Friday, March 15, 2013

39.තරු මතක



අපි හික්කඩුවෙ ගිහිල්ල ටෙලිය ගහගෙන ආපහු ඇවිත් වැඩිකලක් යන්න ඉස්සෙල්ල බෙනට් ටෙලි නිෂ්පාදන ආයතනයක් ආරම්භ කලා ගෙවල් ළඟම.

ආයතනයෙ නම "බෙන් ෆිල්ම්ස්" බත්තරමුල්ල පන්නිපිටිය පාරෙ පැලවත්ත හන්දියෙ ඉඳල කිලෝමීටරයක් විතර තලවතුගොඩ පැත්තට වෙන්න පාර අයිනෙ තිබ්බෙ.ගේ ඉස්සරහින් කොටුව තලවතුගොඩ 174 බස් දුවනව.නාගරික පහසුකම් ඔක්කොම තිබුණත් ඒ හරිය ඒ කාලෙත් බොහෝ දුරට  ගමක්.

බෙන් ෆිල්ම්ස් ආයතනය විවෘත කරන උත්සවයට මට ආරාධනාවක් ලැබිල මමත් ගියා....ඒ දවස්වල මම වැඩකළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ..ඔය 1988 අන්තිම හරියෙ වගේ...

1989 අවුරුද්දෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය තදින්ම රටතුළ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා....මුලු රටම අරාජික තත්වයකට පත්වුණා...ගමනාගමනය අඩපණයි....කෝච්චි බස් දිව්වෙ නෑ.

සැරයක් එක දිගට සතියක් ගෙදර නැවතිලා හිටියා වැඩට යන්න විදියක් නැතුව....මම චූටියත් එක්ක චූටියලගෙ වත්ත පහළට වෙලා රේල් පාර දිහා බලාගෙන ඉන්නව....දවසටම කෝච්චි දෙකයි යන්නෙ.....කොළඹ යන ඔක්කොටොම ඔය කෝච්චි දෙක ඇතෑ.

ආණ්ඩුවට විරුද්ධ කඩාකප්පල්කාරී ක්‍රියා උත්සන්න වෙද්දි ආණ්ඩුවත් ප්‍රතිචාර දක්වන්නට ගත්තා...
රෑට රෑට ගම්වලට කඩාවදින පොලිසිය හමුදාව තරුණයන් ගෙනිහින් මරල ටයර් දාල පුච්චන්න ගත්ත....
ගමේ ඉඳීම හරිම භයානකයි.....තරහකාරයෙක් ඔත්තුව දුන්නොත් හරිද වැරදිද බලන්නෙ නෑ කෙළින්ම ගෙනිහින් මරල දානව.

දේශප්‍රියත් එක්ක දවසක්දා මම මේ කතාව කිව්වා....

උඹ ගෙදර ඉන්න එපා....ඇවිත් බෙන් එකේ නැවතියන්....එහෙ ඔය ත්‍රස්තවාදී ප්‍රශ්න නෑ...

දේශා කිව්වා....ඔන්න ඔය විදියට තමයි මගේ බෙන් ෆිල්ම්ස් සම්ප්‍රාප්තිය සිද්දවුණේ.

 ඒ වෙනකොට බෙන් ෆිල්ම්ස් එකේ හිටියෙ රුවනුයි ප්‍රභාතුයි දෙන්නා.....කැමරා සහායක රුවන් මාවනැල්ලෙ උතුවන්කන්දෙ.....ප්‍රභාත් ශබ්ද සහායක..ගම හිඟුලෙ....දේශා තමයි පටිගත කිරීමේ ශිල්පියා.... උදේ ඇවිත් හවස ගෙදර ගියා...ගෙවල් ඒ ලඟමනෙ.

බෙන් ෆිල්ම්ස් එක තිබුණු ගේ අයිති ඒ හරියෙම ගෙදරක හිටපු තරුණ පහේ කාන්තාවකටයි.....ඇයට ඒ හරියෙ දේපළ ගොඩක අයිතිය තිබුණා....පොක්ස්වාගන් කාර් එකක ඇවිත් කුලිය අරගෙන යනවා.....පොඩි දරුවෙක් හිටියා... මහත්තය පිටරටලු.

 මම උදේම ලෑස්ති වෙලා ගේ ඉස්සරහින් බස් එකට නැගල බොරැල්ලට ගිහින් 154 ක නැගල ඔපිස් එකට යනවා...

උදේට සහ දවල්ට කෑම කැන්ටිමෙන්....උදේට නම් පානුයි හොදියි...දවල් තමයි අප්සෙට්....කැන්ටිමේ කෑම එක මෙලෝ යකෙකුට කන්න බෑ වතුරයි බතුයි කනව වගේ...එළියෙ කඩවලින් වැඩි ගාණක් දීල කෑම ගෙනත් කන්නත් බෑනෙ ලැබිච්ච පඩියෙ හැටියට.

බ්‍රාන්ච් එකේ අයනම් ගෙවල් වලින් රසට කෑම එක හදාගෙන  සුවඳට කෙසෙල් කොළේ ඔතාගෙන ඇවිත් කට්ටිය වටවෙලා බෙදාගෙන කන්නෙ....මාත් ඉතිං කාලයක් ඔය විදියට ගෙදරින් ගෙනත් කෑවනෙ....දැන් තමන් විසින්ම පිටුවහල් වෙලා ඉන්න මට මොන රස කෑමද.....ඒ ගැන මතක් වෙනකොට හරිම ආත්මානුකම්පාවක් හිතට දැනෙනවා.

රෑට හොද්දක් හදල තලවතුගොඩින් පාන් ගෙනත් කනවා.....සති අන්තෙ දවස්වලට මම බත් උයනව....අර දෙන්නට උයන්න එච්චර තේරෙන්නෙ නෑ.

 බත් රයිස් කුකර් එකේ උයාගන්න... පරිප්පු හොද්දක් හදන්න...කරෝල තෙල්දාන්න...පොල් සම්බෝලයක් හදාගන්න මම ඒ දවස්වලත් දන්නව...

එළවලු ජාති උයන හැටි තමයි දැනගෙන හිටියෙ නැත්තෙ.

රුවන්ලගෙ තාත්ත කොළඹ එක එක වැඩවලට ආපුවාම රෑ අපිත් එක්ක නතර වෙන්න එනවා....තාත්තගෙන් එළවලු උයන හැටි දැනගත්තා....එයා දවසක් අපිත් එක්ක එකතුවෙලා වත්තෙ ගහකින් කොසයක් කඩල කිරිකොසුත් හැදුවා.

රුවනුයි ප්‍රභාතුයි ෂූටිං එකකට ගිය සිකුරාදා දවසක රුවන්ලගෙ තාත්ත ඇවිත්....ගාණක් නෑ මම ඉන්නවනෙ කියල හිතල නැවතිලා....මම එදා වැඩ ඇරිල කොටුවෙ රස්තියාදුවකුත් ගහල එහෙම එනකොට කරුවල වැටිල....බෙනට් මම එනතුරු බලාගෙන ඉන්නව...කට්ටියකුත් ජීප් එකක ඇවිත් හිටිය.

සර්වෝදයෙ කට්ටියක් හංවැල්ල පැත්තෙ....ඒ අයගෙ වැඩ සටහනක් වීඩියෝ කරගන්න ඇවිත්.....ඒ අයත් එක්ක මාව යවන්න තමයි බෙනා බලාගෙන හිටියෙ.

කැමරා ආම්පන්නත් ජීප් එකට පටෝගෙන මම උං එක්ක ගියා....ටොප් ගමන කියල වැඩක් නෑ හරි ලස්සන පැත්ත....කැළණි ගඟඉවුරෙ එදා රාත්‍රියෙ පටන්ගත්තු වීඩියෝ කිරිල්ල ඉවර වෙද්දි පහුවදා දවල් වුණා....කෑමෙන් බීමෙන් කිසිම අඩුවක් තිබ්බෙ නෑ.

පහුවදා හවස්වෙද්දි මාව ආපහු ගෙනත් ඇරලුවා....නිකං නෙවේ....රෑට කන්න ලොකු බත් මුලකුත් බැඳල දීල පැණි රඹුටං දෙසීයක විතර මල්ලකුත් දුන්නා.

බෙන් එකට ඇවිදින් ගාණ කීයද කියල ඇහුවාම මම කිව්වා අපේ සාමාන්‍ය ගාණ...

අයියෝ......දවස් දෙකක් විතර වැඩකරල ඔච්චර පොඩ්ඩක් මොකටද....

ලියල දෙන්න මට රිසිට් එකක්.... කියල ඉල්ලුව ගාණ වාගෙ තුන් ගුණයක මුදලකුත් මට දුන්නා...

අහළ පහළ ගෙවල්වලටත් බෙදල මට ඔපිස් ගෙනියන්නත් ඇතිවෙන්න රඹුටන් තිබුණා...

ඒ වුණාට හරි වැඩේ...රුවන්ලගෙ තාත්තට එදා තට්ට තනියම ඉන්න වුණානෙ....තාත්ත හොඳටම බයවෙලා....

මම ප්‍රෙෂර්කාරයා....හදිස්සියෙවත් රෑ ප්‍රෙෂර් එක නැග්ග නං මම තනියම මොනව කරන්නද....

ඔහොම තමයි අන්කල්....බයිස්කෝප් කාරයන්ට රැයක් දවාලක් නෑනෙ....මම කිව්වා.

ඊට පස්සෙ නං ඇවිත් යන්න ආව මිසක් රුවන්ලගෙ තාත්ත රෑ නවතින්න ආවෙ නෑ.

අවුරුදු විසි ගාණකින් රුවන්ලගෙ තාත්තව දැක්කෙ නෑ.....දැනට මාස කීපෙකට ඉස්සෙල්ලා රුවන්ලගෙ අම්ම නැතිවුණු වෙලාවෙ මම රුවන්ලගෙ තාත්තට කතා කරල ශෝකය ප්‍රකාශ කළා.

නම කියපු ගමන්ම ඇහුවෙ....

මතකද අපි එකතුවෙලා කොස් උයල කාපුහැටි....කියලයි.

බෙනට් අධ්‍යක්ෂණය කළ තරු ටෙලි නාට්‍යයේ ප්‍රධාන කැමරා ශිල්පියා වුණේ ධර්මෙ.

ධර්මෙ කිව්වට සම්පූර්ණ නම කේ.ඒ.ධර්මසේන.....ඒ වුණාට මුලු කලා ලෝකයම දන්නෙ කිචි ධර්මෙ කියපුවාම තමා...මොකද ධර්මයට හරියට කිචි....ඉළේට අත තියන්න ඕනැ නෑ ඒ පැත්තට අත දික්කලත් ඇති හොඳ කුණුහරුපත් එක්ක ලඟ ඉන්න එකාට වදිනව පාරක් පටෝං ගාල...

ධර්මෙගෙ ගම මීරිගම බෝතලේ පහළගම....වරකපොල පාරෙ අන්නසිවත්තෙ කඩේ ලඟින් හැරිල තමා ගෙදරට යන්න තියෙන්නෙ...මම හොඳට පාර දන්නෙ අපේ අම්මලගෙ ගමත් බෝතලේ ඉහළගමනෙ...අපි එහෙ යනකොට බස් එකෙන් බැහැල යන්නෙ ධර්මෙලගෙ ගෙවල් ඉස්සරහින්.

ධර්මෙ පොඩි කාලෙ ඉඳලම වැඩකරල තියෙන්නෙ ලෙස්ටර් මහත්තය ලඟ....නැවතිල හිටියෙත් ලෙස්ටර් මහත්තයගෙ ඩික්මන් රෝඩ් එකේ ගේ පිටිපස්සෙ තිබ්බ පොඩි කෑල්ලකයි....තවත් චිත්‍රපට කැමරා ශිල්පියෙක් වුණු මර්සලින් පෙරේරාත් ධර්මෙත් එක්ක එතන නැවතිලා හිටියා.

සමහර දවස්වල රෑ මුං දෙන්න හොඳටම බීල ඇවිත් රණ්ඩුවෙලා ගහගන්නවලු......

පහුවදා උදේ ලෙස්ටර් මහත්තය ධර්මෙට කතාකරල අහනවලු....

මොකක්ද ධර්මසේන ඊයෙ රෑ ඒ පැත්තෙන් සද්දයක් ඇහුණෙ....කියල

ධර්මයත් සාන්ත දාන්ත අහිංසකය වගේ අත් දෙකත් බැඳගෙන ....

නෑ සර්....මේ නිකං සර්...කියනවලු
 
ලෙස්ටර් මහත්තය එතකොට හිනාවෙලා...

හා හා ධර්මසේන යන්න....කියනවලු.

 ධර්මෙගෙ ලෝකෙ මුදුන් මල්කඩ තමයි ඔහුගෙ ස්වාමියා වෙච්චි ලෙස්ටර් මහත්තය....ධර්මෙ ඔහුට සැලකුවෙ රජෙක් හා සමානව....අපි කිසි කෙනෙකුට ලෙස්ටර් මහත්තයගෙ කිසිම චිත්‍රපටයක් විවේචනය කරන්න බෑ ධර්මය ඉන්න තැන....ධර්මෙ වහාම එයට එරෙහි වෙනව.

කලා ලෝකයේ කිසිම කෙනෙකුට ලෙස්ටර් මහත්තයට තරම් දැනුමක් නැතිලු....ඇත්ත වෙන්න පුළුවන්....ඒ වුණාට ලෙස්ටර් මහත්තයත් හොඳ චිත්‍රපට වාගෙම අවර ගණයේ ඒවත් කීයක්නම් හැදුවද...ඒ කිසිදෙයක් අපට කියාගන්න බෑ ධර්මය බනිනව...

ඔය ගොල්ලො කව්ද ලෙස්ටර් සර් එක්ක බලාපුවාම....කියල.

අපි තරු කරද්දි දවසක්දා ෂූටිං ඉවරවෙලා ආපහු එනව....වෑන් එකේ නිශ්ශංක දිද්දෙනිය හෙවත් දිගාත් හිටියා....අපි චිත්‍රපට ගැන කතා කරමින් ආවෙ....වෑන් එක එලවගෙන ආවෙ ධර්මයා....

දිගා ලෙස්ටර් මහත්තයගෙ අලුත් චිත්‍රපටය ගැන විවේචනාත්මකව කතාකලා...කතාව ඇත්ත.....ධර්මය එවෙලෙ කටවහගෙන හිටියට දිගාව බස්සල ආපහු එනකොට කියනවා...

එයා මේ ඊයෙ පෙරේදා ආපු එක්කෙනෙක්නෙ...එයා කොහොමද ලෙස්ටර් සර්ගෙ චිත්‍රපට වල දොස් කියන්නෙ .....කියල.

ෂූටිං ඉවරවෙලා අපි ධර්මයත් එක්ක බෙන් එකට එනව.....කට්ටියට රෑට කන්න නිෂ්පාදනයෙන් සල්ලි හම්බවෙනව රුපියල් දාහක් විතර...

බොරැල්ලෙන් බෝතලුත් අරගෙන කෑම ගන්න කඩයක් ළඟ නවත්තද්දි ධර්මෙ කිව්ව...

නිකං අපරාදෙ කඩවලට සල්ලි දෙන්න ඕනැ නෑ සර්.....අපි ගිහිල්ල මොනව හරි උයාගෙන කමු .....කියල

පස්සෙ සිල්ලර කඩේකින් බඩුත් අරං බෙන් එකට ගියා...

බැලුවාම ධර්මයට ටොප් එකට උයන්න පුළුවන්....පරිප්පු හොද්දක් හදනව හරිම රසට....ගෑවිච්චි තැන කන්න පුළුවන්.

ධර්මෙ සාමාන්‍යයෙන් පරිප්පු උයනකොට කොළ මොනවහරි දානව...දවසක් නිවිති ගේන්න අමතක වෙලා....

මට නම් කොළ මොනවහරි නැතිව පරිප්පු කන්න බෑ....ධර්මය කියනව

මේ රෑ කොළ කොහෙන් හොයන්නද....

පොඩ්ඩක් ඉන්ඩකො....කියල මම ගිහින් ළිඳ ළඟ වැල් පෙනෙල ගාලෙන් පඳුරක් ඇදගෙන ඇවිත් දුන්නාම ධර්මය පෙනෙල කොළ හොද්දට දැම්ම....ඒකත් නරකම නෑ අමුතුම රසක් ආව.

පරණ කතා කිය කිය අපි බෝතල් හිස්කරනව....ධර්මය ළඟ ඔය චිත්‍රපට හදාපුවයෙ රස කතා තියෙනව ඉවරයක් නැතුව.

බත්ටික බඩට වැටෙනව විතරයි ධර්මයට එතනම නින්ද යන්ව...

මට මේ කතාව කිව්වෙ චන්න...අපි සයුරෙන් එහා කරද්දි චන්න තමයි සහාය කැමරා ශිල්පියා වුණේ....අද චන්න දේශප්‍රිය සම්මාන දිනූ චිත්‍රපට කැමරා ශිල්පියෙක්.

මම ඒ කාලෙ ධර්මයව දැකලවත් නෑ....

විරාගය හරි මොකක් හරි ඒ වගේ චිත්‍රපටයක් කරද්දි ධර්මයගෙ ඉළ බැරැන්ද ඇවිලිලා....

 බේත් ගෙනාවට ගාන්න පුළුවනෑ.... මූට කිචිනෙ

අනේ මේක ගාපල්ලකො කවුරුහරි......

ධර්මය කිව්වට කවුරුත් බේත් ගාන්න ඉදිරිපත් වෙන්නෙ නෑ....

අන්තිමේදි ඔන්න එකඟතාවකට ආව.....චිත්‍රපටයෙ වැඩට ගෙනාපු හෙන බර පෙට්ටගමක්....හතර දෙනෙක්ද කොහෙද ඕක උස්සන් ඇවිත් තියෙන්නෙ.

දැන් ධර්මය මේ පෙට්ටගම බදාගෙන ඉන්නව.....කිසිම හේතුවක් නිසාවත් අතහරින්න බෑ....පස්ස හැරිල ගහන්න බෑ.

එකෙක් ධර්මයගෙ ඉළ බැරැන්දෙ බේත් ගාන්න ගත්ත.....

ග්ග්ග්ග් ර් ර් ර් ර් ර් ර් අම්මටෝ...ඕ ඕ.....හු....ම්ම්ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්

පෙට්ටිය බදාගෙන ඇඹරුනු ධර්මය අර පත පෙට්ටගම දෑතින් උඩටම ඉස්සුවලු.

ලෙස්ටර් යුවලගෙ චිත්‍රපට හැම එකකම වගේ ධර්මෙත් පොඩි කෑල්ලකට ඉන්නව....

සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා චිත්‍රපටයෙ පොඩි ළමය පාන් ගන්න යන කඩේ මුදලාලිට ඉන්නෙ ධර්මෙ..

බැද්දෙගම චිත්‍රපටය කරද්දි සිද්දවෙච්චි දෙයක් ධර්මෙ මගෙත් එක්ක කිව්වා...

චිත්‍රපටයෙ පුංචිහාමිට රඟපාන නදීකාව කැළේට ඇදන් ගිහින් මරල දාන දර්ශනය ඉතාම තාත්වික විදියට රූපගත කරන්නට ලෙස්ටර් මහත්තයට ඕනැවෙලා තිබුණලු.

නදීකව කැලේට ඇදගෙන යන කණ්ඩායමේ ධර්මෙත් ඉන්නව...සිද්දවෙනදේ ඔක්කොම නදීකට කියල නෑ....කැලේට ඇදන් ගිහිල්ල මරල දානව කියල තමයි කියල තියෙන්නෙ..

දැන් නදීකා කැලෑ පාරෙ තනියම ඇවිදගෙන එනව....කැමරාව ක්‍රියාත්මකයි......හැංගිලා හිටපු ධර්මෙ ඇතුළු කණ්ඩායම පැන්න ගමන් නදීකව වටකරගෙන අල්ලගන්න....නදීකා දුවන්න ගත්ත.

ඔහෙ හිටු බැල්ලි....කියල ධර්මය පැන්න ගමන් නදීකගෙ හැට්ට කරෙන් ඇද්ද පාර හැට්ටෙ පලුවක් ඉරිල ධර්මයගෙ අතට ඇවිත්.....

නදීකගෙ හංසයො එළියට පැන්න කියලයි ධර්මය කිව්වෙ.

බලාපොරොත්තු වුණු විදියටම තාත්විකව දර්ශනය ගන්න ලැබුණත් හවස් වෙද්දි නදීකට වෙව්ලල උණ ගත්තලු බය වෙච්චි පාර....ඒ ගමන බේත් අරන් දීල ගෙදර එක්කන් ඇවිත්.

ඔය වාගෙ තවත් කතා අටෝරාසියක් ධර්මෙ කිව්වත් ඒ ඔක්කොම මෙතන ලියන්න බෑ....කොච්චර උණත් ඒ අයත් තාම කලා ලෝකෙ ඉන්නවනෙ.

ෂූටිං දවස්වලට බෙන් එකට උදේට එකතුවෙන කට්ටියට කන්න මම ඉඳිආප්ප ගෙන්නනව....අපේ විශාල ඉඳිආප්ප ඕඩරේ ගන්න ඒ හරියෙ ඉඳිආප්ප තම්බන ආච්චිල දෙන්නෙක් පොරකෑව.....දෙන්නම මගෙ යාලුවො.....මම කරපුදේ දවසක් ඇර දවසක් වශයෙන් දෙන්නට ඕඩරේ බෙදල දුන්නා.

මම කොල්ල කාලෙ උදේට ඉඳිආප්ප හැත්තැපහක් කාල තමයි සෙට් එකට යන්නෙ....ඒ සංදේශය කරපු කාලෙ.....

ඉඳිආප්ප කන ගමන් ධර්මෙ කියනව.....

අර හෙන පත ලයිට් එක්ක ඔට්ටු වුණාම දවල් වෙද්දි කාපුව ඉවරයි.....

ඒ කාලෙ දැන් වාගෙ නෙවෙයිනෙ.....කිලෝවොට් 500 1000 ලයිට් එහෙම පිටින් යකඩ කඳන්.....

2010 දි ධර්මෙ මියගියා.....මරණය තියල තිබුණෙ ජයරත්න මල් ශාලාවෙ....ධර්මෙගෙ අභාවය ගැන පත්තරෙන් දැකපු මමත් ගිහින් අවසන් ගෞරවය දක්වල ආවා.

 ධර්මෙගෙ අවසානය සිදුවුණු හැටි අපේ අල්ලපු වත්තෙ සිරිල් මාමගෙ පුතා සරත් අය්යා අපේ ගෙදර ආපු වෙලාවක කිව්වා....

සරත් අය්යා විරාගය(1987) චිත්‍රපටයෙ ඉඳල අද දක්වා නිෂ්පාදන කළමණාකරුවෙක් හැටියට ක්ෂේත්‍රයේ වැඩකරන ප්‍රසිද්ධ චරිතයක්.

සැරෙන් සැරේ අසනීප ගති මතුවෙමින් හිටපු ධර්මෙ රූපගත කිරීමකට යද්දි බරපතල විදියට අසනීප වෙලා....ළඟම තිබුණු ඉස්පිරිතාලෙට ඇතුල් කරපු ධර්මෙව පරීක්ෂා කරල වෛද්‍ය පරීක්ෂණ ගණනාවක් කරල වාර්තා අරගෙන එන්න කිව්වලු....ඒ වාර්තා ගන්නම ලොකු මුදලක් වියදම් වෙනවා...

සරත් අයියට පැත්තකට කතාකරපු වෛද්‍යවරයා...

බොරුවට සල්ලි වියදම් කරන්න එපා...පිළිකාව ඇඟ හැමතැනම පැතිරිලයි තියෙන්නෙ.....සනීප කරන්න බෑ ගෙදර එක්කන් යන්න....කියලා

ඒ ගමන තමා ධර්මෙව ආපහු ගෙනත් තියෙන්නෙ...

ඒ ගෙනත් වැඩි දවසක් ධර්මෙ ජීවත් වෙලා නෑ....

 ලයිට් උස්සන කොල්ලෙක් හැටියට ක්ෂේත්‍රයට ඇවිත් සම්මානලාභී කැමරා ශිල්පියෙක් දක්වා දුර ගමනක් ආපු ධර්මෙ ක්ෂේත්‍රය වෙනුවෙන් කරපු සේවයට නිසි අගැයීමක්  ලැබුණද කියන එක ගැන තියෙන්නෙ ප්‍රශ්ණාර්ථයක්.

මගේ පුද්ගලික අදහස නම් ඔහුගේ සේවය නිසි අගැයීමකට ලක්වුණේ නැහැ කියන එකයි.

මියගිහින් ටික කළකට පස්සෙ දිවයින පත්තරේ පිටු බාගයක විතර ලිපියක් පළවෙලා තිබ්බ ධර්මෙ ගැන..... එච්චරයි.

පොඩි තැනක ඉඳල උත්සාහයෙන් ඉහළට ආපු අහිංසකයෙක් නිසාත් තොලේ කටේ නොගෑවි බස බස ගාල ඉංග්‍රීසි කතා කරන්න බැරිකමත් ඔහුගේ නුසුදුසුකම් වෙන්න ඇති...

රූපගත කිරීම් වලදි වුණත් ධර්මෙ ඔය තෝරු මෝරු අස්සෙ ගැවසෙන්න ගියෙ නෑ...
 

ලයිට් අල්ලන බෝඩ් උස්සන පොඩි එවුන් එක්ක බුලත් විටක් හපාගෙන ඉන්න තමා ප්‍රියකලේ....
 

කොහොම උණත් ඔහුගෙ නම ක්ෂේත්‍රයෙන් මකල දාන්න නම් බැරිවෙයි.
 

කියන්න ආපු කතාව නෙවෙයිනෙ ලියවුණේ.
 

අතීතය මතක් වෙද්දි හරිම සතුටක් දැනෙනවා....ලියවෙන්නෙ නොදැනුවත්වමයි.
 

කොහොමත් මේ කතාවත් කවදහරි ලියන්න වෙන එකක්නෙ...අද ලියන්න හිටපු කතාව වෙන දවසක ලියන්නම්...තරහවෙන්න එපා.

74 comments:

  1. ධර්මේ ගැන මතකය ගෙනා මේ ලිපිය මගේ දෑසට කඳුළක් එක් කළා හැලපේ..මමත් කීප වතාවක්ම අන්නසි වත්තේ ධර්මෙග ගෙදරට ගිහින් තියනවා. ඒත් මීරිගමට ඇවිත් ධර්මෙ අය්යව හම්බ වෙන්න ඔන්නම් යන්න ඕන එකම තැන තමා සරත් ගේ බේත් සාප්පුවට.. ධර්මෙ මීරිගම නම් ඉන්නේ එතැනම තමයි..රතු රෝස සුදු පරවියෝ කරන කාලේ මාත් බොහොම සමීපව ධර්මෙ අය්යව ඇසුරු කළා..
    මේ බැද්දේගම ගැනත් කියැවෙන හින්දා මං මේ ලිංකුව දානවා. පහුගිය සෙනසුරාදා මට ඇත්තම බැද්දේගමට යන්න ලැබුණා.ඒ ගැන මා ලියුව පෝස්ටුව මෙතැනින් කියවන්න

    ReplyDelete
    Replies
    1. ඔබේ පෝස්ටුව මම කියෙව්වා නලින් කලින්ම.කමෙන්ට් නොකළේ උවමනාවෙන්මයි.ඔබ කරන්නෙත් රස්සාවක්නෙ

      Delete
  2. එක හුස්මට කියෙව්වේ. තව තිබුනත් විඩාවක් නෑ. ඒ තරම් රහයි. සමහර් මිනිස්සු ඉස්සරහට යන්න පුළුවන් කම තියෙද්දිත් යන්නේ නෑ. මේ කතාවෙන් කෙනෙකුට ගන්න තියෙන පාඩම ඒකයි. ඉන්ගිරිසි බැරි උනා කියලා. ධර්මේ ටැලන්ට් එකක් නැති මිනිහෙක් නෙමෙයිනේ. ඒ ගැන කවදාවත් වොරි වෙන්න නරකයි. දැන් බලන්න ඔය පාර්ලිමේන්තුවේ ඉන්න් කී දෙනාටද චතුර ලෙස ඉන්ගිරිස් පුළුවන්. ඒත් එයාල සෙකන්ඩ් වෙන්නේ නෑනේ. මිනිස්සු එක්ක මූව් වෙන එකත් ආට් එකක්. ඒකත් වෙනම කලාවක් වගේම, මම හිතන්නේ වාසනා ගුණයත් තියෙන්න ඕනා. ඕන තරම් ලියපන් හැලපේ. පට්ට රහයි.

    ReplyDelete
    Replies
    1. මිනිස්සුත් එක්ක මූව් වෙන කලාව ප්‍රගුණ කරපු අයත් නොකරපු අයත් ඉන්නවනෙ මාතලන්
      ධර්මය හිතන්න ඇති මම පොඩි මිනිහ පැත්තකට වෙලා හිටියනම් ඉවරයි කියල

      Delete
  3. හැලපයියටත් තියෙන්නේ රවියයියට තියෙන ලෙඩේ මයි.. මාතෘකාව එකක්.. ලියන්නේ තව එකක්... හැලපයියගේ “පස්සෙ ලියන්නං ඒ කතාව ” ලිස්ට් එකට වඩා දිගයි රවියයියගේ ඒ ලිස්ට් එක... හි හි

    ඔන්න බලන්නකෝ ගිහින් බොරුද කියලා... හි හි

    වාං පතුල් ගැන නොහොත් දෙයියෝ සාක්කි කබරය ඉස්සරහ.....

    ReplyDelete
    Replies
    1. හප්පා.. කට රිදෙනවා කියලා බලන්නේ නැතුව මුළු කතාවම කියෙව්වා අපේ මහත්තයට..... දැං හති....

      Delete
    2. ඇයි ඔබා අයිය වගේ පදුර වටේ තැලීම. පුදුම සමාන කමක් මම දකින්නෙ.

      Delete
    3. අපේ මහත්තය කියවන්න ඔච්චර කම්මැලියිද හිරූ.
      @ වෙදනා
      ඔබාට වෙච්චි දේම මටත් වෙයිද දන්නෙ නෑ

      Delete
    4. එයා කියවන්න තියා මේක දිහා බලන්නවත් කම්මැලියි.. පුදුම අමාරුවෙන් ෆොටෝ එකක් හරි පෙන්නන්නේ... ජීවිතේට පොතක් දිහාවත් ඇහැක් ඇරලා බලන්නේ නෑ...

      ඔව්.. මටත් පේන්නේ තුන් දෙනාම එකම ජාතියේ තමයි... හි හි ( හැලප මාමා කියන්න පටන් ගත්තනං හරි වගේ නේද.. හි හි)

      Delete
    5. මේ හැල පයියේ... මගෙන් කුණුහබ්බ නාහා ඉඳින්. [hi="orange"](තරහටමයි නම දෙකට කැඩුවේ.)[/hi]

      Delete
    6. කොහොම කිව්වත් ගාණක් නෑ හිරූ.
      @අකම්
      ඇයි බං අකම් ඔව්ව ඉතින් ස්වභාවික දේවල්නෙ

      Delete
  4. මාර අත්දැකීම් ගොන්නක්!

    නදීකව ලඟදිම දැක්කේ හතරදෙනාම සූරයෝ අළුත් එකේ. දැන් නම් අඳුනන්නත් බෑ වගේ නේද?

    /* නිශ්ශංක දිද්දෙනිය හෙවත් දිගාත් */

    දිගා නෙමෙයි දිදා නේද?

    ReplyDelete
    Replies
    1. තර්කාණුකූලව දිදා විය යුතුයි,නමුත් බහුලව වහරන්නේ දිගා කියලයි

      Delete
  5. කලා ‍ක්ෂේත්‍රයෙ විතරක් නෙමෙයි මොන ක්ෂේත්‍රයක උනත් ඔය පොඩි තැන ඉඳල වැඩි වැඩක් කරන අය ගැන නිසි ඇගයීමක් වෙන්නෙ බොහොම කලාතුරකින්.

    හැලපෙ අයිය මාර‍ සෙට් එකක්නෙ ආස්සරේ කරල තියෙන්නෙ.

    ඉඳිආප්ප 75 ක් කනවනං ඒ ඕඩරේ තරම හිතාගත්තහැකි.

    ReplyDelete
    Replies
    1. තවත් චරිත තියෙනවා ත්‍රිභාෂා,ඉදිරියෙදි හඳුන්වල දෙන්නම්

      Delete
  6. මාත්තුරුකාව..කියන්න ආව කතාව බල්ලට ගියාවේ... ඇයි මේක නරකද..?

    ReplyDelete
    Replies
    1. බොහොම කාලෙකින්නෙ මාරෙ මල්ලි,කොහෙද අප්පා ගිහින් හිටියෙ

      Delete
  7. ධර්මෙ වගේම කිචි තියෙන පොරක් හිටිය කරු කියල.ඒකා එන්නෙ වෝඩ් ප්ලේස් වලද කොහෙද ඔෆිස් එක තිබුන තැන ඉදල තඩි ජෙනරේටරයක් අරගෙන.දෙන්නම අවුට්ඩො වලදී බුලත් විට හුවමාරු කරගෙන විකීම නිතරම වෙන දෙයක්.එහෙම ඉන්න වෙලාවට එකෙකුට ඇගිල්ලෙන් ඇන්නම,ඉස්සරහම ඉන්න අනිත් එකාට තියෙන හොදම වචන කියාගෙන පැන්නම දෙන්නගෙන්ම හොද වචන පිට වෙනව.විජයගෙන් පස්සෙ නිළියන්ට අයිති හංසයෝ අත ගාපු දෙන්නලු.ගැහැණු ඉස්සරහ කරුට ඇගිල්ලෙන් ඇන්න ගමන් හොද වචන සෙට් එක කියාගෙන අත් දෙක රවුන් කරගෙන පනින්නෙ හංස කුට්ටමට.

    ReplyDelete
    Replies
    1. එයා ගැනත් අහලා තියනවා

      Delete
    2. මම ඌ ගැන ඇහුවමයි කෙන්ජි

      Delete
    3. මම කියන්නෙ 78/82 බයිස්කෝප් හොදම කාලේ .මම 20සෙ බටයා.උණ කැමරාකරණය.සිනමා සක්විති සිට සනා බෝයියා දක්වා දනිමි.ප්‍රශ්නයක් ඇතොත් අසන මැනව :).

      Delete
    4. කෙන්ජිගෙ කතා කීපයක් නිසා මම දැනගෙන හිටියා ඔබ සිංහල සිනමාවෙ කැමරාව පිටුපස කතා සම්බන්ධ විශේෂඥයෙක් බව.හොඳයි දැනගන්න ලැබුණු එක.මම නම් ඔය ක්ෂේත්‍රයට සම්බන්ධවුණේ ඔබට ගොඩක් පස්සෙයි.වරින් වර ඔබ සතු රසකතා කමෙන්ට් වශයෙන් හෝ අපට කියවන්න හැකිවෙතැයි සිතමි.

      Delete
  8. යකෝ අර හැත්තෑ ගනංවල තිබ්බ ආහාර අහේනියට මුං ආණ්ඩුවට බැන්නට උඹනෙ ඒකෙ මූල බීජය! ඉඳි ආප්ප හැත්තෑ පහක්!

    ReplyDelete
    Replies
    1. ඔය හැලප කියන්නෙ අපේ ගෙවල් වල හදන ඉදිඅප්පන් නෙමෙ හෙන්රි,සල්ලි දීල ගත්ත රැල් 5හේ ඉදි ආප්ප.

      Delete
    2. ඒකනෙ බං අර හුල‍ඟෙ යනවට ෆෑන් එක ඕෆ් කරලා කන ඉඳි ආප්ප වුනත් යකෝ හැත්තෑ පහක්!

      Delete
    3. මම කෑවෙ නෑ බං,මට කන්න පුළුවන් 75 න් පහෙන් එකයි.
      මම ලිව්වෙ ධර්මයා මට කියපු එක ඒ විදියටම....හැබෑව බොරුව මම දන්නෙ නෑ

      Delete
    4. එහෙම කියන්න එපැය හැලපේ ධර්මෙ,මර්සිලින් කන් සාක්කුවෙ දාගෙන රෑට කද්දී නම් 75 හ මදි.

      Delete
    5. හැබැයි දෙන්නම කාල තියෙන්නෙ 5යි.

      Delete
  9. //ලයිට් අල්ලන බෝඩ් උස්සන පොඩි එවුන් එක්ක බුලත් විටක් හපාගෙන ඉන්න තමා ප්‍රියකලේ....// අව්‍යාජ මිනිස්සු බං..! ඒ වගේ උන්ට මේ සමාජයේ ඉඩක් නෑ..!

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. මොකද මේ අටමා වැටක් ගහගෙන

      Delete
  10. හැබෑවටම මාර රහයි. දිගටම ලියන්න. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිළිණ,දිගටම හැලප කන්න එන්න

      Delete
  11. කිව්වත් වගේ දෙයියනේ එක හුස්මට කියෙව්වා . . .

    ඩිංගක් වත් දැනුනේ නෑ මේ තරම් දීග ලිපියක් කියෙව්වා කියලා.

    කලා ලෝකේ නියම තැන ලැබුනු නැති නියම කලා කාරයෝ කොයි තරම් ඉන්නවද . . .

    මේ වගේ ම අයියා දන්න එහෙම අය කීප දෙනෙක් ගැන තව තව ලියන්න අයියේ . . .

    ඒ කලාවෙන් රසවිදන්දනය ලබපු අපිට ඇහැකි ඒ අයට පින් පමුනවන්න.

    ඒ පිනම ඇති වෙයි ඒ මිනිස්සුන්ට ඉන්න ලෝකෙක හොඳින් ඉන්න.

    ReplyDelete
    Replies
    1. ඔබලාගේ සහයෝගයෙන් තවත් කතා ලියන්න උත්සාහ කරන්නම්

      Delete
  12. රසවත් විස්තරයක් හැලප අයියේ..

    ReplyDelete
  13. මාරයි...කියන්නේ මාරම මාරයි...........හිතට දැනෙන කතාවක්.....

    ඉතින් පිළිම නෙලා නැති විරුවන් හැමතැනම....

    ReplyDelete
    Replies
    1. ඔව් මානවක ඒ අඩුපාඩුව තමයි මම සුළුවෙන් හෝ පුරවන්න උත්සාහ කළේ

      Delete
  14. ඔය වාගෙම පොඩි උන් එක්ක ගැවසෙන කැමරාමන් කෙනෙක් ඉන්නවා අයියේ මෑත කාලෙත් එයා තමයි

    චන්දන ජයසිංහ

    ReplyDelete
    Replies
    1. ළඟදි ෆීල්ඩ් එකට ආපු කෙනෙක් වෙන්න ඇති මල්ලි,මට එච්චර හෝදිසියක් නෑ

      Delete
    2. ලගදිමත් නෙමෙයි, එයත් ටිකක් පරන පොරක් , අරයා වාගෙම එළියට මතුවෙන්නේ නැ

      Delete
  15. පස්සේ කියවන්න ඕන. මට ඊයේ දවල් වැඩ අස්සෙම මතක් උනා හැලපයා ගොඩ ඇද්දේ මාරුතු 15 ද කොහේද කියලා.. එහෙම වෙන්ටැති නේද???

    ReplyDelete
    Replies
    1. හරියටම හරි බං,උඹ කොහොමද දැනගත්තෙ

      Delete
  16. කතාව කියෙව්වම ආවේ හෙන දුකක් බං ධර්මේ ගැන. ඇත්තටම මොන තරං මහන්සි වෙලා දේ කරත් ඒ මිනිහට සතුටු වෙන්න පුළුවන් උපහාරයක් තිබ්බේ නැති එකට. මෙහෙම උඹවත් අපි නොදන්න දේ ගැන දැනුම් කරන එක හෙන වටිනවා වං..

    ReplyDelete
    Replies
    1. උඹ මට කරල තිබුණු උපහාරයේ හැටියට මේක සුළු දෙයක් බං.ආයෙමත් ස්තූතියි කියන්නම්

      Delete
  17. හැලපේ මම පුදුම විදියට දුක් වුනු දවසක් වගේම සතුටු වුනු දවසක් අද. ඒ අපේ ඔබා අයියගේ කතා විලාශය ඊට පස්සේ අද තමයි මගේ ඇහැ ගැටුනේ. හරිම ලස්සනයි. තව ලියන්න.

    අයියා කියලම කියන්නම්. මොකද ඔය 88/89 කාලේ මම වි. වි. ශිෂ්‍යයෙක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වෙදනා.
      ඔව් අයියා කියන්න

      Delete
  18. අතීත මතක.. හරිම රසවත් නේද?

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ තරූ,ඒකනෙ යන්න ආපු පාරත් අමතක වෙලා වෙන පාරක ගියෙ

      Delete
  19. කොටන්න ආපු දේත් මතක නෑ අප්පා. මාතෘකාව අස්සෙම කතා කීයක්ද?

    එතකොට ඔය ධර්මෙද බයික් එක ගෙනියනකොට පිටිපස්සේ හිටපු නිළිය කරෙන් අල්ලන්න ගිහිං දෙන්නම දඩෝන් ගෑවා කියන්නේ. (කතානායකයා කලාවට සම්බන්ධ කෙනෙක් කියලා විතරයි මතක)

    කලාවට සම්බන්ධ අය රෑට මේසයක් වටේ සෙට් වෙනවා කියන්නේ එතන කලාගාරයක් තමයි.

    (අදනම් මගෙ කමෙන්ට් එක මෙලෝ රහක් නෑ කියලා මං පිලිගන්නවා. මාතෘකා දහයක් දොළහක් අස්සෙ මං මඥන්.)

    ධර්මේ වගේ තව අසරණ අය කී දෙනෙක් ඉන්නවද?... හිටියද?....

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න ඕනැදේ මට තේරෙනව අකමො,මේ කතාවට කෙන්ජියා උත්තර දෙයි.

      Delete
    2. @AKM;
      ඒකාලේ නිලියො ධර්මේල අපිල එක්ක සහෝදරකමට අක්කල.කට පුංචි උනත් එයාලට අපි කටපුරා කිව්වෙ අක්ක කියල.එයාල වාහන වල ගියොත් යන්නෙ රත්නපුර අයියල එක්ක මිසක් දියවන්නාවේ පැත්තෙ කබ්බෝ එක්ක නෙමෙ.ඉතින් ඒ කාලේ එහෙමයි මේ කාලේ මෙහෙමයි.
      එක දවසක් ෆිල්ම් එහෙක මගහැරුන දර්ශන කීපයක් ගන්න ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයට ගියා.මට මතක හැටියට ජොඩුවකගේ කාමරයක් තුල හිරු බැස යන කෙහෙල්මලක්ද කොහෙද.ශ්‍රියාණි අක්කයි,රවී අයියයි අපි කට්ටියයි උඩට යන්න ඉන්නව ලිෆ්ට් එක ලග.දොර ඇරිච්ච ගමන් අපි දැක්කෙ නිලි ලස්සන කෙල්ලයි,අපි දන්න රත්නපුරෙ හාජ්ජියාර් අයිය කෙනෙකුයි.මොනවා කරන්නද අපිත් පාත්තයො වගේ හිනාවක් දාගෙන යන්න ගියා...ආ..! මොනවාද අකම ඇහැව්වෙ හලාල්.ඔව් ඔව් යුරෝපෙට ගිහිල්ල තමයි එයා හලාල් කොරෝගෙන ඇවිල්ල තිබුනෙ.
      හැබැයි අකම,හවසට සෙට් වෙන ගැනනම් කියල වැඩක් නැහැ.ඉස්සර වැඩ කරන අයට උදේ/සවස තමන් උරන වර්ගයෙ සිගරට් පැකට් 2ක්,සවසට දෙන්නෙකුට එක ගානෙ අරක්කු.කුස්සියෙ උයන එකාට බොන්න දුන්නම බයිට් එක නියමෙට.උඩවලව පැත්තෙ නැවතුනාම ගමේ කොල්ලන්ගෙන් මල් අහුරු ගනන්.දඩමස් ගාත් ගණන්.
      ඔබ හරි කලාකාරයො අර කකුළුවෝ වගේ,ගෙදර ආවත් අතපය දිග ඇරල කන්න/බොන්න වියදම් කරනව.එකපිට දින කීපයක් ෂූටින් නැතුව තිබුනොත් ණයවෙලා වියදම් කරනව.අද කීදෙනෙක් නම් ඉන්නවද ලෙඩ ඇදවල් වල අසරණ වෙලා.

      Delete
    3. මම අහලා තියන විදිහට අන්තිමට එහෙම සිගරට් දීලාතියෙන්නේ ‘‘භවදුක සහ බව කර්ම‘‘ රුපගත කරණ කොට.

      Delete
    4. යසපාලිතගේ ෆිල්ම් වලට ප්‍රඩක්‍ෂන් මැනේජර් විදියට ආව ගල් ආදෙක් මු.අරු..... කියල.ඉස්සර රූපගත කිරීම් අඩුම ගානේ මාසයක්වත් කරනව.මිනිහ දවස් 10න් රෙකෝඩ් කඩන්න සීග්‍රගාමී කරල ඔය සුපිරි දීමනාත් කප්පාදු කරන්න ප්‍රමුක උනා.කොහොම උනත් 82 න් පස්සෙ සිංහල බයිස්කෝප් බැලිල්ලත් නැවතුන.

      Delete
    5. මු.අරු..... මේ යොදයව නේද කොටි කපලා මැරුවේ

      Delete
    6. කවුද බොලේ නිකම මලය කියන්නෙ?අදමයි බොලාව දැක්කේ.උත්තරෙ යර්ස්.ඊලග ප්‍රශ්නෙ ගන්නවද?? :) :)

      Delete
    7. අපි නම් මචං ප්‍රොඩක්ෂන් කරද්දි අරක්කු සිගරැට් අඩු නැතිව දුන්නා වැඩ කරන උන්ට....දැන් ලැබෙන්නෙ නැද්ද.
      මූ.අරු නේද හොරෙන් ගස් කපන්න කැලේ රිංගල මැරුවෙ....මිනියවත් හම්බවුණේ නෑ නේද

      Delete
    8. ඕක තමා මුල් කාලෙ ඉදල පැවත එන සිරිත.රුක්මණී අක්ක රූබී/ක්ලැරිස් ආන්ටිලා ටත් ලැබුන.නමුත් රූබි/ක්ලැරිස් ආන්ටිල ගේන ගැට කිරිස් වලට සැලකුවෙ වෙනත් අය.මොකද එයාල පොඩි උනත් එක්ස්ට්‍රා ආටිස්සිල නිසා.
      ගස් කපන කතාව ඇවිල්ල බිම් මට්ටම/ගම් මට්ටම කතාකරන පුතාගේ තාත්ත ජෝ මහත්තයට දුන්න ටිම්බර් එකේ සබාපති කොම.අනේ ඒ මනුස්සය ගස් ගැන දන්නෙ සරොම උස්සල ගහ යට බොග දාන එක විතරයි.
      මේක දන්නා මූ.අරූ පැලවත්තේ සීනි කම්හල ගහන්න කැලේ සුද්ද කරන්න කොන්තරාත්තුව ගන්නෙ ජෝ පප්පට අරව දීල.එයිට පස්සෙ මේක දන්න කියන අයගෙන් මෙන්න උබේ කොටස කිය කියා දෙකයි විසි පහ ගනෙ... ඕව් බන් ලක්ෂ... දිගටම පොතුවිල් පැත්තටම කැලේ විකුණා ගෙන ගිහිල්ල.මමනම් කියන්නෙ මේ යකා තාමත් ජිවතුන් අතර.
      ජෝ මහත්තය සුවර්නට වගේම ඇට කිරිස් වලට මනාපකම තිබුන මැරෙන තුරු.

      Delete
    9. ජෝ මහත්තය කට පුංචි හොයාගත්තෙ කොහොමද බං.....ඔය යකා ජාති අන්ධයා නේද.

      Delete
    10. ඔය තියෙන්නේ සුපිරි පැහැදිලි කිරීමක්.
      බොහොම ස්තුතියි කෙන්ජි.

      Delete
  20. @ කෙන්ජි

    pls බ්ලොග් එකක් හදන්න කෙන්ජි ඔයත්.මොකද ඔයාගේ
    කමෙන්ට් වල සෑහෙන්න ගන්න දෙයක් තියෙනවා..බ්ලොග්
    එකක් හැදුවොත් ගොඩක් දෙනාට ඔයාගේ අදහස් එකම තැනකින්
    දකින්න පුළුවන්..රස කතා , දැනුම , විනෝදය , සියල්ල ..
    ඒ නිසා pls බ්ලොග් එකක් හදන්න කෙන්ජි..මුළු බ්ලොග්
    ලෝකෙම එක රැයෙන් පිරේවි...




    @ හැලප අයියේ ...

    පෝස්ට් එක දෙකට කඩල කියවන්න පසුව
    එන්නම්..මොකද ඒ තරම් දේවල් ඇතුලත් මේකේ..
    ඇත්තටම කොච්චර වෙලා ගියාද මේක ලියන්න ..?

    ReplyDelete
    Replies
    1. @සහන් මල්ලිය;
      මේකේ ඉන්න මගේ සහෝදර/සහෝදරියො එක්ක මැරෙන තුරා අදහස් බෙදාගනිමු.මට කියවිල්ල සුපිරි උනාට ලියැවිල්ල අජ.අනිත් එක නදී සහෝදරිය සාස්තරයට කියල තිබුන දෙය හරි නිසා.හැබැයි රනිල් අයිය ජනාධිපති උනොත් අනිවා ඔබේ ආරාධනාව පිළිගන්නව හහ්...හහ් ....හහ්....හා.......:) :) :) .

      Delete
    2. නැහැ කෙන්ජි අයියේ මම මේ කියන්නේ පුල් සීරියස් .ඔයා එකක් හදන්න . ඔයා ළඟ ලස්සන චිත්‍රපටි කතා තියෙනවා..මම දන්න නිසයි කියන්නේ ඔයා ගැන ..:P ඒ නිසා pls එකක් හදන්න ..එක විනාඩි 5 නේ යන්නේ...

      pls pls pls මම කියනවට හදන්න..මෙතන ඉන්න බොහොම ඇසූ පිරු තැන් ඇති අයගෙන් ( 5 දෙනාගෙන් ) එක්කෙනෙක් ඔයා ..එහෙම අය දෙයක් කරන්න ඕනේ..මොකද දහසක් දෙනා ඉන්නවා දෙයක් ඉගෙන ගන්න බලන්.. දැන් බලන්න හැලප අයියා ,ඔබා මහත්තයා , විචාරක තුමා , ගාමිණී අයියා , අපේ වෙද මහත්තයා , අරුණි අක්කා , සෙන්නා ,


      " අනේ මේ මට මොන බ්ලොග්ද " කියල හිතුව නම්
      මොනවා වේවිද ?

      ඒ නිසා එක විනාඩි 5 හදන්න මේක දැක්ක ගමන්...
      reply එක විදිහට blog එකේ link එක දාන්න ...

      Delete
    3. කෙන්ජි...පොඩි එකා ඔච්චර කියන හින්දවත් බ්ලොග් එකක් හදාගත්තොත් හොඳයි නේද.

      Delete
    4. ඔබේ කතායි,මගෙ කතායි එක වගේ නිසා මොන පැල පිහියකට ද තවත් පිටු :) :) ?????????????

      Delete
    5. @සහන් මල්ලියා;
      මේක අහපන් මලේ,
      බොලාලට වගේ රත්තරන් විදිය ට ගැලපෙන්න ලියන්න දන්නෙ නැහැ,

      Delete
    6. @ කෙන්ජ්
      උඹ බ්ලොග් හදාගෙන ඔළුව පුරවං ලියන ඒවා කියවන්න වෙන්නෙත් අපිටම නේ. ඒක ගැන හිතලවත් ඔය අපි ලියන දෙයක් කියා කොරගෙන හිටිං... හිකිස්....(වලි දාගන්නවත් එකෙක් නැති වෙනවා)

      Delete
  21. මම උඹේ කතා කියවන්න මාර කැමැත්තක් තියෙනවා. ලියන දේ නිසාද භාෂාව හසුරන හොඳ කම ද කියල හිතගන්න බැහැ.

    එල!

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද අසරණයො,මම භාෂාව හසුරුවන විලාසයේ වෙනසක් තියෙනවද.
      එහෙම තියේනම් ඒ මගෙ අනවරත කියවීම නිසා වෙන්න ඇති.

      Delete
  22. සුපිරිම පෝස්ට් එකක් අයියා..
    එක හුස්මට බ්ලොග් එකම කියෝන ගමං ඉන්නේ.

    ReplyDelete
  23. https://www.youtube.com/watch?v=gzWrtfrB5dU
    K A ධර්මසේන ගැන කෙටි සටහනක්

    ReplyDelete
    Replies
    1. http://www.sarasaviya.lk/2011/02/03/_art.asp?fn=sa11020326&pn=24

      Delete

ඔබේ අදහස්