Sunday, December 29, 2013

109.දේවාලෙ කැලේ වෙල මැද අම්බලම සහ තවත් කතා



අපි ගතින් 21 වෙනි සියවසේ ජීවත්වුණත් සිතින් ජීවත් වෙන්නෙ අතීතයෙද කියල මට නිකමට වගේ හිතුණා...මොකද නොස්ටැල්ජික් හෙවත් අතීතකාමය අපි කාටත් අඩු වැඩි වශයෙන් තියෙන බව නොයෙකුත් අවස්ථාවන්හිදී අපට තේරුම්යන නිසා...

වැඩියෙ ඕනැ නෑ දැන් ඔය අපි බොහොම උජාරුවෙන් කරන මස් පළහා කෑම හෙවත් බාබකිව් කියන ක්‍රමයත් ඈතම අතීතෙ අපේ ආදිතම මුතුන් මිත්තන්ගෙ ආහාර ක්‍රම වර්තමානයට නැවත රැගෙන ඒමක් නොවැ...බාබකිව් එකක් කරද්දී අපිනං ඔහොම හිතන්නෙ නෑ බොහොම ආඩම්බරෙන් සමහර වෙලාවට බාබකිව් එක කරන්න සෑහෙන කැලේකුත් හොයාගන්නව...කිව්වහම මොකද මාත් මේ ලඟදි කැලේ පැත්තක ගිහිං කරපු බාබකිව් එකකට සහබාගි උනා  මම නං ඉතිං කොහොමත් ඔය අතීත කාමෙ වැඩිපුර ඉහට ගහපු එකෙක්නෙ, මහ මන්දිර වලට වඩා කැලේට කොළේට පොල්ලතු වහපු මැටි ගෙදරට බොහොම කැමතියි...

මම ඔය විස්තරේ කිව්වේ අද උදේ පත්තරේ කියවනකොට පත්තරේ තිබ්බ පින්තූර දෙකක් එක්ක මම හිතින් බොහොම ඈත අතීතයකට ගියා...කාලෙකින් නොදැකපු නෑදෑයෙක් දැක්ක වගේ මට හිතුණා කලිනුත් පෝස්ට් එකක  ලීව වගේ  මම පොඩි කාලෙ අපේ අම්මලගෙ ගමේ ගිහිං කාලයක් හිටියනෙ එතකොට නැවතිලා හිටියෙ අපේ ලොකු අම්මලගෙ ගෙදර, ලොකු අම්ම කිව්වේ අපේ අම්මගේ අක්ක, බැඳලා හිටියෙ බෝතලේ ප්‍රසිද්ධ කපු පරම්පරාවක මද්දුමය, ඒ මහප්පගෙ නම පුංචිබණ්ඩාර...ගෙදර මහප්ප කියලයි අපි කිව්වෙ.

ඒ ගොල්ල පරම්පරාගත කපුවො, මහප්පලගෙ ගෙවල් ලඟම තිබ්බ පොඩි කැලේට අපි කිව්වෙ දේවාලෙ කැලේ කියලයි, ඒ කැලේ පොඩි පත්තිනි දේවාලයක් තිබුණා...දේවාලෙ නං බොහොම පොඩි කිසිම ලකයක් නැති දියසෙවෙල බැඳුනු පරණ දේවාලයක්, ඒ වුනාට මොකද දන්න කියන කිසිම කෙනෙක් ඔය දේවාලෙටවත් කැලේ තියෙන අවුරුදු සිය ගානක් පරණ රූස්ස ගස් වැල් වලටවත් අතක් තියන්නෙ නෑ...සැරයක් මම ආසාවට කියල ගෙයි මිදුලෙ හිටෝගන්න වේවැල් පැළයක් ඔය කැලෙන් ගලෝගන යන්න හැදුව, වේවැල් පැළ ඕසෙට තිබුනත් මට පැළයක් ගලෝගන්න බැරිවුනානෙ...

ඔය කැලෙත් දේවාලෙත් බෝතලේ මහවලව්වේ සේනානායක පවුලෙ බූදලයක් දිවංගත මහ සේනානායකයන්ගෙ ඉඳල එතෙක් මෙතෙක් හිටපු සහ ඉන්න සියලුම සේනානායකවරු අදටත් තමන් කරන කියන හැම දේකටම ඉස්සෙල්ල සෙත් ශාන්ති ආශීර්වාද කරවගෙන යන්නෙ ඔය දේවාලෙන්...

ඔය මම බෝතලේ හිටපු කාලෙ දේවාලෙ කපුකම කළේ අපේ ලොකුඅම්ම බැඳල හිටපු මහප්පගේ අයිය, අපි කිව්වෙ කඩේ මහප්ප කියල, ගෙදර මහප්පයි තව බාප්ප කෙනෙක් හිටිය ඔය තුන්දෙනාම අමුඩයෝ උදේ ගහගන්න අමුඩෙ ගලවන්නෙ රෑ නින්දට යන්න...අමුඩෙ ගහගෙන කළයක් වගේ බඩත් එළියෙ දාගෙන ඉන්නකොට කඩේ මහප්ප ඇරපු අතක් නෑ බහිරවයෙක් වාගෙමයි...

ඒ කාලෙ හැම අවුරුද්දකම දේවාලෙ ගම්මඩුවක් නැටුවා, අහළ පහළ ගම්වල ඉන්න නැට්ටුවෝ බෙරකාරයො කපුවො ඔක්කොටොමත් ආරාධනා කරල රෑ එළිවෙනකන් නටන ගම්මඩුව බලන්න ලස්සනයි...ඒ කාලෙත් ගම්මඩුවක් නටන්න සෑහෙන වියදමක් යනව, කඩේ මහප්පටත් කුඹුරුවලින් එන වී ටිකෙන් ගෙදර කෑමටත් අරං ඉතුරු හරිය විකුණල ගන්න මුදලක් ඇරෙන්න වෙන ආදායමක් තිබ්බ එකක්යැ...ගම්මඩු නටන්න ගමපුරා සම්මාදමේ ගියෙත් නෑ ගම්මඩුවේ යාතිකා කරල පඬුරු පෙට්ටියට වැටෙන මුදලක් තමයි...මඩු නටන්න එන නැට්ටුවන්ට බෙරකාරයන්ට බොන්න කසිප්පු  හොයල දෙන එක තමා කරදරම වැඩේ...බීම ඉල්ලිල්ල ඉවරයක් නැතිතැන කඩේ මහප්පටත් කේන්ති යනව...

මුංගේ ලපැලියාවෙ ඉවරයක් නැති හැටි අම්මප...

එහෙම කිව්වට කසිප්පු ගෙනාපුහම කඩේ මහප්පත් දෙකක් දාගන්නව...ගෙදර මහප්ප බොන්නෙ නෑ ගම්මඩුවෙදි පත්තිනි දේවිට අඳින්නෙ ගෙදර මහප්ප බලන්න එපායැ මහප්ප පත්තිනි දේවිට ඇඳල එන ලස්සන...ගම්මඩුව නටල යාතිකා කරල ඉවරවෙද්දි කොහොමත් උදේ  නවය දහය විතර වෙනව...නැට්ටුවො බෙරකාරයො පස්සෙන් අපිත් කඩේ මහප්පලගේ ගෙදරට යනවා...

ඒ වෙනකොට එන අයට කඩේ මහප්පලගෙ ගෙදර කෑම ලෑස්තියි, පිළිහුඩු කරෝල ජාති මොකුත් මුහු නොකර බතුයි කිරිහොදි හරි ලබු හරි පුහුල් වගේ හොද්දකුයි සම්බෝලයි එක්ක ඔක්කොමල බිම ඉඳගෙන උණුවෙන් කෙහෙල් කොළේට බෙදන බත් පත කනව...කාල ඉවරවෙලා  කඩේ මහප්ප කට කපල පිරිලා තියෙන පඬුරු මුට්ටියෙන් කාසි අහුරක් දෙකක් පිටින් ආපු අයට දුන්නම ඒ අය මහප්පට වැඳල සමුඅරන් බෙරයි නැටුම් ඇඳුම් පොට්ටනියි කර ගහගෙන යන්න යනවා...ආයෙ ගණන් පොරොන්දු වීමක් සල්ලි ගණන් කිරිල්ලක් මොකුත් නෑ ඒ කාලෙ එහෙම තමා,ඔය විදියට ආපු අයට පඬුරු අහුරු අහුරු දීල පිටත් කරපුවම අන්තිමට මහප්පටත් මුට්ටියෙ පඬුරු ටිකක් ඉතුරු වෙනව සමහර වෙලාවට මොකුත් නෑ...

කඩේ මහප්පගේ ලොකු පුතා කඩේ අයියටත් මඩු නැටිලි බෙර ගැහිලි ඔක්කොම පුළුවනි ඒ උනාට කඩේ මහප්ප මැරුණට පස්සෙ අපි බලාපොරොත්තු වුනු විදියට එයා දේවාලෙ තේවාව බාරගත්තෙ නෑ...එතකොටත් කඩේ අයියට ජෙප්පො කොක්ක ගහල, එයා බෙරගැහුවේ ජේ වී පී මැයි පෙළපාලියෙ,දවසක් මම ඇහැටම දැක්ක, ඔය දේශපාලනය නිසාම කඩේ අයිය පස්සෙ කාලෙක පුදුමාකාර දුකක් වින්දා රස්සාවක් කලෙත් නෑ පවුල් පන්සල් වුනෙත් නෑ පුල්ටයිම් කරන නිසා...ජීවිතේම නැති නාස්ති කරගෙන අසනීප වෙලා දැන් මල්ලි කෙනෙක් ළඟ ඉන්නව, බාප්ප මැරුණු වෙලාවෙ බෝතලේ ගියාම අන්තිමට මට හම්බවුණේ.

ගෙදර මහප්පට හිටියෙ එක පුතයි ඒ චන්දරේ අයිය,එයත් බොහොම හොඳට ගොවිතැන්බත් කරගෙන ඉඳල කරුමෙට වගේ නොගැලපෙන තැනකින් කසාදයක් කරගත්ත,පවුලගෙ කීමට මහ විසාලෙට තිබ්බ පරණ ගේ කඩල පොඩි මඩුවක් වගේ ගෙයක් හදාගත්ත...

කඩේ මහප්පට පස්සෙ බාප්ප දේවාලෙ කපුකම බාරගත්ත,ඔය කාලෙදිම ගෙදර මහප්පත් මියැදුනා...ඔන්න ඔහොම වැඩ කෙරීගෙන යද්දී පත්තිනි දේවාලෙ හළඹ ආගිය අතක් නැතුව ගියා,දන්න හැම  ආකාරයටම  හොයල බැලුව නිමිති පේන බැලුව මොකුත් හරිගියෙ නෑ...අන්තිමේ බාප්ප ප්‍රසිද්ධියෙම තර්ජනයක් කළා...

මම නරක මිනිහ කියන්න එපා ගත්ත කෙනෙක් හළඹ ගෙනල්ල දාපල්ල කිසිම සෝලියක් තියන්නෙ නෑ...හැබැයි එහෙම නොකොළොත් හෙට මම පළි ගහනව...

හළඹ ලැබුනෙ නෑ,පහුවදා උදේම බාප්ප නාල එහෙම දෙහි බෑයකුත්  ඔළුවෙ ගාගෙන මල් පළතුරු වට්ටියකුත් අරං දේවාලෙට ගියා, ගිහිං වැඳල එහෙම යාතිකාව පටන් ගත්තා...

පස්වාන් දහසකට බුදුවන්ඩ පත්තිනි දේව මෑණියන් වහන්ස ඔබ වහන්සෙගෙ දෙපා මුල වැඳ වැටිල ඔබ වහන්සේගේ ගැත්තාවන මේ නරපනුවා ඔප්පු කරන්න හදන මේ අවනඩුව අහල මේ නරපනුවාට සාධාරණයක් ඉස්ට සිද්ධ කරන්න හොඳයි...ඒ අවනඩුව මොකක්ද කියල කියනවනං ඔබ වහන්සේගේ පයලන අවුරුදු සිය දහස් ගාණක් මේ ඉස්තානේ වැඳුම පිදුම් කරන්නට බාරහාර ඔප්පු කරන්නට එන මේ ගං කොටුවේ අහළ පහළ ගං කොටුවල ඔබ වහන්සේගේ අනාඥාව පවතින හතර හීමාවේ නර පනුවන්ගේ ඉහ තියා සෙත් සාන්ති කරන්නට ඒ රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ කාලයේ පටන් යොදා ගත්තා වූ ඒ මහානුභාව සම්පන්න හළඹ පහුගිය කීප දවසක ඉඳන් ආගිය අතක් නැතුව තියනවාය...මේ නරපනුවා දන්නා කරන විදියට හොයා බැලුවත් සාත්තර පේන අහල බැලුවත් වැඩක් උනේ නැතිඑක ඔබ වහන්සේගේ ගැත්තා වන මේ නරපනුවාට විඳ දරාගන්නට බැරිය...ඒ නිසාවෙන් ගැත්තාට අනුකම්පා කර ඔබ වහන්සේ පයලන හළඹ හොරකම් කරපු මොකා හෝ එකා ඔබ වහන්සේගේ දිවැසින් බලා සොයාගෙන ගැත්තාට පෙන්නා වදාරන්නට හොඳයි ඒ වගේම ඒ කරන්නට යෙදුනාවූ අවකාරියට හරියන දඬුවමකුත් ඔබ වහන්සේම දීල වදාරන්නට හොඳයි...පස්වාන් දහසකට බුදුවෙන්න මේ මා කියන්නට යෙදුනු අවනඩුව හැකි විගැහින් සොයා බලා විසඳුමක් දෙන්නට හොඳයි අවසර ආයිබෝ....

අපූරුවට ගොයිතැන් බත් කරගෙන හිටපු චන්දරේ අයියගෙ අතේ අමාරුවක් හැදුනෙ ඊට සතියකට විතර පස්සෙයි...මුලිම්ම දකුණු අතේ මැණික්කටුව ලඟින් පටන්ගත්ත වේදනාව එන්න එන්නම දරුණු වුනා,ගොඩ වෙදකම් කරල හරිගියෙ නැතුවම සිංහල වෙදකම් කළා ඒත් බැරිතැන ඉස්පිරිතාලේ ගියා මොනම ආකාරයකටවත් අතේ අමාරුව හරිගියෙ නෑ, අන්තිමේ මැණික්කටුව ලඟින් දකුණු අත කොරවුනා...ඒ අතෙන් මොනම වැඩක්වත් ගන්නට බැරි ආකාරයට පත්වෙලා නතරවුණේ...

ඊට මාසෙකට විතර පස්සෙ චන්දරේ අයියගෙ ඔලුව නරක් වුණා නුහුගුණේ වගේ කියවන්න ගත්තා...ඔන්න ඔහොම විඳවල විඳවල තිරිසනෙක් වගේ දුක් විඳපු චන්දරේ අයිය දැනට අවුරුද්දකට එකහමාරකට විතර ඉස්සරවෙලා මැරිලා ගියා...කොහොමහරි අපිට මළගෙදරවත් යන්න වුණේ නෑ...

බාප්පගෙ බාලපුතා ආනන්ද දැන් දේවාලෙ කපු වැඩේ කරගෙන යනව, මීට ටික දවසකට කලින් ඔය දේවාලෙ ගැන පත්තරේක ගියපු ලිපියක ආනන්දගෙ පින්තූරෙත් තිබුන මම දැක්ක...

හැබැයි ඉතිං ලියවුනේ නං මම කියන්න ආපු කතාව නෙවෙයි,කියන්න ආපු කතාව මොකද්ද දන්නවද අද උදේ ලංකාදීප පත්තරේ කියවද්දි දැකපු පින්තූරයක් නිසා මම අවුරුදු ගණනාවක් ඈත අතීතයට ගියා...පින්තූරෙ තිබුනෙ මම පොඩිකාලෙ මහප්පල කඩේ අයියල චන්දරේ අයියල එක්ක කුඹුරු වැඩ කරපු ලස්සන වෙල්යාය...ඒ වෙල්යායට කිව්වෙ බෝගහවට වෙල්යාය කියලයි, වෙල මැද තිබුණු පෞරාණික අම්බලමේ පින්තූරෙකුත් එක්ක...අපි වයසට ගියත් වෙල්යාය තාම තරුණයි, ඔය වෙල්යායේ හැම කුඹුරකම මම හාල පෝරුගාල වපුරල තියෙනව ගොයං කපල තියෙනව...වටේ කඳු වල්ලලත් එක්ක බලන්න ලස්සනේ බෑ...


වෙල් වැඩ කරද්දී වැස්සක් ආවොත් වැස්සෙන් බේරෙන්න අපි ගියෙ ඔය අම්බලමටයි ඒ කාලෙ අම්බලමට සිංහල උළු හෙවිල්ලල තිබුනෙ ඔයිට වඩා ප්‍රතාපවත් පෙනුමකුත් තිබුණා...කුඹුරු වැඩ කරල මහන්සියට විටක් හපල ගිමන් නිවාගන්න අම්බලමට ගියපු වාර අනන්තයි, ඒ ආපහු නොඑන ලස්සන අතීතය ච්ත්‍රපටයක් වගේ මට මැවිලා පෙනුනා අද ඒ හිටපු අය කොහෙද...හිතට මහා පාළුවක් දැනෙන්න උනා...


අම්බලම පින්තූර උපුටා ගැනීම ලංකාදීප පත්‍රයෙනි.

එළඹෙන 2014 බ්ලොග් අවකාශයේ සියලුම සොයුරු සොයුරියන්ට සුබම සුබ නව වසරක් වේවා!!!



Monday, December 23, 2013

108.මඟුල් කතා ඔතෙලෝ සහ වැරිසැල්ගෙ දෙවෙනි ගමන





වරායේ කිටියා සහ මඟුල් කතා

අපේ ගෙදර ගෘහ මූලිකය හෙවත් බිරිඳ පෙරේද ගෙදර ආව,ඇයවත් බ්ලොගයට ආදරයෙන් පිළිගනිමු...අව් සැරේට රබර් කටු පට පට ගගා පුපුරන්නැහේ හදිස්සියෙන්  මම ලියපු මගුල් කතාවට අපේ හිතවතුන් එකතුකළ අදහස් කතාව මම නොහිතපු මානයකට කතාව රැගෙන ගියා...මගුල්වල මම නොලියපු පැති මග ඇරුණු විස්තර ඔක්කොම වගේ කිසි අඩුවක් නැතුව කියවිලා තිබුණා.

මගුල් කතා අපේ හිතවතුන්ගෙ සිත් ඔපමණ බැඳගනී කියල මමත් බලාපොරොත්තු වුනේ නෑ,කොහොමත් ඉතිරි හරියත් ඔය ගොල්ලන්ගෙ රස වින්දනය තකා ලියන්නයි අදහස.

මගුල් ගෙවල් මුලපුරන හැටි මම දැනටමත් ලියල තියෙන්නෙ ඒත් මගුල් මඩුව හදන ආකාරය ගැන තව ටිකක් විස්තර කළොත් හොඳා කියල මට හිතුණා...

පුවක් කොට හිටවල හදපු මගුල් මඩුව සරසන්නෙ ක්‍රේප් පටි සහ බැලුන් වලින්, කොට බිත්ති ආකාරයට වියාපු අමු පොල්ලතු වලින් වටේ ඇහුරුවට එක කොනක් සම්පූර්ණයෙන්ම ආවරණය කරනවා...ඒ තමයි මගුල් මඩුවේ ගබඩාව මඩුව පිටිපස්සෙ කෝකියො ලිප් බැඳගෙන දුම් ගගහ උයන කෑම ජාති මේ ගබඩාවෙන් ගෙනත් තියාගන්නව...එතකොට ගබඩාවෙ ඉඳන් මගුල් මඩුවට පොඩි කවුළුවක් විවෘත වෙලා තියෙනව මගුල් මේසෙට කෑම දෙන්නෙ හිස්වුනු කෑම දීසි පුරවන්නෙ ඉඳුල් පිඟන් අතහෝදන ලොකු වීදුරු බාජන හෝදන්න දෙන්නෙ  මෙන්න මේ කවුළුව හරහායි...

හොඳට දැනුම් තේරුම් තියෙන මගුල් ගෙවල්වල ගබඩාවෙ වැඩ කරලම හොඳ පළපුරුද්දක් සහ හැකියාවක් ඇති කෙනෙක් ගබඩාව බාරව වැඩකරනව...ගබඩාවෙන් මේසයට යවන කෑම අපතේ නොයන ආකාරයටත් හැම කෙනාටම අඩුවක් නැතුව ලැබෙන ආකාරයටත් කෑම මේසයට යවන්නට ඔහු වග බලාගත යුතුයි...මෙහිදී ඔහුට ඇති පළපුරුද්ද උපයෝගී කරගෙන ඒ කටයුත්ත හොඳින් කරන්නට ඔහුට ඇති හැකියාව ගෙදර උදවියට පහසුවක් වගේම ලොකු සහනයක්...

 කෑම විතරක් නෙවෙයි ගබඩාවෙ වැඩකරන කීප දෙනාට බොන්න දීල තියෙන මත්පැන් බෝතලුත් පොල්ලතු අස්සෙ ගහල තියෙනව, කෝකියොත් උයන තැන තියාගෙන හීනියට කර්තව්‍යය කරගන්නවා ඔය මිනිස්සුන්ට තෙල් වලං අස්සෙ කෑම උයන හට්ටි මුට්ටි අස්සෙ ඉඳල කෑම රුචිය නැත්තටම නැතිවෙලා...ඒ වැඩේ නං මමත් අත්දැකල තියෙනව පැහෙන තෙල් තාච්චිය ඉස්සරහ පැයක් විතර හිටගෙන වඩේ එහෙම බැදපුවම ආසාවකටවත් වඩේ එකක් කන්න තියෙන රුචිය නැතිවෙලා යනව...

ඒ කාලෙ අපේ අල්ලපු ගෙදර හිටිය වෙනුජගේ මංගල්ලෙට අපි බැහැගෙන වැඩකළා...මගුල් ගෙදර එක එක වැඩවලට අමතරව අරක්කු ගබඩා කර තබාගැනීමත් බෙදාහැරීමත් මට බාරවෙලා තිබුනෙ,මගුලට උයන්න ආවෙ කටාන පැත්තෙ කෝකියො දෙන්නෙක්, ඒ දෙන්නගෙ උදව්වට කියල නංගි නංගි කියපු කාන්තාවකුත් එක්ක ඇවිත් තිබුණා මගුලට කලින් දවසෙ ඇවිත් වැඩ පටන් ගනිපු කෝකියන්ට මම දවල් බෝතලයක් දුන්න...රෑ වෙලා ඒ බෝතලේ ඉවරයි කියල මගෙන් තවත් බෝතලයක් ඉල්ල ගත්තා...

මගුල් දවසෙ දවල් අතුරුපසට පළතුරු සලාදයක් හෙවත් පෘට් සැලඩ් එකක් හදන්නත් මම බාර අරගෙන තිබුණු නිසා උදෙන්ම ගිහිං පොඩිඋනුත් අල්ලගෙන සැලඩ් එක හදල ෆ්‍රිජ් එකටත් දාල මම ගෙදර ආවා...කෝකියො දෙන්න රෑ නස්පුක් වෙන්න ගහපු පාර ඒ වෙනකොටත් කුස්සියෙ නිදි...

ඔය වෙනුජලගේ කුස්සිය තිබ්බෙ අපේ ගෙදර කුස්සියට මූණ ලා වැටෙන් දෙපැත්තෙ...එහෙ කුස්සිය පැත්තේ කෙරෙන දේවල් අපේ කුස්සියේ ජනේලෙන් හොඳට පේනවා...

මඟුල් දවසෙ උදේ ඒ පැත්තෙන් කාන්තාවකගෙ අඬන සද්දේ ආපු නිසා අපේ ගෙදර උදවිය මොකද කියල බලපුවම අර නංගි අඬ අඬා කෝකියෙකුට හැන්දකින් පෘට් සැලඩ් කවනවලු...කෝකිය සැලඩ් කන්න කැමති නෑලු,  හැන්ද කටට ලංකරනකොට මූණ අනික් පැත්තට හරවනවලු,නංගි වදෙන් පොරෙන් සැලඩ් කවන ගමන් ...

අනේ ඔයා ඊයෙ රෑට කෑවෙත් නෑ මේ ටිකවත් කන්නකො...

ඔය කතාව අපේ බිරිඳට කියල බිරිඳ පස්සෙ මට කිව්වෙ,මගුල් කතා කියන්න ගියොත් නං රෑ වෙනකං එලි වෙනකං කියන්න පුළුවනි...

ධර්මයා දවසක් දා මට හරි අපූරු කතාවක් කිව්වා,ඒ කාලෙ අපි ළපටි තරුණයො ගෑනු පිරිමි සම්බන්ධකම් ගැන එහෙම බොහොම කුතුහලයක් තිබුණා...අපේ නාන ලිඳ ළඟ නාන ගමන් ධර්මෙය කිව්වේ අපි ඉපදෙන්නත් කලින් වෙච්චි සිද්ධියක්...ඒ කාලෙ වැරිසැල් කියල බොහොම අහිංසක ගමේම මනුස්සයෙක් ගොඩක් කල් ගමෙන් පිට ඉඳල ගමට ඇවිත් පොල්ලතුවලින් අහුරපු ගෙයක් හදාගෙන පදිංචි වුනා... පවුල නං මිනිහ වගේ නෙවෙයි බොහොම දස්ටි දිස්ටි ඇති ගිණි කිකිළියක් වගේ ගෑනියෙක්...ධර්මය කිව්වේ වැරිසැල්ගෙ මගුල ගැන...

ඒ කාලෙ ඔයාල ඉපදිලත් නෑ ඔය වැරිසැලාගෙ මගුලට අපි බැහැගෙන වැඩකලේ...වැරිසැලා අහිංසක මෝඩය මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ  හැම එකම අපෙන් අහනව,

අයියෙ අනේ බං මට ඔව්ව තේරෙන එකක්යැ,උඹලම බලල හොඳ විදිහකට කරපල්ලකො...

මගුල් කටයුතුත් සිද්ධ වෙලා මනමාලිවත් ගෙදරට කැන්දන් ආවා...ඒ කාලෙ රේට් හවුස්,හෝටල් ඔලට හනිමෝන් ගිය එකක්යැ හැම කටයුත්තක්ම සිද්ධ වුනේ ගෙදරම තමා,පහුවදා ඉසදියට මනමාලිගෙ පාරුසේ හතර වරිගෙ රිදි නැන්දත් ඉස්සර කරගෙන දෙවෙනි ගමන එනකොට මනමාලිගෙ අඩුපාඩුවක් තිබ්බොත් එහෙම නෑදැයොත් එක්කම මනමාලි ආපහු පිටත් කරන්න නැන්දම්මා ඇතුළු මනමාලයාගේ පාරුසේ හතර වරිගෙ වැඩකටයුතු කළා...

රෑ වෙන්න වෙන්න වැරිසැල් අලවත්තෙ අගලකින් අල්ල ගත්ත වල් හා පැටියෙක් වගේ ගැහෙනව,මගෙ පස්සෙමයි...

එතකොට මනමාලි...

මනමාලි නං මගුල් ගෙදර වැඩපොළවලට උදව් පදව් කර කර අගේට හිටියෙ...කරුමයක් පලදීල වැරිසැලා වගේ කකුල් දෙකේ හරකෙක් එක්ක එන්න සිද්ද වුනාට ඒකි බොහොම කලඑළියට හැදිච්චි කෙල්ලක්...

ධර්මෙය ළිඳ අයිනෙ පඳුරකින් කඩාගත්ත හිඟුරු කෝටුවකින් දත් මදින්න වුණා...

ඉතිං ඉතිං ධර්මෙ ඊට පස්සෙ මොකද උනේ...

අපේ කුතුහලය උපරිමේටම නැගල,ධර්මෙය ගානක්වත් නැතුව වහල්ල විරිත්තගෙන දත් මදිනවා...

ඉතිං මොනවද වැරිසැලාගේ රාජකාරි මට කොරන්න උනා මිසක...

ෂෙක්ස්පියර්ගේ ඔතෙලෝ නාට්‍යයෙ සිංහල පරිවර්තනයෙ පදපේලි කීපයක් මට මෙතැනදී මතක්වෙනව,රුද්‍රිගු ඔතෙලෝ එක්ක වෛරයි ඒක කියන්නෙ මෙහෙම...

යවනයා කෙරෙහි මාගේ වෛරයක් ඇත,

යවනය කියන්නෙ ඔතෙලෝට,ඔතෙලෝ කළු ජාතික කපිතාන් වරයෙක්...විවාහවෙලා ඉන්නෙ සුන්දර ඩෙස්ඩිමෝනා එක්ක...ඔතෙලෝට රුද්‍රිගුගේ පවුල එක්ක ඇයි හොඳයියක් තිබුන කියල රුද්‍රිගු සැක කරනවා සැකය කියන්නෙ මෙන්න මෙහෙම...

මගේ වැඩ කටයුතු යහන මත
ඌ කලැයි කට කතාවක් ඇත

ඒ දේම ධර්මෙයටත් කරන්න වෙලා,සිරියහනෙ වැරිසැල්ගෙ රාජකාරිය ධර්මෙය කලාලු ...

ඉතිං වැරිසැලා,ඇයි ඌ මොකද කලේ...

වැරිසැලා නේන්නං ඔක්කොටොම මුල ඌ මට යන්න දුන්නෙම නෑනෙ...

අනේ අයියෙ මට බයයි අයියෙ යන්ඩනං එපා  ඕං...

අපට මේක සුරංගනා කතාවක් වගේ විස්වාස කරන්නද නොකරන්නද කියල හිතාගන්න වත් බෑ...ධර්මෙය කිසි කලබලයක් නැතුව ගල උඩට වෙලා දත් මදිනව,හරියට උගෙ නෙවෙයි අනුන්ගෙ කතාවක් කියනව වගේ...

 ඉතිං වැරිසැලාගෙ මනමාලි මොකද කිව්වෙ...

පහුවදා මගුල කඩාගෙන ගෙදර මිනිස්සුත් එක්ක ආපහු යන්ඩ කැමති කොයි ගෑනිද...අනික ඒකි මෝඩ වැරිසැලාට වැඩියෙ මගෙත් එක්ක ඉන්ඩ කැමතිවුනා...

වැරිසැල්ගේ මනමාලිගෙ දෙවෙනි ගමන ධර්මෙයගේ අනුග්‍රහයෙන් අඩුපාඩුවක්  නැතුව සිද්ද වුනාලු...බැන්ද සන්දියෙම ජෝඩුව ගමෙන් යන්න ගියාට පස්සෙන් පහු කාලෙ වැරිසැල් දරු පවුලත් එක්ක ගමට ඇවිත් පදිංචිවුනා, එතකොට නං උන්ට දරුවො තුන් දෙනෙක්ද කොහෙද හිටිය මට මතක හැටියට...

දෙවෙනි ගමනට පස්සෙ ජෝඩුව ඉස්සෙල්ලම මනමාලිගෙ ගෙදර ගිහිං ඊට පස්සෙ අනිකුත් නෑදෑයන්ගේ ගෙවල්වල යනව...සාමාන්‍යයෙන් සිරිතක් හැටියට ඔය ගමන්වලට පොඩි ළමයෙක් හරි දෙන්නෙක් හරි එක්කගෙන යනව, ඒ චාරිත්‍රයෙ තේරුම මොකක්ද කියලනං මම දන්නෙ නෑ...

අපේ සුදු මාම බැඳපු වෙලාවෙ ජෝඩුව නැන්දගේ ගෙදර යද්දී එක්කං ගියෙ මාවයි අපේ පුංචි අම්මගෙ පුතා සිසිරවයි,ඒ කාලෙ අපි කොට කලිසම් අඳින පොඩිඋන්...නැන්දගෙ ගම හත්කෝරළේ ඔන්න ඔය ගිරිඋල්ල පැත්තෙ ඉන්ගරදවුල කියල හද්ද පිටිහර ගමක්,එගොඩ කියලත් කියනව ඒ නැන්දට අපි කිව්වෙ එගොඩ නැන්ද කියල, ජෝඩුවත් එක්ක ඉන්ගරදවුලෙ ගිය ගමන් ඒ ගෙදර මාම කෙනෙක්  අපිව කැලේ එක්කගියා,පුදුම ලස්සන කැලයක්...මම ඉස්සෙල්ලම වෙනිවැල් දැක්කෙ ඒ ගමනෙදි, මාම අපට පෙන්නන්න වෙනිවැලක් කපල එතනින් ගලන වතුර කොළ ගොටුවකට අරගෙන අපට බොන්න දුන්නා...

එගොඩ නැන්ද රස්සාව හැටියට කල් එළියෙ මුස්ලිම් කාන්තා විද්‍යාලෙක ඉගැන්නුවා,ඒ පැත්තෙ යමක් කමක් තියෙන මුස්ලිම් පවුල්වල කෙල්ලො ඔක්කොම ඉගෙනගත්තෙ ඒ පුද්ගලික ඉස්කෝලෙයි...ඉස්කෝලේ කෙල්ලන්ගෙන් නැන්දට බොහොම වටිනා තෑගීබෝග සල්ලි විතරක් නෙවෙයි කෑම ජාතිත් පෙට්ටි පිටින් ලැබිල තිබුණා...

ඒ රසවත් කෑම වලට වගකියන්න හිටියෙ අපිදෙන්න විතරයි...අඩ කියල කෑමක් මම ඉස්සෙල්ලම කෑවෙ ඔය ඉස්කෝලෙන් ලැබුණු වෙලාවෙයි...ඒ පොල්කිරි බිත්තර එහෙම දාල පැණි ආප්පයක් වගේ තාච්චියෙ හදාගත්ත කෑමක් හරිම රසයි...

ඊට පස්සෙ මට ඒ කෑම වර්ගය කන්න ලැබුනෙ හලාවත ගොඩ්ප්‍රිලගෙගෙදරදී ගොඩ්ප්‍රි හලාවත කොල්ලෙක් රෙදිමෝලේ වැඩට ඇවිත් අපේ ගමේ නැවතිලා හිටිය ගොඩ්ප්‍රිට අපි කිව්වෙ ගාමිණී කියලයි...ගාමිණී නිවාඩුවට ගමේ යද්දී මාත් පස්සෙන් වැටිල එහෙ යනව,විවිධාකාරයට උයපු කළපු මාළු,ඌරු කොටු,බාල්දි වැසිකිලි,හැලි අරක්කු මම ඉස් ඉස්සෙල්ලම අත්දැක්කේ හලාවතදියි...ගාමිනීලගේ අම්ම කෑම ඉවීමේ කලාවේ විශේෂඥ වරියක් කියන්න පුළුවන්,ඇය උයන මාළු එහෙම ගෑවුණු තැන කන්න පුළුවනි...ෂා ෂා වැඩේ දිග දුර යනව වගේ...

ගාමිණීගෙ කතා ටික මෙතනදී කියන්න ගියොත් ඒක වටේ තැලිල්ලක් වෙනව වගේම පෝස්ටුව දිග වැඩිවෙනව,අනික ඔය කතාව මම වෙනම පෝස්ටුවකට ලියන්න තියාගෙන ඉන්න එකක්...දැන් ලියන්නෙ මඟුල් කතානෙ හලාවත කතාව අනික් කතා වගේම පස්සට...

ඔබ සැමට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා!!!


Monday, December 16, 2013

107.වරායේ කිටියා සහ මඟුල් කතා.



අපට කතාවෙන් කතාවෙන් කිටිය ගැන අමතකම වෙලා ගියානෙ,මම කිටියගෙ කතාවෙ කොටස් දෙකක්ද කොහෙද ලිව්ව මතකද...ඔන්න ඉතිං අපි කට්ටිය ඔය ආකාරයට වරායෙ කන්තෝරුවෙ වැඩ කරමින් කිටියවත් බයිට් එකට ගනිමින් ඉන්නැද්දි දවසක කිටිය අපට මාතර යන්න කතාකළා,මාතර කිව්වට මාතර ඉඳන් ටිකක් දුර වල්පොලද යටියනද කොහෙද කියල මට හරියට දැන් මතකක් නෑ කොහොමහරි කිටීගෙ බිරිඳගේ ගෙදර, ඇය ගුරුවරියක් කොළඹ ඉගැන්නුවෙ...කිටීගෙ මාමණ්ඩිත් විශ්‍රාමලත් විදුහල්පතිවරයෙක්...කිටී අපට මාතර ගෙදර යන්න කතාකරපු හේතුව නං මට හරියටම මතක නෑ හැබැයි කිටීගෙ නෑන ඒ කියන්නෙ කිටීගෙ බිරිඳගේ අවිවාහක සහෝදරිය ඇයත් ගුරුවරියක්, ඒ කාලෙම ඇයට මගුලක් කතාකරල තිබුන...මනමාලය මගෙ  යාලුවෙක්...ඉතිං අපි එහෙ යනව කියල යාලුවට කියපුවම හා එහෙනං ගිහිං ඒ පැත්තත් බලාගෙන එන්නකො  කියල යාළුව මට කිව්වා...

ගමන ගියෙ කරුයි මමයි ජුලියසුයි කිටීයි ,කරු හබරාදූවේ,ජුලියස් කෝට්ටේගොඩ පැත්තෙ මම විතරයි පිට පලාතක කෙනෙකුට හිටියෙ...

අපි ඉතිං එක සෙනසුරාද දවසක උදේ කොළඹින් පිටත්වෙලා හවස දෙක තුන වෙද්දී කිටීගෙ බිරිඳගේ ගෙදරට ළඟාවුණා,දවල් කෑම එහෙන් කාල කිටීගෙ මාමණ්ඩිත් එක්කත් ටිකක් වෙලා කයිය ගහගෙන ඉඳල මනමාලිගෙත් විස්තර අහල බලාගෙන කිටීව එහෙ තියල අපි තුන් දෙනා පිටත්වුණා...මාතරට ඇවිත් ජුලියස් ගෙදර ගියා මමයි කරුයි හබරාදූවේ කරුලයි ගෙදර ආවා...මට ඒ රෑ වෙලා ගෙදර එන්න බැරුව වගේම තවත් වැඩක් පහුවදාට යෙදිල තිබ්බ නිසයි කරුලගේ ගෙදර එදා නැවතුනේ...

ඔය දවස්වල මම පොටෝග්‍රැපි කෝස් එකක් කළා පන්තිය කලේ රූපසිංහ කියල ගම්පහ සර් කෙනෙක්,පන්ති පැවැත්වුනේ පුංචි බොරැල්ලෙ ඔය නාලන්දෙට යන පාරෙ තිබුණු පන්සලක...කෝස් එක ඉවරවෙලා යන ට්‍රිප් එක පහුවදාට යෙදිලා තිබුණා ට්‍රිප් එක ගියෙ උණවටුනට සහ කොග්ගල මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය බලන්න, මම පහුවදා හබරාදුවේ ඉඳල ඇවිත් උණවටුනෙන් කණ්ඩායමට එකතුවෙනව කියල පොරොන්දු වුණා...

පන්තියෙ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විසි ගාණක් හිටියත් කැමරා තිබුනෙ දෙකයි, එකක් සර්ගෙ අනික මගෙ,කට්ටිය ඔටෝ පෝකස් කැමරා ඕසෙට ගෙනාවත් ඒවයින් ඉගෙන ගන්න බෑ කියල කියපු සර් ඔක්කොටොම ඉගැන්නුවෙ මගේ එස් එල් ආර් කැමරාවෙන්...කැමරාවක් අයිතිකරගන්න ගොඩක් කාලෙක ඉඳල හීන දැක්කත් කැමරාවකට රුපියල් විසිතිස්දාහක් වියදං කරන්න අහිංසක රජයේ සේවකයෙක් වුනු මට ඒ කාලෙ කොහොමටවත් හැකියාවක් තිබ්බේ නෑ...

අනුන්ගෙ කැමරා දිහා බලබල හූල්ල හූල්ල ඉන්නකොට ඒ කාලෙ පිටරට රස්සාවක් කරපු අපේ මල්ලි ලංකාවට එනකොට මට මොනවද ඕනෑ කියල අහපුවම පුලුවන්නං මට කැමරාවක් ගෙනත් දෙන්න කියල කියපුවම ඔන්න ඔය පෙන්ටැක්ස් කේ 1000 කැමරාව මට ගෙනත් දුන්නා ...ඒ සන්දියෙ මම පිටරට යන්න හිතලවත් නෑ,පස්සෙ නං මල්ලි මට ඩිජිටල් කැමරාවකට ඇරිය,මගෙ වෙඩින් එකේ පොටෝ ගත්තෙත් ඔය කැමරාවෙන්මයි...

ඒ කාලෙ වෙඩින්වල අද වගේ පිංතූර ගන්න එකටයි වීඩියෝ කරන එකටයි මුල්තැන දුන්නෙ නෑ,දැන් නං හනිමූන් එක ඇරෙන්න අනික් සියල්ලම ඒ ටු ඉසෙඩ් වීඩියෝ කරනවා,පස්සෙ කාලෙකදී හනිමූන් එකෙත් උණුසුම් කොටස් වීඩියෝ කරයි කියලත් මට නිකමට වගේ හිතෙනවා ,මගුල සම්පූර්ණයෙන්ම අධ්‍යක්ෂණය කරන්නෙ පොටෝ කැචර් සහ වීඩියෝ කාරයනෙ...ජෝඩුව ඇවිදින්නෙ කන්නෙ බොන්නෙ කතා කරන්නෙ වාහනේට නගින්නෙ පිංතූර ගන්න කට්ටිය කියන හැටියට,වැරදුණොත් ආපහු ෂොට් එක ගන්නව...මම නං එහෙම කරුමෙකට අහුවුනේ නැති නිසා අපි අපිට ඕනෑ විදියට ඇවිද්ද කතා කළා කෑව බිව්වා පොටෝ කාරයොත් අපිට කරදර නොකර ඒ ගොල්ලන්ගෙ වැඩේ කළා...

මම බෙන් එකේ ඉද්දි මගුල් කී සීයක් නං වීඩියෝ කරන්න ගිහිං ඇද්ද කොළඹ තියෙන හෝටල් හැම එකකමයි හෝල් ඔක්කොගෙමයි අපි වෙඩින් වීඩියෝ කරලා තියෙනව...අපි කිසි දවසක ජෝඩුවවත් මගුලවත් අධ්‍යක්ෂණය කරන්න ගියෙ නෑ, යාලුවන්ට නෑදෑයන්ට බැන බැන ආපහු ආපහු ෂොට් ගත්තෙත් නෑ,නමුත් වීඩියෝ එකත් ලස්සනට කරලා දුන්න...

ඔය දැන් මහලොකුවට නං ගහගෙන වෙඩින් වීඩියෝ කරන අය මගුල් ගෙදර ස්වභාවික මූමන්ට් ඒ විදියටම වීඩියෝ කරගන්න බැරිකමට ජෝඩුවට වද දිදී දඟලනව...

නැකත් දවසකට බෙන් එකට මගුලක් වීඩියෝ කරන්න ලැබෙනවමයි,ඔය වැඩේට යන්න අපිත් බොහොම කැමතියි මොනවද ඉතිං ගිහිං හොඳට කාල බීල වැඩේ කරල හවසට ගානකුත් සාක්කුවෙ දාගෙන එන එකනෙ,එදාට රස්සාවෙන් නිවාඩු දාල හරි වැඩේ කරන්න ගියාට පාඩු නෑ...එහෙම නැතුව රස්සාව කරල ලැබුණු සොච්චමෙන් විතරක්  පණ ගැට ගහගන්න හරි අමාරුයි...හෝල්වල හෝටල්වල විතරක් නෙවෙයි ගෙවල්වල පල්ලිවල තිබිච්ච මගුල් වීඩියෝ කරන්නත් අපි ගියා...

මගුල් ගෙවල්වල කොච්චර ගියාද කිව්වොත් මගුලෙ මුල ඉඳන් අගට යනතුරු කෙරන හැම දෙයක්ම පෝරුවෙ චාරිත්‍ර ජයමංගල ගාථා ආදිය ඔක්කොම මට කට පාඩම් වුණා...ඒ ලැබුණු දැනුම මට පස්සෙ අවස්ථාවලදී ගොඩක් ප්‍රයෝජනවත් වුණා...

ඒ කොහොමද කියල එක උදාහරණයක් කිව්වොත් අපේ ගමේ හිටපු අහිංසක කොල්ලෙක් ඔහුගෙ මගුලෙ පින්තූර ටික මට අරං දෙන්න කිව්ව,බලපුවම පින්තූර ගන්නවට මට සල්ලි දෙන්න තියා ෆිල්ම් රෝල් ටික අරං දෙන්නවත් ඌට වත්කමක් නෑ...මමත් හා කියල මගුල් ගෙදර ගියා...මනමාලිගෙ ගෙදර ගිහිං පින්තූර ටිකක් එහෙම අරං උදේට කෑම මේසෙට  වාඩිවෙලා ඉවරවුනාම  ඊළඟට තිබුනෙ මගුලෙ වැදගත්ම අංගය වෙච්චි පෝරුවේ චාරිත්‍ර සහ ඉදිරි කටයුතුයි...පෝරුවෙ  චාරිත්‍ර කරන්න ඇවිත් හිටපු දැනමුත්ත කවුද දන්නවද,අර මාත් එක්ක එල්ලේ මැච් එකේ එනවුන්ස් කරපු ඌරුමීයා ...දැන් ඌරුමීය පෝරුවෙ චාරිත්‍ර කරනවා මම පැත්තක ඉඳන් පින්තූර ගන්නවා,ඌරු මීය කියන  සමහර සොලෝක ගාථා ආදිය ඒ තැන්වලට අදාළ නැතිබව මට හොඳට තේරෙනව...කවුරුහරි දන්න කරන කෙනෙක් එහෙම හිටිය නං මූට ගුටි කන්න වෙන සයිස් එකට පොර වරද්දනවා...මම කරපුදේ පින්තූර ගන්න ව්‍යාජයෙන් ඌරුමීය ලඟට ගිහිං අදාළ තැනට කියන්න අවශ්‍ය පාඨය හිමිහිට මතක්කරල දීල පැත්තකට වෙනවා...ඊට පස්සෙ පොරට හිරවෙනවා නං මගෙ දිහා බලපුවම මමත් උදව් කරනවා...ඔන්න ඔය විදියට දෙන්නම ගුටි කන්නෙ නැතිව වැඩේ ගොඩ දාගත්තා...

අපි නං මගුල ගත්තෙ ගෙදරමයි, මුලදීම මගුල හෝටලේක ගම්මු කියල බිරිඳ ගෙදරට යෝජනා කරපුවම ඒ ගොල්ලන්ගෙ ගෙදර සියලු දෙනාම එක හඬින් විරුද්ධ වෙලා...කොහොමත් පරණ උදවිය එහෙමනෙ පණ කඩාගෙන ගෙවල් දොරවල් ලැස්ති කරන්න, ගෑනු කට්ටිය එකතුවෙලා රෑ එළිවෙනකන් කැවුම් කොකිස් උයන්න, කයිය ගහ ගහ වැඩ කරන්න තිබ්බේ නැත්නං ඒ ගොල්ලන්ට නිකං මගුලක් නොකෙරුණු ගානයි...

අපි පොඩි උන් කාලෙ තත්වය ඔයිටත් වෙනස් දැන් නං බඩු මුට්ටු කුලියට දෙන තැන් ඕසෙට තිබුනට ඒ කාලෙ එහෙම තැන් තිබ්බෙ නෑ ගෙදරක මගුලක් තියනකොට මගුලට මාසෙකට විතර කලින් ඉඳන් ගමේ පිරිමි එකතුවෙලා මුළු ගමේම ගෙවල්වල තියෙන මේස පුටු එකතු කරගෙන මගුල් ගෙදරට ගෙනියනව එතකොට ලොකු හට්ටි වලං මුට්ටි ඔක්කොමත් එකතු කරගන්නව...ඊළඟට පිඟන් කෝප්ප වීදුරු ආදී බඩුත් එකතු කරගෙන මගුල් ගෙදරට ගෙනත් දානව...පිරිමි ටික ගෙයි මිදුලෙ මගුල් මඩුව හදන්න නැකතට කණු හිටෝල එහෙම වැඩ පටන්ගන්න කොට බවලත් උදවිය හාල් දියේ දාල පිටි කොටාගෙන කැවිලි පෙවිළි හදන්න සූදානම් වෙනව...කැවිලි හදන්න තෙල් තාච්චිය ලිපේ තියන්නෙත් නැකතකට, තාච්චිය ලිපේ තියල ඒ උඩින් කැවිලි හදන්න ගන්න හැඳි දෙකක් කුරුසෙ වගේ  තියල වැඩිපුර තෙල් පිච්චෙන්නෙ නැති පිරිමි කෙනෙකුගෙ අතින් කොටු හතරටම තෙල් වක්කොරනවා...

කෙල්ලක් එහෙම දීග දෙනව නං කැවිලි ජාති කත් හතක් නෑගම් ගෙනියන්න එපැයි, කත් කියල කතාවට කිව්වට කැවිලි දාගෙන යන්නෙ බටපොතු පෙට්ටිවල...කොන්ඩ කැවුම් කොකිස් අතිරස ආස්මී මුංකැවුම් නාරංකැවුම් කෙසෙල් ගෙඩි  බටපොතු පෙට්ටිවල කට පුරෝලා හිප්පල බැඳල අරං යනවා...කොහොම හරි ගෑනු ළමයෙක් දීග දෙද්දී ගෙදරට ඕනෑ කරන හාල් එළවලු කරෝල තුනපහ විතරක් නෙවෙයි කොට්ට පැදුරු ඉදල කොස්ස ඉලපත  පවා ගෙදරින් ගිහිං දෙනවා...

කොහොමත් ගෑනු පිරිමි කට්ටිය විස්සක් තිහක් හැමදාම උදේ ඉඳල රෑ වෙනකල් මගුල් ගෙදර වැඩ...වැඩ කරන අයට කන්න බබලත්තු  වෙනම උයනවා හාල් සේරු දහයක පහළොවක බතකුයි ඒ බතට සමෝසමේ තව කොස් දෙල් අල බතල ජාතියි එළවලු වෑන්ජනයි හැමදාම දෙවේලට ගෙදර ඉදෙනවා...

මගුල් මේසෙට යවන්න උයන හරක් ගාතෙට අමතරව ජා ඇල ගිහිං ඌරෙක් ගේන එකයි මීගමුවෙන් ලොකු කෙළවල්ලෙක් ගේන එකයි වරද්දන්නෙ නෑ...අනික ඒ කාලෙ දැන් වගේ ආගිය අතේ චිකන් තිබ්බේ නෑනෙ, ඒ දවස්වල චිකන් කියන්නෙ ඉස්සරහ කෑමක්,හිටියෙ ගෙවල්වල හදන ගං කුකුල්ලු විතරයි.ගං කුකුලෙක් හම ගහල රෝස් කරල ඇස්ටෝම් මේසෙට තිබ්බ ලස්සනට වගේ...එහෙම නැත්නං කවුරුත් හොඳට තුනපහේ දාල මිරිසට උයපු හරක් මස් සහ තෙල් පෑදෙන්න රතුවට උයපු ඌරු මස් බොහොම හොඳට කෑවා...ඊට අමතරව ගමේ අච්චාරු, ඉඳල හිටල අර්තාපල්, පරිප්පු,බෝංචි වෑන්ජනේ,එතකොට අර සලාද කොළෙයි,රතුඅල පෙත්තයි බොම්බයි ළූණු පෙත්තයි පිපිඤ්ඤ පෙත්තයි ලස්සනට එක උඩ එක තියල හදන සලාදේ, පපඩම් වගේ කෑම වර්ග සීමිත ප්‍රමාණයක් තිබ්බා...දැන් වගේ කජු ග්‍රීන් පීස් දාලයි,කට්ලටුයි,මික්ස් සැලඩුයි,මැලේ අච්චාරුයි ආදී දාහක් දේවල්  මගුල් මේසෙට තිබ්බේ නෑ...

මගුල් පෝරුවත් දැන් වගේ  මහන්සිවෙලා බොහොම අලංකාරෙට හැදුවෙ නෑ, බොහොම වෙලාවට ලෑල්ලකට සුදු රෙද්දක් දාල ඒ උඩ හාල් බුලත් පඬුරු එහෙම තියල හදාගත්ත එකක් පෝරුව වෙනුවට පාවිච්චි කළා...මතකද ගම් පෙරළියෙ නන්දගෙයි ජිනදාසගෙයි  මගුල,ඒකෙත් චාරිත්‍ර කරන්නෙ පෝරුවක් නැතුවනෙ...

මගුල් කන්නෙ මෙහෙමයි, අපේ ගමේ නං මගුල හෙට නං අද දවල්ට හරි රෑට හරි ගමේ ඔක්කොටොම නෑදෑයන්ට බුලත් දීල කෑමට ආරාධනා කොරනව...ගමේ ඔක්කොම නෑදෑයොනෙ කිසි කෙනෙක් මග ඇරෙන්න බෑ,කොච්චර තරහ මරහ තිබුනත් මිනී මරා ගත්තත් මගුල කියන්න ඕනෑ, කෑමට මේසෙට වාඩිවෙන කට්ටිය මුළු ගමෙන්ම ඇවිත් ඉන්නවද කියල බලනවා...එහෙම එක්කෙනෙක් හරි අඩු නං ඇයි කියල ගෙදර කෙනා උත්තර බඳින්න ඕනෑ...හැමදේම හරි කියල සෑහීමට පත්වුනාම මත්ද්‍රව්‍ය සහිත කෑම මේසෙ බාරගන්නවා,එතකොට මගුල දාට පවුලේ ලඟම උදවියයි පිටිං එන නෑදෑයොයි විතරයි...රාත්තිරියට මනමාලයාගේ සහ ගෙදර අයගෙ යාලුවන්ට ඇට්හෝම් හෙවත් ඇස්ටෝම්...

අපේ පවුල්වල මගුල් කෑම ඔයිට ටිකක් වෙනස්,ඔක්කොම නෑදෑයන්ට මගුල් ගෙදරටම ආරාධනා කරනව යාලුවන්ට සංග්‍රහය රාත්‍රියට...එතකොට අර ඔක්කොටම ආරාධනා කලාද, නැත්නං ඒ මොකද ආදී සොයා බැලීම් නෑ,කුඩුකේඩු කම් තරහ මරහ හොඳට පවත්වාගෙන යන්න පුළුවනි...

ඒ කාලෙ මගුල් ගෙවල්වල දවල් කෑම හෙවත් මංගල භෝජන සංග්‍රහය පැවැත්වුනේ ගෙයි මිදුලෙම හදල තියෙන මගුල් මඩුවෙ, මේසවලට පුටුවලට සුදුරෙදි එලල  මල් පෝච්චි තියල එහෙම කෑම මේසෙ සූදානම් කරනව...

මුල්ම කෑම මේසෙ අරින්නෙ පිටිං ආපු නෑදෑයන්ට ඒ ගොල්ල කාල බීල ඉවර උනාට  පස්සෙ ගමේ නෑදෑයන්ට යාලුවන්ට ආපු පිළිවෙලට වතුර අල්ලනව...මගුල් මේසෙ වැඩකරන තරුණ කට්ටිය කෑමට එන අයව පුටුවල හිරකරල වගේ හැකි තරම් කණ්ඩායමක් වාඩි කරවන්නයි නිතරම බලන්නෙ,මේසෙට වාඩිවුනාම තමන්ගෙ පුටුව ඉස්සරහින් මුනින් නමපු පිඟානක් තියෙනව ඔය පිඟාන අනික පැත්ත හරවගෙන කෑම බෙදනකල් බලාගෙන ඉන්නව වාඩි වෙච්චි පලියට කෑම දෙන්නෙ නෑ, ඉස්සෙල්ල මගුල් මේසෙ පිලිගන්නනවා...ආ මට කියන්න අමතක වුණා කෑම මේස කීයක් ඇරියත් හැම කෑම මේසෙකම ප්‍රධාන පුටු දෙකේ මනමාල ජෝඩුව වාඩිවෙලා සිටීම අනිවාර්යයි...ඒ විතරක් නෙවෙයි ඒ දෙන්නට හැම මේසෙකම කෑමත් බෙදනව කෑවත් නැතත්...මනමාලි නං කන්නෙම නෑ බිම බලාගෙන ලජ්ජාවෙන් ඉන්නව මිසක්...ඔන්න ඉතිං මගුල් ගෙදර වැඩිහිටියෙක් කෑම මේසෙ පිලිගන්නනවා...

අභිනව මනාල යුවල ඇතුළු මංගල සභාවෙන් අවසරයි,මේ යුවලගේ ආරාධනය පිළිගෙන පැමිණි ඔබ සියලු දෙනා මනාල යුවල වෙනුවෙන් ගෞරවයෙන් පිළිගන්නා අතරම මංගල නිවසේ අයගේ ශක්ති ප්‍රමාණයෙන් ඔබ සඳහා පිළියෙළ කර ඇති මේ භෝජන සංග්‍රහය අභිනව මනාල යුවල වෙනුවෙන් මා ඔබ වෙත පිළිගන්වන අතරම එය පිළිගන්නා ලෙස ඉල්ලා සිටින අතර අඩුපාඩුවක් තිබේනම් සමාධිය භජනය  කරන ලෙස ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමි...

ඔන්න ඊට පස්සෙ මගුල් මේසෙට වාඩිවෙලා ඉන්න දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙක් භෝජනය පිළිගන්න නැගිටිනවා...

යුගදිවිප්‍රාප්ත අභිනව මනාල යුවලගෙන් අවසරයි,අපට කළ ආරාධනය අනුව  මංගල නිවසට පැමිණි අපට පිළිගන්වන ලද මේ භෝජන සංග්‍රහය ආදරයෙන් පිළිගන්න බව දන්වන්නට කැමතියි...

ඊළඟට සුදු පිරුවට වලින් වහල තියෙන මගුල් මේසෙ පිරුවට ඉවත් කරලා කෑම බෙදන්න පටන් ගන්නවා...කෑම මේසෙට වාඩි වෙලා ඉන්න අයගෙ පුටුවලට පිටිපස්සෙන් හිටගෙන ඉන්න කෑම මේසෙ ආවතේව කරන කට්ටිය කෑම බෙදනවා...බත් මස් මාළුපිනි අච්චාරු ආදී හැම දෙයක්ම ඇහිල්ලක් බැලිල්ලක් නෑ ඔහෙ පිඟානට පුරෝනවා පිටිපස්සෙන් ඉඳගෙන බෙදනකොට පේන්නෙත් නෑනෙ  පිඟානට වැටෙනකොටයි දන්නෙ,අනේ ඉතිං ඉඳගෙන ඉන්න එකා උස්මුරුත්තාවට එනකල් කෑවත් ආයෙම බෙදනවා...

ඔන්න ඔයවිදියට කාල ඉවරවෙනකොටත්  පිඟානෙ කෑම  ගොඩක් කන්න බැරුව  ඉතුරුවෙලා තියෙනව...කෑමෙන් පස්සෙ ලොකු ආනමාලු හරි කෝලිකුට්ටු ගෙඩියක් හරි අතුරුපස හැටියට ලැබෙනවා ඉඳල හිටල කිරිපැණිත් සමහර මගුල් ගෙවල්වල දකින්නට පුළුවනි අයිස්ක්‍රීම් නං තිබුනෙම නෑ...කාල ඉවරවුනාට තමන්ට අවශ්‍ය ආකාරයට මගුල් මේසෙන් නැගිටල යන්න බෑ...මේසෙ ඉඳන් ඉන්න  ඔක්කොම අය කාල ඉවරවෙනතුරු බොහොම ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න වෙනව...කට්ටියම එකට වාඩි වුණා වගේ නැගිටල යන්නෙත් එකටමයි...හරියට ලිච්ඡවි රජදරුවො වගේ,ලිච්ඡවි රජදරුවොත් එහෙමලුනෙ, සමගියෙන් රැස්වෙනව සමගියෙන් සාකච්ඡා කරනව සමගියෙන් විසිර යනව...

තෑගි හැටියට කවුරුත් වගේ රුපියල් පහක් ලියුං කවරෙක දාල දෙනව   ඒ දැන් අපි රුපියල් දාහක් දෙනව වගේ, ඇති පැති උදවිය නං රුපියල් දහයක් දෙනව ඒ දැන් අපි දෙදාහක් දෙනව වගේ, නං ලියපු ලියුං කවර ටික බුලත් හෙප්පුවක තියල සුදු ලේන්සුවකින් වහල කතාවක් පවත්තල එහෙම පිළිගන්වනව...පස්සෙ කාලෙකදී ඔය ලියුං කවර පිළිගන්නන වැඩේ මටම ලියල දීල වගේ කරන්න උනානෙ,හැම එකාම ලියුං කවරේ ගෙනත් මගෙ අතට දීල පැත්තකට වෙනව එක්කො යන්න යනව,මමත් ඉතිං පණ්ඩිතමානී කතාවක් දෙකක් කියල ලියුං කවර ටික තියෙන හෙප්පුව ජෝඩුවට පිළිගන්නනවා,ලියුං කවර කියපුවම  ඔන්න මට කතාවක් මතක් උනා...

දවසක්දා අපි මගුල් ගෙදරක ගිහිං හොඳට අනුමත වෙලා රෑට කෑම කාල එහෙම සල්ලි දෙන්න කවරවල නං ලියනවා, ආරිය මතකනෙ, ඒ කාලෙ ආරි කසිප්පු වෙළඳාම පටන් අරං තිබුනෙ,මූ හොඳටම වෙරිමතේ වැනි වැනි ඇවිත් වෙනුජට කවරයක් දුන්න...

මල්ලියෙ මේකෙ මගෙ නමත් ලියල දෙන්ඩකො...

වෙනුජ කවරෙ අරං නම ලිව්වා...කසිප්පු ආරි

 ලියල හිනාවෙවී මට පෙන්නුවා...

ඕක දකීද ඕයි...

පිස්සුද ඇස් පේන්නෙ නැති ගානට අරක්කු පැලිලනෙ ඉන්නෙ...

කවරෙ ආරියට දුන්නම ඌත් අරං යස අගේට සල්ලි දාල දුන්නෙ...

ආපහු කතාවට ආවොත් මේසවල වාඩිකරවල කෑම දෙන ජාතියෙ මගුල් ගේක මම අන්තිමට ගියෙ අනූහයේ විතර යාළුවෙකුගෙ මගුල් ගෙදර පොටෝ ගන්න මිනුවන්ගොඩ මනමාලිගෙ ගෙදර,ඒ වුනාට මාවත් උදේ තේ මේසෙට හිරකරල වාඩි කොරෝල කන්න දුන්නා...

දැන් නං මේසෙට වාඩිවෙලා කෑම කන එකත් ගෙවල්වල මගුල් ගන්න එකත් කියන දෙකම අපේ සංස්කෘතියෙන් නැතිවෙලා ගිහිං... 

මගුල් කතාවල  හොඳ හරිය පොඩි අයට බලන්න නරක කතා එහෙම තව ගොඩක් කියන්නනං තියෙනව කට්ටිය කැමති නං ඒ කතා ටිකත් ලියල දාන්නං...



















Monday, December 9, 2013

106.දුක දිනා ජයගත් තරුණයා 21+




 
අද බ්ලොග් අවකාශයෙ අලුත්ම ට්‍රෙන්ඩ් එක නයි ඇරීම,මටත් නයෙක් දෙන්නෙක් එලවන්න නොහිතුනාම නෙවෙයි  ඒත් පස්සෙදී හිතුව ආයෙම වෙලාවක නයි අරින්න බැරියැ කියල...

ලියන්නං කියල හිටියට මේ කතාව ලියන්න දවසෙන් දවස පහුවුණා,ඒත් පහුගිය සතියෙ පොඩි දරුවොත් එක්ක අපූරු දවසක් ගතකළ නිසාත්  අද මම පොඩි දරුවන් ගැන ලියන්න හිතුවා...

මේ දිනවල අපි ඉන්න ගොඩනැගිල්ලෙ පොඩි උන් සැට් එකක්ම ඉන්නව,නිවාඩු දිනවල එහෙම උදේට එකතුවෙන මේ පොඩි බට්ටෝ ටික  දවස පුරාම ගොඩනැගිල්ලෙ තට්ටු හත පුරාම ඉහළ පහළ දුවමින් කෑගහන හඬ මුළු ගොඩනැගිල්ල පුරාම දෝංකාර දෙනවා...පඩිපෙළ දිගේ ඉහළ පහළ දුවන ගමන්ම හැම තට්ටුවකම ලිෆ්ට් එකේ බොත්තම් දෙකම ඔබන්න මේ අය අමතක කරන්නෙ නෑ...ලිෆ්ට් එකේ උඩට පහළට යන කෙනෙක්  නගින්න බහින්න කිසි කෙනෙක් නැතුව ලිෆ්ට් එක හැම තට්ටුවෙම නවතින්නෙ ඇයි කියල බලන්න දොරෙන් ඔලුව එලියට දැම්මොත් සමහර වෙලාවට ඒ තට්ටුවෙ ඉන්න ඇම්ඩෙක්...

I press the button...

කියල ඉගිල්ලිලා දුවල යන වෙලාවලුත් තියෙනව,ඒ වෙලාවට නං හිනා යන්නෙ ඉබේටමයි... කොච්චර උනත් ඒ පුංචි ලෝකය කොතරම් සුන්දරද මේ අය අපිව ගෙනයන්නෙ අපේම අතීතයට නොවේද කියන එක නිතැතින්ම සිහියට නැගෙනවා...මට නං මේ ලෝකෙ තියෙන මිහිරිම සංගීතය පොඩි උන්ගෙ කෑගහිල්ලයි,පුංචි අයගේ ලෝකය රටවල් අනුව ජනවර්ග අනුව හෝ වෙනත් වෙනත් ප්‍රභේද අනුව කොහොමටවත් වෙන් කරන්නට බෑ...රතුගල කනිෂ්ට විද්‍යාලයෙත් බ්‍රසල්ස්හි තියෙන ප්‍රාථමික විදුහලකත් ස්ටොක්හෝම් හි විද්‍යාලයකත් විවේකය වෙලාවට ඇහෙන ළමා හඬ එකම එක සමානයි...ඒත් පොඩි උන් කෑගහන එකටත් කේන්ති ගන්න බැනවදින වැඩිහිටියො මට මුණගැහිල තියෙනව,නමුත් ඒක වෙනම කතාවක්...

මෙන්න මේ ළමා ලොවට අයත් වුනත් සාමාන්‍ය ආකාරයට ළමා ජීවිතය විඳින්න නොහැකි දරුවනුත් අතරින් පතර අපට මුණ නොගැහෙනවම නෙවෙයි...ඒ සෙමෙන් මනස වැඩෙන දරුවන්,තවත් කට්ටියක් ඉන්නව ඒ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්...මගේ ජීවිතයේදී විටින් විට මට මුණ ගැහුණු සහ නොමැකෙන මතක සටහන් මා සිත් තුල තබන්නට සමත් වුනු දරුවන් කීප දෙනෙක් පිලිබඳව මගේ මතකය අවදිවෙනවා...

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වුනත් තරුණ තරුණියන් බවට පත්වනවිට සාමාන්‍ය දරුවන්ට සේම ආදරය ලිංගිකත්වය ආදීඅවශ්‍යතාවන් ඇතිවන එක ඉතාම සාමාන්‍යයි,මස් ලේ වලින් නිර්මිත අයනෙ සාමාන්‍ය යව්වනයන්ට නං අර හිරූ කිව්ව වගේ නැට්ටට කිරි උනන කොට විරුද්ධ ලිංගිකයන් කෙරේ ආකර්ෂණයක් ඇතිවෙනව...ඒක ඉතාම ස්වාභාවිකයි එහෙම නොවෙනවා නං සම ලිංගිකයන්ට ආකර්ෂණය වෙනව නං ඒක අස්වාභාවිකයි,අපට නං එවැනි ප්‍රශ්න ඇතිවෙලා නැහැ ඒ කාලෙදිම ඇන්ටිල අක්කල දිව්‍යාංගනාවෝ වගේ අපි දිහා බලල ඉතාම ආදරයෙන් යව්වනයේ පොපියන චමත්කාරය විඳගන්න උපරිම සහයෝගය මුළු ශරීරයෙන්ම ලබාදුන්න කියල කියන්නෙ ඒ අය කෙරෙහි ඇතිවෙන අප්‍රමාණ ආදර භක්තියත් සමගමයි...

හැබැයි ඔය සමලිංගිකයන්කෙරෙහි නං මට ඇත්තේ පිළිකුලක් සහ අජූවක්, ඇත්තටම කාන්තාව සහ පිරිමියා දෙවියන් විසින් මවා තියෙන්නෙ එකිනෙකාට හරියන ආකාරයටයි හරියටම කිව්වොත් ලිංගික අවයව එකනෙකට ගැලපෙන විදියටයි, එය තමයි ස්වභාව ධර්මය...ඉතිං ඒ ආකාරයට තියෙද්දී එක සමාන ලිංගික අවයවයන් ඇති දෙදෙනෙක් එක්වෙන්න හදනව කියන්නෙ ස්වභාව ධර්මයට විරුද්ධව යාමක් නොවෙයිද...

ඔන්න අපි බ්‍රසල්ස් වලින් එන්න කිට්ටුව දවසක් හැන්දෑවක මම හිතන්නෙ 2006 අවුරුද්දෙ අග වගේ මමයි පුතයි අපි ඇටම් එක බලල එමු කියල ට්‍රෑම් එකට නැගල හේසල් ගියා, බිරිඳ හිටියෙ නෑ ඒ දවස්වල ඇය ලංකාවට ගිහිං...අපි හේසල්වලට යද්දී වටින් ගොඩින් අඳුර පැතිරීගෙන එන හැන්දෑ සමය ලඟාවෙලා, ඒත් ඇටම් එකට යන පාර දෙපැත්තම විදුලි එළියෙන් ඒකාලෝක වෙලා තිබුණා...අපි පාර දිගේ ඇටම් එක පැත්තට යද්දී පාරෙ අනිත් පැත්තෙ හොඳට ඇඳ පැළඳගත්ත කණ්ඩායමක්ම බොහොම විනෝදයෙන් කෑ කෝ ගහමින් පිංතූර ගනිමින් ඉන්නව වඩාත් හොඳට බලපුවම මල් පොකුරක් ගත්ත ජෝඩුවකුත් ඉන්නව...

ඒ මොක්කුද පුතේ...

මම පුතාගෙන් ඇහුව...

ගේ කපල් එකක් තාත්තෙ මම හිතන්නෙ ගේ වෙඩින් එකක්...

පුතාට ඒ කාලෙ වයස එකොළහයි ඒත් එයාට ඒ දවස්වලත් ඔය ගැන හොඳ අවබෝධයක් තිබුණා...මගෙ අතේ ඒ වෙලාවෙ තිබුන පොඩි වීඩියෝ කැමරාවෙන් මම ඒ කණ්ඩායම වීඩියෝ කළා දැනටත් ඒ වීඩියෝ එක මගේ සී ඩී තැටි ගොඩේ ඇති...ඒ තමයි මම සමලිංගික විවාහයක් දැකපු පළමුවෙනි වතාව...

ඉතිං දැන් මම කියන්න ආපු දුක දිනා ජයගත් විශේෂ අවශ්‍යතා සහිත තරුණයා ගැන කතාව...මේ තරුණයා අපට මුණගැහෙන්නෙ මම වැලිසර ඉස්පිරිතාලෙ රාජකාරි කරපු සමයෙ මුලින්ම ඔහු ගැන විස්තරයක් කළයුතුයි මම ලියන විදිය විවේචනය කරන්න එපා මනුස්සයෙක් අවඥාවට ලක්කරනව කියල, මම මේ කියන කතාව තේරුම ගන්න මේ විස්තරය කල යුතුමයි...

ඔහුට අපි සැම්සන් කියමු වයස විසිගනන්වල මැද බාගෙ විතර...ජීවත්වුණේ රෝද පුටුවක,ඔහුගෙ අත්දෙක උරිස්සෙන් ඉවරයි කකුල් දෙක කලවෙන් ඉවරයි අඩියක විතර ශරීරයක් බෙල්ලක් නෑ ඔලුව විශාලයි කිව්වට තරහ වෙන්න එපා හරියටම කිව්වොත් විශාල ගෙම්බෙක් රෝද පුටුවක තිබ්බා වගේ තමයි...

නිවාස යෝජනා ක්‍රමයෙ හෙවත් ඉස්කීම් එකේ ගෙදරක ජීවත්වුණු ඔහුගෙ මව කඳාන ඉස්පිරිතාලෙ හෙදියක්...මහබාගෙ හංදිය හොල්ලගෙන ගණන් ගෙනිච්චෙ මෙන්න මේ රෝද පුටුවේ හිටපු පුද්ගලයයි,රස්සාවට මහබාගෙ රිජ්වේ හෝල් එකේ බයිසිකල් මඩුව බලාගත්තා...හැමදාම හවසට කවුරුහරි ඔහුව තල්ලු කරගෙන හෝල් එකට එක්කරන් එනවා...රෝද පුටුව එළියට අරගෙන තල්ලු කරන්න කවුරුවත් නැතිවුනොත් ඔහු පාරෙ යන කෙනෙකුට හරි කතා කරනව...

ඒයි...මෙහෙ වරෙන් ඩෝ මේක තල්ලු කරපං...

ඉතිං අර මනුස්සය මූව තල්ලු කරගෙන මහබාගෙ රිජ්වේ හෝල් එකටම අරං යනව...ඉතිං ඔන්න ඔය ආකාරයට කාලය ගතවුණා...ශරීරයෙ යම් යම් අඩුපාඩු තිබුනට තරුණ වයසෙ ඔහුගෙ හෝමෝන ක්‍රියාකාරිත්වය ඉතාම සාමාන්‍ය ආකාරයට තිබෙන්නට ඇති නිසා තරුණ වයසට  විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇතිවන ආකර්ෂණය මේ තරුණයටත් නොඅඩුව තිබුණා...බොහොම වෙලාවට දවල් ෂෝ එක බලල යන කෙල්ලො සහ ජෝඩු දිහා  ගිලින්න වගේ ඔහු  බලාගෙන හිටිය මට මතකයි...ඒ විශාල ඇස් දෙකෙන් කටින් කියනවට වඩා දාහක් දේ කියවුණා...

ඒ මදිවට ඔහුට හිටිය සැට් එක හෙවත් බජාර් එක කෙල්ලො සහ ගෑනු ගැන කියන දේවල් වලින් කාන්තාවන් ඇසුරු කිරීමේ ඔහුගෙ අවශ්‍යතාව උපරිමයටම තීව්ර වුණා...මේ ගැන හිතල හිතල තවත් දරාගෙන ඉන්න බැරි තැනට පත්වුනාම සැම්සන් ඔහුට ඕනෑදේ කෙලින්ම කියල දැම්ම දවසෙ හිරෝෂිමාවට බෝම්බ ගැහුව වගේ වුණා...

මටත් ගෑනියෙක් ගෙනත් දීපල්ල...

දැන් මොනවා කරන්නද, අනික කියන්නෙත් සැට් එකේ ලීඩර්, පාතාලේ සොල්දාදුවා බෙල්ල කඩාගෙන හරි වැඩේ කරන්න එපායැ...

කොල්ලො සැට් එකම දැන් මූට ගෑනියෙක් හොයන්න පිස්සු බල්ලෝ වගේ එහෙ මෙහෙ දුවනව,ගල්උඩුපිට ගියා වැඩේ හරිගියෙ නෑ තොටුපොළ පාරෙ පොට් එකේ ඇන්ටි ලඟට ගිහිං ඇහුවා...ඒ ඇන්ටි ළඟ තමයි ලස්සනම කෙල්ලො සැට් එක ඉන්නෙ ඒත් හරිගියෙ නෑ, අන්තිමට නාගොඩ ජසින්ත අක්ක ලඟට ගියා...

උඹල ඔය කියන්නෙ අර හෝල් එකේ බූතය ගැන නේද, ඌ කොහොමද බං ගෑනියෙක්ව ගන්නෙ...

අනේ එහෙම කියන්න එපා අක්කෙ මේ වැඩේ කරන්නම ඕනෑ නැත්නං අපිට කනක් ඇහෙන්න නෑ බං...

හරි මං මොනවා හරි කරන්න බලන්නන්කො හැබැයි ගාන නං ටිකක් වැඩිවෙයි...නැත්නං කවුරුවත් එන්න කැමතිවෙන්නෙ නෑ ඌත් එක්ක බුදියගන්න...

ජසින්තක්ක කෙලින්ම කියල දැම්ම...

ගාන කීයක් ගියත් කමක් නෑ අක්කෙ වැඩේ කෙරෙනව නං ලොකු දෙයක්...

හරි එහෙනං රෑ වෙලා මේ පැත්තෙ වරෙල්ලකො කෙල්ලව  එක්ක යන්න...

කට්ටිය ජසින්ත අක්කට ඇඩ්වාන්ස් එකකුත් දීල බොහොම සතුටින් යන්න ගියා...රෑ වෙද්දී ගියාම ජසින්ත අක්ක ටිකක් දෙගොඩහරි වයසෙ ගෑනු කෙනෙක් වෙනද ගන්න ගාන වගේ දෙගුණයකට පංගාර්තු කරලා දුන්නම කොල්ලො ටික මේ කාන්තාවත් එක්කගෙන මහබාගෙට ආවා...

රෑ නමයයි තිහේ ෂෝ එක පටන් ගත්තට පස්සෙ හෝල් එකට එහා පැත්තෙ වික්‍රමගෙ පාන් බේකරියෙ පිටි මෝලිය අල්ලන ලොකු මේසෙ උඩ මේ ඇඩල්ස් ඔන්ලි සීන් එක පටන් ගන්න සියල්ල සූදානම් කළා...

ගෑනු කෙනා මේසෙ උඩට නග්ගල අපේ වීරයවත් උඩින් තියපුවම හරියට ගෑනිගෙ ඇඟ උඩ කිලෝ දහයෙ නව පැතුම් සම්බ මිටියක් තිබ්බා වගේ මූ ඉන්නව...හෙල්ලිලි පෙරලිලි මොකුත් නෑ අත පය අඟල් හයකට වඩා දිග නෑනෙ...හැබැයි අර අවශ්‍යම කරන අවයවේ මොන ප්‍රමාණයට තිබුනද කියල නං අපට ආරංචි වුණේ නෑ...

දැන් මොකද කරන්නෙ මූ වහාම කොල්ලන්ට ඇතුලට කතාකළා...

යකෝ තොපි එළියට වෙලා මගුල් කොරනවද ඇවිත් ඉතුරු ටිකත් කරල දාපියව්...

කොල්ලොත්  පැලෙන්න එන හිනාව ආයාසයෙන් තද කරගෙන දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලල ඉතුරු වැදගත්ම කොටසත් කරල දැම්මලු...

ඔන්න ඔය විදියට ශරීරයෙ මොන තරං අඩුපාඩුකම් තිබුනත් අධිෂ්ටානය තියෙනව නං අඩුපාඩුකම් ජයගන්න පුළුවන් කියන එක මේ විශේෂ අවශ්‍යතා සහිත තරුණයා අපූරුවට පෙන්වල දුන්නා...

හැබැයි පහුවදා එළිවෙද්දි සැම්සන්ගේ වික්‍රමය අකුරක් නෑර මුළු පළාතටම ආරංචිවෙලා තිබුණා...ඊට පස්සෙ මූ රෝද පුටුවෙ පාරෙ යනව දකින කාන්තාවො අතින් කට තද කරගෙන කැකිරි පලනවා...අපිනං මූ ලඟින් යද්දී අතින් පොඩි චලනයක් කරල පෙන්නුවම මූ ජීවිතේට අහල නැති කුණුකතා කිය කියා අපට බනිනව...ඒ බැන්න වගේද මූ අපට දීල තියෙන බයිට් එක මොන තරං ටේස්ටිද...

ලියාගෙන ආපු කතාව නොවැලක්විය හැකි හේතුවක් නිසා මගින් හැරිලා වෙන පැත්තකට ගියා...සෙමෙන් මනස වැඩෙන දරුවන් ගැන සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ගැන ආයෙම ලියන්නං...


Sunday, December 1, 2013

105.ඇඹුලෙ වගතුග ලොක්කයියා සහ තවත් කතා





අපි කාටත් කෑම බීම සම්බන්ධයෙන් විවිධාකාර සහ අපූර්ව ආශාවන් තිබෙනව කියන එක රහසක් නෙවෙයි.බොහෝ විට මේ ආශාවන් අතීත රස මතකයන් එක්ක බැඳී තිබෙන ඒවා වෙන්නට තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි,එක උදාහරණයකුත් කියලම ඉන්නං...

මම එක රටකදී නැවතිලා හිටපු හෝටලේ උදේ කෑමට තියල තිබුණු ජෑම් බඳුනෙන් ටිකක් පාන් පෙත්තක තවරගෙන කනකොට ජෑම් රසත් එක්ක මාව එක පාරටම දුර ඈත අතීතයකට ගහගෙන ගියා වගේ වුණා,ඒ ජෑම් වර්ගය මං පොඩිම කාලෙ රස විඳලා තිබ්බ ජෑම් වර්ගයක් නමුත් පසුකාලීනව ඒ ජෑම් ලංකාවට ගෙන්නුවේ නැති නිසා ඒ රසය හිතෙන් ගිලිහිලා ගියත් අවුරුදු ගණනාවකට පස්සෙ දැනුනු රසත් එක්ක මතකය අවදිවුනා.

ඒ වගේම සුවඳත් තවත් අතීත මතක අවදි කරන ප්‍රබල සාධකයක් කුඩාකාලයේ අපි විඳි සුවඳක් හෝ ගඳක් පසුකාලීනව වෙනත් කොහෙන් හෝ ආඝ්‍රාණය කරනකොට පැරණි මතකයන් අවදි වෙනවා,මම මේගැන නවකතාවකත් කියෙව්වා,ආතර් සී ක්ලාක්ගෙ ගැඹුරු මුහුද කතාවෙ ලින්සීඩ් ගන්ධය නිසා ෆ්රෑන්ක්ලීන්ට අභ්‍යවකාශ රෝගය හැදෙන ආකාරය විස්තරවෙලා තියෙනව.

අම්ම හදන කෑමවල සුවඳ එක්ක ගොඩක් දුර අතීතෙට යන්න පුළුවනි,මම පොඩි කාලෙ ඉස්කෝලේ නිවාඩු කාලවලට අපේ අම්මලාගේ ගමේ ඒ කියන්නෙ බෝතලේ යනවා, බෝතලේ ගමේ වැඩි හරියක් කට්ටිය කරන්නෙ වී ගොවිතැන... කුඹුරු වැඩ ඔක්කොම මම පරතෙරටම ඉගෙන ගත්තෙ බෝතලේ ගමේ කුඹුරුවලට බැහැලයි,වෙල් වැඩ කරද්දී ගොවියන්ට උදේ ඇඹුලට වෙලට ගේන්නෙ කිරිබත් හෝ ඉඹුල් කිරිබත්...ඉඹුල් කිරිබත් වර්ග දෙකක් හදල ගේනව...එකක් මැදට පැණිපොල් දාපු ඉඹුල්, අනික මැදට තෙල් පෑදෙන්න හින්දවපු හාල්මැස්සන් දාපු ඉඹුල්, ඔය ඉඹුල් කිරිබත් ගෙඩිවලින් හමන සුවඳ මට මේ ලියද්දිත් මතකෙට එනවා...




කුඹුරට ඇඹුල ගෙනාපුවම ඒ කුඹුරෙ වැඩකරන අය විතරක් තනියම ඇඹුල කන්නෙ නෑ...අහල පහළ කුඹුරුවල වැඩ කරමින් ඉන්න ගොවියො ඔක්කොටොමත් කතා කරනව...

හා සීමොන් අයියෙ කහට ටිකක් බීල යන්න ආවනං...

සමහර වෙලාවට නියරෙන් වෙන ගමනක් යන අයත් හොඳට ඇඹුල සප්පායම් වෙලා යනව...

අපේ ගේ ඉස්සරහම වගේ ඔය චූටියලගේ වත්තෙ පොඩි කමතක් තිබුණා,ගෙට පහළ තිබුණු වෙල්යායේ ඔක්කොම කුඹුරුවල ගොයං කපල ඒ කමතෙ දාල පාගනව...අපි පොඩි උන් ටික කුඹුරු කපන දවස්වලට පදිංචිය ඔය කමතෙමයි, කොළ මඩවන මීම්මු පස්සෙ ටිකක් වෙලා දුවල හැති වැටුනම පිදුරු කන්දෙ පිනුං ගහනව... ඇඹුල ගෙනත් ලොකු අයට බෙදල පස්සෙ අපටත් කතාකරනව...

හා ඔය පොඩි අයත් ඇවිත් මෙහෙන් පේළියට වාඩිවෙන්න...

අපිත් දානෙ වළඳන්න යන හාමුදුරුවරු වගේ පේළියට වාඩිවුනාම අපටත් ඇඹුල බෙදාගෙන යනව...ගෙදරදී බෙල්ල මිරිකලවත් කවාගන්න බැරි කෑම ජාති අගේට ළමයින්ගෙ උගුරෙන් පල්ලෙහට යනව...අම්මල එහෙම දැක්කොත් කෑම දෙන අයටත් සැර දානව...

අම්මප මේ ළමයි නං...ගෙදර කන්න නැතුව වගේ ගියානෙ කමතට කන්න,ඔන්න ඔය කට්ටිය එලෝල දාපල්ල තව ඇඹුල බෙදන්නත් හිටිය...

අනේ හාමිනේ ඒ ළමයි ඔන්න ඔහෙ කාපුදෙන්,කමතෙන් කන්න ඒ ගොල්ලත් කැමති  නැතෑ...

හවසට අම්ම අපිව ගෙදර ඇදන් ඇවිත් ඇඟ හෝදනකොට නං අපි හූ කියල කෑ ගහනව පිදුරුවලට කැපිච්චි තැන්වල වතුර ගෑවෙනකොට ඉන්න බෑ දැවිල්ල...

හොඳ වැඩේ තව නටපල්ලකො පිදුරු ගොඩේ...

මොනවා කිව්වත් හරියන්නෙ නෑ පහුවදත් පිදුරු ගොඩේම තමා...

දවාලට ඇඹුල, අඟුලු කරෝල හොද්දක්,කොස් මැල්ලුම්,කැකිරි ඇඹුල,බැදපු මිරිස් එක්ක කුඹුරු හාලේ බත්,මේ ඇඹුල එක එක කාලෙට තියෙන එළවලු අනුව වෙනස් වෙනව...

දියලබු වෑන්ජනේ හදන්නෙ ආටෝප වෙන්න කැකුළු හාල් ටිකක් ගලේ අඹරල දාලයි...එතකොට පුහුල් මාළුව හොඳට උම්බලකඩ දාල රතට රතේ උයපුවම මස් ඉව්ව වගේ ගෑවිච්චි තැන කන්න පුළුවනි...මියන දළු,කැරන්  කොකු  ඔය කොයිකත් රසට උයල ගත්තම සෑහෙන්න බත් කන්න පුළුවනි...

කරෝල,තුනපහ දුරු මිරිස් වගේ දේවල් ඇරෙන්න ගමේ කිසි කෙනෙක් හාල්,එළවලු,අල බතල ආදී කිසිදෙයක් කඩෙන් ගත්තෙ නෑ ඒවා ගෙදර වත්තෙම වවාගෙන තිබුණා,තුන් වේලටම ගමේ අය බත් කෑවා මහ දෙයක් හදන්නෙ නෑ උදේට තම්බපු හාලේ බත් එක්ක පොල් සම්බෝලයක් හරි කිරි හොද්දක් හරි හදනවා...දවල්ට නං  බතට සමෝසමේ කොස් දෙල් කොළ මැල්ලුම් වගේ දෙයක් ඕනෑමයි...එතකොට කොස්දෙල් කියල ජාතියක් තිබුණා අහල තියනවද ඒවත් මැල්ලුමට හදනවා...අටුකොස්, දෙල් වේලපුව එහෙම වතුරෙ පොඟවල අරං හොඳට හිඳෙන්න උයල තෙම්පරාදුවක් දාල ගත්තම පැත්ත පළාතෙ ඉන්න බැරුව සුවඳයි...

මැල්ලුමක් නැතුව බත් ටික කාල වැඩක් නෑ...

පරණ අය ඕනෑතරම් ඔය විදියට කියනව මම අහල තියෙනව...රෑටත් ලා පැනිරසට හදන ගස්ලබු මැල්ලුමට කීරමින් කරෝල හොදි බොරේ යහමින් දාගෙන හිර කරල කොත ගහපු බත් පිඟානක් කාල දාන එක ගමේ කෙනෙකුට මහ වැඩක් නෙවෙයි...

බෝතලේ ගමේ ඒ කොණේ ඉඳන් අනික් කොණට විහිදුනු මහා විශාල වෙල්යායේ මැදින් තිබ්බ මහ නියරෙ දවසක් මම තනියම යද්දී මට දියබරියෙක් කෑවා,නියර මැද හිටපු දියබරියව මට පෑගුනාම ඌ වේදනාවට කට අඟල් හයක් විතර හෑයි ගාල ඇරල මගේ පිටිපතුල හැපුව, දත් පාරවල් වැදුණු තැනින් ලේ බින්දු දෙකකුත් ආව, ඇළෙන් කකුල හෝදගෙන මම වෙලට ගියා...

දියබරි ගැරඬි එහෙම කාපු කෙනාට  වෙන සර්පයෝ කන්නෙ නෑ කියල ගමේ කතාවක් තියෙනව, ඒ සර්ප වර්ග දෙක සර්ප කුලවලින් හීන කුලේ නිසා උන් කාපු කෙනාට අනික සර්පයො කට තියන්නේ නෑ කියලයි කතාව තියෙන්නෙ...කතාවෙ හැබෑ බොරුව මම දන්නෙ නෑ නමුත් මට නං තාම මේ වෙනකල් සර්පයෙක් කාල නෑ,සර්පයො මගේ කකුල් අස්සෙනුත් ඇදිල ගිහිං තියෙනව,දවසක්දා අපි කොල්ලො කට්ටිය බෝතලයක් ගන්න ඒ දවස්වල අපේ ගමේ හොර අරක්කු විකුණපු ලොක්කයියලගේ ගෙදරට ගියා,කුස්සිය පැත්තෙන් ගිහිං කතාකරපුවම...

මම වක්කරගෙන එනකං ඔහොම ඉන්නවල...

කියල ගියා අපිව ගෙට ගත්තෙවත් නෑ,අපිත් ඉතිං එලියට වෙලා හිටියා,බෝතලෙත් අරං යන්න කකුල උස්සන කොට මගේ කකුල යට මොකෙක්ද දඟලනව දැනුනා,ඉක්මනට අහකට පැනල බලපුවම මැර බැහැපු යෝධ කුණකටුවෙකුගේ තුන්හුලස් ඔලුව උඩ මම අඩිය තියාගෙන ඉඳල තියෙන්නෙ,මට පෑගිලා සෑහෙන වෙලාවක් හිටපු කුණකටුවට නිකං කලන්තෙ හැදිල වගේ කොහෙටවත් ඇදෙන්න බැරුව ඉන්නකොට කොල්ලො ටික ලොකු ගලක් උගෙ ඔලුවට අත ඇරල ඌව ඉක්මනටම නිවන් යැව්වා...

එදා ඒ සතා කෑවානං එහෙම සෑහෙන කාලයක් දුක් විඳින්න වෙනව උගෙ සයිස් එකේ හැටියට,එතන පහළ ඇළ නිසා සීතලට සර්පයො හරියට ඇදෙනව...ඔන්න ඔයවාගේ අපූරු ආකාරයටත් මම සර්පයන්ගෙන් බේරිලා තියෙනව,ඒ වුණාට අපේ පෝටයට සර්පයො කන්නෙ හොයාගෙන ගිහිං...දවසක්දා අපි කට්ටිය කතාකරකර ඉද්දි පොඩි සර්පයෙක් මාපිලෙක්ද කොහෙද මගෙ කකුල් දෙක අස්සෙන් ඇදිල ගිහිං පෝටය පස්සෙ එලවන්න ගත්තා...පෝටය සර්පයාට බයේ ඔරේ රන්,මමනං හිතන්නෙ මට සර්පයො කෑවෙ නැත්තෙ දියබරිය කාපු නිසා කියලයි.

හැබැයි ඉතිං අපේ ගමේ අයට සර්පයො කෑවට කලබල වෙන්න දෙයක් නෑ,සර්ප වෙදමහත්තය වෙළෙන් එහා පැත්තෙ ඉන්නෙ,ලාල්ලගෙ තාත්ත උපසේන වෙද මහත්තය විෂ වෛද්‍ය ශිරෝමණී, ගමේ කවුරුවත් සර්පයො කාපුවම ඉස්පිරිතාලේ යන්නෙ නෑ ලාල්ලගෙ ගෙදරට එන්නෙ,ලෙඩා ආපුවම කාපු සර්පය දැකල අඳුනගෙන එහෙම නැත්නං වෙද මහත්තය ලෙඩාගෙ ස්වභාවයෙන් දූත ලක්ෂණ වලින් කාපු සර්පය මොකාද කියල හොයාගෙන බෙහෙත් කිරිල්ල පටන් ගන්නවා...

එහෙම වෙලාවට පොඩි පහේ සර්පයො නෙවෙයි ලෙඩාට කාල තියනව කියල වෙද මහත්තය කියන්නෙ,නයෙක් පොළගෙක් නැත්නං පොළොන් තෙලිස්සෙක් වගේ අධික විෂ සර්පයෙක්...පස්සෙ පස්සෙ මේ කතාවට යටින් පොඩිපහේ නයෙකුත් යන බව මට තේරුණා...ඒ වුණාට ඉතිං  අපි ඔව්ව හොයන්න යන එකේ තේරුමක් නෑ ලෙඩාට සනීප වෙනවනං එච්චරයිනෙ...කොච්චර උනත් වෙද මහත්තය ලඟට ගෙනාපු කිසිම ලෙඩෙකුට අසාධ්‍ය වුණේවත් මැරුනෙවත් නෑ...
ඇයි අර මාළු අල්ලන්න බෝක්කුවට බැහැපු කුමාරයගෙ ඔලුවට මඩේ හිටපු හුංගො වටවෙලා වැඩේ දුන්නම කුමාරයට බේත් කරලා බේරුවෙත් උපසේන වෙද  මහත්තයමනේ...

වෙද මහත්තයට වෛද්‍ය සහතික පොතකුත් දීල තිබුණා ඔය පොතෙන් වැඩිපුරම ප්‍රයෝජන ගත්තෙ මමයි,ගොඩක් වෙලාවට යාලුවන්ට උදව් කරන්න...නෝ පේ ගිහිං රස්සාවෙන් එලවන්න ඉන්න උන්ව මම එක්කං ඇවිත් සර්පයෙක් කෑව කියල මැඩිකල් එකක් අරං දෙනවා,උගෙ වැඩෙත් හරි වෙද මහත්තයටත් අතට ගාණක් හම්බවෙනව...

කසිප්පු විකුණන ලොක්කයිය රෙදි මෝලේ වැඩකලේ,ඔයයකා අසූවෙ ඉස්ට්‍රයික් කරල රස්සාව නැතුව ඉද්දි රස්සාව දෙන්න නං රජයේ රෝහලකින් වෛද්‍ය සහතිකයක් ගේන්න කීවලු...ඒ ගමන මිනිහ ඇවිත් මට කිව්ව 
අනේ ඔයාට පුලුවන්නං මට මේ වැඩේ කරලා දෙන්න කියල...ඒ දවස්වල මම සෞඛ්‍ය අමාත්‍යාංශයෙ වැඩකළේ...මහ රෝහලේ දන්න කරන අය ගොඩක් හිටපු නිසා කරදරයක් නැතුවම මම සහතිකේ අරං දුන්නා  

ලොක්ක මේ සහතිකේ ගිහිං දීපුවම ආපහු රස්සාව දීල,මනුස්සයට දැන් වැඩේ හරි ඉහළයි,අපේ ගෙදර ඇවිත් අම්මත් එක්ක මගේ ගැන මහ ලොකු වර්ණනාවකුත් කරල ගියා කියල අම්ම මගෙත් එක්ක කිව්ව...හැබැයි වැඩේ නොකෙරුනා නං එහෙම බනින්නෙ මාව බල්ලට දාල...

ඔය සූට් බූට් ගහගෙන රස්සාවට ගියාට ඕකට කරන්න පුළුවන් රෙද්දක් නෑ  හ්ම්ම්...

 ඊට අවුරුදු තිහකට විතර පස්සෙ අපේ මරණාධාර සමිතියෙ සාංඝීක දානෙ වෙලාවෙ දානෙ පිළිගන්වල එහෙම අපි කට්ටිය ලොක්කයියලගේ ගෙ පිටිපස්සෙ ඇළ අයිනෙ දරමඩුව ළඟ කෑමට පෙර පොඩ්ඩක් අනුමත වෙමින් හිටියා...දර මඩුවෙ වහලෙට ගිහිං තිබ්බ මැරිච්චි අල වැලක් දැකපු මට වැලේ හොඳ අලයක් ඇති කියල හිතුණා...

ලොක්ක ලේසියකට කෙනෙකුට යමක් දෙන මිනිහෙක් නෙවෙයිනෙ,කෝකටත් කියල මම අහල බැලුව...

ලොක්කයියෙ මේ අල වැල ගලෝල බලමුද ඕයි...

අපොයි ගලෝගන්න ඔය වැල විතරක් නෙවෙයි තියන ඔක්කොම අල වැල් ගලවගෙන යන්න...

ඒ මොකද ඕයි එච්චර...

ඇයි මට රස්සාව නැතිවුණු වෙලේ ඔයානෙ කිසි ආඩම්බරයක් නැතුව මැඩිකල් එක අරං දුන්නෙ වෙන එකෙකුට කියල ඔය වැඩේ කරගන්න ගියානං උන් කීයක් පගා කනවද...ඔයා කරපු උදව්ව මට හොඳට මතකයි...

හැත්තෑ ගණන්වල අපේ ගමට ලයිට් ආපු කාලෙ මුලින්ම වගේ ලොක්කයිය ගෙදරට ලයිට් ගත්ත,රස්සාවට අමතරව කරපු  කසිප්පු වෙළඳාම නිසා මිනිහට හොඳට සල්ලි තිබුණා, ලයිට් ගත්ත විතරක් නෙවෙයි දොරට බෙල් එකකුත් හයි කළා...හැබැයි ඔය බෙල් එක ගහන්න එළියෙන් හයිකරල තිබ්බේ නිකං සුවිච් එකක් ඔන් කරල බෙල් එක වැදුනට පස්සෙ ඕප් කරන්න ඕනෑ...අපි ඒ කාලෙ රෑ නමයයි තිහේ ෂෝ එක බලල මහ රෑ ජාමෙ එන ගමන් ලොක්කගෙ බෙල් එකේ ස්විච් එක දාල යන්න යනව...

ට්‍රීන් ට්‍රීන් ට්‍රීන්....

නොනැවතීම බෙල් එක වදිනකොට ලොක්ක මෙලෝ සිහියක් නැතුව ස්විච් එක දාපු උන්ගෙ මවුවරුන් සමරනවා...දොර ඇරල එලියට ඇවිත් ස්විච් එක ඕප් කරල ආයෙම බැන බැන යනව...අපිට ලොක්ක මරු බයිට් එක, ආයෙම චිත්‍රපටි බලල එනකොට කරන්නෙත් ඒ වැඩේමයි...ලොක්ක කීප දවසක් පොල්ලකුත් අරං හැංගිලා රැකල හිටියයි කියලත් ආරංචි වුණා...

බැල් එක ගහන වේස බල්ලන්ගෙ ඔළුකටු කුඩුවෙන්න දෙන්නෙ අහුවුණොත් එහෙම...

ඒ වුණාට වැඩේ හරිගියෙ නෑ ලොක්කට කවුරුවත් අල්ලගන්න බැරිවුණා...ලොක්ක ඉක්මනටම ඩබල් ස්විච් එකක් ගෙනත් බෙල් එකට හයි කළා...




Sunday, November 24, 2013

104.ජාත්‍යන්තර කාන්තා දිනය,රැජිනි කාන්ත් සහ තවත් කතා.





අපි කැලැන්ඩර කතාව ඉවර කරලම කාන්තා දිනය කතාව කියමු, නැත්නං කැලැන්ඩර කතාව ආයෙම කොහෙහරි එල්ලන්න වෙනවනෙ... ඉතිං පොකැට් කැලැන්ඩරේ වැඩේ හරි, ඊළඟට තියෙන්නෙ ලොකු කැලැන්ඩරේ ඒ කියන්නෙ බිත්තියෙ එල්ලන එක ගහගන්න...පින්තූරයක් හොය හොයා ඉද්දි සුරේෂ් මුණගැහුනා, සුරේෂ් කිව්වෙ ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා, ඒ දවස්වල දෙසතියෙ වැඩකරලා අයින්වෙලා හිටියෙ,අපූරු කලාත්මක ඇහැක් තියෙන ඡායාරූප ශිල්පියෙක්, සුරේෂ්ට මගේ අවශ්‍යතාව කියපුවම පින්තූරයක් හොයල දෙන්න පොරොන්දු වුණා.

සුරේෂ් දුන්නු පින්තූරවලින් අපි තෝරගත්තේ කුඩා ළමයින් ටිකක් මීදුමත් එක්ක උදෑසන හිරු එළියෙ වෙල් නියරක් දිගේ  ඉස්කෝලෙ යන දර්ශනයක්,පින්තූරෙ හොයල කැලැන්ඩරේ ඩිසයින් කරල කලර් සෙපරේට් කරල ප්‍රින්ට් එකට දෙන්න ලැස්තිවෙලා ඉද්දි එකපාරටම ගිනිගෙඩියක් පාත්වුනා...ජනාධිපති ප්‍රේමදාස මහත්තයගෙ පින්තූරයක් කැලැන්ඩරේ පැත්තකින් දාන්න කියල ලොක්ක එකහඬින් කියාසිටිනව...

දන්නවනෙ මේ පොඩි පින්තූරයක් කැලැන්ඩරේ උඩ පැත්තකින් දාන්නකො...

ලොක්ක කිව්වෙ එහෙමයි,කියන විදියට ප්‍රේමදාස මහත්තයගෙ පින්තූරයක් දැම්මනං කිසි කෙනෙකුට කැලැන්ඩරේ දීගන්න බැරිවෙනව,අපි හරිම අසීරු අවස්ථාවකට මූණ පෑවා, මේක හරියට මහන්සියෙන් කිරි කලයක් දොවල ඉවරවුණාම ඒකට ගොම ටිකක් දාන්න කිව්ව වගේ වැඩක්නෙ...දන්න විදියට ලොක්කට කිව්ව හරිගියේ නෑ දාන්නම කියනව...

ගහන කැලැන්ඩර් ඔක්කොම අපිට තියාගන්න තමයි වෙන්නෙ මොකද ඔය පින්තූරෙ තියෙනකන් කවුරුවත් මේ කැලැන්ඩරේ අරං යන්නෙ නෑ, මේ වැඩෙන් මාව අයින් කරපල්ලා...

මම එහෙම කියල වැඩෙන් මග ඇරලා හිටියා,ඊට දවස් කීපෙකට පස්සෙ පින්තූරෙ වෙනුවට නොමිලෙ පාසැල් පොත් දීම ගැන කවියක් දාන්න ලොක්කව කැමතිකරගන්න අපිත් එක්ක වැඩකරපු අංගනාවියෙකුට පුළුවන් වෙලා තිබුණා...

අපිත් ඉක්මනට ප්‍රේමදාස මහත්තය නොමිලේ පොත් දීපු එක ගැන කවියක් ලියෝල පින්තූරෙ දකුණු පැත්තෙ පහලින් සුදුවට දැම්මා...කවිය ලියල දුන්නෙ දෙසතියෙ සහකාර සංස්කාරක වෙලා හිටපු මා දන්න ඉතාම අහිංසක මාධ්‍යවේදියෙක් වුනු හදිසියේ අප අතරින් වියෝවූ වින්සන්ට් පෙරියප්පෙරුම මහතායි...ඔහු අපට යවහන් දොස් නැති අපූරු කවියක් හදල දුන්නා, කවියෙ පද හතරම නං මට දැන් මතක නෑ දෙකක් විතරක් මතකයි...ඒ මුල් පදේ සහ අගපදේ...පද හතරම මතක තිබ්බ නං හොඳයි ඒත් ඉතිං අවුරුදු විස්සකට විතර කලින් වෙච්ච දෙයක් නොවැ...මතක තියෙන පදදෙක මෙහෙමයි...පුළුවන්නං මැදට එන පදදෙක ලියල දාන්න...අපේ බ්ලොග් අවකාසයේ හොඳ කවියො ඉන්නවනේ... 

අතට ලැබුණු පොතපත වාසනාවන්
දැයට කැකුළු මේ මතු   වාසනාවන්

ඔය ටික කරගත්තට පස්සෙ කැලැන්ඩරේ මුද්‍රණ කටයුතු ඉතාම වේගයෙන් කෙරිල ඔක්කොම වැඩ ටික ඉවර කරගෙන දෙසැම්බර් අග හරියෙ කැලැන්ඩර් ටික ඔපිස් එකට ගෙනාවා...

ඊට පස්සෙ එළඹුනේ බෙදාහැරීම කියන අමාරුම සහ එපාවෙන වැඩේ,අපි දෙසතිය කැලැන්ඩරේ බෙදන්නට මූලිකවම ඉලක්ක කරගෙන හිටියෙ දෙසතිය පාඨකයින්ට හා දෙසතිය විකුණන අලෙවි නියෝජිතයන්ට,ඉස්සෙල්ලාම කන්තෝරුවෙ අයට කැලැන්ඩර් දීල ඒ කරදරේ ඉවරයක් කරගත්තා...ලොකුම කරදරේ පටන්ගත්තෙ ඊට පස්සෙයි...අපට කිසිම සම්බන්ධයක් නැති සත පහක උදව්වක් නොකරපු අමාත්‍යංශ වලින් සහ ඇමතිවරුන්ගෙන් කැලැන්ඩරේ ඉල්ලලා ලියුම් ඒ කියන්නෙ නියෝග බඳු ඉල්ලීම් ගලා එන්නට ගත්තා  

අපට සීයක් එවන්න,දෙසීයක් එවන්න ආදී වශයෙන්,හැම එකාටම දහයක් පහළොවක්වත් දියයුතු නිසා අපේ මූලික ඉලක්කයන් ටික ටික මග ඇරෙන්න ගත්තා...මුදල් දීල දෙසතිය ගන්න පාඨකයන් අමතක කරල කිසි පලක් ප්‍රයෝජනයක් නැති අයට කැලැන්ඩර් දෙන්න වෙන වෙලාවට  බෙදිල්ල එපාවෙනවා ...

ඔන්න ඔය අතරතුරේ මගෙ හිතගත් ලිපියක් මට තැපෑලෙන් ලැබුනා...අතින් ලියූ ඒ ලිපිය එවා තිබුනෙ සියනෑ කෝරළේ ගම්පහ පැත්තෙ ගම්බද විදුහලක විදුහල්පති තුමෙක්, මට ලිපිය ලියල තිබ්බ හැටි මතක නෑ ඒකෙ සාරාංශය මෙහෙමයි...

බෙදාහැරීම් කළමනාකාර තුමා,
දෙසතිය සඟරාව,
මැලේ වීදිය,
කොළඹ 2.

 මහත්මයාණෙනි,

ඔබ අනගි සඟරාව මගින් මුද්‍රණය කර ඇති මෙම වර්ෂයේ දින දර්ශනයට ඇතුළත්වන ඡායාරූපයට පෙනී  සිටින්නේ මගේ පාසලේ ඉගෙන ගන්නා කුඩා දරුවන් සමූහයකි.ඔබ ඔවුන්ව  ඡායාරූපයට නගා දින දර්ශනය මුද්‍රණය කලත් එකම දින දර්ශනයක් හෝ එම දරුවන්හට ලබාදීමට කාරුණික වී නොමැති බව ඉතා කණගාටුවෙන් දන්වමි.

තවත් විස්තර ගොඩක් ලියල තිබුනත් ළිපියෙ හරය ඔන්න ඔය ටිකයි...මේ ලියුම දැකල මාව කරකවල අත ඇරිය වගේ වුණා, සුරේෂ් ගෙන් පින්තූරෙ ඉල්ලං කැලැන්ඩරේ ගැහුවට ඉන්න ළමයි කවුද ඉස්කෝල කොහෙද ගෙවල් දොරවල් කොහෙද කියල අපි හෙව්වයැ, එව්ව අපට අනවශ්‍ය දේවල්නෙ...කොටින්ම සුරේෂ් මට පින්තූරෙ දුන්නෙත් හිතවත්කමට සල්ලි සතයක්වත් ගත්තෙත් නෑ...වෙන එකෙක් නං ඒ දවස්වල අඩුම තරමෙන් රුපියල් විසිපන්දාහක්වත් ඉල්ලනව...

ඒ වුනාට අපේ ගෙදරදොර වැඩ කටයුතු විදුහල්පති තුමාට කියල වැඩක් ඇතෑ...එතුමගෙ දුක් ගැනවිල්ලට විසඳුමක් දෙන්න එපායැ, මම වහාම විදුහල්පති තුමාට පිළිතුරු ලිපියක් යැව්වා...

විදුහල්පති තුමා,
.....විද්‍යාලයය 
..........
ප්‍රිය මහත්මයාණෙනි,

ඔබ විසින් එවන ලද ..... දිනැති ලිපිය ලදිමි,එම ලිපිය මා වෙත එවීම ගැන මගේ ස්තූතිය පළමුව ඔබතුමාට පිළිගැන්වීමට කැමැත්තෙමි,මන්දයත් ඔබ විසින් සඳහන් කර ඇති ඡායාරූපය අප විසින් ගන්නා ලද ඡායාරූපයක් නොවන අතර එය බාහිර ප්‍රචාරක ආයතනයකින් ලබාගන්නා ලද ඡායාරූපයක් බැවින් එහි පෙනී සිටින පාසැල් දරුවන් පිළිබඳව අපහට කිසිම අවබෝධයක් නොතිබූ අතර එම දරුවන් හා ඔවුන් ඉගෙනගන්නා විදුහල පිළිබඳව අප දැනුවත් වුයේ ඔබතුමාගේ ලිපියෙන් බැවිනි.

ඔබතුමාගේ විද්‍යාලය සඳහා දින දර්ශන පණහක් වෙන්කර තබන අතර සතියේ දිනක දෙසතිය බෙදාහැරීම් අංශයට පැමිණ එම දින දර්ශන ලබාගතහැකි බව කරුණාවෙන් දන්වනු කැමැත්තෙමි.

තවද අවම වශයෙන් ඡායාරූපයේ පෙනී සිටින දරුවන් හටවත් දින දර්ශනය බැගින් ලබාදීමට කටයුතු කරන්නේ නම් කෘතඥ වෙමි.

ස්තූතියි,
මීට විශ්වාසී,
............

එහෙම ලිව්වෙ ඔය කොච්චර හිත උණුවෙන විදියට ලියුම් ලියල එව්වත් කැලැන්ඩර් ලැබුණාම ගුරුවරු ටික පොරකාල බෙදාගනී කියලයි,එතකොට අර පින්තූරෙ හිටිය අහිංසක දරුවන්ට හුළං...ප්‍රින්සිපල්ලගෙයි ගුරුවරුන්ගෙයි හැටි මම දන්නවනෙ...

ඔන්න ඔය ලියුම යවල සතියකට විතර පස්සෙ දවසක දවල් දහයට එකොළහට විතර හමුදා වාහනයකින් ආව සෙබළුන් දහදෙනෙක් විතර අපේ බෙදාහැරීම් අංශය වටකෙරුවා...මේ මොකක් වෙන්න යනවද කියල අපි බලාගෙන ඉන්නකොට හිනාවකින් මුහුණ සරසගත්ත උස මහත හමුදා නිලධාරියෙක් සෙබළුන් අතරින් ඇවිත්  අපේ කාර්යාලෙට ගොඩවුනා...

ඔහු කෙලින්ම මගෙ ලඟට ඇවිත් සුහදව කතාකළා...

මම කර්නල් නියංගොඩ නාරාහේන්පිට කෑම්ප් එකෙන්...

වාඩිවෙන්න කර්නල්...

වාඩිවෙලා කර්නල්වරයාගෙ අතේ තිබිච්ච ලියුමක් මගේ අතට දුන්නා...දිග ඇරලා බලපුවාම මම අර විදුහල්පති තුමාට යවපු ලියුම...

ලියුම දිහාත් කර්නල් නියංගොඩ දිහාත් බලපු මගෙ මූණෙ මතුවුණු ඉස්පිලි පාපිළි ප්‍රශ්නාර්ථ සැණෙකින් වටහාගත්ත කර්නල්වරයාට ආයෙම හිනාවක් ගියා...

ඔය ලියුමයි හමුදාවයි අතරෙ තියන සම්බන්ධකම මොකක්ද කියල නේද බලන්නේ...මගෙ නෝන උගන්නන්නෙ ඔය ඉස්කෝලෙ, ප්‍රින්සිපල්ට එන්න අපහසු නිසා නෝනට කියල තියෙනව මට කියල පුලුවන්නං කැලැන්ඩර් ටික ගෙන්නල දෙන්න කියල...

ඉස්කෝලෙට වෙන්කරලා තිබුණු කැලැන්ඩර් ටික කර්නල්වරයා අරගෙන ගියා...

කැලැන්ඩර් වැඩෙන් හිතට කිසිම තෘප්තියක් නොලැබුණු නිසා ඒ අවුරුද්දෙන් පස්සෙ මම දෙසතියට කැලැන්ඩර් ගැහුවෙ නෑ...

කැලැන්ඩර් කතාව මෙයින් අවසාන වෙනව සහ අපි නැවතත් මුලින් කියන්න පටන්ගත්ත කතාවට එනවා...

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට ආර්යාව බදුල්ලෙ වැඩ සටහන් කීපයක්ම ලෑස්ති කරගෙන තිබුණා...

කාන්තාවන්ට පොල් පැළ බෙදාදීම 
පාවහන් බෙදාදීම
කිරිඅම්මාවරු දහසකට කිරි දානය 
කාන්තාවන්ගේ විවිධ ප්‍රසංගය 

පොල් පැළ සපයල දෙන්න බාරදීල තිබුනෙ පොලිසියට පොලිසියෙ අයත් බොහොම මහන්සිවෙලා පොල් පැළ දාහක් හමාරක් හොයල ගෙනත්දාළ තිබුණා...බදුල්ලෙ පොල් පැළ හොයාගන්න අමාරුයි බස්නාහිර පළාතෙන්ම ගෙනෙන්න ඕනෑ...සෙරෙප්පු ලෝඩ් එකකුත් කොළඹින්ම ගෙන්නගෙන තිබ්බා, කිරිඅම්මල එක්කඑන්න බාර දීල තිබුනෙ ග්‍රාමනිලධාරීන්ට, කිරිඅම්මල ගෙනෙන කොටම ඒ අයට පිළිගන්වන්න ඇතිවෙන්න  කිරිබත් කැවුම් කෙසෙල්ගෙඩිත් අරගෙන එන්න ඕනෑ... 

ඔන්න ඔය ආකාරයට මහා පරිමානෙන් ලෑස්තිකරල තිබුණු කාන්තා දිනය එනතුරු බදුල්ලෙ විතරක් නෙවෙයි ඌව පළාතෙම කාන්තාවො ඇඟිලි ගනිමින් හිටිය කිව්වොත් නිවැරදියි...

අපිත් සුපුරුදු පරිදි නවාතැනේ ඉඳල උදේ බදුල්ලට ඇවිත් ඡායාරූප ප්‍රදර්ශනයේ වැඩ කටයුතු ලෑස්ති කරනව රා බොනව, හැමදාම වගේ දවල් කෑමට කොහෙන් හරි ආරාධනාවක් ලැබුණා අපි එක එක්කෙනාගෙ යාළුවො හරියට ඒ අහළ පහල හිටියා...

ඔන්න එක දවසක් අපි නවාතැනේ ඉඳල වාහනේ එද්දී බදුල්ලෙ රෙක්ස් හෝල් එකේ දාල තිබුණු චිත්‍රපටියක් දැකපු අපේ ප්‍රධානියා එක පාරටම කලබල වුණා...

අන්න බං රැජිනිගෙ ෆිල්ම් එකක්...

බලපුවම ඔහු රැජිනි කාන්ත්ගේ හොඳම රසිකයෙක්...උදේ දහයට විතර මට කතාකළා...

මම යනව ෂෝ එක බලන්න උඹත් එනව නං වරෙන්...

රැජිනි කාන්ත් ගැනවත් දෙමළ ෆිල්ම් ගැනවත්  මට ඒ කාලෙ එච්චරම හෝදිසියක් තිබුනෙ නෑ...කතාකරපු නිසා මමත් ගිහිං චිත්‍රපටය බැලුවා... රැජිනි කාන්ත් රඟපානවා  මම මුල්වරට දැක්කෙ එදායි...නිළිය කවුද කියලනං මට මතකක් නෑ එදා චිත්‍රපටය බලන්න ඇවිල්ල හිටපු වතු කම්කරුවන්ගෙ ගෝෂාව නං මතකයි...රැජිනි තිරේට එනකොට එකම එක කම්බැල්ලෑවයි මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑ... 

බදුල්ලෙදි පෙන්නන්න අපේ දෙපාර්තමේන්තුවෙනුත් චිත්‍රපටයක් ලෑස්ති කරල තිබුණා ඒක හැදුවෙ රජයේ චිත්‍රපට අංශයෙන්...ඒ කාලෙ චිත්‍රපට අංශෙ සංස්කාරකයෙක් හැටියට වැඩකරපු ප්‍රසිද්ධ නළුවෙක් ප්‍රේමදාස මහත්තය ගැන චිත්‍රපටය හැදුවා...මේ නළුවා ඒ දවස්වල මගෙත් එක්ක හුඟක් හිතවත් වුණා පස්සෙ කාලෙක ඔහු ගැන රස කතා සාගරයක් අපේ බෙන් ෆිල්ම්ස් එකේ වැඩ කරපු කොල්ලො මාත් එක්ක කිව්වා ඒවා ලියනවද නැද්ද කියල මං කල්පනා කරමින් ඉන්නෙ...මොකද ඒ කතා ඔක්කොම වගේ වැඩිහිටියන්ට පමණයි කතා...ඒ වුනාට මේ බ්ලොගට වැඩිහිටියොත් එනව දරුවොත් එනව ඉතිං අපි ස්වයං වාරණයක් ඇති කරගන්න ඕනැනේ...

Sunday, November 17, 2013

103.ජාත්‍යන්තර කාන්තා දිනය,පොකැට් කැලැන්ඩරේ සහ තවත් කතා






අපේ කණ්ඩායම ඔන්න වැඩ පටන්ගන්න බදුල්ලට ගියා...ගියපු කණ්ඩායම මෙහෙමයි,අපේ ප්‍රධානියා, මමයි මගෙ ගෝලයයි තව අලුතෙන් ඔෆිස් එකට ආපු කොල්ලො දෙන්නෙකුයි, නම් කියන්න හොඳ නෑ දෙන්නම දැන් රජයේ ලොකු ලොකු තානාන්තරවල ඉන්නෙ, සරත් සහ උමගිළිය ඒ දෙන්න පින්තූර ගන්න ගියා, උමගිලියගේ ලොකු පුතත් ගමනට සහභාගී වුණා...අන්න කොල්ලො, තාත්ත ජේ ආර්ට කියල හදල දුන්න රජයේ රස්සාව පිස්සු කෙලල නැතිකරගත්තා, දැන් කන්න බොන්න දෙන්නෙත් සිගරැට් එක බොන්න පවා සල්ලි දෙන්නෙ තාත්තා... ඌට හෙන ජොලි, මොන කරදරයක්ද හැමදේම හම්බවෙනවනේ, අපි ඌට කිව්වෙ උමගිළිය ජූනියර් කියල පස්සෙ නිකම්ම ජූනියර් උනා...

එතකොට කණ්ඩායම ඔක්කොම අටයි නෙ, අපි කට්ටිය වාහන දෙකක ගිහිං දුන්හිඳ තියන පාරෙ කිලෝමීටර් දෙකතුනක් ගියතැන හම්බවෙන සරත්ගෙ යාළුවෙකුගෙ ගෙදර නවාතැන් ගත්තා...ගිය තැන දැන් ඇහුවට අයුරු කියන්න නං මට  මතකක් නෑ ඉවාන්, හැබැයි ඒ ගෙදරට වාහන යන්න බෑ කන්ඩියක් උඩ තිබුනෙ...වාහන පාරෙ නවත්තල කපල තිබ්බ පඩිවලින් ගලෙන් ගලට නැගගෙන අපි ඒ ගෙදරට ගියෙ, පාරට පහලින් සීතලම සීතල සුදෝසුදු වතුර ගොබයක් ගලාගෙන ආපු  පීල්ලක් තිබුණා, බොන්න වතුර ගන්නෙ නාන්නේ ඔක්කොම ඒ වතුර පීල්ලෙන් තමයි... පාරෙන් එහා පැත්තෙ කන්දෙ බඩ පිරෙනකන් බොන්න කිතුල් රා තිබුණා, ඔන්න ඉවාන් තැන මට එච්චරයි කියන්න මතක...

ඒ දවස්වල අපි රාජකාරියට ගියාම නවාතැන් ගත්තෙ ඔන්න ඔය විදියට...දැන් එවුන් නං  හෝටල්  නැත්නං යන්නෙ නෑ පහසුකම් මදි කියල, අපි ගිය පළාත්වල කිට්ටුව පාතක රජයේ ගොඩනැගිලි තිබ්බනං එවයේ නැවතුනා,  නැත්නං කාගෙහරි යාලුවෙක්ගෙ තැනක ගජේ ගහනව, තෙල්දෙණියේ ජංගම සේවෙට ගිය වෙලේ නැවතුනේ පොල්ගොල්ලේ සමූපකාර විද්‍යාලෙ   නේවාසිකාගාරවල, නුවර පදවිප්‍රාප්තියට ගිය වෙලේ නැවතුනේ ගන්නොරුවේ කෘෂිකර්ම විද්‍යාලෙ  නේවාසිකාගාරවල, මයියංගනේ සාහිත්‍ය උත්සවයට ගියවෙලේ නැවතුනේ ඒත් ටවුමෙම තනියම හිටපු සරත්ගෙ යාළුවෙකුගෙ නිල නිවාසෙක, ඔයවගේ තමයි නවාතැන් කෑම බීම ගැන මහලොකුවට හෙව්වේ නෑ, රාජකාරිය හරියට කරන එක තමයි ඉතාම වැදගත් කොට සැලකුවෙ ...

නුවර තිබුණු ශ්‍රීමතාණන්ගේ පදවිප්‍රාප්ත සංවත්සරයට දෙපාර්තමේන්තුවෙන්  නුවර බෞද්ධ මන්දිර ශාලාවෙ ඡායාරූප ප්‍රදර්ශනයක් තිබ්බා...අපි දෙසතිය කණ්ඩායම නුවරට ගියෙ දෙසැම්බර් තිස් එක්වෙනිදා හවස් වරුවෙ ශාලාවෙ අපේ දෙසතිය අළෙවිහල හදල නිදාගන්න ගන්නෝරුවෙ යනකොට රෑ දොළහත් පහුවුනා...

මුළු නුවර පළාතම අලුත් අවුරුදු වෙඩි හඬින් ගිගුම් දෙන නව අවුරුදු උදාව මොහොතෙ අපි ටික පාර අයිනෙ තිබුණු පෙට්ටි කඩේකින් සුදු ආප්ප ලුණුමිරිසුත් එක්ක  කාල තේ බිව්වා, ඒ අපේ රෑ කෑම...

ලංකාවෙ හිටියත් ලෝකෙ කොහෙ හිටියත් ජනවාරි පළවෙනිදට අපි කිරිබත් කෑල්ලක් කනවමනෙ, ඒ ජනවාරි පළවෙනිදා තමයි මට මතක තියෙන කිරිබත් නැති එකම නව අවුරුද්ද...උදේ දහයට විතර අපි ගිහිං පෙට්ටි කඩේකින් වේලිච්ච ආප්ප කෑවා,මම ඕක මගේ ඩයරියෙත් ලියල තිබ්බා "කිරිබත් නැති ජනවාරි පළවෙනිදාවක්"කියල, ඩයරියේ ලිව්වා කියපුවම උඹල හිතන්න එපා මම ඩයරි ලියන සතෙක් කියල...මම ඩයරියක් තියාගෙන හිටියෙ අපි රාජකාරිවලට පිට යන දවස් වෙලාවල් එහෙම ලියාගන්නයි...නැත්නං සබ්සිස්ටන්ස් ක්ලේම් පෝම් එක ලියන්න ඇඹරෙන්න වෙනවනෙ දවස් මතක නැතුව...හැබැයි ඩයරි නොලිව්ව එක අපරාදයක් කියල දැන් නං හිතෙනව, ඒ දවස්වල විස්තර ඩයරිවල ලියල තිබ්බනං මං මේ පෝස්ට් ලියන්නෙ කජු කනව වගේ, නිකං කජු නෙමේ රටකජු...දැන් ඉතිං ලියන්නෙ මොළේ කොර වෙනතුරු කල්පනා කරකර, නැත්තං එක එකාට පෝන් කරකර බැණුම් අහගන්නව...

මචං අපි අර අහරෙ ගියෙ කවුරු කවුරුද ඒ කොයි කාලෙද...

තොගෙ ඔලුවෙ අමාරුව තාම හොඳ නැද්ද  යකෝ...

ආ..මට විතරයි  ඔලුවෙ අමාරුව  තොට නෑ...තොට තියෙන්නෙ හොඳ වෙන ඔලුවෙ අමාරුවක් නෙමේනෙ,නාකි ගෑනියක් දැක්කත් තොට ඔලුවෙ අමාරුව හැදෙනවනෙ බොල...

මව් ගුණ ගායනාවලින් පස්සෙ බොහොම අමාරුවෙන් විස්තර අහගන්නෙ ඒ හින්ද මම මේ දැන් බ්ලොග් ලියන තරුණ ළමයින්ට දෙන එකම අවවාදය නම් ඔය විස්තර ලියල තියාගන්න, පස්සේදී හරිම වටිනව...ඩයරියක් නැත්නං කොපි පොතක හරි කමක් නෑ...අපි කොල්ලො කාලෙ එහෙමනෙ, අපට ආසාව තිබ්බට ඩයරි ලැබෙන්නෙ නෑ,දැන් නං දෙසැම්බර් මාසෙ ඉඳල අප්‍රේල් විතර වෙනකං ඩයරි ගෝනියක් විතර හම්බවෙනව, ඒ වුණාට දැන් ඩයරි ගැන කිසිම ආසාවක් නෑ, ආසාව තිබ්බ කාලෙ ලැබුනෙ නෑ, ඕව ඔහොම තමයි මම ඉස්පිරිතාලෙ වැඩකරන කාලෙ අපිත් එක්ක වැඩකරපු කෙල්ලෙකුගෙ මහත්තය මට ලස්සන ඩයරියක් දුන්න...

මමත්ඉතිං බොහොම සතුටෙන් ඔය ඩයරියත් අතේ තියාගෙන පොර වගේ ආඩම්බරෙන් දවස් දෙක තුනක් වැඩට එන්න ඇති ඕනැනං...ඒ දවස්වල මට ආලවන්තකම් පාපු අංගනාවක් ඔය ඩයරිය දැකල...

ආ මෙයා මේක මටත්  හොරෙන් තියාගෙන හිටිය නේද මේක මට හොඳයි...

කියල මවු තුරුලෙන් දරුවෙක් ඇදගෙන යනව වගේ මගෙ ඩයරිය  අරං ගියා, මොනව කරන්නද එපා කියන්නයැ එපා කිව්වොත් එහෙම...

තමුසෙට මට වැඩියෙ මේ කඩදාසි ටික ලොකුඋනා එහෙනං, ඔය මගුල තමුසෙම තියාගන්නව...මගෙ ගැන බලාපොරොත්තු තියාගත්තෙ නැතුවට කමක් නෑ...

ඔන්න ඔහොම කියල ඩයරියත් දමල ගහල යයි කියල මගෙ හිතේ බයකුත් නොතිබුනා නෙවෙයි...ගෑනු ඔහොමනෙ මගෙත් පළවෙනි කුළුඳුල් ආදරය නොවැ...ඉතිං මමත් ඒ දවස්වල සත්‍ය ප්‍රේම භෘංග රාජයා වගේ හිටියෙ...සත්‍ය ප්‍රේම භෘංග රාජය කියපුවම මට මතක් උනේ ඊට අවුරුදු හත අටකට පස්සෙ මට මුණගැහුණු භෘංග රාජයෙක්...

මෙයා බොහොම ලපටි කොල්ලෙක් රතුයි හරි ලස්සනයි,උපමාවකින් කිව්වොත් හරියට ජෝන් ඒබ්‍රහම් වගේ, ඒ දවස්වල නං ජෝන් ඒබ්‍රහම්ල බඩගාන කාලෙ වෙන්න ඇති...ඔන්න පොර රස්සාව හම්බවෙලා අපේ කන්තෝරුවට වැඩට ආව, ඒ දවස්වල සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ගත්ත තරං ගත්තෙ දකුණෙන්නෙ, දකුණෙන් කිව්වට හරියටම කිව්වොත් බෙලිඅත්තෙන්, මොකද සෞඛ්‍ය ඇමති රංජිත් අතපත්තු බෙලිඅත්ත ආසනේ මන්ත්‍රී නොවැ ඉතිං මේ අහිංසක කොලුවට රූප ලස්සනේ උගත්කම ආදී හැම දෙයක්ම තිබුනට මොකද පොඩ්ඩක් පොෂ් මදි...

පොඩ්ඩක් කිව්වට ඉතිං දන්නවනෙ ගතිගුණ හැසිරීම් කතා විලාසය ආදිය ඔක්කොම ගිරුවාපත්තුවෙ...

අපිටනං  ඔව්ව එච්චර ගාණක් නෑ ඌ මොනරාගල මධ්‍ය මහා විද්‍යාලයෙන් ආවත් එකයි රෝයල් එකෙන් ආවත් අපට එකයි...රෝයල් කිව්වම මතක් උනේ මගේ යාලුවෙක් හිටිය ඌ රෝයල්, හැබැයි ඉංග්‍රීසියෙන් වචන දහයක් ගැට ගහ ගන්න බෑ...මූ  කීප දවසක් ඇඹරෙනකොට මම ඌට කිව්ව...

මචං උඹ කියපං උඹ තුම්පනේ මහා විද්‍යාලෙ කියල...මම රෝයල් කියපං එතකොට උඹේ නම්බුවත් බේරෙනව රෝයල් එකේ නම්බුවත් බේරෙනව...

ඔන්න ඔච්චරමයි මම කිව්වෙ මාතලන් මූට තදවුනානෙ...මාස ගානක් මගෙ මූණවත් බැලුවේ නෑ ඒ ඇයි බං අරූ...

ඔන්න ඉතිං අපේ අහිංසක කොල්ලත් සතුටින් සමාදානයෙන් කන්තෝරුවෙ රාජකාරි කරමින් ඉන්න අතරෙ අනංගය මූට වැඩේ දුන්න, කෙල්ල ඇවිල්ල අල්ලපු බිල්ඩින් එකේ රස්සාව කරපු කෙල්ලක්, පුල් පොෂ් කෙල්ල, ගමත් කොළොන්නාවෙ...

කොළඹ චිත්‍රපටි හෝල් ගානෙයි වික්ටෝරියා පාක් එකෙයි මේ යුවළගේ ආදර අන්දරය බාධාවක් නැතුව ගලාගියා...කොල්ලගේ පළවෙනි ආදර අන්දරය වුනාට කෙල්ල ආදරයට කෝඩුකාරියක් නෙවෙයි හොඳ පුරුදු කාරියක් ...කොල්ලගේ අඩුපාඩු, පසුබාන තැන් ඔක්කොම ඒ කාලය තුලදී කෙල්ල නෝට් කළා නෝට් කරල නිකං හිටියෙ නෑ වෙලාවට කලාවට දඩ බූට් එකකුත්  දුන්නා...

දැන් මූ පිස්ස වගේ හැසිරෙන්නෙ, දවසක්දා මටත් උගේ කඳුළු කතාව කිව්වා...

මල්ලි ඕව ඔහොම තමයි හද පතුලෙන්ම කරපු ආදරයක් බිඳ වැටුනම දරාගන්න හරි අමාරුයි කාලයත් එක්ක ඔයාගෙ හදවතේ ඇතිවුණු තුවාල සනීපවෙයි, පස්සෙ කාලෙකදී ඒ ආදරේ මතකයක්ම පමණක් වේවි...කාලය හොඳම වෛද්‍යවරයා හැටියටත් හොඳම බෙහෙත හැටියටත් එකවර වැඩකරනවා, ඉවසගෙන ඉන්න...

මමත් සාහිත්‍යයෙන්ම දුන්නා, මූත් මගේ මූණ දිහා උණහපුලුව වගේ බලාගෙන අහගෙන හිටිය,අහගෙන ඉඳල එහෙම මේකා ගිහිං ඔෆිස් එකේම හිටපු අක්කෙකුට කඳුළු හල හලා මම කියපුදේ ගෙඩිපිටින්ම කිව්වා...

බලන්නකො අක්කෙ මට මෙයා මේ විදියට කිව්වනෙ...

කිව්වහම මොකද ඒ දවස්වල ඔය අක්කත් එක්ක මගෙත් පොඩි ඇයි හොඳයියක් තිබුණා...මමත් ඒ කාලෙ කුරුල්ලෙක් වගේ සැහැල්ලුවෙන් හිටපු තනිකඩ කොල්ලා,අක්ක කෙල්ලට ඊරිසියාවෙ බලාගෙන ඉන්න බැරුවද කොහෙද මට කොක්ක ගැහුවා, එදා ඉඳලම මෙයා හදන්නෙ මාවත් ඒ අයගෙ අර සම්ප්‍රදායික කොටුව ඇතුළට ඇදල හිරකරලා දාන්නයි...විරුද්ධ වුනොත් බැන්නොත් අඬනව, කඳුළු උපත අඬාගෙනම තමා කතාව පටන්ගන්නෙ...මට මේක විශාල හිසරදයක් වෙලා තිබුනෙ...

ඉතිං අපේ සත්‍ය ප්‍රේම භෘංග රාජය මල්ලි  ගිහිල්ල අක්කට කතාව කිව්වට පස්සෙ අක්ක කෙල්ල ඇවිත්  මට ගොඩක් දොස් කිව්වා ...

ඔයා මොනවද අර මල්ලිට කියල තියෙන්නෙ, බලන්න ඔහොම කියපුවම එයා ඔයා ගැන මොනවද හිතන්නෙ ඔයා හිතාගෙන ඉන්නෙ එයත් ඔයා වගේ ෂර්ට් මාරුකරන්නැහේ  කෙල්ලො මාරු කරන කොල්ලෙක් කියලද...

අවලාද අපහාස ගෝනියයි...මමත් බැන්න

එතකොට ඔයා කියන්නෙ ඌ අඬනකොට මටත් ඌත් එක්ක අඬන්න කියලද ඔයාට ඕනැනං  ගිහින් ඌත් එක්ක එකතුවෙලා අඬන්න, හැමදාම කරන වැඩේනෙ...හැබැයි ඌට කියනව මීට පස්සෙ උගෙ මගුල් මාත් එක්ක කියන්න එන්න එපා කියල...

තදවුණු වෙලාවට බලු බැණුම් බැන්නත් අක්ක කෙල්ලව අතඇරලා දාන්න හිතකුත් නෑ, හදිස්සියකට අසක්කුවකට රුපියල් සීයක් හමාරක් ඉල්ලගන්න ඉන්නෙත්, ඉන්ඩම බැරි අමාරුවකදී  ලෝඩ් එකක් බාගන්නකල් කිසිම ආඩම්බරයක් නැතුව අල්ලන්නෙත් ඔය අක්ක කෙල්ලමනෙ..ඉතිං අත ඇරල කොහොමද අපිටත් ඒ කාලෙ අත මිට බොහොම හිඟයි නොවැ...

අක්ක කෙල්ල ගස්සගෙන යන්න ගියා...අරකගෙ(අරූ කියල ලියන්න හැදුවට බෑනෙ,අපේ අරූ ඉන්නවනෙ එතකොට හිතයි මේ ඌට කියන්නෙ කියල,අනේ අම්මප දාගන්න නං නැතුවට මුනුත්  දාගන්න නං) හිත හදන්න යථාර්ථය කියල දුන්නට ඔන්න මට ලැබුණු තෑග්ග...ලියන්නම ඕනැනං අක්ක කෙල්ලගෙ කතාව මම පස්සෙ දවසක ලියන්නංකො...

ඉතිං කොහෙන්ද අපි නැවැත්තුවෙ ආ හරි ඩයරිය අරං ගිය යුවතිය නේද...ඔය යුවතිය හෙවත් මගේ පළමුවෙනි ආදර කතාව, ටික දවසකින්ම කිසිම හේතුවකින් තොරව ඇය මගේ ජීවිතයෙන් ඈත්වෙලා යන්නම යන්න ගියා...

හේතුවක් නැතුව කිව්වට ඒ මටනෙ, ඇයට ඕනෑ තරං හේතු තියෙන්න ඇති ඒ කාලෙ හිතන්න බැරි උනාට පස්සෙ කාලෙකදී නිවී සැනසිල්ලෙ කල්පනා කරද්දී මට ගොඩක් දේ වැටහුණා...හරියට ශතෝදීප් හිරගෙදරදී  තමන් හිරේ වැටෙන්න හේතුව නොදැන හිටපු එද්මොන් දාන්තේට පාරියා පූජකවරයා හේතුව පහදලා දුන්න වගේ මම තනියම කරුණු කාරණා එකිනෙක ගැටගහනකොට කාරණේ මහ දවල් වගේ නිකම්ම පැහැදිලි වුණා...

කොහොම වුනත් ඇය අපේ ආදර කතාවෙන් සමුගත්ත එක මට වැදුන දරුණු පහරක් වුණා...හුදෙක් කෙල්ලක් නැතිවීමම  පමණක් නොවෙයි...තරුණ වයසෙ මුල් හරියෙ ඉන්න කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙන් තමන් ප්‍රතික්ෂේප වුණා කියන එකම ලොකු අවමානයක් ලැජ්ජාවක්...අපි කවුරුත් කාගෙන්වත් ප්‍රතික්ෂේප වෙන්නට කැමති නෑ, ඒ අපේ අභිමානය සම්බන්ධ කාරණයක්...කෙනෙක් තමන්ට අත දික්කරල හිනාවෙනවට කවුද කැමති...ඒ වෙලාවට හිතෙන්නෙ ලෝකෙම බලනව ලෝකෙම මට හිනාවෙනව කියලනෙ...සනත් නන්දසිරි "මුළුලොව මගෙන් අසාවී'' කියල කිව්වෙ නිකංද...

ඉතිං නැතිවුණු අභිමානය සහ  ඒ කොට මොඩල් කෙල්ල පයින් ගහල විනාශ කරල දමපු ආත්ම ශක්තිය නැවත ගොඩනගාගන්න සහ  වැටුණු වලෙන් ගොඩ එන්න තවත් කෙල්ලෙක්ගෙ අතේ එල්ලෙන්නෙ නැතිවම බෑ...

ඔන්න ඔය වගේ වලේ වැටිල ඉද්දි, එන්න ඕනැවට රස්සාවට එද්දි දෙයියො දුන්න වගේ ස්වප්නට පත්වීමක් හම්බවෙලා අපේ ඉස්පිරිතාලෙ වැඩට ආවෙ...ස්වප්නා ගැන මම කලිනුත් ලියල තිබුනනෙ ඉතිං දිගම දිග  කතාවක් කෙටියෙන් කිව්වොත් ස්වප්නගේ අතේ එල්ලිලා මම වැටිච්චි වලෙන් ගොඩ ආවා...ඒ කතන්දරෙත් පස්සට තියමු...ආපහු ප්‍රධාන කතාවට...

බදුල්ලෙ මම ඔය කියපු ගෙදර නවාතැන් ගත්ත අපි කණ්ඩායම උදේ නැගිටල තේ එකක් එහෙම බීල,අපි සීනි තේකොළ කිරි එහෙම ගිහිං දුන්නම ඒ ගෙදර හිටපු අයිය උදේට කට්ටියටම තේ ලෑස්ති කරල දුන්නා...අර සීතලම සීතල වතුර පීල්ලට ඔලුව අල්ලල නාගෙන,එහෙම උදේ නාන්නෙ නැතුව යන්න අමාරුයි, රෑ ඔලුව කරවෙන්නම ගහලනේ නිදාගන්නෙ,උදේ පාන්දර ඔය වතුර පීල්ලට ඔලුව අල්ලන එක තමයි වැඩේ කියන්නෙ...කුරුමානං අල්ලල අල්ලල දත් මිටි කාගෙන පීල්ලට ඔලුව අල්ලනව ඔලුව විතරක් නෙවෙයි මුළු ඇඟම ප්‍රීස් වෙනවා මැලේරියා ලෙඩා වගේ සීතලෙන් ගැහෙන්නෙ...අමාරුවෙන් හරි නාගත්තට පස්සෙනනං තියෙන සනීපෙ කියාගන්න බෑ...බදුල්ලෙ වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනය හරියෙ තිබ්බ ශාලාවක අපේ වැඩේ ලෑස්ති කරල තිබුණා...

 යන ගමන් කඩේකින් උදේට කාල එහෙම ශාලාවට ගිහිං අඩුපාඩු බලල හදනව, දවල් දහය විතර වෙද්දි ප්ලාස්ටික් බූලි දෙකක් දාගත්ත වාහනයක් අර මම කියපු ඉවාන්ලගේ ගෙවල් හරියෙ තියෙන කිතුල් මණ්ඩියට යවනවා...

ඩ්‍රයිවර්ලා දෙන්නම කොල්ලො, කිසි කරදරයක් නෑ අපායට පලයන් කිව්වත් යනව...දහයට විතර මම එකෙකුට කතාකරනව...

ආසිරි මෙහෙ වරෙන් කොල්ලො...උඹ ගිහිං මේ බූලි දෙක පුරෝගෙන වරෙන් තැන දන්නවනෙ රා බිබී එතන ටැක් ගැහෙන්න එපා මෙහෙ ඇවිත් බීපන්,මොකද අද දවල්වෙද්දී ලොකු මහත්තයත් කොළඹ ඉඳල එනව කිව්ව...

හරි හරි මහත්තය බයවෙන්න එපා මම වෙලාවට එන්නංකො...

කිතුල් රා බූලි දෙක ගෙනත් පිටිපස්සෙන් තිබ්බට පස්සෙ එක එකා තමන් කැමති පමනෙන් සප්පායම් වෙනවා උමගිළිය දිදාලයක් වගේ චූටි කෝප්පයක් කොහෙන්ද හොයාගෙන ඇවිත් ඒකෙන් විස්සක් විතර බොනව,තාත්ත මාරුවුණ ගමන් ජූනියර් ඇවිත් ලොකු වතුර බොන වීදුරුවකින් දෙකක් ගහල අරිනව ඇල්වතුර බොනව වගේ...බීල සිගරැට් එකකුත් පත්තු කරගෙන ලෝඩ් පකීර් වගේ ඉස්සරහින් පුටුවක වාඩිවෙලා හුළං වැදී වැදී  ඉන්නව හරියට ගෙදරට ආපු අමුත්තෙක් වගේ,අපට වගේ නෙවෙයි ඌට මොන සැපද...

ඔය දවස්වල මම ඊළඟ අවුරුද්දට ගහන දෙසතිය කැලැන්ඩරේ මූලික වැඩ කටයුතු කරමින් හිටපු කාලෙ...ඉස්සෙල්ලම කැලැන්ඩරේටයි පොකැට් කැලැන්ඩරේටයි පින්තූර දෙකක් හොයාගන්න එපායැ,මගෙ අදහස තිබුනෙ පොකැට් කැලැන්ඩරේට කිතුලකට නගින රා මදින්නෙකුගේ පින්තූරයක් දාන්නයි...ඉතිං මේ ගමනෙන් ඒ වැඩෙත් කරගන්න පුළුවන් වෙයි කියල හිතපු මම හරිම සතුටින් හිටියා,ඇයි මල් කපන කිතුල් ගස් මංඩි කඳුවල වකාරෙට තියෙන්නෙ, වෘත්තීය මට්ටමේ පොටෝ කාරයෝ දෙන්නෙකුත් හොඳම කැමරා උපකරණත් තියනව,ඉතිං පොටෝද ගන්න බැරි...

සරත් මට පින්තූරයක් ඕනෑකරලා තියනව උදේ මල් කපන්න අර උපකරණ පෙට්ටියත් ඉනේ එල්ලගෙන කිතුල් ගහකට නගින මනුස්සයෙකුගෙ, ඒ මිනිහ උඩට කමිසයක් ඇඳල ඉන්න බෑ ...එතකොට නැගෙනහිර පැත්තෙන් ඉර එළිය තීරු තීරු ගස් අස්සෙන් පෙනෙන්න ඕනෑ...

ආදී වශයෙන් මම මගෙ අවශ්‍යතාව සරත්ට කියපුවම...

හරි මට තේරෙනව මම පින්තූර තුන හතරක්  අරං දෙන්නං හොඳ එකක් තෝරාගන්න එකයි...ඒක නෙවෙයි හැමදාම මේ මගුල් රා  බීල මගේ බඩ බුරුල්කරල,හරියට ටැප් එක ඇරිය වගේ බඩයන්නෙ ,අරක්කු කාලක් අමුවෙන් බිව්වනං බඩයන එක ගල ගැහුව වගේ නවතිනව...ගෙන්නමුද බෝතලයක්...

වැඩේ බාරදුන්න ගමන්ම මූ මගෙන් බෝතලයක් කැපුවා...මම කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියත් පින්තූරෙ වැඩේ හරිගියේ නෑ,රා මදින මිනිස්සු පිට අයව ගස් මුලට ගෙනියන්නෙ නැහැලු රා ගේන්න බූලි දෙක අරං ගියත් බූලි දෙක ඉල්ලගෙන...

මම විගැහින් රා ටික අරං එන්නං මහත්තය ඔතනට වෙලා ඉන්ට...

කියල යන එකාව ගලක් උඩ වාඩිකරල කන්දට ගිහිං රා ටික ගෙනත් දෙනව මිසක් ආයෙ කාවවත් කන්දට එක්කං යන්නෙ නෑ...


අන්තිමේදී මම පොකැට් කැලැන්ඩරේට පින්තූර දෙකක් හොයාගත්ත,එකක් වී බිස්සක පින්තූරයක්, අනික කැලේ එළිමහන් මන්ඩියක අහුලගෙන කන වළි කුකුල්ලු රංචුවක්...දැන් මේ පිංතූරදෙක ලොක්කට පෙන්නල එකක් අනුමත කරවගන්න ඕනෑ...මම වඩා කැමතිවුනේ වී බිස්සේ පින්තූරෙ දාල පොකැට්  කැලැන්ඩරේ ගහන්න, පින්තූර දෙකටම දෙසතිය කියල ලියවල ඩමි දෙකකුත් හදාගෙන ඒක ලොකු කරල ප්‍රින්ට් එකකුත් ගත්තා...දැකපු උන් නං නොයෙක් ජාති කිව්ව...

ඔන්න ඔය වී බිස්ස  විසිකරපන් උඹලනෙ  කරන්නෙ කෙලින්ම කුකුල්ලු ටික දාල ගහපං,ඒක තමයි හරියටම ගැලපෙන්නෙ ෂුවර් එකටම මම දන්නව ලොක්ක ඇප්රූ කරන්නෙ කුකුල්ලු ටික...

නෑ බං ලොක්කට පෙන්නන්න ඕනත් නෑ කෙලින්ම කැලැන්ඩරේ ගහලම පෙන්නපන් කුකුල්ලු ටික දැක්ක ගමන් ලොක්ක ඕ කේ කරනව...

ඔන්න ඔය වගේ මඩ වරුසා මැදින් මම පින්තූර දෙකත් අරං ලොක්ක හම්බෙන්න ගියා...

යනකොට ලොක්ක ගෝල් ලීෆ් එකකුත් බිබී පත්තරේ බලනව...වාඩිවෙන්න කියල මොකද කාරනේ ඇහුවා...

අර කැලැන්ඩරේ පින්තූර ටික පෙන්නන්න ආවෙ සර්...

කෝ බලන්න දෙන්න...

දැන් මොන පින්තූරෙද කැලැන්ඩරේට දාමු කියල කියන්නෙ...

වී බිස්සෙ පින්තූරෙ හොඳයි නේද ...

එතකොට වී බිස්ස දාන එකෙන්  අපි අදහස් කරන්නෙ මොකක්ද...

අප්පට හුඩු...ලොක්ක දැම්ම නේද දුස්රාවක්, මෙහෙම දෙයක් අහයි කියල මම හිතුවෙම නෑ ...තප්පර දහයකට විතර මාව තුෂ්නීම්භූත වුණා, ඉක්මනටම යථා තත්වයට පත්වෙද්දිම දිය යුතු උත්තරය කටට ආවා...

සෞභාග්‍යයනෙ සර්...අපි මේ පිංතූරෙන් අපේ රට සෞභාග්‍යයෙන් පිරිල තියෙන බව ව්‍යංගාර්ථයෙන් කියනව...

ලොක්කට හිනාවක් ගියා මොකුත් නෑ කට කණේ...දැන් ඔය පොකැට් කැලැන්ඩරේ  පලවෙනි එක ප්‍රේමදාස මහත්තයට පිලිගන්වනවනෙ,ඒ දවස්වල එහෙම තමා සාංඝීක දානෙක වුණත් අග්‍ර භාගය බුද්ධ පූජාවට තියනව වගේ කරන කියන හැමදේකම මුල් කොටස ප්‍රේමදාස මහත්තයට පූජා කරන එක සිරිතක්...

ඔය කැලැන්ඩර් පූජාවෙදි ප්‍රේමදාස මහත්තය ඇහුවොත් එහෙම මම ලොක්කට කියපු කතාව ලොක්ක ගෙඩිපිටින්ම ප්‍රේමදාස මහත්තයට කියල දානව... ඒ සුන්දර අවස්ථාව ලොක්කගෙ හිතේ මැවෙන්න ඇති...

ඔයයි ඔයාගෙ සාහිත්‍යයයි...කෝ ඕක දෙන්න මෙහාට...

කෙලින්ම වී බිස්ස අස්සන් කරල අනුමත කරල දුන්නා...