අපි දිගින් දිගටම කතානෙ කිව්වෙ.....අද කවි ගැන කතා කරමු.කවිවලටත් කතාවලට වාගෙම මගෙ හිතේ කැමැත්තක් තිබුණත් මට කවි ලියන්න නං බෑ....රසවිඳින්න විතරයි මට දැනෙන්නෙ....හොඳට හිතට දැනෙන කවියක් හෝ කවි පෙළක් නම් මම නොවරදවාම රස විඳිනව.
සිංහල පත්තරවල හොඳ කවි ඉඳහිට පළවුණත් සාපේක්ෂව ගත්තොත් අන්තර් ජාලයේ වෙබ් අඩවි වල ඉතාම අනර්ඝ කවි පළවෙනවා.....සමහර කවි අපේ රස මනස අවදි කරනව වගේම සමහර කවි අපව ප්‍රශ්න කරනව.....බොහෝවිට එවැනි කවි අපේ පපුවෙ හිරවෙන්නෙ හරියට ගලක් එල්ලුව වගේ.
ගොඩක් වෙලාවට එවැනි කවි මම කියවන්නෙ ලංකා නිවුස් වෙබ් එකේ තියෙන සයිබර් පවුරෙන්....ඒව වැඩි හරියක් නිසඳැස්.
වටේ තලාගෙන ගියෙ මගේ හිත්ගත් සඳැස් කවි දෙකතුනක රසය ඔබටත් ලබාදෙන්නයි.....ඉස්සෙල්ලම ඉතාම කුඩා කවියක් මතකයට ආවා.
ගුරුවරයෙක්,පුවත්පත් කලාවේදියෙක්,ලේඛකයෙක් හා කවියෙක් වූ මාගම් තෙන්නකෝන් ශූරිහු ඔහු ලියූ "දිවි සයුරෙන් දිය දෝතක්"නම් පොතේ එක්තරා කවියෙකුට තනි මාත්‍රාවෙන් කවියක් කියන්නට කළ අභියෝගය භාරගත්ත අයුරු ලියනවා....
අනේ
පනේ
තනේ
වැනේ
ඔහු කියූ කවියයි.
දේශපාලකයෙක් හා ප්‍රසිද්ධ කවියෙක් වුනු සෝමවීර චන්ද්‍රසිරි මහතාගේ කතාවක් දවසක් මට කිව්වෙ චන්දරේ......කතාව සහ කවිය අසම්පූර්ණයි.
දවසක් කවි මඩුවකදී සෝමා උඩබාගෙ නම් කිවිඳිය සෝමවීරයන්ට අපහාස වන ලෙසට කවි කීපයක් ගායනා කර තිබෙනවා.......ඇය විවේචනයට ලක්කරල තිබුණේ සෝමවීරයන්ගේ කාන්තා ඇසුර.....කවි සියල්ලම සිනාමුසු මුහුණින් අසා සිටි ඔහු ඇගේ කවි ගායනය අවසානයේ මයික්‍රපෝනය ඉදිරියට ගොස් වටපිට බලා කියා තියෙන්නෙ මේ කවි පද දෙකයි.....
සෝමා උඩබාගෙ සෝමා උඩබාගේ
පැය බාගෙකට දෙනවද උඹෙ යටබාගේ
කවි පද දෙකත් සමගම සභාව කුල්මත්වූ ආකාරය විස්තර කරන්නට අවශ්‍ය නෑ.ඒ මට චන්දරේ කියපු කතාව...නමුත් ඊට පස්සෙ දවසක මම මේ මුලු කතාවම කවිත් සමග පත්තරේකින් දැක්කත් අවාසනාවට ඇය කියූ කවි එකක්වත් අද මට මතක නෑ.
ගුරුවරයෙකු කවියෙකු හා ලේඛකයෙකු වූ කඩුවෙල බෝමිරියේ වික්ටර් දුකී දෙලැයි ද ලැනරෝල් හෙවත් වී.ඩී.ද ලැනරෝල් ශූරීන්ගේ කවි මහත් රාශියක් අතුරින් මගේ හිත ඉතා තදින් බැඳගත් එක් කවියක් තිබෙනවා.
ලැනරෝල් ශූරීන් ජීවත්වූ 20 වන සියවසේ මුල් භාගයේ දැන උගත් අය ලිපි හුවමාරු කරගෙන තියෙන්නේ කවියෙන්.....පද්‍යයෙන් තමන්ගෙ අදහස් ප්‍රකාශ කිරීමට නොහැකිවීම තම තත්වයට මදිකමක් සේ ඔවුන් සිතූ නිසා සැම කාරණයක් අරභයාම කවි මහත් රාශියක් ලියැවෙන්නට ඇති වාගෙම කවි ලියන්නට නොහැකි අය හැකි අය ලවා කවි ලියවන්නටත් ඇති (මාද මිතුරන් සඳහා පෙම්පත් ලියූ කාලයක් මගේ මතකයට එනවා)
ලැනරෝල් ශූරීන් බේරුවල විද්‍යාලයක ගුරුවරයෙක් හැටියට වැඩකරන කාලයේ බෝමිරියෙ ඔහුගේ ගමේ හිටිය ඔහු සිත්ගත් තරුණියක් ඇයට වී වනන්නට මාගලක් බේරුවලින් ගෙනැත් දෙන්නට යයි කල ඉල්ලීම ඉටුකරන්නට ඔහුට හැකිවෙලා නැහැ.
ගමේ ආ දවසක ඔහුගේ ඉරුණු කබායක් එලලන්නට අර තරුණිය වෙත යවන්නේ කවි කීපයකින් ඉල්ලීමක් කරමින්.....කවි සියල්ලම මුල සහ අග එළිවැට තබා ඉතා ශූර ලෙස ලියූවක්.....මට මතක එක කවියයි.
මාගල සේම හිටි කාටත් වැඩ ගන් ට
මාගල වා ගතිය කඩවර සැනසෙන් ට
මාගල මිතුරි කී බැරිවුණි ගෙන එන් ට
මාගල උඩ වනනු හැක වී වේලන් ට
මෙහිදී කඩවර යනුවෙන් ඔහු සිහි මඳව සිටි කාලයේ තොවිල් කළ යකැදුරා ද අවසාන පදයේ මාගල යනු මහ ගල යන අර්ථයෙන්ද යෙදෙනව....කවියේදී මාගල යන වචනය අර්ථ කීපයකින් යෙදෙන අයුරිනුයි කවිය බැඳ තිබෙන්නේ.
වී.ඩී.ද ලැනරෝල් ශූරීන් ලියූ "උමතු තරුණයා"පොතේ මේ සිද්ධිය හා කවි වැලත් තවත් රසවත් කව් රාශියකුත් අඩංගු වෙනවා.
විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය ආරම්භ කල අවදියේ ආචාර්ය මණ්ඩලයේ සිටිය පැවිදි පඬිවරුන් තුන්නමකගේම නම ආරම්භ වුණේ පඤ්ඤා යනුවෙන්....එනම්
කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර
යක්කඩුවේ පඤ්ඤාරාම
කොටහේනේ පඤ්ඤාකිත්ති
යන හිමිවරු.....දවසක් ශිෂ්‍යයෙක් යක්කඩුවේ පඤ්ඤාරාම උප කුලපති හිමියන්ගේ වසා තිබූ කාමරය ලඟින් යනගමන් නැවතී මෙන්න මේ කවිය කියා තිබෙනවා...කවියේ හතරවන පදයේ අන්තිම කොටස කිසිදිනෙක ප්‍රසිද්ධ වී නැහැ...කවිය මේකයි.
එකෙක් කිරි පඤ්ඤා
තවෙකෙක් යක්ෂ පඤ්ඤා
අනිකා කොපඤ්ඤා
මොවුන් සේරම ..........
කවියේ අවසානයත් එක්කම කාමරය ඇරගෙන එළියට ආ යක්කඩුවේ හිමියන් ශිෂ්‍යයාට කතාකළා.....
මෙහාට ඇවිත් ආයෙම කවිය කියමු බලන්න.....
ශිෂ්‍යයා කවිය ආයෙමත් ගායනා කළේ මේ ආකාරයට.....
එකෙක් කිරි පඤ්ඤා
තවෙකෙක් යක්ෂ පඤ්ඤා
අනිකා කොපඤ්ඤා
මොවුන් සේරම පඤ්ඤ පඤ්ඤා
(මොවුන් සියලු දෙනාම ප්‍රඥාවන්තයන්ගෙන් ප්‍රඥාවන්තයෝය )
යක්කඩුවේ හිමියන් කවිය රසවින්දේ මහ හඬින් සිනාසෙමින්.
කවි එපමණයි......මේක ලියද්දි ප්‍රමාණවත් විදියට පොත පත පරිශීලනය කරගන්න බැරිවුණා......ඒ නිසාම යම් අසම්පූර්ණ ගතියක් හිතට දැනෙනවා......එහෙම කියන එක සමාවට කරුණක් නෙවෙයි වුණත් මතකයෙන් ලියපු කතාවේ වැරදි ඇතොත් සමාව භාජනයකට දාල දෙන්න කියලත් ඉල්ලීමක් කරනවා.
ඒ වගේම ඔබ මේ කතා මීට පෙර අහලත් තියෙන්නට ඇති.....එහෙම වුණොත් මගේ කතාවේ අසම්පූර්ණ තැන් සම්පූර්ණ කර දෙන්න කියලත් ඉල්ලීමක් කරනවා.
හදිසියෙන් ලියල අදම කතාව පළකරන්න මට අවශ්‍ය වුණේ හැලපිගෙත් මගෙත් 19 වෙනි විවාහ සංවත්සරය අදට යෙදී තිබීම.....ඇයට මගෙන් ලැබෙන තෑග්ග මේ කතාවයි.