Sunday, December 23, 2012

07.ප්‍රියයන්ගේ ආගමනය

වසරකට ආසන්න මගේ තනිකඩ ජීවිතය අවසන් කරමින් පසුගියදා මගේ ප්‍රිය බිරිඳ පැමිණියා.

විප්‍රවාසය අපට නුපුරුදු දෙයක් නොවෙයි.කොහොමත් පහුගිය වසරකට කිට්ටු කලයක් මම උත්සාහ කලේ රාජකාරි කටයුතුත් නිවසේ වැඩත් සමබරව කරගන්නයි.ඒත් එය හිතන තරමට ලේසි නැහැ.එක පැත්තකට අඩුපාඩු සිදුවෙනවා.ඉවුම් පිහුම් කරන එක මගේ විනෝදාංශයක් නිසා පුතාගෙත් මගෙත් කෑමවේල මටම පිළියෙල කරගන්න හැකිවුණා හෝටල්වලට නොගොස් සහ පිසූ ආහාර ශීතකරණයේ තබා රත් කරමින් කන්නෙ නැතිව(සතියටම සෑහෙන කෑම එකවර පිසගෙන ශීතකරණයේ තබා රත් කරමින් ගැනීම මා බොහෝ තැන්වල දැකපුරුදු දෙයක්)
 
මේ නිසා හැමදාම අපගේ ආහාර වේල එදිනම පිසගත් එකක් වුණා.සතියකට දෙකකට වරක් වෙනසකටත් එක්ක හෝටලයකින් ඉන්දියන් කෑම ගත්තේ විශේෂයෙන් පුතා ප්‍රියකල නිසා.
 
බිරිඳගේ පැමිණීමත් සමගම ගෙදර දොර කටයුතුවලිනුත් පුතාගේ වැඩවලිනුත් මට නිදහසක් ලැබේවි.පැමිණි දිනයේ පටන්ම ඇය මහන්සි වෙන්නේ අවුල් ජාලයක්ව පැවති නිවස මනුස්ස වාසයක් හැටියට පිලියෙල කරගන්නයි.මමත් මගේ ශක්ති ප්‍රමාණයෙන් ඇයට උදව් කරනවා.ඒ නිසාම පහුගිය දිනවල බ්ලොගය හිතේ හැටියට ඇසුරු කරන්නත් බැරිවුණා.තව සතියකින් හමාරකින් මේ වැඩ කටයුතු එකලාසයක් වුණහම පරණ පුරුදු ජීවිතේට එකතුවෙන්න පුලුවන්වෙයි.

කොහෙ හිටියත් අපේ ගෙදරට හිත මිත්‍රාදීන්ගේ පැමිණීම සාපේක්ෂ වශයෙන් වැඩියි.මට මතකයි මීට දශකයකට පමණ පෙර අපි හිටිය නිවෙසට මා වැඩකල කාර්යාලයේ සේවය කරන කීප දෙනෙක්ම එන්න පුරුදුවෙලා හිටියා.හවස් අතේ පැමිණෙන ඔවුන් ආරාධනයකින් තොරවම කැබිනට්ටුව විවෘත කර සුරා විතක් වත්කරගන්නවා(කොහොමත් ඔවුන් සඳහාම බෝතලයක් මා එතන තබා තිබුණා)ඉන්පසුව මුලුතැන්ගෙයින් යම් කටගැස්මක් රැගෙන හෝ කටගැස්මක් නැතිනම් යමක් පිලියෙල කරගෙනයි සුරා රස බලන්නේ.

බිරිඳ මට කෙලින්ම නොකිව්වත් මේ ගැන ඇගේ එතරම් ප්‍රසාදයක් නොතිබුණු බව මට තේරුණා.මම ඇයට මෙහි පසුබිම පැහැදිලි කළා.

මිනිහෙක් තමන්ගෙ ඔලුව නිදහස් කරගන්න ප්‍රශ්ණ තියෙන තැනකට එන්නෙ නෑ...එහෙම ආවොත් ඒ මිනිහගෙ ඔලුව තවත් නරක් වෙනවනෙ....

සතුට සාමය තියෙන තැනකට තමයි මිනිස්සු එන්නෙ...ඒ පරිසරය ඔයා මෙච්චර කල් රැකගෙන හිටියා...නැතිනම් ඔය කවුරුවත් මෙහෙට එන්නෙ නෑ....

මා පැහැදිලි කළදේ ඈ ඉතා හොඳින් තේරුම් ගත්ත පමණක් නොවෙයි ඉන්පසුව ඒ ගැන කතා කලේ නෑ.ඒ වගේම අපි ඒ නිවස හැරදා එනතුරුම මිතුරන්ගේ පැමිණීම නැවතුනෙත් නෑ.

ඉතිං පැමිණියාත් සමගම ලොකු කාර්යයකට උරදෙන්න ඇයට සිදුවෙනවා,ඒ තමයි අයිවන්ගේ නත්තල් සාදය.සාදයට තැනක් සොයමින් සිටි කාර්යාලයේ ඉන්න එකම කතෝලිකයා වන අයිවන්ට සාදය අපේ ගෙදර ගන්න කියලා මම කිව්වෙ බිරිඳ දැනුවත් කිරීමකින්වත් තොරවයි.කොහොමටත් අපේ මිතුරු මිතුරියන් 40ක් පමණ මේ 24 දා රාත්‍රියේ නත්තල් සාදයට පැමිණේවි.එහිවැඩි බරක් කරගහන්නට වෙන්නේ ඇයටයි.

නත්තල් සාදයත් බිරිඳගේ පැමිණීම වෙනුවෙන් දියයුතු සාදයත් දෙකම එකක් ලෙස සලකන ලෙසට මා මිතුරන්ට කීවිට ඔවුන් එයට එකහෙලා විරුද්ධ වුණේ මම දඹුලුත් ගිහිං තලගොයිත් මරාගන්න හදනවායි කියමින්.

ඉතිං පුතාත් මමත් ඔබව සාදරයෙන් පිළිගන්නා අතරම ඔබගේ පැමිණීම අපට සතුටක් පමණක් නොව ශක්තියක් බවත් නොකියාම බැහැ.අපේ පවුල වෙනුවෙන් ඔබගේ ඇති කැපවීම මෙවර ඔබ ක්‍රියාවෙන්ම පෙන්වා තිබෙනවා.

ඔබට ප්‍රීතිමත් විප්‍රවාසයක් වේවා.

(නත්තල් සාදයේ පිංතූර පසුව ගෙන එන්නම්)

7 comments:

  1. සුබ නත්තලක් වේවා මිත්‍රයා

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබම සුබ නත්තලක් වේවා.....

      Delete
  2. වසරක කාලයක් බිරිද හිටියෙ කොහෙ ගිහින්ද කියලා ලියලා නෑ නොවැ... ප්‍රීතිමත් නත්තලක් වේවා !

    ReplyDelete
    Replies
    1. නොලීවෙ උවමනාවෙන්මයි.ඔබ ඒ විස්තර පසුව දැනගනීවි.
      ඔබටත් ප්‍රීතිමත් නත්තලක් වේවා.

      Delete
  3. පාටියේ විස්තරත් පස්සේ කියමුකෝ එහෙනම්.
    සුබ නත්තලක් වේවා!

    ReplyDelete
  4. මේ කියන හැටියට නම් බිරිඳ විදේශයක සිට පැමිණ තියෙන්නේ.. එවන් කාලයක් නිවසේ සිට තම යුතුකම් නොපිරිහෙළා ඉටුකිරීමම අගයකළ යුත්තක්

    ReplyDelete
    Replies
    1. එක අතකට ඔබ හරි,නමුත් ඔබ බලාපොරොත්තු වෙන පැත්තට නොවෙයි....

      Delete

ඔබේ අදහස්