Monday, January 14, 2013

17.පැමිණිල්ල


අලවත්ත අපි නිකං අපේ බූදලයක් වගේ තමයි පාවිච්චි කළේ,සෙල්ලං කරන්න මැච් ගහන්න,කුරුම්බ කන්න තමන්ගෙ වත්තකට යනව වගේ තමයි අපි ආවෙ ගියෙ.
මුරකාරයෙකුත් හිටිය ඔහෙ නමට වත්තෙ මැද ගෙයි,වත්ත අසානාසි කරන කොල්ලො එලවන්න එච්චර උනන්දුවක්වත් පුළුවන්කාරකමක්වත් මුරකාරයට තිබුණෙ නෑ.
කොච්චර අඩු වුණත් මුරේට කැඩෙන පොල් ගෙඩි ටිකෙන් අයිතිකාරයට සෑහීමකට පත්වෙන්න සිද්දවුණා.
ඔන්න ඔහොම යනකොට එක පාරටම වත්ත සුද්ද කරන්න පටන් ගත්ත කොණක ඉඳල.
මගෙහිතේ ඔය හැත්තැ ගණං වල මැද හරියෙ.
කණාටු පොල්ගස් පෙරලල, අපේ රාජධානිය වෙච්චි කජු ලන්ද දරට කපල දාල අකුල් සුද්ද කරල ගිණි තිබ්බ,අකුල් වලින් ගොඩාක් ප්‍රයෝජන ගත්තු අයට යන එන මං නැතිවුණා.
සුද්දකරල නිකං හිටියෙ නෑ,ට්‍රැක්ටර් දාල වත්ත හෑව,එතකොට තමයි අපි ගොඩක්ම අපහසුතාවට පත්වුණේ,තණකොළ ටිකක් කන්න හරකෙක්වත් බඳින්න තැනක් නැතුව ගිය නිසා.ඒ දවස්වල අපේ හැම ගෙදරකම පාහේ හරක් හිටිය.නෑ නෑ යකෝ කකුල් හතරෙ එවුං.
ඒකෙන් වුණේ සත්තුන්ට කන්න දෙන්න හැමදාම හවසට තණකොළ කපන්න සිද්දවුණු එක.
වත්තෙ වැඩ දැන් වේගයෙන් ඉස්සරහට යනව,හාපු වත්ත මට්ටම් කරල පොඩියට දිගට කාණු කපාගෙන යනව.වත්තට නිතරම ලොරි යනව එනව අපි දකිනව,ඔය ලොරිවල ගහල තියෙන්නෙ,

කේ.ඒ.සයිමන් අප්පුහාමි සහ පුත්‍රයෝ
අන්නාසි තොග වෙළෙන්දෝ සහ පිටරට පටවන්නෝ
දකුණු බටගම
 කඳාන               
             කියලයි.
  ආරංචි කරල බැලුවාම වත්ත අවුරුදු 10 කට අන්නාසි මුදලාලි කෙනෙකුට බදු දීල.
අන්නාසි පැළ හිටුවන්න,සාත්තු කරන්න කොහුබත් දමන්න වාගෙ සිල්ලර වැඩවලට ගමේ උදවියවත් දවසට රුපියල් පහේ කුලියට ගත්ත.
කලට වැහි වැටිල නිල්පාටට ගොබ ඇදුණු ළපටි අන්නාසි පඳුරු බලන්න ලස්සනයි,පෝර රසට වල් ගස් වැලුත් ඔලුව උස්සනව,ඕව බලල කරල වෙලාවත සුද්ද කරන්න ඕනැ නැත්නං වැල්වලින් අන්නාසි පඳුරු වැහිල යනව.
දැන් මුරකාරයො දෙතුන් දෙනෙකුත් වත්ත බලාගන්න ඉන්නව,උන්ට වහංවෙලා කුරුම්බ ගෙඩියක්වත් කඩාගන්න අමාරුයි,වත්තට පනින්නත් බෑනෙ කටුකම්බි අටපොටක් විතර වැටට ගහල.

ඕං අන්නාසි පීදීගෙන එන කාලෙ වෙනකොට වත්තට පාලකයෙකුත් එව්ව,මුදලාලිගෙ ගම් පළාතෙමලු,නම ඉස්ටැන්ලි, කොණ්ඩෙ බොකුටුවට දිගට වවල සායි බබා වගේ,අපි නං කිව්වෙ සායි බබා කියල.

මිනිහ අපි වාගෙ අවසේස අය එක්ක පයුරු පාසානයක් නෑ,බොහොම ගාම්භීරයි,හැමදාම වත්ත වටේ සයිකලේ පැදගෙන රවුමක් යනව,හැබැයි බෝධිය එක්ක නං හරිම එකතුයි,ඇයි හැන්දෑවට බෝධියලගෙ ගෙදර යනවනෙ කසිප්පු බොන්න.

මුරකාරයො නං හැබැයි එහෙම නෑ,තුවක්කුත් කරේ තියාගෙන වත්තෙ ඇවිදින ගමන් වැට අයිනෙ ඉන්න අපිත් එක්ක හිනාවෙලා කතා කරනව.ලොකු මහින්ද එක්ක තමයි මුරකාරයො ගොඩක් එකතු,රෑ වැඩ ඇරිල උදේම ගෙදර එන මහින්ද දත් මැද මැද වැට අයිනෙ ඉන්නකොට මුරකාරයො කතාකරනව,ඔන්න මට කියන්න අමතක වුණා මහින්ද එතකොටත් රෙදිමෝලෙ වැඩ.

වත්තෙ අන්නාසි ඉකමනටම පැහුණ,පැහිච්චි අන්නාසි නැටි මුලින් කප කපා පොඩි ගොඩවල් ගහනව,ඒ ගොඩවල් කරත්තෙන් බංගලාවට අදිනව,තෝරල එහෙම ලොරියෙ පටෝල කඳානට අරිනවලු,එහෙමයි දැකපු අය කිව්වෙ,අපි කොච්චර ආසාවෙන් හිටියත් අපට කන්න කුරුල්ලො හොට ගහපු අන්නාසි ගෙඩියක්වත් දෙන්නෙ නෑ.

ඉස් ඉස්සෙල්ලම අපි අන්නාසි කැඩුවෙ වැට අයිනෙන් අතදාල බොහොම බයෙන්.අන්නාසි ගෙඩිය අල්ලල නැමුවාම ටකස් ගාල නැට්ටෙන් කැඩෙනව,ඔය හොරෙන් කඩන අන්නාසිවල නැට්ට නෑනෙ.
 වැට අයිනෙ අන්නාසි ඉවරවුණාම වත්තට පැනල ළඟපාත තියෙන අන්නාසි කඩාගෙන ආව,කඩාගෙන එන අන්නාසි කපන්නෙ ලොකු මහින්දලගෙ ඉස්තෝප්පු කාමරේ බංකුවක් උඩ තියාගෙන,ගලාගෙන යන අන්නාසි ඉස්ම කාමරේ බිම තෙත්කරනව.අපි ඇතිවෙන්න අන්නාසි කාල වැඩිපුර තිබුණොත් ගෙනිහිං පොඩි මහින්දට විකුණල සිගරැට් බොනව.

පොඩි මහින්ද අපෙන් සත පණහට රුපියලට ගන්න අන්නාසි ගෙඩි කපල බේසමක දාල ගේ ඉස්සරහ තියාගෙන හිටිය,රෙදිමෝලෙ වැඩ ඇරිල යන අය මේ අන්නාසි අරං යනව,හරි ලාබයිනෙ,කෑල්ලක් සත පණහයි.

 පොඩි මහින්දගෙ අන්නාසි වෙළඳාම එන්න එන්නම සරු වුණා,ගේ ඉස්සරහ පොඩි මඩුවක් ගැහුව,දැං මඩුවෙ අන්නාසි විතරක් නෙවෙයි ටොපි,ලොසිංජර වාගෙ දේවලුත් තියෙනව,කඩේ ඉස්සරහ පාරෙන් ඉස්කෝලෙ යන ළමයින්ට ඕනැනං පොත් පැන්සලුත් ගන්න තියෙනව,රජාගෙ බේකරියෙන් පාන් ගේන පාන්කාරය ඉක්මනටම මහින්දගෙ කඩේටත් පාන් බනිස් දාන්න පටන් ගත්ත. වෙළඳාම සරුයි මඩුව ඉඩ මදිවුණා.

පොඩිමහින්දගෙ තාත්ත සාමෙල් ගෙටම අල්ලල කඩ කෑල්ලක් හැදුව,මිනිහ මෙච්චරකල් වැඩ කර කර හිටපු ටවුමෙ බේත් කඩෙන් අස්වෙලා අලුත් කඩේ වැඩකරන්න ගත්ත,ඇයි මහින්දට ඉස්කෝලෙ යන ගමන් කඩෙත් බලාගන්න බැරි නිසා.

 ඔන්න ඊට පස්සෙ අපෙත් තිප්පොල වුණු පොඩි මහින්දගෙ කඩේ හොඳටම සරුවුණා,පොඩි මහින්ද තමයි පවුලෙ එකම දරුවා,ගෙයි ඉස්සරහ කාමරේ නැවතිලා හිටියෙ රෙදි මෝලෙ වැඩකරපු සිල්ව රාළහාමි,සිල්ව රාළහාමි තමයි නෙල්සන්ගෙ අයිය.

සිල්ව රාළහාමියි අපියි එකතුවෙලා කරපු වැඩ ගැන නං වෙනම කතාවක් ලියන්න වෙනව.
කොහෙද,කියාගෙන ආපු කතාව පීලි පැනල වටේ ගියානෙ,
 දැං එච්චර බයක් නෑ,වත්තට පැනල රෑ හරි දවල් හරි අපට ඕනැ වෙලාවක අන්නාසි කඩනව.ගමේ හරි යාලුවෙකුගෙ හරි දානයක් මගුලක් තියෙනවනම් අන්නාසි සපයන්න බාරගන්නෙ අපි තමයි.
සැරයක් දන්සැලකුත් දුන්නනෙ අන්නාසි හොරෙන් කඩල,ඔය ඩේවිට් අයියලගෙ ඉඩං කෑල්ලෙ වෙසක් සැරසිල්ල ගහපු වෙලාවෙ.

රෑ කඩාගෙන ආපු අන්නාසි තොගේ කැපුවෙ පේමරත්නලගෙ ගෙයි ඉස්තෝප්පු කාමරේ.
කපාපු අන්නාසි කෑලි බේසම්වල දාල ගිහිං උඩට උස්සනව විතරයි කාක්කො කෑව වගේ අන්නාසි කෑලි අතුරුදහන් වෙනව.ආයෙමත් බේසම් පුරෝගෙන එනව,එදා නං අපි පුදුම පිනක් කරගත්තෙ.
 හැබැයි පිට ගම්වල කොල්ලො අන්නාසි කඩන්න ආවට අපි උන්ට වත්තට පනින්න දෙන්නෙ නෑ,අපේ වත්තනෙ,උන්ට අන්නාසි ගෙඩි තුන හතරක් කඩල දීල පිටත් කරනව.

ආයෙම ඔය පිට පළාත්වලින් ඇවිත් අපේ ගමේ නැවතිල රෙදි මෝලෙ වැඩට ගිය අය,ඒ ගොල්ලොත් අපි වත්තට පනිනව බලාගෙන ඉඳල පනින්න ගත්ත,ඒ අයටත් අපි හොඳින් කාරණා කියල දුන්න,අන්නාසි ඕනැ වෙලාවක අපට කියන්න ,ඔයාල වත්තට පනින්න එපා කියල.හැබැයි සමහර කොල්ලොන්ට ඕනැවුණා අපිත් එක්ක ගිහින් වත්තට පැනල අන්නාසි කඩන ත්‍රාසජනක අත්දැකීම ලබන්න,එහෙම උංව අපි එක්කං ගියා,එහෙම කරපුවාම උන්ගෙන් අපට හරි සැළකිලි.

ආයෙ අපේ ඉස්කෝලෙ කොල්ලන්වත් ගමට එක්කං ඇවිත් අපි අන්නාසි සංග්‍රහ පවත්වනව.යනකොට අරං යන්නත් නැටි නැති අන්නාසි දෙනව,අරං යනකොට අහුවුණොත් උන්ටනෙ ටොපිය.
අපේ නොනවතින අන්නාසි කැඩිල්ල නිසා වත්තෙ මුදලාලිටත් දැනෙන තරමට පාඩු සිද්ද වුණ,මුරකාරයො දාල අපිව පාලනය කරගන්න බැරිවුණා,අනික ඔය මුරකාරයො තියාගෙන හිටියෙ හොර තුවක්කු බව අපි දැනගෙන හිටිය,ඒවයින් වෙඩි තිබ්බොත් උං ගස්.

අන්තිමේදි මුදලාලි වැඩේ පොලිසියට බාර දුන්න,මිනිහ දළ කාරයනෙ,මොන වියදමක් ගියත් කමක් නෑ කොල්ලො ටික බය කරල අන්නාසි කඩන එක නවත්තල දෙන්න කියල තමයි පොලිසියට කියල තියෙන්නෙ කියල පස්සෙදි ආරංචි වුණා.

 ඔන්න එක දවසක් උදේ පාන්දර ආරංචි වුණා ඊයෙ රෑ එකොළහට වැඩ ඇරිල ඇවිත් ගෙදර නිදාගෙන හිටපු ලොකු මහින්දව පාන්දර ජාමෙ පොලිසියට අල්ලං ගිහිං කියල.
පොලිසියෙන් ඇවිත් තිබුණෙ වත්තෙම ලොරියෙ,මේක අපට හරි ප්‍රෙහේළිකාවක්,මිනිහ රස්සාවට ගියෑං පස්සෙ අපිත් එක්ක අන්නාසි කඩන්න යන්න වෙලාවක් තිබුණෙ නෑ.රස්සාවට යන්න කලිං අන්නාසි කඩපු එක ඇත්ත,කොච්චර අන්නාසි කෑවද කිව්වොත් මිනිහගෙ කකුලෙ දදේකුත් ආවනෙ සැරට.ඒ දදේ නං තාම තියෙනව කාලෙන් කාලෙට මතුවෙවී.

අපි කල්පනා කළේ මෙච්චර මේ අපි ඉඳිද්දි මේ යකාවම අල්ලං ගියෙ ඇයි කියලයි.කොහොම හරි ටිකක් දවල් වෙන්න ඇරපු අපි ටිකත් පොලිසියට ගියා මහින්ද බලන්න.
න්න මහින්ද කූඩුවෙ දාල ඉන්නව,අපි ගිහිං මහින්දට කතාකරල එනකොට සාජන් මහත්තයෙක් හිටිය,එයා තමයි මුළු ඔපරේෂන් එකම බාරව වැඩ කරල තිබුණෙ.මහින්දට තිබුණු චෝදනාව තමයි වත්තෙ ලොරියෙ ජැක් එක හොරකං කිරීම.කිළුටු ගවුං කඩමාල්ලකුත් ඇඳගත්තු අවුරුදු හත අටක විතර පුංචි කෙල්ලක් බිම ඉඳගෙන පොලිසියෙ බිත්තියෙ සමර තීරු පතුරු ගගහ හිටිය,ඒකිලු සාක්කිය,මුරකාරයෙකුගෙ දුවෙක් වෙන්නඇති.

 සාජන් අපෙන් අහනව....

කෝ තමුසෙලගෙ ගුරා...කියල

ගුරා කිව්වෙ සුනිල් මහත්තයට,සුනිල් මහත්තය විද්‍යා ගුරුවරයෙක් සහ අපේ අන්නාසි කඩන කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක්.

අපි සද්ද නැතුව හිටිය..ඒ ගමන සාජන් කිව්ව, ගුරත් එක්ක කට්ටියම හැන්දෑවට එනවලා,මේක ඉවරයක් කරන්න කියල.

සුනිල් මහත්තයයි අපි කට්ටිය පහළොවක් විතරයි හවස්වරුවෙ පොලිසියට ගියා,ලොකු මහින්දටත් ඇප දීල 
එලියට දැම්ම,දැන් පැමිණිල්ල විභාග කරනව.
  
අර ජැක් එක හොරකං කරපු කතාවක් දැං නෑ,අන්නාසි කැඩිල්ල ගැන තමා කියන්නෙ,
අපි කියනව අපි අන්නාසි කඩන්නෙ නෑ කියල...
සාජන් කියනව තමුසෙල නෙමෙයිනම් කවුද ඕයි අන්නාසි කඩන්නෙ ..කියල
අපට තග දාල අඩි හප්පන්නත් බෑ මිනිහට ඇයි ශ්‍රමදාන කරන්න,ලේ දන් දෙන්න ඔය හැම මගුලකටම අපිවනෙ හොයාගෙන එන්නෙ,ඇයි ගමේ ආරක්ෂක කමිටු හදල රෑට ඇවිදින්න කිව්වහම අපි තමයි ඉස්සෙල්ලම කමිටු හැදුවෙ,පොලිසියෙන් අයිඩෙන්ටි හිටන් අපිට දීල තිබුණනෙ.ඒව ටිකත් අපි පෙන්නුව,ඒ ගමන බැන්නෙ නෑ.
 දැං සාජන් කියනව,
එහෙනං මම ලියනව මින් පසුව අන්නාසි නොකඩන බවට පොරොන්දු වෙමු කියල..
එහෙම බෑනෙ අපි කලින් අන්නාසි කැඩුවෙත් නෑනෙ,ලියන්න ඒකත් කියල...
වාදෙ ඉවරයක් නෑ...
ඒ ගමන පොත පැත්තකට දාපු සාජන් අමුතුම විදියකට කතා කරන්න ගත්ත..
දැන් බලනවල..අර මනුස්සයත් සෑහෙන වියදමක් කරලනෙ තියෙන්නෙ වත්තට,තමුසෙල ඔය කරන වැඩෙන් කොච්චර නං පාඩුවක්ද දවසකට,ගිහිං හොඳින් කතා කළොත් වත්තෙ රස්සාවල් පවා ඔය මනුස්සයගෙන් ඉල්ලගන්න පුළුවන්නෙ..කියල.
අපි කිව්ව ඒ ගමන...
සාජන් මහත්තය...ඔය මිනිහ හරිම කුම්මැහි ලෝබය,ගමේ දානෙ ගෙදරකටවත් අන්නාසි ගෙඩියක් නිකං දෙන මිනිහෙක් නෙවෙයි,ඒක නිසා තමයි අපි ඔය අන්නාසි ගෙඩියක් දෙකක් ඉඳල හිටල කැඩුවෙ,අපිනං රස්සාවල් ඉල්ලගෙන ඔය මළ පෙරේතය ගාවට යන්නෙ නෑ..... කියල.
දවසකුත් තමුසෙල අන්නාසි කඩනකොට අපට එක්කෙනෙක් අහුවුණානෙ, අපි ඒකත් දිග දුර ගෙනියන්නෙ නැතුව අතඇරල දැම්මනෙ,පොඩ්ඩක් කල්පනාකරල බලනවලකො..කිව්ව.

 දැං විජා බයේ ගැහෙනව,
මේව මෙහෙම වෙන එකෙන් අපි දෙගොල්ලන්ටම කරදරයි නේද කියල සාජන් පැමිණිලි විභාගය ඉවර කෙරුව.
මහින්දවත් ඉස්සර කර ගත්තු අපි ජයග්‍රාහී ලීලාවෙන් ගමට ආව,අනේ ඌට එදා හවස තුනට වැඩට යන්නත් නෑ.
දැන් ඉතිං බොරු පැමිණිලි කරල මහින්දව කූඩුවෙ දැම්මට මුදලාලියගෙන් පළිගන්නත් එපායැ..ඒ දවස්වල වත්තෙ පාලකය හැටියට හිටියෙ මුදලාලිගෙ පුතා,ඒ වෙනකොට ඉස්ටැන්ලිය තරහවෙලා රස්සාව දාල යන්න ගිහිං.
  මුදලාලිගෙ පුතා හවසට ටවුමෙ ඉංග්‍රීසි ක්ලාස් යනව සයිකලේක,මිනී කනත්ත ගාව ගේට්ටුවෙන් තමයි ඌ පිටත්වෙන්නෙ.
ඔන්න පහුවදා අපි විස්සක් විතර හවස එකහමාර වෙද්දි මිනී කනත්තට ගිහිං රැකල හිටිය.දෙකට විතර මිනිහ බයිසිකලේ නැගල එනව,අපි ටික පාරට පැන්න,මේකා එහෙම්මම බයිසිකලේ ආපහු හරෝගත්තු පාර විද්ද විදිල්ලක් වත්තටම පස්ස නොබල.එන ගමන් වත්තට පැන්න අපි ආපහු ආවෙ අන්නාසි තොගේකුත් කඩාගෙන.ඊට පස්සෙනං කවුරුවත් පොලිසියට පැමිණිලි කරල තිබුණෙ නෑ.

අපි ඔක්කොම ඉද්දි මහින්දවම අල්ලගෙන ගිහිං තිබුණෙ ඇයි දන්නවද?මුරකාරය ඒ වෙනකොට දැනගෙන ඉඳල තියෙන්නෙ මහින්දගෙ නම විතරයි.ඒ හින්ද.
පස්සෙ කාලෙක මුදලාලිගෙ බද්ද ඉවරවුණා.ආයෙමත් පාළුවට ඇරිල තිබුණු වත්ත 1995 දි වාගෙ කෑලි කඩල වෙන්දේසි කලා,මාත් කෑල්ලක් ගත්ත පාර අයිනෙන් ගෙයක් හදාගන්න කියල.ඒ දවස්වල පාර අයිනෙ පර්චස් එක රුපියල් හත්දාහයි.
මේ ළඟදි වත්තෙ ඉතුරුවෙලා තිබුණු කෑල්ලක් වෙන්දේසියට දැම්ම, දැන් පාර අයිනෙ පර්චස් එක රුපියල් අසූහත්දාස් පන්සීයයි.


 

36 comments:

  1. කියෙව්වා.. ප්‍රශ්න පත්තරේ හෙට උදේට.. හි හි

    ReplyDelete
    Replies
    1. හොඳයි,ප්‍රශ්න ටික දෙන්නකෝ.

      Delete
    2. අදට ටෙස්ට් එක කල් දැම්මා.. ඊළඟ එකේදි මේකටත් එක්කම දෙන්නම්... හි හි

      Delete
  2. he he(hiru gen copy kale) owa nam sundara horakam neda.
    Annasi e tharamata ushnaida. Dadayak awa kiwwe.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති දේශ්,එතකොට අපි ඉදිච්චා,පැහිච්චා,අමුවා ඔක්කොම කලවමේ කනවනෙ.

      Delete
  3. හැලපෙ මාමා කහ පාටට ඉන්නෙ අන්නාසිම ගිලලා වෙන්න ඇති මගෙ හිතේ...පර්චස් එක 87500/- කිව්වෙ මොකෑ...500 මුරකාරයටද...

    ReplyDelete
    Replies
    1. 500 මුරකාරයට වෙන්නැති,ඉඩම් කෑලි පෙන්නනවට.

      Delete
  4. නියම ගුරුවරුයි නියමම කොල්ලෝ set එකකුයි. මුදලාලියා බද්ද දික් කරගෙන නැත්තේ පාඩුව නිසාම වෙන්න ඇති :P

    ReplyDelete
  5. හැලප ලොක්ක මොකද කියන්නෙ ගත්ත ඉඩං කෑල්ල විකුණමුද රුපියල් හත්දාහකට. :D

    ReplyDelete
    Replies
    1. ත්‍රිභාෂා මම ඒ කෑල්ලෙ ගේ හැදුවනෙ,වෙන එකක් දෙන්නද?

      Delete
  6. ඈ....ඒ දවස්වලත් ආරක්ෂක කමිටු තිබ්බද..අපේ තාත්තත් ඔය අයිඩෙන්ටියෙන් ඵල ප්‍රයෝජන ගන්නවා.

    අර උතුම් හොරකමෙන් දන්සල දුන්න එකනම් නියම වැඩේ. මුදලාලිටම දන්සල විවෘත කරන්න ආරාධනා කලා නම් තමා මරු. දන් ඔය මුදලාලි උඹලට මාසෙකට කොටහක් දුන්නා කියමුකෝ...උඹල ඉතුරු ටිකට වග නොකියා ඉදියිද...

    කොහොම වුනත් කථාව මැවෙන්න විස්තරේ දීලා තියනවා. එළමැයි!

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල හොර උවදුරට විරුද්ධව තමා ආරක්ෂක කමිටු හැදුවෙ

      Delete
  7. එන්නංකෝ අන්නසි කන්න හැලපෙලාගේ පැත්තේ...

    ReplyDelete
  8. බලුකම් නොවන සුපිරි කොලුකම්...ආසවේ බෑ....මටත් ගම්මිරිස් දාපු අන්නාසි කෑල්ලක් කන්න ආසාවක් හැදුනො

    ReplyDelete
  9. මට මැවිල පෙනුණා කතන්දරේ

    ReplyDelete
    Replies
    1. මගේ අරමුණ වුණෙත් ඒ විදියට ලියන්නයි,ස්තූතියි.

      Delete
  10. නියම කොලු කතා ආයිබොවං..!
    අන්නාසි කතානම් මටත් තියේ...!

    ReplyDelete
    Replies
    1. ඉතින් ලියමුකො වීයො දෙක තුනක්

      Delete

  11. අන්නාසි කෑවට වඩා රසවත් මේ පෝස්ට් එක හැලපේ.යකෝ හොර අන්නාසි වලින් දන්සැලුත් දීලා නේ? :D
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. පින නිසා පව කැපිල යන්න ඇති නේද ඩූඩ්.

      Delete
  12. අපිත් ඔහොම කළා, මේහේ තැඹිලි වත්තකට.....

    වත්ත මුලින් රජයේ (රාජ්‍ය වැවිලි සංස්ථාවෙ) පස්සෙ යූ එන් පී ආණ්ඩුව කාලේ රජයේ වතු තම තමන් අත බෙදා ගත්තනෙ, අන්න ඒ වෙලාවෙ තැඹිලි කෑල්ල ගියේ ප්‍රදීප් හපන්ගමගේ අතට, අපි තැඹිලි වලට වග කිව්වෙ ඊට පස්සෙයි.හැබැයි ඉදහිට. ඒත් වත්තෙ හරක් බැන්ද උන්නම් මහ කැත වැඩ කළා. හරක්ට වතුර දෙන්න ඕන වෙලාවට උඩහට වතුර අදින්න බෑයි කියලා, තැඹිලි කපලා බාල්දි වලට දාලා හරක්ට දීලා....

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ සුමිත් ළඟත් හොඳ කතා,ලියමුකො කීපයක්

      Delete
  13. මේක කියෝලා මටත් දැන් අන්නාසි කෑල්ලක් කන්න හිතුනා.... :)

    ReplyDelete
    Replies
    1. වත්ත පැත්තෙ ගියානම් අන්නාසි තියෙයි.

      Delete
  14. අයියේ මම දෙයක් කියන්නම්. තරහ වෙන්න එපා. ඔයාගේ කතන්දර මතකයන් හරිම රසවත් හැබැයි ඔය ට්‍රැක් පැනිල්ල නවත්වගන්න. මොකද පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු වෙනවා.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. අනේ,කෝරලේ මහත්තයො,තරහ වෙන්නෙ මොකටද.සමහර වෙලාවට ට්‍රැක් පනිනව තමයි.මම පුළුවන් තරම් ට්‍රයි කරන්නම් නවත්තගන්න.

      Delete
  15. අන්නාසි. හ්ම්... යකෝ අන්නාසි කේස් වලටත් පොලෝසි යනවද...?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ සරත්,මුං ගියානෙ පොලිසි.

      Delete
    2. ඕක මොකද්ද මේ ලඟදි පොලීසියේ ලොකු මහත්තයෙක් පොලීසි ගියේ කොස් ගෙඩි දෙකකට. :-D

      Delete
  16. මේක පට්ට නේ...මට නම් මතක තියෙන්නේ අරක්කු බොන්න සැන්ඩි නැති උනාම පන්සලේ වත්තෙන් හොරාට කුරුම්බා කඩල ඒවත් එක්ක බිව්ව හැටි වගේ අසමජ්ජාති මතක අප්පා....

    ReplyDelete
    Replies
    1. නියම මතක ටිකක් වෙන්න ඇති,ලියමුකො කීපයක්

      Delete

ඔබේ අදහස්