Monday, January 7, 2013

12.රුධිර බලය....1

අපි පොඩි කාලෙ හැම අලුත් අවුරුදු කාලෙකටම අපේ ගමේ ටීටර් එකක් නටනව,ඔය ටීටර් නැටිල්ලට මුල්වෙලා වැඩ කරන්නෙ තේමිස්,මිනිහ ඒ කාලෙ ඉඳලම කලාකාරයනෙ,එතකොට රස්සාවකුත් නෑ මගෙහිතේ පස්සෙනෙ රෙදි මෝලෙ වැඩට ගියෙ.

ටීටර් එක නටන්නෙ තේමිස්ලගෙ වත්තෙ පාර අයිනෙ කජු ගහ යට.එතන තමයි ඔය රජයේ චිත්‍රපටි අංශෙ වෑන් ඇවිත් චිත්‍රපටි පෙන්නන්නෙත්,ඔය චිත්‍රපටි වෑන් එහෙම ගෙන්නන්නෙත් තේමිස්ලනෙ.

වෙලෙන් එගොඩහ පෙන්නන චිත්‍රපටි ගෙන්නන්නෙ ආතර අයියල සිසිර ප්‍රජාමණ්ඩලෙන්,ඒව පෙන්නන්නෙ තුංමං හන්දියෙ තියෙන ඩේවිට් අයියගෙ තුන් හුලස් ඉඩං කෑල්ලෙ.

එක වලියක් ඔතන චිත්‍රපටියක් පෙන්නද්දි ඒ දවස්වල ඩඩ්ලි හාමුගෙ වගා සංග්‍රාමෙ කාලෙ මාහිතේ,ඔන්න කමතක වී හුලං කරනව,වතුර පාර වගේ වී එක දිගට තිරේට වැටෙනව,අර ලොකු වීය එච් හතරද කොහෙද,බැතගොඩ තිරෙන් එකයි.අපි තිරේ ඉස්සරහ බිම ඉඳගෙන කට ඇරගෙන බලා ඉන්නව.

ඔන්න එක පාරටම පස්සට වෙලා චිත්‍රපටිය බල බලා හිටපු නන්දෝරිස් කෑගහගෙන දුවගෙන එනව ප්‍රොජෙක්ටරේ පැත්තට,මිනිහ ටිකක් බීලත් හිටියෙ,

ඔච්චර වී තියෙනව නං කෝ යකෝ අපට හාල්....
කිය කියා..

අම්මෝ හරි අමාරුවෙන් ආතර අයියල,කුලරත්න අයියල එකතුවෙලා නන්දෝරිස්ව අල්ලගෙන පැත්තකට ගෙනිච්චෙ.

හැබැයි චිත්‍රපටිය පෙන්නන්න ආපු හාදය නං නන්දෝරිස්ගෙ කෑ ගැහිල්ල පඩේකට ගණං ගත්තෙ නෑ.

ඔහොම උං අපට හම්බවෙලා තියෙනව...මට තියෙන්නෙ මේං මේ බල්බ් එක බිඳල පොලිසියට යන එක විතරයි...මිනිහ සතියකිං මෙහා ගෙදර එන්නෙ නෑ..රජයේ දේපොල වලට හානි කලාට..

කියල බොහොම සැහල්ලුවෙන් සිගරැට් එකකුත් බිබී කිව්ව කියලයි ආතර අයිය පස්සෙ දවසක කිව්වෙ.

කොහෙද ඉතිං කියාගෙන ආපු කතාව පීලි පැනල වෙන පාරක ගියානෙ...

ඔන්න ඉතිං ඔය කජු ගහ යට පෙන්නන ටීටර් හරිම ජනප්‍රිය වෙලා අහල පහළ ගං වලිනුත් බලන්න සෙනග එනවා,රඟපාන්නෙත් ගමේ අයමයි,ගෑණු චරිත තිබුණොත් ඒවටත් අඳින්නෙ පිරිමි අයමයි,කොහෙද ගමේ එක ගෑණියක්වත් එනවෑ ටීටර් නටන්න.

ගෑණු පුළුටකට හරි හිටියෙ කරණං පරෙයිය විතරයි,එයත් කළේ තිරෙන් පිටිපස්සෙ ඉඳන් සංගීතය දෙන එකනෙ, කරණං පරෙයිය කිව්වෙ ඌරුමීයගෙ නංගි,ඌරුමීය තමයි ඔය ටීටර් ආදී හැම කලා කටයුත්තකම නිවේදකය.එයාගෙ නිවේදනවල අටුවා ටීකා ටිප්පනි,විශේෂණ පද ටික අයින් කරල බැලුවහම කරපු නිවේදනයක් නෑ,හරියට මෙන්න මේ වගේ.

ඔව් දැන් පිළිගන්න ඔබේ හිතාදර,මගේ දයාබර,ලයාදර,ප්‍රියාදර,කර්ණරසායන,මනමෝහනීය ආදී වශයෙන්.

ඒ වුණාට අපේ ගමේ ඌරුමීයගෙ නිවේදන නැගල ගියා,මට කියන්න අමතක උනානෙ ඌරුමීයයි නංගියි දෙන්නම අපේ ගමේ නෙවෙයි එහා ගමේ,හැබැයි ගමේ ඔක්කොම නෑදෑයො.මේ ලැබිච්චි ජනප්‍රියතාවත් එක්ක ඌරුමීය අපේ ගමමැද පාරෙන් සිගරැට් එකකුත් බිබී ඇවිදගෙන ගියෙ අඟල් කීපයක් ඉහළින්.

ඔන්න ඔය විදියට තේමිස්ගෙ ටීටර් ගමේ ජනප්‍රිය වෙන්න වෙන්න එන සෙනගට කජුගහ යට ඉඩ මදිවුණා,ඒ ගමන ස්ටේජ් එක අලවත්තට ගෙනිච්චා,නිකං තිබුණු වත්තනෙ.

ඔහොම කාලය ගෙවිල යනකොට තමයි රිචඩ් මාස්ටර් සහ පවුල අපේ ගමට එන්නෙ,රිචඩ් මාස්ටර් කිව්වෙ අපේ ලොකු මහින්දගෙ තාත්ත,ගමේ තිබුණු කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවෙ මධ්‍යස්ථානෙ භාරකාරය සහ ගුරුවරය හැටියට තමයි රිචඩ් මාස්ටර් ආවෙ,මිනිහ කලාකාරය,කලුයි,කෙට්ටුයි,ජාතික ඇඳුම ඇඳල කොණ්ඩෙත් ටිකක් දිගට වවාගෙන හිටියෙ,හැමදාම හවසට පුට්බැලෝ සර්පිනාව ගහමින් සිංදු කියනව,ඔය සර්පිනාව හෙණ පරණ එකක්,ගහගෙන යනකොට අර ඔබන කෑලි,ඒව හිරවෙලා සද්දෙ නවතිනව.

මාස්ටර් නෙවෙයි ඒකෙන් සැලෙන්නෙ...අදාළ සංගීත ඛණ්ඩය කටින් දෙනව.

මියු මියු මියු මිමියු මිමියු, කියල

මාස්ටර් ගමට ආපුදා ඉඳන් මහින්දගෙ වයසෙ හිටපු පොඩි අපිවත් අල්ලගෙන එක එක කලා කටයුතු කළා,වෙසක් එකට කැරොල් පුරුදු කරල අපිට රජ ඇඳුම් අන්දල ලොරි බාගෙක පටවගෙන ලොකු රවුමක් යනව.සෙනග ඉන්න හැමතැනමයි ගෙවල්වලයි නවත්තල අපි කැරොල් කියනව,අපට මිනිස්සු දෙන සල්ලි ඔක්කොම මාස්ටර් එකතු කර ගන්නව.

අදා අදා අදා
වෛශාඛ්‍ය පෝයදා
බුදු මාහිමිගෙ උතුම් තෙමගුල්
දිනේ වුණේ අදා....

සාල වනේහී වෙසඟේ සාල වනේහී
පුෂ්ප පිපී ලස්සනවේ සාල වනේහී...

ඔය මට මතක තියෙන කැරොල් පද කීපයක්,ලොකු එවුං නං එක එක කට කැඩිච්චි කතා කියනවා මාස්ටර් එකතුවෙච්චි මුලු මුදලම පෙන්නන්නෙ නෑ කියල,අපට නං ඕවයෙ ගාණක් නෑ,මොකෝ අපි කැරොල් කියන්න ගියෙ සල්ලි හම්බකරන්නයැ,මාස්ටර් කියන්නෙ නං ඩෝල්කිය ගහපු එකාටයි ලොරියටයි ගණං බේරන්න අතිනුත් සල්ලි දාන්න වෙනව කියලයි.ඔය ලොකු උං මාස්ටර්ට නමකුත් දාල තිබුණනෙ මැඩම් කියල,අහවල් දෙයක් හින්දද මන්දා,ජීවත්වෙනතුරුම මාස්ටර් නැති තැන හැඳින්වුණේ මැඩම් කියල තමයි.

අවුරුද්දකුත් ගෙවිල ගියා,තේමිස්ල මේ සැරෙත් ටීටර් එකක් නටනවලු,පොඩි අපිව දාල ටීටර් එකක් නටන්න මාස්ටරුත් තීරණය කළා.

මාස්ටර් ලියපු ටීටර් පොත් ගොඩක් තිබුණා,අපට පුරුදු කරන්න ගත්තෙ රුධිර බලය කියල කතාවක්.ඔය කතාව ලියපු ඇක්සැයිස් පොත මහින්දලගෙ ගෙදර තිබිල මම සැරයක් කියෙව්ව,හුඟක් පස්සෙ කාලෙක තමයි මට තේරුණේ ඒ කතාව ඩබ්ලිව්.ඒ සිල්වා ශූරීන්ගේ සුනේත්‍රා නවකතාව ආශ්‍රයෙන් ලියවුණු කතාවක් කියල.

අපි කොල්ලො කට්ටියටම චරිත තිබුණා,වෙන එකක් තියා අත දරුවෙක් වෙච්චි ලාල්ටත් පුංචි ධර්මපාල කුමාරයගෙ චරිතෙ තිබුණනෙ,කඩු පයිට්,සිංදු ඇතිවෙන්න තිබුණා හැබැයි නැටුම් නං තිබුණෙ නෑ කාන්තා චරිත නැති නිසා.

අපිත් ඉතිං දෙයියනේ කියල සුබ මොහොතින් ටීටර් එක පුරුදු වෙන්න ගත්තා,මහින්දලගෙ අල්ලපු වැටේ තිබුණු කාක්කගෙ ආච්චිගෙ ගෙදර තමා හැමදාම රෑට අපි පුරුදුවුණේ.අපිනං නොවරදවාම පුහුණුවීම් වලට ගියත් බෝධිය,තිලකෙ වාගෙ ලොකු උං එක්කගෙන එන්න මාස්ටර්ට බූරුපොලවල්වලට යන්න වුණා,අබ්දුල්ලා,ටියුඩර් එහෙම හොයාගත්තෙ කෙල්ලන්ගෙ ගෙවල් වටේ කැරකෙමින් ඉද්දිමයි.අබ්දුල්ලා කිව්වෙ විජේසිංහට.

ටීටර් එක පෙන්නන තැන ගැන කරදර වෙන්න දෙයක් නෑ,අප්‍රියෙල් 15 වෙනිදා තේමිස්ලගෙ ටීටර් එක නටනව,16 වෙනිදා අපි ටීටර් එක නටනව ඒ ස්ටේජ් එකේම,එහෙම තමයි මාස්ටර් තේමිස් එක්ක කතා කරගෙන තිබුණෙ,හැබැයි ස්ටේජ් එක හදන්න අපිත් උදව් කරන්න ඕනැ.

ඔය තේමිස්ලගෙ ටීටර්වලට අපේ තාත්තටත් ආරාධනාවක් ලැබෙනව ආරාධිත අමුත්තෙක් හැටියට,තාත්ත අපිවත් එක්කගෙන ගිහිං කවරෙකුත් දීල ටීටර් එක බලනව,හැබැයි කවදාවත් ටීටර් එකක් ඉවරවෙනතුරු ඉන්නෙ නෑ,අපිවත් අරං ගෙදර එනව,අපි කොච්චර පිංසෙණ්ඩු වුණත් අනේ තාත්තෙ ඉතුරු ටිකත් බලල යං කියල,යමල්ල යමල්ල ඔය මදෑ කියල අපිව ගෙදර එක්ක එනවනෙ,ඉතිං එහෙම එකේ හාපුරා කියල ටීටර් එකක චරිතෙකට නටන්න ලැබුණු එක කොයිතරං දෙයක්ද,මමනං හරි ආසාවෙන් තමයි ටීටර් පුරුදු වෙන්න ගියෙ.

කොහොමහරි දවස් මාස ගෙවිල ගිහිං අප්‍රියෙල් මාසෙත් ආව,තේමිස්ලගෙ ස්ටේජ් එක ගහන්න අපි පොඩි උං ටික ගිහිං පණ කඩාගෙන කොහුබත් ඇද්දා,ස්ටේජ් එක ගැහුවෙ අලවත්ත පාරෙ තිබුණු කොහු මෝලෙන් කොහුබත් ගෙනත් ගොඩ කරල ඒ උඩට ලෑලි දාලයි.

හැබැයි මොකක් හරි ප්‍රශ්ණයක් නිසා නියමිත දිනේට තේමිස්ලට ටීටර් එක නටාගන්න බැරුව ගියා.

පහුවදා අපේ ටීටර් එක...

ඔන්න අපි ටීටර් එක නටන දවසත් ආව,එදා උදේ අපි ඔක්කොමල මහින්දලගෙ ගෙදරට එකතු වුණේ අන්තිම මොහොතෙත් කරන්න වැඩ ගොඩක් තිබුණු හින්දයි,එතකොට වෙලාව උදේ එකොළහමාරට විතර ඇති.

පොඩ්ඩෙගෙ ලොකු කොල්ල ගුණසිංහ බයිසිකලේක ඇවිත් මාස්ටර්ට ලියුමක් ගෙනත් දීල යන්න ගියා.

කණ්නාඩියත් දාගෙන ලියුම කියවපු මාස්ටර් එතනම බිත්ති කණ්ඩිය උඩ වාඩිවුණා,ලියුම තේමිස්ගෙන්.

ඒ ගොල්ලන්ගෙ ටීටර් එක ඊයෙ නටාගන්න බැරිවුණුහින්දා අද අපේ ටීටර් එක නටන්න ස්ටේජ් එක දෙන්න බැරිලු,තේමිස් අස්සන් කරල ඒ ගොල්ලන්ගෙ කලා කවයෙ සීල් එකත් ගහල තිබුණා.









 

24 comments:

  1. ගංවල හැදිච්ච අපට මේ කියුං කෙරුං ටික කියවනකොට ඉබේම ඒ අතීතය සිහිවෙනවා.පුදුම මතකයක් රසබර ලියැවිල්ලක් හැලපේ...සුපිරිම තමා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින්

      Delete
  2. හොද තැනක් සොයා දුන් අටමාට ජය :)

    බලපං හිට් කවුන්ටරේ කෙලින් වෙලා තියෙන හැටි. ටෙන්ට් එක ගහල වගේ ;)

    ReplyDelete
    Replies
    1. අටම්ට තමයි සියලුම ගෞරවය ලැබෙන්න ඕනැ

      Delete
  3. ඉතින් පස්සේ දවසක නැටුද බොලාගේ ටීටර් එක

    ReplyDelete
  4. ඉතිං කියන්නනෙ තිබුණෙ ඔය ස්ටේජ් එක හදන්න අපිත් මහන්සි උනා කියල.

    ReplyDelete
    Replies
    1. කාට කියන්නද ප්‍රසන්න

      Delete
  5. බොහොම අපූරූ ලියවිල්ලක්.... මේ කතන්දර ටිකම උනත් ඇති පොතකට. බය නැතුව හොඳ ප්‍රකාශකයකු ළඟට යන්න.....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මාතලන්.... මේ කතා කරන විදිය මටත් අමුතුයි... ඒත් හරි ලස්සනයි.... අතරින් පතර ‌පොඩි පහේ අවුල් එනවා... පුට්බැලෝ සර්පිනාව කියන්නෙ කකුලෙන් හුලං ගහන එකක්ද, උරැමියාගේ නංගිට කරණං පරෙයියා කිව්වේ අයි... විජේසිංහට ඇයි අබ්දුල්ලා කිව්වේ... තුන් හුලස් ඉඩං වල පොදු ලිඳක් කපනවා ඇරෙන්න ගෙවල් හදන් නෑ නේද..... ඔය ප්‍රශ්න ඔක්කොම ආවා.... මං එහෙම නං පැයක් විතර ඕවා විස්තර කරලා වටේ යනවා... හි හි

      ඒ උනාට එක දිගටම කියවගෙන ගියා....

      Delete
    2. තව ටිකක් ලියල ඉමු නේද මාතලන්

      Delete
  6. රහට කියවන්න දෙයක් හොයල දුන්න අටම් අයියාට පින්. සුපිරි වචන..කතාව හිතේ ඇඳෙනවා. ඉතින් ටීටරේ පෙන්න ගන්න බැරි වුනාද ?

    ReplyDelete
  7. අපරාදේ ටීටර් එකට චාන්ස් එක නැතුව ගියා ද??

    ReplyDelete
  8. ඇත්තටම බං හැලපෙ, උඹ පොඩි කාලෙ ටීටර් කියලා ජාතියක් තිබුනද? හිතාගන්නත අමාරුයි. උඹට අවුරුදු අනූපහක් සීයක් වගේ වයස වෙන්න බෑ.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මොකද ඩුඩ් ,අපි පොඩි කාලෙ ටීටර් තිබුණ විතරක් නෙවෙයි අපි ටීටර් නැටුවත් එක්ක

      Delete
  9. අති විශිෂ්ටයි මහත්මයා .චේද , දෙබස් වෙන් කිරීම් හරියටම
    ගැලපෙනවා මැවෙන චිත්‍රය එක්ක. මෙහෙම ලියල , පිටු 200 වගේ
    පොතකට ප්‍රමාණවත් තරම් ආවහම මේක පල කරන්න කිසි බයක්
    නැතුව.හැබැයි නිකම්ම ඉන්න එපා ඊට පස්සේ.පුද්ගලිකව මේ ගැන ප්‍රචාරයක්
    මාධ්‍ය මගින් ලබා දෙන්න..ඔයාගේ නාන ලිඳේ කතාව තමයි මන් ඉස්සෙල්ලම
    කියෙව්වේ තනියම හොයන හොයන ඇවිත්.එදා ඉඳන් ආව ...
    2013 අවුරුද්දේ නව බලාපොරොත්තුවක් එක්ක ජීවිතේ
    ඔයාට ගෙනියන්න ලැබීම ගැන මටත් සතුටුයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සයිලන්ට් ශාන්,පොතකට ප්‍රමාණවත් වුණොත් අපි බලමු.

      Delete
  10. නියම පෝස්ට් එක....අපිවත් ඇදගෙන ගියා හැලපෙයා,සොඳුරු අතීතයට....

    අපේ ගමෙත් ඉස්සර ටීටර් කෙරුවාව හොඳට තිබුණා. මාටින් අයිය කියලා කෙනෙක් තමයි කළේ, පුහුණු වුනේ පොල් අතු මඩුවක,වටේම වහලා කොල්ලන්ගෙ ඇස් මට්ටමට ඉහළින් කවුලු තියලා තිබුනා, ඇතුළට එළිය වැටෙන්න...
    පුහුණුව හොරෙන් බලන්න ආපු කොළු කුරුට්ටො ඒක බල්න්න නෑයි කියලා නිකන් ඉන්නෙ නෑනෙ....වටේ තියෙන ගහකොළකට ආලපාළුවක්වත් නොකර....

    මේ දෙබස ඇහුනෙ ඒ වගේ පුහුණුවක් අවසන් වෙලා ලැබුණ කෙටි විවේකයකදී; මඩුව ඇතුලෙන්...

    පිරිමි හඩ(රජා)‍- කිමෙක්ද සොඳුරිය ඒ රූං රූං නාදේ..ඒ...?

    ගැහැණු හඩ(දේවිය)-තෙල පෙනෙන අඹ ගසට කොළු රෑන ගල් ගසන හඩනේ
    ස්වාමීනි....

    ReplyDelete
    Replies
    1. සුමිත්,අතීතය අතින් අල්ලල බදාගන්න තරමට සුන්දරයි,ඔබ මාව නැවතත් ඒ සොඳුරු අතීතයට ගෙනයනවා.

      Delete
  11. //වෙසක් එකට කැරොල් පුරුදු කරලා//

    වෙසක් එකට බැති ගී නෙවද ආයුබොවන් කියන්නෙ...

    ReplyDelete
    Replies
    1. සිරා,ඒ කාලෙ ඔය බැති ගී කතා තිබුණෙ නෑ,කැරොල් කියල තමයි කිව්වෙ,මතකද විරාගය චිත්‍රපටිය(1987)

      ඒකෙ සනත් ශ්‍රියාණි එක්ක වෙසක් කූඩු පත්තු කරන දර්ශනය වෙලාවෙ කැරොල් කණ්ඩායමක් ඇවිත් ගීතයක් කියන්නෙ,ඒක තමයි මුලු චිත්‍රපටියටම තිබුණු එකම ගීතය.

      Delete
  12. Mr.Halpe can u describe bit further just what Hiru said??? I would love to know the reasons too. ex: පුට්බැලෝ සර්පිනාව කියන්නෙ කකුලෙන් හුලං ගහන එකක්ද, උරැමියාගේ නංගිට කරණං පරෙයියා කිව්වේ අයි... විජේසිංහට ඇයි අබ්දුල්ලා කිව්වේ... It will make ur story more colourful. Anyway this is awesome and keep it up.

    ReplyDelete
    Replies
    1. Thank you Mr.Ano for your interest on the story.
      previously I made some clarification to hiroo to her questions.if you need more further I will do .

      Delete

ඔබේ අදහස්