තමයි සමිතිය තිබුනේ. දැන් සමිතියෙන් පස්සේ කට්ටිය බොන්නත් පුරුදු වෙලා.

    මාර මතකයක් හැලපයා.

    ReplyDelete
    Replies
    1. අපේ සමිතියත් මහා සභා වාර පවත්වන්නෙ පෝයටයි.අනිවාර්යයෙන්ම සමිතියෙන් පස්සෙ සෙට් වීමත් සිදුවෙනවා.

      Delete
  11. ekemma niyamama post eka..
    onna wada..mewa loketama kiyanna one
    wada...
    ++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහන්,මේ අපේ සාර්ථක වූ පොඩි උත්සාහයක්

      Delete
  12. අපේ ගමෙත් ඕය වැඩේ හරියන්නෙ නැහැ.තියෙන එකත වැලබඩේ වගේ,නමට විතරයි.ඒ කට සමහර ගම්වල තියෙනව..මලගෙදර මිනිස්සුන්ට කරන්න තියෙන්නෙ...උලුවස්ස උඩට වෙලා එන මිනිස්සුන්ට ආයිබොවන් කියන්න විතරයි. හේවිසි ගහන්නෙත් සමිතියෙ අය. ඉතිරි සියල්ලම එහෙමයි .පුදුම සාමුහිකත්වයක් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත වීයො,මමත් ඒ වගේ සමිති දැකල තියෙනව හරිම ආදර්ශමත්.

      Delete
  13. අමාරුවෙන් හැමෝගෙම විරුද්ධත්වය උඩ පටන් ගත්තු මරණාධාර සමිතිය සාර්ථකව අවුරුදු 25ක් පවත්වගෙන ඒමට ලැබීමම කොයි තරම් භාග්‍යක්ද? පිරිසිදු චේතනාවෙන් ආරම්භ කරන ඕනෑම දෙයක් සාර්ථක වෙනවාළුනේ....

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තරූ,අපි සමිතිය හැදුවට කිසි දවසක අනවශ්‍ය විදියට නිලධාරීන්ට බලපෑම් කරල නෑ.

      Delete
  14. ඇත්තෙන්ම මිනිස්සු ගමේ සමිති වල මුල් පු‍ටු වලට මරා ගන්න එක තේරුම් ගත්තාම දේශපාලනයත් තේරුම් ගන්න ලේසියි.

    ReplyDelete
    Replies
    1. සමිතිවලින් උඩට එන උන් තමයි බොහෝදුරට ප්‍රාදේශීය දේශපාලනයට එකතුවෙන්නෙ

      Delete
  15. ඔය කිව්වට වෙනදටත් වඩා අසාවෙන් කියෙව්වා. ගමේ ක්‍රීඩා සමාජයෙයි, මරණාධාර සමිතියෙයි දෙකේම ආරම්භක සාමාජිකයෙක් තමා අපේ තාත්තා. කාලයක් තිස්සේ මරණාධාර සමිතියේ ලෙකම් කම කරනවා. අපිට නම් පොඩි කාලේ ඉදල හරිම වදේ. මොකෝ මුලින්ම ගමේ මරණයක් වුනහම දුවගෙන එන්නේ අපේ ගෙදරට. හට්, පුටු ඉල්ලගෙන යන්න. දැන් තේරෙනවා තාත්තා කරන සමාජ සේවයේ වැදගත්කම. ඒත් කොයි වෙලේ හරි මේ සමාජ සේවකයින්ව වලේ දාන්න බලං ඉන්න කට්ටියකුත් හැම කාලෙම ඉදල තියනවා.

    ගමේ පරිසරයක හැදිලා අද අර්ධ නාගරික ජීවිතයක් ගත කරන මට නම් හැලපෙගේ කතා දැනෙන්නේ මගේ කතා වගේ. ඒ තරම් හදවතට කිට්ටුයි. (මම තාම ඉන්නේ ගමේ, ඒත් ගම දැන ගමක් නෙමේ)

    ReplyDelete
    Replies
    1. බැලුවාම හැම ගමකම තියෙන්නෙ එකම විදියේ ප්‍රශ්ණ නේද

      Delete
  16. මම දාපු කමෙන්ට් කෑල්ල බහිරවයා ගිලලා තියෙන්නෙ. බලපං මචං ස්පෑම් එකේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්ම මචං

      Delete
  17. 1986....ඔය කාලයේ ම අපි යෞවන සමාජයක් හදන්න ඔවැනිම හෙයියම්මාරුවක් කළා. ඒ සමිතියනම් දැන් තියේද නැද්ද දන්නෙ නෑ.

    අපේ ගමේ මරණාධාර සමිතිය දැන් මිය ගිහින් ටිකක් කල්. දැන් තියෙන්නෙ අපි හදපු වෙනත් සමිතියක්; ඒකෙ නම-ව්‍යවස්ථාව- ලොගෝ එක ඔක්කොම හැදුවෙ මම. මේ සමිතිය රැස්වෙන්නෙ එක් එක් සාමාජිකයන්ගෙ ගෙවල් වල, මාසයේ අවසාන ඉරිදා රෑ.සමිතිය රැස්වෙන ගෙදරින් රෑ කෑමයි තේ වේලකුයි දෙනවා. ඊට අමතරව කන බොන සාමාජිකයෙක්ගෙ ගෙදරකදි නම්,සමිතිය අවසානයේ දී උන්නැහේ තංතෝසෙන් දෙන "අරවා" සංග්‍රහයකුත් භුක්ති විදීමේ අවස්ථාව සාමාජිකයන්ට ලැබෙනවා.(සාමාජිකත්වය පිරිමින්ට පමණයි; උපරිමය 30 යි)
    මළ ගෙදරකදී සැලකිය යුතු මුදල් ප්‍රදානයක් සමග අවසන් කටයුතු දවසෙ දවල් කෑම සමිතියෙන්.(සුපිරි කෑම වේලක්)
    ප්‍රතිලාභ ලැබෙන්නෙ සාමාජිකයාගේත් ඔහුගේ බිරිදගෙත් පවුලේ සාමාජිකයෙකුගේ මරණයක දී පමණයි.
    සමාජිකයෙකුගේ මගුල් ගෙයක් හෝ එවැනි උත්සව අවස්ථාවකදී හැමෝම කැපවෙලා උදව් කරන්න ඕන.
    සමාජිකයෙක්ගේ ආර්ථික සංවර්ධන කටයුත්තකදී, හැමෝම ශ්‍රමදානයෙන් වැඩ කරලා දෙනවා, හැබැයි ඒ වෙනුවෙන් අදාල සමාජිකයා සමිතියට රු2000/= ක් දෙන්න ඕන.කාට හරි එන්න බැරි වුනොත් සමිතියට රු.500/=ක් දෙන්න ඕන.
    තව ක්ෂණික ණය හෙම ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මේ වගේ සමිතියක් අපි පසුව හැදුව සුමිත් 2007 දි.

      Delete
  18. අලුත් යමක් අරඹන්නට යනකොට මොන තරම් බාධා එනවද? නමුත් මේ බාධාවන්ම ඉන්ධනයක්ව ඔබේ කැපවීම, එකමුතුකම වැඩි දියුණු කරවන්නට ඇති.

    ReplyDelete
    Replies
    1. ඒකම වියයුතුයි,බොහොම කාලෙකින් ඔබ පෙනෙන්න නැතිව හිටියෙකොහෙ ගිහින්ද

      Delete
  19. දැන්නං මරණාධාර සමීතියකටවත් මිනිස්සු එකතු කරගන්න එක අමාරුයි

    ReplyDelete
  20. කොයි ගමෙත් ඉතින් චව් චව් ලා ඉන්නවා නේ

    ReplyDelete
  21. වැඩක් පටන් ගන්න එක කොයි තරං අමාරුද කියල පේනවා නේ.. වලි එමටයි..

    ReplyDelete
  22. අපේ ගමේත් හරි හමන් සමිතියක් නැහැ මලපොත විතරයි තියෙන්නේ. තිබ්බ සමිතියත් විනාශ වෙලා ගිහින් ඒවායේ තනතුරු දරපු අයගේ වරදින්.

    ReplyDelete
  23. හ්ම්ම් ලොකු වැඩක් කරලා නේ. හොඳයි හොඳයි ...

    ReplyDelete
  24. තවත් සුපිරි ලිවිල්ලක්... ජය වේවා!

    ReplyDelete
  25. අටමගේ කතාවක හිටිය අමුඩෙයි පුකයි. මුන් දෙන්නමද?


    madda...

    ReplyDelete

ඔබේ අදහස්