Thursday, January 10, 2013

14.අපේ ගබඩාවෙ කතාව


අපේ ගමට රෙදි මෝල ආවෙ හැට ගණංවල මුල හරියෙ,ගේ ඉස්සරහ වෙලෙන් එහා පැත්තෙ තිබුණු බෙලෙක්වත්ත කියන ඉඩම තමයි මෝල හදන්න තෝරගෙන තිබ්බෙ.ඒක අති විශාල ඉඩමක්, අපේ අලවත්ත වාගෙ හතර පස් ගුණයක් විශාල ඇති.

යුද්ද කාලෙ ඔය වත්ත බ්‍රිතාන්‍ය ගුවන් හමුදා කඳවුරක්,ඕකෙ තහඩුවලින් හදපු විශාල හැන්කර් තියෙනව,මම හිතන්නෙ ප්‍රහාරක ගුවන් යානා ගාල් කරල තියන්න ඇත්තෙ ඒවල.බිමට දාල තියෙන කොන්ක්‍රිට් එහෙම තාම ගල් වගෙ හයියයි අවුරුදු හැට ගාණක් ගියත්.

ඔය හැන්කර් පස්සෙ කාලෙක ආහාර දෙපාර්තමේන්තුවෙ ගබඩා හැටියට අරගෙන හාල්,පිටි,පෝර එහෙම ගබඩ කරල බෙදාහරින්න ගත්ත.ඔය හාල් පිටි වාගෙ දේවල් පටෝගෙන කෝච්චි ආවනෙ කෙලිම්ම ගබඩාව ඇතුලටම,බඩුපෙට්ටි ගොඩාක් ඇදගෙන එන ඇන්ජිම හැන්කර ගාව පෙට්ටි ගලවල දාල බඩු බාල ඉවරවුණු හිස් පෙට්ටිත් ඈඳාගෙන ආපහු යනව.

පෙළක් වෙලාවට ඔය ෂංටිං වැඩ ඉවරවෙන තුරු ඇන්ජිම තියෙන්නෙ මිනිස්සු යන එන මහ පාර හරහට,මිනිස්සු නම් කොහොම හරි රිංගල එහා පැත්තට යනව,ඒත් වාහන,ඒවයෙ ඩ්‍රයිවර්ලයි මිනිස්සුයි කෝච්චිය යනකන් කුණුහරුපෙන් බැණ බැණ ඉන්නව.

ඔය පෙට්ටිවල බඩු බාන මිනිස්සු බලන්න ලස්සනයි,පිටි එහෙම බාල ඉවර වුණාම.හරියට පිට ලෝකෙකින් ආපු මිනිස්සු වගේ සුදුපාට වෙලා අර බඩු බාන හුක් එකත් ඉණේ ගහගෙන කඩේට එනව තේ බොන්න.
 ගබඩාවෙ ඉස්සරහපිට පාර දිගට ලොරි පෝලිමයි.රටේ එක එක පළාත් වලට බඩු ගෙනියන්න ඇවිදින්.පටවන්නෙ පෝලිමටනෙ,මහ රෑ ඇවිත් පෝලිමට එකතුවෙන ඩ්‍රයිවර්ලයි ගෝලයොයි උදේට නිදි ගැට කඩ කඩ තේ බොන්න කඩේට එකතු වෙනව.කොහොමත් ලොරිය ලෝඩ් කරගෙන ඒ ගොල්ලන්ට පිටත් වෙන්න ලැබෙන්නෙ හැන්දැවරුවෙ.

ආහාර ගබඩාව වටේටම තිබුණු ගෙවල්වල,කඩවල්වල අයට නං හාල්, පිටි ආදියෙන් අගහිඟයක් තිබුණෙ නෑ,අර බඩු පටවන අය කුත්තු හාල්,කුත්තු පිටි එහෙම පොඩි මුදලකට විකුණනව,එක්කො කෑමට බීමට හිලව් කරනව.

 ගබඩාවට ඇතුල් වෙන තැනම තියෙන්නෙ ලොරි කිරන තරාදිය,හිස් ලොරිය කිරාගෙන ඇතුල්වෙලා බඩු පටවගෙන පිටත් වෙනකොටත් පිටත්වෙන දොරටුවෙ තියෙන තරාදියෙන් බර කිරාගන්න ඕනැ.වැඩිපුර පටවලද කියල දැනගන්න තමයි එහෙම කරන්නෙ.

ගබඩාව වටේට තාප්ප බැඳල මුරකාරයො දාල හොඳට ආරක්ෂාවක් දීල තිබුණත් ඔය වටේ උං ඇතුළට පැනල හොරකං නොකලෙත් නෑ.

පස්සෙ කාලෙක ආහාර දෙපාර්තමේන්තුව වැහිල ගියත් එක්කම අපේ ගබඩාවත් පාලු වුණා,ගබඩා හිස්වුණා,ඔන්න ආපහු සුනාමි කාලෙදි ලංකාවට ආපු සුනාමි ආධාර ඔය හැන්කර වල ගෙනත් පිරෙව්ව.

 ඒ ගෙනාපු ආධාර තොගවල නොතිබුණු දෙයක් නැහැලුනෙ.පොඩි ළමයගෙ සූප්පුවෙ ඉඳල කූඩාරම් ගෙවල් වෙනකම් තිබුණලුනෙ.

ගෙනාපු ආධාර නං ඔක්කොම හොර පාරෙනෙ ගිහිල්ල තියෙන්නෙ,දේශපාලකයින්ට ඕනැ විදියට,ඒ කාලෙ ඔය බඩු නිසා අපේ පැත්තෙ මැස්සො වගේකුත් බෝවෙලා හිටියලු සුනාමි මැස්සො කියල කලුම කලු පාටට,හදාගත්ත කෑමක් බීමක්වත් උන්ගෙන්  බේරගන්න බැරිව ගියා කියන්නෙ.

මම මේ හැම එකටම ලු,ලු කියල කිව්වෙ මම මේ මොකුත් ඇහැට දැකපු නැති නිසා,මොකද ඒ සන්දියෙ මම ගමේ හිටියෙ නෑනෙ.දැනුත් ඔය අපේ ගොයං පාගන්න මම යාලුවන්ගෙන් ඉල්ලගෙන එන කූඩාරම් රෙදි ඔක්කොම සුනාමි ආධාර.

 ඊටත් පස්සෙ මේ ළඟකදි ඔය වී මිලට ගන්න පළාත්වල ගබඩා පිරෙද්දි ඒව හිස්කරගන්න ඒවයෙ පිරිල තිබුණු තොග ගෙනත් ආහාර ගබඩාවෙනෙ පිරෙව්වෙ.

දැන්නම් සංස්කෘතික දෙපාතමේන්තුවෙ පොත් දාන ගබඩාවකුත් තියෙනව,තව අර යැංකි කොරියන් කට්ටියක් අල්ලගෙන පටං ගත්තු පැක්ටරියත් තියෙනව හැබැයි දැං ඒක වැහිල ගිහිං,රෑට ලයිට් දාල තියෙනව මුරකාරයෙකුත් එක්ක.ඊටත් පස්සෙ කැකුළු හාල් පිටි කරන මෝලකුත් පටං ගත්ත,ඒකනං තාම හොඳට වැඩ මගෙ හිතේ.

දැං අර වටේට බැඳපු තාප්ප කඩල,අවුරුදු හැටකට විතර පස්සෙ ඉස්සර අපේ සීයල ගෙදර ඉඳං ටවුමට ගිය පාරෙ අපටත් දැං යන්න පුළුවනි.

 දැන්නං අපි නිතරම ඔය ගබඩාවෙ වත්තට යනව,කෝං,නුග,වීර,මාර වාගෙ දැවැන්ත ගස්වලින් පිරුණු ලංකාවෙ වියළි කලාපය සිහිගන්වන මේ මහා හුදකලා භූමිය මට නං හරිම ප්‍රියයි.

ඉස්සර වතුර එකතුකරගන්න හදපු දැවැන්ත ටැංකි දෙකක්ද කොහෙදත් තාම තියෙනව,වැහිකාලෙට වතුර පිරුණු ටැංකි බලන්න ලස්සනයි.

මහ රූස්ස ගහක් යට ඉඳගෙන හුළං වැදි වැදි අඩියක් ගහන්න හිතුණාම දැං අපි යන්නෙ ගබඩාවට,වැඩේ නැගල යද්දි මදිවුණොත් එහෙම ගේන්නත් ලේසියි ටවුමට අතේ දුරනෙ.අනික ගබඩාව මැද තියෙන්නෙ හොඳට තාර දාපු පාරවල්,සුද්දගෙ කාලෙ හදාපුවනෙ දැං තාර දාල හදන පාරවල් මොනවද කියල හිතෙනව, තාම නොම්බර එකයි.

 දවසක්දා අපි කට්ටිය ගිහිං වාඩිවුණේ ඔය හැන්කර් එකක් අයිනෙ කොන්ක්‍රීට් එක උඩ.බෝතල් සෝඩා බයිට් එහෙම ඉස්සරහිං තියාගෙන වැඩේ පටං ගත්ත,අනේ ටිකකිං චූටි සත්තු වගයක් ඇඟ පුරාම නලියනවා.බැලුවාම අර වී වලට බෝවෙලා හිටපු සත්තු ජාතියක්,මොක්කුද මන්දා මැක්කොනං නෙමෙයි.අපිත් ඇඳුම් ගස ගසා අඩුම කුඩුමත් උස්සගෙන වෙන තැනකට දිව්ව.

පටං ගත්තෙ රෙදි මෝලෙ කතාව කියන්න,ලියවුණේ වෙන එකක්,හරියට යන්න තිබුණු පාරෙ නොගිහිං ඒ ලඟ තිබ්බ වෙනත් පාරක ගියා වගේ.කමක් නෑ රෙදිමෝලෙ කතාව වෙන දවසක ලියන්නම්කො.




25 comments:

  1. ඔයාටත් මට වගේ මල්ලේ පොල් වෙනවා නේද . අදත් කතාව රහයි

    ReplyDelete
    Replies
    1. උඹල දෙන්නම හොඳයි තව...

      Delete
    2. තෑන්ක්ස් අටම්,මම හිතුව ඔයා ඉස්සෙල්ලම එයි කියල

      Delete
    3. බැලුවම තුං දෙනාම එකයි නේද මාරෙ

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  2. ඒ පාර වනවාහල පැත්ත ගැන දොඩෝනවා නේද..? මේක හරියන්නේ නැහැ... මූ අපිව සියනෑකෝරලේ හතර අත ඇවිද්දවන්න හදන්නේ...

    ReplyDelete
  3. අඩේ ඇත්තට දැන් අර රෙද්ද..සොරි..රෙදිමෝල ගැන ආයෙත් මුල ඉදල ලියහං. අදම නෙමේ ආවේ. අදමයි කමෙන්ට් කට්ටක් කෙටුවේ. දිගටම කොටනවා. කොටන්න උඹේ කථා වටිනවා.

    එළ යැ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පේට්‍රියට්,රෙදිමෝලෙ කතාව ආයෙම ලියනව අනිවාර්යයෙන්, දැං මට වෙලා තියෙන්නෙ මොන කතාවද කලිං දෙන්නෙ කියල තෝරගන්න බැරිකම.

      Delete
  4. මං වගේම වටේ ගිහිල්ලා... කට්ටිය කියනවා වගේ වටේ ගියත් රහයි.... හි හි
    ( බෝතලේ නැතුව මෙයාලට මොනවාවත් වැදගත් වැඩක් කරන්න බෑනේ අප්පා....)

    ReplyDelete
    Replies
    1. මතක් වුණත් රහයි හිරූ,එහෙම තැනකදි බෝතලේ ඕනැ වෙන්නෙ නිතැතින්ම

      Delete
  5. යන්නේ කොහෙද මල්ලේ පොල් වුනාට කතාව රහයි.....

    ReplyDelete
  6. ෂහ් ඔයි වගේ තැනක අඩියක් ගහන්නත් ආසයි හැලපෙ.

    ReplyDelete
    Replies
    1. වීයො,වෙලාවක මුණගැහිල අඩියක් ගහමු

      Delete
  7. කොහේද අප්පේ....ඔය ආතල් පොට්එක තියෙන්නෙ...? ඇවිත් බලන්නත් හිතෙනවා....

    ReplyDelete
    Replies
    1. එනව නම් කියන්න සුමිත්,මම එක්ක යන්නම් එතනට.

      Delete
  8. hangar එකට සිංහල ඌරුවට කියන වචනෙ ඕං ඉගෙනගත්තා.
    බලං ගියාම ඔය ගබඩාව ගමරාලගේ වංගෙඩිය වාගෙනෙ.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අපේ ගම්වල අය ඉස්සර ඉඳලම ඕකට කිව්වෙ හැන්කර්, හැංකර ආදී වශයෙන් තමයි ඩූඩ්.

      ඔය ගබඩා ගමරළගෙ වංගෙඩිය වගේ හැම දේටම ප්‍රයෝජනයි.

      Delete
  9. හැලප මාමගෙ මේ හෙළිදරව්වෙන් පස්සෙ අතිගරු මන්ත්‍රීතුමෙක් ඔය ඉඩමට කෙළිනවා ලගදිම...

    ReplyDelete
  10. සැටිපිකෙට් ඇත්ත සිරා,ඒ වැඩේ නම් ලඟදීම සිද්ද වෙයි.

    ReplyDelete
  11. හැලප මෝල රෙදි මෝල ගැන නොකිය වෙන මෝලක යනවනෙ :P

    ReplyDelete
  12. ඔබතුමා, ඔබා මාමගේ නෑයෙක්ද? :-)

    ලඟදි රත්නපුරේ මලගෙදරක ගියාම බොන්න තැනක් හොයාගෙන ගිහින් බිව්වේ වෙන්දේසි කරපු ඉඩමක තාම ගෙවල් නම් හදලා නැහැ ඒක ඉස්සර කුකුල් ෆාම් එකක් කිව්වේ. තැනිතලා ප්‍රදේශයක් තියෙන ටිකක් උස් බිමක් නිසා වටේම හොඳට පේන්න තිබ්බා. ලිපියේ අන්තිම හරිය කියවනකොට මට මතක් උනේ ඒක.

    ReplyDelete
  13. Old is gold සුද්දා ගියාට පස්සේ වෙච්ච වැඩි සුද්දගේ කාලේ වැඩි බැලුවම ඒකාලේ වෙච්ච දේවල් වලින් 3නෙන් එකක් වෙලා නැහැ.

    ReplyDelete
  14. හුකැස් අපේ තාත්තත් විවෙලන්න ගන්නේ ඔය සුනාමි ටෙන්ට් එකක් තමයි

    ReplyDelete

ඔබේ අදහස්