Tuesday, February 26, 2013

33.ඔලුව බේරුණු දා




අද මම කියන්න යන කතාව වගා සංග්‍රාමය කාලෙ සිද්දවුණු එකක්....වගා සංග්‍රාමය කිව්වම ඔයගොල්ලන්ට ඒ ගැන කිසිම නිච්චියක් නෑ කියල මම දන්නව.

ඔය සමගි පෙරමුණු ආණ්ඩුව කාලෙ(1970-1977) තමයි වගා සංග්‍රාමෙ පටන් ගත්තෙ...පිටරටින් ආහාර ද්‍රව්‍ය ගෙන්වීමේ වියදම වැඩියි කියල අවශ්‍ය ආහාර අපේ රටේම නිපදවා ගැනීම සඳහා ආහාර පිටරටින් ගෙන්වන එක නතර කළා....සමහර දේවල් ගෙන්වීම සීමා කළා.

ඒත් එක්කම වෙළඳපොලේ මේ සියළුම ආහාරවල දැඩි හිඟයක් ඇතිවුණා...රටතුළ ආහාර ප්‍රවාහනයේ සීමාවන් ඇතිකළා පොලු දාලා...හාල් පොලු මිරිස් පොලු ආදිය...මේ සියළුම දෙයින් අන්තිමට අමාරුවෙ වැටුණෙ ගෙදර කන බොන දේවල් සියල්ලම මුදලට ගත්තු අහිංසක පාරිභෝගිකයා.

මිනිස්සු පුදුමාකාර දුක් කන්දරාවක් වින්ද කෑම බීම,රෙදිපිළි ආදිය හොයාගන්න නැතුව...ඒ ගැන ලියනව නම් වෙනම ලිපියක් ලියන්න පුළුවනි.

ඒ කරපු වැඩේ හරි වැරැද්ද ගැන නෙවෙයි මම මේ කියන්න යන්නෙ...ඒ ටික ලිව්වෙ මගේ කතාවට ආරම්භයක් හැටියටයි.

ආහාරගෙන්වීම නතර කරපු ආණ්ඩුව ජයටම වගා සංග්‍රාමය පටන් ගත්තා...පත්තර වලින් රේඩියෝ එකෙන් උපදෙස් දෙනව වවන්න කියල...ඒත් ඉතිං කියපු තරමටම වවන්න මිනිස්සු උනන්දු වුණේ නෑ...අනික ඉතිං වවන්න ඉඩම් තියෙන්නත් එපෑ.

අපේ ගමේ තිබ්බ පෝටවත්ත කියන ඉඩමෙ පැත්තක් පාළුවට ඇරිල ඒකෙ තිබුණෙ කණාටු පොල්ගස් කීපයක් විතරයි ගමේ කට්ටිය කතාවෙලා අක්කර හතරක පහක විතර ඔය ඉඩම වවන්න ඉල්ල ගත්ත ඉල්ලගෙන එක එක්කෙනා කොටස් කරගෙන වවන්න ගත්ත.

 අපි කොල්ලො කට්ටිය ,අපිත් කෑල්ලක් ඉල්ල ගත්ත මඤ්ඤොක්ක වවන්න කියල...මඤ්ඤොක්ක තමයි ඒ දවස්වල ජනප්‍රියම වැවිල්ල....අපිත් කට්ටියම එකතු වෙලා අපට ලැබුණු ඉඩම් කෑල්ලෙ වල් සුද්ද කරල බිං කෙටුව...කාල වකවානුව හරියටම කිව්වොත් 1973.

1973 ඔක්තෝබර් මාසෙ.... මොකද අපි ඔය ඉඩමෙ බිං කොටමින් ඉද්දි තමයි අපි සිංදු අහන්න ගෙනිහිං තිබුණු පොකට් රේඩියෝ එකකින් ප්‍රචාරය වෙමින් තිබුණු වැඩ සටහන නවත්තල මිසර ඊශ්‍රායල් යුද්දය නැවතත් පටං ගත්ත කියල නිවේදනය කළේ.

මම මේක ලියද්දි  ගූගල් ගිහින් බැලුව කවදද ඒ යුද්දෙ පටන් ගත්ත දවස කියල...හරියටම 1973 ඔක්තෝබර් 8 වෙනිදා.

බිං කොටල ඉවර වුණාට පස්සෙ ලොකුම ප්‍රශ්ණය වුණේ හිටවන්න මඤ්ඤොක්ක දඬු කොහෙන්ද හොයාගන්නෙ කියල...මොකද ඒ කාලෙ දඬුවල ලොකු හිඟයක් තිබුණා...ඉල්ලුම වැඩියිනෙ....හැමතැනම ඇවිදල අපේ ඔය බෝලානෙ ඉන්න පුංචි අම්මලගෙ ගෙවල් පැත්තෙන් දඬු හොයාගෙන සයිකල්වල ගැට ගහල අරගෙන ආව.

 කාලෙ බලල දඬු යටකලා...කලට වැහිත් වැටිල දැන් අපි හිටවපු දඬු පැළවේගන එනව...නිල්පාටට හුළඟේ හෙලවෙන ළපටි මඤ්ඤොක්ක කොළ දකින අපට හරි සන්තෝසයි...අපි උදේට නොවරදවාම කරන වැඩක් තමයි අපේ ඉඩම් කෑල්ලට ගිහිං ළපටි මඤ්ඤොක්ක පැළ දිහාවෙ බලා ඉන්න එක.

දවසක්දා උදේ අපි කොටුවට යනකොට මඤ්ඤොක්ක පැළ කීපයකම දල්ල කපල දාල....අපි කතාවුණා මේක කාගෙ වැඩක්ද කියල...කිසිම විදියකට හොයාගන්න බැරිවුණා.

පහුවදාත් එහෙමයි..දිගටම පොඩි පැළවල දළු කපනව...සූක්ෂ්ම පරීකෂණයකින් පස්සෙ අපි තීරණයකට එළඹුණා.

දළු කපන්නෙ රෑට කොටුවට එන හාවො.

දැන් මොකද කරන්නෙ...කොටුව රකින්න එපායැ පැළ ලොකුවෙලා හාවුන්ට කන්න බැරි තරමට උස යනකල්වත්...

මොකටද බොරු කියන්නෙ...අපිනං මේ වැඩේට උඩින් කැමතියි...ඇයි රැට ගෙදරින් පැනල වත්තක් මුරකරනව කියන එක හෙන ජොලි වැඩක්නෙ.

මුරවැඩේ පහුවදා ඉඳන්ම පටන් ගත්ත..කළින්ම රෑ කෑම ටික කන අපි කෙළින්ම නවතින්නෙ මඤ්ඤොක්ක කොටුවෙ.

නිදිමරන ගමන් කන්න බොන්න කෑම බීම ජාති ගන්න තරම් කාසි මුදල් අපි කාගෙ අතේවත් තිබුණෙ නෑ....සමහර දවසක රෑ වැඩ ඇරිල ගෙදර යන බඩ මුණය අපේ ගිනිමැලේ දැකල කොටුවට එනව...එදාට නං බේකරියෙන් උණුපාන් ගෙනත් කන අපි කහට හැලියක් උණුකරල හකුරුත් එක්ක බොනව..ඒ කාලෙ සීනි බොහොම හිඟයි....බහුල වශයෙන් තිබුණෙ හකුරු....හකුරු කිව්වට ඒව පිරිසිදු හකුරු නෙවෙයි...ඔය තැන තැන හකුරු හදන උන් ඕකට පාන් පිටියි හුඹස් මැටියි නොදාන ජාතියක් නෑ.

කෑමට බීමට වියදම බඩ මුණය ගෙන්.

ඔය විදියට ඉතිං දුකසේ හරි හිත සතුටින් අපි මුර වැඩේ කරනව....දැන් රෑට හාවො එන්නෙත් නෑ....මඤ්ඤොක්ක පැළත් ටික ටික උස ගිහින්....

දවසක්දා මුරේට ඔක්කොම වගේ ඇවිදින් හිටිය...බඩ මුණයත් හිටියෙ එදා උගෙ දවල් වැඩ දවසක් වෙන්න ඇති...

කට්ටිය කතා කර කර ඉන්න ගමන් කතාවුණා අද මොකද කරන්නෙ කියල..

අන්නාසිවත් කඩමුද.....බඩා අහනව

බඩ මුණේගෙ යෝජනාව කාගෙවත් විරෝධයකින් තොරව සම්මත වෙලා අන්නාසි කඩන බලකාය අලවත්තට පැනල අන්නාසි කඩාගෙනත් ආව.

දැන් අන්නාසි කපන්න පිහියක් නෑ...ලොකු මහින්ද ඉදිරිපත් උණා

 මම ගිහින් පිහියක් ගේන්නං

ඌට තනියට මම ගියා...

යන ගමන් මහින්ද කියනව....

අන්නාසි කඩාගෙන ඇළෙන් පැනල එද්දි දාගෙන හිටපු තොප්පිය හැලිල කොහෙහරි...අපි ආපහු එනගමන් ඒකත් ඇහිඳගෙන එමු කියලා....

මහින්දලගෙ කුස්සියට ගිහින් පිහියකුත් තොප්පිය හොයාගන්න ටෝච් එකකුත් ගත්ත අපි පාර දිගේ ආපහු එනව ටෝච් එකත් පත්තු කර කර...

උණ පඳුර ගාවින් ඇළෙන් පැනල නියරට ගොඩවුණා...එතන තිබුන තොප්පියත් අහුලගෙන අපි ටෝච් එකත් ගහගෙනම වත්තට ගොඩවුණා...

මඤ්ඤොක්ක කොටුව පැත්තෙ හ්ම්ම් සද්දයක් නෑ...ගිණිගොඩත් නෑ අඳුරුම අඳුරුයි....ඇයි මේ...අපි දෙන්නට හිතාගන්නවත් බෑ.

හරිම අමුතුම හැඟීමක් මගෙ හිතට ආව...නිකං බයක් වගේ හරි මොකක් හරි අමුතු දෙයක් වෙන්න යනව වගේ හැඟීමක්.

අවස්ථාවෙ තිබ්බ ආතතිය දරාගන්න බැරිවුණු මටත් නොදැනිම සිංදු කෑල්ලක් කියවුණා.

ඒත් එක්කම පුදුමාකාර දෙයක් වුණේ

 අපි හිටිය තැනම තිබ්බ පොල්ගහක් අස්සෙන් අඳුරු රුවක් මතුවුණා...ඒ රූපය ටිකෙන් ටික අපි ළඟට එනකොට දැක්කෙ ඒ අපේ ආරි.

පොල්ලකුත් කරතියාගෙන අපි ඉස්සරහට ආපු ආරි හොඳ සීරුවට අපට බනිනව...

යකෝ...තොපි හරක්ද...බූරුවනේ

තව පොඩ්ඩෙන් මොකද වෙන්නෙ...ආරි වෙව්ලනව

අපට මේ මොකුත් හිතාගන්න බැරුව ගල්ගැහිල බලාගෙන ඉන්නව...

වරෙව් ඉතිං යන්න...ආරි අපිත් එක්ක කන්ද උඩට යනව....මට කලින් කියන්න අමතක වුණා වත්ත පොඩි කන්දක්...අපි හිටියෙ පල්ලමේ.

 අපි කතා කරන සද්දෙ ඇහිල තැනින් තැනින් එකා දෙන්න මතුවෙන්න ගත්ත...

ඊට පස්සෙ තමා සිද්ද වෙච්චි දේ අපට හරියටම දැනගන්න හම්බ වුණේ....

ටෝච් එළියක් අලවත්ත පාර දිගේ එනකොටමයි ආරිගෙ අවධානය ඒකට යොමුවෙලා තියෙන්නෙ...

කවුද මේ එන්නෙ....කට්ටිය කතාවෙලා...

එකත් එකටම ඔය එන්නෙ වත්තෙ මුරකාරයො... අන්නාසි කඩපු උං අල්ලන්න...එහෙම කිව්වෙ ආරි.

ආරි තමා කණ්ඩායමේ ආරක්ෂක උපදේශකය සහ ආරක්ෂක නිළධාරියා.....ආරක්ෂාව ගැන ආරිට උඩින් වචනයක් කතාකරන්න කාටවත් බෑ....ආමි එකෙත් ඉඳලනෙ ඇවිත් තියෙන්නෙ.
 


දැන් ඔන්න ටෝච් එළිය ඇළෙන් නියරටත් ගොඩවුණා...ආයෙ මොනව කතාකරන්නද...හොරු අල්ලන්නමයි එන්නෙ...කරන දෙයක් ඉක්මනට....ආරි ක්ෂනිකව තීරණය ගත්තා.

කඩල තිබුණු අන්නාසි ගොඩ වත්තෙ අගල් වලට දාල කොළවලින් වැහුව...ගිණිගොඩ නිමල දැම්ම.
මම පොල්ලත් අරං ඉස්සරහට ගිහිං හැංගිල ඉන්නව මුං එන පාරෙ...ආරි අතේ තියනව හොඳට මැදපු අන්දර පොල්ලක්....අගට යකඩ විල්ලක් හයි කරපු...

ගිහිං උන්ගෙ ඔලු කුඩුවෙන්න ගහන්නම්....උඹල හැංගිලා ඉඳපල්ල.

ඔහොම කියල ආරි පහළට ගිහිං පොල්ගහක් මුල හැංගිලා ඉඳල....

ඊට පස්සෙ තමා මම ඔය ඉස්සෙල්ල කියපු ටික සිද්දවුණේ.....

අන්තිමේ සෑහෙන වෙලාවක් ගතකරල විසිරිලා ගිය කට්ටිය හොයා ගත්ත....

බඩ මුණය ගෙදරම දුවල....

ආරි ගත්තෙ කොච්චර වැරදි තීරණයක්ද කියල තේරුම් කරල දෙන්න හැදුවට ඌට ඒක තේරෙන්නෙ නෑ.

තව පොඩ්ඩෙන් අපි කාගෙහරි ඔලුව කුඩුවෙනවනෙ...

ඒ නැතත් වත්තෙ මුරකාරයම ආව කියමුකො...උගෙ ඔලුවට පාර වැදිල මැරුණනම් පොඩි කොල්ලො වෙච්චි අපේ අනාගතයටත් ඔය සිද්දිය බලපානවනෙ...

කොහොම වුණත් එදා නූලෙන් බේරුණු හැටි මතක් වෙනකොට තාම ඇඟ හිරිවැටෙනව.

34 comments:

  1. මාත් පොඩිකාලේ ඔය මයියොක්කා දඩුයි මුං ඇටයි නිවිති නැටියි හිටෝනවා අපේ වත්තේ...
    පැලවෙනවා බලං ඉන්න එක මාර ආතල් වැඩක්..
    නැගිට්ට ගමං දුවලා ගිහිං බලන්නේ කොච්චර දික් වෙලාද කියලා පැලේ...
    තාත්තනං ලොකු ලොකු ජාති හිටෝනවා කෘෂිකර්මෙං ඇට ගෙනත්..
    ඔක්කොම කරේ ආසාවට..
    ගහක් පැලවෙලා ගෙඩි එනවා දකිනකොට සිරාවටම සංතෝසයි....

    ReplyDelete
    Replies
    1. ඒ උණ කාටත් තියෙනවා තරියො මම හිතන හැටියට

      Delete
  2. උදේ පාන්දර වගා සංග්‍රාමේ මතක් කරලා අපේ ආතාව මතක් කළා හැලපයියා... ආතා මළානේ අවුරදු 3කට ඉස්සෙල්ලා.. මැරෙනකොට වයස 105ක් විතර... ඔය කාලේ ඉඳලම පටන් ගත්ත මඤඤොක්කා වගාවක් තිබ්බා ආතට...
    අපි දෙන්නත් මුලින්ම හිටපු ගෙයි වත්ත ටිකක් තිබ්බ නිසා පාරේ තිබිලා අහුලගෙන ආපු මඤඤොක්කා දණ්ඩක් තුනට හතරට කපලා හිටෙව්වා... ඕක හොඳට හැදුනට පස්සෙ දවසක් සතෙක් හාරලා තියෙනවා දැකලා හාරලා බැලුවම මෙන්න පුංචි මඤඤොක්කා අල... හැබැයි ගොඩක් පුංචියි.. ඒ පාර, ඒ ටික අර හාරලා තිබ්බ ඉත්තෑවටම දීලා අපි නිකං හිටියා.. හි හි...

    ReplyDelete
    Replies
    1. මඤ්ඤොක්ක කාපු ඉත්තෑවා සොයා දෙන කෙනෙකුට ලොකු තෑග්ගක්

      Delete
  3. ඔය මයියොක්ක දඩු හිටවන්නෙ එක තැන දඩු කැබලි දෙකක් කතිරයක් විදියට නේද?අල ගලවන කාලය දැනගන්නෙ ගස උසට හැදිල කොළ 5ක් 6ක් ඉතිරි උනාම නේද?
    ඒ කාලේ ගෙදර පාවිච්චියට පොල් රා වලින් හකුරු හදාගත්තෙ අපිමයි.ඔය පැණි/හකුරු හදන්න ගන්න රා වලට හල්පොතු කුඩාවට කපල ස්වල්පයක් රාමුට්ටියට දාල තමයි පොල් මලට දමන්නෙ.එම රා දවසට දෙසැරයක් බානව.නැත්නම් රා ඇබුල් වෙනවා. ඒ රා මුට්ටි උනත් හෝදල පොල් කොටන් දෙකක් අතර මුනින් අතට නවල යටින් පොල් කොළ වලින් ඇතුල පුච්චලා ගන්නවා.රා ගැලුම් 4ක් 5ක් රොඩු පෙරල ලොකු තාච්චියක මඩුව ඇතුලේ හදපු ලිපේ තියල ගැලුම් 5 බෝතල් 5කට විතර හින්දුවම පැනිවලට ගත හැකියි.මට මතක හැටියට හකුරු වලට නම් බෝතල 3කට විතර හින්දල සුද්ද කරපු පොල්කටු වලට වක්කරල නිවෙන්න තියනවා.හවසට තේ බොන වෙලාවට කන අර ඉතිරි උන බත් වේලලා බැදල පොල් සමග කොටල හදන අග්ගල වලට ගන්නෙ ඒ හකුරු තමා.[හෑල්ලක් නේද:)?]

    ReplyDelete
    Replies
    1. කිතුල්ගල කිතුල් හකුරු වලටත් වඩා රහයි....

      Delete
    2. මේ ගැන නම් කියන්න තියෙන දේ බොහොමයි,

      Delete
  4. හැලපයියා තව ටිකෙන් බෝගම්බර තමා.. මුරකාරයෝ සිරාවට ආවා නං හෙම.. අම්මප ආරියට බැරි උනා නේ මේකට දෙකක් නෙලන්න... හෙහ්...

    ReplyDelete
    Replies
    1. නෙලුව නං මම කෝ යකෝ

      Delete
  5. මමත් වගා සංග්‍රාමයේ සාමාජිකයෙක්. ඒත් ඒකනම් පරම්පරාවෙන් ආපු එකක්. අපේ ගමේ හැම ගෙදරම වගේ කොරටුවක් තිබුනා. ඕකේ නොතිබුන දෙයක් නෑ. සීයනම් වැඩි පුර ඒවා විකුණුවේ නෑ, අහල පහල ගෙවල් වලට දුන්නා. ඒ වගේම් ඒ ගෙවල් වලිනුත් හම්බ උනා. කිරි හරකෙක්, කුකුල්ලු 10-15 කුත් උන්නා. අපේ කාළේ නම් වැඩුපුර එවා කඩේට විකුණලා ගානක් හොයාගත්තා, හැන්දෑවට ගල් බෝතලේට. සීයා හරක් කුකුළෝ ඇති කලාට මම ඇතිකලේ හාවෝයි, මාළුයි. ලව් බර්ඩ්ස්ලත් හිටියා. ඒත් උන්ව නම් විකුණුවේ නෑ.

    සිරිමා අපිට මඤ්ඤෝක්කයි බතලයි කවලා. එයාගේ ළමයින්ට ඇපල් කැව්වා. උඹට මතකෙයි දවස් දෙකක් බත් කන්න තහනම්. කන්න ඕන අල. හාල් සේරුවට වඩා ගෙනියන්නත් තහනම්. පාන් ගන්න ඕන පෝලිමේ ඉඳලා. එකෙකුට එක ගෙඩියයි දෙන්නේ. රෙදි නෑ අඳින්න. ගෑණු ගවුම් ඇන්දෙ කොටට. සරම් බූමිතෙල් ගඳයි, නැවුන ගමන් ජාතික සංකේතේ පෙනවා. කොතරම් සුන්දර යුගයක්ද....?

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ නේද මිනි ගවුම ආවේ?මාලනී ගාමිණී එක්ක හරි විජය එක්ක හොදට කොටට ඇදල සින්දුවක් කියන එකක් මතක් වෙනව.ඒ උනාට දැන් රෙදි තිබිලත් අදින්නෙ ඉනේ ඉදල අගල් 6ක් පළල රෙදි තීරුවක්නේ.

      Delete
    2. ඒ රෙදි තිබුනට ගාන වැඩි නිසා.... :)

      Delete
    3. මචං මම වෙනම පෝස්ට් එකක් දාන්නද මේ ගැන

      Delete
    4. හැලපයියා මේ ටිකේම දානවයි කිව්ව ඒව්ව ටිකට මම ලිස්ට් එකක් හදාගන්නෙයි. දැනටම බර ගානක් තියෙනවා...

      Delete
  6. යාන්තමින් මතකයි ඔය කාලෙ.. කුඹුරු වල වී අස්වැන්න සම්පූර්නයෙන්ම අපිට දුන්නෙ නෑ..ඒවායින් කොටහක් අර ගත්තා..වී ඉවර කාලෙ අර හබරල අල තම්බලත් කෑවා මතකයි..භූමිතෙල් ගඳ රෙදි...සෑහෙන්ඩ කාලෙක්ට පස්සෙ උයන පරිප්පු..ඊට වඩා මතක නෑ..

    ReplyDelete
    Replies
    1. ලොකු මතකක් තියෙනවා ලියන්නම්

      Delete
  7. අපේ අත්තා නම් තාම වගා කරනවා...

    එයාට වත්තේ පොඩි කොරටුවකුත් තියනවා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජ කොරටුවක්නේද

      Delete
  8. අපොයි තව පොඩ්ඩෙං හැලපයගෙ ඔලුව හැලපයක් වෙන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. වෙලාවෙ හොඳකම වෙන්න ඇති බේරුණේ

      Delete
  9. මං පොඩි කාලෙනම් හිටවපු පැළ පැලවෙලාද කියලා බලන්න පැළේ උස්සලා මුල් බලලා තියෙනවා. (තාමත් ඕකට මඩ ඈ)

    හාල් පොලු ගැන එහෙමනම් අහලා තියෙනවා.

    හැලපයියා සිංදුව හින්දම බේරුණා එහෙනම් ඈ.

    ReplyDelete
    Replies
    1. සිංදුව කියපු හින්දමයි ඔලුව බේරුණේ

      Delete
  10. අපරාදේ මිස් උනේ

    ReplyDelete
    Replies
    1. යමර කතාවක්නෙ සුජිය කියන්නෙ

      Delete
  11. ඇති ඒ තීරනය ක්‍රියාත්මක කරන්න බැරි වුනා. ඒ ප්ලෑන් බී නේ?

    ReplyDelete
  12. අපේ ඉඩමකත් ඉස්සර මයියොක්කා වගා කලා.බේරගන්න අමුතු වැඩ කලා.පොඩි කාලෙ හාවන්ගෙන් හා මීමින්නන්ගෙන්..එකට පඹයොහයිකලා...හැබැයි සද්දෙත් ඕන. ටිකක් ලොකුවෙනකොට ඉත්තෑව ඌට නම් විකල්පයක් නැති තරම්..අලබහින කාලෙට ඌරන්ගෙන් පරිස්සම් කරන්න බාබර් සාප්පුවෙන් ගේන කෙස් දානව ඌර ඉව කර කර යන්කොට නහයෙ යනව කියනවනෙ...
    මොන...අස්වැන්නෙන් බාගයයි අන්තිමට.

    දැන් අපේ ඉඩමෙ බේරගන්න බැරි ඌරුමීයන්ගෙන්.

    ReplyDelete
  13. මේ හා සමාන අද්දැකීමක් තමා නිවාසාන්තර තරඟ තියෙද්දී අපේ නිවසේ ආකෘතිය පරිස්සම් කරන්න ගෙදරින් අමාරුවෙන් ඇවිල්ලා මුරකරන එක. ඔය කියන කාලේ අපි ඉපදිලා නැහැ. මේ වගේ කතා අහන්න කැමති අපි නොදන්නා කතා නිසා.

    ReplyDelete
  14. අපේ ගෙදරත් තාත්තා මඤ්ඤොක්ක දඩු ටිකක් හිටෝලා තියෙන්නේ. ඕවා ඌරු මියොත් හාරනවා නේද....

    අම්මෝ... මිනිස්සු ගන්න සමහර වැරදි තීරණ නිසා අන්තිමට හෙන අලකලංචිනේ වෙන්නේ. හොද වෙලාවට ඔයින් බේරුනේ.....

    ReplyDelete
  15. ඔය කාලේ තිබුණු අහේනිය ගැන අපේ අම්මා එහෙම කියනව. හැමෝම ඇන්දේ එකම විදිහේ රෙදි ලු. සමුපකාරේ තියන්නේ එච්චරයි ලු. කොල්ලොත් මල් මල් රෙදි වලින් කමිස එහෙමලු අඳින්නේ.

    හිටවන්න ඉඩම් නොතිබුණු අය තියන අයගෙන් ඉල්ලගෙන යනවලු මඤ්ඤොක්ක ගහේ පස් පංගුවම.

    ReplyDelete
  16. අනේ බං හිටවගන කනකොට තියන රහ ( මං දැන් මේ අපේ පර්චස් අටේ හිටවගත්ත බංඩක්කා එක්ක බත් කකා ඉන්නේ)

    ReplyDelete
  17. තමන් හිටවපු දේක ගෙඩියක් හැදෙනවා දකිද්දී නම්
    ලොකු සතුටක් දැනෙනවා..ඒක නම් වෙන දේකින්
    ලබන්න බැහැ ...( නෝනා එක්ක පොළේ එළවලු
    ශොපින් යද්දී වගේ )

    ReplyDelete

ඔබේ අදහස්