Tuesday, February 5, 2013

25.මතක සටහන්



අපේ තවත් නිදහස් දිනයක් ගෙවීගියා.නිදහස් දින උත්සවයට සහභාගි වෙලා ගෙදර ආපු මට අතීතයේ මාද කොටස්කරුවෙක් වූ නිදහස් උත්සවයන් නිතැතින්ම මතකයට ආවා.

මතක් කරල තලුමරන්න පුළුවන් නිදහස් උත්සවයන් පැවැත්වුණේ ඉන්දියාවෙ මදුරාසියෙ.

ජනවාරි මාසෙ මැදහරියෙ විතර තීන්ත බාස් කෙනෙක් එක්කන් එන කරුපා අපේ බිල්ඩිමේ තීන්ත ගානව.ඊට පස්සෙ තවත් මනුස්සයෙක්ව එක්ක ඇවිත් වත්තෙ තාප්පෙ අයිනෙ තිබ්බ පොල්ගස් තුන හතරෙ ගෙඩි කඩල අතු ටික කපල සුද්ද කරනව.

හරියට අපේ ගම්වල මගුල් ගෙවල් වගේ.

ඔන්න තුන්වෙනිද හැන්දෑව වෙද්දි කොචින්වලයි විශාකාපට්නම්වලයි ඉන්දීය නාවික කඳවුරුවල පුහුණුව ලබන ලංකාවෙ කොල්ලො ටිකයි තාම්බරම් සහ අවඩිවල ඉන්දීය ගුවන් කඳවුරුවල පුහුණුවෙන එයාපෝස් කට්ටියයි එනව.

ඒ අයට නිවාඩු ගන්න අපි ආරාධනා පත්‍ර යවන්න ඕනැ.නැත්නම් කඳවුරුවලින් නිවාඩු දෙන්නෙ නෑ.ආරාධනාව ලැබෙනතුරු කොල්ලො නොඉවසිල්ලෙන් ඉන්නෙ.දවසක් හරි පරක්කු වුණොත් කතා කරල කියනව ඉක්මනට ආරාධනා එවන්න කියල.ඔක්කොමල ඇවිත් නවාතැන් ගන්නෙ මහාබෝධියෙ කාමරවල.

එයිට අමතරව තමිල්නාඩුවෙ තැන් තැන්වල ඉන්න ලාංකිකයොත් නෙවැරදීම එකතුවෙනව.
එයාපෝස් කොල්ලො ටික තමයි ඇතුල්වෙන තැනම ගේට්ටුවෙ තොරණ ගහන්නෙ.

නේවි අය ස්ටේජ් එක හදල සරසනව.කොහොමටත් රෑ හත අට වෙද්දි තිහක් තිස්පහක් විතර වැඩ.

අපට වැඩක් කියල කරන්න දෙයක් නෑ.වැඩ කරන අයට සප්ලයි දෙන එක තමා අපට තියෙන්නෙ..අපි ගෙදර අයනෙ.
රෑ කැමට ඉඳිආප්ප ඕඩර් කරන්නෙ මාලු හොදියි පරිප්පුයි එක්ක.අපේ ගෙදරට කියල පොල්ගෙඩි පහක විතර සම්බෝලයක් හදෝගන්නව හොඳට උම්බලකඩ එහෙම දාල.ගලේ අඹරල දෙහි ටිකක් මිරිකල ගත්තම කන්න හිතෙන සුවඳක්නෙ එන්නෙ.
 රෑ අටහමාර විතර වෙද්දි රෝච් එයාගෙ වාහනේ එනව බෝතල් කීපයකුත් එක්ක...ඒ වෑන් එකේම අනික් පැත්තට ගිහිං ඉඳිආප්ප අරගෙන ආපහු එන ගමන් ගෙදරින් පොල් සම්බෝලෙත් මම අරං එනව.

ඔය ඇවිත් ඉන්න ළමයි ගෙදර හදන සම්බෝල කන්න හරි මනාපයි...ගෙවල්වලින් දුරස් වෙලා තනියම ඉන්න අයනෙ.කොහොමටත් රෑ දහයමාර එකොළහ වෙද්දි රෝච්ගෙ වාහනේ කීප සැරයක්ම එහෙට මෙහෙට යනව අඩුපාඩු ගේන්න.

පහුවදා නිදහස් උත්සවය පවත්තල ඉවරවුණාම රෑ වෙනකොට කට්ටිය එකතුවෙන්නෙ එග්මෝර්වල අපේ ගෙදර.ඊට කළින් අපි හිටියෙ නුන්ගම්බක්කම්වල.

 මුලදි ඒ අය එනකොට උයපු කෑම කඩෙන් අරගෙන ආව..ඒව ඉන්දියානු ක්‍රමයට හදපුවනෙ.
පස්සෙදි බිරිඳ කිව්වා... මල්ලිලා ඔයාල කෑම අරගෙන එන්න එපා...මෙහෙ උයාගන්න කියල.හොඳට උයන්න පුළුවන් කොල්ලොත් ඉන්නවනෙ..ඉතිං කට්ටිය කුස්සියටවෙලා හරි රසට කෑම හදනව.

ගානට පදම් වුණාට පස්සෙ තමයි සංගීතෙ පටන් ගන්නෙ.තබ්ලාවයි ගිටාර් එකයි කපිල අරගෙන එනව..
කපිල කියන්නෙ සිරිමා ශාස්ත්‍රී ගිවිසුම යටතෙ ඉන්දියාවට එන්න සිද්දවුණු පවුලක තරුණයෙක්.රස්සාවට කරන්නෙ වෑන් එකක් හයර් කරන එකයි දඹදිව යන ලාංකික වන්දනා නඩවලට මග පෙන්වන්නෙක් හැටියට කටයුතු කරන එකයි.නිතරම හිටියෙ මහාබෝධිය ළඟ.

 කොල්ලො ටික අපේ ගෙදර එන්නෙත් කපිලගෙ වාහනෙන්,ඔය පොඩි වෑන් එකේ විසිපස්දෙනෙක් විතර පටවගෙන එන්නෙ වාහනේ ගැන කිසිම ආසාවක් නැතුව.
 කොල්ලොත් එක්ක යන හයර් වලට කපිල සල්ලි ගන්නෙත් නෑ..මිනිහත් විනෝදකාමියනෙ.
පැදුරු සංගීතය රෑ දෙක තුන විතර වෙනතුරු ඇදිල යනව..සංගීතෙ ඉවරවෙලා කෑමට ලෑස්තිවෙද්දි දෙතුන් දෙනෙකුගෙම ඔලුව සාක්කුවෙ...කනව නෙවෙයි අනනව විතරයි.

කෑම බීම ඉවරවෙලා කට්ටිය පිටත්වෙද්දි මහ පාන්දර වෙනව..වැඩිවුණු අයත් වත්තං කරගෙන ආපහු වෑන් එකපිරිල ගෝසා කරමින් තමයි පිටත් වෙන්නෙ.හැම අවුරුද්දෙම පෙබරවාරි හතර වෙනිදට ඔහොම තමයි.

 ගෙවල් අයිතිකාරය හිටියෙ අපිට යට තට්ටුවෙ...ගේ කුලියට ගද්දිම මම කිව්ව අපේ ගෙදරට යාලුවො එහෙම නිතරම එනව සද්ද බද්ද තියෙයි කමක් නැද්ද කියල.මිනිහ කිව්ව ඒකට ප්‍රශ්නයක් නෑ කියල.කිව්ව වාගෙම අපි ගේ පෙරලුවත් මනුස්සය නෙවෙයි කටක් ඇරල මොකුත් කිව්වෙ අපි ගේ අත ඇරල යනකල්ම.

සැරයක් ඔය සංගීතෙට එකතු වෙලා හිටිය ලෙප්ටිනන්ට් කෙනෙක් එයා අපේ ගෙදර ආපු පළවෙනි වතාව යන්න ඉස්සෙල්ල කිව්ව බිරිඳත් දරුවත් තව මාස තුනකින් විතර එනව එතකොට නොවැරදීම අපේ ගෙදර එන්නම් කියල..ඒ ආපු කතාව ආයෙ දවසක කියන්නම්.

අපි නුන්ගම්බක්කම්වල හිටිය කාලෙ සෙනසුරාදට තමා මාකට් යන්නෙ...එළවලු මාකට් එකට මෙහායින් තිබුණෙ රෙදි කඩයක් ගනේෂ් ටෙක්ස්ටයිල්ස් කියල...ඒ දවස්වල හිටියෙ මහ මුදලාලිගෙ පුතා.. ඒ තරුණය අපිත් එක්ක හරි යාලුයි.

මාකට් යද්දි කඩේ එලියට තියෙන වීදුරු කවුළුවල ෂෝ එකට දාල තියෙන සාරි දිහාවෙ සමහර වෙලාවට බිරිඳ බලාගෙන ඉන්නව.

එතකොට මුදලාලි...මොකක්ද බලපු සාරිය කියල බිරිඳගෙන් අහල ඒක කවරෙකට දාල බිරිඳට දෙනව.
 සල්ලි නෑනෙ කියල කිව්වොත් ..ප්‍රශ්නයක් නෑ ආයෙ එනකොට ගෙනත් දෙන්න කියනව.සාරිත් එච්චර ගණන් නෑනෙ එකසිය පණහයි දෙසීයයි වාගෙ ගාණ.

ඔන්න ඔය විදියට කාලය ගතවෙලා අපටත් නොදැනීම ඉන්දියාව හැරදා යන කාලෙත් ආව.

අපි ලංකාවට ගියත් නිතරම මතක් වෙන්නෙ මදුරාසියෙ ජීවිතේ.අපි දෙන්න කතාවුණා ආයෙත් වෙලාවක ගිහිං යාලුවො බලල එමු කියල.හිතාගෙන හිටියට ආයෙත් අපිට ලංකාවෙන් පිට යන්න වුණු නිසා ගමන කල්ගියා.

අන්තිමේදි කොහොමහරි යන්න වුණේ 2007 අගහරියෙ.අපි දෙන්න විතරයි ගියෙ..තිරුපති කෝවිලත් වැඳගෙන එමු කියල.
 අපි ගිහිං නැවතුනේ මහාලිංගම්ලගෙ ගෙදර එහෙ ඉඩත් තිබුණා ජෝඩුව විතරයි හිටියෙත්.

ගියදාම හැන්දෑවෙ ඇවිදින්න ගිහිං ආපහු යනකොට අපූර්වා සංගීතා රෙස්ටුරන්ට් එකෙන් මසාල තෝසෙත් කාල ගියෙ පරණ පුරුද්දට.ගෙදර ගියාම මහාලිංගම් කන්න කතාකලාම අපි කිව්ව කාලනෙ ආවෙ කියල..මේකා අපේ ඇඟට කඩන් පැන්න කඩවල්වල ජරාව කන්න යනව කියල.යන දිහාක ගිහිං කෑමට ගෙදර එන්න කියල තදින්ම කිව්වා.

අපි තිරුපතිත් ගිහිං ආව ඒ ගමන ගැන ලිව්වොත් වෙනම ලිපියක් ලියන්න වෙයි.

ඒ සැරේ අපි කපිල බලන්නත් ගියා ..කපිලව දැක්කාම බඩ පපුව පත්තුවුණා...කොච්චර ලස්සනට හිටපු කොල්ලෙක්ද...මූණ විකෘති වෙලා වයසක මනුස්සයෙක් වාගෙ.
 බැලුවහම යාළුවෙක් එක්ක එයාපෝට් යද්දි වාහනේ දරුණු විදියට ඇක්සිඩන්ට්වෙලා සෙන් තෝමස් මවුන්ට් හරියෙදි.කපිලගෙ ඇහැක් එළියට පැනල දැන් ඒකට වීදුරු ඇහැක් දාලයි තියෙන්නෙ.

ගනේෂ් කඩේටත් ගියා බිරිඳට සාරි ගන්න ඕනෑ කියල...මුදලාලි කොල්ල දැන් ටිකක් වයසට ගිහිල්ල.රෙදි ටික දීල මට කියනව සල්ලි දැන් නැත්නම් පස්සෙ දුන්නට කමක් නෑ කියල.මම කිව්ව අපි තව දවස් දෙක තුනකින් ගියාම අල්ලන්න හම්බවෙන එකක් නෑ කියල...එතකොටත් මිනිහ පරණ පුරුදු විදියට හිනාවෙලා කිව්වෙ ප්‍රශ්ණයක් නෑ කියල.

අපි එග්මෝර්වල අපේ ගෙවල් අයිතිකාරයගෙ ගෙදරටත් ගිහිං එයත් බලලයි ආපහු ආවෙ.

ආයෙම අපි මදුරාසියට ගියෙ  2010 නොවැම්බර් මාසෙදි.ඒ සැරේ අපි දෙන්නයි පුතයි මස්සිනයි මල්ලිගෙ පුතයි අපි කට්ටිය පස්දෙනෙක් ගියෙ වේලන්කන්නි යන්නත් එක්ක.එතකොට මහා නෑ.මාරුකරල ඕමාන් වලට..අපි නැවතුනේ හෝටලේක.
 

මම ලංකාවෙන් යන්න කලින් රෝච්ට කතාකළා අපි එනව කියන්න....රෝච් කිව්ව හොඳයි හොඳයි ඔයාල එන දවස්වලටම මගෙ පුතාගෙ වෙඩින් එකත් තියෙනව කියල මගුලටත් සහභාගිවෙන්න අපිට ආරාධනා කලා.ඒ විස්තර ටික කියන්න වෙනම ලිපියක් ඕනැවෙයි.
 

අතීත කතා මතක්වෙනකොට හරිම ආස්වාදජනකයි.නොදැනුවත්වම දිගින් දිගටම ලියවෙනව.
 මේව ලියද්දි මට පණ බයයි...මොකද පොඩ්ඩ එහෙ මෙහෙ වුණොත් වදිනවනෙ කාඩ් එක නයි පටෝනව කියල.ඒකයි.
 

හැබැයි ඔයගොල්ල මොන විදියට දැක්කත් මම ලියපුව ඔක්කොම සම්පූර්ණ ඇත්ත කියල විතරයි මම දන්නෙ.

34 comments:

  1. කෝ නිදහස් උත්සවේ ගැන විස්තර ටිකයිනේ දාලා තියෙන්නේ....
    කතා හෙන තොගයක් තියෙනවා වගේ...

    ReplyDelete
    Replies
    1. නිදහස් උත්සවෙත් එක්ක එන අතුරු කතා තමයි වැඩි.ඒව ලියන්න ගියොත් වටේ යනව වෙනවනෙ.වෙනම ලියන්නම්.

      Delete
  2. අපිත් දානවා හැම අවුරැද්දෙම නිදහස් උත්සවයක් MH ලොනවලාවල. අපිටත් මුම්බයි හයි කමිෂන් එකෙන් එන්න කියනවා. ඒත් සම්ප්‍රදායක් විදියට අපි INS SHIVAJI වල වෙනමම එකක් කරනවා.

    ReplyDelete
    Replies
    1. තාම පුහුණුවද නැත්නම් දැන් ලංකාවෙද

      Delete
  3. මොන නයිද මේකේ....

    අර කෑම ලිස්ට් එකට නිකම්ම කෙල ගිලුනා අප්ප.. පොල් ගෙඩි 5ක උම්බලකඩ දාපු සම්බෝලේ.... හි හි....

    මේ ලංකාවේ ඉන්න මට මෙහෙම නම් පිට රටවල ඉන්න අපේ කට්ටියගේ කමෙන්ට් ටික මීට හපන් වෙයි කියලා ඔනන මම කලින්ම කිව්ව....

    ReplyDelete
    Replies
    1. වෙල්කම් හිරූ...ටික දවසකට පස්සෙ...හි.හි(කුලියට ගත්තෙ ඔබෙන්)
      සම්බෝල විතරක් නෙවෙයි ඒ කාලෙ මතක් වෙනකොටත් කෙළ ගිලෙනව.දුකත් හිතෙනව ඒ කාලෙ ආයෙ එන්නෙ නෑ නේද කියල මතක් වෙනකොට.

      Delete
    2. ඒවා මොනවද හිරු මාතෘකාවම හැලප ..හලපයක් කන්න බැරි වුනා මේපාර ගෙදර ගිහිනුත්

      Delete
    3. ඩයලොග් එකෙන් පිස්සුවක් නටලා තිබ්බනේ අප්ප... කියල කියල හදවගත්තා.. හි හි.... කමෙන්ට් දැම්‌මේ නැති උනාට ඔක්‌ෙකාම කියෙව්වා..

      මං නං මේ ළඟදි හැලප කෑවා බින්දි... අම්මා එවලා තිබ්බා... හි හි...

      Delete
    4. මට සැරයක් ගෙදරින් හැලප පාර්සලයක් එවල තිබුණ..කාටද කියල හදවල..
      රට යවන්න කිව්වම ගෑණි හොඳට හදල දුන්න කිව්ව.
      අනේ..එකක්වත් කටේ තියන්න බෑ පැණිරස...කලන්තෙ හැදෙන සයිස්.
      වැඩි හොඳට හදල තියෙන හැටි තමා.

      Delete
  4. කියල වැඩක් නෑ බොලේ... රස සාගරයක් ඉදිරියට එන නිසා තලු මර මර ඉන්නේ.. බලාපං මෙතනම තව පෝස්ට්කටු තුනක් දානවයි කියල උඹ පොරොන්දු වෙලා තියෙනවානේ.. හෙහ්... ඔන්න කිව්ව කියල හිතාගං.. එක්කෝ ඕන නෑ.. බොරුවට කබ්බෝ උඩ දාන්න ඕනයැ.. ඔන්න ඩුඩෙගෙන් අහගනිං මං ඌට කිව්ව ඒවා.. සුපිරියා ඈ...

    ReplyDelete
    Replies
    1. ආ උඹත් ඉන්නව නේද...මාව මුරුංග දල්ලෙම තියන්න එපා බැනපිය ඉඳහිට.
      වර්ණනාවට ස්තූතියි.

      Delete
  5. අපුරුයි...නියම මතක සටහන් ටිකක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බින්දි..තවත් මතක සටහන් තියෙනව මතක්වෙන හැටියට ලියන්නම්.

      Delete
  6. නියම රසවත් විස්තරයක්.

    'අපි ගේ පෙරලුවත් මනුස්සය නෙවෙයි කටක් ඇරල මොකුත් කිව්වෙ'
    මාර මනුස්සයෙක්නෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම අහිංසක මනුස්සයෙක්.විශ්‍රාමගිය බැංකු සේවකයෙක්.ජෝඩුව විතරයි ගෙදර ඉන්නෙ,අපිට සැලකුවෙ දරුවන්ට වාගෙ.

      Delete
  7. මොන නයිද මචං. මේවා තමයි නියම මතක. මම මේවා ලියන්නෙ මතක මාවත දිගේ කියන ටැග් එක යටතේ. ඉංග්‍රීසියෙන්නම් Down the Memory Lane.

    ReplyDelete
    Replies
    1. හිහි. හික්හි.. අන්ඩ ද මෙමොරි... යකෝ...

      Delete
    2. හා කෙළගනියව් හැමදාම ඔහොමනෙ

      Delete
  8. ලියපං හැලපයියේ ලියපං දිගටම... කාලෙකින් පදුරු තලන්නෙක් සෙට් උනේ...

    ReplyDelete
    Replies
    1. වචනෙත් ඇති මල්ලියේ

      Delete
  9. කතා සාගරයක් නොවැ! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා.රජෙක් බ්ලොගයට එනව කියන්නෙ සුළුපටු දෙයක්ද

      Delete
  10. ඇත්ත නේන්නම්. කන සාක්කුවට වැටුනහම සිරිත තමා ගොඩාක් කෑම බෙදාගෙන පැයක් විතර අන අන ඉදලා විසි කරන එක.

    හරි අසාවෙන් කියවනවා. ලියන ශෛලිය හරියට සිත් ඇදගන්නවා.

    පොඩි පටලැවිල්ලක් තියනවා 2007 ට පස්සේ 2001 ගැන කිව්වේ ඇයි කියල. මතකයත් එක්ක රස අතීතෙට ගියපු නිසා අවුරුද්ද පරලැවිලා වෙන්නැති. මටත් ඔහොම වෙනවා.

    ReplyDelete
    Replies
    1. පොඩි අතපසුවීමක් වුණා පේට්‍රියට්.දැන් ඒක හැදුව.බොහොම ස්තූතියි වැරැද්ද පෙන්නල දුන්නට.

      Delete
  11. හැලපයියේ නියම මතකයක්නේ.. ඔයා තාමත් ඉන්නේ ඉන්දියාවෙද? ගිය වසරේ චෙන්නායි වල පැවති නිදහස් උළෙලට එක්වන්න මටත් අවස්ථාව ලැබුණා. දෙමළ අධිරාජ්‍යය මැද්දේ අපේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සිංහ ධජය එසැවෙන මොහොත ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නෑ. එතැනට කලින් එග්මෝර් වල මහාබෝධියේත් අපේ කොඩියෙ ලෙල දෙනවා....

    විශාකා පට්නම් පැත්තෙත් මං කරක් ගැහුවා ටික දොහක්... රුෂි කොණ්ඩා පැත්තේ එහෙම... ඒ විස්තරවලින් ටිකක් මගේ බ්ලොගේ සංචාරක ටැගේ ඇති.

    ReplyDelete
    Replies
    1. නලින් මම ඉන්දියාවෙන් ආවෙ 2001 දි.ඊට පස්සෙත් කීප සැරයක් ගිහිං ආව.තාමත් අවස්ථාවක් ලැබුණු ගමන් ඉන්දියාවටයි යැවෙන්නෙ මොකද බිරිඳත් හරි ආසයි සාරි ගන්න යන්න.

      Delete
  12. දැන් අවුරුදු 4ක් වෙනවා ඇවිත්. මගේ කොල්ලා හමබවෙන්න මාසයක් වෙනකම්ම ඉන්දියාවෙ ප්‍රාන්ත 2ක අවුරුදු 1හමාරක් හිටියා. මතක සටහන් අනන්තයි. දඹදිව වන්දනාව, අජන්තා ගමන, දිල්ලි ෂොපිං, කේරලේ ජීවිතය, පූනේ ජීවිතය, චෙන්නායි ගමන්, මුම්බයි ලයිෆ්, බස් එකෙන් දවස් 3ක්, කණ්ඩාලා මේවා ඔක්කොම ලියන්න වෙලාවක් ලැබුණොත් මාරයියටත් බඩේ පාරක් දෙන්න පුළුවන්. නැතෙයි ? හැලපයියෙ.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ. ලියමු නේද මතක් වෙන විදියට...මාරයත් හරි ආසයි නොවැ ඉන්දියානු කතා කියවන්න.

      Delete
  13. අනේ ෂෝක්... රසවත් මතක හුඟාක් තියෙනවා වගෙයි. ආසාවෙන් කියෙව්වේ. ඉතුරු විස්තරත් මඟ අරින්නේ නැතුව කොහොම හරි ලියන්න.

    ReplyDelete
    Replies
    1. ලියනව තරූ අනිවාර්යයෙන්ම.ඔබේ උනන්දුව ගැන සතුටුයි.

      Delete
  14. අප්පේ මාර ජීවිතයක්නෙ හැලපෙට තිබිල තියෙන්නෙ..! සාරි බිස්නස් එකෙකුත් කලානම් නරකද ඔය යන එන අතර..!:))

    ReplyDelete
    Replies
    1. සාරි බිස්නස් ගැන නම් මතක් කරන්න එපා වීයො...විකුණන්න නෙවෙයි නිකං දෙන්න නම් ඕනැතරම් පුළුවනි.

      Delete
  15. //මොකද පොඩ්ඩ එහෙ මෙහෙ වුණොත් වදිනවනෙ කාඩ් එක නයි පටෝනව කියල.ඒකයි.//

    රෑන්කින් වල පළවෙනි පන්සීය අතරට එනකොට අනිවා උඹටත් ගහනවා මේ කාළකණ්නි . ඔය සක්කිලි වැඩේ කරන්නේ, කරන උන්ට උඩගෙඩි දෙන්නෙයි , බ්ලොග් ලෝකයේ පතාක යෝදයෝම තමයි,

    ඔයාගේ හිතට එනදේ ඔයා ලියන්න , අරයා මෙයා අරක මේක ගැන හිතලා රහ අඩු කරගන්න නං එපා ලොකු අයියේ

    ReplyDelete
    Replies
    1. වෙන මොකුත් ප්‍රශ්ණයක් නම් නෑ අටම් මල්ලි...එතකොට මට විලි ලැජ්ජාවයි..ඒකයි.

      Delete

ඔබේ අදහස්