Tuesday, February 12, 2013

28.ඩැනීගෙ කතාව



අපේ ගමට ඩැනී එනකාලෙ අපි පොඩි එවුං...ඩැනී අබේලගෙ තාත්තගෙ අය්යගෙ පුතෙක්..රෙදි මෝලෙ රස්සාව හම්බ වෙලා අබේලගෙ ගෙදරට ඇවිත් නැවතුනා වැඩට යන්න.

මම හිතන හැටියට ඔය කාලෙ 1968 විතර වෙන්න ඇති...අපේ ගේ කඩල එතන අලුත් ගෙයක් හදන නිසා අපි නැවතිලා හිටියෙ පාර අයිනෙ කුලී ගේක..ඔය කුලී ගෙයි හිටපු කාලෙ තමයි ඩැනියව ඉස්සෙල්ලම දැක්කෙ.

ඩැනී බොහොම උසයි...හරි කඩවසම් තරුණය... වැඩ ඇරිල අපේ ගේ ඉස්සරහින් යන්නෙ අපටත් විහිලු කර කර...ඩැනී කියන්නෙ නියම නම නෙවෙයි නියම නම ඊ විජේසේන....ගෙදරට කියන නම වෙන්න ඇති ඩැනී..කොහොම හරි විජේසේන කිව්වොත් වැඩපොලේ ඇරෙන්න ගමේ නම් කවුරුවත් දන්නෙ නෑ.


ඇවිත් අවුරුදු කීපයක් ගතවෙනකොට ඩැනී ගමේම කෙනෙක් බවට පත්වුණා..වැඩ ඇරිල ඇවිත් යාලුවො කට්ටිය එක්ක කයිය ගගහ ඉඳල රෑ වෙනකොට කුදාර් වෙන්නම බොන එක තමයි මිනිහගෙ එකම විනෝදාංශය වුණේ.

බීල අපේ ගේ ඉස්සරහින් පාරෙ යද්දි අපි ඩැනියට විහිලු කරනව..හැබැයි ටිකකින් අපිමයි බයිට් එක වෙන්නෙ.
ඩැනී දැන් නිසි වයස පිරුණු තරුණයෙක්...රස්සාවකුත් කරන නිසා පරස්තාවක් කරගන්නයි දැන් අදහස...කපුවන්ට කියල කෙල්ලො හොයනව,බලන්න යනව.

ඩැනිය මනමාලියො බලන්න යන එකත් අපූරු කතාවක්...ඔන්න කපුව කියනව අහවල් දවසෙ එන්න කියල කෙල්ලෙක් බලන්න යන්න...යාලුවට එක්කං යන්නෙ තේමිස්ව,ඩැනිය උදෙන්ම ඇඳගෙන තේමිස්ලගෙ ගෙදරට ඇවිත් තේමිසුත් එක්ක ගමන පිටත්වෙනව...අලවත්ත පාරෙ පල්ලමේදි තේමිස් කියනව..

මෙහෙම යන්ඩ බෑ බං...මට නං පොඩ්ඩක් ඕනැ ..කියල

ඒ ගමන ලොක්කයියලගෙ ගෙදරට තේමිස්ව එක්ක ගිහින් සුදුව කාලක් අරන් දෙනව...මනමාලයො බොන්නෙ නෑනෙ
ඒ වුණාට තේමිස් අසෝක වීදුරුවෙන් කට කපල එකක් රස කර කර බොනව දකින ඩැනියගෙ ඉවසීමේ සීමාවන් කඩාගෙන බිඳගෙන ගිහින්...

මටත් කාලක් දෙන්ඩ ....කියල ඌත් කාලක් බොනව.

ගමමැද පාරෙන් ගිහිං මිකාඩාවත්ත හරියට යනකොටතේමිසා කියනව..

වැඩක් නෑ බං අරූගෙ බඩු ඇල්වතුර වාගෙ....කියල

චික් විතරක් හැබෑට... කියන ඩැනියත් කෙළ ගහනව....

ඒ හරියෙමයි වතුරවලේ ඇඩ්ඩිංගෙ පොට් එක තියෙන්නෙ..දෙන්න එක්ක එතෙන්ටත් ගිහින් තව වීදුරුව වීදුරුව දාගන්නව...

ටවුමට ගියාම එතන තිප්පොලෙනුත් සප්පායම් වෙන්න දෙන්න අමතක කරන්නෙ නෑ.
මනමාලිගෙ ගෙදරට යනකොට මුං දෙන්නට හොඳ ගණං...වැනි වැනි යන්නෙ.

කවුද ඉතිං මුන්ට ගෑණු දෙන්නෙ..ඈ...දෙයි පිස්සො නං

 හැමදාම මනමාලියො බැලිල්ල ඔය විදියයි.

ඔහොම කාලය ගතවෙලා යද්දි ඩැනී එකපාරටම අසනීපෙන් වැටුණ....අසනීපෙ මොකක්ද කියන්න නම් මම
දන්නෙ නෑ..අපි පොඩියිනෙ...සෑහෙන කාලයක් ඉස්පිරිතාලෙත් හිටිය.

සනීප වෙලා ගෙදර ආවෙ ඉස්පිරිතාලෙට ගියපු ඩැනී නෙවෙයි...සරීරෙ වැහැරිලා..කුදු ගැහිලා..හරියට නගුලක් වාගෙ.
එච්චර කල් ඩැනිස්ටර් කිය කිය හිටපු එකාට එදා ඉඳන් කිව්වෙ කුඳ කියලයි.

දැන් ඩැනී ආපහු වැඩට යනව..හවසට බොනව..ඊට අමතරව රොසන්ටටත් සැට් වුණා.

 හෝව් හෝව් දැන් අහන්න එපා රොසන්ටා කියන්නෙ කවුද කියල....අපේ ගමේ හිටපු ඒ ශ්‍රේණියෙ ලර්නර්ස් එකක්.... අවුරුදු ගාණක පළපුරුද්ද...මම රොසන්ටා ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම්.

මේක මට හේමචන්ද්‍ර කියපු කතාවක්...

දවසක්දා රෑ හේමය රොසන්ටව ඒ ළඟ තිබුණු වලං මඩුවට උස්සල....දැන් ජෝඩුව වළං මඩුවෙ පෙම්සුව විඳිනව...

වැඩ ඇරිල නස්පුක් වෙන්න ගහල ගෙදර ආපු ඩැනියට තදබල විදියට රොසන්ටව ඕනැවෙලා හොයන්න ගියාට ඉඳල නෑ...රොසන්ටව සෙවීමේ ඒක පුද්ගල මෙහෙයුමක් දියත් කරපු ඩැනිය හැම පඳුරක් ගානෙමයි ගලක් ගානෙමයි රොසන්ටව හොයල නැතිතැන වළං මඩුවට ඇවිත්.

 පට්ට කරුවලේ වළං මඩුවට ආපු ඩැනිය පැලැල්ල ඇරගෙන ඇතුළට ආවට මූට මොකුත් පේන්නෙ නෑ....හැබැයි මඩුව ඇතුළෙ තුරුල්වෙලා හිටපු ජෝඩුවටනං මූව හොඳට පේනව....වැඩිය ඇතුළට යන්නත් බෑ
වෙරි මරගාතෙ බිම පත බෑවුණොත් කියල මඩුවෙ හැම අතටම කකුල දික්කර කර බලනව කවුරු හරි කකුලෙ වදීද කියල...රොසන්ටවත් වඩාගත්තු පේමය මූ පැත්තකට කකුල දානකොට අනික් පැත්තට පනිනව....හොයල හොයල බැරිතැන ඩැනිය යන්න ගිහිං.

හේමය මේ කතාව රසකර කර කිව්ව..එතකොට ඩැනිය කියනව...

මම ඒකි එනකං ගේ ළඟ රැකල හිටිය යකෝ....

මූ කොහොමහරි රොසන්ට එනකං රැකගෙන ඉඳල ...එනකොට අතින් අල්ලගෙන ආපහු මඩුවට එක්ක ගිහිං.

අපරාදෙ කියන්න බෑ...රොසන්ටත් හරිම හිත හොඳ ගෑණි..පුලුවන්කමක් තියනව නං කවදාවත් බෑ කියන්නෙ නෑ...අනික් කොච්චර උනත් ඩැනියත් ඩේලි කස්ටමර් කෙනෙක්නෙ....අනික තමයි ඩැනියගෙ තුන්වෙනි කකුල...අප්පට හුඩු..ඒකනෙ ගැජට් එක.

ඇස්වහක් කටවහක් වදින්ඩ නං එපා..හරියටම අතපය නැති පොඩි එකෙක් ඔඩොක්කෙ තියාගෙන ඉන්නව වගේ....ග්‍රාමසේවකට පෙන්නුව නම් ආහාර මුද්දරේකුත් ගන්න තිබුණ.

රොසන්ටම හින්ද ඔරොත්තු දෙනව...රෑ වෙනකම් ඕවර්ටයිම් කළත් පාඩුයැ රොසන්ටට ඕකෙන් හම්බවෙනව නං.

 ඩැනියත් එක්ක එකට බොන තව එකෙක් තමා රණතුංග...රණය වැඩ ඇරිල ඇවිත් මහ රෑ අබේලගෙ මිදුලට ගිහිං ඩැනියට කතාකරනව බොන්න යන්ඩ...

කුඳ...කුඳ...කියල...

ගෙදර නිදාගෙන ඉන්න අබේලගෙ තාත්තට ඇහැරිලා අහනව...හිමිහිට

කවුද මේ මහ රෑ...කුඳ...කුඳ,,කියන්නෙ කියල.

සැරයක් එහා ගමේ නටපු නාට්‍යයකත් ඩැනීට චරිතයක් තිබුණා...චරිතෙ හැටියට මූ පත්තරයක් කියවන්න ඕනැ එක තැනක...මේකා ආත්මෙකට අකුරක් කියවන එකෙක්යැ...පත්තරේ කියෙව්වෙ හරියට වෙස්සන්තර ජාතකය කියවනව වගේ...අපිට ඉළ නෑ හිනා.

ඔන්න ඔය විදියට කාලය ගතවෙමින් ළමා අපිත් ඉලන්දාරි බවට පත්වුණු කාලෙ දවසක්දා මම සැන්ටිං මුදලාලිගෙ කඩේට ගියෙ ගෙදරට මොනවහරි ගේන්න.

කඩේ බංකුවක් උඩ ඔලුව බිමට නමාගත්තු ඩැනිය වාඩිවෙලා ඉන්නව...වටේටම කට්ටිය වටවෙලා.
මාත් කිට්ටුකරල බැලුව මේ මොකක්ද වෙන්නෙ කියල...

නාරංවත්තෙ පාලු ගේකදි ඩැනිය මැරෙන්න වහ බොන්න ගිහිං කට්ටියට අහුවෙලා.

මූ මැරෙන්න බොන්න හදල තියෙන්නෙ රෙදි මෝලෙන් අරගෙන ගිය ඩයි කුප්පියක්..ඒක බිව්වට වමනෙ යනව මිසක් මැරෙන්නෙ නෑ...වහ කුප්පියෙන් ටිකක් බීල...ඒක බොන්න කළින් මූ හොඳටම කසිප්පු බීල ඉඳල තියෙන්නෙ මැරෙනකං බිම නිදාගෙන ඉන්නවලු...ලියුමකුත් ළඟ තිබිල තියෙනව.

ඩැනීවත් ඇදං කඩේට ආපු කට්ටිය මූට මඩ ගහනව..ආරියදාස ගෙනාපු ලියුම කියවනව...ආරියදාස තමයි මඩ කණ්ඩායමේ නායකය.

ඩැනිය නෙවෙයි වචනයක්වත් කතා කරන්නෙ..බිම බලාගත්වනමයි...

පොලිස් ස්ථානාධිපති තුමා වෙත..
මගේ කැමැත්තෙන්ම සියදිවි නසා ගන්නා බවත් මගේ මරණයට කිසි කෙනෙක් වග කිවයුතු නොවන බවත්....

ඈ ඕයි...මේවද මැරෙන වෙලාවෙ ලියන්න ඕනැ..ඈ

මගේ මරණයෙන් පසු මටලැබෙන යම් කිසි මුදලක් ඇත්නම් මගෙ ණය ටික ගෙවන්න කියල නේද...දැං බලනව ..තමුසෙ සැන්ටිං මුදලාලිට කීයක් දෙන්න තියෙනවද...කෝ මොනවද ඒ ගැන ලියල තියෙන්නෙ...එතකොට ලොක්කයියගෙන් කසිප්පු බීල කොච්චර ගෙවන්න තියෙනවද..ඕවනෙ ඕයි ලියන්න ඕනැ.
 තමුසෙ මේ කවදාවත් ඇහැටවත් දැකල නැති පොලිස් ස්ථානාධිපති කෙනෙකුට ලියනව...

මඩ වරුසාවයි...ඒව අහගෙන ඉන්නවට වැඩියෙ බෙල්ලෙ වැල දාගත්ත නං හොඳයි කියල ඩැනියට හිතෙන්න ඇති.
ඔය විදියට කාලය ගතවුණා..ඩැනීගෙ බීම වැඩිවුණා මිසක් අඩුවුණේ නෑ.

ඔය කාලෙ තමා රෙදිමෝලෙ වැඩකරපු අයට වන්දි අරගෙන අයින් වෙන්න ක්‍රමයක් මෝලෙන් සකස්කලේ...දැන් රස්සාව කලා ඇතියි කියල හිතපු ඩැනී අවුරුදු විසිගාණක් කරපු රස්සාවෙන් වන්දිත් අරගෙන අයින්වුණා....රස්සාව නැතිවුණාට ඩැනීට වෙන රස්සාවක් තිබුණෙ නෑ ජීවත්වෙන්න...අනික කුලී වැඩ බර වැඩ කරල පුරුද්දකුත් නෑ කරන්නත් බෑ අසනීපෙ නිසා.

වන්දි මුදලුයි අර්ථසාධක අරමුදලෙ මුදලුයි බැංකුවෙ දාල පරිස්සම් කරල දෙන්න නෑදෑයො හැදුවත් මූ ඒකට කැමතිවුණේ නෑ...සල්ලි ඔක්කොම අතේ තියාගෙන යාලුවො එක්ක බොන්නයි....එක එක පිස්සු වැඩ කරන්නයි වියදම් කළා..ණය ටිකත් ගෙවල දැම්ම.

ලැබුණු මුදල් ටික ඉක්මනටම දියවෙලා ගියා...ඩැනී අතේ සතේ නැති හිඟන්නෙක් ගාණට වැටුණා...සල්ලි අතේ තියෙනකොට වටේ හිටපු යාලුවො කවුරුවත් දැන් නෑ..අරක්කු ටිකක් බොන්න විදියක් හොයාගෙන පිස්සෙක් වාගෙ පාරවල් ගානෙ යන ඩැනිය ගමේ අයට සුපුරුදු දසුනක් වුණා.

 බීපුවාම මූ හදන්නෙ මැරෙන්නමයි...කීප සැරයක්ම කෝච්චියට පයින්න යනව කියල ගිය වෙලාවෙ කවුරු කවුරුහරි දන්න අය ආපහු ඇදගෙන ඇවිත් තිබුණා.

කොහොමටත් තමන් වැටිල හිටපු දුක්ඛිත තත්වයට  වඩා මැරෙන එක හොඳයි කියල ඩැනීටත් හිතෙන්න ඇති.
ඔන්න 1984 අවුරුද්දෙ මාසෙ මට හරියට මතක නෑ..එක හැන්දෑවක අබේලගෙ සුදු මල්ලි මාව හම්බවෙන්න දුව දුවගෙන ආවා...අබේ එතකොට පිස්සු හැදිල ඉස්පිරිතාලෙ.

බලන්නකො ඩැනී අය්ය කෝච්චියට  හැප්පිලාලුනෙ..සුදු මල්ලි විස්තරේ කියාගෙන ගියා...එයා දන්නෙ නෑලු දැන් මොකද කරන්න ඕනැ කියල...දැනුම් තේරුම් ඇති කෙනෙකුත් නෑනෙ මේව කියල දෙන්න...මට කතාකලා ඇවිත් උදව් කරන්න කියල.

 මාත් ඒ ගමන ලෑස්තිවෙලා සුදු මල්ලිත් එක්ක පොලිසියට ගිහින් පැමිණිල්ලකුත් දාල රාළහාමි කෙනෙකුත් එක්ක මල් ශාලාවෙ හර්ස් එකත් අරං ඩැනී කෝච්චියට හැප්පුනු තැනට යනකොට වෙලාව හවස තුනට තුනහමාරට විතර ඇති.

මළකඳ රේල්පාර අයිනෙ පොල් අත්තකින් වහල තිබුණා...ඔලුව පිටිපස්සෙන් යටට කඩාගෙන ගිය තුවාලයක් මිසක වෙන කිසිම තුවාලයක් ඇඟේ තිබුණෙ නෑ.

වෙලා තියෙන්නෙ මේකයි..කෝච්චියට පනින්න ආපු ඩැනී රේල් පාර අයිනට වෙලා ඉඳල.....කෝච්චිය එනකොට මූට පනින්න බය හිතිල එතනම පාත්වෙලා ඉඳගෙන...කෝච්චිය ගියා කියල හිතල නැගිටින කොට අන්තිම පෙට්ටියෙ පුට්බෝඩ් එක ඔලුවෙ වැදිල ඔලුව පිටිපස්ස කඩාගෙන ගිහිං....ඔන්න ඔහොමයි ඩැනීගෙ අවසානය වුණේ.

අරක්කු පොලේ එකට බොන ඩැනියගෙ යාලුවෙක් එතෙන්ට ඇවිත් කෑ ගහනව..

අනේ ඩැනියෝ උඹ මොකද මේ කරගත්තේ කියල...

පොලිසියෙ රාළහාමි අවශ්‍යකරන සටහන් ටික ලියාගත්තට පස්සෙ මළකඳත් හර්ස් එකට පටවගත්තු අපි ටවුමට ආව.

ඒ කාලෙ ටවුමෙ තිබුණනෙ මෝචරියක් මාතෘ නිවාසෙ...මාතෘ නිවාසෙයි නොමිලෙ බේත් දෙන ඩිස්පැන්සරියයි දෙකම එකතැන තිබුණෙ...ඔය මාතෘ නිවාසෙ තමයි මාත් ඉපදිලා තියෙන්නෙ....අපේ අම්මට මාව හම්බවෙන්න අමාරුවෙලා ඉස්පිරිතාල කීපෙකටම ගියත් හම්බවෙලා නෑ...අන්තිමට වෙන කොහෙවත් යන්න වෙලාවක් නැතුව මාතෘ නිවාසෙට ඇතුල් කලාම තමයි මාව හම්බවෙලා තියෙන්නෙ.

ඒ මාතෘ නිවාසෙයි ඩිස්පැන්සරියයි දෙකම මේ ළඟදි කඩල දැම්ම බස් ස්ටෑන්ඩ් එක හදන්න.

 අපිත් එක්ක වැඩකරපු කෙල්ලෙකුගෙ අක්කත් ඔය මාතෘ නිවාසෙ වැඩකලා..ඒ කෙල්ල නැවතිල හිටියෙත් අක්කට ලැබිල තිබුණු ක්වාටස් එකේමයි.

අපි දෙන්න අතරෙ ලාවට මෝදු වේගන ආපු සෙනෙහසක් ඒ දවස්වල තිබුණා දෙන්න කියාගත්තෙ නැතුවට...අක්ක මේ ගැන දැනගෙන හිටිය විතරක් නෙවෙයි..මුලු හදවතින්ම සහයෝගය දුන්න.
මම මෝචරිය ගාව එහෙට මෙහෙට දුව පනිනව දැකපු අක්ක අඬාගෙන මගෙ ලඟට දුවගෙන ආව....

අනේ..බුදු මල්ලියේ මේ මොකද වුණේ.... කියල

මම කිව්ව ...හා..හා..මෙතන කෑ ගහන්න එපා අක්කෙ..මේ යාලුවෙකුගෙ අයිය කෙනෙක් මැරිල...අක්කා කෑ ගහන්නෙ නැතුව ගිහිං වැඩ කරන්න ... කියල..

ආ එහෙනම් කමක් නෑ කියපු අක්ක ආපහු ගියා...

පහුවදා මරණ පරීක්ෂණය තිබ්බට පස්සෙ මිනිය ගෙනත් අපි අවසන් කටයුතු කළා.

සුදු මල්ලි පස්සෙ කාලෙක විවාහ වෙලා තෙලවල පදිංචියට ගියා...අර කෙල්ලත් එක්ක මගෙ තිබුණු ඇයි හොඳයියත් වැඩි දුර දිග යන්න කලින්ම නැතිවෙලා ගියා.

මම වෙන ඉස්පිරිතාලෙකට මාරුවෙලා ගියාට පස්සෙ මට ඒ කෙල්ලව අද තව වෙනතුරු දකින්න ලැබුණෙ නෑ.
ඕව ඔහොම තමයි නේද.....

63 comments:

  1. adඅඩේ අර ජාලුවගේ ජීවිතය ගැනනම් මාර දුකයි.බොන්නේ නැතුව කොහොම ඉන්න පුළුවන් කෙනෙක් වෙන්න ඇතිද?.

    යටින්ම තිබුන සිද්දිය ඉතින් හැමෝටම පොදුයි නේ..

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත අසරණයො

      Delete
  2. ඇත්තමයි ඒ ශ්‍රේණියේ ලර්නර්ස් එකක් කිව්වම මට හොඳටම ටියුබ් ලයිට්.. ටිකක් වෙලා කියවගෙන ගියාම තමයි තේරුනේ මොකද්ද ඒ හරුපේ තේරුම කියලා.. හි හි....

    අතිශයෝක්ති නම් වැහි වැහලා අද.. හි හි

    ReplyDelete
    Replies
    1. අන්තිමට කොහොමහරි හරුපෙ තේරුණානෙ මගෙන් අහන්නෙ නැතුව.

      Delete
    2. හා හා.මට එක දැනුයි තේරුනේ.

      Delete
    3. අනේ අනේ අසරණයො,උඹ හිරූටත් වැඩියෙ ටියුබ් ලයිට් එකක්නෙ.

      Delete
  3. හිකිස්... අක්ක බය වෙලාද බං උබ මෝචරිය ලග කැරකෙද්දි !

    ජය !

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ සෑම්,කිසි හේතුවක් නැතුව ඔය ගෑණු බයවෙනවනෙ.

      Delete
  4. ඇත්තටම අක්කා බය වෙන්න ඇති මෝචරිය ලග කැරකෙද්දී..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බයවෙලා දිනේෂ්

      Delete
  5. //ඇස්වහක් කටවහක් වදින්ඩ නං එපා..හරියටම අතපය නැති පොඩි එකෙක් ඔඩොක්කෙ තියාගෙන ඉන්නව වගේ....ග්‍රාමසේවකට පෙන්නුව නම් ආහාර මුද්දරේකුත් ගන්න තිබුණ.//

    ඒ කොහොම වුනත් රොසන්ටට නම් ඒකත් සුළු දෙයක් නේද...?

    ඩැනියා අපේ පැත්තෙ කසිප්පු බිව්වනම්, ඔච්චරකල් විදවන්න වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. රොසන්ටට ඕවත් පොලුද සුමිත්,ඇත්තටම සුමිත්ලගෙ පැත්තෙ කසිප්පු එච්චර සැරයිද

      Delete
    2. අපිත් ඒ දවස්වල ඉදල ඔය වගේ කතාවක් කියනවා. 'අත පය තිබ්බනම් ඔලුවේ පැල්ම වැහෙන්න කැප් එකකුත් දාල මොන්ටිසොරි යවන්න තිබ්බා' කියල.

      Delete
    3. ඒකත් ටොප් කතාව

      Delete
  6. ආහාර මුද්දරේ ගහන කේස් එකනං මට මීටර් උන්නෑ..
    ආහාර මුද්දර කියන එවුවා දැකලත් නෑ අහලත් නෑනේ....
    ලර්නස් එක ගැන කතාව එනකං බලං ඉන්නෝ ඈ...
    ඩැනියා ගැන මටනං දුකකුත් හිතුනා.. ඒත් අතේ සතේ නැතුව හිගන්නා වගේ හිටපු නිසා මැරිලා ගිය එක හොදා...

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද තරියො මම කියන දේවලින් බාගයක්ම ඔයාට තේරෙන්නෙ නෑනෙ.අපි දෙන්න පරම්පරා දෙකක්නෙවැ තරියො ඒකයි.

      Delete
  7. දෑන් ආහාර මුද්දර නැති නිසා දැන් කරන්නෙ පොඩි ඉස්කෝලෙ බෑග් එකක් අරන් දීලා 1 වසරට ඇතුළුකරන එක
    @ තරියා මල්ලියෙ අතේ සතේ නැතිව වුණත් මිනිහා විතර මැරෙන්න බය එකෙක් මේ ලෝකෙ නෑ. මම විස්තර ලියන්නම් කටක් නැතුව උගුරක් නැතුව ඒත් ප්ලේන්ටියෙන් පණ ගැටගහන්න ට්‍රයිකරපු මිනිස්සු ගැන

    ReplyDelete
    Replies
    1. එක වසරට ඇතුල් කරන එකත් හොඳ කතාව,අපේ කාලෙ තිබ්බෙ හාල් පොත් දෙන එක,ආහාර මුද්දර දෙන එක,දිළිඳු සහන කූපන් දෙන එක වාගෙ කතා තමා.

      Delete
  8. //අපරාදෙ කියන්න බෑ...රොසන්ටත් හරිම හිත හොඳ ගෑණි..පුලුවන්කමක් තියනව නං කවදාවත් බෑ කියන්නෙ නෑ//

    අයියත් ලයිසම ගත්තේ එහෙන් වාගේ

    ReplyDelete
    Replies
    1. රොසන්ටා ලර්නර්ස් එක කරන කාලෙ අපි පොඩි එවුන් අටමො.
      නිකං මඩ ගහන්න එපා මල්ලියෙ අහිංසකයන්ට.

      Delete
  9. //ඒ ශ්‍රේණියෙ ලර්නර්ස් එකක්...//

    අළුත් බ්ලොග් වචනයක්.. හෑ නියමයි. හැලපේ.. උඹ ලර්නස් එකට ගියේ නෑද?? හිකිස්... මරු කතාව බං. බොලාටත් හොදා.. ඕක කියවල වත් හැදියං.. හැදියං.. දැන්වත් හැලපයියා

    ReplyDelete
    Replies
    1. මොනව හැදෙන්නද බං අපේ දැන්,මඩ නොගහ ඉන්න බලපන්කො

      Delete
  10. ලර්නස් කොහෙත් තියෙනවා වගේ.. අපේ ගමේ ඕකට කිව්වේ බස් එක කියලා... කැමති තැනකින් කැමති කෙනෙකුට නැගලා..කැමති තැනකින් කැමති වෙලාවකට බැහැලා ගිහෑකි...

    ReplyDelete
    Replies
    1. ඒකත් මරු නම තමයි මාරෙ.අපේ ගමේ කීපයක්ම තිබුණා.

      Delete
  11. මේ ලර්නර්ස් කතාවනං අදමයි ඇහුවෙ.
    ඩැනියගෙ තුංවෙනි කකුල ගැන හැලප අයිය ඔච්චර හොඳට දන්නෙ කොහොමෙයි.

    ReplyDelete
    Replies
    1. එකම කකුල් කාරයෝ නෙව..

      Delete
    2. ඔව් තෝ දන්නවනෙ දේසකයො ඔක්කොම කකුල් ගැන.
      ප්‍රසන්න ඕකා බීල වැටිල ඉද්දි අපි දැකල තියෙනව,සරම තියෙන්නෙ කරේනෙ එතකොට.

      Delete
  12. ලර්නර්ස් කතාව පට්ට. ඕන ගමක ඕය වගේ චරිත ඕන තරම් තියෙනවා. රස කතාත් ඕන තරම්. ඒත් හැමෝටම මෙහෙම රහට ලියන්න බෑ.

    ඇත්ත තත්වේ ඕක උනත් ඕවා ප්‍රසිද්ධියේ කතා කරන්න කවුරුත් කැමති නෑ. සියළුම අය සත් ගුණවත් උපාසක.

    ReplyDelete
    Replies
    1. සිද්දිය වහල හංගල ලිව්වොත් කතාවෙ රස මැරෙනව.එතකොට හරියට චිත්‍රයක කොටසක් අතින් වහගෙන ඉතුරු කොටස පෙන්නනව වගෙ,කිසිම ලස්සනක් නෑ.
      රහස එතැනයි.

      Delete
  13. ඩැනියගෙ කථාව සහ මුරුංගා කරල අතර ඇති සබදතාව කෙබදුද...අර අරක ග්‍රාමසේවකට පෙන්නලා හාල් පොතක් හදලා දුන්නා නම් ඩැනියා අදත් ජීවත් වෙනවා...

    ReplyDelete
    Replies
    1. මුරුංග කරල කතාවට ගැලපෙයි කියල මට හිතුණ ඒ නිසා දැම්ම.
      ඩැනිය ජීවත්වෙලා හිටියත් වැඩි වෙනසක් වෙන්නෙ නෑ සිරා,ඕකා හාල් පොතත් උගස් තියල කසිප්පු බොයි.

      Delete
  14. ඒ ශ්‍රේණියේ රියදුරු පාසල් වලින් කොල්ලො බේරිලා හිටියයි..හැලපයත් ඇතුලුව..!

    ReplyDelete
    Replies
    1. සමහර කොල්ලො රියදුරු පාසැල් වලට ඇතුල් වෙන්න පොරකෑව

      Delete
  15. මේකත් පුදුමාකාර චරි‍තෝපදානයක් බලං කියාම. පොර හිටියානම් මොනවා කියයිද දන්නේ නෑ ජීවිත කතාව ගැන.

    ReplyDelete
    Replies
    1. ඌට ඕවයෙ එච්චර ගානක් නෑ ඩූඩො,කොහොම උනත් අවුරුදු විසි ගාණකට කලින් අසරණයෙක් හැටියට මිහිදන් වුණු ඩැනීට මම ආපහු පණදුන්න.
      අද බ්ලොග්ලෝකෙ ඔයාල ඔක්කොම ඌ ගැන කතා කරනව,මට හරිම සතුටුයි ඩූඩ්.

      Delete
  16. පිස්සු පිකුදු අදත් මාරම රස කතාවක් හැලප අයියේ........

    ReplyDelete
    Replies
    1. නලින් ඉහළින් ඩූඩ්ට කියපු දේම තමා ඔයාටත් කියන්නෙ.බොහොමත්ම ස්තූතියි.

      Delete
  17. පින්තූරෙ ගැලපෙනවා කතාවට නියමෙට...ජීවිත කතාවක් ගලා යන්නෙ මෙහෙමයි...ලර්නර්ස් කතාව නම් ටොප්...මටත් එක පාරටම හිත ගන්න බැරි උනා..මොකද්ද මේ ලර්නර්ස් කියලා..

    ReplyDelete
    Replies
    1. ඔය අපේ ගම්වල සාමාන්‍ය ජීවිතේනෙ වෙනී.හොඳ නරක දෙකම තියෙනව.පින්තූරෙ නං මම හිතුව ගැලපෙයි කියල,දැන් ඔයත් කියනවනෙ.එහෙනම් මගෙ තේරීම හරි.

      Delete
  18. අයියෝ... ලර්නස් කිව්වලු.. :)

    අපේ ගමෙත් නැද්ද දන්නෑ ඕකක්? හොයලා බලන්න ඕනේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙනං රජ ලර්නස් එකක්ම හොයන්න වෙයි

      Delete
  19. ලර්නස් එක දකිද්දී හැලපේටත් අයියෝ ටිකක් කලින් ඉපදුනානම් කියල හිතෙන්න ඇති නේ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ඔය ගැන තිබුණෙ කුතුහලයකුයි බයකුයි විතරයි සුජියො.

      Delete
  20. කියන්න දෙයක් නෑ අයියන්ඩි. ගල් වැලි නැති උනාට අව්‍යාජ බව නම් අපූරුවට තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් සරා,ඔය කතාවෙ අකුරක් ගානෙ ඇත්ත.ඒකයි හේතුව

      Delete
  21. හපොයි.... ඒ මනුස්සය මැරිච්ච විදිය.... පව් දෙයියනේ....

    කමෙන්ට්ස් කියෙව්වම තමා ලර්නර්ස් කතාව ටිකක් තේරුනේ.... හික්.....

    ReplyDelete
    Replies
    1. ලර්නස් කතාව සමනළීට තේරුම් ගන්න ඕනැ නෑ මම හිතන්නෙ

      Delete
  22. දවසක් වැඩ තමිල්නාඩුවේ අද ඉස්පිරිතාලේ. ඇත්තටම මේ එක හැලපයෙක්ද.. නැත්තං ගොඩක්ද..

    බලනකොට ලර්නර්ස් හැම ගමේම තියනවා නේද...

    අපේ පැත්තේ ඔය වගේ බෙබාකෙනෙක් හිටියා, කොකාකෝලා එකේ හොද රස්සාවක් කරල වන්දි අරං අයින් වෙලා වන්දියෙන් බිව්වා. වෙඩිම දවසේ පොරුව උඩත් වැනෙනවා. වෙනස තමා මුගේ බෙබාකම දැනගෙනත් යෝජිත විවාහයක් හරි ගියා. හෝම් කමිං එක දවසේ මිදුලේ වැටිලා හිටපු පොරව වත්තං කරගෙන යන ගමන් අළුත් මනමාලි කිව්වේ 'මට බැරිනම් කාටවත් මෙයාව හදාගන්න බෑ' කියල. තාමත් බොනවා. හැබැයි ඉස්සර වගේ බෙබා කියන්න බෑ. මොකෝ පොඩි එකෙක් ඉන්න නිසාත්, පවුලට තියන ගෞරවේ (භය නෙමේ හරිය) නිසාත්, මිනිහ ලිමිට් වුනා.

    ReplyDelete
    Replies
    1. එකම හැලපයා පේට්‍රියට්

      Delete
  23. මිනිහට කෙල්ලෙක් සෙට් වුණා නම් කතාව මේ විදිහට අවසන් නොවෙන්නත් තිබුණා

    ReplyDelete
  24. වෙනදා වගේම කතාව අදත් සුපිරි...... අර ඩැනී ගැන නං ඇතටම කණගාටුයි.... ඔය කාලේ හිටපු බොහොම දෙනෙක් ඔය විදිහට කෙලවරවීම පුදුමයි .. වර්තමානයේ මේ වගේ බෙබාලා අඩුයි කියලයි මට හිතෙන්නේ ....
    යුගයක් මැවිලා පෙනවා කියවගෙන යනකොට .................

    ReplyDelete
  25. යකෝ හැලපයියේ ඇයි අර පෝස්ට් එක මැකුවේ.. පොටෝව අයින් කොරලා ඒක දාපං මං වෙන මොනවත් කියන එකෙක් නෙමේ...

    ReplyDelete
    Replies
    1. නලින් එහෙම එකකට නෙවෙයි,මඩ ප්‍රහාර වැඩිවුණා.හොඳනෑනෙ අර කෙල්ලට මට නං ඕකෙ ගානක් නෑ තරහ වෙන්න එපා.

      Delete
  26. අඩෝ හැලපයියෝ.. දෙකින් එකක් බේරගන්න කලින් වහාම දාපං අයින් කොරල තියෙන අළුත් එක... නාකි වැලටුයිං කාරයා..හෙහ්...

    ReplyDelete
    Replies
    1. අඩෝව් දාපං හැලපේ ඒක ඒක නියම කතාව බං.

      Delete
    2. අලුත් එක උඹ බලන්න ඇති නේද,දැන් තමා මඩ අරගෙන ආවෙ නේද ඩෝ.තරහ වෙන්න එපා බං අද අලුත් එකක් දානව බලපං.

      Delete
  27. මාත් මේ ඒකම අහන්න ඇවිල්ල උත්තරේ ලැබුන නිසා ආපහු යනවා

    ReplyDelete
  28. ඒ සොරි බං. මඩක් කියල හිතල කිව්වෙ නෑ මුකුත්. නිකං කොමියක් බං දැම්මේ. උඹ අප්සැට් යයි කියල හිතුවේ නෑ.

    ReplyDelete
    Replies
    1. අප්සැට් එකක් නෑ මචං,උඹල ඇතිවෙන්න සොමිය ගත්තනෙ.

      Delete
  29. අප්පේ.... මේක කතාවක්ද, කතා අස්සේ කතා වැලක්ද? හැබැයි රසේ නම් එමමයි. රොසෙන්ටා කියන්නේ මාරු එකක්නේ. මෙහෙත් ලර්නස් තිබුණට එළිපිට නෑ අප්පා.. :(

    ReplyDelete
  30. අපරාදේ මනුස්ස ජීවිත නිකන් නාස්ති කරගන්නවා බීලා. අපේ අපි වගේ බදමට බිව්වනම් මොකද?

    ReplyDelete
  31. හැලපයියත් ලර්නර්ස් වැඩේට නොගියට ඔය තරම් දේවල් දන්නේ කොහොමෙයි කියල මේ එකෙක්වත් අහල නැති එකනේ පුදුමේ ! ;)

    බලන් හිටිය වගේ නොවැ කියල තියෙන්නේ :)

    ReplyDelete

ඔබේ අදහස්