Saturday, January 12, 2013

16.චූටිගෙ කතාව....2


එක වෙසක් දවසක අපි කට්ටිය පොඩි මහින්දගෙ කඩේ ඉස්සරහ ඔලු බක්කො නැටුමක් ලෑස්තිකලා,හදිස්සියෙ මේස දෙකක් තියල අටවගත්ත වේදිකාවට කට්ටිය නැගල ඔලු දාගෙන නටනව,මහන්සි වුණාම බැහැල වෙන එකෙකුට ඔලුව දෙනව.

ඔහොම වැඩේ යද්දි සෙනගත් දැන් පිරිල බලනව,මට මතක් වුණා හොඳ වැඩක්,අර ඒ දවස්වල නිහාල් නෙල්සන් මනමෙ කතාව සිංදුවකට දාල තිබුණා,මම කරපුදේ චූටියයි කපිලවයි මනමෙ ජෝඩුවට අන්දල සිංදුව දාල නැටෙව්ව,කුමාරිට නැටුවෙ චූටිය.

වැඩේ ටොප්,ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම,ආයෙත් ඒ නැටුම ඉල්ලනව.කොහොමත් ආපහු විනාඩි පහකින් නැටුම ආයෙත් නටන්න තීරණය කළා.ඒ වුණාට මගෙ හිතේ පොඩි සැකයක් තිබුණා ඉස්සෙල්ල නටනකොටත් මනමෙ කුමාරි කුමාරයගෙ ඇඟට හේත්තු වෙලාමයි හිටියෙ,මොකද කියල.නැටුමට ඔක්කොම ලෑස්ති කලත් කුමාරි නෑ,මම ගියා මනමෙ කුමාරිව හොයන්න,අහෝ,මෙන්න කුමාරි වේදිකාව පාමුල රඹුටං ගහ මුල නිදිකුම්බ පඳුරක් හපාගෙන නිදි. කුමාරිට කුණු වෙරි.

චූටිට රස්සාව හම්බවෙනතුරුම මම කරපු සමාජ වැඩ වලටයි,විකාර වැඩවලටයි හැම එකටම කිසිම ප්‍රශ්නයක් අහන්නෙ නැතුව චූටි මගෙ පස්සෙන් හිටිය.

ඔන්න ඔය විදියට කාලය ගතවෙනකොට තමයි චූටියගෙ අයිය උක්කුං මහත්තය චූටිව හිරගෙදර රස්සාවට දැම්මෙ,තාත්ත වැඩකරපු තැනනෙ,පිය පුතු පදනමට කියල,දැං චූටි බන්ධනාගාර නිලධාරියෙක් වෙන්න පුහුණු වෙනව.

පුහුණුවෙන් පස්සෙ චූටිට ඉස් ඉස්සෙල්ලම පත්වීම ලැබුණෙ යාපනේ හිරගෙදරට,ඒකත් ලස්සන කතාවක්,ඔන්න දැන් පුහුණුව අවසන් කරපු බන්ධනාගාර නියාමකයො ටික ඉස්සරහින් තියාගෙන හිරගෙවල් වලට බෙදනව,හිරගෙදර නමයි ඇබෑර්තු ප්‍රමාණයයි කියපුවාම එතෙන්ට යන්න මනාප අය නැගිටල කැමැත්ත දෙනව,ඔක්කොමල වගේ යන්න හදන්නෙ ගෙවල් වලට ළඟම තැනට,චූටිට ළඟම හිරගෙදර මහරනෙ,මහර නම කියවෙනකොට චූටි සද්ද නැතුව හිටිය ඌට නෙවෙයි වාගෙ.
 යාපනය කියද්දි අර දෙමළ කොල්ලො කීප දෙනත් එක්ක මූත් නැගිට්ට,ඔන්න ඔහොම තමයි ඌට යාපනේට පත්වීම ලැබුණෙ,පස්සෙ දවසක මම ඇහුවාම යාපනේට ගියෙ ඇයි කියල චූටි ගත් කටටම කිව්වෙ,

එහෙ ඇතිවෙන්න තල් රා බොන්න තියෙනවනෙ....කියල

දැං චූටි රාජකාරි කරන්නෙ යාපනෙ හිරගෙදර,ඕං මාසෙකට විතර පස්සෙ මට ලියුමක් එනව චූටිගෙන් විස්තර කියල..එකතැනක තියෙනව දැං මෙහෙත් කෙටි ප්‍රශ්න වැඩිවේගෙන එනව කියල..
මම හිතාගත්තෙ කෙටි ප්‍රශ්න කියන්නෙ සුළු ප්‍රශ්න කියල.
 දවසක්දා චූටිලගෙ ශාන්ති අක්ක මට හම්බවුණු වෙලාවෙ මම ඕක කිව්ව,ශාන්ති අක්ක කියනව..

අනේ මූ මටත් ලියුම් එවනවනෙ මිටි චූටි කියල..මං ඒත් දවසක් උගෙං ඇහුව චූටියො ඇයි බං උඹ මිටි චූටි කියන්නෙ,උඹ මිටියැ හොඳට උස තියනවනෙ කියල.

පස්සෙ අපි දෙන්න ගොඩක් වෙලා සාකච්ඡා කරල ප්‍රශ්නෙ විසඳා ගත්ත.

කෙටි ප්‍රශ්ණ කියල තිබුණෙ කොටි ප්‍රශ්ණ වලට,

මිටි චූටි කියල තිබුණෙ මීට චූටි කියන එකට.

 යාපනේ ත්‍රස්තවාදී කලබල උග්‍රවෙනකොට හිරගෙදර වහලදාල චූටිලවයි හිරකාරයොයි වෙන හිරගෙවල් වලට  මාරු කළා,චූටි වැටුනෙ මහනුවර බෝගම්බර බන්ධනාගාරයට.

ඔය රෙදි මෝලෙ වැඩකරපු ගුරුගේ,ගුරාගෙ ගම නුවර.සැරයක් ගුරා අපට ආරාධනා කළා පෙරහැර බලන්න එන්න කියල,ඒ ගමන මමයි ආරියි පෙරහැර දවසක නුවර ගියා ආරිගෙ 125 සයිකලේ,ගුරුගෙල එතකොට හිටියෙ අනිවත්තෙ ගුරා මුණගැහිල දවල්ට කාල එහෙම ටවුමෙ රස්තියාදුවක් ගහල එන්නම් කියල එලියට බැස්ස අපි ගියෙ චූටි හම්බවෙන්න හිරගෙදරට.
 අපි චූටිය ගැන අහගෙන ඇතුළට ගියා,හිරකාරයෙක් අපිව එක්කං ගියා චූටි ඉන්න තැනට,ඔන්න විශාල ශාලාවක තියෙන බංකුවක කොට කලිසමක් විතරක් ඇඳ ගත්තු චූටි මුනිං අතට දිගාවෙලා ඉන්නව,හිරකාරයෙක් හොඳ සීරුවට චූටියව මසාජ් කරනව.

ආරිටයි මටයි හිනා..මූට තියෙන සැප අම්මපල්ල කියල අපි දෙන්න කතාවුණා.

රෑ පෙරහැර බලන්න චූටි අපිත් එක්ක ආව.

ඊටත් පස්සෙ කාලෙක චූටියව මහර හිරගෙදරට මාරුකලා,දැං චූටි වැඩට යන්නෙ ගෙදර ඉඳන්,මේ කතාව මට කිව්වෙ අපේ මල්ලි,

ටවුමෙ ඉඳල ගෙදර එන මල්ලිට චූටි වැඩ ඇරිල එනව හම්බවෙලා,හොඳටම බීල.
දැං දෙන්නත් එක්ක කතා කර කර පයින්ම එනව,එදා හොඳටම වැහැපු දවසක්,මේ දෙන්න ෂෝට් කට් එකෙන් එනකොට ඇල උතුරල යනව,පොල්කොට ඒදණ්ඩ ගහගෙන ගිහිං,මිනී කනත්ත උඩිං ඇවිත් ඇලෙන් එගොඩවෙලා නියරෙන් ගොඩවෙන්නෙ චූටිලගෙ වත්තට.
 මල්ලි කිව්වලු කරන්ඩ දෙයක් නෑ බැහැල යං කියල..

නෑ නෑ මට පැන ගත්තැහැකි කියපු චූටි සපත්තු ගලවල කලිසමත් නමාගෙන කනත්තෙ ටිකක් උඩහට ගිහිං වේගෙන් දුවගෙන ඇවිත් ඇලෙන් පැනල..

ජබෝස්...චූටිය කෙලින්ම ඇලේ....

දනි පනි ගහල වතුර පෙරාගෙන ගොඩ ආපු චූටිය මල්ලිට කිව්වලු,

පො..පොඩ්ඩක් දිග මදිවුණා කියල..

 එන්න එන්නම චූටියගෙ බීම වැඩිවුණා,අපි කවුරුහරි ඇහුවොත් මොකද චූටි ඔච්චර බොන්නෙ කියල,

අපේ තාත්තගෙ නම ගෙනියන්න තමයි මම බොන්නෙ කියල තමයි කියන්නෙ.

ඔන්න දවසක් මේක හවස ඇවිත් ගෙට ගොඩවෙනකොට වැටිල සිමෙන්ති පඩියෙ හැප්පිලා ඔලුව පැලිල,
මායක්කයි,නංගියි අපේ ගෙදර දුවගෙන ආව අනේ බේත් ටිකක් දාන්න කියල.

ගිහිං බැලුවාම මූ ඉන්නව ලේ පෙරාගෙන,මට කේන්තියි,මම මුගෙ ඔලුවෙ ලේ පිහල තුවාලෙ සුද්දකරල බේත් දැම්මෙ උගෙ වෙරි හිඳෙන්න.

 ඔය විදියට සතුටින් සමාදානයෙන් හිටපු චූටිට කටයුත්තක් කතා කළේ උක්කුං මහත්තය,මනමාලි කවුද?අපේ ගමේ ගෙයක් කුලියට අරං හිටපු ඇන්ටගෙ පවුලගෙ අක්කා,ඇන්ට ටේලර් කෙනෙක්, චූටියට වැඩියෙ බේබද්දා,අපූරු මස්සිනාල දෙන්නෙක් එකතු වෙන්න යන්නෙ,ඇන්ට ගැනත් ලස්සන කතා තියෙනව එකක් කියන්නම්.

ඔන්න අපි රෑ වෙලා ගෙදර එන දවස්වලට ඇන්ටවත් හම්බවෙනව,කණ පැලෙන්න බීල ඉන්න ඇන්ට දැං පාක් කරන්න ඔන්න මෙන්න,අපි මූව වත්තං කරගෙන වදෙං පොරෙං එක්කං එනව උස්සගෙන වාගෙ.හැබැයි කවුරුවත් කැමති නෑ මූව ගෙදරට බාරදෙන්න,ඇයි ඇන්ටගෙ පවුල බනිනවනෙ ගෙනාපු එකාට හරියට ඌ ඇන්ටට හැන්දෙන් අරක්කු පෙව්ව වගේ.

ඇයි යකෝ මේකව ගෙදරත් ගෙනත් දාල බැණුනුත් අහපල්ලකො ගෑණුංගෙන්,අපි ඒකටත් ක්‍රමය හොයාගෙන තිබුණෙ,

ඔන්න ඇන්ටව ගේ ළඟටම වත්තං කරගෙන ඇවිත් උගෙ පවුලට කතා කරනව...

ඇන්ටන් නංගී....ඇන්ටන් නංගී.... කියල,

 ගෑණි එළියෙ ලයිට් දාල දොර අරින කොට ඇන්ටව වැටට හේත්තු කරන අපි පැනල දුවනව පන එපා කියල.
එතකොට ගෑණි බණින්නෙ ඇන්ටට විතරයි.

ඉතිං චූටියට තියෙන්නෙ ඇන්ටගෙ පවුලගෙ අක්කට බින්න බහින්නයි,කොහොමද උක්කුං මහත්තයගෙ මොළේ,චූටියට ගේ දෙන්න වෙන්නෙත් නෑනෙ එතකොට.

ඉක්මනටම මඟුල කෙරුණ,මගුල ගැන මටනං කිසිම මතකයක් නෑ,අපට කිව්වෙ නැද්ද,අපි ගියෙ නැද්ද,ගමේ හිටියෙ නැද්ද කියල.කොහොමහරි චූටිය ඔය දිවුලපිටි පාරෙ ටෙක්නිකල් එක ළඟින් හැරිල යන්න තියෙන පැළ වගාව පැත්තෙ ගේක නැවතුනා.

 බැන්දට පස්සෙ චූටිගෙ අපේ ආශ්‍රය ගොඩක් ඈත්වුණා.කලාතුරකින් දවසක අම්මලව බලන්න ගෙදර එන චූටිව මම දකින්නෙ උදේ පාන්දර අපේ දෙවැට පාරෙ වේගයෙන් උඩහට යනව,මම එළි පහළියෙ හිටියොත් චූටිය කියනව,

මේ..පාන් ගෙඩියක් ගේන්න කඩේට යනව ..කියල,
මොන පාන්ද,මූ උදේ පාන්දර යන්නෙ ෂොට් එක දාගන්න මම දන්නෙ නැතුවෑ.

පස්සෙ චූටියලට දරුවෙකුත් ලැබුණා,පුතෙක්.ඔය කාලෙ චූටි වැඩකලේ මීගමුවෙ හිරගෙදර.
 දවසක් හදිසියෙම අපිට ලැබුණු ආරංචියකට අපි උඩ ගියා.

චූටි මැරිලා.....

හදිසියෙම ඇතිවුණු දරුණු හෘදයාබාධයක්ලු,මැරෙනකොට වයස හතළිස් ගාණයි.

මළගෙදරට අපි ඔක්කොම ගියා,චූටි පාර අයිනෙ ගොඩක් වෙලා වැටිල හිටියලු,ඒක හැමදාම වෙන සාමාන්‍ය දෙයක් නිසා කවුරුත් විශේෂයෙන් බලල නැහැ.සිහි ආපුවාම මිනිහම නැගිටල යනවලු.

 එදා වැටිල ඉඳිද්දි පපුවෙ අමාරුව හැදිල,

චූටි පදිංචිවෙලා හිටපු ගෙදරට ගිය අපට හරිම හිතට අමාරුයි,චූටිගෙ මහප්ප,සිරිල් මාමගෙ පුතා,සරත් අයියගෙ ඇස්වල කඳුලු,මගෙන් අහනවා,

....මල්ලි කවුද චූටියට මේ මගුල කරල දුන්නෙ..කියල.චූටි වැඩ කරපු හිරගෙදර කට්ටියත් ඇවිත් හිටිය,ආපු ජේලර් කෙනෙකුගෙන් සරත් අයිය චූටි ගැන අහල,එයා කිව්වලු හිරගෙදර වැඩකරපු අහිංසකම මනුස්සයෙක් කියල.

උත්සව නිළ ඇඳුමෙන් සැරසුණු සහෝදර නිලධාරීන් හය දෙනෙකුගෙ කරපිටින් පාණ්ඩු පාට හිරුඑළිය ගස් අතරින් වැටී තිබුණු ඒ හැන්දෑවෙ චූටි අවසන් ගමන ගියා.

කනත්තෙ අවසන් කටයුතු කෙරෙද්දි මගේ හිත දිවගියේ අතීතයට,චූටිය අපිත් එක්ක ගතකරපු රසබර මතකයන් චිත්‍රපටියක දර්ශන පෙළක් වගේ මට මැවී පෙනුනා,හදවත පාරාගෙන නැග එන දරුණු ශෝකය මැඩගන්නට මා ගත්තේ අසාර්ථක උත්සාහයක්.
 ඒ කනත්ත අපේ කනත්ත තරම් ලොකු නැතිවුණාට ලස්සන තැනක තිබුණෙ.පල්ලමක,පල්ලම ඉවරවෙන්නෙ කුඹුරකින්,ඒ ළඟින් ඇලක් ගලාගෙන ගියා,රූස්ස ගස් දෙකක් අතරින් ඒදණ්ඩක්.

කනත්ත අයිනෙ තිබුණු කොළ නැති කේඩෑරි ඇහැළ ගහක පිපිල තිබුණු එකම එක මල් පොකුර හුළඟට හෙලවුණේ  අපේ ආදරණීය චූටිට සදහටම ආයුබෝවන් කියන්න වගේ.

චූටිත් මමත් ඉන්න එකම එක කළු සුදු පින්තූරය අර අපි ට්‍රිප් එක ගිය වෙලාවෙ පොළොන්නරුවෙ ගල් විහාරය ඉස්සරහදි ගත්තු එකක්,මම තාම ඒක පරිස්සමින් තියාගෙන ඉන්නවා.






29 comments:

  1. සමහරක් විට ඔය චූටියාව අපේ තාත්තා හොදට දන්නවා ඇති

    ReplyDelete
    Replies
    1. ඇයි,අටම්ගෙ තාත්තත් හිරගෙදරද වැඩ කළේ?

      Delete
  2. අන්තිම ටිකට කඳුලු ආවා.. ඒත් හැමදාම වගේ මට පුරස්නයක් තියෙනවා...

    ඇයි //මල්ලි කවුද චූටියට මේ මගුල කරල දුන්නෙ// කියලා ඇහුවේ....???

    අදත් බීමක් ගැන... හයියෝ......

    ReplyDelete
    Replies
    1. ඒක චූටිට ගැලපෙන මගුලක් නෙවෙයි හිරූ.අපි ඒක දැක්කා,ඒ නිසා තමයි සරත් අයිය එහෙම අහන්න ඇත්තෙ.

      Delete
    2. මං හිතුවා අර සමහරු කියනවනේ ඒ ගෑණීව බැඳපු නිසයි මිනිහා ඉක්මණට මැරුණේ වගේ කතා.. අන්න ඒ වගේ එකක් කියලා...

      Delete
    3. අයියෝ උඹ ඇල්ලුවේ වැරදි කොන .

      Delete
  3. Replies
    1. ඇත්ත වීයො,මතක් වෙනකොට හරිම දුකයි.

      Delete
  4. Replies
    1. ඇයි නලින්,කියන්න මොකුත්ම නැද්ද?

      Delete
  5. Replies
    1. ගොඩක් තියෙනව තමා

      Delete
  6. දුක්බර මතකයක්...පෙරේතකමට බොන්න හොද නෑ කියන්නෙ ඔන්න ඕකයි.... හැලප මාමට සෑහෙන මතක කන්දරාවක්නෙ තියෙන්නෙ

    මෙන්න මේවා ගැන ඔය මතක ගබඩාවෙ මතකයන් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. සිරා,මෑතකදි ස්කූටර් දෙකක් තිබුණා අපේ ගමේ,එකක් නම් කැඩිල පැත්තකට දැම්ම,අනික තාම රොනේෂ් පදිනව මගෙ හිතේ.

      Delete
  7. චූටියානම් අවුරුදු හතලිස්ගානක් ජීවත් වුනා, අපේ ගමේ හිටිය "සුද්දා" බිව්වෙ අවුරුදු 8 යි.ජීවත් වුනේ අවුරුදු 26 යි.

    ReplyDelete
    Replies
    1. සුද්දා සිරා බීමක් බොන්න ඇති නේද අවුරුදු 8 ට.

      Delete
  8. සමහර ඒවා කාලා මරණ, සමහරක් අකාල මරණ, චූටියා කාලා බීලා මරණ, මේ කථාවට හරි කැමතියි, විනාඩියකට කලින් බඩ අල්ලං හිනා වුන අපිව විනාඩියෙන් පස්සේ ගල ගැස්සුවා. ජීවිතේ යන වෙලාවේ කාටවත් කියල යන්න වෙන්නේ නෑ. ඒක හැලපයටත්, මටත් ඒකමයි. හොදම විදිහ තමා ඕන වෙලාවක යන්න සුදානමෙන් ඉන්න එක.

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත පේට්‍රියට්,ඕනැ වෙලාවක යන්න ලෑස්තිවෙලා ඉම්මු.

      Delete
  9. ලොකු අයියේ තරහා නැතුව මේල්ලුව දියං.

    lakmal 1325@gmail.com

    ReplyDelete
    Replies
    1. ඔන්න එවල ඇති,අටම් මේල්ලුව කියන කොට මට මතක් වෙන්නෙ රේල්ලුව.

      Delete
  10. සතුටත් දුකත් මුසුකරල ලස්සනට ලියල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න,මොකුත් ලියන්න හෙම අදහසක් නැද්ද?

      Delete
  11. බේබදුකම නිසා මිනිස්සු විනාස වෙනව.. ඒත් ඒක මුං තේරුම් ගන්නෙ නෑනේ..

    ReplyDelete
    Replies
    1. කාට කියන්නද යසිත්

      Delete
  12. චූටියගෙ ජීවිතේ සරල වුණත් ඒජීවෙත් අපිට ගැමුරු කතාවක් කියනව. ඒත් පාරෙ වැටෙන්න බොන එක නම් අනුමත් කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත,මොනව කළත් ගාණක් මිම්මක් තියෙන්න එපායැ.

      Delete
  13. හැම හමුවීමකම අවසානය වෙන්වීමක් ජීවිතේ කියන්නේ තන අග තියෙන පිනි බිඳක් වගේ.

    ReplyDelete

  14. කනත්ත අයිනෙ තිබුණු කොළ නැති කේඩෑරි ඇහැළ ගහක පිපිල තිබුණු එකම එක මල් පොකුර හුළඟට හෙලවුණේ අපේ ආදරණීය චූටිට සදහටම ආයුබෝවන් කියන්න වගේ.

    ReplyDelete
  15. Mamath kaalayak ohoma biwwa. Joliyakuth epaa weemakuth athara joliya wedi sansiddhiyak eka. Me kathawa liyala thiyena akaaraya apuurui. Matath waawaaganna amaaruwuna anthimata. Kohomath rahamera panaya onema nehe.

    ReplyDelete

ඔබේ අදහස්