Thursday, January 31, 2013

23.අතීතාවර්ජනය


අනූහයේ ජනවාරි තිස් එක,ඒ කියන්නෙ අදට අවුරුදු දාහතකට ඉස්සෙල්ල ,කාලය කොච්චර වේගයෙන් ගෙවිල යනවද.....එදා දවස නම් ජීවිතේ තියෙනතුරු අමතක කරන්න බැරිවෙයි.

ඔය කාලෙ මම වැඩකලේ වරායෙ..අපේ කන්තෝරුව තිබුණෙ බණ්ඩාරනායක ජැටියෙ.ජනවාරි තිස් එක් වෙනිදත් සුපුරුදු විදියට වැඩට ගිය මට  එදත් තවත් දවසක් විතරයි.

වෙලාව ගැන මට එච්චර මතකයක් නෑ(පස්සෙ සෝදිසි කරල බලපුවාම දවල් එකොළහට )මම තවත් යාලුවෙකුගෙ පුටුවක ඉඳගෙන හිටියෙ.

එකපාරටම තියුණු ශබ්ද තරංගයක් මගෙ එක කණකින් ඇතුල්වෙලා අනික් කණෙන් පිටවෙලා ගියා...මාව නිකං ඇලවෙලා ගියා වාගෙ.

ඒ සද්දෙ නං එච්චර හොඳ එකක් නෙවෙයි....ජුලියස් කියනව,

එතකොටම දොරෙන් එළියට ආපු මම දැක්කෙ ලංකා බැංකු බිල්ඩිමේ(පිට්ටු බම්බුවෙ )උඩම තට්ටුවල
ජනෙල්වල වීදුරු කෑලි එළියට වීසිවෙනව.

බෝම්බයක්ම තමයි.....කට්ටිය කතාවුණා..

අපි කට්ටියම එකවර ඒ පැත්තට යන්න පිටත්වුණා...

වරායෙ ලේඩන් බැස්ටියන් ගේට්ටුවෙන් අපි එළියට එනකොට පාර පිරිල සෙනග,යෝක් වීදියෙන් ජනාධිපති මාවත පැත්තට ඇදෙනව.

අන්තිමට වෙච්චි දේ ආරංචි වුණා...

මහ බැංකුවට බෝම්බ ගහල.....

මගෙ ඇඟ හීතල වෙලා ගියා,බිරිඳ උදේ වැඩට ආව නේද...

අපි අඩිය ඉක්මන් කරල ඒ පැත්තට ගියා,ඔරලෝසු කණුව පහුකරල වැඩිදුරක් යන්න වුණේ නෑ,පාර වහල....

මහ බැංකුවයි ඒ ඉස්සරහ තියෙන සෙලින්කෝ බිල්ඩිමයි හෝ ගාල ගිනි ගන්නව,ගිනි දළු බුර බුරා නැගෙනව.

ගිනි නිවන හමුදාවයි එයාපෝස් හෙලිකොප්ටර් වලිනුයි වතුර ගහනව,
ඇම්බියුලන්ස් රතු එළි පත්තුකරගෙන කෑගහනව,එකම කලබැගෑනියයි.

ඔන්න ඔය වෙලාවෙම වැස්සකුත් ඇදහැලුනා.

අති විශාල කම්පනයක් ඇතිවුණාම එහෙම වැහි වැටෙනව,

කවුරුවක්වත් දන්න කෙනෙක් හොයාගන්න නෑ,ආපහු යමු...අපි කතාවුණා.

ඉස්පිරිතාලෙට ගිහින් බලන්න...තව කවුද කෙනෙක් කිව්වා.

කට්ටියම ආපහු ඔෆිස් එකට ඇවිත් අපේ ලොක්කගෙ පරණ කැබ් එකේ නැගල ඉස්පිරිතාලෙට යන්න පිටත්වුණා.

මග දිගටම ට්‍රැපික්...හරිම අමාරුවෙන් විනාඩි හතළිස්පහකට විතර පස්සෙ පුංචි බොරැල්ලට ආව.
මම එතනින් බැහැල ඉස්පිරිතාලෙට යන්න පිටත්වුණා,ලොක්ක එයාගෙ ළමයි බලන්න නාලන්දෙට ගියා,එයාට ඉන්නෙ තුන් නිවුන් දරුවො,කොල්ලොම තුන්දෙනෙක්.

ඉස්පිරිතාලෙට යන්න ගියාට ලඟටවත් යන්න බෑ සෙනග සේනාව ඊස් මීස් නෑ.ඉස්පිරිතාලෙ ගේට්ටු ඔක්කොම වහල,ඇම්බියුලන්ස් කෑ ගහගෙන තුවාල කාරයින්ව ගේනව.ගේට්ටුව ලඟ නවත්තන ඇම්බියුලන්ස් වලට සෙනග කඩාවදිනව තමන්ගෙ ඥාතිය හිතවතා ඉන්නවද බලන්න.

ඔය අස්සෙ හිරවෙන්න බැරිනිසා මම පොඩ්ඩක් පැත්තකට වෙලා හිටියෙ,එතකොට තමයි නිමල් එනව දැක්කෙ,අපි දෙන්නම එකතුවෙලා ගේට්ටුව ලඟට ගියා.ගේට්ටුව ගාව ප්‍රියන්ත අඬ අඬා ඉන්නව ප්‍රියන්තගෙ බිරිඳත් වැඩ කරන්නෙ මහ බැංකුවෙ.

ඉස්සරහටම යනකොට පොඩි ගේට්ටුවක් ලඟ රාජපක්ෂ ඉන්නව.රාජා අපිත් එක්ක කෝච්චියෙ යන එන එකෙක්,වැඩ කරන්නෙ එම් ආර් අයි එකේ.
 උඹල එනකං තමයි බලාගෙන හිටියෙ .....කියපු රාජා අපි දෙන්නව ඇතුළට ගත්ත.කොරිඩෝ දිගේ අපිව එක්කං ගියපු රාජා එක තැනක නැවතිලා කිව්ව,

ගෙනාපු බොඩීස් ඔක්කොම මෙතනයි තියෙන්නෙ,විකෘතිවෙලා නම් මූණෙන් අඳුනා ගන්න බැරිවෙයි.....උදේ ඇඳන් ආපු ඇඳුම මතකනෙ...එහෙමවත් අඳුනගන්න බලන්න....කියල.

නිමල් ගත් කටටම කිව්ව ..

අනේ.. මටනම් බෑ ඔයාම ගිහිං බලන්න කියල...

මටත් මොකද්ද වගේ,ඒත් මොනව කරන්නද...කවදද හිතුවෙ තමන්ගෙ ආදරණීයයන්ගෙ කැඩුණු බිඳුනු සිරුරු ඉස්පිරිතාලෙකදි හොයාගන්න වෙයි කියල...

මෙහෙම කාලකණ්ණි අවස්ථාවකට මම මූණ දුන්නමයි,ඉස්සර ඉස්පිරිතාලෙ වැඩ කරන කාලෙ නං කපල දාපු මළසිරුරක් පැත්තකින් තියාගෙන කෑම කන්න වුණත් පුලුවනි.එච්චරට හිත ගල්වෙලා තිබුණෙ,ඒත් කාලයාගේ ඇවෑමෙන් ආපහු හිත මෘදුවෙලා...

දැන් කරන්න දෙයක් නෑ...යථාර්ථයට මූණ දෙන්න එපායැ...මම හිත තද කරගෙන ඇතුළට ගියා.

අනේ සංසාරේ කියල මට හිතුණ...උදේ ගෙවල්වලින් සතුටින් පිටවෙච්චි අය නේද මේ...

කහපාට පොලිතීන් වලින් ඔතපු සිරුරු කෙහෙල් කඳන් වගේ බිම පෝලිමට දාල තියෙනව.

 මළ සිරුරු එකක් නෑර මම හොඳින් බැලුව...ම්හ්..දන්න කවුරුවත් නෑ.

අපි එතනින් පිටත් වෙලා ඉස්පිරිතාලෙ ඔෆිස් එක ළඟට එනකොට ශ්‍රියාණි එතන ඉන්නව,
මාව දැකපු ශ්‍රියාණි කිව්ව...

පොඩ්ඩක් ඉන්න,තව ටිකකින් තුවාල කාරයන්ගෙ ලිස්ට් එක බෝඩ් එකට දානව කියල...
එයාම ඇතුළට ගිහිං ඒ ලිස්ට් එකත් අරගෙන ආව.

ඒකෙත් කාගෙවත් දන්න අයගෙ නම් නෑ...

අපිට දැන් ටිකක් හිතට හොඳයි...

 ඔන්න එතකොට රූපෙත් අපි ඉදිරියට ආව,රූපය කියනව තව කට්ටියක් උඩ තට්ටුවෙ කොටුවෙලා ඉන්නවලු...ඒ ගොල්ලන්ව හෙලිකොප්ටර්වලින් බේරගන්න හදනව කියල.



අපිට මොකුත් හිතාගන්න බෑ,දැන් හවස හතරත් පහුවෙලා...උදේ එකොළහට පිටත් වුණු ගමනනෙ.

අපි ඇස්වාට්ටුවට ඇවිත් කොටුවට එන්නයි හැදුවෙ.බැලුවහම කොටුවට ඇතුල්වෙන්න බෑ..පාරවල් වහල
ඒ ගමන බස් එකක කොම්පඤ්ඤ වීදිය ඉස්ටේෂමට ගිහිං අපි වෙනදට යන කෝච්චිය අල්ල ගත්ත.

 අපිත් එක්ක වෙනදට යන කට්ටිය ඔක්කොම කොටුවෙන් මරදානෙන් නැග්ගට වෙනද තියෙන සතුටු සාමීචි එදා තිබුනෙ නෑ.

සද්ද නැතුව ඇවිත් අපේ ඉස්ටේෂමෙන් බැස්සහම රැවුලා මාව උගෙ සයිකලේ දාගෙන ගෙදර එක්කං ගියා.
නිමල් බස් එකේ නැගල ගෙදර ගියා.

සයිකලේ වත්තට ඇතුල්වෙනකොටම මම දැක්කෙ සුන්දර දර්ශනයක්...බිරිඳ පුතත් වඩාගෙන මිදුලෙ ඉන්නව.

වෙච්චි විස්තරේ පස්සෙයි දැනගත්තෙ...

බැංකුවෙ බිරිඳ වැඩකරපු බැංකු සංවර්ධන දෙපාර්තමේන්තුව තිබුණෙ සෙලින්කෝ බිල්ඩිමේ තට්ටුවක, සිද්ධියට පැය බාගෙකට විතර කලින් ඇය බැංකුවට ගිහිල්ල තිබුණා මට අවශ්‍ය කරපු ලියවිල්ලක් හදාගන්නත් එක්ක.
ආපහු එනකොට බැංකුව ඉස්සරහ හිටපු ඇය අඳුනන ආරක්ෂක නිළධාරියෙක් එක්කත් කතා කරල පාර පැනපු ඇය ආපහු දෙපාර්තමේන්තුවට ඇවිත් තිබුණා.
ඊට මොහොතකට පස්සෙ අර ආරක්ෂක නිළධාරියව වෙඩි තියල මරල දැම්ම.ඔහු තමයි බැංකු බෝම්බයේ පළවෙනි බිල්ල.
බෝම්බය පුපුරද්දි බිරිඳ කොරිඩෝවක ගමන් කරමින් ඉඳල තියෙන්නෙ.බෝම්බෙත් එක්කම ඇය එතනම බිම ඇද වැටිල කොරිඩෝවෙ බිත්ති ඔක්කොමත් ඇයගෙ ඇඟ උඩට කඩන් වැටිල, ඒ පාටිෂන් හාඩ්බෝඩ් වලින් හදල තිබ්බ නිසා හානියක් නෑ.

 ඇගේ අල්ලෙ වීදුරු කෑල්ලකට කැපුණු පොඩි තුවාලයක් තිබුණ එච්චරයි.හැබැයි ඒ වෙලාවෙ අංශයේ වැඩකරමින් හිටපු අයට නම් ගොඩක් හානි සිදුවෙලා,වැඩියත්ම සද්දෙ මොකක්ද කියල බලන්න ජනෙල් ලඟට ගිය අයගෙ ඇස් වීදුරු කෑලිවලට තුවාල වෙලා,පිපිරීම් දෙකක්  සිද්ද වුණානෙ.

කට්ටියම එකතු කරගෙන තුවාල කාරයන්වත් වත්තන් කරගෙන පසුපස තිබුණු හදිසි දොරටුවෙන් පිටත් වෙනකොට ඒ හරියටත් ගින්න පැතිරෙමින් තිබුණලු.

ඉක්මණින් පහළට බැහැගත්තට  බිරිඳට පෙනිල තියෙනව හිටපු එක්කෙනෙක් අඩුයි කියල.ඇය කෑගහල..අනේ..මැණිකෙ නෑනෙ කියල.

 ඒ ගමන තවත් කීපදෙනෙක් එක්ක ආපහු ඇය උඩට නැගල බැලුවාම හොඳටම තුවාල වුණු මැණිකෙ ලේ පෙරාගෙන සුන් බුන් ගොඩක් මැද වැටිල ඉන්නවලු.කොහොමහරි ඇයත් අරගෙන කට්ටිය පහළට බැහැල තියෙන්නෙ ගිණිදැල් මැදින්.ඒකට නම් උඩට ගිය අයට වීරත්වයට පිරිනැමෙන සහතිකත් හම්බවෙලා තිබුණ.

කෙළින්ම ඉස්ටේෂන් එකට කට්ටියත් එක්ක ආපු ඇය තිබුණු කෝච්චියක නැගල ගෙදර ඇවිත්.

දැන් කට්ටිය කියයි ඇයි කෝල් එකක්වත් දෙන්න තිබ්බනෙ කියල,බෝම්බෙත් එක්කම පැත්තෙම ටෙලිපෝන් අවුට් ගියා,ජංගම දුරකතන කියන දේ ඒ කාලෙ අහල තිබුණ විතරයි ඒකත් සුඛෝපබෝගී භාණ්ඩයක්.

ඒ දවස් ටිකේම අපි මළගෙවල් වල ගියා.

බිරිඳ බලන්න ගෙදරට ආපු කට්ටිය කොච්චරක්ද කිව්වොත් හකුරුයි කහටයි විතරක් දුන්නත් රුපියල් දාස් ගානක් යනතරම්.

 එදා නම් මට ජීවිතේ ගැන පුදුම කළකිරීමක් ඇතිවුනේ,ජීවත්වෙනව කියල අපි මොනවද මේ කරන්නෙ ඔක්කොම විහිළුවක් නේද කියලයි මට නම් හිතුනෙ.

එදා ඒ ඇතිවුණු කළකිරීම නැතිවුනේ නැහැ.

ජීවිතය දිහා මනුෂ්‍යයන් දිහා ඒ ගොල්ලො කරන නානාප්‍රකාර විකාර වැඩ දිහා අදටත් ඉතාම උපේක්ෂාවෙන් බලාඉන්න ඒ අත්දැකීම මගේ ජීවිතයට මහඟු පිටුවහලක් වුණා කියලයි මට නම් හිතෙන්නෙ.

Saturday, January 26, 2013

22.මට හිතෙන හැටි


අපේ බ්ලොග් අවකාශයේ ආදරණීය හිතවතුන් හිතවතියන් කීප දෙනෙක්ම බොහෝවිට කියපු දෙයක් තමයි මම ලියපු කතාවල බීම හරි වැඩියි,බොන එක නැත්නම් කතා හොඳයි,දිගටම ලියන්නෙ බොන කතා, චික් විතරක්...ආදී වශයෙන්

ලියන්න හිටපු කතාවත් පැත්තකට දාල මේ ලිපිය ලියන්නෙ පැහැදිලි කිරීමක් කරන්න සහ ඔබගේ අදහස් බලාපොරොත්තුවෙන්...
අපි අරගෙන බැලුවොත් කොහොමද මම ලියපු කතාවලින් බේබදුකම හෙවත් බීම අයින් කරන්නෙ කියල,ඔය කතා එකක්වත් මම ප්‍රබන්ධ කරපුව නෙවෙයි,අකුරක් ගානෙ ඇත්ත, ඉතිං සිද්ද වෙච්චි දේවල් මම කොහොමද නැතිකරන්නෙ? මට පුළුවන්ද ඉතිහාසය මකල දාන්න? හොඳයි දැන් බලමු එහෙම කළොත් මොකද වෙන්නෙ කියල.
බීපු හින්ද තමයි කතාවෙ ඉන්න පුද්ගලය ඒ විදියට හැසිරෙන්නෙ සහ කතා කරන්නෙ,ඒ නිසාම තමයි එතන කතාවක් තියෙන්නෙ.එහෙම නැත්නම් කෝ කතාවක්?

ඇත්ත තමයි,කාන්තාවො බීම සහ බොන මිනිස්සුන්ව තදින් පිළිකුල් කරනව සහ ප්‍රතික්ෂේප කරනව,ඔවුන් කැමති සුරාව නැති ලොවක් දකින්නයි.නමුත් ඉතිං ප්‍රායෝගිකව ඒ දේ සිද්ද වෙනවද?ඔයාල කොච්චර ඒ ගැන වෛරයෙන් හිටියත් සුරාව තාම නිදැල්ලේ ගලා යනව නේද ඒක නේද සත්‍යය?

පොඩ්ඩක් කල්පනා කරන්න තමන් ඉන්න පටු සීමාවන්ගෙන් එළියට ගිහිං.

මේ ලෝකෙ ගොඩක් දේවල් සාපේක්ෂයි,නිරපේක්ෂ දේවල් ඇත්තෙම නැති තරම්.හොඳ කියල දෙයක් තියෙන්නෙ නරක තිබෙන නිසා,ලස්සන තියෙන්නෙ අවලස්සන තිබෙන නිසා,දුක නැත්නම් සැප කියල දෙයක් නැහැ.මේ ඔක්කොම වචන පමණයි.
ඔය වචනවල තේරුමත් නිත්‍යද? නැහැනෙ,පොඩි උදාහරණයක් අරගෙන බැලුවොත් කොළඹට එවපු බෝම්බයක් පිපුරුණානම් ප්‍රභාකරන්ට හොඳයි,අපිට නරකයි.පිපුරුණේ නැතිනම් අපට හොඳයි ප්‍රභාකරන්ට නරකයි.ඒ වගේනෙ පුද්ගලයගෙ ආකල්ප අනුවනෙ.

 දැන් සැප කියන එක අරගෙන බැලුවොත් ඔබ ඔබේ උඩුමහලෙ සඳළුතලේ හාන්සි පුටුවකට වෙලා පොතක් කියවනව,ඔබගෙ ගෙදරට ඉස්සරහ වත්තෙ පොල් අතුවහපු කටුමැටි ගේක ලණු ඇඳ උඩ දිගාවෙලා ඉන්න මනුස්සය හිතනව ඔබ හරි සැපක් විඳිනව කියල,නමුත් අර මනුස්සය ඉන්න ලණු ඇඳට යන්න ඔබේ හිත හඬා වැටෙනව වෙන්න පුළුවන්,එතකොට මොකක්ද සැප කියන්නෙ?ඒ නිසා පොඩ්ඩක් හිතන්න.

සම්පූර්ණයෙන්ම සුදු චරිතත්,සම්පූර්ණ කළු චරිතත් තිබුණෙ පියදාස සිරිසේන මහත්තයගෙ නවකථා වලත් බී.ඒ.ඩබ්.ජයමාන්න ආදී මහත්වරුන්ගෙ චිත්‍රපටිවලත්විතරයි.ආ තව බැඳපු නැති කෙල්ලන්ගෙ සිහින ලෝකවලයි.
 එහෙම නැත්නම් අද ජීවත්වන හැම පුද්ගලයා තුළම දෙවියන් සහ යක්ෂයා දෙන්නම ජීවත් වෙනව,යෙදෙන අවස්ථාව අනුව තමයි තීරණය වෙන්නෙ යක්ෂයාද දෙවියන්ද බලවත් වෙන්නෙ කියල.

ආයෙම ලේබල් ගහනව වල් කියල,ඒ කතාව වල්,ඒ චිත්‍රපටිය වල්,ඒ පුද්ගලය වල් ආදී වශයෙන් මොකක්ද මේ?අපි පුරුදුවෙලා ඉන්නෙ ලිංගිකත්වය කියන එක ජීවිතයෙන් වෙන් කරල අරගෙන අයින් කරල අරන් නොවිය යුතු දෙයක් හැටියට හෙළා දකින්න අපහාස කරන්න හරියට ලොකු වරදක් කළාවගේ.

අපි හිතන්නෙ නෑ ලිංගිකත්වයත් ඔය අපි කනව බොනව නිදනව  වගේ අපේ ජීවිතයට අත්‍යාවශ්‍ය තවත් එක් අංගයක් කියල.
 නමුත් ඒක තමයි ඇත්ත අපි ඕනැවට වඩා ශීලාචාර වෙන්න හදනව,ඔය ශීලාචාරකම කොච්චරද කිව්වොත් සැරයක් ඉන්ග්මාර් බර්ග්මාන් කියන මහා සිනමාකරුවගෙ චිත්‍රපටිවල තිබුණු ලිංගික දර්ශනත් කපන්න හැදුවනෙ අපේ රටේ සිනමා  විශාරදයො ඔය බර්ග්මාන්ගෙ චිත්‍රපටි උළෙලක් වෙලාවක.

මොකද මේ වෙන්නෙ,අපි බලෙන් මිනිස්සු ශීලාචාර කරන්න යනව,පොලිසිය ලවා බලෙන් මිනිස්සුන්ට සිල් ගන්නවන්න හදනව.මේව කරල මිනිස්සු හදන්න පුළුවන් කියල හිතනවද?හරියට රබර් බෝලෙ දියයට ඔබාගෙන ඉන්නව වගෙ නේද?අපිත් පුරුදුවෙලා ඉන්නෙ ඒ නීතිවලටම අනුගතවෙලා ජීවත්වෙන්න සහ කතාකරන්න නේද?කවදද අපි අපේ ආකල්ප වෙනස් කරගන්නෙ?

 ඔය අපිට මහ ඉහළින් කතාකරන්න තියෙන ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය අවුරුදු දහස් ගණනකට පස්සෙ අපිව කොතනටද ගෙනල්ල  තියෙන්නෙ?හවස හයෙන් හතෙන් පස්සෙ කාන්තාවකට තනියම පාරෙ බැහැල යන්න පුළුවනිද අද අපේ රටේ?ඔන්න ආසන්නතම උදාහරණය වාර්තා වෙලා තියෙනව පෙරේදද කොහෙද විජේරාමෙන්.

මේ වෙලාවෙ මට මගේම අත්දැකීමක් සිහියට එනව,ඔන්න අවුරුදු දෙකතුනකට පෙර එක හවස් වරුවක මම කටුනායක ඇවරිවත්ත බස් ස්ටෑන්ඩ් එකේ පෝලිමේ ඉන්නව බසයක් එනතුරු.තියෙන බස් එක පිරිල පිටත්වෙන්න ආසන්නයි,හිටගෙන යන්න නම් පුළුවනි,හිටගෙන යන්න කම්මැලි නිසා යන අයට මාව පහුකරල යන්න දීල මම බලාගෙන හිටිය අනික් බස් එක එන තුරු.දැන් අඳුරත් වැටීගෙන එනව.

 ඔන්න මේ වෙලාවෙ හොඳින් පිළිවෙලකට ඇඳ පැළඳ ගත්තු එක සිහින් යුවතියක් බස් පෝලිමට ආව,ඇය වෙළඳ කලාපයෙ වැඩ කරන කෙනෙක් නොවන බවත් වෙන කොහේ හෝ උත්සවයකට ගිහින් තනිවම ආපසු යන බවත් මා බැලූ බැල්මටම තේරුම් ගත්ත.

ඇය හිටියෙ මඳක් කැළඹීමකින්දෝ කියලත් මට මොහොතකට හිතුණා,නැවතී මොහොතක් වටපිට බැලූ ඇය කෙලින්ම මගෙ ලඟට ඇවිත් කතාකලා.

ඇයට නුවරට යන්න අවශ්‍ය බවත් බස් එකක් තියේද යන බවත් ඈ මගෙන් අහනව බොහොම හිතවත් විදියට.
 මම කිව්ව නුවර යන බස් එකක් දැන් එන්නට නියමිතයි,එහෙම නැතිනම් මේ බස් එකේ නිට්ටඹුවට ගියත් නුවරට යන බස් එකක් අල්ලගන්න පුළුවනි කියල.

ඇය මා සමග දිගින් දිගටම කරන මේ කතාවට මම එච්චර සැළකිල්ලකින් උත්තර නොදුන්නත් මා නොදැන සිටි පිපාසිත නෙත් යුගල ගණනාවක් ඇය දෙසට යොමුවී ඇති බව මට වඩා ඉතා විශිෂ්ට ප්‍රායෝගික ඥාණයකින් හෙබි ඇය හොඳින් දැනගෙන හිටියා.

ඔය කතාව අතරේ බස් පොළට ආපු නුවර බසය මා ඇයට දැක්වූ විට ඇය දුවගෙන ගිහින් බසයට නැගගත්තා.
 ඇය එවෙලේ මුහුණදී තිබුණු අවස්ථාව අනුව ඇයට විශ්වාසය තැබිය හැකි එතන සිටි එකම පිරිමියා හැටියට කෙළින්ම මා ළඟට ඇවිත් කතාකලේ අවස්ථාවේහැටියට ඇයට ගතහැකි හොඳම ආරක්ෂක ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමක් වශයෙන් බව මට තේරුම් ගියේ බොහෝ පසුවයි.

කියාගෙන ආපු කතාව වටේ ගියා,ඉතිං මට කියාගන්න ඕනැවෙලා තිබුණෙ හොඳ හෝ නරක සහ හරි වැරැද්ද තීරණය වෙන්නෙ අවස්ථාව  අනුව මිසක් එය සදාකාලික නියමයක් වශයෙන් පවතින දෙයක් නොවන බවයි.
රස සහ වස කියල දෙයකුත් නැති බව මහා ගත්කරු ඇලෙක්සැන්ඩර් ඩූමාගෙ කවුන්ට් ඔෆ් මොන්ත ක්‍රිස්තෝ නවකතාවෙ කියවෙනවා.
එක් අවස්ථාවකදී මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා පැරීසියෙ ප්‍රධාන රාජ චෝදක විල්පෝර්ගෙ බිරිඳ වන එලොවයිස් ද විල්පෝර්ට කියන විදියට...
 මැතිණිය..රසඥයෙකුට වස කියල දෙයක් නැහැ..එය ඖෂධයක් පමණයි..කියල.
තවත් තැනකදී ඔහු කියනව,
මෙයින් එක බිංදුවක් ජීවිතය බේරන මහඟු ඖෂධයක් වුණාට බිංදු දෙකක් මාරාත්මකයි.... කියල

ඉතිං රස සහ වස තීරණය වෙන්නෙත් නිරපේක්ෂව නොවෙයි සාපේක්ෂව ප්‍රමාණය අනුවයි.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මගේ කතාත් ඒ වගෙයි,සුද්ද කරල පෙරල හොඳ විතරක් අරං ලියන ඒව නෙවේ කියලයි,මා කතාව කියන්නෙක් පමණයි.

මට මතකයි මා සහභාගි වු විවාහ මංගල උත්සව පූජාවක් කතෝලික පල්ලියක තිබුණු,
පියතුමා මනාලියට ඇයගේ ක්‍රිස්තියානි නමින් අමතා කීවා...
......ඔබ අද මේ සිටින(මනාලයාගේ ක්‍රිස්තියානි නම කියා)ස්වාමිපුරුෂයා වශයෙන් භාරගතයුත්තේ ඔහුගේ හොඳ පමණක් නොව නරකද සමගමය.....කියල.
මනාලයාටත් මනාලිය ගැන ඒ කතාවම පියතුමා කීවා.
 

මගේ කතා දිහාත් ඒ විදියට බලන්න කියල ඉල්ලන්නෙ ඉතාම ආදරයෙන්.
 

මා ඉහත කියා ඇති දේවල් ගැන සංවාදයක් ඇතිවෙනවා නම් මා ඉතා සතුටුයි.

හෙට ගම්පහදී පැවැත්වෙන ගෙට්ටුවට මගේ සුබ පැතුම්....!!!!

Thursday, January 24, 2013

21.ගං කුකුළා


අපි කුවින්ටස් කියල කිව්වට උගෙ නියම නම වෙන එකක්,දහ අටේ චූටිංගෙ පුතෙක් අපට වැඩියෙ ගොඩක් වයසින් අඩු වුණාට අපේ  හොඳම යාළුවෙක්.
අපි ඔය හැත්තැ ගණංවල ට්‍රිප් යද්දි කුවින්ටස් පොඩි  එකා කාගෙ හරි ගානෙ ඌත් අපි එක්ක ට්‍රිප් එක යනව.
කුවින්ටස්ට බැරි වැඩක් නෑ,මේසන් වැඩ,වඩු වැඩ,පයිප්ප වැඩ,පින්තාරු වැඩ,ටිංකරිං ගැරේජ් වැඩ මේ එකක්වත් අමුතුවෙන් ඉගෙනගෙන නෙවෙයි,උපතින්ම ගෙනාපු හැකියාවක්, ජැක් ඔෆ් ඕල් ට්‍රේඩ්ස් වගෙ බැරි වැඩකුත් නෑ නොකරන වැඩකුත් නෑ අතේ සතෙත් නෑ.
අපි ඔය ගමේ කරන එක එක වැඩ කටයුතුවලදී අපට මුළු හදවතින්ම සහයෝගය දෙන කෙනෙක් තමයි කුවින්ටස්.
කුවින්ටස්ල අපි එකතුවෙලා කරපු මුල්ම දේවල් හැටියට මට මතක තියෙන්නෙ අලුත් අවුරුදු උත්සවයක් අපි කියන්නෙ බක් මහ උළෙල කියලනෙ,කාලය ගැනනම් මගෙ මතකය අවදි වෙන්නෙ නෑ.

ඔය මම කියන බක් මහ උළෙල තිබුණෙ ගමේ වෙල් යායෙ,ඒ කාලෙ අපට පිට්ටනියක් තිබුනෙ නැති නිසා.වෙලක අවුරුදු උත්සවයක් පවත්වනව කියන එකත් ලොකු අභියෝගයක්.වේදිකාවක් ගහන්නත් ඕනැනෙ විශාල ශ්‍රම සහභාගිත්වයක් අවශ්‍යවෙලා තිබුණ.

කුවින්ටස් ඇතුළු තරුණ කණ්ඩායම අපට විශාල සහයෝගයක් දුන්න පොල් කොට හිටවල වෙලට උඩින් වේදිකාව හැදුවෙ පොල් පරාල හරහට දාල ඒ විතරක් නෙවෙයි පාරෙ ඉඳල වේදිකාවට එන්න ඇළ හරහට අලංකාර පාලමකුත් දැම්ම.

ඔන්න බක්මහ උළෙලට කලින් දවසෙ රෑ අපි ඔක්කොම වෙලේ වැඩ යමරෙට කට්ටිය පනහක් විතර, ඔය කුවින්ටස්ල නං මොනවද මන්ද කටේ ගාගෙන වැඩ කලාට කෑම ගැන කාටවත් ගාණක් නෑ.
ඒ වුණාට වැඩ කරන උන්ට කන්න දෙන්නත් එපෑ,එතනම තියෙන අමරෙගෙ ගේ පිටිපස්සෙ ලිපක් බැඳගෙන ඕනැකරන බඩුටිකත් ළංකරගත්ත මම කට්ටියට කන්න රොටී හදන්න ගත්ත.

 මම පුච්චන රොටී ඔක්කොම දැන් බයිට් එකට යනව අර උඹල කියනව වගේ නෙවෙයි මේකට කියන්න වෙන්නෙ ඩයිට් එක බයිට් එක වෙනව කියල නේද.දැන් පිටිත් ඉවරයි පොලුත් ඉවරයි රොටිත් නෑ.
තව පිටි ටිකක් නං ගෙන්න ගත්තට පොල් හොයන්න එපෑ,ඒ වැඩේ පට ගාල බාරගත්තු කුවින්ටස් කට්ටියත් එක්ක අලවත්ත පැත්තට පිටත්වුණා.
කට්ටිය නං කියන්නෙ ඕකා ගහකට නැග්ගහම ඇට්ටි ටික ඇරෙන්න අනිත් ඔක්කොම කපල බිමට දානවනෙ කියල.
ඔන්න කට්ටිය අරගෙන ආපු පොලුත් ගාගෙන ආපහු වැඩේ පටං ගත්ත,ආයෙමත් කළින් සෙතේමයි හදන රොටී කොහෙ යනවද නෑ.

වැඩේ දැන් මටත් ඇතිවුණා.උඹලම හදාගනිල්ල කියපු මම පැත්තකට ගියා.එතන ඉඳන් රොටී බාස් වෙලා තියෙන්නෙ කුවින්ටස්,පිටි අනන්න ලෑස්තිවෙලා ගාපු පොල් ටිකේ තිබිල කුරුවල් වෙච්චි ගෙඩියකුත්,කට්ටිය  නරක් වෙච්චි ටික අයින් කරල දාමු කිව්වට
නෑ නෑ ඔය ටිකත් දාපං ......කිව්වලු කුවින්ට.
හොඳ පොලුයි කුණු පොලුයි එකට දාල පිටි අනපු කුවින්ටස් රොටී තුනී කරල තියෙන්නෙ එතනම බිම වැල්ලෙ
ඔය විදියට හදපු රොටී කවුරු කෑවද කියලනං මම දැක්කෙ නෑ හැබැයි මටනං එදා රෑට කන්න නෑ.
 පහුවදා බක්මහ උළෙලෙ විකට ඇඳුම් තරඟය වෙලාවත් ආව.ඒවෙනකොටත් හොඳ ගණනට අරගෙන හිටපු කුවින්ටට කොල්ලො යකෙකුට අන්දවල,මුළු ඇඟේම කළුපාට ගාල කට දෙපැත්තෙ දළ දෙකකුත් ගහල, දැන් විකට ඇඳුම් තරඟය කියල නිවේදනය කරපුවාම අමාරුවෙන් හංගගෙන හිටපු කුවින්ටසාව කොල්ලො ටික ගෙනත් වෙලට දැම්ම.
හරි සිහියක් නැති කුවින්ට දැන් වෙල පුරා දුවනව,වළං කඩේට පැන්න ගොනා වගේ.අනේ තරඟකරුවො තරඟකාරියො වෙළේ සී සී කඩ කුවින්ට වෙළපුරා දුවන්නෙ නාලාගිරිය වගේ.හැම අවුරුද්දෙම විකට ඇඳුම් තරඟයෙන් පළවෙනි තැන ගන්න ජයතුංග එදා ඇඳල හිටියෙ කනා වෙළෙන්දට,කදකුත් කරේ තියාගෙන අමුතු ලතාවකට හරහට අඩිය තියමින් කාළෙකට ඉස්සර අපේ ගමට ආපු කනා වෙළෙන්දගෙ චරිතය දැන් ජයතුංගත් කදක් කරේ තියාගෙන අපූරුවට රඟ දක්වමින් වෙළේ රවුම යනව.
සිහියක් පොතක් නැති කුවින්ට ඒ ගමන ජයතුංග පස්සෙ එලවන්න ගත්ත ඇඟට පනින්න,ජයතුංගයත් කද කරේ තියන් කුවින්ටො තෝ මරනව ඇඟට පැන්නොත් කිය කිය දුවනව කනා වෙළෙන්දගෙ කොරේ පැත්තකට දාල.

හරිම අමාරුවෙන් තමයි උගෙන් බේරිලා තරඟය ඉවරකරගත්තෙ.

ඔන්න ආයෙමත් ඊට පස්සෙ අවුරුද්දක බක්මහ උළෙලක් ඉවරවුණු වෙලාවෙ මමයි වෙනුජයි පාරෙ කතා කරකර ඉන්නව,අපිට හරිම තෙහෙට්ටුයි උදේ ඉඳලම මහන්සි වෙලා.ඔන්න කුවින්ටස් අපිළඟට ආව හොඳටම බීල,

රෑ සංගීතෙට මොකද කරන්නෙ....මූ අහනව,

තාම මොකුත් නෑ මොනව හරි කරගන්න ඕනැ.....වෙනුජ කිව්ව,

හරි කරමු....මොනවද මම කරන්න ඕනැ...කුවින්ට අහනව,

අපට ගං කුකුළෙක් හොයාගන්න බැරිවෙයිද බයිට් එකට කඩේ ෆ්‍රිජ්වලින් 

ගන්න එවුන් කිසිම රසක් නෑ අල කෑලි වාගෙ....මම කිව්ව,

හරි මම හොයල දෙන්නං...කුවින්ට පැනල කිව්ව.

පුෂ් බයිසිකලේක නැගපු අපි දෙන්න කුවින්ටස් පස්සෙන් ගියා,දහ අටෙන් වමට හැරිල පන්සල ගාවින් ඇතුළට හෙන දුරක් ගියපු කුවින්ටස් වත්තකට ඇතුල්වුණා,එළියෙ ළිඳ ළඟ කවුද මනුස්සයෙක් නානව,දැන් ගොම්මන් වෙලාව ලාවට අඳුර වැටීගන එනව.

අපට කුකුළෙක් ගන්න පුලුවනිද...කුවින්ටස් අර මනුස්සයගෙන් ඇහුව

අනේ...කුකුල්ලු ටික විකුණල කොයි කාලෙද....ඊට පස්සෙ හැදුවෙත් නෑනෙ...මනුස්සය කිව්ව

වෙන්ඩ බෑ...වෙන්ඩ බෑ...ළඟදිත් මම දැක්කනෙ ...කුවින්ට අත අරින්නෙම නෑ වෙරි මරගාතෙ,

නැති කුකුල්ලු අර මිනිහ කොහෙන් හොයන්නද,මේකා ඌට බනිනව

මට බොරු කරන්න තමුසෙට බෑ...නිකන්ද ඕයි සල්ලිවලටනෙ ඉල්ලන්නෙ...දෙනවකො කුකුළෙක්..

මේකත් එක්ක කතා කරල වැඩක් නැති බව තේරුම් ගත්තු ගෙදර මිනිහ සද්ද නැතුව නානව,

වෙනුජයි මමයි පැත්තකට වෙලා හිනාවෙවී මේ දෙන්නගෙ කතාව අහගෙන ඉන්නව කුවින්ට වෙරිපිට ටොප් කතා කියන්නෙ,ඒ හින්දම අපටත් ඌව එතනින් අරගෙන යන්න හිතක් නෑ ....මරු කතානෙ මූ කියන්නෙ.

 එහෙනම් තමුසෙ ළඟ කුකුල්ලු ඇත්තෙම නෑ නේද...කුවින්ටස් අහනකොටම පට පට පට ගාල තටු ගහපු සතෙක් එතන තිබුණු දෙල්ගහේ අත්තක වැහුව.

ආ..ආ  ඒ මොකාද ඒ මොකාද..ඔය ඉන්නෙ නෑ කියපු උං...ජයග්‍රාහී ලීලාවෙන් කියපු කුවින්ටස් අර මනුස්සයගෙ ඇඟට පැන්නෙ නැති ටික විතරයි.

ඒ කාක්කෙක්නෙ....මනුස්සය උපහාසාත්මකව උත්තර දුන්න...

වෙනුජයටයි මටයි හිටගෙන හිනාවෙන්න පණ නෑ,

එතනම තණකොළේ දිගාවුණු අපි දෙන්න බඩ කොරවෙනකං හිනාවුණා.

අනූතුනේ දෙසැම්බර් මාසෙ අපි කට්ටිය ට්‍රිප් එකක් ගියා,කතරගම නුවර එළිය බදුල්ල හරහ ආපහු එන එක තමයි ගමන් මාර්ගය.

පළවෙනි දවසෙ කතරගමට යනකොට රෑ වෙලා අඳුරත් වැටුණා,ඉක්මනටම නවාතැනක් හොයන්නත් ඕනැනෙ,මම කලින් ගිහින් පුරුදු තැනක් වෙච්චි හින්දු රෙස්ට් එකට කෙළින්ම ගියාම ඒකෙ කාමර තිබුණ,අපි ලොකු ශාලාවක් වෙන්කරගෙන රෑ කෑම ටික පිළියෙල කරගත්ත.

නාල දේවාලෙට ගිහින් ඇවිත්ම රෑට කමු කියල කට්ටිය පිටත් වුණා.

අපි නාල එහෙම දේවාලෙත් වැඳල දැන් ආපහු එනව වෙලාව රෑ දහයට දහයහමාරට විතර ඇති මගෙ හිතේ.අපේ නවාතැන්පොළ ළඟදිම වාගෙ ඈතින් මට ඇහෙනව ඉස්පීකරේකින් මගෙ නම කියනව ලාවට වගේ.
 පොඩ්ඩක් ඉඳපල්ල බලන්න...

අපි නැවතිලා සාවධානව අහගෙන හිටිය..ඔව්නෙ..ආයෙත් නිවේදනය

හැලපයා එනතුරු කුවින්ටස්, කුමාර ඇතුළු පිරිස රථ ගාල අසල බලා සිටී... කියල

මේක දැන් අපට හරි ප්‍රශ්ණයක්,රථ ගාල ළඟ මුං මොන මගුලක් කරනවද රෙස්ට් එකට එන්නෙ නැතුව.

කෝකටත් ගිහිං බලමු කියල අනික් කට්ටියට නවාතැන්පොළට ගිහිං කන්න කියල මමයි,හේමෙයි,උස නුවනුයි ආපහු ගියා අර රවුං කඩේ ළඟට හැතැප්ම බාගයක් විතර පයින්.

එතන තිබුන ඔය වෙළඳ නිවේදන එහෙම කරන තැනක්,අපි එතෙනට ගිහිං ඇහුව.

ආ..ඔව් ඔව් ඔන්න මේ දැන් ඔය හරියෙ හිටිය කියල එතන හිටපු කෙනා කිව්ව.මුං ටික ඒ පොඩ්ඩට නෑ..

අපි පාරට ගිහිං බලනකොට මුං තුන්දෙනා ඈත යනව පේනව කතරගම ඉස්පිරිතාලෙ පැත්තට.කෑ ගහල අප්පුඩි ගහල නවත්ත ගත්ත,

බැලුවාම කුවින්ටසුයි,කුමාරයි,පිස්සු නුවනුයි..

මොන මගුළෙද යකෝ තොපි යන්ඩ ගියෙ..හේමයගෙන් බැණුම් වරුසාවයි.

ඉන්ඩකො කියනකල්..ඔන්න කුවින්ටස් කතාව කිව්ව..

කට්ටියම එක්ක නවාතැන්පොළෙන් පිටත් වුණු තුන්දෙනා ගඟට ගිහින් නාල එතනම ගහක් මුලට වෙලා බෑග්එකේ තිබුණු බෝතලෙත් සප්පායම් වෙලා,දැන් හොඳ වෙරි.

දේවාලෙට යන්න වෙලත් නෑ..බඩගිනියි ඉන්න බෑ...ආපහු ගිහිං බත් කමු කියල එන්න පිටත් වෙලා...

පිටත් වුණාට කොහෙ යන්නද..තුන්දෙනාම දන්නෙ නෑ ඇයි පිටත්වෙද්දි රෙස්ට් එකේ නමවත් තිබුණු තැනවත් අහගෙන බලාගෙන නෙවෙයිනෙ කට්ටියත් එක්ක පිටත් වුණේ.

ඔන්න දැන් තුන්දෙනා පැය එකහමාරක් දෙකක් විතර මුළු කතරගම ටවුමෙම රවුං ගහල හෙම්බත් වෙනතුරු..රෙස්ට් එක හම්බ වෙලා නෑ..කාගෙන් හරි අහමුද කියල අහනකොටත්

මොකක්ද රෙස්ට් එකේ නම කියල ඇහුවම දන්නෙ නෑනෙ..ඉතිං කොහොමද හොයාගන්නෙ..

ඒ ගමන කුවින්ටස් කිව්වලු හිටපල්ලකො තව වැඩක් තියනව..කියල කොළ අත්තක් කඩල පොඩි ගහක අත්තක එල්ලල.... කිව්වලු...

පුල්ලෙයාර්...අපට පාර හොයල දීපං යකෝ කියල...

 ඒ ගමන මම කිව්ව..

තොපි ගොන්කමට හරි කරපු වැඩේ භක්තියෙන් කළානම් රෙස්ට් එක කොහොම වෙතත් අපි කාව හරිවත් තොපිට හම්බ වෙනව..කියල.

ඉතිං ඔය ඉබාගාතෙ ඇවිදිනකොට මුන්ට කොච්චර බඩගිනි වෙලාද කිව්වොත් හිටගෙන ඉන්නත් බැරි තරම්..

ඒ ගමන රුපියල් පහක් දීල තම්බපු බඩඉරිඟු කරලක් අරගෙන කෑවලු..ඇට ටික කාල ඉතුරුවුණු බොඩේ කුවින්ටස් අතේ..

වෙලාවෙ හැටියට මේකත් අහක දාන්න බෑ කියපු කුවින්ට ඉරිඟු බොඩෙත් කාල..

ඔන්න ඔහොම ඉබාගාතෙ ඇවිදිනකොට තමයි අර ප්‍රචාරක ස්ථානය දැකල මොළේ පහල වෙලා තියෙන්නෙ...

හොඳ වෙලාවට නිවේදනය මට ඇහුණ,මම කා එක්ක කතා කර කර ආවත් වට පිට සද්ද වලටත් ඇහුම්කන් දෙන නිසා..නැත්නම් උන් ටික එළිවෙනකම් හරි ටවුමෙ ඇවිදිනව.

අපි මුං තුන්දෙනත් ඇදගෙන ආපහු එනකොට එකෙක් කියනව අපි අර අත්ත එල්ලුවෙ  මෙන්න මේ හරියෙ වාගෙ මතකයි කියල..

අපි බලාගෙන ආව...අනේ මුං අත්ත එල්ලල තියෙන්නෙ රෙස්ට් එක ඉස්සරහම තිබුණු ගහක..අපි බලනකොටත් අතු කෑල්ල හුළඟට හෙල්ලෙනව....

ට්‍රිප් එකේ තවත් රසබර මතකයන් තිබුණත් ඒව තව ඉදිරියට.

 දෙදාස් ගණංවල මුල හරියෙ කුවින්ටස් බැන්ද ඌරාපොල කෙල්ලක්ව.මගුල් ගෙදරට මම ගමේ හිටියෙ නෑ,කුවින්ටස් කොල්ලන්ට පාටියක් දුන්නලු,මල්ලි මට කතාකරල විස්තර කිව්ව.

උගෙන් බෝතල් දෙකයි...අපෙන් හයයි... කියල මල්ලි හිනාවුණා.

කුවින්ටස් වමත්කාරය,කන්නෙත් වමතින් එදා මගුල් මේසෙට වාඩිවෙලා වමතින් කන්න ලැජ්ජ නිසා දකුණු අතින් බත්කාල..එළියට ඇවිත් කියනවලු..

කෑවෙ නෑ වාගෙ... කියල

කුවින්ටස් ගැන කියනවනම් තව රස කතා තියෙනව එළිවෙනකම් හරි කියන්න,දැනට මේ ඇති.

කුවින්ටස්ගෙ මස්සිනා කෙනෙක් දැනට අවුරුදු දෙකතුනකට ඉස්සරවෙල මැරුණ හදිසි අනතුරකින්..ආරංචි වුණු වෙලාවෙම අපි ඌරපොල ගියා,එතකොට මරණෙ ගෙදර ගෙනල්ලත් නෑ,

අපි කට්ටිය වටපිටේ ඇවිද්දා,ඒ වත්තෙන් පහළට පාරදිගේ ගියාම තව විශාල වත්තක්..රූස්ස ගස්..හරිම පාලුයි..රුක් අත්තන ගස්වල මල් හුළඟෙ පාවෙනව...ගොඩපර ගස් අස්සෙන් ඉර එළිය එනකොට ගොඩපර මල් හිනාවෙනව වගේ,
තවත් පහලට යනකොට මැංගුස් කොටුවක්..ඒ අස්සෙන් මෙන්න සුසිනිඳු සුදු වැලිතලාවන්ගෙන් පිරුණු රමණීය අත්තනගලු ඔය සිලි සිලි ගගා පහළට ගලනව....

දැක්ක ගමන් පනින්න හිතුණත් අවස්ථාව ගැන සලකල ආපහු ආව,ආයෙ වෙලාවක කුවින්ටසුත් එක්කම යන්න හිතාගෙන ඉන්නෙ ඇතිවෙන්න ඔයේ නාල කුවින්ටස්ගෙ පවුලට කියල කෑමත් හදාගෙන කාල එහෙම එන්න....

Tuesday, January 22, 2013

20.අපේ යාළුවන්ගෙ කතා...1


අපේ ගමේ තිබුණු රෙදි මෝල නිසා ගමට හොඳ සහ නරක දෙකම එකවගේ ලැබුණ කියලයි මටහිතෙන්නෙ.

හොඳ දේවල් පැත්තෙන් බැලුවහම සෘජු හා වක්‍ර රැකියා රාශියක් ලැබීම හේතුවෙන් ගමේ මිනිස්සුන්ගෙ ආර්ථිකය ,ජීවන මට්ටම ඉහළගියා.ඒවගේම බුලත්විටේ ඉඳල කුලී ගෙවල්, කාමර දක්වා හැමදෙයක්ම  ඉහළ මිලකට විකුණගන්නත් අවස්ථාව ලැබුණ.මෝලෙ වැඩට පිටගම්වලින් ආපු අය ගොඩක් ගමේ නැවතිලා හිටපු හින්දා ඒ අයගෙ දක්ෂකම් ශිල්පීය හැකියාව වගෙ දේවලුත් ගමට ලැබුණා.

නරක පැත්තෙන් කල්පනා කරපුවාම ගමේ වාගෙම ටවුමෙත් බඩුමිළ සීයට සීයකින් වැඩිවුණේ මෝල හින්දයි.පොඩි උදාහරණයක් ගත්තොත් සත 10 ට 11 ට තිබුණු බිත්තර ගෙඩිය සත 20 දක්වා ගණන් ගියා.ඒ වගේම විවිධ පළාත්වලින් ආපු විවිධ පුද්ගලයන්ගෙ විෂමාචාර ගති පැවතුම් නිසා ගමේ තිබුණු නිසංසල සංහිඳියාව බිඳිල ගියා.ඒ විතරක් නෙවෙයි,පැය 24 ම එකම ආකාරයට විහිදුණු මෝල ක්‍රියාත්මක වන ශබ්දය ගමේ සාමකාමී නිහැඬියාවත් බිඳල දැම්ම.සුරාව සූදුව එකට එකකින් වැඩිවුණා.මේ දෙපැත්තම කිරල බැලුවාම නරක පැත්ත බර වැඩියි කියල තමා මටනං හිතෙන්නෙ.

අපේ ගමේ හැම ගෙදරකම වගේ රෙදි මෝලෙ වැඩකරන කෙනෙක් දෙන්නෙක් නැවතිලා හිටිය,පුළුවන්කමක්, ගෙදර ඉඩක් තිබුණොත් හේම මෝලෙ වැඩකරන අයට කාමරයක් දෙන්න කවුරුත් අකමැතිවුණේ නැත්තෙ අමතර ආදායමක් ලැබෙන නිසා.

ඔන්න අපේ ගෙදරටත් නේවාසිකයො දෙන්නෙක් ඇවිත් නවාතැන් ගත්ත,නම් වශයෙන් කිව්වොත් කළහෙ ලොකුගේ තිලකරත්න හෙවත් අපි කියපු හැටියට තිලක් අයිය එක්කෙනෙක්.අනිකා විමල් හෙන්රි,උගෙ වාසගම නං දැන් මට මතක නෑ.එතකොට කාමරේට මාසෙකට ගත්තෙ රුපියල් හැත්තැපහයි මගෙහිතේ කෑමත් දීල.තිලක් අයිය ගාල්ලෙ කළහෙ වංචාවල,හෙන්රිය ගම්පොල සිංහපිටියෙ.

ඔයකාලෙ මටත් රස්සාවක් නෑ,මම ඉක්මනටම මේ දෙන්නත් එක්ක හරි හිතවත් වුණා.ක්‍රිකට් මැච් එහෙම තියෙනකොට තිලක් අයිය මාත් එක්ක කොළඹ යනව බලන්න.මට මතකයි සැරයක් වෙස්ට් ඉන්ඩීස්  ටීම් එකක් ආව කැප්ටන් ඇල්වින් කලිචරන්,දෙවෙනි පෙළ ටීම් එකක්,එස් එස් සී එකේ ගහපු මැච් එක බලන්නයි අපි ගියෙ.එදා තමයි සිල්වෙස්ටර් ක්ලාක් ගෙ බෝලයක් සුනිල් වෙත්තිමුණිගෙ ඔලුවෙ වැදිල ඉස්පිරිතාලෙ අරං ගියෙ.අපි ගියෙ රුපියල් පහේ ටිකට්වලට.

නොබෝ දිනකින්ම මුං දෙන්න මාව බයිට් එකට ගන්න පටන් ගත්ත.ඔන්න මම දෙන්නට තේත් අරගෙන කාමරේට යනව මුං කරන්නෙ මගෙ සරම කඩන එක.අත් දෙකේ තේ දෙකනෙ,මටත් මළ පැනල කෝප්පත් එක්කම තේ දෙක මිදුලට විසිකරනව,මුං දෙන්න හූ කිය කිය හිනාවෙනව.තිලක් අයිය අපේ ගෙදරට ආවට පස්සෙ එයාගෙ යාලුවො ටික හවහට හවහට අපේ මිදුලට එක් රැස් වෙනව.

ගුරුගේ,මායාදුන්න,රසාක්,මයියංගනේ ආරිය එහෙම, ඔක්කොම ටික මිදුලෙ බර සාකච්ජාවක් මොකක්ද බැලුවම බෝතලයක් ගහන්නෙ කොහොමද කියල.එකෙක් අතේවත් සල්ලි නෑ,කට්ටිය  අහස පොළොව ගැටලන්න සාකච්ජා කරල කොහොමහරි බෝතලේකට ගාන හොයා ගන්නව.ඒ දවස්වල සුදුව බෝතලයක් රුපියල් දහයයි මගෙහිතේ.බෝතලේ ගහන්නෙ අපේ අල්ලපුවත්තෙ ගල උඩ,ඒක තමයි අපේ ජනප්‍රියම පොට් එක.

රෙදිමෝල නිසා අපේ ගමේ වාගෙම මෝල වටේ තිබුණු අනිත් ගම්වලත් කසිප්පු නිෂ්පාදනය හා අලෙවිය සීයට සීයකින් ඉහළගියා.

දවසක්දා මෝලෙ දවල් කෑම වෙලාවෙ මම ගෙදර ඉඳන් බලාගෙන හිටිය මෝලෙ වැඩකරන උන් තිලකෙගෙ පොට් එකට එනව,හරියට හීත්‍රෝ එයාපෝට් එකට ප්ලේන් බස්සනව වගේ,එකා පස්සෙ එකා.

ඔන්න රෙදි මෝලෙ අන්තර් දෙපාර්තමේන්තු ක්‍රිකට් තරඟාවලිය පටං ගත්ත,ඔය මෝලෙත් තියෙනවනෙ දෙපාර්තමේන්තු, පුළුන් ගබඩාව,විවීම,කැටීම,නිමකිරීම,සිවිල් අංශය ආදී වශයෙන් හැම දෙපාර්තමේන්තුවක්ම කණ්ඩායමක් ඉදිරිපත් කරල කණ්ඩායම් ගණනාවක්ම තරඟාවලියට ක්‍රීඩා කරනව.

මැච් ගැහුවෙ අපේ ඉස්කෝලෙ ඒ කියන්නෙ සෙන්ට්‍රල්  ග්‍රවුන්ඩ් එකේ,මායාදුන්නය කැටීම දෙපාර්තමේන්තු කණ්ඩායමට සෙල්ලං කරනව.ඌ හොඳ ක්‍රිකට් ක්‍රීඩකය,ගම අම්බලන්ගොඩ දේවානන්දෙ ටීම් එකටත් ගහල තියෙනව කියල තමා කට්ටිය කතාවුනේ.

අපි කට්ටිය පිරිවරාගත්තු තිලක් අයියත් මැච් දවසට ග්‍රවුන්ඩ් එකට යනව එයාලගෙ දෙපාර්තමේන්තු කණ්ඩායමට චියර් කරන්න බෝතල් බයිට් ආදී ඔක්කොම ජාති අරගෙන.ටීම් එකේ සමහර උං අපට කියනව අපි ඉවරවෙලා එනකං බෝතල් තියාගනිල්ල කියල,ඒ වුණාට උං පිට්ටනියට බහිනකොටමයි අපි බෝතල් කඩාගෙන වැඩේ පටං ගන්නෙ,අමුවෙන් මැච් බැලියැහැකියැ,අරුං ඉවරවෙලා එනකොට මොකුත් නෑ.පස්සෙ පස්සෙ උං වැඩේ දැනගෙන කලින්ම අවුට් වෙලා එනව.

 දවසක්දා මම ඉස්කෝලෙට යද්දි ටිකක් පරක්කු වුණා මොකක්ද වැඩකට ගිහිං,මම යද්දි හොඳටම ගහපු තිලක් අයියල රසාක්ල පන්තියක් ඇතුළෙ නටනව,බෝතල් බයිට් ඔක්කොම ඉවරයි,මාව දැකපු ගමන් තිලක් අයිය කියනව,

යනකොට මේවත් අරං පළයං... කියල මට පෙන්නුව හිස් බෝතල්,ඉඳුල් බයිට් පීරිසි,හිස් සැමන් ටින් ඔන්න ඕව..

මටත් මළ පැන්න..දුවගෙන ආවට බොන්නත් නෑනෙ.

මට බෑ මම ආවෙ ඔය නටබුන් අදින්න නෙවෙයි... කියපු මම පැත්තකට ගියා.

ඔන්න ඔක්කොම වැඩ ඉවරවෙලා ආපහු එන්න පිටත් වුණාම තිලක් අයිය කිව්ව මම ටවුමටත් ගිහිං එන්නං...

කියල කාමරේ යතුර රසාක්ට දුන්න,වෙනද දෙන්නෙ මට,

මටත් මොකද,මම රසාකයත් එක්ක ගෙදර ආව.

 අපේ ගෙදරට ආපු රසාකය කෙලින්ම දොර ඇරගෙන තිලක් අයියගෙ කාමරේ ඇතුළට ගිහිං ගෙනාපු මොනවද ඇතුළෙන් තියල තිලක් අයියගෙ ඇඳුම් පෙට්ටිය ඇරිය,මාත් බලාගෙන හිටිය පෙට්ටියෙ යටට වෙන්න තිබුණු පින්තූර දෙකතුනක් අරගෙන ආපහු පෙට්ටිය වහල දැම්ම.

බැලුවහම තිලක් අයිය ආසාවෙන් තියාගෙන හිටපු පිටරට කැලැන්ඩරයක තිබුණු ලස්සන කාන්තා පින්තූර වගයක්.

මට කියන්න දේකුත් නෑනෙ වැඩි හොඳට තිලක් අයිය මූටනෙ යතුර දුන්නෙ,මම බලාගෙන ඉද්දි මූ කාමරේ වහල යන්න ගියා.

පස්සෙ තිලක් අයියට හොඳටම තරහ ගිහිං,එයා හිතල තියෙන්නෙ රසාක් මට පගාවක් දීල කාමරේ ඇරගෙන පින්තූර උස්සල කියල,රසාක්ට මොකුත් කිව්වෙත් නෑ,මටත් හොරෙන් රහසිගත මෙහෙයුමක් දියත් කරල රසාකයගෙ කාමරේට පැනල ගෙනිච්ච පින්තූර ටික ඔක්කොම ආපහු ගෙනාව.

ඔය රෙදිමෝලට යන එන ප්‍රධාන පාර,බී රෝඩ් එකේ හිටිය ලොකුම කසිප්පු මුදලාලිය තමයි නිහාල්.මෝලෙ ඉන්න බොන එවුං හැම එකාම වාගෙ නිහාල්ට ණයයි.කිසිම ප්‍රශ්ණයක් නොනගා නිහාල් ණයට කසිප්පු දෙනවා,හැබැයි පඩියට ගාණ බේරන්න ඕනැ.නැත්නං ඉතිං පාරෙන් යනකොට නිහාලයගෙන් ගුටි තමා ලැබෙන්නෙ.

මට තිලක් අයිය දවසක් ලස්සන කතාවක් කිව්ව,

ඔන්න මෙයා දවසක් ගිහිල්ල නිහාල්ලගෙ ගෙදරට අඩියක් ගහන්න,කතා කළාට නිහාල් ගෙදර ඉඳල නෑ...කොහෙද ගිහිං

නිහාල්ලගෙ අම්ම පන්සිල් ගන්නවලු...

මුසාවාදා වේරමනී සික්ඛා පදං සමාදියාමි

අම්මෙ..කාලක් බොන්න පුළුවන්ද බලන්නයි ආවෙ...තිලක් අයිය කියල

අනේ මහත්තයො..මම මේ උදේ හවස බුදුන් වඳින පෝයට සිල් ගන්න ගෑණි වෙච්චි,මම ඔය පංච පාපවලට නෑනෙ... කියල

ඔන්න ඔය දොරමුල්ලෙ බෝතලේ තියනව,මහත්තයම ටිකක් දාගන්නකො...මමනං ඕව අතින් අල්ලන්නෙවත් නෑ...

නිහාල්ගෙ අම්ම ගාථා කියනවලු.

පූජේමි බුද්ධං කුසුමේන නේන..තිලක් අයිය බෝතලෙන් වීදුරුවකට වක්කරනවලු,

පුඤ්ඤෙන මේතෙන නතහෝතු මුක්ඛං

මහත්තයො..ටිකක් වැඩියි වාගෙ නේද..චුට්ට්ක් අඩුකරන්න..

පුප්පං මිලායාති යථා ඉදම්මේ...හරිද අම්මෙ..

තව මීත්තරයක් විතර අඩුකරන්නකො මහත්තයො...

කායෝ තථායාති විනාස භාවං..

හා දැං හරි....

ගුඩු ගුඩු ගාල වීදුරුව ගහල ඇරපු තිලක් අයිය වටපිට බලල...

කායෙන වාචා චිත්තේන..
පමාදේන මයාකතං

මහත්තයො සල්ලි ටික ඔය මේසෙ උඩිං තියන්න...

අච්චයං කමමේ භන්ථෙ

හා හොඳයි හොඳයි...භූරිපඤ්ඤ තථාගතො

තිලක් අයිය එනකන්ම ඒ ශ්‍රද්ධාවන්ත අම්ම බුදුන් වැඳීම නැවැත්තුවෙ නැතිලු.

1980 මහා වැඩ වර්ජනයට සම්බන්ධ වුණු තිලක් අයිය මෝලෙනුත් අපේ ගෙදරිනුත් යන්න ගියා,ඊට පස්සෙ කිසිම ආරංචියක් ලැබුණෙ නෑ,අනූවෙ දශකයෙ මුල භාගයෙ දවසක අපි දවල්ට කන වෙලාවෙ තිලක් අයිය යාලුවෙකුත් එක්ක අපේ ගෙදර ආවෙ මැන්ඩිස් බෝතලේකුත් අරං.

නැතුව හිටපු කාලෙ රට රස්සාවකට ගිහිං ලංකාවට ඇවිත් පවුලකුත් වෙලා ඒ දවස්වල පානදුරේ උස්වත්ත පැත්තෙ ගෙයක් ඉඩමක් අරගෙන පදිංචි වෙලා බොහොම ජයට ඉන්නවලු.

ඔන්න ඊට පස්සෙ අපේ සම්බන්ධකම් අලුත් වුණා,මම බැඳල අපේ ගෙදර උත්සවය දවසෙ කලින්ම ගමට ආපු තිලක් අයිය මයියංගනේ ආරිලගෙ ගෙදරට වෙලා දවල් වරුවෙම බීල මගුල් ගෙදර ආවෙ කෙලින් හිටගන්නවත් බැරුව.

 අපි පානදුරේ ගිය දවසක බිරිඳ තිලක් අයියලගෙ වත්තෙ පොල් පැළයකුත් හිටෙව්ව.

කාලය වේගයෙන් ගෙවී ගිහිං මගේ විප්‍රවාස සමයත් ඇරඹුණා,හිත මිතුරන් සමග සම්බන්ධතා පවා සීමිතයි.

2004 නොවැම්බර් මාසෙ එක සීතල දවසක තිලක් අයියගෙ යාලුවා වුනු අපේ මස්සිනාගෙන් මට ලැබුණු ටෙලිපෝන් පණිවිඩයකින් කියවුණේ හෘදයාබාධයකින් තිලක් අයිය හදිසියේ මියගිය බව,

මම තිලක් අයියගෙ නෝනට කතාකරල විස්තර අහගත්ත,වත්තෙ තණකොළ කප කපා ඉඳල ඇවිත් වාඩිවුණා විතරලු.කලින් ඉඳලම ලෙඩේ තිබිල තියෙනව,බේත් බිබී තිලක් අයිය ඉඳල තියෙන්නෙ.

මරණෙට මට සහභාගි වෙන්න නොලැබුනු බව දන්නවනෙ,

පෙට්ටියක උඩුකුරුව වැතිරිලා ඉන්න තිලක් අයියව මම නොදුටු නිසා මගේ හිතේ තාම ඇඳිල ඉන්නෙ අර අපිත් එක්ක පිස්සු වැඩ කරමින් හක හක ගගා හිනාවෙවී හිටපු තිලක් අයියවයි,ඒකට මම හරි ආසයි.


.

Sunday, January 20, 2013

19.ආගන්තුක සත්කාරය



අපේ සැට් එකේ හිටිය ආරිගෙ අයිය තමයි නිළමෙ,එයාගෙ රස්සාව අතුරු මැදිල්ල.මුලින් මුලින් මීගමුව,කටුනායක,පමුණුගම පැත්තෙ මුදලාලිලගෙ අතුරුවල වැඩ කරල ඊට පස්සෙ ගමට ඇවිත් නිළමෙලගෙ තාත්තගෙ ඉඩමක අතුරක් පටන් ගත්තා.ඒ ඉඩමෙම ගේකුත් හදා ගත්ත ගෙයක් කිව්වට වාඩියක් වාගෙ.
ලස්සන තැන වෙල්යායක් අයිනෙ ඇළක් ළඟ.අපට නං ඔය ගේ හරිම සනීපදායක තැන.

නිවාඩු දවස්වලට අපි යනව නිළමෙව බලල එන්න,රාවෙළඳාමෙන් නිළමෙට සරුයි,අපි කොල්ලො කට්ටිය ඈත එනව දකිනකොට රා පොළේ ඉන්න ඔය උඩුගම පැත්තෙ අප්පුහාමිල ටික ඉක්මන් කරල රා කටු දෙක තුන වක්කර ගන්නව,උඹලට තේරෙන බාසාවෙන් කිව්වොත් ළඟ නමනව.මොකද එයාල දන්නව අපි ගිහාම නිළමෙගෙ රා කළගෙඩි ටික ඔක්කොම ඉවර කරන විත්තිය.

රා වලින් එන ගාන මදි හින්දද මන්ද නිළමෙය ඒ දවස්වලම රා වලින් සුදුව පෙරන්න ගත්තා.ඒ ගේ ළඟ ඇළ අයිනෙ බඩවැටියෙ,පෙරන බඩු සුපිරි නිසා ඒකෙන් මිනිහට හොඳ ලාබයක් සතිපතාම ආව අපිටත් හොඳයි.

ඔන්න එක නිවාඩු දවසක දවල් දහයට විතර පොඩි මහින්දලගෙ කඩේ ඉස්සරහ කොට්ටං ගහ මුලට කට්ටිය එකතු වුණේ කිසිම අරමුණක් ඇතුව නෙවෙයි.අපි ඔතන කතා කර කර ඉන්නකොට ගුරුගෙ ආව උගෙ නුවර යාලුවෙක් එක්ක,යාලුව දෙයියන්නෙවෙල නම මොහොමඩ්.
දැන් කට්ටිය කතා කරනව මොනවද කරන්නෙ කියල.අන්තිමේදි නොදැනුවත්වම වාගෙ පය එසවුණේ නිළමෙව බලන්න යන්න.

අපි ටික ගොඩේ පාරෙන් ගිහිං රාළහාමිගෙ වත්තෙන් පැනල නිළමෙගෙ කෑල්ලට ගොඩවුණා,කට්ටියව සතුටින් පිළිගත්තු නිළමෙ අපේ ඉස්සරහින් අටේ කෑන් එකක් ගෙනත් තිබ්බ.අපට හිනා මෙච්චර බොන්න පුළුවනෑ,

මේක බීයැහැකිද නිළමෙ....අපි ඇහුව,

බීල බලමුකෝ....ඒ නිළමෙය,

එකක් වක්කරගත්තහම තමයි තේරුණේ මේක නිකම්ම එකක් නෙවේ ඉස්පිරිට් කෑන් එකක් කියල,තව ඒ වාගෙ තුන් ගුණයක් කළවං කරන්න පුළුවනි.

මූ අපට කෙළවන්නයි හදන්නෙ.. චුට්ට චුට්ට බීල යන්ඩ යමු කියල අපි කතාවුණා,ඒ මදිවට කන්න ගෙනත් තිබ්බෙ අච්චාරු,ඌ උයන කරන එකක්යැ.

පොඩ්ඩ පොඩ්ඩ පටං ගත්තු බීම ඉවර වුණේ අටේ කෑන් එක හිස්වුණාම,
ඉස්සෙල්ලම අබේ වැටුණ දඩහ් ගාල...

ඒ ගමන අබයව පොල් අත්තක් උඩ තියල තව පොල් අත්තකින් වැහුව අව්ව වැටෙනවට.
වියපු පොල් අතු  තිබුණ නිළමෙයගෙ ගෙදර කට්ටියම වැටුණත් ඇතිවෙන්න.

එනකොට කුරුල්ලො රෑන වාගෙ එකට ආපු කොල්ලො ටික ඔලුව හැරුණු අතේ විසිරිල ගියෙ පුවක් වල්ල පොළොවෙ ගැහුව වාගෙ.

 මාත් කොහොම හරි ගමට ඇවිල්ල තිබුණ,ගුරුගෙල එක්ක වෙන්න ඇති, හවස ඇහැරිලා සිහි එලවගත්තු මම වටපිට බලනකොට හිටියෙ ගුරාලගෙ කාමරේ බිම.
දැං මට ඇහෙනව ගුරා වෙරිමරගාතෙ දොඩෝනව.බැලුවාම අතකුත් කණට තියාගෙන, ඒ ටෙලිපෝන් එක වෙන්න ඇති මූ කෑම ඕඩර් කරනව රෙදි මෝලෙ ගෙස්ට් හවුස් එකෙන්.මොහොමඩ් ගොරෝනව,මම නැගිටල ගෙදර ගියා.

ඊට පස්සෙ කාමරේ වෙච්චි දේවල් පස්සෙ දවසක මට විස්තර කළේ නෙල්සන්.ඌ නැවතිල හිටියෙත් ඒ කාමරේමයි,මිනිහ රෑ එකොළහට වැඩ ඇරිල ඇවිත් නිදාගෙන,උදේ නැගිටිනකොට කාමරේ ඉන්න බෑලු ගඳ.බැලුවාම අලි විසාල බෙට්ටක් හාන්සි පුටුව උඩලු.

 නෙල්ස කල්පනා කළාලු කොහොමද යකෝ මේක පුටුව උඩට ආවෙ කියල,පස්සෙ ඔන්න ටික ටික කාරණාව වැටහිලා.
ඔය මොහොමඩ්ල ඉන්න පේළි ගෙවල්වල තිබුණෙ බාල්දි වැසිකිළි,ගිහිං උඩට නැගල තමා ඉඳගන්න තියෙන්නෙ.
මොහොමඩාට රෑ වැසිකිළි යන්න ඕනැවෙලා නැගිටල යනකොට හාන්සි පුටුවෙ හැප්පිල කෙළින්ම හාන්සි පුටුවෙ ඇඳි දෙකට නැගල වාඩිවුණු මොහොමඩ් ඒ කාර්යය කරල ආපහු ගිහිං නිදාගෙන.
ඔන්න ඔය විදියට තමයි නෙල්සන් සිද්දිය අර්ථ නිරූපණය කළේ.

ඒ ගමන ගුරුගෙව ඇඳෙන් බිමට ඇදල දාපු නෙල්සන් වැඩේ ඌටත් පෙන්නල,මොහොමඩාට බැණුම් කෝටියයි.ඇයි යකෝ රෙද්දක් ඇඳගෙන පාරක බැහැල යන්න පුළුවන් වැඩක්ද මේකා කරල තියෙන්නෙ.

තොපිම හෝදගනියව් කියපු නෙල්සන් කාමරේ පැත්තකවත් ඉන්නෙ නැතුව එළියට බැහැල ගිහිං.

ගිහිං ඌ නිකාහිටියෙ නෑ කතාව ඔක්කොටොම කියල.අනේ ගුරාගෙ ඉහේ උකුණො බිමට පනින වැඩක්නෙ සිද්දවුණේ ඉඳල ඉඳල.

පහුවදා උදෙන්ම ඇහැරුණු මම තේ එකක් විතරක් බීල වැඩට ගියා.උදේට කන්න ගියා,මොන...මක්කොරලවත් කන්න බෑ උගුර දනව වනේ වාගෙ. 
 ඊයෙ බීපුවගෙ සැරට උගුර පිච්චිලා,
 
ඒ ගමන ඩිස්පැන්සරියට ගිහිං පාමසිස්ට් කෙනෙක් හිටිය සිල්ව කියල..පොරට කියපුවාම බේත් පෙති වගයක් දුන්න බොන්න.
දීල පොඩි සවුත්තුවකුත් දැම්ම..
ඕක තමයි කියන්නෙ බැරි වැඩ නොකරං අබරෝ...... කියල.

Friday, January 18, 2013

18.ෂැඩෝ


අපේ ගෙදරට ෂැඩෝ ආවෙ මීට අවුරුදු එකහමාරකට විතර ඉස්සෙල්ලා,එතකොට එයාට වයස මාසයයි.
පුතා ඕ ලෙවෙල් පාස්වුනු වෙලාවෙ මොනවද ඔයාට ඕනැ කියල එයාගෙ අම්ම ඇහැව්වාම කිව්වෙ බලු පැටියෙක් ඕනැ කියලයි.ඒ ගමන ටික දවසක් පත්තරවලින් බලු පැටවු හොයපු අම්මල පුතාල පස්සෙ ඔන්න ඔය කළල්පිටිය පැත්තෙ තැනකට ගිහිං ජර්මන් ෂෙපර්ඩ් පැටියෙක් තෝරගෙන ආව.පැටියට නම දාල තිබුණෙ දකින්නත් කලින්.
ෂැඩෝ පොඩිකාලෙ හරිම දඟයි,ගෙදර හිටිය අනික් බල්ල ජිනී, ජිනීයි පූස කිටියි දෙන්නම ෂැඩෝ එක්ක තරහයි.ෂැඩෝ කිටියගෙ ඇඟට පැනල හපනව ආදරේට,සෙල්ලං කරන්න හදන්නෙ, ඒ වුණාට කිට්ටට හරියට තරහ යනව,කිට්ට ඉක්මනට දොර රෙද්දක් අස්සෙ හැංගිලා කෑ ගගහ ෂැඩෝගෙ මූණට අතින් ගහනව,ඒ වෙලාවට නම් අපට හරි බයයි බැරිවෙලාවත් කිට්ටගෙ නියපොත්තක් ෂැඩාගෙ ඇහේ වැදුණොත් කියල.
කොච්චර ඈත් කරල තිබ්බත් ෂැඩෝ කිටියට කරදර කරන එක නවත්තන්නෙ නෑ.

ජිනී කූඩුවෙ ඉන්නකොට නැට්ට කූඩුවෙන් එළියට වැටිල තිබුණොත් ෂැඩෝ ගිහිං නැට්ටෙන් අදිනව,ජිනීට හරිම තරහයි,ගොරව ගොරව දත් විළිස්සගෙන මහ හයියෙන් බුරනකොට මම නෙමෙයි වගේ ෂැඩෝ හිමිහිට එතනින් මාරුවෙනව.
කෑම කන්නෙත් හිතුනහම තමයි,සමහර වෙලාවට හොඳට කනව,සමහර දවසක කෑම එක අනල එහෙම ඉස්සරහිං තිබ්බහම ඉව කරල නිකං ඉන්නව,
ඔන්න දවසක් බිරිඳ කරල තියෙන දේ මේ..මේ..ෂැඩෝ කන්න කියල බත්කටක් කටේ තියල,
මෙන්න එතකොට හොඳට කනවලු.

බිරිඳ දවසක් කතාකරපු වෙලේ මට කිව්ව,
මට දැන් බල්ලන්ටත් බත් කවන්න වෙලානෙ..කියල
මම කිව්ව  හොඳයි පුතත් නැති එකේ බල්ලට කවන්න කියල.දැන් ෂැඩා කන්නෙ රතු බත්ලු,සුදු බත් දුන්නම ඉවකරල යනවලු.දවසක් නාවල ඉවරවෙල වේලෙන්න එළියෙ බඳින්න ගෙනියනකොට,එදා ගේට්ටුව ලොක් කරල තිබිල නෑ යන්තං ඇරිල තිබුණ තැනක් දැකල එළියට පැනල දුවල,ගෙදර ඉඳල තියෙන්නෙත් බිරිඳ විතරයි,කතා කළාට අහන්නෙම නැතුව වත්ත පුරා දුවල,අනේ මේකා නැතිවෙයි කියල බයට මෙයත් බල්ලගෙ පස්සෙන්ම දුවල,කොහොම හරි අල්ලගෙන ගෙදර ගෙනත් දෙකක් දීල තිබුණා.

 දැන්නං ගොඩක් හොඳයි,බ්‍රෂ් කරන්න එහෙම කතා කරපුවම කෙළින්ම ඇවිත් බිත්ති කණ්ඩිය ළඟ හිට ගන්නව,බ්‍රෂ් එක අතට ගන්නකොට එයා දන්නව මොකක්ද කරන්න යන්නෙ කියල.
අපි ඔය ෂැඩෝ ගේන්න කලින් අපේ නංගිගෙ පුතා කැලුම් ගෙනාව ලොකු බල්ලෙක්,ඌ රොත්ස්වෙයිලර් එකෙක්,නම මොන්ටි.
ඔන්න ගේ පිටිපස්සෙ ලොකු කූඩුවක් එහෙම හදල මොන්ටිව දැම්ම,මොන්ටිනම් හරිම වසයි,පෙනුමත් හරිම රෞද්‍ර පාටයි ඒ දවස්වල අපේ පුතාගෙ වැඩේ කූඩුව ළඟට ගිහිං මොන්ටි දිහා බලාගෙන ඉන්න එක.සමහර දවස්වල බල්ල පිටිපස්ස හරවගෙන ඉන්නකොට පිටත් අතගානවලු,ඇවිත් කියනව,අම්මගෙ ඇඟේ ලේ නෑ මේව අහල බයේ.ඇයි අප්ප බුහ් ගාල හැපුවොත් එහෙම.

මොන්ටිය ළමයින්ට නං සැර නෑ,හැබැයි ළඟ පාතින් හරි බල්ලෙක් ගියොත් බුර බුරා කූඩුව කඩාගෙන පනින්න හදනව,අපේ මහගෙදර මල්ලිල හදපු බල්ලො දෙන්න,රෙක්ස් සහ ටාසන්,මේ දෙන්න අපේ ගෙදර එන්න පුරුදුවෙලා හිටියෙ මොන්ටිගෙ කූඩුව ලඟින්,මොන්ටි උං දෙන්නට මොනතරම් භයංකාර විදියට තර්ජනය කළාද කිව්වොත් ඒ අහිංසකයො දෙන්න මොන්ටියගෙ කූඩුව පැත්ත පළාතෙන් යන එකත් නවත්තල දැම්ම.
මොන්ටි අපේ මස්සිනා පේමරත්න එක්ක ඉක්මනටම යාලු වුණා,කෑම දෙන්න යන්නෙ  නාවන්නෙ එහෙම එයා තමයි.පෙළක් වෙලාවට මොන්ටිවත් ලෙහාගෙන අපේ ගෙදර ඇවිත් ඌව ගේ ඉස්සරහ අඹ ගහේ බැඳලත් තියනව.
 ඔන්න ඔහොම ඉන්නකොට මොන්ටිගෙ කකුල්වල ඇඟිලි පුරුක් අතරෙ කිණිතුල්ලො බෝ වුණා,ඕක වඳ කරන්න කැලුම් ස්ප්‍රේ එකක් ගෙනත් දුන්න කකුල්වලට ගහන්න,පේමරත්න ඕක ගහනවට මොන්ටි කැමති නෑ,ඒක හරියට දනව එතකොට පේමරත්න මොන්ටිට විහිළු කරනව.

ඔන්න දවසක් ඔය බේතත් අරගෙන පේමරත්න මොන්ටිගෙ කූඩුව ඇරල ඇතුළට ගිහිං තැන තැන බිත්තිවල හිටපු කිණිතුල්ලන්ට ස්ප්‍රේ එක ගහනවලු මොන්ටිට පස්ස හරවගෙන.ඒ කරන ගමං මොන්ටිට ස්ප්‍රේ එක පෙන්නල කියනවලු ඊළඟට උඹට තමයි කියල.දෙතුන් සැරයක් විහිළු කරනකොට එක පාරටම මොන්ටි පැනපු ගමන් පේමරත්නගෙ අත හපාගෙන,දත් මසට කාවැදිල කට ලොක් වෙලා,තැන් දෙකක් අල්ලල තිබුණා,පේමරත්නට මොකුත් කරගන්න බෑ මේ අලි බල්ලත් එක්ක මොන්ටිය දැන් පේමරත්නගෙ අතින් අල්ලගෙන එහාට මෙහාට හොල්ලනවලු පේමරත්නව බිම දාගන්න,බිම දාගත්තොත් බෙල්ලටම පනිනව.

පේමරත්නගෙ හොඳ වෙලාවට අපේ අයිය ඉඳල,මෙයාගෙ කෑගැහිල්ලට ගිහිං බලල දැන් බල්ල අත කාලලු කහ පාට ටිෂියු එළියට එන්න,අයිය පොල්ලක් අරං ගැහුවට මොන්ටිය අතඇරල නෑ,ඒ ගමන අයිය ස්ප්‍රේ එක දැකල ඒක අරගෙන මොන්ටියගෙ ඇස්වලට විදපු ගමන්ම අතඇරල,
ඒ ගමන ඉක්මනටම ඉස්පිරිතාලෙට ගෙනිහිං දවස් හතරක්ද පහක්ද හිටිය. අපේ පුතා කිව්ව එතන බිම තිබුණු පේමරත්නගෙ ලේ හිටං මොන්ටිය ලෙවකෑව කියල.

සනීප වෙලා ආපු පේමරත්න බල්ලත් එක්ක වයිර බැඳගත්ත,කිසිම සාත්තුවක් සැලකිල්ලක් කලේ නෑ,මොන්ටි අසනීප වෙලා ඇහේ කැන්සර් එකක හැදුනා,හරියට බේතක් කළෙත් නෑ.
 වැඩිකල් ගියෙ නෑ මොන්ටි මළා....

මගෙනම් අදහස මොන්ටිගෙ වැරැද්දක් නෑ කියලයි,තමුන්ට හිරිහැර කරන එකෙන් බේරෙන්න මොන්ටි තමන් දන්න එකම දේ කළා.මොන්ටිලට වැඩියෙ මොළයක් තියෙන අපි දැනගන්න එපායැ මොන්ටිලත් එක්ක ගණුදෙනු කරන ක්‍රමය.

දැන් මොන්ටිගෙ කූඩුව හිස්,කැලුම් වෙන ගෙදරක පදිංචියට ගිහිං,දැන් කැලුම් ගාව තව බල්ලො දෙන්නෙක් ඉන්නව එකෙක් මොන්ටි අනික කාලෝ.
බිරිඳ මෙහෙ එන්න දවසකට කළින් අපේ ජිනිය මළා,මැරෙනකොට එයාට අවුරුදු දහයයි,උදේට කන්න දෙන්න බලනකොට කූඩුවෙම මැරිල ඉඳල.

 අපේ මහගෙදර හිටපු රෙක්ස් මළේ ඊට කළින්,මාගෝ නං තාම ඉන්නව හැබැයි උගෙ නැට්ට නෑ,බල්ලොත් එක්ක ගෝරියකට ගිහිං නැට්ට මුලින්ම කඩාගෙන.සනීප කරගත්තෙත් අමාරුවෙන්,දැන් නැට්ටක් නෑ චූටි කොටයක් වන වන අපේ ගෙදර එනව.
 

දැන් අපේ ගෙදර ඉන්නෙ ෂැඩෝ විතරයි,අපි කට්ටිය නැතුව ෂැඩෝට පාලු ඇති.
ෂැඩෝ පැටිය කාලෙ පුතත් එක්ක නටද්දි ගත්තු පිංතූර කීපයක් හොයාගත්තා.හැබැයි මොන්ටියගෙ පින්තූරයක්නං හම්බවුණේ නෑ.

Monday, January 14, 2013

17.පැමිණිල්ල


අලවත්ත අපි නිකං අපේ බූදලයක් වගේ තමයි පාවිච්චි කළේ,සෙල්ලං කරන්න මැච් ගහන්න,කුරුම්බ කන්න තමන්ගෙ වත්තකට යනව වගේ තමයි අපි ආවෙ ගියෙ.
මුරකාරයෙකුත් හිටිය ඔහෙ නමට වත්තෙ මැද ගෙයි,වත්ත අසානාසි කරන කොල්ලො එලවන්න එච්චර උනන්දුවක්වත් පුළුවන්කාරකමක්වත් මුරකාරයට තිබුණෙ නෑ.
කොච්චර අඩු වුණත් මුරේට කැඩෙන පොල් ගෙඩි ටිකෙන් අයිතිකාරයට සෑහීමකට පත්වෙන්න සිද්දවුණා.
ඔන්න ඔහොම යනකොට එක පාරටම වත්ත සුද්ද කරන්න පටන් ගත්ත කොණක ඉඳල.
මගෙහිතේ ඔය හැත්තැ ගණං වල මැද හරියෙ.
කණාටු පොල්ගස් පෙරලල, අපේ රාජධානිය වෙච්චි කජු ලන්ද දරට කපල දාල අකුල් සුද්ද කරල ගිණි තිබ්බ,අකුල් වලින් ගොඩාක් ප්‍රයෝජන ගත්තු අයට යන එන මං නැතිවුණා.
සුද්දකරල නිකං හිටියෙ නෑ,ට්‍රැක්ටර් දාල වත්ත හෑව,එතකොට තමයි අපි ගොඩක්ම අපහසුතාවට පත්වුණේ,තණකොළ ටිකක් කන්න හරකෙක්වත් බඳින්න තැනක් නැතුව ගිය නිසා.ඒ දවස්වල අපේ හැම ගෙදරකම පාහේ හරක් හිටිය.නෑ නෑ යකෝ කකුල් හතරෙ එවුං.
ඒකෙන් වුණේ සත්තුන්ට කන්න දෙන්න හැමදාම හවසට තණකොළ කපන්න සිද්දවුණු එක.
වත්තෙ වැඩ දැන් වේගයෙන් ඉස්සරහට යනව,හාපු වත්ත මට්ටම් කරල පොඩියට දිගට කාණු කපාගෙන යනව.වත්තට නිතරම ලොරි යනව එනව අපි දකිනව,ඔය ලොරිවල ගහල තියෙන්නෙ,

කේ.ඒ.සයිමන් අප්පුහාමි සහ පුත්‍රයෝ
අන්නාසි තොග වෙළෙන්දෝ සහ පිටරට පටවන්නෝ
දකුණු බටගම
 කඳාන               
             කියලයි.
  ආරංචි කරල බැලුවාම වත්ත අවුරුදු 10 කට අන්නාසි මුදලාලි කෙනෙකුට බදු දීල.
අන්නාසි පැළ හිටුවන්න,සාත්තු කරන්න කොහුබත් දමන්න වාගෙ සිල්ලර වැඩවලට ගමේ උදවියවත් දවසට රුපියල් පහේ කුලියට ගත්ත.
කලට වැහි වැටිල නිල්පාටට ගොබ ඇදුණු ළපටි අන්නාසි පඳුරු බලන්න ලස්සනයි,පෝර රසට වල් ගස් වැලුත් ඔලුව උස්සනව,ඕව බලල කරල වෙලාවත සුද්ද කරන්න ඕනැ නැත්නං වැල්වලින් අන්නාසි පඳුරු වැහිල යනව.
දැන් මුරකාරයො දෙතුන් දෙනෙකුත් වත්ත බලාගන්න ඉන්නව,උන්ට වහංවෙලා කුරුම්බ ගෙඩියක්වත් කඩාගන්න අමාරුයි,වත්තට පනින්නත් බෑනෙ කටුකම්බි අටපොටක් විතර වැටට ගහල.

ඕං අන්නාසි පීදීගෙන එන කාලෙ වෙනකොට වත්තට පාලකයෙකුත් එව්ව,මුදලාලිගෙ ගම් පළාතෙමලු,නම ඉස්ටැන්ලි, කොණ්ඩෙ බොකුටුවට දිගට වවල සායි බබා වගේ,අපි නං කිව්වෙ සායි බබා කියල.

මිනිහ අපි වාගෙ අවසේස අය එක්ක පයුරු පාසානයක් නෑ,බොහොම ගාම්භීරයි,හැමදාම වත්ත වටේ සයිකලේ පැදගෙන රවුමක් යනව,හැබැයි බෝධිය එක්ක නං හරිම එකතුයි,ඇයි හැන්දෑවට බෝධියලගෙ ගෙදර යනවනෙ කසිප්පු බොන්න.

මුරකාරයො නං හැබැයි එහෙම නෑ,තුවක්කුත් කරේ තියාගෙන වත්තෙ ඇවිදින ගමන් වැට අයිනෙ ඉන්න අපිත් එක්ක හිනාවෙලා කතා කරනව.ලොකු මහින්ද එක්ක තමයි මුරකාරයො ගොඩක් එකතු,රෑ වැඩ ඇරිල උදේම ගෙදර එන මහින්ද දත් මැද මැද වැට අයිනෙ ඉන්නකොට මුරකාරයො කතාකරනව,ඔන්න මට කියන්න අමතක වුණා මහින්ද එතකොටත් රෙදිමෝලෙ වැඩ.

වත්තෙ අන්නාසි ඉකමනටම පැහුණ,පැහිච්චි අන්නාසි නැටි මුලින් කප කපා පොඩි ගොඩවල් ගහනව,ඒ ගොඩවල් කරත්තෙන් බංගලාවට අදිනව,තෝරල එහෙම ලොරියෙ පටෝල කඳානට අරිනවලු,එහෙමයි දැකපු අය කිව්වෙ,අපි කොච්චර ආසාවෙන් හිටියත් අපට කන්න කුරුල්ලො හොට ගහපු අන්නාසි ගෙඩියක්වත් දෙන්නෙ නෑ.

ඉස් ඉස්සෙල්ලම අපි අන්නාසි කැඩුවෙ වැට අයිනෙන් අතදාල බොහොම බයෙන්.අන්නාසි ගෙඩිය අල්ලල නැමුවාම ටකස් ගාල නැට්ටෙන් කැඩෙනව,ඔය හොරෙන් කඩන අන්නාසිවල නැට්ට නෑනෙ.
 වැට අයිනෙ අන්නාසි ඉවරවුණාම වත්තට පැනල ළඟපාත තියෙන අන්නාසි කඩාගෙන ආව,කඩාගෙන එන අන්නාසි කපන්නෙ ලොකු මහින්දලගෙ ඉස්තෝප්පු කාමරේ බංකුවක් උඩ තියාගෙන,ගලාගෙන යන අන්නාසි ඉස්ම කාමරේ බිම තෙත්කරනව.අපි ඇතිවෙන්න අන්නාසි කාල වැඩිපුර තිබුණොත් ගෙනිහිං පොඩි මහින්දට විකුණල සිගරැට් බොනව.

පොඩි මහින්ද අපෙන් සත පණහට රුපියලට ගන්න අන්නාසි ගෙඩි කපල බේසමක දාල ගේ ඉස්සරහ තියාගෙන හිටිය,රෙදිමෝලෙ වැඩ ඇරිල යන අය මේ අන්නාසි අරං යනව,හරි ලාබයිනෙ,කෑල්ලක් සත පණහයි.

 පොඩි මහින්දගෙ අන්නාසි වෙළඳාම එන්න එන්නම සරු වුණා,ගේ ඉස්සරහ පොඩි මඩුවක් ගැහුව,දැං මඩුවෙ අන්නාසි විතරක් නෙවෙයි ටොපි,ලොසිංජර වාගෙ දේවලුත් තියෙනව,කඩේ ඉස්සරහ පාරෙන් ඉස්කෝලෙ යන ළමයින්ට ඕනැනං පොත් පැන්සලුත් ගන්න තියෙනව,රජාගෙ බේකරියෙන් පාන් ගේන පාන්කාරය ඉක්මනටම මහින්දගෙ කඩේටත් පාන් බනිස් දාන්න පටන් ගත්ත. වෙළඳාම සරුයි මඩුව ඉඩ මදිවුණා.

පොඩිමහින්දගෙ තාත්ත සාමෙල් ගෙටම අල්ලල කඩ කෑල්ලක් හැදුව,මිනිහ මෙච්චරකල් වැඩ කර කර හිටපු ටවුමෙ බේත් කඩෙන් අස්වෙලා අලුත් කඩේ වැඩකරන්න ගත්ත,ඇයි මහින්දට ඉස්කෝලෙ යන ගමන් කඩෙත් බලාගන්න බැරි නිසා.

 ඔන්න ඊට පස්සෙ අපෙත් තිප්පොල වුණු පොඩි මහින්දගෙ කඩේ හොඳටම සරුවුණා,පොඩි මහින්ද තමයි පවුලෙ එකම දරුවා,ගෙයි ඉස්සරහ කාමරේ නැවතිලා හිටියෙ රෙදි මෝලෙ වැඩකරපු සිල්ව රාළහාමි,සිල්ව රාළහාමි තමයි නෙල්සන්ගෙ අයිය.

සිල්ව රාළහාමියි අපියි එකතුවෙලා කරපු වැඩ ගැන නං වෙනම කතාවක් ලියන්න වෙනව.
කොහෙද,කියාගෙන ආපු කතාව පීලි පැනල වටේ ගියානෙ,
 දැං එච්චර බයක් නෑ,වත්තට පැනල රෑ හරි දවල් හරි අපට ඕනැ වෙලාවක අන්නාසි කඩනව.ගමේ හරි යාලුවෙකුගෙ හරි දානයක් මගුලක් තියෙනවනම් අන්නාසි සපයන්න බාරගන්නෙ අපි තමයි.
සැරයක් දන්සැලකුත් දුන්නනෙ අන්නාසි හොරෙන් කඩල,ඔය ඩේවිට් අයියලගෙ ඉඩං කෑල්ලෙ වෙසක් සැරසිල්ල ගහපු වෙලාවෙ.

රෑ කඩාගෙන ආපු අන්නාසි තොගේ කැපුවෙ පේමරත්නලගෙ ගෙයි ඉස්තෝප්පු කාමරේ.
කපාපු අන්නාසි කෑලි බේසම්වල දාල ගිහිං උඩට උස්සනව විතරයි කාක්කො කෑව වගේ අන්නාසි කෑලි අතුරුදහන් වෙනව.ආයෙමත් බේසම් පුරෝගෙන එනව,එදා නං අපි පුදුම පිනක් කරගත්තෙ.
 හැබැයි පිට ගම්වල කොල්ලො අන්නාසි කඩන්න ආවට අපි උන්ට වත්තට පනින්න දෙන්නෙ නෑ,අපේ වත්තනෙ,උන්ට අන්නාසි ගෙඩි තුන හතරක් කඩල දීල පිටත් කරනව.

ආයෙම ඔය පිට පළාත්වලින් ඇවිත් අපේ ගමේ නැවතිල රෙදි මෝලෙ වැඩට ගිය අය,ඒ ගොල්ලොත් අපි වත්තට පනිනව බලාගෙන ඉඳල පනින්න ගත්ත,ඒ අයටත් අපි හොඳින් කාරණා කියල දුන්න,අන්නාසි ඕනැ වෙලාවක අපට කියන්න ,ඔයාල වත්තට පනින්න එපා කියල.හැබැයි සමහර කොල්ලොන්ට ඕනැවුණා අපිත් එක්ක ගිහින් වත්තට පැනල අන්නාසි කඩන ත්‍රාසජනක අත්දැකීම ලබන්න,එහෙම උංව අපි එක්කං ගියා,එහෙම කරපුවාම උන්ගෙන් අපට හරි සැළකිලි.

ආයෙ අපේ ඉස්කෝලෙ කොල්ලන්වත් ගමට එක්කං ඇවිත් අපි අන්නාසි සංග්‍රහ පවත්වනව.යනකොට අරං යන්නත් නැටි නැති අන්නාසි දෙනව,අරං යනකොට අහුවුණොත් උන්ටනෙ ටොපිය.
අපේ නොනවතින අන්නාසි කැඩිල්ල නිසා වත්තෙ මුදලාලිටත් දැනෙන තරමට පාඩු සිද්ද වුණ,මුරකාරයො දාල අපිව පාලනය කරගන්න බැරිවුණා,අනික ඔය මුරකාරයො තියාගෙන හිටියෙ හොර තුවක්කු බව අපි දැනගෙන හිටිය,ඒවයින් වෙඩි තිබ්බොත් උං ගස්.

අන්තිමේදි මුදලාලි වැඩේ පොලිසියට බාර දුන්න,මිනිහ දළ කාරයනෙ,මොන වියදමක් ගියත් කමක් නෑ කොල්ලො ටික බය කරල අන්නාසි කඩන එක නවත්තල දෙන්න කියල තමයි පොලිසියට කියල තියෙන්නෙ කියල පස්සෙදි ආරංචි වුණා.

 ඔන්න එක දවසක් උදේ පාන්දර ආරංචි වුණා ඊයෙ රෑ එකොළහට වැඩ ඇරිල ඇවිත් ගෙදර නිදාගෙන හිටපු ලොකු මහින්දව පාන්දර ජාමෙ පොලිසියට අල්ලං ගිහිං කියල.
පොලිසියෙන් ඇවිත් තිබුණෙ වත්තෙම ලොරියෙ,මේක අපට හරි ප්‍රෙහේළිකාවක්,මිනිහ රස්සාවට ගියෑං පස්සෙ අපිත් එක්ක අන්නාසි කඩන්න යන්න වෙලාවක් තිබුණෙ නෑ.රස්සාවට යන්න කලිං අන්නාසි කඩපු එක ඇත්ත,කොච්චර අන්නාසි කෑවද කිව්වොත් මිනිහගෙ කකුලෙ දදේකුත් ආවනෙ සැරට.ඒ දදේ නං තාම තියෙනව කාලෙන් කාලෙට මතුවෙවී.

අපි කල්පනා කළේ මෙච්චර මේ අපි ඉඳිද්දි මේ යකාවම අල්ලං ගියෙ ඇයි කියලයි.කොහොම හරි ටිකක් දවල් වෙන්න ඇරපු අපි ටිකත් පොලිසියට ගියා මහින්ද බලන්න.
න්න මහින්ද කූඩුවෙ දාල ඉන්නව,අපි ගිහිං මහින්දට කතාකරල එනකොට සාජන් මහත්තයෙක් හිටිය,එයා තමයි මුළු ඔපරේෂන් එකම බාරව වැඩ කරල තිබුණෙ.මහින්දට තිබුණු චෝදනාව තමයි වත්තෙ ලොරියෙ ජැක් එක හොරකං කිරීම.කිළුටු ගවුං කඩමාල්ලකුත් ඇඳගත්තු අවුරුදු හත අටක විතර පුංචි කෙල්ලක් බිම ඉඳගෙන පොලිසියෙ බිත්තියෙ සමර තීරු පතුරු ගගහ හිටිය,ඒකිලු සාක්කිය,මුරකාරයෙකුගෙ දුවෙක් වෙන්නඇති.

 සාජන් අපෙන් අහනව....

කෝ තමුසෙලගෙ ගුරා...කියල

ගුරා කිව්වෙ සුනිල් මහත්තයට,සුනිල් මහත්තය විද්‍යා ගුරුවරයෙක් සහ අපේ අන්නාසි කඩන කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක්.

අපි සද්ද නැතුව හිටිය..ඒ ගමන සාජන් කිව්ව, ගුරත් එක්ක කට්ටියම හැන්දෑවට එනවලා,මේක ඉවරයක් කරන්න කියල.

සුනිල් මහත්තයයි අපි කට්ටිය පහළොවක් විතරයි හවස්වරුවෙ පොලිසියට ගියා,ලොකු මහින්දටත් ඇප දීල 
එලියට දැම්ම,දැන් පැමිණිල්ල විභාග කරනව.
  
අර ජැක් එක හොරකං කරපු කතාවක් දැං නෑ,අන්නාසි කැඩිල්ල ගැන තමා කියන්නෙ,
අපි කියනව අපි අන්නාසි කඩන්නෙ නෑ කියල...
සාජන් කියනව තමුසෙල නෙමෙයිනම් කවුද ඕයි අන්නාසි කඩන්නෙ ..කියල
අපට තග දාල අඩි හප්පන්නත් බෑ මිනිහට ඇයි ශ්‍රමදාන කරන්න,ලේ දන් දෙන්න ඔය හැම මගුලකටම අපිවනෙ හොයාගෙන එන්නෙ,ඇයි ගමේ ආරක්ෂක කමිටු හදල රෑට ඇවිදින්න කිව්වහම අපි තමයි ඉස්සෙල්ලම කමිටු හැදුවෙ,පොලිසියෙන් අයිඩෙන්ටි හිටන් අපිට දීල තිබුණනෙ.ඒව ටිකත් අපි පෙන්නුව,ඒ ගමන බැන්නෙ නෑ.
 දැං සාජන් කියනව,
එහෙනං මම ලියනව මින් පසුව අන්නාසි නොකඩන බවට පොරොන්දු වෙමු කියල..
එහෙම බෑනෙ අපි කලින් අන්නාසි කැඩුවෙත් නෑනෙ,ලියන්න ඒකත් කියල...
වාදෙ ඉවරයක් නෑ...
ඒ ගමන පොත පැත්තකට දාපු සාජන් අමුතුම විදියකට කතා කරන්න ගත්ත..
දැන් බලනවල..අර මනුස්සයත් සෑහෙන වියදමක් කරලනෙ තියෙන්නෙ වත්තට,තමුසෙල ඔය කරන වැඩෙන් කොච්චර නං පාඩුවක්ද දවසකට,ගිහිං හොඳින් කතා කළොත් වත්තෙ රස්සාවල් පවා ඔය මනුස්සයගෙන් ඉල්ලගන්න පුළුවන්නෙ..කියල.
අපි කිව්ව ඒ ගමන...
සාජන් මහත්තය...ඔය මිනිහ හරිම කුම්මැහි ලෝබය,ගමේ දානෙ ගෙදරකටවත් අන්නාසි ගෙඩියක් නිකං දෙන මිනිහෙක් නෙවෙයි,ඒක නිසා තමයි අපි ඔය අන්නාසි ගෙඩියක් දෙකක් ඉඳල හිටල කැඩුවෙ,අපිනං රස්සාවල් ඉල්ලගෙන ඔය මළ පෙරේතය ගාවට යන්නෙ නෑ..... කියල.
දවසකුත් තමුසෙල අන්නාසි කඩනකොට අපට එක්කෙනෙක් අහුවුණානෙ, අපි ඒකත් දිග දුර ගෙනියන්නෙ නැතුව අතඇරල දැම්මනෙ,පොඩ්ඩක් කල්පනාකරල බලනවලකො..කිව්ව.

 දැං විජා බයේ ගැහෙනව,
මේව මෙහෙම වෙන එකෙන් අපි දෙගොල්ලන්ටම කරදරයි නේද කියල සාජන් පැමිණිලි විභාගය ඉවර කෙරුව.
මහින්දවත් ඉස්සර කර ගත්තු අපි ජයග්‍රාහී ලීලාවෙන් ගමට ආව,අනේ ඌට එදා හවස තුනට වැඩට යන්නත් නෑ.
දැන් ඉතිං බොරු පැමිණිලි කරල මහින්දව කූඩුවෙ දැම්මට මුදලාලියගෙන් පළිගන්නත් එපායැ..ඒ දවස්වල වත්තෙ පාලකය හැටියට හිටියෙ මුදලාලිගෙ පුතා,ඒ වෙනකොට ඉස්ටැන්ලිය තරහවෙලා රස්සාව දාල යන්න ගිහිං.
  මුදලාලිගෙ පුතා හවසට ටවුමෙ ඉංග්‍රීසි ක්ලාස් යනව සයිකලේක,මිනී කනත්ත ගාව ගේට්ටුවෙන් තමයි ඌ පිටත්වෙන්නෙ.
ඔන්න පහුවදා අපි විස්සක් විතර හවස එකහමාර වෙද්දි මිනී කනත්තට ගිහිං රැකල හිටිය.දෙකට විතර මිනිහ බයිසිකලේ නැගල එනව,අපි ටික පාරට පැන්න,මේකා එහෙම්මම බයිසිකලේ ආපහු හරෝගත්තු පාර විද්ද විදිල්ලක් වත්තටම පස්ස නොබල.එන ගමන් වත්තට පැන්න අපි ආපහු ආවෙ අන්නාසි තොගේකුත් කඩාගෙන.ඊට පස්සෙනං කවුරුවත් පොලිසියට පැමිණිලි කරල තිබුණෙ නෑ.

අපි ඔක්කොම ඉද්දි මහින්දවම අල්ලගෙන ගිහිං තිබුණෙ ඇයි දන්නවද?මුරකාරය ඒ වෙනකොට දැනගෙන ඉඳල තියෙන්නෙ මහින්දගෙ නම විතරයි.ඒ හින්ද.
පස්සෙ කාලෙක මුදලාලිගෙ බද්ද ඉවරවුණා.ආයෙමත් පාළුවට ඇරිල තිබුණු වත්ත 1995 දි වාගෙ කෑලි කඩල වෙන්දේසි කලා,මාත් කෑල්ලක් ගත්ත පාර අයිනෙන් ගෙයක් හදාගන්න කියල.ඒ දවස්වල පාර අයිනෙ පර්චස් එක රුපියල් හත්දාහයි.
මේ ළඟදි වත්තෙ ඉතුරුවෙලා තිබුණු කෑල්ලක් වෙන්දේසියට දැම්ම, දැන් පාර අයිනෙ පර්චස් එක රුපියල් අසූහත්දාස් පන්සීයයි.


 

Saturday, January 12, 2013

16.චූටිගෙ කතාව....2


එක වෙසක් දවසක අපි කට්ටිය පොඩි මහින්දගෙ කඩේ ඉස්සරහ ඔලු බක්කො නැටුමක් ලෑස්තිකලා,හදිස්සියෙ මේස දෙකක් තියල අටවගත්ත වේදිකාවට කට්ටිය නැගල ඔලු දාගෙන නටනව,මහන්සි වුණාම බැහැල වෙන එකෙකුට ඔලුව දෙනව.

ඔහොම වැඩේ යද්දි සෙනගත් දැන් පිරිල බලනව,මට මතක් වුණා හොඳ වැඩක්,අර ඒ දවස්වල නිහාල් නෙල්සන් මනමෙ කතාව සිංදුවකට දාල තිබුණා,මම කරපුදේ චූටියයි කපිලවයි මනමෙ ජෝඩුවට අන්දල සිංදුව දාල නැටෙව්ව,කුමාරිට නැටුවෙ චූටිය.

වැඩේ ටොප්,ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම,ආයෙත් ඒ නැටුම ඉල්ලනව.කොහොමත් ආපහු විනාඩි පහකින් නැටුම ආයෙත් නටන්න තීරණය කළා.ඒ වුණාට මගෙ හිතේ පොඩි සැකයක් තිබුණා ඉස්සෙල්ල නටනකොටත් මනමෙ කුමාරි කුමාරයගෙ ඇඟට හේත්තු වෙලාමයි හිටියෙ,මොකද කියල.නැටුමට ඔක්කොම ලෑස්ති කලත් කුමාරි නෑ,මම ගියා මනමෙ කුමාරිව හොයන්න,අහෝ,මෙන්න කුමාරි වේදිකාව පාමුල රඹුටං ගහ මුල නිදිකුම්බ පඳුරක් හපාගෙන නිදි. කුමාරිට කුණු වෙරි.

චූටිට රස්සාව හම්බවෙනතුරුම මම කරපු සමාජ වැඩ වලටයි,විකාර වැඩවලටයි හැම එකටම කිසිම ප්‍රශ්නයක් අහන්නෙ නැතුව චූටි මගෙ පස්සෙන් හිටිය.

ඔන්න ඔය විදියට කාලය ගතවෙනකොට තමයි චූටියගෙ අයිය උක්කුං මහත්තය චූටිව හිරගෙදර රස්සාවට දැම්මෙ,තාත්ත වැඩකරපු තැනනෙ,පිය පුතු පදනමට කියල,දැං චූටි බන්ධනාගාර නිලධාරියෙක් වෙන්න පුහුණු වෙනව.

පුහුණුවෙන් පස්සෙ චූටිට ඉස් ඉස්සෙල්ලම පත්වීම ලැබුණෙ යාපනේ හිරගෙදරට,ඒකත් ලස්සන කතාවක්,ඔන්න දැන් පුහුණුව අවසන් කරපු බන්ධනාගාර නියාමකයො ටික ඉස්සරහින් තියාගෙන හිරගෙවල් වලට බෙදනව,හිරගෙදර නමයි ඇබෑර්තු ප්‍රමාණයයි කියපුවාම එතෙන්ට යන්න මනාප අය නැගිටල කැමැත්ත දෙනව,ඔක්කොමල වගේ යන්න හදන්නෙ ගෙවල් වලට ළඟම තැනට,චූටිට ළඟම හිරගෙදර මහරනෙ,මහර නම කියවෙනකොට චූටි සද්ද නැතුව හිටිය ඌට නෙවෙයි වාගෙ.
 යාපනය කියද්දි අර දෙමළ කොල්ලො කීප දෙනත් එක්ක මූත් නැගිට්ට,ඔන්න ඔහොම තමයි ඌට යාපනේට පත්වීම ලැබුණෙ,පස්සෙ දවසක මම ඇහුවාම යාපනේට ගියෙ ඇයි කියල චූටි ගත් කටටම කිව්වෙ,

එහෙ ඇතිවෙන්න තල් රා බොන්න තියෙනවනෙ....කියල

දැං චූටි රාජකාරි කරන්නෙ යාපනෙ හිරගෙදර,ඕං මාසෙකට විතර පස්සෙ මට ලියුමක් එනව චූටිගෙන් විස්තර කියල..එකතැනක තියෙනව දැං මෙහෙත් කෙටි ප්‍රශ්න වැඩිවේගෙන එනව කියල..
මම හිතාගත්තෙ කෙටි ප්‍රශ්න කියන්නෙ සුළු ප්‍රශ්න කියල.
 දවසක්දා චූටිලගෙ ශාන්ති අක්ක මට හම්බවුණු වෙලාවෙ මම ඕක කිව්ව,ශාන්ති අක්ක කියනව..

අනේ මූ මටත් ලියුම් එවනවනෙ මිටි චූටි කියල..මං ඒත් දවසක් උගෙං ඇහුව චූටියො ඇයි බං උඹ මිටි චූටි කියන්නෙ,උඹ මිටියැ හොඳට උස තියනවනෙ කියල.

පස්සෙ අපි දෙන්න ගොඩක් වෙලා සාකච්ඡා කරල ප්‍රශ්නෙ විසඳා ගත්ත.

කෙටි ප්‍රශ්ණ කියල තිබුණෙ කොටි ප්‍රශ්ණ වලට,

මිටි චූටි කියල තිබුණෙ මීට චූටි කියන එකට.

 යාපනේ ත්‍රස්තවාදී කලබල උග්‍රවෙනකොට හිරගෙදර වහලදාල චූටිලවයි හිරකාරයොයි වෙන හිරගෙවල් වලට  මාරු කළා,චූටි වැටුනෙ මහනුවර බෝගම්බර බන්ධනාගාරයට.

ඔය රෙදි මෝලෙ වැඩකරපු ගුරුගේ,ගුරාගෙ ගම නුවර.සැරයක් ගුරා අපට ආරාධනා කළා පෙරහැර බලන්න එන්න කියල,ඒ ගමන මමයි ආරියි පෙරහැර දවසක නුවර ගියා ආරිගෙ 125 සයිකලේ,ගුරුගෙල එතකොට හිටියෙ අනිවත්තෙ ගුරා මුණගැහිල දවල්ට කාල එහෙම ටවුමෙ රස්තියාදුවක් ගහල එන්නම් කියල එලියට බැස්ස අපි ගියෙ චූටි හම්බවෙන්න හිරගෙදරට.
 අපි චූටිය ගැන අහගෙන ඇතුළට ගියා,හිරකාරයෙක් අපිව එක්කං ගියා චූටි ඉන්න තැනට,ඔන්න විශාල ශාලාවක තියෙන බංකුවක කොට කලිසමක් විතරක් ඇඳ ගත්තු චූටි මුනිං අතට දිගාවෙලා ඉන්නව,හිරකාරයෙක් හොඳ සීරුවට චූටියව මසාජ් කරනව.

ආරිටයි මටයි හිනා..මූට තියෙන සැප අම්මපල්ල කියල අපි දෙන්න කතාවුණා.

රෑ පෙරහැර බලන්න චූටි අපිත් එක්ක ආව.

ඊටත් පස්සෙ කාලෙක චූටියව මහර හිරගෙදරට මාරුකලා,දැං චූටි වැඩට යන්නෙ ගෙදර ඉඳන්,මේ කතාව මට කිව්වෙ අපේ මල්ලි,

ටවුමෙ ඉඳල ගෙදර එන මල්ලිට චූටි වැඩ ඇරිල එනව හම්බවෙලා,හොඳටම බීල.
දැං දෙන්නත් එක්ක කතා කර කර පයින්ම එනව,එදා හොඳටම වැහැපු දවසක්,මේ දෙන්න ෂෝට් කට් එකෙන් එනකොට ඇල උතුරල යනව,පොල්කොට ඒදණ්ඩ ගහගෙන ගිහිං,මිනී කනත්ත උඩිං ඇවිත් ඇලෙන් එගොඩවෙලා නියරෙන් ගොඩවෙන්නෙ චූටිලගෙ වත්තට.
 මල්ලි කිව්වලු කරන්ඩ දෙයක් නෑ බැහැල යං කියල..

නෑ නෑ මට පැන ගත්තැහැකි කියපු චූටි සපත්තු ගලවල කලිසමත් නමාගෙන කනත්තෙ ටිකක් උඩහට ගිහිං වේගෙන් දුවගෙන ඇවිත් ඇලෙන් පැනල..

ජබෝස්...චූටිය කෙලින්ම ඇලේ....

දනි පනි ගහල වතුර පෙරාගෙන ගොඩ ආපු චූටිය මල්ලිට කිව්වලු,

පො..පොඩ්ඩක් දිග මදිවුණා කියල..

 එන්න එන්නම චූටියගෙ බීම වැඩිවුණා,අපි කවුරුහරි ඇහුවොත් මොකද චූටි ඔච්චර බොන්නෙ කියල,

අපේ තාත්තගෙ නම ගෙනියන්න තමයි මම බොන්නෙ කියල තමයි කියන්නෙ.

ඔන්න දවසක් මේක හවස ඇවිත් ගෙට ගොඩවෙනකොට වැටිල සිමෙන්ති පඩියෙ හැප්පිලා ඔලුව පැලිල,
මායක්කයි,නංගියි අපේ ගෙදර දුවගෙන ආව අනේ බේත් ටිකක් දාන්න කියල.

ගිහිං බැලුවාම මූ ඉන්නව ලේ පෙරාගෙන,මට කේන්තියි,මම මුගෙ ඔලුවෙ ලේ පිහල තුවාලෙ සුද්දකරල බේත් දැම්මෙ උගෙ වෙරි හිඳෙන්න.

 ඔය විදියට සතුටින් සමාදානයෙන් හිටපු චූටිට කටයුත්තක් කතා කළේ උක්කුං මහත්තය,මනමාලි කවුද?අපේ ගමේ ගෙයක් කුලියට අරං හිටපු ඇන්ටගෙ පවුලගෙ අක්කා,ඇන්ට ටේලර් කෙනෙක්, චූටියට වැඩියෙ බේබද්දා,අපූරු මස්සිනාල දෙන්නෙක් එකතු වෙන්න යන්නෙ,ඇන්ට ගැනත් ලස්සන කතා තියෙනව එකක් කියන්නම්.

ඔන්න අපි රෑ වෙලා ගෙදර එන දවස්වලට ඇන්ටවත් හම්බවෙනව,කණ පැලෙන්න බීල ඉන්න ඇන්ට දැං පාක් කරන්න ඔන්න මෙන්න,අපි මූව වත්තං කරගෙන වදෙං පොරෙං එක්කං එනව උස්සගෙන වාගෙ.හැබැයි කවුරුවත් කැමති නෑ මූව ගෙදරට බාරදෙන්න,ඇයි ඇන්ටගෙ පවුල බනිනවනෙ ගෙනාපු එකාට හරියට ඌ ඇන්ටට හැන්දෙන් අරක්කු පෙව්ව වගේ.

ඇයි යකෝ මේකව ගෙදරත් ගෙනත් දාල බැණුනුත් අහපල්ලකො ගෑණුංගෙන්,අපි ඒකටත් ක්‍රමය හොයාගෙන තිබුණෙ,

ඔන්න ඇන්ටව ගේ ළඟටම වත්තං කරගෙන ඇවිත් උගෙ පවුලට කතා කරනව...

ඇන්ටන් නංගී....ඇන්ටන් නංගී.... කියල,

 ගෑණි එළියෙ ලයිට් දාල දොර අරින කොට ඇන්ටව වැටට හේත්තු කරන අපි පැනල දුවනව පන එපා කියල.
එතකොට ගෑණි බණින්නෙ ඇන්ටට විතරයි.

ඉතිං චූටියට තියෙන්නෙ ඇන්ටගෙ පවුලගෙ අක්කට බින්න බහින්නයි,කොහොමද උක්කුං මහත්තයගෙ මොළේ,චූටියට ගේ දෙන්න වෙන්නෙත් නෑනෙ එතකොට.

ඉක්මනටම මඟුල කෙරුණ,මගුල ගැන මටනං කිසිම මතකයක් නෑ,අපට කිව්වෙ නැද්ද,අපි ගියෙ නැද්ද,ගමේ හිටියෙ නැද්ද කියල.කොහොමහරි චූටිය ඔය දිවුලපිටි පාරෙ ටෙක්නිකල් එක ළඟින් හැරිල යන්න තියෙන පැළ වගාව පැත්තෙ ගේක නැවතුනා.

 බැන්දට පස්සෙ චූටිගෙ අපේ ආශ්‍රය ගොඩක් ඈත්වුණා.කලාතුරකින් දවසක අම්මලව බලන්න ගෙදර එන චූටිව මම දකින්නෙ උදේ පාන්දර අපේ දෙවැට පාරෙ වේගයෙන් උඩහට යනව,මම එළි පහළියෙ හිටියොත් චූටිය කියනව,

මේ..පාන් ගෙඩියක් ගේන්න කඩේට යනව ..කියල,
මොන පාන්ද,මූ උදේ පාන්දර යන්නෙ ෂොට් එක දාගන්න මම දන්නෙ නැතුවෑ.

පස්සෙ චූටියලට දරුවෙකුත් ලැබුණා,පුතෙක්.ඔය කාලෙ චූටි වැඩකලේ මීගමුවෙ හිරගෙදර.
 දවසක් හදිසියෙම අපිට ලැබුණු ආරංචියකට අපි උඩ ගියා.

චූටි මැරිලා.....

හදිසියෙම ඇතිවුණු දරුණු හෘදයාබාධයක්ලු,මැරෙනකොට වයස හතළිස් ගාණයි.

මළගෙදරට අපි ඔක්කොම ගියා,චූටි පාර අයිනෙ ගොඩක් වෙලා වැටිල හිටියලු,ඒක හැමදාම වෙන සාමාන්‍ය දෙයක් නිසා කවුරුත් විශේෂයෙන් බලල නැහැ.සිහි ආපුවාම මිනිහම නැගිටල යනවලු.

 එදා වැටිල ඉඳිද්දි පපුවෙ අමාරුව හැදිල,

චූටි පදිංචිවෙලා හිටපු ගෙදරට ගිය අපට හරිම හිතට අමාරුයි,චූටිගෙ මහප්ප,සිරිල් මාමගෙ පුතා,සරත් අයියගෙ ඇස්වල කඳුලු,මගෙන් අහනවා,

....මල්ලි කවුද චූටියට මේ මගුල කරල දුන්නෙ..කියල.චූටි වැඩ කරපු හිරගෙදර කට්ටියත් ඇවිත් හිටිය,ආපු ජේලර් කෙනෙකුගෙන් සරත් අයිය චූටි ගැන අහල,එයා කිව්වලු හිරගෙදර වැඩකරපු අහිංසකම මනුස්සයෙක් කියල.

උත්සව නිළ ඇඳුමෙන් සැරසුණු සහෝදර නිලධාරීන් හය දෙනෙකුගෙ කරපිටින් පාණ්ඩු පාට හිරුඑළිය ගස් අතරින් වැටී තිබුණු ඒ හැන්දෑවෙ චූටි අවසන් ගමන ගියා.

කනත්තෙ අවසන් කටයුතු කෙරෙද්දි මගේ හිත දිවගියේ අතීතයට,චූටිය අපිත් එක්ක ගතකරපු රසබර මතකයන් චිත්‍රපටියක දර්ශන පෙළක් වගේ මට මැවී පෙනුනා,හදවත පාරාගෙන නැග එන දරුණු ශෝකය මැඩගන්නට මා ගත්තේ අසාර්ථක උත්සාහයක්.
 ඒ කනත්ත අපේ කනත්ත තරම් ලොකු නැතිවුණාට ලස්සන තැනක තිබුණෙ.පල්ලමක,පල්ලම ඉවරවෙන්නෙ කුඹුරකින්,ඒ ළඟින් ඇලක් ගලාගෙන ගියා,රූස්ස ගස් දෙකක් අතරින් ඒදණ්ඩක්.

කනත්ත අයිනෙ තිබුණු කොළ නැති කේඩෑරි ඇහැළ ගහක පිපිල තිබුණු එකම එක මල් පොකුර හුළඟට හෙලවුණේ  අපේ ආදරණීය චූටිට සදහටම ආයුබෝවන් කියන්න වගේ.

චූටිත් මමත් ඉන්න එකම එක කළු සුදු පින්තූරය අර අපි ට්‍රිප් එක ගිය වෙලාවෙ පොළොන්නරුවෙ ගල් විහාරය ඉස්සරහදි ගත්තු එකක්,මම තාම ඒක පරිස්සමින් තියාගෙන ඉන්නවා.