Saturday, March 30, 2013

44.කවි දෙක තුනක කතාවක්


අපි දිගින් දිගටම කතානෙ කිව්වෙ.....අද කවි ගැන කතා කරමු.කවිවලටත් කතාවලට වාගෙම මගෙ හිතේ කැමැත්තක් තිබුණත් මට කවි ලියන්න නං බෑ....රසවිඳින්න විතරයි මට දැනෙන්නෙ....හොඳට හිතට දැනෙන කවියක් හෝ කවි පෙළක් නම් මම නොවරදවාම රස විඳිනව.

සිංහල පත්තරවල හොඳ කවි ඉඳහිට පළවුණත් සාපේක්ෂව ගත්තොත් අන්තර් ජාලයේ වෙබ් අඩවි වල ඉතාම අනර්ඝ කවි පළවෙනවා.....සමහර කවි අපේ රස මනස අවදි කරනව වගේම සමහර කවි අපව ප්‍රශ්න කරනව.....බොහෝවිට එවැනි කවි අපේ පපුවෙ හිරවෙන්නෙ හරියට ගලක් එල්ලුව වගේ.

ගොඩක් වෙලාවට එවැනි කවි මම කියවන්නෙ ලංකා නිවුස් වෙබ් එකේ තියෙන සයිබර් පවුරෙන්....ඒව වැඩි හරියක් නිසඳැස්.

වටේ තලාගෙන ගියෙ මගේ හිත්ගත් සඳැස් කවි දෙකතුනක රසය ඔබටත් ලබාදෙන්නයි.....ඉස්සෙල්ලම ඉතාම කුඩා කවියක් මතකයට ආවා.

ගුරුවරයෙක්,පුවත්පත් කලාවේදියෙක්,ලේඛකයෙක් හා කවියෙක් වූ මාගම් තෙන්නකෝන් ශූරිහු ඔහු ලියූ "දිවි සයුරෙන් දිය දෝතක්"නම් පොතේ එක්තරා කවියෙකුට තනි මාත්‍රාවෙන් කවියක් කියන්නට කළ අභියෝගය භාරගත්ත අයුරු ලියනවා....

අනේ
පනේ
තනේ
වැනේ

ඔහු කියූ කවියයි.

දේශපාලකයෙක් හා ප්‍රසිද්ධ කවියෙක් වුනු සෝමවීර චන්ද්‍රසිරි මහතාගේ කතාවක් දවසක් මට කිව්වෙ චන්දරේ......කතාව සහ කවිය අසම්පූර්ණයි.

දවසක් කවි මඩුවකදී සෝමා උඩබාගෙ නම් කිවිඳිය සෝමවීරයන්ට අපහාස වන ලෙසට කවි කීපයක් ගායනා කර තිබෙනවා.......ඇය විවේචනයට ලක්කරල තිබුණේ සෝමවීරයන්ගේ කාන්තා ඇසුර.....කවි සියල්ලම සිනාමුසු මුහුණින් අසා සිටි ඔහු ඇගේ කවි ගායනය අවසානයේ මයික්‍රපෝනය ඉදිරියට ගොස් වටපිට බලා කියා තියෙන්නෙ මේ කවි පද දෙකයි.....

සෝමා උඩබාගෙ සෝමා  උඩබාගේ
පැය බාගෙකට දෙනවද උඹෙ  යටබාගේ

කවි පද දෙකත් සමගම සභාව කුල්මත්වූ ආකාරය විස්තර කරන්නට අවශ්‍ය නෑ.ඒ මට චන්දරේ කියපු කතාව...නමුත් ඊට පස්සෙ දවසක මම මේ මුලු කතාවම කවිත් සමග පත්තරේකින් දැක්කත් අවාසනාවට ඇය කියූ කවි එකක්වත් අද මට මතක නෑ.

ගුරුවරයෙකු කවියෙකු හා ලේඛකයෙකු වූ කඩුවෙල බෝමිරියේ වික්ටර් දුකී දෙලැයි ද ලැනරෝල් හෙවත් වී.ඩී.ද ලැනරෝල් ශූරීන්ගේ කවි මහත් රාශියක් අතුරින් මගේ හිත ඉතා තදින් බැඳගත් එක් කවියක් තිබෙනවා.

ලැනරෝල් ශූරීන් ජීවත්වූ 20 වන  සියවසේ මුල් භාගයේ දැන උගත් අය ලිපි හුවමාරු කරගෙන තියෙන්නේ කවියෙන්.....පද්‍යයෙන් තමන්ගෙ අදහස් ප්‍රකාශ කිරීමට නොහැකිවීම තම තත්වයට මදිකමක් සේ ඔවුන් සිතූ නිසා සැම කාරණයක් අරභයාම කවි මහත් රාශියක් ලියැවෙන්නට ඇති වාගෙම කවි ලියන්නට නොහැකි අය හැකි අය ලවා කවි ලියවන්නටත් ඇති (මාද මිතුරන් සඳහා පෙම්පත් ලියූ කාලයක් මගේ මතකයට එනවා)

ලැනරෝල් ශූරීන් බේරුවල විද්‍යාලයක ගුරුවරයෙක් හැටියට වැඩකරන කාලයේ බෝමිරියෙ ඔහුගේ ගමේ හිටිය ඔහු සිත්ගත් තරුණියක් ඇයට වී වනන්නට මාගලක් බේරුවලින් ගෙනැත් දෙන්නට යයි කල ඉල්ලීම ඉටුකරන්නට ඔහුට හැකිවෙලා නැහැ.

ගමේ ආ දවසක ඔහුගේ ඉරුණු කබායක් එලලන්නට අර තරුණිය වෙත යවන්නේ කවි කීපයකින් ඉල්ලීමක් කරමින්.....කවි සියල්ලම මුල සහ අග එළිවැට තබා ඉතා ශූර ලෙස ලියූවක්.....මට මතක එක කවියයි.

මාගල සේම හිටි කාටත් වැඩ ගන් ට
මාගල වා ගතිය කඩවර සැනසෙන් ට
මාගල මිතුරි කී බැරිවුණි ගෙන එන් ට
මාගල උඩ වනනු හැක වී වේලන් ට

මෙහිදී කඩවර යනුවෙන් ඔහු සිහි මඳව සිටි කාලයේ තොවිල් කළ යකැදුරා ද අවසාන පදයේ මාගල යනු මහ ගල යන අර්ථයෙන්ද යෙදෙනව....කවියේදී මාගල යන වචනය අර්ථ කීපයකින් යෙදෙන අයුරිනුයි කවිය බැඳ තිබෙන්නේ.

වී.ඩී.ද ලැනරෝල් ශූරීන් ලියූ "උමතු තරුණයා"පොතේ මේ සිද්ධිය හා කවි වැලත් තවත් රසවත් කව් රාශියකුත් අඩංගු වෙනවා.

විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය ආරම්භ කල අවදියේ ආචාර්ය මණ්ඩලයේ සිටිය පැවිදි පඬිවරුන් තුන්නමකගේම නම ආරම්භ වුණේ පඤ්ඤා යනුවෙන්....එනම්

කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර
යක්කඩුවේ පඤ්ඤාරාම
කොටහේනේ පඤ්ඤාකිත්ති

යන හිමිවරු.....දවසක් ශිෂ්‍යයෙක් යක්කඩුවේ පඤ්ඤාරාම උප කුලපති හිමියන්ගේ වසා තිබූ කාමරය ලඟින් යනගමන් නැවතී මෙන්න මේ කවිය කියා තිබෙනවා...කවියේ හතරවන පදයේ අන්තිම කොටස කිසිදිනෙක ප්‍රසිද්ධ වී නැහැ...කවිය මේකයි.

එකෙක් කිරි පඤ්ඤා
තවෙකෙක් යක්ෂ පඤ්ඤා
අනිකා කොපඤ්ඤා
මොවුන් සේරම  ..........

කවියේ අවසානයත් එක්කම කාමරය ඇරගෙන එළියට ආ යක්කඩුවේ හිමියන් ශිෂ්‍යයාට කතාකළා.....

මෙහාට ඇවිත් ආයෙම කවිය කියමු බලන්න.....

ශිෂ්‍යයා කවිය ආයෙමත් ගායනා කළේ මේ ආකාරයට.....

එකෙක් කිරි පඤ්ඤා
තවෙකෙක් යක්ෂ පඤ්ඤා
අනිකා කොපඤ්ඤා
මොවුන් සේරම පඤ්ඤ පඤ්ඤා
(මොවුන් සියලු දෙනාම ප්‍රඥාවන්තයන්ගෙන් ප්‍රඥාවන්තයෝය )

යක්කඩුවේ හිමියන් කවිය රසවින්දේ මහ හඬින් සිනාසෙමින්.

 කවි එපමණයි......මේක ලියද්දි ප්‍රමාණවත් විදියට පොත පත පරිශීලනය කරගන්න බැරිවුණා......ඒ නිසාම යම් අසම්පූර්ණ ගතියක් හිතට දැනෙනවා......එහෙම කියන එක සමාවට කරුණක් නෙවෙයි වුණත් මතකයෙන් ලියපු කතාවේ වැරදි ඇතොත් සමාව භාජනයකට දාල දෙන්න කියලත් ඉල්ලීමක් කරනවා.
 
ඒ වගේම ඔබ මේ කතා මීට පෙර අහලත් තියෙන්නට ඇති.....එහෙම වුණොත් මගේ කතාවේ අසම්පූර්ණ තැන් සම්පූර්ණ කර දෙන්න කියලත් ඉල්ලීමක් කරනවා.
 
හදිසියෙන් ලියල අදම කතාව පළකරන්න මට අවශ්‍ය වුණේ හැලපිගෙත් මගෙත් 19 වෙනි විවාහ සංවත්සරය අදට යෙදී තිබීම.....ඇයට මගෙන් ලැබෙන තෑග්ග මේ කතාවයි.

57 comments:

  1. 19 වැනි සංවත්සරයට ඔබ දෙපලට සුභ පතමි...!!!
    දෙපලටම ආයු බොහෝ වේවා...!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි

      Delete
  2. හැලපයා කවි ළොවේ තව තව වැජබේවා
    හැලපි රස විඳින රසවතියක් වේවා
    හැලපැට්ටාගේ සිත කවියට යොමු වේවා
    හැප්පි හැප්පි ඇනිවසරිය ජයවේවා

    දහ නම වසක් හැලපේ හා උන්නු බැඳී
    හැලපිට හැලපේ සලකා තියෙනවා මදී
    මංගල දිනේ සුභ පැතු කවියෙන් සබැඳි
    පඩිපෙල වගේ දරු කැල කෝ තවම නිදී

    ReplyDelete
    Replies
    1. වෛරී දේශපාලනයත් එක්ක නිරතුරුවම හැප්පෙන අපේ මාතලන්ද මේ?

      Delete
    2. මේක දේශපාලනයට එහෙම උනාට අපි ඔහෙලට බොක්කෙන්ම ඉන්න එකෙක් හැලපේ.

      Delete
  3. හැලපිත් සමඟ හලපයා බැන්ද
    දහනම වසරක් නොදැනිම ගත උනිද
    හැලපැට්ටත් කෙරුවා දිවි රස නිබඳ
    හැලපයියේ උඹලට සුභ පතමි අද

    ReplyDelete
    Replies
    1. අදනම් දඩ බඩ ගාලා කෙලලා දාලා. කතාවෙ කතා (අතුරු කතා)නෑ වගේ. නිකං හොටලෙකට ගියාම සම්බාරුත් එක්ක තෝසේ කන්න පුළුවන්. ඒත් සයිවර් කඩේකට ගියාම තෝසේ එකට උළුඳු වඩේකුත් ඕනිමයි.

      -------------------
      අපේ තාත්තත් සුපිරි කවි ලෝලියෙක්. ඉස්සර බ්‍රහස්පතින්දා හවස රේඩියෝ එකේ යන කවි මඩුව අහපු හැටි මතකයි. දැන්නම් ඉරිදද කොහෙද තියෙන්නේ. ජාතිකේ මාසෙකට සැරයක් කවි මඩුවක් තිබ්බා. මේ කාලේ වෙනකොට කවි මඩු තියන එක චැනල් වලට ලැජ්ජාවට පත්විය යුතු කාරණයක් වුණු හින්දද කොහෙද අත ඇරලා දාලා තියෙන්නේ.
      ------------

      අයියනායක කවි වලින් අදටත් මතක තියෙන කවි පදේ තමයි "මම නොඇදහුවත් නොකලෙමි එය ගැරහීම" කියන එක. කේයස් කියන්නේ අපේ තාත්තගේ ගම් පළාත කිට්ටුව හිටපු මහා කිවිඳේක්.

      හලපයියා දන්නව ඇතිනේ "අංගම්මන සුමන"...? :D

      Delete
    2. //අදනම් දඩ බඩ ගාලා කෙලලා දාලා//

      සමරන්ට යන්ට වෙන්ටෑ

      Delete
    3. ස්තූතියි අකම්,කවි නම් ලියන්න දන්නෙ නෑ.ඔය අංගම්මන සුමන කියන කවිය විවිධ ආකාරයෙන් තියෙනව මම හිතන්නෙ.

      Delete
  4. හැලපයියටයි අක්කටයි සුබ අනාගතයක් ප්‍රිතිමත් දිවියක් කරියට කවියක් වගේම දිවියක් පතනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන්

      Delete
  5. මහ රෑ ගේ මැද්දෙ හනිකට කොළේ එලා
    වැතිරී නිදන්නට හැකිවේ වා සැමදා
    තලපෙට තලපෙ තියලා මැද තද කරලා
    හැලපය තම්බා කන්ට පිං නොමදම වේවා

    - හැලප ගැන කවියක් මිස කැත හිත් වලට කවියක් නොවේමය...

    ජය !

    ReplyDelete
    Replies
    1. මොන කැත හිතක්ද සෑම්,කවිය නොමඳව රස වින්දා.

      Delete
  6. හැලප ජෝඩුවට සුබ විවාහ සංවත්සරයක් වේවා ! දිවියේ ඉදිරිය සරු වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න

      Delete
  7. අද මට ප්‍රශ්න පත්තරයක් තියෙනවා.. කොහොමත් කවි නම් ඉතිං මට අනේ මන්දා... කවුරුහරි තේරුමත් එක්කම කියලා දෙනවා නං මට තේරෙනවා ගොඩක් කවි... මේ අද මෙහෙම කියන්නේ අවුරුදු 5කට විතර කලින් දිනපතා කවි ලිව්ව එකෙක් හොඳේ... හි හි... සාහිත්‍ය පරිශීලනය කරන එක අඩුවෙන්න අඩුවෙන්න රසවිඳීමේ හැකියාවත් මොට වෙලා යනවා... ඒකයි මගේ අත්දැකීම... හි හි

    ඒවා පැත්තකින් තියලා හැප්පි හැප්පි ඇනිවසරියක් වේවා.... !!!

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න පත්තරේ කෝ.ස්තූතියි හිරූ

      Delete
  8. ඔය පළවෙනි කවිය කියලා තියෙන්නෙ කුමාරතුංග මුනිදාස මහත්තයාලු.අභියෝගය කරලා තියෙන්නෙ තවත් කිවිදියක්...ඇගෙ හැට්ට කර අතරින් පෙනෙන තන දෙස රබර් ඇහෙන් බලා....

    අනේ
    පනේ
    තනේ
    පෙනේ....

    යනුවෙන් කී බවයි අප අසා ඇත්තේ

    මේක මාගල කවියට සමානයි..

    ප්‍රේමදාසගේ පාලන යුගයේදී “මා පිය කැප කරු ක්‍රමය” කියලා සංකල්පයක් තිබුනා. (උන්නැහේ සංකල්ප දෙයියා)
    ඒ සංකල්පයත් එයාගේ ඇත්ත “ගේම්” එකත් සලකලා කැම්පස් එකක ලියලා තිබුණ කුරුටු ගීයක් මේ...

    මාපියා කල්ලියෙන්
    මා පියා ගෙන ගියා
    මා පියා හැරපියා
    කුමට කැප කරු පියා....?

    මේක ආගන්තුක හිමි නමකට පන්සලේ ලොකු හාමුදුරුවෝ තමන්ගේ ඇබිත්තයන් 4 දෙනා හදුන්වා දුන් ආකාරය කියවෙන කවියක්....

    මේකා මේ බණින එකාය - කවදත් මේකා දෙවිදත් යකා
    මේකා ඊටත් වැඩිය යකාය - කුහකා මේකාය කෝකාලිකා
    මේකා මේ ලෝ රවටා කකා - එන එකා මෙන් ජම්බු කා ජීවකා
    මේකා ආලවකා යකාය - සැණෙකා මේ ගමම කා‍ දෝ සැකා

    ඇනිවර්සරියට සුබ පැතුම්....!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔය තියෙන්නෙ විවරණ අඩු නැතිවම,මම බලාපොරොත්තු වුණෙත් ඒකයි.
      සුබ පැතුමට ස්තූතියි සුමිත්.

      Delete
    3. ඔය තනේ වැනේ කියන කවිය මුණිදාස මහත්තය කිව්වම ඒ නෝන පැමිණිලි කරාලු කාන්තාවකට ගරු කරන්න නොදැන මොන භාෂා විශාරද කම්ද කියල. ඉන් පස්සෙ මුණිදාස උන්නැහෙ කිව්වලු නෝනගෙ හිතන විදිය ගැන මට කරන්න දෙයක් නෑ. ඒත් මේ කවියෙ අදහස "අනේක ප්‍රාණීහු තෘෂ්නාවෙන් වැනසෙත්" කියල.

      ඇනිවසරි ජයටම තිබ්බ වෙන්ටැ!

      ඉස්සරනං බ්ලොග් අවකාශෙත් කවි මඩු තිබ්බ. දැන් ඒකෙ බයිල විතර නොවැ.

      Delete
  9. උඩ බාගෙ කියන කොට මතක් වෙන්නෙ සුමනා උඩබාගෙ කියන
    කිවිඳිය.
    ඉඳ හිට පැවැත්වෙන කවි මඬු රස ගුලාවල්. කලින් සකස් කර ගත් හෝ නොගත්
    මාතෘකා යටතේ හිටිවනම පබැඳෙන කවි , පිරිස දෙකොටසකට බෙදී
    ගයනව. හරිම විනෝද ජනකයි. සමහර ඒව අවසන් වෙන්නෙ ගෝරි වලින්.
    සුමනා උඩබාගෙ පුළුල් ලැමක් ඇති තරුණ කිවිඳියක්. ඇය අවුස්සන්නට සිතූ
    එක් තලතුනා කවියෙක්;
    ” සුමනා උඩබාගෙ සුමනා උඩබාගේ
    පැය බාගෙකට දෙනවද ඔබෙ යට බාගේ?” කියා ඇසුවේලු.

    සුමනත් ලේසියෙන් අරින ජාතියෙ කෙනෙක් නෙවේ.
    ” ඔය වයසට මොනවටදෝ යට බාගේ
    ඕනෑම නම් දෙන්නම් මගෙ පසු බාගේ” යයි උත්තර දී ඇත. මෙහි පසු බාගෙ
    යනු පස්ස පැත්තයි.

    http://nihalw.wordpress.com/2012/03/25/%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%99/comment-page-1/

    ReplyDelete
    Replies
    1. ඔබෙත් විවරණය බොහොම වටිනව ඇනෝ.ගොඩාක් ස්තූතියි

      Delete
    2. ඕක කියලා තියෙන්නෙ එහෙම නොවෙයි. යට බාගෙ වැඩ බැරි කොට පසු බාගෙ වැඩේ කොහොම කරන්නද?
      "ඔය වයසට මොටදෑ තට යට බාගේ
      ඕනමනම් ලෙවකන් මගෙ පසු බාගෙ "

      Delete
  10. මචං උඹලා දෙන්නට කවියෙන් සුභ පතන්න තරම් කවියෙක් නම් නෙවෙයි මම. නමුත් මෙවැනි සංවත්සර ගණනාවක්ම පසු කරන්නට උඹලා දෙන්නට හැකිවේවා කියලා පතනවා.

    ඔය අනිත් උන් නම් දීලා තියෙන්නෙ ලෙසටම. යකෝ මාතලන් නියම කවියෙක්නෙ ඌට කවි සිතුවිලි පහල වුනාම. ඇයි මේ පොඩි එකා අකමා! මට ලැජ්ජත් වගේ කවියක් වනා ගන්න බැරි වුනාට.

    ReplyDelete
    Replies
    1. කවි නොලීවට සුහද සිතින් කල හෘදයාංගම සුබ පැතුමට බොහොම ස්තූතියි මචං.
      අපි දෙන්නට විතරක් වෙන්න ඇති කවි ලියන්න බැරි.බැලුවාම ඔක්කොම කවිකාරයොනෙ.

      Delete
  11. යට භාගේ ඉල්ලුව එකනම් පට්ට හිනහ යන වැඩක් නොවෑ.. හික් හික් හික්

    කොල්ල ගානට හාමුදුරුවරුන්ව අන්දලා තියෙනවා අන්දරේ වගේ පොරක්නේ
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. එහෙනං කොරළේ මහත්තයො,හාමුදුරුවන්වත් අන්දලනෙ

      Delete
  12. 19ට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔච්චරමද රජෝ කියන්න තියෙන්නෙ

      Delete
  13. ලොකු අයියේ ඔන්න මම දවසක් මේ
    බ්ලොග් අවකාශේම තැනක දැම්මා මෙන්න මේ කවිය ...

    ඇස් ඇරලා තව බල
    බොට නැද්ද ඉහ මොළ
    රිංගන්න කැපු වල
    සනුහරේ බේර මෙහෙ වර



    කවි රස මහා ඉහළින් දන්නවා කියන කෙනෙක්ගෙම කවියක මිහිර
    විඳීමේ හැකියාව එදා එයා පෙන්නුවා ..
    විශේසෙන් කියන්න ඕනේ ඒ බ්ලොගය අයිති කෙනා නම් කිසිම
    දේකට පලි නැහැ..!


    ඔන්න ඔහොමයි පුල්මුඩේ තත්වේ ලොකු අයියේ..ලොරි ටෝක් නම්
    ගමකට.කවියක උපහාසය තේරුම් ගන්න බැහැ...

    ReplyDelete
    Replies
    1. 19 වසරක විවාහ සංවත්සරයට සුබ පැතුම් ...
      හෑ ලොකු කොල්ලට 18 නේද ?

      Delete
    2. එහෙම තමයි සහන්,කතාවල හැටියට වැඩ නෑ.සුබ පැතුමට ස්තූතියි.

      Delete
  14. විශිෂ්ඨයි හැලපයියෙ..!
    මේ වගේ සෞන්දර්‍යාත්මක ඉස්ව්වකට බ්ලොග් ලෝකෙ ගෙන යන්න ඇත්නම් කියල හිතෙනව. කවිය කොයි තරම් රසවත්ද..?

    පඥඥා කිත්ති කතාව මාත් අහල් තියෙනව.

    ඇනවසරියට සුබ පැතුම්..!
    සෙට් වෙමුදපාටියකට..?

    ReplyDelete
    Replies
    1. කවිවල සුන්දරත්වය හඳුනන ඔබ වැනි අය දැකීමත් සතුටක් වීයො,සුබ පැතුමට ස්තූතියි.අනිවාර්යයෙන්ම සෙට් වෙමු.

      Delete
  15. හැපීම හැපී ඇනිවසරියක් වේවා දෙන්නටම !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වෙනී ඔබටත්.

      Delete
  16. හෙටට යෙදෙන හැලපකාරයාගේ උපන් දිනේටත් එක්කම මෙන්න මගෙන් සුභ පැතුම්!

    ;-)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කකා,කොහොමද අපි දෙන්නගෙම උපන් දිනේ එකම දවසෙයි කියල හොයා ගත්තෙ.

      Delete
  17. පට්ට කවි නේ. යට බාගේ.. :D

    ඇනිවසරියට සුබ පැතුම්..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන

      Delete
  18. ශානුක කොල්ලා කොම්පීතරෙ වෙත දක්කා
    අටවං බ්ලොගක් ආතල් දෙන අපේ ලොක්කා
    දහනම වසක් මේ වස්සා ගෙන දක්කා
    මටනං දුකයි පව් බං ඒ සුදු අක්කා

    ReplyDelete
    Replies
    1. කයිය පද බඳින්න ගිහිල්ලද එන්න පරක්කු වුනේ,අනේ අනේ අටමො

      Delete
  19. හෙට රෑට කමෙන්ට් සියල්ලටම පිළිතුරු දෙමි.එතෙක් කමන්න.

    ReplyDelete
  20. හැලප ජෝඩුවට උණුසුම් සුභ පැතුම්! කයිටික නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ්

      Delete
  21. මම නම් පරක්කුයි. ඒත් සුබ පැතුම් ගොඩයි. කවි කියන්ට දන්නවා නම් කවියක් ලියලම තමා නතර වෙන්නේ.:)

    මට කවි ලියවෙන්නෙම නෑ. ඒ කියන්නේ බෑම තමා.:(

    ReplyDelete
    Replies
    1. ලියල බලමුකො පොඩ්ඩියෙ,ඔය බෑ බෑ කියල හිටපු උන් ඔක්කොම ලියල තියෙන්නෙ.
      සුබ පැතුමට ස්තූතියි.

      Delete
  22. හැලපයියයි හැලපක්කයි දැන් බැඳලා
    හැලප කසාදෙට දහනව වසරක් පිරිලා
    හැලපැටියෙකුත් අප අතරට ගෙනවිල්ලා
    හැල පවුලටම සුබ පතනවා කෑ ගසලා

    ReplyDelete
    Replies
    1. ලස්සන කවිය අයිලාස්,බොහොමත්ම ස්තූතියි.

      Delete
  23. ඇයි අර මට මතක් වුනේ සිරි පාදේ යන නඩ දෙකක කවි සංවාදේ

    "වැඳලා බහින මේ අයියලා ගාව නැද්ද අග්ගලා" සිරිපාදේ යන නංගිලා ටිකක් ආපහු එන අයියලා ටිකකගෙන් ඔහොම අහනකොට ඒ නඩේ හිටපු කට කැඩිච්ච කොල්ලෙක් මෙහෙම කියනවලු

    "නංගි අපේ අග්ගලා සීතලේට ඇකිලිලා"

    අර කවියත් මතක නෑ..

    අර අම්බලමක නැවතිලා යන්න යෝජනා කරපු කවියට ගෑනු කෙනා දෙන කයි උත්තරේ

    ReplyDelete
    Replies
    1. හැපී වෙඩින් ඇනිවසරි හැලපයියේ

      Delete
    2. ස්තූතියි පැතුම්,අර කවිය මතක් කරලා ආයෙම ලියන්නම්

      Delete
  24. අපෙනුත් සුභ පැතුම්.

    ReplyDelete
  25. සුබ පැතුම් අනුවෙසරියට..! තව කයි ටිකක් තිබ්බනම් සෝයි...

    ReplyDelete
  26. යකෝ හැලපයා අපේ මංත්‍රීතුමා ගැන ලියල තියෙන්නෙ.දැන් ඉන්න උන් වගෙ නෙමෙයි බොහොම සරල මනුස්සයෙක්.ඔය කවිය මම අහල තියෙන්නෙ මෙහෙම.

    සෝමා උඩබාගෙ සෝමා උඩබාගේ
    මට පොඩ්ඩකට දෙනවද යටබාගේ

    කියලයි.

    මේ සෝමා උඩබාගෙ කියන නෝනා බොහොම ප්‍රසිද්ධ කිවිඳියක් වගේම ලංකාවට බතික් කලාව හඳුන්වල දුන්න කෙනා. මගෙ මතකය හරිනම් පේරාදෙනියෙ තියන තම්බපන්නී කලායතනය පටන්ගත්ත ප්‍රෙමකුමාර එපිටවෙල කියන කලාකාරයගෙ නෝනා.

    මන්ත්‍රීතුමාගෙ තවත් කවියක් තියනව.පිලියන්දල තිබුන ‍රැස්වීමකදි කොල්ලො ටිකක් සෝමවීර මහත්තයට හූ කියල. මෙන්න මෙහෙම කවියකින් එවලෙම කොල්ලන්ට උත්තර දුන්නලු මෙහෙම.

    එම්බා කොල්ලනේ අද මට හූ කීව
    අම්මට කියා මකවාගන් තොපෙ හූව.

    සෝමවීර මහත්තයලට දැන් වගෙ මොන්ටෙරෝ තිබුනෙ නෑ. ‍ෆියට් මල්ටිප්ලා කියන පරන කාර් එකක් තමයි තිබුනෙ.සුදු සරමයි අත් දිග මේස් බැනියමයි ඇඳල ඔය කාර් එකේ යනව ආසනේ පුරා.ඔය කාර් එක ලැබුන හැටි ගැනත් කතාවක් තියනව.

    දවසක් මෙයා ගියාලු බන්ඩාරනායක මහත්තයා හම්බවෙන්න රොස්මීඩ් ප්ලේස් එකට.එතකොට වාහනයක් නෑ. ඉතින් මීටිම ඉවරවෙනකොට අනෝරා වැස්ස වෙලාවත් රෑ දොලහටත් වෙලාලු.ඉතින් බන්ඩාරනායක කිව්වලු සෝමවීර දැන් බසුත් නෑ වහිනවත්නෙ අන්න අර මගෙ පොඩි කාර් එක අරගෙන ගෙදර යන්නකියල.ඉතින් වාහනේට නැගල ගෙදර එන්නෙ නැතුව කෙලින්ම පත්තර කන්තොරුවකට ගිහින් දන්න පත්තර කාරයෙකුට කියල පොටෝඑකකුත් එක්ක පහුවදා පත්තරේට දාගත්තලු බන්ඩාරනායක මහත්තයා මන්ත්‍රීතුමාට කාර් එකක් තෑගි දුන්න කියල.පහුවදා පත්තරේ නිව්ස් එක ගියාට පස්සෙ කාර් එක ආපහු ඉල්ලුවෙ නැතිලු.

    ReplyDelete

ඔබේ අදහස්